මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Monday, May 13, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 6

නිර්ධන පංති රාජ්‍යය හා කොමියුනිස්ට් පක්ෂය අතර සම්බන්ධය
 

 ඒ සමගම එම රාජ්‍යය සහ පක්ෂය අතර පැවතිය යුතු සම්බන්ධතාවය පිළිබඳ ලෙනින් ඉතාමත් නිරවුල් ප‍්‍රතිපත්තියක පිහිටා ඇත. සෝවියට් සභා තුළ සංවිධානය වී සිටින නිර්ධන පංතිය විසින් රාජ්‍ය බලය  ක‍්‍රියාත්මක කරනු ලබයි. එම සභාවල  නිර්ධන පංතියේ බහුතරය දිනාගනිමින් ඊට  නායකත්වය දෙනු ලබන්නේ බෝලෂෙවික් වරුන්ගේ කොමියුනිස්ට් පක්ෂය විසින් ය. වාර්ෂික සම්මේලනය විසින් තෝරාපත් කළ මධ්‍යම කාරක සභාව විසින් පක්ෂය මෙහෙයවයි. පක්ෂයේ නිතිපතා කටයුතු කරනු ලබන්නේ මධ්‍යම කාරක සභාව විසින් තෝරාපත් කළ සංවිධාන කාරක සභාව හා දේශපාලන කාරක සභාව විසින්ය.
 ‘අපට නාමික වශයෙන් පමණක් කොමියුනිස්ට් පාක්ෂික නොවන , නම්‍යශීලී , සහ සාපේක්ෂ වශයෙන් පුළුල් හා ඉතාම බලවත් නිර්ධන පංති යාන්ත‍්‍රණයක් ඇත. එය මගින් පක්ෂය, පංතිය හා පොදු ජනතාව සමග සමීප ලෙස එකට සම්බන්ධවී සිටී. එය මගින් පක්ෂයේ නායකත්වය යටතේ පංති ආඥාදායකත්වය කි‍්‍රයාත්මක කරනු ලැබේ.’ (ලෙනින් තෝ. කෘති 10 වෙළුම 162-163 පිට) පංති ආඥාදායකත්වය මෙහෙයවීම පක්ෂය විසින් කරන මුත් පක්ෂය ඊට ආදේශකයක් වීම ලෙනින් බැහැර කරයි. කොමියුනිස්ට් පාක්ෂිකයන්  සෝවියට් සභාවක බහුතරය දිනා ඇතැයි කියන විටම එහි නව ක‍්‍රමයට  අනුගතවී ඇති නමුත් කොමියුනිස්ට් පාක්ෂික නොවන සුළුතරයක් සිටින බව ඇ`ගවෙයි. සමහර තැනක ඔවුන් කම්කරුවන්ගේ ම වෙනත් ප‍්‍රවනතාවයන්ය, සමහර තැනක ඔවුන් ගොවීන් ය, ඔවුන්ගේම තවත් ප‍්‍රවනතාවයන් ය. එසේ වුවත් ඔවුන් විප්ලවීය බලවේගයේ සැලකිය යුතු කොටසක් නියෝජනය කර ඇත. උදාහරණයක් වශයෙන් එවකට රුසියානු ගොවි ජනතාවගෙන් බහුතරය සිටියේ සමාජ විප්ලවවාදීන් සමග ය. මේ නිසා ගොවින්ගේ සෝවියට් සභා බොහොමයක්  ඔවුන්ගේ නායකත්වයට නතුව පැවතිනි. ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු ඔවුන්ගේ වාමාංශය බොල්ෂෙවික් ආණ්ඩුවට එක්වී ඇමති තනතුරු තුනක් දැරූහ. සමහරු කොමියුනිස්ට් පක්ෂයට එක්වූහ. තවත් සමහරු ප‍්‍රතිවිප්ලවීය ධවල ව්‍යපාරයට එක්වූහ. විප්ලවීය බලවේගයන්ගේ වුව ද ඒවායේ නියම ස්වභාවය පංති අරගලය තුළ නිශ්චයකර ධ‍්‍රැවීකරණයට ලක් කරනු ලබයි. ප‍්‍රතිවිප්ලවය වෙත පලායන්නවුන් හැර විවේචනාත්මක පාර්ශවයන්ගේ පැවැත්ම විවෘතවම පිළිගැනීම, ඔවුන් සමග සමගි  සම්මුතියකින් කටයුතු කිරීම,  ඔවුන්ට එරෙහිව බලය යෙදවීම නොව දෘෂ්ටිමය අරගලයක් ගෙනයාම ලෙනින්වාදී ප‍්‍රතිපත්තිය වී ඇත. වැදගත් දේ නම් ප‍්‍රති පාක්ෂිකයන් කෙරෙහි වෛරීය ප‍්‍රචණ්ඩ හැසිරීමකින් ප‍්‍රතිචාර දක්වනවා වෙනුවට ඉවසිලිමත් හා තර්ක බුද්ධියෙන් ක‍්‍රියාකරන අනුගාමිකත්වයක් බිහිවීමය. ප‍්‍රති පාක්ෂිකයන් ප‍්‍රතිවිප්ලවීය ක‍්‍රියාකාරිත්වයක නොයෙදෙන තාක් විවිධ මතවාදයන් දැරීමට, ඒ අනුව සංවිධානය වීමට හා ක‍්‍රියාත්මකවීමට එහි කිසිදු අවහිරයක් නොවීය. සමාජ විප්ලවවාදීන් බොල්ෂෙවික් ආණ්ඩුවේ ඇමති තනතුරු දරමින් සිටියදී  බ්‍රෙස්ලිටොව්ස්ක් සාම ගිවිසුමට එරෙහිව විරෝධය පාමින් ඔවුන්  ඉන් ඉවත්වී තවදුරටත් සෝවියට් සභා තුළ සිටිමින් කි‍්‍රයාත්මකවීම බොල්ෂෙවිකයන්ට ගැටළුවක් වූයේ නැත. ලෙනින්ගේ අවධිය තුළ අපට පෙනෙන්නට ඇත්තේ මෙසේ  ගොඩනගන ලද නව කොමියුනිස්ට්වාදී සංස්කෘතියයි. මෙම සංස්කෘතිය තුල නිළධාරිවාදයට තිබූ ඉඩකඩ අවම ය.
