මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, December 27, 2011

නැසෙමුද නැතිනම් රැකෙමුද

  
රජිත රාජපක්ෂ-    

  ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු යාපනය ප‍්‍රදේශයේ දී අතුරුදහන් විය. සිය සංවිධානයේ දේශපාලන කටයුතුවල නිරත වී සිටියදී මෙසේ අතුරුදහන් වී ඇති බව ජන අරගල ව්‍යාපරය පවසයි.මෙම ලියන මොහොත දක්වාම ඔවුන් අත් අඩංගුවට ගත් බවක් හෝ රදවාසිටින තැනක් රජය ප‍්‍රකාශ කර නැත මෙය අවනීතික පැහැර ගැනීමක් බවට මෙයින් මනාව පෙන්නුම් කරයි

  දශක තුනකට ආසන්න කාලයක සිට මිනිසුන් අතුරුදහන්වීම්, පැහැරගැනීම් හා මරාදැමීම්මවලින් අඩුවක් ශී‍්‍ර ලංකාවේ නැත. දරුණු යුධ ගැටුමක නිමාවකින් පසුවත් මෙවැනි තත්ත්වයන් ඉවත් වී සමාජය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් නිර්මාණය වීම දැකීම සියලූ ජනතාවගේ ප‍්‍රාර්ථනය විය.

  2009 මැයි මස සිදු වූ ප‍්‍රභාකරන්ගේ ඝාතනයත් සමඟ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ කි‍්‍රයාකාරිත්වය සහමුලින්ම අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජය සමත් විය.

  අලූතින් නිර්මාණය වූ මෙම තත්වය තුළ දකුණට පමණක් සීමා වී තිබූ බොහෝ දේශපාලන පක්ෂ තම දේශපාලන කි‍්‍රයාමාර්ග උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. ඇත්තෙන්ම මෙය හොඳ ප‍්‍රවණතාවයකි. එක්තරා ප‍්‍රදේශයකට පමණක් සීමා වී දේශපාලනය කරමින් සිටි ජාතික දේශපාලන ව්‍යාපාර යැයි කියාගත් සංවිධානවලට මුළු රටේම දේශපාලන කටයුතු කිරීම අගය කළ යුත්තකි. තම ජාතියට, තම ප‍්‍රදේශවලට පමණක් සීමා වී දේශපාලන කටයුතුවලට මැදිහත් වූ දෙමළ සමාජයට ද රට තුළ පවතින ජාතික දේශපාලන බලවේග සමඟ එක්ව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් දෙයකි.

 වෙනම රාජ්‍යයක් පාදක කරගනිමින් දරුණු සන්නද්ධ කි‍්‍රයාකාරීත්වයක යෙදී සිටි දෙමළ සමාජය දකුණේ දේශපාලන සමඟ සම්බන්ධ වී දේශපාලන කටයුතු කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුත්තකි. ඇත්තෙන්ම මෙම තත්වය තව තවත් දිරිගැන්වීමට කටයුතු කිරීම වගකිව යුතු රජයක යුතුකමකි.

  නමුත් සිදුවීම් සිදුවන්නේ එසේ නොවේ. එවැනි දේශපාලන කි‍්‍රයාකාරකම්වල නිරතවීමට උත්සාහ ගන්නා ආණ්ඩුවේ නොවන දෙමළ හෝ සිංහල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, පැහැර ගැනීම, පහරදීම, අතුරුදහන් කිරීම හා මරා දැමීමය. උතුරේ හෝ දකුණේ දේශපාලනය කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලන බලවේග පමණක් නොවේ. ඒ අයිතිය විපක්ෂ බලවේගවලටද තිබිය යුතුය. රටේ  ඕනෑම ප‍්‍රදේශයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස දේශපාලන කටයුතුවල නිරත වීමට ආණ්ඩුවේ අවසර පත් අවශ්‍ය නැත. එය නිකමට හෝ තිබෙන ආණ්ඩුවක ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති දෙයකි.

  රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ඇති කිරීම ගැටුම් නිර්මාණය වීම වැළැක්වීමට හා සාමය ස්ථාපිත වීමට ගත හැකි හොඳම කි‍්‍රයාමාර්ගයයි. එසේ නොමැතිව රටේ ධනය මිලියන ගණන් වැය කරමින් වසර ගණන් කාලය වැය කරමින් බොරු කොමිසං සභා පිහිටුවීම හෝ බොරු වාර්තා සැකසීම නොවේ.

  අතුරුදහන් කිරිම්, පැහැරගැනීම්, මරා දැමීම් ඇතුළු මානව හිමිකම් කඩකිරීම් ගැන ජාත්‍යන්තර වශයෙන් ද ප‍්‍රබල චෝදනාවන්ට ලක් වී ඇති පාලන තන්ත‍්‍රයක් ඒ ගැන කිසිදු තැකීමක් නොකර තම සුපුරුදු මිලිටරිකරණ කි‍්‍රයාවලිය දිගටම පවත්වාගෙන යන තත්වයක් පවතී. මෙම සියලූ අවනීතික කි‍්‍රයා ඉදිරියේ රටේ නීතිය කි‍්‍රයාත්මක කරන අංශ දක්වන නිද්‍රාශීලිත්වය දෙස බලන විට මේවා පාලන තන්ත‍්‍රයේ අනුග‍්‍රහය මත සිදුවන කි‍්‍රයාවන් බවට මතුවන සැකය බැහැර කළ නොහැකිය.

  මූලිකවම විපක්ෂ බලවේග මුල්කරගනිමින් සිදුවන මෙම අවනීතික කි‍්‍රයාවලියට ආණ්ඩු පක්ෂයේ අයද ගොදුරුවිය හැකි බව භාරත ඝාතනයෙන් මනාව පෙන්නුම් කළේය. භාරත මෙහි ප‍්‍රථමයා හෝ අවසානයද වන්නේ නැත.

  මෙම බැරැරුම් තත්වය පිළිබඳව විපක්ෂයේ සියලූ බලවේග මෙන්ම, ආණ්ඩු පක්ෂයේද ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග නිසි අවධානයක් යොමු කොට කි‍්‍රයාත්මක නොවුන හොත් අප සියලූ දෙනාටම අවසානයේ කියන්නට සිදුවන්නේ මාටීන් නීමොලර් ගේ වදන් පෙළ පමණි. අවසානයේ අපි වෙනුවෙන් කථා කිරීමට කිසිවෙකු ඉතිරි වී නොසිටියේය යන්නයි.



Thursday, December 8, 2011

ජවිපෙ දෘෂ්ඨිවාදය හා දේශපාලනය



ජවිපෙහි යළිත් බෙදීමක් හට ගෙන තිබේ. මෙවර බෙදීම පෙර ඒවාට වඩා විශාල හා පැතුරුණු එකක් ලෙස දිස්  වෙයි. එහි මධ්‍යම කාරක සභාවෙන් හරි අඩකට ආසන්නව ද ඇතැම් දිස්ති‍්‍රක්වල බහුතරය ලෙසින් ද මෙම බෙදීම සිදුව ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ බෙදීමට පාදක වී ඇති බව පෙනෙන කරුණු දෙකකි. බෙදී ගිය පාර්ශවයෙන් දක්වන කරුණුවලට අනුව එය මෙසේ දැක්විය හැකි ය.

1    පරිවාසයේ සිට ජවිපෙ භාවිතයට නැගූ සභාගවාදී දේශපාලනය.
2    ජාතික ගැටළුව සම්බන්ධයෙන් වත්මන් ජවිපෙ ප‍්‍රවේශය

මෙම කරුණු දෙක පාදක කර ගෙන කාලයක් තිස්සේ ජවිපෙ තුළ මතවාදී අරගලයක් පැවති බව පැහැදිලි ය. බෙදීම හට ගන්නේ කෙමෙන් කෙමෙන් වැඞී ගිය මෙම අරගලය මෝරා යාමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉහත කී කරුණු දෙක සම්බන්ධයෙන් ජවිපෙ කොතෙක් දුරට පීලි පැන ගොස් තිබුණා ද කියතොත් මතවාදී තලයේ මෙන්ම භාවිත තලයේ දී ද එය සිය වාමභාවය අහෝසි කර ගෙන හෝ අහෝසි කර ගනිමින් තිබුණි. ජවිපෙට සිදුව තිබුණේ ”බල්ලන් සමග ලැග මැක්කන් සමග නැගිටීමට” සිදු වූවා වැනි තත්ත්වයකි. ජවිපෙ තුළ නව ප‍්‍රවනතාවය පැන නගින්නේ මෙම තත්ත්වයට එරෙහිව බව දැකිය හැකි ය. මෙම ප‍්‍රවනතාව මතු කළ විවේචන සපුරා ප‍්‍රතික්ෂේප කරන්නට ජවිපෙ නායකත්වයට හැකිව නැත. ඊට හේතුව වශයෙන් නීර්ණය කළ හැක්කේ ජවිපෙ ගමන් මග සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ පැතුරුණු විචිකිච්ඡාවක් ඇතිව තිබීම ය. සභාගයන්ට යාමෙන් පැරණි වමට අත් වූ  ඉරණමම ජවිපෙටත් අත් විඳින්නට සිදුව තිබෙන බව බොහෝ පිරිස්වලට දැනෙන්නට පටන් ගෙන තිබුණි. ජාතික ගැටළුව සම්බන්ධයෙන් එතරම් පැතුරුණු කුකුසක් ඇතිව නොතිබුණ බව ඇත්ත නමුත් ජවිපෙ නායකත්වයේ සැලකිය යුතු පිරිසකට විශේෂයෙන්ම පශ්චාත් යුද සමය තුළ ලබන්නට සිදුව ඇති  අත්දැකීම් අනුව මේ ප‍්‍රශ්නයේ දී තම පක්ෂය ”සීමාව ඉක්මවා යමින්” ධනේශ්වර පාලක කල්ලියේ දෑත් සවිමත් කරන්නට දායක වූ බව දැනෙන්නට වී තිබිණ. මේ කාරණා දෙකේ දී ම ”අප අතින් පොඩි පොඩි අඩුපාඩු සිදු උනා” යයි පිළි ගන්නට ජවිපෙ නායකත්වයට සිදුව තිබිණ.

අපට පෙනෙන අන්දමට සැබවින්ම ප‍්‍රශ්නය මතු වන්නේ නව ප‍්‍රනතාව ජවිපෙ නිල නායකත්වයට වෙනස්ව  මෙම  සිදු වූවා  යයි කියන ”පොඩි පොඩි අඩු පාඩු” පොඩි පොඩි ඒවා ලෙස  නොදැක ”තරමක්” බරපතල ඒවා ලෙස  ගෙන විවේචනාත්මකව දකින්නට පටන් ගෙන තිබීම නිසයි.

ජවිපෙ දේශපාලන සංස්කෘතියට අනුව වැරදි නොදකින්නේ ම යයි අපි නොකියමු. එහෙත් ”පොඩි පොඩි වැරදි” පමණි. පොඩි පොඩි වැරදි පවා ද දැකිය යුත්තේ නායකත්වය විසින්ම ය. නායකත්වය නොදකින වරදක් දකින්නට සාමාජිකත්වයට අවකාශයක් නැත. ජවිපෙ සාමාජිකත්වය කිසියම් වැරද්දක් හෝ අඩුපාඩුවක් දැකිය යුත්තේ ජවිපෙ නායකත්වය ඒවා බලන පි‍්‍රස්මය තුළින්ම පමණක් ම හා නායකත්වය ඒවා සම්බන්ධයෙන් දක්වන සීමා මායිම් තුළ සිට පමණක් ම ය. නායකත්වය දෙන අර්ථ නිරූපණයන් තුළින් පමණක්ම ය. ඉන් ඔබ්බට යමින් වරදක් දකින්නට එක් පියවරක් හෝ ඉදිරියට තබන්නේ ද එය නිරායාසයෙන්ම පක්ෂයට ද්‍රෝහී වීමක් වෙයි. බොහෝ සාමාජිකයන් මොනවා වුවත් අප පක්ෂය සමගයි යනුවෙන් පවසන්නේ ඒ නිසා ය.
ජවිපෙ මතවාදය ගැන, වැඩපිළිවෙල ගැන, කි‍්‍රයාමාර්ගය ගැන, මූලෝපාය ගැන, උපක‍්‍රම ගැන කිසිදාක, කිසි විටෙක අභ්‍යන්තර ප‍්‍රශ්න කිරීමකට ඉඩක් තිබුණේ නැති තරම් ය. ඒ සම්බන්ධයෙන් විවේචනයක් මතු වූ හැම විටම එය අවස්ථාවාදය කරා ගමන් කිරීමක් හා පක්ෂයට ද්‍රෝහී වීමක් ලෙස අර්ථ නිරූපණය කෙරිණ. නැතහොත් අසවල් කල්ලියේ අදහස් යයි හංවඩු ගසා නිශේධ කෙරිණ. නැතහොත් ”නෑසූ කන්වාදයෙන්’‘ප‍්‍රතිචාර දැක්විණ. පක්ෂයේ සෙසු සියල්ල පක්ෂ නායකත්වය දරන්නේ කුමන මතයක් ද කුමන ස්ථාවරයක් ද එය අවිවාදිතව පිළි ගත යුතු විය. ජවිපෙ දෙවෙනි, තෙවන පෙළට හා සාමාජිකත්වයට විවේචනය කිරීමේ, වැරදි දැකීමේ අයිතිය තිබුණේ ජවිපෙ නායකත්වය දකින සීමාවට හා ජවිපෙ නොවන අනෙක් ඒවා සම්බන්ධයෙන් පමණි. එහෙත් ජවිපෙ නොවන අනෙක්වා කරන වැරද්දක් ජවිපෙ කළොත් එය වැරද්දක් ලෙස නොසැලකේ. නිදසුන් ලෙස සමසමාජ කොමියුනිස්ට්කාරයන් පංති සහයෝගිතාවේ මාවතට පිවිස ධනේශ්වර පක්ෂ සමග සභාගයන්ට යන විට එය පාවා දීමක් ද්‍රෝහි කමක් වන නමුදු ජවිපෙ එයම කිසිදු වෙනසකින් තොරව කරන විට එය නිවැරදි උපායික හා උපක‍්‍රමික ප‍්‍රවේශයක් බවට පත් වෙයි. ජවිපෙහි අවිඥානික විඥානය වී ඇත්තේ එය කිසි විටෙකත් වැරදි නොකරන බව ය. කිසි විටෙකත් ඊට නොවරදින බව ය. ජවිපෙට ද වරදින බව, වැරදිය හැකි බව පිළිබඳව සවිඥානක වූ සැනින් ඒ සවිඥානික වූවන් අවස්ථාවාදීන් හා ද්‍රෝහීන් බවට පත් වන්නේ ඒ නිසා ය.