කෙසේ වේවා, සෝවියට් ක‍්‍රමය  වැරදි හා දුර්වලතාවයන්ගෙන් විනිර්මුක්ත වූවක් නොවීය. එය ‘ධනපති ක‍්‍රමය නැමති මව් කුසින් මේ දැන් දහවල් ආලෝකයට බිහිවුණු, සහ පැරණි සමාජයෙන් ගෙන ආ උපන් ලපවල මුද්‍රාව සෑම අතින්ම දරන’ (ලෙනින් තෝ. කෘ. 12. 99 පිට) කොමියුනිස්ට් ක‍්‍රමයේ පහළ අවධිය ය. එම අවධියෙහි  ‘උපන් ලපවල මුද්‍රාව’ ඇති පුද්ගලයන් වගේම සංවිධාන හා ප‍්‍රවනතා ද තිබිය හැකි ය. ඒ හා සමීප ලක්ෂණ හෙබවූවන් බොල්ෂෙවික් පක්ෂය තුළ ද සිට ඇත. කොමියුනිස්ට් පක්ෂය ද පංති තත්වයන්ට ඉහළින් වූ නිරපේක්ෂ ආයතනයක් නොවේ. ‘අපේ පක්ෂය පංති දෙකක් පදනම් කරගෙන සිටී’ යි ( තෝ.කෘ. 12 වෙළුම 166 පිට) ලෙනින් සඳහන් කරන්නේ ඒ නිසාය. පසුගාමී ආර්ථික හා සංස්කෘතික පසුබිමක් යටතේ මේ කොතැනකත් ‘උපන් ලපවල මුද්‍රාව’ මතු විය හැකි ය. එය වැඞී නිළධාරිවාදය කරා, ධනවාදය කරා නැවත ආපසු ගමන්කිරීමේ වැඩි ඉඩක් පවතී. ලෙනින්ගේ ජීවිතයේ අවසාන වසර කීපයේ ඔහුු ලියා ඇති ලිපි බොහොමයක  රාජ්‍ය ආයතන සහ පක්ෂය තුළ ගොඩනැගෙමින් පැවති නිළධාරිවාදය ගැන දැඩි විවේචනයන් සහ ඒවාට එරෙහි ක‍්‍රමවේදයන් ගැන ද සඳහන්කරයි. සමාජවාදය තුළ වරප‍්‍රසාදිත පංතීන් බිහිවීමට අවශ්‍ය ආර්ථිකමය මූලයන් නොමැතිවුවද  කොමියුනිස්ට් පක්ෂය සහ රාජ්‍ය ආයතනවලට රිංගා ගත් උපන් ලපවල මුද්‍රාව ඇති ආත්මාර්ථකාමීන්  එකී ආයතනවල දේශපාලන අධිකාරිත්වය හා බලය උපයෝගීකර ගනිමින් වරප‍්‍රසාධිත ජීවන ශෛලියක් ගොඩනගා ගැනීමට උත්සාහ ගනී. මෙකී නිළධාරිවාදයට එරෙහිවීමේදී පාක්ෂික නොවන නිර්ධන පංතිකයන්ගේ කාර්යභාරය ලෙනින් ඉහළින් අගය කොට සලකයි. පක්ෂය පිරිසිදුකිරීම නම් ඔහුගේ කෙටි ලිපියෙහි මෙසේ සඳහන් කරයි. ‘සමහර ස්ථානවල ප‍්‍රධානවශයෙන් පාක්ෂික නොවන කම්කරුවන්ගේ යෝජනා හා අත්දැකීම් ආධාරයෙන් පක්ෂය පිරිසිදු කරනු ලබමින් ඇත. පාක්ෂික නොවන නිර්ධන පංතික ජනතාවගේ මේ යෝජනා සහ ඔවුන්ගේ නියෝජිතයන් වෙත නිිසි සැලකිල්ලකින් යුතුව අවධානය යොමුකරනු ලබමින් සිටී. වඩාත් අ`ගනා  සහ වඩාත් වැදගත් දෙය මෙයයි. සත්‍යවශයෙන් අපි මේ අයුරින්  ඉහළ සිට පහළට පක්ෂය පිරිසිදු කිරීමෙහි සමත් වේ නම් නිසැකවම එය විප්ලවය සඳහා අතිවිශාල ජයග‍්‍රහණයක් වනවා ඇත.’ මේ මගින් පක්ෂය පංතිය සමග වඩාත් ශක්තිමත්ව බැඳ තබන බවත් දුෂ්කරතාවයන් හා අනතුරු රාශියක් මැද වුවද පංතිය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමේ හැකියාව එයට ලැබෙන බවත් ලෙනින් වැඩිදුරටත් සඳහන් කරයි. ( මේ අවධියේ දි පක්ෂ සාමාජිකයන් එක් ලක්ෂ හැතෑ දහසක් පමණ දෙනා  බොල්ෂෙවික් පක්ෂයෙන් ඉවත්කර ඇති බව එක් වාර්තාවක සඳහන් වෙයි)
නිළධාරිවාදයට එරෙහි අරගලයේ දී ලෙනින් පාක්ෂික නොවන සාමාන්‍ය නිර්ධන පංතිකයන් කෙරෙහි සැලකිල්ල යොමුකර තිබීමෙන්  පෙනී යන්නේ පක්ෂයේ   අධිකාරී බලයට පිටතින් විවෘත විවේචනාත්මක පාර්ශවයන්ගේ පැවැත්ම පෙරළා පක්ෂයට ද   විප්ලවයට ද වැදගත්වන බවය. සෝවියට් සභා එවැනි පාක්ෂික හා පාක්ෂික නොවන පිරිස්ගෙන් සැදුම් ලත් ආයතනික ව්‍යුහයකි.  පක්ෂ අධිකාරියේ මෙන්ම ඒ මගින් රාජ්‍යයේ ද ඇතිවිය හැකි අගතිගාමී අත්නෝමතික ප‍්‍රවනතා සාපේක්ෂව හෝ මැඩලිය හැක්කේ සෝවියට් සභා නැතිනම් විප්ලවීය බහු ජන ව්‍යාපාරය ශක්තිමත් කිරීමෙන් පමණි.              