ජවිපෙ වැරදි අඩුපාඩු දුටු පළමු කොටස හෝ ප‍්‍රවනතාව මෙම අලූත් ප‍්‍රවනතාව පමණක් නොවේ.  විටින් විට එවැනි වෙනත් පිරිස් හා ප‍්‍රවනතාවන් ජවිපෙ තුළ මතු විය. මේවා අතර විවිධවු පිරිස් හා ප‍්‍රවනතා වූ බව ඇත්ත ය. සමහරු හා සමහර ඒවා සම්පූර්ණයෙන් විප්ලවීය දේශපාලනයට සමු දුන්නා පමණක් නොව ධනේශ්වරයේ පැත්තට ම පලා ගියහ. ඊට වෙනස්ව ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි දකිමින් ඒවා නිවැරදි කර ගැනීම සඳහා අරගලයේ යෙදුන පිරිස් හා ප‍්‍රවනතා තිබිණ. එහෙත් ජවිපෙ නායකත්වයට මේවායේ කිසිදු වෙනසක් දැකිය නොහැකි විය. සියල්ලෝම එකම ගොඩෙහි ගසමින් ද්‍රෝහී හංවඩුවෙන් නාම ලක්ෂිත කරනු ලැබීය. එපමණක් නොව ඔවුන්ට හා ඒවාට එරෙහිව ප‍්‍රබන්ධ කතා නිර්මාණය කර සාමාජිකත්වය අතර වපුරාලීය. මෙය ජවිපෙහි කි‍්‍රයාවට නැගෙන නෛසර්ගික අඛණ්ඩ භාවිතයකි. ජවිපෙ කිසිදා වෙනස් නොවූයේ මෙම භාවිතයෙන් පමණි. නමුත් ටිල්වින් සිල්වා ජවිපෙ නායකත්වයේ නෛසර්ගික ලක්ෂණය විදහා පාමින් කියන්නේ කුමක් ද?

”අපේ රටේ මොන පක්ෂය ද තමන්ගෙන් සිදුවූ වරදවල්් හඳුනා ගෙන ඒවා නිවැරදි කර ගෙන ජනතාවාදී ගමනක් යන්නේ? ඒ වෙන කිසිවෙක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණ විතරයි කියන එක අපි නොබියව කියනවා.” (ටිල්වින් සිල්වා නුවර දී කළ දේශනයක දී - 2011. 11. 11 දිවයින*

ජවිපෙ කළා වූ ද තමන් එසේ කළ බවට හඳුනා ගත්තා වූ ද එසේ හඳුනා ගෙන නිවැරදි කර ගත්තා වූ ද පොඩි පොඩි මිස එකදු හෝ තරමක වැරද්දක්වත් මේ යයි පෙන්වා දෙන්නට ජවිපෙ නායකත්වයට පුළුවන් ද?

තමන්ගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි ගන්නා එකම පක්ෂය යයි කියන ජවිපෙ එහි ඇස් පනා පිට පෙනෙන වැරදි පිළිබඳව විවේචනාත්මකව දකින සිය සාමාජිකයන් අවස්ථාවාදීන් හා ද්‍රෝහීන් ලෙස  හංවඩු ගැසීම අයෙක් තේරුම් ගත යුත්තේ කෙසේ ද? ජවිපෙට මෙම ප‍්‍රවේශයෙන් මිදෙන්නට කිසිදාක හැකි වේ ද යනු ප‍්‍රශ්නයකි.

කවුරුන් කැමති වුවත් නැතත් ජවිපෙ නැමැති දේශපාලන ප‍්‍රපංචය දැන් ගමන් කරමින් සිටින්නේ මතවාදී වශයෙන් ද භාවිතමය වශයෙන් ද ඉරණම වශයෙන් ද යම් යම් වෙනස්කම් සහිතව නමුත් පැරණි වම ගිය අඩි පාරේම ය. මේ අවනතිය නවතන්නට එයට හැකි වන්නේ නැත. ඒ ඒ මොහොතට හැරෙනවා පෙරළෙනවා හැරෙන්නට එය කරන දෙයක් හෝ එයට කළ හැකි දෙයක් නැති තරම් ය.

එහි වත්මන් බිඳවැටීමේ ආරම්භය සලකුණු වන්නේ පරිවාසයෙන් ඇරඹි සභාගවාදී දේශපාලනයත් සමග ය. එය කලකට පසු සභාගයෙන් ඉවත් වෙතත් එසේ ඉවත් වන්නේ සභාග දේශපාලනය ප‍්‍රතික්ෂේප කිරීම නිසා නොව චන්ද්‍රිකා පාලනය එල්ටීටීඊය සමග සුනාමි සහන  මණ්ඩලයක් පිහිටු වන්නට යාම නිසා ය.  එහි සභාගවාදී දේශපාලනය මගින් එදා පැවති මහ මැතිවරණයේ දී ආසන 41 ක් දිනා ගැනීමට ඊට ඉඩ අවකාශ විවෘත වීමෙන් සිදු වූයේ බැලූ බැල්මට පෙනුණ පරිද්දෙන් එහි ශක්තිය කුළු ගැන්වීමක් නොව එහි අවනතියේ නව ආරම්භයක් සලකුණු වීම ය. එහි යථා ශක්තියට වඩා පිම්ඹුණු ජයග‍්‍රහණයක් වූ එම ජයග‍්‍රහණයේ මට්ටම රඳවා ගන්නට නම් එය දිගටම සභාග දේශපාලනයේ ම ගිලී සිටිය යුතු විය. නන්දන ගුණතිලකලා විමල් වීරවංශලා වැන්නන් ජවිපෙන් විතැන්වන්නට පටන් ගන්නේ සභාග දේශපාලනයෙන් ලැබුණ රස පහස නිසා පමණක් ම නොවේ මේ ප‍්‍රායෝගික තර්කනය ද නිසා ය. ජවිපෙ සභාගයෙන් කැඩුණු විට එහි ආසන සංඛ්‍යාව සිව් ගුණයකටත් වඩා පහළට ඇද වැටීමට මෙම ප‍්‍රායෝගික තර්කනය තීරණාත්මකව බලපෑවේ ය.  අනෙක් අතට සිංහල බහුජනතාව අතර පදනම තහවුරු කර ගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් දෙමළ ජනයාගේ ජතික අරගලයට එරෙහිව එය ගත් පටු ජාතිකවාදී ප‍්‍රවේශය එහි වාසියට වැඩ කළේ ද සභාගයක් තුළ පමණි. යුද්ධයෙන් පසු ජවිපෙ සිය දිවි දෙවෙනි කොට සැලකූ පටු ජාතික වාදයේ ධජය ජයග‍්‍රහණය ගෙන දුන්නේ ජවිපෙට නොව මහින්ද රාජපක්ෂ රෙජිමයට ය. පසුව ආ මහ මැතිවරණයේ දී සරත් ෆොන්සේකාලා සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය වශයෙන් සන්ධානගත නොවන්නට ඇතැම් විට ජවිපෙට එම ආසන ගණනවත් දිනා ගත හැකි වේ ද යන්න සිතීම වැරදි නොවේ.

ජවිපෙ තුළ නව ප‍්‍රවනතාව හිස ඔස වන්නේ මේ සන්දර්භය තුළ ඊට එරෙහි ප‍්‍රතිකි‍්‍රයාවක් බව පැහැදිලි ය.  එමෙන් ම එය ජවිපෙ සභාගවාදී හා පටු ජාතිකවාදී දේශපාලනයේ අභාවවාචක අත්දැකීම්වල තෙරපීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මිස ජවිපෙ සමස්ත දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය ප‍්‍රවේශය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් එළඹ ගන්නා ආස්ථානයන් මතින් පැන නැගුණක් බව ප‍්‍රකාශිත කරුණුවලට අනුව නම් පෙන්නුම් නොකරයි. එය තවමත් පෙන්නුම් කරන්නේ නිවැරදි වීමේ ආරම්භයක් පමණි. අපගේ අදහස නම් එය සැබෑ බලවේගයක්  බවට පත් වන්නට නම් තව බොහෝ දුරක් ගමන් කළ යුතු බව ය.

මෙම ප‍්‍රවනතාව නියෝජනය කරනුයේ ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය යන සමස්තය සමග ඓන්ද්‍රිය ඒකත්වයක පැවතුන පුද්ගල සමූහයකින් ය. ඔවුහු ද ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි කි‍්‍රයාවට නැගීමේ දී හා සමාජගත කිරීමේ දී ඇප කැපව කි‍්‍රයාත්මක වූහ. උපරිමයෙන් දායක වූහ. ඒ පක්ෂය උදෙසාම ය. පක්ෂය කෙරෙහි ඔවුන්ගේ ආකල්පය අනුව, පක්ෂය දම්බන්ධයෙන් ඔවුන් සිටි පදනම් අනුව ඔවුන්ට ප‍්‍රාරම්භකව ජවිපෙ වැරදි අඩුපාඩු දැකිය හැකිවන්නේ ප‍්‍රායෝගික වශයෙන් හෝ අනුභූතික වශයෙන් පමණක් මිස ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය යන සමස්තය පිළිබඳව කෙරෙන ගැඹුරු හා අදිටන් සහගත විශ්ලේෂණයකින් නොවේ. එකී අනුභූතික ප‍්‍රවේශයෙන් ඔවුන් දෘෂ්ටිමය ප‍්‍රවේශයකට එළඹෙමින් සිටිය ද එහිලා දිගු ගමනක් යාමට ඔවුන්ට සිදුවීම අනිවාර්ය ය.

ප‍්‍රායෝගිකව ගත් කල ඔවුන්ට තවමත් ජවිපෙ අඩුපාඩු හා වැරදි සම්බන්ධයෙන් සමස්ත හා යථා  විශ්ලේෂණයකට යාමටවත් එමගින් නිශ්චිත නිගමනවලට එළඹීමටවත් ඇති ඉඩකඩ අඩු ය. ඒ  ඉඩ කඩ ඉබේ විවෘත වන්නේ නැත, විවෘත කර ගත යුතු ය.

බලවේගයක් ලෙස ඔවුන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ජවිපෙ එතෙක් අනුගමනය කළ  දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය ප‍්‍රවේශය තුළ හැදී වැඩුණු, පෝෂණය වුණු මධ්‍යගතවාදී භාවිතයක් මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයක් පිළිබඳ අත්දැකීමෙන් දුරස්වු හා ස්වකීය වැරදි සම්බන්ධයෙන් අවිවේචනාත්මකවූ බැතිමත් සාමාජිකත්වයක් ද සමග ය. මෙම සාමාජිකත්වය දෘෂ්ටිමය වශයෙන් සිටින්නේ පක්ෂය ගොඩ නැගීම ගැන, දේශපාලන කි‍්‍රයාමාර්ගික ප‍්‍රවේශය ගැන, ජාතික ගැටළුව ගැන, විජේවීරගේ භූමිකාව ගැන තවමත් අඩු වැඩි වශයෙන් ජවිපෙ සිටි වැරදි දෘෂ්ටිමය ස්ථාවරයන්වල ම ය. වෙනසක් වී ඇත්තේ සුළු වශයෙන් පමණි. ඇරත් වැරදි හා අඩුපාඩු සැලකිල්ලට ගන්නේ වැඩිමනත්ම අනුභූතිවාදී ප‍්‍රවේශයකිනිි. එහෙයින් නව ප‍්‍රවනතාවේ නායකත්වයට මෙම පිරිස තමන් සමග රඳවා ගැනීමේ පදනම මත සිට ඒ තාක් දුරට ය මෙම අරගලය කිරීමට සිදුව තිබෙන්නේ.  එපමණක් නොවේ පෙර දැක්වූ පරිදි නායකත්වයේ අයට ද මෙහි දී තමන් තවමත් සිටින බොහෝ ස්ථාවරයන් සමග ගැට ගැසී ගෙන අරගලය කරන්නට සිදුව තිබෙන බව පැහැදිලි කරුණකි. ඉන් බැහැරව අරගලය නිසි සන්ධාරයෙන් යුතුව ගෙන යන්නට ඔවුන් එහිලා කොතෙක් අභීත, ස්ථිරසාර හා අදිටන් සහගත වනු ඇද්දැයි කියන්නට අපට නොහැකි ය. කෙසේ වතුදු මාක්ස් වරෙක කීවා සේ මේ කාරණයේ දී නව ප‍්‍රවනතාවට ”නිරයට යාමට තරම් නිර්භීතභාවයක් හා අධිෂ්ඨානයක්” තිබිය යුතු ම ය. නැතිනම් සිදුවන්නේ ඔවුන්ගේ ප‍්‍රයත්නය ශෝචනීය ලෙස ගබ්සා වී යාම ය.