සෝවියට් ව්‍යාපාරය හා වෘත්තීය සමිති ව්‍යාපාරය අතර වෙනස
කර්මාන්ත සංවර්ධනයත් සමග වැඩෙන නිර්ධන පංතිය සමූහයන් ලෙස ඒකරාශිවෙයි.   එම සංවර්ධනය ශ‍්‍රමයේ විශේෂතාවන් මකා දමමින්, නිර්ධන පංතියේ උවමනාවන් හා ජීවන තත්වයන් සමාන තත්වයකට පත්කරයි. එසේම වැඩෙන අර්බූය විසින් ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් අස්ථිර තත්වයකට පත්කරන හෙයින් එය වළක්වා ගැනීම සඳහා ඔවුහු එක්ව ක‍්‍රියා කරති. වෘත්තීය සමිති ඔවුන් එසේ ගොඩ නගා ගන්නා ප‍්‍රාථමික සංවිධාන ආකාරයයි. ඒවායේ ශිල්පීය සංගම් ස්වභාවය හීනවී මුළු මහත් කර්මාන්තයන්ම වැළඳගන්නා තත්ත්වය කරා ඒවා වර්ධනය වී ඇත්තේ හෙමිහිට ය. එසේ වුවත්  එය පංති සංවිධානයේ ඉදිරි පියවරක් විය. එය  නිර්ධන පංතියට එම පංතියේ උසස්ම සංවිධාන ආකෘතිය වූ විප්ලවීය පක්ෂය සොයා ගැනීමට අත්වැලක් විය. ‘වෘත්තීය සමිති හා කම්කරු පංතියේ පක්ෂය අතර අන්‍යොන්‍ය ක‍්‍රියාකාරිත්වයෙන් තොරව ලෝකයේ කිසිම තැනක නිර්ධන පංතිය සංවර්ධනය නොවීය’ යි ද, ‘වෘත්තීය සමිති කොමියුනිස්ට්වාදයේ පාසැලක්’ ලෙසට මෙකල මෙන්ම අනාගතයේදී ද අත්‍යවශ්‍යවනු ඇතයි ද, ඒවා නිර්ධන  පංතිකයන්ට ඔවුන්ගේ ආඥාදායකත්වය ක‍්‍රියාත්මක කිරීමේ පුහුණුව දෙන අභ්‍යාස විද්‍යාල වන බව ද, රටේ ආර්ථික ජීවිතයේ කළමනාකාර කටයුතු ක‍්‍රමානුකූල ලෙස,  ප‍්‍රථමයෙන් කම්කරු පංතියට (එක් එක් කර්මාන්තවලට නොවේ) සහ පසුව සියළු වැඩකරන ජනතාවට පවරාදීම සඳහා නැතිවම බැරි සංවිධානයක්  බව ද මතක තබාගත යුතු යැයි ලෙනින් (තෝ. කෘ.10 .  165 පිට) අවධාරණය කරයි. ඒ අතරම  විප්ලවීය පක්ෂය  නැගී එනවිට වෘත්තීය සමිති, ඒවායේ ස්වභාවයෙන්ම පිහිටි පටු වෘත්තීය ආකල්ප හේතුවෙන්  තම ක්ෂේත‍්‍රය තුළටම තව තවත් වැද දේශපාලනයෙන් බැහැරව සිටීමේ ප‍්‍රතිගාමී ප‍්‍රවනතාවක් පෙන්නුම්කරන්නේ යයි ඔහු පෙන්වා දෙයි. එපමණක් නොව පොදු ජනතාව සමග සම්බන්ධතා පැවැත්වීමේදී වුව ද වෘත්තිය සමිති ප‍්‍රමාණවත් නොවන බව ලෙනින් අදහස් කරයි. මේ සියළු කරුණු අනුව, ‘වෘත්තීය සමිති නිර්ධන පංතිකයන්ට ඔවුන්ගේ ආඥාදායකත්වය ක‍්‍රියාත්මක කිරීමේ පුහුණුව දෙන අභ්‍යාස විද්‍යාලයකි. එය ‘ජනතාව අතරින් ශ‍්‍රම විභජනය තුරන්කර ඔවුන්ට  සර්ව පාර්ශවීය සංවර්ධනය හා සර්වපාර්ශවීය පුහුණුව ලබා දීමට, ඔවුන්ට අධ්‍යාපනය හා ශික්ෂණය ලබාදීමට ක‍්‍රියා කරයි’. (ලෙනින්  එම) 
එසේ නමුත්  සෝවියට් සභා ගුණාත්මක වශයෙන් වෘත්තිය සමිතිවලට වඩා වැඩි යමක් අඩංගුකර ගනී. එය සම්පූර්ණ බලය ඇති ‘ගොවිජන -නිර්ධන පංතික සමූහාණ්ඩුවකි’.   මේ  ආයතන දෙක තුළම   කම්කරුවන් සිටී. වෘත්තීය සමිති ආර්ථිකමය ක්ෂේත‍්‍රය තුළ හැසිරෙන අතර සෝවියට් සභා  නිර්ධන පංති  ආඥාදාදායකත්වය ක‍්‍රියාත්මක කරයි.  ඒ දෙක අතර  ඇත්තේ පැහැදිලි  ගුණාත්මක වෙනසකි. තරුණ, කාන්තා, ශිෂ්‍ය සංවිධාන හෝ සංගම්වල තත්ත්වය වෘත්තීය සමිතිවල තත්ත්වයට වඩා වෙනස් නොවේ.
සෝවියට් සභා පිළිබඳ අපේ වටහාගැනීම හුදු විප්ලවීය මාදිලියක්, නැගීසිටීමේ තවත් එක් අකෘතියක් නොවන බව ය. එය වචනයේ සැබෑ අර්ථයෙන් ම විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරයකි. එය විප්ලවීය බලවේගයන්ගේ මැදිහත්වීමෙන්, මෙහෙයවීමෙන් කම්කරුවන්ගේ, ගොවීන්ගේ, සියළු පීඩිතයින්ගේ බලය කැටිකර ගනිමින් ධනපති රාජ්‍ය බලයට ප‍්‍රතිපක්ෂව නිර්ධන පංති රාජ්‍ය බලය වෙත යොමුව පැවති පොදු ජනතාවගේ ව්‍යාපාරයකි.  ලෙනින්වාදය ඊට නායකත්වය දෙමින් එය නියමිත මොහොතෙහි නියමිත ස්ථානයෙහි පිහිටුවාලීය. ඔක්තෝම්බර් විප්ලවයේ ජයග‍්‍රහණය යනු සෝවියට් ව්‍යාපාරය නම්  වේදිකාව මත එළිදැක්වූ  බොල්ෂෙවික්  න්‍යායයේ  හා භාවිතයේ අති සාර්ථක රංගනයයි. ලාංකේය විප්ලවයේ ජයග‍්‍රණය සඳහා විප්ලවීය පක්ෂයක උපාය මාර්ගයේ  අවශ්‍යයෙන්ම තිබිය යුතු එක් වැදගත් මූලික කොන්දේසියක් වන්නේ මේ  ‘වේදිකාව’ නිර්මාණය කරගැනීම ය. නළුවා සහ වේදිකාව එකක් නොව එකිනෙකට සම්බන්ධ ප‍්‍රපංචයන් දෙකක් බව අපි නැවත නැවතත් අවධාරණය කරමු. ලාංකේය වාම ව්‍යාපරයේ ප‍්‍රතිසංස්කරණවාදය, පාර්ලිමේන්තුවාදය, පංති සහයෝගිතාවාදය,  අතිවාමවාදය හා පටු ජාතිකවාදය ලෙස පිළිබිඹුවී ඇති සුළු ධනපති අවස්ථාවාදයේ පදනම් සාධකය, වෙනත් සාධකයන්ට අමතරව විප්ලවීය අරගලයේ ‘පොදුජන’ සාධකය නොතකා හැරීම ය. විප්ලවය පළල් අරුතින් වටහා නොගැනීම ය. යමෙක්  විප්ලවයේ පොදු ජන ස්වරූපය ගැඹුරින්ම තේරුම් ගන්නේ නම්  ඒ පොදු ජනතාව සඳහා නිශ්චිත    ‘ස්ථානය’ සොයා ගැනීමට ද ඔහුට  සිදුවෙයි.  එය, එනම්  විප්ලවයේ පොදු ජන ස්වරූපය (කමනෙව්, සිනොවියෙව් වැනි සමහර බොල්ෂෙවිකයන් මෙන්) අවතක්සේරු කරන්නේ නම්  නැතිනම් (මෙන්ෂෙවිකයන් හා සමාජ විප්ලවවාදීන් මෙන්* තමන්ගේම පටු අරමුණකට ඌනනය කරන්නේ නම්  හේ ඉහත කී අවස්ථාවාදයේ කුමන හෝ ප‍්‍රවනතාවයකට ඇද වැටෙන්නේ ය. සංවිධානමය වශයෙන් නිළධාරිවාදී, කුමන්ත‍්‍රණකාරී හැඩගැස්මක ම පිහිටන්නේ ය.     