මෙලෙස ජවිපෙ නව ප‍්‍රවනතාවයට වහාම ජවිපෙ සමස්ත වැරදි දේශපාලන භාවිතයෙන් පූර්ණ වශයෙන් කැඩෙන්නට අපහසු ය. එය යථාර්ථයකි. එහි වර්තමානයට එරෙහිව එහි අතීතය සමග අවිවේචනාත්මකව ගමන් කිරීමට ද එහි අතීතය විශේෂයෙන් බරපතල අභාවවාචක අත්දැකීම් සමුදායක් ශේෂ කළ  87-90 දේශපාලන කි‍්‍රයාකාරිත්වය පවා විචෙනයකින් තොරව උත්කර්ෂයට නගන්නට ද නව ප‍්‍රවණතාවයට සිදුව ඇත්තේ එම නිසා ය. ජවිපෙ උරුමය වෙත ආපසු යාම, විජේවීර වෙත ආපසු යාම, ඔහුගේ කලින් කෘති ප‍්‍රකාශයට පත් කිරීම ආදිය කරන්නට සිදුව ඇත්තේ එම නිසා ය. ඇත්තෙන්ම ඔවුන්ට තවමත් සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමේ දී අනිවාර්යයෙන් ප‍්‍රශ්න කරන්නට සිදුවන විජ්වීරගේ භූමිකාව ගැන ප‍්‍රශ්න කරන්නට නොහැකි ය. දෘෂ්ටිමය හා දේශපාලනමය වශයෙන් ගොඩ නැගෙනවාට වඩා නායකත්වය කෙරෙහි බැතිමත් බවකින් ගොඩ නැගුණු සාමාජිකත්වයක් හමුවේ එසේ ප‍්‍රශ්න කිරීම ද අසීරු ය. ඇරත් නායකත්වයේ මනස ද තවමත් විචාරපූර්ණ බවක් කරා පිවිසීමට පූර්ණ සූදානමක් පෙන්නුම් නොකරයි. අගති විරහිතව බලන විට මේ තත්ත්වය අපට තේරුම් ගන්නට පුළුවන.  ඕනෑම සැබෑ වෙනසක් සඳහා සංක‍්‍රාන්තික නැතහොත් පරිවර්තන කාලයක් අවශ්‍ය ය. පරිවර්තන කාලය තුළ නොවැලක් විය හැකි ලෙස ම නව උරුමයේ අංග සමග පෙර උරුමයේ සාධනීය අංග මෙන්ම නිශේධනීය අංගවල නෂ්ටාවශේෂයන් ද එකට පවතිනවා ඇත. එක පහරින් එම නෂ්ටාවශේෂ බැහැර කරන්නට බැරි ය. ප‍්‍රශ්නය වන්නේ පැරණි උරුමයේ නිශේධනීය අංග අධිෂ්ඨාන ලෙස විවේචනය කර බැහැර කරන්නට නව ප‍්‍රවනතාවයට හැක්කේ ද යන්නයි.

කවුරුන් පිළි ගැනීමට කැමති වුව ද නැත ද ජවිපෙ තුළ පැවතියා වූ  බරපතල දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි මෙරට සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමට ප‍්‍රබල ලෙස හරස් වූයේ ය යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි. සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමට නම් එකී සමස්ත වැරදිවලට ම එරෙහිව විනිවිද යන අධිෂ්ඨාන සහගත අරගලයක් කළ යුතුව තිබේ.

ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි ඇරඹෙන්නේ නව ප‍්‍රවනතාව සිතනවා යයි පෙනෙන අන්දමට සෝමවංශලා ටිල්වින් සිල්වලා යටතේ නොවේ. ඔවුන් යටතේ සිදු වන්නේ පැවති වැරදි ඇතැම් විට වෙනස් මුහුණුවර ගනිමින් අඛණ්ඩව කර ගෙන යාම ය. සැබවින්ම ජවිපෙ දැනුදු කරන වැරදිවල මුල් එහි ආරම්භය කරාම දිවෙයි.

පීඩිත පංතික බලවේගයක් වශයෙන් ධනේශ්වර පාලක පංතියට එරෙහිව එදා 1971 අපේ‍්‍රල්හි දී කැරලි ගසා නැගී සිටීම  අද ද අප මහත් ආශ්වාදයකින්  අනුස්මරණය කළ යුතු සංසිද්ධියකි. එනමුදු ඒ                 සමගම විප්ලවයක් සඳහා අවශ්‍ය විෂයමූල හා මනෝමූල කොන්දේසි  කොහෙත්ම සැපිරී නොතිබූ විටක කැරලි ගසා නැගීසිටීම ජවිපෙ කළ බරපතල දේශපාලන වැරද්දක් වූයේ ය යන්න ප‍්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක්ය යන්න විවාද රහිතව පිළිගත යුත්තෙමු. ජවිපෙ නායකත්වය කිසි විටෙක අපේ‍්‍රල් නැගීසිටීමට හේතු පාදක වූ සිය දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි නිසි සන්ධාරයෙන් යුතුව පිළි ගත්තේ නැත. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ විජේවීරගේ ස්ථාවරය වූයේ අපේර්ල් නැගීසිටීම යනු ජවිපෙ විනාශ කිරීම සඳහා ලොකු අතුලලාගේ කල්ලිය විසින් කරන ලද කුමන්ත‍්‍රණයකැයි යන්න ය.

ඔහු අපේ‍්‍රල් මහ නඩුවේ දී විජේවීර ලොකු අතුලට යෝජනා කරන්නේ හා අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ කියා සිටින්නේ මෙසේ ය.

    ලොකු අතුලට :

    ”ඒ වගේම මම යෝජනා කරනවා බෝම්බ හැදීමත් පොලීසිවලට පහර දීමත් ජනතා විමුක්ති පෙරමුණේ තීරණයක් නොවේ, ජවිපෙ තුළ ඔබේ ත‍්‍රස්තවාදී කල්ලියේ තීරණයක් කියලා.”