මේ අර්ථයෙන් බලනවිට ලාංකේය වාම ව්‍යාපාරය එක් හෝ තවත් අන්තයකට ගමන් කරමින් සිටිනවා හැර බහු ජනතාව වැළඳගන්නා විප්ලවීය ව්‍යාපාරයක් බවට පත් නොවීම තේරුම් ගත හැකි ය. 53 හර්තාල් ව්‍යාපාරයට මදක් එබී බලන්න. 1952 පැවති මැතිවරණයේ දී එජාපය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට ජනතාව මත තව තවත් බර පැටවීම හේතුකොටගෙන ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය අහිමිකරගත්තා පමණක් නොව ක‍්‍රමිකව වැඩෙමින් පැවති  ඔවුන්ගේ සක‍්‍රීය විරෝධයට ද පාත‍්‍ර විය. එහි උච්ඡුතම අවස්ථාව ලෙස 53 අගෝ. 12 විරෝධතා ව්‍යාපාරයක් (හර්තාලයක්) වම විසින් ප‍්‍රකාශයට පත් කෙරෙයි. ප‍්‍රධාන වශයෙන් බස්නාහිර, දකුණ හා සබරගමුව පළාත්වල පැතිර ගිය එම ව්‍යාපාරය තුළ කුලය වර්ගය ආගම නොසලකා දහස් ගණන් පීඩිත ජනකොටස් ඒකරාශි වූහ. සාමාන්‍ය විරෝධය පෑමේ සිට වැඩ වර්ජන, බැරිකේඞ් දැමීම, ප‍්‍රවාහන සහ තැපැල් හා විදුලි පණිවුඩ සේවා ඇනහිටුවීම, දුම්රිය ස්ථාන අත්පත්කර ගැනීම, සමහරතැන්වල කුඩා පාළම් පුපුරවා හැරීම වැනි සිදුවීම් සමගින් එය ලංකාව තුළ ධනවාදයට එරෙහි පළමු  මහා ජනතා නැගිීටීමක් සළකුණු කරයි. පොදු ජනතාව ගේ විප්ලවවාදී උද්වේගය මෙසේ ප‍්‍රකාශයට පත්වීමත්, ආණ්ඩුව වරායේ නවතා තිබූ නැවකට පසුබසිමින් හා ඩඞ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ධනපති පංතියේ දුර්වල, වැනෙන සුළු, අධිෂ්ඨාන විරහිතභාවය ප‍්‍රකාශවීමත් සමගින් ඉතිහාසයේ සංධිස්ථනායක් නිර්මාණය විය. වැදගත් ප‍්‍රශ්නය නම් මේ  ඉතිහාසයේ සංධිස්ථානය කෙරෙහි විශ්වාසය තබමින් (ලෙනින් - තෝ .කෘති 6 වෙළුම, 134 පිට)

* තීරණාත්මක හැරවුමක් ගැනීමට ලසසප හෝ කොප නායකත්වය සූදානම් බවක් පෙන්වූයේ ද යන්නය. නැත. නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනාගැනීමේ  විප්ලවීය දැක්මක් හෝ උවමනාවක් නොතිබූ බවත් ඒ හේතුව නිසාම විප්ලවීය පක්ෂයක් සහ ඒ වටා කම්කරු පංතිය හා පීඩිත පංතික බලවේගයන් සංවිධානයකිරීමේ උපාය මාර්ගයක් නොතිබූ බවත් පසු දින මහා ජනතා නැගිීටීම නැවැත්වීමට ගත් තීරණයෙන් ම පැහැදිලිවෙයි. මහමග වැතිර මාර්ග බාධකයක් බවට පත්වීමට තරම්  එඩිතරකමක් පෙන්වූ  පීඩිත පංතික ගැහැණු සහ පිරිමි (රන්දොඹේ* පක්ෂයේ නායකත්වයෙන් මහජන කමිටු වැනි බහුජන සංවිධාන අකෘතින් තුළ ස්ථානගත කීරීමේ සංවිධාන උපාය මාර්ගයක් අරගලයට පූර්වයෙන් හෝ අවම වශයෙන් රන්දොඹේ ආදර්ශය අරගල භූමිය පුරා පැතිර යද්දී ඒ  අතරතුර ක්ෂණිකව හෝ  මතුකර ගැනීමට තරම් දැක්මක්  එදා වමේ පක්ෂවලට   තිබී නැත.  වඩාත් හාස්‍ය ජනක දේ නම් එවකට ලෝකයේ ප‍්‍රබල ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ ලසසපය,  පෙට්‍රොග‍්‍රෑඞ් කම්කරු සභාවේ -සෝවියට් සභාවේ සභාපති වූ ට්‍රොට්ස්කි ගේ පංති අරගල දේශපාලන භාවිතය අහලකින්වත් නොයාම ය.