”එය ඔබත් ඔබේ කල්ලියත් විසින් ජවිපෙට විරුද්ධව කළ කුමන්ත‍්‍රණයක් කියා මම යෝජනා කරනවා.”

”ඒ වගේම එය ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ විප්ලවවාදී ව්‍යාපාරයත් විනාශ කිරීම සඳහා කළ සාපරාධී කි‍්‍රයාවක් කියලා මම කියනවා.” (1973.02.13 දින අ. යු. වි. කොමිසන් සභා වාර්තාව 44-46 පිටු*

අපරාධ යුක්ත විනිශ්චය කොමිසමට :

”ජවිපෙ පැත්තෙන් ජවිපෙ තීරණයක් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා 1971 අපේ‍්‍රල් 5 දා කි‍්‍රයාත්මක වුනාය කියන එක මා ප‍්‍රතික්ෂේප කරනවා නමුත් ජවිපෙට සම්බන්ධ සහෝදරයන් සමහර ස්ථාවනල මර්දනයට මුහුණ දීමට වෙනත් ක‍්‍රමයක් ‍වෙනත් හැකියාවක් නොමැති අවස්ථාවල ඊට එරෙහිව අරගල කරලා ඇතිය කියන එකයි මගේ අදහස ” ( එම 7 - 8  පිටු*

ඇත්තටම එය එසේ ද? නැත, එය විජේවීර අපරාධ යුක්ත විනිශ්චය කොමිසම හමුවේ ගත් ස්ථාවරයට පටහැනිව ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය කි‍්‍රයාකාරිත්වයේ නොවැළක්විය හැකිව තිබූ කූඨ ප‍්‍රාප්තිය යි. ජවිපෙ ඒ වන විට කල්ලිවලට බෙදී සිටි බව ඇත්ත නමුත් අපේ‍්‍රල් නැගීසිටීම කුමන හෝ කල්ලියක කුමන්ත‍්‍රණයක් නොවේ. මෙහිදී නැගීසිටීමට අපේ‍්‍රල් 5 දිනය යොදා ගැනීම තීරණාත්මක නොවේ. ඒ වන විට ජවිපෙ පැමිණ සිටි ලක්ෂ්‍යය අනුව තත්ත්වයන් නිර්මාණය වී තිබුණේ අපේ‍්‍රල් හෝ මැයි හෝ ආසන්න කිසියම් දිනයක අනිවාර්යෙන්ම නැගී සිටිය යුතු බවට තීරණයක් ගත යුතු තත්ත්වයකි. එය එදා ජවිපෙ දේශපාලනයේ අනිවාර්ය ඵලයයි. විජේවීර එදා ගත්තේ සිය වගකීම් මග හැර යාමේ මාවතකි. එහෙත් සැබෑ විප්ලවීය පක්ෂයක් ස්වකීය වැරදි සම්බන්ධයෙන් සිටිය යුත්තේ කොතැනක ද? ඒ ගැන ලෙනින් පවසන දෙය වැදගත් ය. ලෙනින් කියන්නේ මෙසේ ය.

”දේශපාලන පක්ෂයක් තමන්ගේම වැරදි පිළිබඳව දරන ආකල්පය එම පක්ෂය කොතරම් අව්‍යාජ පක්ෂයක් ද, එය භාවිතාවේ දී තම පංතිය කෙරෙහි තමන්ගේ යුතුකම සපුරාලන්නේ ද යන්න තීරණය කිරීමේ දී නිවැරදිම හා ඉතාමත්ම වැදගත් ක‍්‍රමවලින් එකකි. අවංකව වරදක් පිළි ගැනීම, එයට හේතු ස්ථිර ලෙස සොයා ගැනීම, එම වැරද්දට මග පෑදූ තත්ත්වයන් විග‍්‍රහ කර ගැනීම, එය නිවැරදි කර ගන්නා ක‍්‍රම පිළිබඳව තරයේ සාකච්ඡා  කිරීම මේ වගකීම් සහිත පක්ෂයක් හඳුනා ගැනීමේ නිවැරදි ලක්ෂණයන් ය. එම පක්ෂය තම යුතුකම ඉටු කළ යුතු ආකාරය එයයි. එය තම පංතියට හා ඊට පසුව ජනතාවට ද අධ්‍යාපනයක් හා පුහුණුවක් දිය යුතු ආකාරය එයයි.”

අපි පංතිය හා ජනතාව පොඞ්ඩකට පැත්තකින් තියා මෙසේ එකතු කරමුු. ”යටත් පිරිසෙයින් එය තම සාමාජිකත්වයට අධ්‍යාපනයක් හා පුහුණුවක් දිය යුතු ආකාරය එයයි.”

එහෙත් අද දක්වාමත් 71 නැගිටීම හා එහි දේශපාලනය ගැන ජවිපෙ සාමාජිකත්වය වෙනුවෙන් හෝ කළ ඇත්ත ස්වයං විවේචනයක් දක්නට නොමැත. 71 නැගිටීමෙන් පසු ජවිපෙ තුළ ස්වයං විවේචනයක අවශ්‍යතාවය මතු කළ වුන්ට සංග‍්‍රහ කෙරුණේ ද්‍රෝහීන් ලෙස  ගෙන ය. ස්වයං විවේචනය පිළිබඳ විජේවීර දැරූ මතයක් වූයේ ව්‍යාපාරය යළි ගොඩ නගා ස්වයං විවේචනයක යෙදනෙ බව ය. ව්‍යාපාරය සී සී කඩව පවතිද්දී ස්වයං විවේචනයක යෙදීමෙන් සතුරා වාසි ගන්නා බව කියනු ලැබිණ. ප‍්‍රතිඵලය වූයේ කළ වැරදි පිළිබඳව හාංකවිසියක්වත් නැතිව ව්‍යාපාරය යළි ගොඩ නැගීමයි. වැරදි නිවැරදි කර ගැනීමක් කරා යොමු වූයේ ම නැත. එහෙත් ස්වයං විවේචනයක් සඳහා නැගෙන හ`ඩ යටපත්කර දැමීම අසීරු විය. ඒ නිසා ස්වයං විවේචනයක් සඳහා වන සූදානමක් නායකත්වය විසින් පෙන්නුම් කෙරිණ. ඉන් පසු ප‍්‍රකාශයට පත් කෙරුණේ ස්වයං විවේචනයක ආකාරයක ගත් ලියවිල්ලක් එනම් ”ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බලමු” නම් ලියවිල්ල ඉදිරිපත් කිරීමයි. එයින් කෙරුණේ අපේ වැරදිවල වගකීම ස්ටාලින්ලා මා ඕලා මත පැටවීමයි.

අපෙන් වැරදි සිදු වුණේ අප අර්ධ ස්ටැලින්වාදී අර්ධ මා ඕවාදී ස්ථාවරයන් තුළ සිටි නිසා බව කියනු ලැබිණ. ජවිපෙ එතෙක් සිටි බොහෝ ස්ථාවරයන් අර්ධ ස්ටැලින්වාදී හා අර්ධ මා ඕවාදී යයි කියමින් පිටු දකිනු ලැබිණ. එතෙක් පිළිගත් දේශපේ‍්‍රමය සුන්නද්දූලි කර දැමිණ. දැන් ජවිපෙ ”නූතන බොල්ෂෙවික්” පක්ෂය බවට පත් කර ඇතැයි කියනු ලැබිණ. ජවිපෙ ගීවල පැවති දේශපේ‍්‍රමී අන්තර්ගතයකින් යුත් වචන නව වචනවලින් විතැන් කෙරිණ.  ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” යන විජේවීරගේ කෘතිය මෙම පරිවර්තනය ප‍්‍රකාශයට පත් කළ අත් පොත බවට පත් විය. (නව ප‍්‍රවනතාව විසින් දැන් මේ පොත ප‍්‍රකාශයට පත් කර තිබේ.* එහි මෙසේ සඳහන් වෙයි.

”අපේ දේශපාලනය අපට කොමියුනිස්ට් පක්ෂය තුළින් පටන් ගැනීමට සිදු වූ හේතුවෙන් අප විසින් කොමියුනිස්ට් පක්ෂය තුළින් එහි පෙකනිවැල හරහා උරුම කර ගත් යම් යම් නිර් මාක්ස්වාදී නිර් ලෙනින්වාදී ස්ථාවරයන් අප තුළ පැවතිණ. අත්දැකීම් තුළින් අපට ඒවා නිවැරදි කර ගන්නට සිදු වි තිබේ. අපි ඒවා නිවැරදි කර ගනිමින් සිටිමු. ඒ සඳහා ස්වයං විවේචනය කරමු. මේ සටහන් මේ විෂය පිළිබඳ අපේ ආකල්පයන්ගේ ස්වයං විවේචනයක පදනම හැටියට පිළි ගන්නා ලෙස ඉල්ලමි. මේ විෂය පිළිබඳ අනාගතයේ දී වඩාත් විස්තරාත්මක වූත් වඩාත් පරිපූර්ණ වූත් විධිමත් විග‍්‍රහයක් අප විසින් කළ යුතුව ඇත.” (”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” දෙවන මුද්‍රණය, 137 පිටුව*

මෙහිදී කේන්ද්‍රීය අවධානය යොමු කෙරුණේ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපරය විවේචනය කිරීමට මිස ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි පිළිබඳ ස්වයං විවේනයකට නොවේ. ජත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වැරදි විවේචනය කළ යුතුම ය. ඒ පිළිබඳ ගත් ප‍්‍රවේශයෙහි ප‍්‍රශ්න කළ යුතු තැන් බොහෝ වුව ද විවේචනය කිරීම වරදකැයි අපි නොකියමු. එහෙත් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වැරදි විවේචනයට යෙදූ බරෙන් ම ජවිපෙ නායකත්වය තම ව්‍යාපාරයේ ඇත්තටම තිබූ වැරදි ගැන විවේචනය මග හැර යාම අයෙක් තේරුම් ගත යුත්තේ කෙසේ ද?

හරයාත්මක වශයෙන් ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” කෘතියෙන් ඉදිරිපත් ඉදිරිපත් කළ කේන්ද්‍රීය විවේචනය කුමක් ද? ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය එංගල්ස්ගේ ඇවෑමෙන් බර්න්ස්ටයින්ලා හා කෞට්ස්කිලා ද යළි ලෙනින්ගේ ඇවෑමෙන් ස්ටාලින්ලා මා ඕලා ද යටතේ පංති සටන වෙනුවට පන්ති සහයෝගිතාව ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය වෙනුවට ජාතිකවාදය හා දේශානුරාගය ද ආදේශ කරමින් අවස්ථාවාදයට ගොතදුරු වූවා ය යන්න ය. හොඳයි අපි විජේවීරගේම වචනවලට පිවිසෙමු.

”තවද එංගල්ස්ගේ මරණින් පසු බර්න්ස්ටයින්ගේ හා කෞට්ස්කිගේ මග පෙන්වීම යටතේ ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකත්වය යටතේ මාක්ස්වාදී ඉගැන්වීම්වලින් මුළුමනින්ම පිට පනිමින්, නිර්ධන පංති ජාත්‍යන්තරවාදය අත්හැර දමමින් ජාත්‍යන්තර ධනේශ්වර පංතිය සමග පංති සටන වෙනුවට පංති සහයෝගිතාවය ආදේශ කරමින් ජාතිවාදයත් ධනේශ්වර දේශානුරාගයත් වැළඳ ගනිමින් ජාත්‍යන්තර නිර්ධන පංති ව්‍යාපාරය පාවා දෙමින් ජාත්‍යන්තර ධනවාදයට මුක්කු ගැසූ අයුරින් ඒ අයුරින්ම ලෙනින්ගේ ඇවෑමෙන් ගෙවුණු අඩ සියවස තුළ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය එහි නායකත්වය අරා වැජඹුණු අයගේ මග පෙන්වීම යටතේ එකින් එක මූලික මාක්ස්වාදී ඉගැන්වීම් නොපිට පෙරළමින්, විකෘති කරමින් හා බැහැර කරමින් පංති සටන වෙනුවට පංති සහයෝගිතාව ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය වෙනුවට ජාතිකවාදය හා දේශානුරාගය ද ආදේශ කරමින් ජාත්‍යන්තර නිර්ධන පංති ව්‍යාපාරයට මහත් වූ හානි පමුණුවමින් ජාත්‍යන්තර ධනවාදයට කිව නොහැකි තරම් උදව් උපකාර කරමින් සිටියි.” (”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” මාලිමා ප‍්‍රකාශන 7 පිටුව*