මීල`ගට අපි ජවිපෙ වෙත පිවිසෙමු. ජවිපෙ නායකත්වයෙන් 71 සහ 88 දී සන්නද්ධ අරගල දෙකක් ම දියත් කෙරී ඇත. එම අරගලයන් දෙක ම එම පක්ෂයේ පිළිගැනීම අනුව සමාජවාදී සමාජයක් එනම් නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනා ගැනීම අරමුණුකරගත් ඒවා ය. 71 වනවිට සිදුවී තිබුණේ  කෙලින්ම පක්ෂය සංවිධානය කිරීමත් එම පක්ෂයම සන්නද්ධ හමුදාවකට පරිවර්තනය කිරීමත් ය. පුද්ගලයන් සවිඥානගත කිරීමේ හා ඔවුන් උරගා බැලීමේ විධික‍්‍රමයක් වශයෙන්  යොදාගත්තේ පංති පහ හා අධ්‍යාපන කඳවුරු ය. අනතුරුව ඔවුන් අවම  මට්ටමක හෝ පුහුණුවක් නැතිවම සන්නද්ධ ප‍්‍රහාරයකට යොමු කරනු ලැබීණ. කළ යුත්තේ පළමුව පුද්ගලයා බිම්මට්ටමේ බහුජන අරගල ව්‍යාපාරයක් තුළ ගොනුකර ඒ මගින් දැනුවත් කිරීමේ හා පුහුණුකිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කර දෙවනුව පක්ෂයේ ද්වීතියික සංවිධාන තුළ පිහිටුවා වැඩිදුරටත් හැඩගස්වා න්‍යායික දැනුමෙන් ද සන්නද්ධකර   තිරසර විප්ලවවාදියෙකු  බවට පරිවර්තනය කිරීමෙන් පසුව පමණක්  පක්ෂයට උරා ගැනීම ය. එවැනි   විප්ලවීය ප‍්‍රායෝගික පාසලක ලබාදෙන අධ්‍යාපනයට හා පුහුණුවට පංති පහ සහ කඳවුරු අධ්‍යාපනය කිසිසේත් සමකළ නොහැකි ය. ඉන් සිදුවූයේ පුද්ගලයා සමාජයෙන් උගුල්වා සෘජුව පක්ෂය තුළ පැළ කිරීම ය. අනතුරුව පක්ෂ සංස්කෘතියට අනුව හැඩගැස්වීම ය. මෙය විප්ලවීය පක්ෂයකට වඩා යම් ආකාරයක නිකායක්  බඳු විය. පොදු ජනතාව සමග සංයෝග වීම වෙනුවට සිදු වුණේ ජනතාවගෙන් ඔවුන් වෙන්කර පෙන්වන පැහැදිලි හිස් අවකාශයක් නිර්මාණය වීම ය. මෙසේ තිබියදීත් ජවිපෙ යම් ජනප‍්‍රියතාවයක් දිනාගෙන සිටි බව සත්‍යයකි. ඒ, නිිසි මග පෙන්වීම නිසා එය වටා ගොඩ නැගුණ අනුගාමිකත්වයක් හේතුකර ගෙන නොව  හොර මැර වංචා දූෂණවලින් පිරි ධනපති දේශපාලන ව්‍යාපාරය සමග ජවිපෙ සංසන්දනය කර බලද්දී එහි ක‍්‍රියාකාරීන්ගේ අවංකබව, කැපවීම හා වංචා දූෂණවලින් තොරවීම ගැනත් අමතරව පසුකාලයේ ඔවුන්ගේ ජාතිකවාදි සටන් පාඨ ගැනත්  ඇති වූ හුදු කැමැත්ත ප‍්‍රකාශවීමක් වශයෙනි. මේ තත්ත්වය පංතිමය පෙළගැස්මක් වන්නේ නැත. කළ යුතු වූයේ විප්ලවීය පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන විෂයබද්ධ පීඩිත පංතික සටන්පාඨ ඔස්සේ ඉදිරියට යන්නට ජනතාව පෙළ ගැස්වීම ය. පංතිමය පෙළගැස්මක් වන්නේ එවිට ය. ජවිපෙ මුදාහල  ප‍්‍රචණ්ඩත්වයේ හා පටු ජාතිකවාදයේ තෙරපුම යටතේ 88-89 අරගලයේ දී යම්  ප‍්‍රමාණයක ජන සහභාගිත්වයක් ලැබී තිබුණ ද එය පොදු ජන අරගල ව්‍යාපාරයක් වූයේ නැත.  වෙනත් නම්වලින් පෙනී සිටියත් එතැන තිබුණේ පක්ෂය ම ය. 
  ලෙනින්වාදයට අනුව, ලාංකේය නිර්ධන  පංතික දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම  යන්නෙන් අදහස් වන්නේ නැතිනම් එහි සංයුක්තව ඇත්තේ කම්කරුවන්්  ගොවීන් සෙසු පීඩිත පංතිකයින්, පීඩිත ජාතීන්  සහ ප‍්‍රගිතිශීලීන්  අයත් විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරය සහ නිර්ධන පංති පක්ෂය යන ද්විත්වය අන්‍යොන්‍ය සම්බන්ධිතව ගොඩ නැගීම ය. ඒ අනුව විප්ලවවාදී පක්ෂයක කාර්ය භාරය බැහැර කරමින් පොදුජන අරගල ව්‍යාපාරයක් ගැන සිතීම හෝ පොදුජන අරගල ව්‍යාපාරයක කාර්යභාරය බැහැරකරමින් විප්ලවවාදී පක්ෂයක් ගැන සිතීම හෝ කළ නොහැක්කකි. විප්ලවීය පක්ෂයක මග පෙන්වීම නොමැතිව පොදුජන අරගල ව්‍යාපාරයක් පැන නැගිය හැකිමුත්  එය නිර්ධන පංති විප්ලවයේ ජයග‍්‍රණයෙන් නොව තවත් ‘අරාබි වසන්තයකින් ’ ම කෙළවර වන්නක් බව අපි දනිමු. එසේම පොදු ජන අරගල ව්‍යාපාරයක් නොමැතිව, ලෙනින් කියන විදියට නිර්ධනයින්ගේ සහ නිර්ධනයින් නොවන වැඩකරන ජනතාවගේ ප‍්‍රමාණවත්  සහයෝගය ප‍්‍රකාශ කෙරෙන ව්‍යාපාරයක්  නොමැතිව  විප්ලවවාදී පක්ෂය කෙලින්ම සටනට පිවිසෙන්නේ නම් එය සිය දිවිහානිකර ගැනීමකට සමාන වෙයි. පළල් හා පොහොසත් පසුමුණක් නැතිව පෙරමුණු බල ඇණියකට පමණක් සටනක් සාර්ථකව ජයග‍්‍රහණය කළ නොහැකි ය. අපට විප්ලවීය පොදුජන අරගල වේදිකාව නුහුරු නුපුරුදු තැනකි.  මක්නිසා ද තමන්ගේ පාරිශුද්ධ කුටුම්භ වටා මහා පවුරක් අටවාගෙන  පේමන්ට් එකේ මැජික් පෙන්නන්නා වගේ ‘එන්න අප වටා එක්වන්න’ කියා අ`ඩගාන දේශපාලනය  හෝ එහෙමත් නැතිනම් මොනම ඉදිරි දැක්මක්වත්  නැතිව එදාවේල පිරිමහ ගන්නා ආකාරයේ ‘ඇක්ෂන්’ දේශපාලනයේ නියැලීම දන්නා, පුරුදු එකම දේශපාලනය   වන නිසාය. මේ දෙආකාරයෙන්ම මිදිය යුතු ය. අවශ්‍ය වන්නේ  සියළු බලය තමන් අතට පත් කෙරෙන ආකාරයේ තමන්ගේම බල ව්‍යුහයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය හා හැකියාව  සියළුම  වැඩ කරන පීඩිත  ජනතාවට වටහා දීමය. විප්ලවීය  කලලය බිහිකර ගැනීම  සඳහා මග පෙන්වීම ය. පුහුණු කිරීම ය. නායකත්වය දීම ය. එය කළ යුත්තේ විප්ලවීය පක්ෂ සහ සංවිධාන විසින්ය යන්න අවිවාදිත ය. මෙහිලා පළමු කොන්දේසිය සෝවියට් ව්‍යාපාරය ආකෘතිමය වශයෙන් නොගෙන එහි හරයවූ විප්ලවීය පොදුජන අරගල ව්‍යාපරය  යථාර්ථයෙන්ම ගෙන ග‍්‍රහණය කරගැනීම ය. ඒ විප්ලවීය සංස්කෘතිය ලාංකේය බිම මත ගොඩ නැගීම ය.