අනෙක් අතට ජවිපෙ නායකත්වය මේ කියන ලද නිර් මාක්ස්වාදී නිර් ලෙනින්වාදී ස්ථාවරයන් යයි තරයේ හෙළා දුටු හා ප‍්‍රතික්ෂේප කළ ස්ථාවරයන්ගෙන් එනම් ජාතිකවාදයෙන් හා දේශානුරාගයෙන් (දේශපේ‍්‍රමයෙන්* වෙන්ව සිටියේ කොපමණ කලකට ද? මේ හැරීමෙන්  වසර පහකට පමණ පසු යළිත් විජේවීර විසින් ම නිර් මාක්ස්වාදී නිර් ලෙනින්වාදී යයි තරයේ හෙළා දුටු හා ප‍්‍රතික්ෂේප කළ එකී ස්ථාවරයන් කරා පෙර සිටියාටත් වඩා දෘඩතරව පෙරළා සම්ප‍්‍රාප්ත වීම හා එම ස්ථාවරයන්ගේ සිට කුරිරු ධනේශ්වර පාලකයන් පරිද්දෙන් තමා සමග එක`ග නොවන අය මත කුරිරු භීෂණයක් මුදා හැරීම අයෙක් තේරුම් ගත යුත්තේ කෙලෙස ද? ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” ඉවත දමනු ලැබුවේ සෝමවංශලා ටිල්වින් සිල්වලා වැන්නන් විසින් නොවේ. ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” කෘතිය ලියූ විජේවීරම ය. ඒ විශේෂයෙන්ම ”ඊලම් අරගලයට විසඳුම කුමක් ද?” යන කෘතියෙනි. ඉන් අනතුරුව ”දේශ පේ‍්‍රමය”, ”මවුබිම නැත්නම් මරණය” ”දේශද්‍රෝහීන්ට මරණය” යන සන් පාඨ ජවිපෙ කේන්ද්‍රීය සන් පාඨ බවට පත් වූයේ 71 පෙර සිටි ආස්ථානයන්ගේ අන්තර්ගතය ද ඉක්මවා යමින් තනිකරම ධනේශ්වර ජාතිකවාදය සමග සන්ධාන ගත වෙමිනි. එපමණක් නොව ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” කෘතියහි ”දහස් ගණන් විප්ලවවාදීන්ගේ ජීවිත බිලි ගත් යකින්න” (81 පිටුව* ලෙස හැඳින්වූ සිරිමා බණ්ඩාරනායකලා සමග පවා 87 -89 කාලයේ සන්ධාන ගත වන්නට දැරූ වෑයම කිසිවෙකුට රහසක් නොවේ. 71 වැරදි වීමට මග පෑදුවා යයි දරුණු විවේචනයට බඳුන් කර ඉවත දැමූ ආස්ථානයන් වෙත 71 ට පෙර සිටියාටත් වඩා ප‍්‍රබල ලෙස ගමන් කිරීමෙන් එකී තර්කනයටම අනුව 71 ටත් වඩා බරපතල් ලෙස වැරදි සිදු විය හැකිව නොතිබුණේ ද?

87-90 කාලය තුළ සිදුවූයේ කුමක් දැ යි අපි දනිමු. ඒ කාලයේ සිදුවූ දෑ සම්බන්ධයෙන් වගකීම සුවිශාල වශයෙන් ධනේශ්වර පාලකයන් වෙත පැවරෙන බව ඇත්ත නමුත් ඒවායේ වගකීම සම්පූර්ණයෙන් ධනේශ්වර පාලකයන්ටම පවරා අත සෝදා ගන්නට ජවිපෙට පුළුවන් ද? ඒ සා මහා අභාවවාචක අත්දැකීම් තොගයට  ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි මගින් අවකාශයක් ලබා දුන්නේ නැති ද? 88 - 90 මුහුණ දුන් ඒ සා දැවැන්ත පරාජයට හා විනාශයට පසුව වත් ජවිපෙ තම දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි පිළිබඳව අවංක හා සැබෑ ස්වයං විවේචනයක් හා විශ්ලේෂණයක් මගින් ස්වකීය වැරදි නිවැරදි කර ගැනීම කරා යොමු වීද? නැත. ඒ වෙනුවට කළේ සියලූ වැරදි වසා දැමීමට මාවත් සෙවීම ය. දැන් සභාග දේශපාලනයට පැමිණීමෙන් ජවිපෙ කර ගෙන ඇත්තේ ස්වයං විනාශයකි. එහෙත් ඒ පිළිබඳව ස්වයං විවේචනයක් හා විශ්ලේෂණයක් තිබෙනවා ද? ස්වයං විවේචනාත්මකව වැරදි හඳුනා ගැනීමේ අවශ්‍යතාව මතු කළ අයට පක්ෂය තුළ මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය කුමක් ද?  සිදු වන්නේ පැරණි දෙයම ය. කි‍්‍රයාවට නැගෙන්නේ පැරණි ක‍්‍රමවේදයම ය.

එහෙත් අපට දැනට පෙනෙනෙ පරිදි නම් නව ප‍්‍රවනතාව දකින්නේ සෝමවංශ - ටිල්වින් නායකත්වය යටතේ ජවිපෙ කළ හා කරන වැරදි පමණ ය. නව ප‍්‍රවනතාවේ නිල දොරට වැඞීම ලෙස සැලකිය හැකි ඔවුන් පැවැත් වූ 22 වන ඉල් මහ විරු සැමරුමෙහි දී ද ඉන් වෙනස් වීමක් සැබවින්ම පෙන්නුම් කළේ නැත. එහෙත් සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමට නම් ඔබට සෝමවංශලාගේ ටිල්වින් සිල්වලාගේ වැරදි නිශේධනය කිරීමට පමණක් සීමා වී එම කාර්යය ඉටු කරන්නට බැරි ය. මන් ද එකී වැරදි ජවිපෙහි මුලසිටම පැවත ආ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදිවල දිගුවක් පමණක් වන බැවිනි. ඒවා රෝහණ විජේවීරගේ නායකත්වය කරාම දිවෙයි. ජවිපෙ අතීත දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි හඳුනා නොගෙන වත්මන් වැරදිවලවලට හේතු නිසි ග‍්‍රහණය කර ගන්නට බැරි ය. යළි යළිත් කිව යුත්තේ සෝමවංශලා ටිල්වින්ලා විවේචනය කිරීමෙන් පමණක් එය කරන්නට බැරි බව ය. හැ`ගීම්බර ආයචනයන්ගෙන් හා භක්තිවාදය කුළු ගැන්වීමෙන් එය කරන්නට බැරි බව ය. ඒ සඳහා වන ගැඹුරු දේශපාලන - න්‍යායික සංවාදයකට පිවිසීමේ අපේක්ෂාවෙන්  යුතුව පක්ෂයක් ස්වකීය වැරදි සම්බන්ධයෙන් කි‍්‍රියා කළ යුතු ආකාරය දක්වන ලෙනින්ගේම තවත් ඉදිරිපත් කිරීමකින් මෙම ලිපිය අවසන් කරමු.

”අප පක්ෂයේ වරද පැහැදිලිව පෙනේ. දියුණු පංතියේ සටන්කාමී පක්ෂය වැරදීම් නිසා බිය විය යුතු නොවේ. බිය විය යුත්තේ වරද නැවත නැවතත් කිරීමට ඉදිරිපත්වීම ගැනය. ලජ්ජාව පිළිබඳ බොරු හැ`ගීමකට යටවී වරද පිළිගැනීමටත් එය නිවැරදි කරගැනිමටත් ප‍්‍රතික්ෂේප කිරීම ගැනය. ”