   දැන් අපි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි ප‍්‍රශ්නයක් ගැන අවධානය යොමු කරමු. කොමියුනය හෝ සෝවියට් ව්‍යාපාරය බිහිවුණේ අදාළ ජනතාවගේ ‘ස්වයං ක‍්‍රියාආරම්භත්වයෙන්’, අරගල බිමෙහි ඒ ඒ මොහොතෙහි ය. ඒ ඒ ඓතිහාසික තත්ත්වයන් යටතේ ය. ඒ නිසා එම සංකල්පය  එයාකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමට  උත්සාහ දැරීම ප‍්‍රායෝගික ද? 1905 පළමු සෝවියට් සභාව බිහිවීමට පාදක වූ කරුණ  කම්කරුවන්ගේ වැඩවර්ජනය  යන තේරුමෙන් එය ‘ස්වයං ක‍්‍රියාආරම්භත්වයක් ’ ලෙස සැලකිය හැකි ය. නමුත් එය සාමාන්‍ය වැඩවර්ජන මෙහෙයුම් කමිටුවකට වඩා ‘බලය’ අත්පත්කර ගැනීමේ දිශාවට යොමුවූ කම්කරුවන්ගේ ආයතනයක් බවට පත්වන්නේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් (බොල්ෂෙවික් හා මෙන්ෂෙවික්), සමාජ විප්ලවවාදීන් හා වෙනත්  විප්ලවවාදී හා ප‍්‍රගතිශීලී කවයන්ගේ මැදිහත්වීමෙන් ය, මෙහෙයවීමෙන් ය. පසු කාලයේ ඒ සඳහා වඩාත් තෙරපුමක් ඇති කරන්නේ ලෙනින් ය. මෙහිදී ලෙනින් කළේ පැරිස් කොමියුනය අනුකරණය කිරීමක්  නොව සෝවියට් සභාවේ  අඩංගු කොමියුනයක  විභවය  හඳුනාගෙන එය   ඉදිරියට ගැනීම ය.  පැරිසියේ දී ‘කොමියුනය’ බවට පත්වන්නේත් රුසියාවේදී ‘සෝවියට් සභා’ බවට පත්වන්නේත්  විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයම ය. එහි ජාතික ස්වරූපයන් ය. වෙනත් රටකදී එම ව්‍යාපාරය එම රටේ ජාතික අනන්‍යතාවයකික් පැන නැගිය හැකි ය. මිනිසා පරිකල්පන හැකියාව ඇත්තෙකි.  ඔහු තමන්ගේම සෘජු අත්දැකීම් මගින් උගන්වන තෙක් බලා නොසිටීයි. අතීතය පරිකල්පනය කර ඒ අනුව ඔහු වර්තමානය නිර්මාණය කරගනී. ලාංකේය විප්ලවීය ව්‍යාපාරය කොමියුනය හෝ සොවියට් සභා අනුසාරයෙන් විප්ලවීය පොදුජන ව්‍යාපාරයක දේශීය අකෘතියක් නිර්මාණයකර නොගත යුත්තේ ඇයි? විප්ලවීය ආණ්ඩුවක කලලය සොයා නොගත යුත්තේ ඇයි? විප්ලවයේ පොදුජන ස්වරූපය ගැන වැටහීමක් ඇති නම් විප්ලවීය පක්ෂයකට මේ පිළිබඳ සංකල්ප මාත‍්‍රයක් හෝ තිබිය යුතු ය. එබැවින්  අපට ඇත්තේ කොමියුනය ද සෝවියට් ද යන නාමකරණය පිළිබඳ  ප‍්‍රශ්නයක් නොව,  ඒවායේ හරය මත පිහිටා  ලාංකේය විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම පිළිබඳ ප‍්‍රශ්නයකි. විප්ලවීය රාජ්‍ය බලයේ කලලය සොයා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයකි .
ලාංකේය  විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම අපේ වාමාංශික පක්ෂ සහ සංවිධානවල ප‍්‍රයත්නයෙන්ම සිදුවි යුත්තකි. අවශ්‍යවන්නේ ප‍්‍රථමයෙන් ඒ පිළිබඳ දැක්මක්, දෘෂ්ටිමය වටහාගැනීමක් ලබා ගැනීම ය. දැනටමත් ගොඩ නැගී ඇති වාම පක්ෂ, සංවිධාන හා පුද්ගලයන්ගේ එකතුව තුළ ද ඉන් බාහිරව ද මේ පිළිබඳ ගැඹුරු සංවාදයක් මතු කර ගැනීම අවශ්‍යය. වාම එකතුව පවත්වා ගෙන යමින්ම එම පක්ෂ, සංවිධාවල මැදිහත්වීමෙන් නමුත් ඊට බාහිරින් විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයට මුල්ගල තැබිය හැකි බව අපේ විශ්වාසය යි. පළමු වටයට අපට හැකියාව ඇති වඩාත් වැදගත් කලාපයන් තෝරා ගෙන එම කලාපයන්හි වාම සහ ප‍්‍රගතිශිලී කොටස් ඒකරාශිකර (මේ අදහස ඔවුන්ට ඒත්තු ගන්වමින්) ඔවුන්ගේම සටන් මධ්‍යස්ථානයන් ගොඩ නගා ගැනීමට මග පෙන්විය යුතු ය. ඒවා හුදෙක් එම කලාපයන්හි මානව අයිතීන් හෝ පරිසරය හෝ සුරැුකීමේ සංවිධාන, ගොවි සංවිධාන හෝ වෙන යම් පාර්ශවීය සංවිධානම නොව ධනපති ආර්ථික හා දේශපාලන අධිකාරිත්වය නම් සමස්තයට එරෙහිව අභියෝගාත්මකව නැගී සිටින පොදු සටන් මධ්‍යස්ථාන බව ආරම්භයේදීම නිශ්චය කරගත යුතු ය. නමුත් ඉහතකී වර්ගයේ  ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට මධ්‍යස්ථානයට සම්බන්ධවිය හැකි ය. අනෙක් වැදගත් කරුණ නම් මෙහි ආරම්භය ජාතික ව්‍යාපාරයක ස්වරූපයෙන් නොව එකිනෙකෙන්  ස්වාධීන ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන ලෙස ගොඩ නැගීම ය.  ඉහළින් ඇති ආගන්තූක ‘ජාතික  විධායක කමිටුවකින්’ නියෝග දීම, උපදෙස් දීම හෝ මෙහෙයවීම කරන්නට යන පළමු මොහොතේම එය ශාඛාවක තත්ත්වයට පත්වෙයි. තමන්ගේම පොදු තීරණයන් මගින් එළඹෙන ක‍්‍රියාරම්භකත්වයට  එම මධ්‍යස්ථානයන්ට ඉඩ දිය යුතු ය. වර්ධනය වන තත්ත්වයන් විසින් ඉල්ලා සිටින විට මේ සියළු මධ්‍යස්ථානයන් ජාතික සමුළුවක් තුළ ඒකාබද්ධකළ හැකි ය. ජාතික මට්ටමේ පක්ෂ සහ සංවිධානගත සාමාජිකයන් තමන්ගේ ජාතික හෝ කලාපීය උපාය මාර්ගයන්  ඒ තුළ ජයග‍්‍රහණය කරවීම  ඒවා  තර්කානුකූලව ඒත්තු ගැන්වීම මගින් පමණක් කළ යුතු ය. එසේ නැතිව කවර උපායයක් හෝ යොදා  තමන්ගේම නායකත්වය යටතට,  ලෙනින් කියන විදියට  ‘තමන්ගේ බැනරය’ යටතට ගන්න දරන උත්සාහයන් එහි ජීවය රැුඳී ඇති මතවාදිමය අරගලය වගේම බිමේ ප‍්‍රායෝගික අරගලය ද  ප‍්‍රතික්ෂේප කිරීමකි. මෙය එක අතකින් තමන්ගේ සාමාජිකයන්ගේ තර්ක බුද්ධිය මොටකර දමන අතරම අනෙක් අතින් පීඩිත ජනතාවමත් එවැනි තත්වයකට ඇද දමයි. විවිධත්වය ඉවසන, තර්කානුකූලව සිතන, සැබෑ බිමේ කෙරෙන අරගලය තුළින් ලබන පන්නරය ඇති  පංතියේ ක‍්‍රියාකාරීන්,  නායකයන් බිහිවන්නේ ද අනෙක් අතට නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණියෙහි පංති විඥානය, විප්ලවය කෙරෙහි වූ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වය ප‍්‍රකාශ කෙරෙන්නේ ද මෙවැනි ව්‍යයාමයක් තුළ පමණි. එය සැබෑ විප්ලවවාදීන් පෙරා වෙන් කරන පෙරණයක් වැනි ය. 
විප්ලවීය  පක්ෂයක්,  සංවිධානයක් ජනතාව සමග සංයෝග වෙමින් සිය දේශපාලන දෘෂ්ටිය, වැඩපිළිවෙල, උපාය මාර්ගය , ක‍්‍රියාමාර්ගික සැලසුම් සහ දේශපාලන නායකත්වය  ආදියෙහි නිවැරදිබව, හා ඒවා නිවැරදිබව ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනෙන්ට සලස්වමින් නිර්ධන පංති විප්වයේ ජයග‍්‍රහණය කරා ජනතාව මෙහෙයවීමේ ලෙනින්වාදී විධික‍්‍රමය එයය යන්න අපේ අවබෝධය යි.
 

පීපල්ස් මාච්

Sunday, May 12, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 5

සෝවියට් සභා විප්ලවීය ආණ්ඩුවක කලලයකි
අපේ කාර්යභාරය හා කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව  නම් ලිපියෙහි ලෙනින් අවධාරණය කරන තවත් වැදගත් කරුණක් නම් දේශපාලන වශයෙන් සෝවියට් සභා තාවකාලික විප්ලවීය ආණ්ඩුවක කලලය ලෙස සැලකිය යුතුය යන්න ය. මෙම ඉදිරිපත් කිරීමේදී ඔහු  මාක්ස්වාදයේ වැදගත් මූලික සංකල්පයක් වන රාජ්‍යය පිළිබඳ න්‍යාය සෝවියට් සභා සමග එක එල්ලේ සම්බන්ධකර ඇත. වැඞී වර්ධනය වීමට නියමිත යම්කිසිවක මූලික ගති ලක්ෂණ සියල්ල අඩංගුකරගත් එහි ප‍්‍රාථමික අවධිය කලලය නමින් හඳුන්වයි. 1905 ප‍්‍රථම සෝවියට් සභාව විප්ලවීය ආණ්ඩුවක මූලික ගති ලක්ෂණ අඩංගුකරගත් කලලයක් වී ද? එක් අතකින් පාර්ලිමේන්තුවකින්  පනවන ලද නීති මගින් බැහැරව ජනතාව තමන්ගේ ප‍්‍රදේශවල සිට කෙලින්ම බලය අල්ලා ගැනීම මගින් ද ප‍්‍රතිවිප්ලවීය හමුදාවන්ට එරෙහිව කම්කරුවන්ගේ සන්නද්ධ සේනාංකයන් ගොඩනගා ගැනීම මගින් ද අනෙක් අතට කම්කරුවන් විසින් සෘජුව නියෝජිතයින්  තෝරාපත්කර ගැනීම මගින්  සහ එය විසින්ම නියෝග පනවමින්  හා ක‍්‍රියාත්මක කරමින් ව්‍යවස්ථාදායක හා විධායක බලය එක්තැන් කිරීම මගින් ද සෝවියට් සභාව විප්ලවීය ආණ්ඩුවක මූලික ලක්ෂණ පෙන්නුම් කළේ ය. 
එක් පැත්තක පැරණි රුසියාව වෙනුවෙන්   සූරාකෑමේ, පීඩනයේ සහ මිනිසාට එරෙහි ප‍්‍රචණ්ඩත්වයේ සියළු දුෂ්ඨ බලවේගයන් නිළ රාජ්‍යය තුළ සංවිධානයවී සිටී.  අනෙක් පැත්තේ  නිදහස සහ සමාජවාදය වෙනුවෙන්  සියළු පීඩිත ජනතාවගේ සහ සාධාරණත්වය අගයන බුද්ධිමතුන්ගේ විප්ලවීය බලවේගයන්   නැගී එන සෝවියට් සභා තුළ හිඳිමින්  මුහුණට මුහුණලා අරගලයක යෙදී සිටී.  එය සාමාන්‍ය වශයෙන් ජනතාව වෘත්තීය සමිති හෝ සමූපකාර සමිති තුළ සංවිධානයවී සිටිනවාට වඩා වැඩි දෙයක් යනුවෙන් ලෙනින් පැහැදිලි කරයි.  එහි සියළු ලක්ෂණ වෙතින්, එම ලක්ෂණ තවමත් නොදියුණුව පැවතුණ ද  නිර්ධන පංතියේ දේශපාලන ආධිපත්‍යයයේ  මුලික ලක්ෂණ  ප‍්‍රකාශ කෙරෙයි. එම අර්ථයෙන්  සෝවියට් සභා නව විප්ලවීය රාජ්‍ය බලයක කලලයක් වෙයි.
1905 විප්ලවයේ පරාජය  ජනතාව දිගු කලකට අධෛර්යට පත් කළේ ය. දැනුවත් විප්ලවවාදීන් ජනතාව මත පැතිරවූ බලපෑම හීන කළේ ය. එදා පොලිස් ප‍්‍රහාරයකට එරෙහිව එකාවන්ව නැගී සිට වැඩවර්ජනයේ යෙදුන කම්කරුවෝ  දැන් ආණ්ඩුවේ කෲර අපරාධයන්ට වුව ද කිසිදු විරෝධයක් නොපා  ඉවසා සිටිති. එහෙත්  1914 දී හටගත් යුද්ධය හා එහි  රුසියානු පංගුකාරිත්වයත් විසින් කම්කරු පංතිය සහ සෙසු පීඩිත පංතීන්  මත ඇතිකරන ලද පීඩනය ඔවුන්  නින්දෙන් අවදි කළේ ය.  පීතෘ භූමිය ආරක්ෂා කිරීමේ ආණ්ඩුවේ මෝහනීය ප‍්‍රකාශ නිශ්ප‍්‍රභා කෙරිණි. නව දේශපාලන හැරීමක්, වඩා ඉහළ තලයකින් ඇරඹිණ. කම්කරු වැඩවර්ජන නැගිටීම් බවට පත්විය. ගොවීහු ද  සොල්දාදුවෝ ද කම්කරුවන් අනුගමනය කළහ. ප‍්‍රතිඵලය නම් 1917 පෙබරවාරි 27 සාර් බලයෙන් නෙරපා දැමීම ය. එදිනම වෘත්තීය සමිති,  සමූපකාර සමිති සහ පක්ෂ නායකයෝ රැුස්ව 1905 ආදර්ශයට ගනිමින් සෝවියට් සභාවක් කැඳවූහ. අපේ‍්‍රල් වනවිට නගර, ගම් කරා පැතිරෙමින් සෝවියට් සභා වඩාත් පැතිරුණු හා සංකීර්ණ මෙන්ම වඩාත් විප්ලවීය මහජන ව්‍යාපාරයක් බවට පත්විය. සෝවියට් ව්‍යාපාරයේ ප‍්‍රධාන අවිය වුනේ වැඩ වර්ජනය යි. නිර්ධන පංතියේ සියළුම කණ්ඩායම් සමග සෘජු සම්බන්ධාතාවයන් තබා ගනිමින් එය මුළු වැඩකරන ජනතාවගේ  බලය හා අධිකාරිත්වය ප‍්‍රකාශ කළේය. නිෂ්පාදන මාර්ගයන්ගේ අයිතිය ධනපතින් සතුව තිබුණත්, රාජ්‍ය නිළ බලය නිළධාරි තන්ත‍්‍රය අත තිබුණත් රටේ එදිනෙදා  ආර්ථික ක‍්‍රියාකාරිත්වය හා රාජ්‍ය පාලනය අක‍්‍රීය කිරීමෙහි ශක්තිය එය සතු විය. ජනතා බලය සැබවින්ම සෝවියට් සභා මත රදීපැවතියෙන් නිළ තාවකාලික ආණ්ඩුව නාමික එකක් විය. කම්කරුවෝ, සොල්දාදුවෝ  තාවකාලික ආණ්ඩුවේ නියෝග නොතකා  හැර සෝවියට් සභා නියෝග ක‍්‍රියාත්මක කළහ. සෝවියට් ව්‍යාපාරය අත්කර ගනිමින්  තිබූ මේ බලය එහි නායකත්වයේ සිටි සුළු ධනපති සමාජ විප්ලවවාදීන් හා මෙන්ෂෙවිකයන් (1917 ජුනි 3 දින පැවැත්වූ කම්කරු හා සොල්දාදු නියෝජිතයින්ගේ සෝවියට් සභා ප‍්‍රථම සමුළුවට සෝවියට් සභා 400 ක 1090 ක් නියෝජිතයින්   සහභාගි වී ඇත. ඉන් 285 ක් සමාජ විප්ලවවාදීන් ද 248 ක් මෙන්ෂෙවිකයන් ද නියෝජනයකර ඇත. බොල්ෂෙවිකයන් නියෝජනයකර ඇත්තේ 105 ක් පමණි.* යොදාගත්තේ ධනපති සභාග ආණ්ඩුවකට ඇතුල්වීමට ය, ඒ සමග කේවල් කිරීමට ය.
කවර ආකාරයක හෝ ස්ථාවර  පාලනයක් වීමට නම් ආර්ථික හා දේශපාලන වශයෙන් සමස්ත සමාජය මත තනි ආධිපත්‍යය පැතිරවීම අත්‍යාවශ්‍ය වුව ද දැන් එම කොන්දේසිය බිඳවැටී ධනපති ආණ්ඩුව වන  තාවකාලික ආණ්ඩුව සමග එක පෙළට සිටින සේ තවත් ආණ්ඩුවක් නිර්මාණය වී තිබේ. ( ලෙනින් - ද්විත්ව බලය) ආණ්ඩුව පෙරළා දැමිය යුතු වුව ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පංති විඥානය හා සංවිධානය ප‍්‍රමාණවත් නොවීම නිසා සෝවියට් සභාවල ආධාරය මත එය තවමත්  රැුඳී පවතී. ද්විත්ව බලය  තරමක දිගු කාලයක් පුරා ඇදී යන්නේ මේ හේතුව නිසා ය. සෝවියට් සභාවල විප්ලවීය හරය සලකා ඉදිරිපත් කළ සියලූ බලය සෝවියට් සභාවලට යන බොල්ෂෙවික් සටන් පාඨය ප‍්‍රතිපත්තිමය වශයෙන් නිවැරදිය. එහෙත් එහි නියම අරුත ප‍්‍රකාශ වන්නේ  සුළු ධනපතිවාදී නායකත්වයෙන් තොර සෝවියට් සභා සම්බන්ධයෙන් බවට ලෙනින් කරුණු දක්වයි. මිනිස් වර්ගයා විසින් මෙතෙක් පරිණාමයකොට ගෙන ඇති උසස්තම ආණ්ඩු ආකෘතිය - සෝවියට් සභා - මෙසේ විකෘතියක් වී ඇතිවිට ධනපති පංතිය සමග බෙදාගත් බලයක් සඳහා නොව නොබෙ¥ තනි බලයක් නිර්ධන පංතිය වෙත දිනා ගැනීම කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියා මගින් නොව, ‘අතිධාවනකාරී ක‍්‍රියා මගින් නොව, නිර්ධන පංතියේ සිත් සතන් පිරිසිදු කිරීමෙන්, ඔවුන් ධනපති බලපෑමෙන් නිදහස් කරගැනීම මගින් කළ යුතු කාර්යයක් බව ලෙනින් අවධාරණය කරයි. සැබෑ අත්දැකීම් ලැබීමෙන් හා ඒ සමග බොල්ෂෙවිකයන් ගෙනගිය ඉවසිලිමත්ව කරුණූ පෙන්වාදීම මගින් නිර්ධන පංතිය බොල්ෂෙවිකයන් වටා එක්වූහ. ඒ අනුව 1917 නොවැම්බර් මස පවත්වන දෙවන සමුළුවේ සංයුතිය වෙනස් විය. සෝවියට් සභා 318 ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගි වූ නියෝජිතයින් 649 න් 390 ක්ම බොල්ෂෙවිකයෝ වූහ. සමාජ විප්ලවවාදීන් 160 කි. මෙන්ෂෙවිකයින් 72 කි.  ද්විත්ව බලය අහෝසිවී විප්ලවය ජයග‍්‍රණය කළේය. මෙසේ සෝවියට් සභා දැඩි ලෙස අවස්ථාවාදයට යටත්ව තිබූ වකවානුවලදී පවා නිර්ධන පංති විප්ලවයේ මූලික කොන්දේසි වෙතින් බැහැරවීමට හෝ  සෝවියට් සභා ව්‍යාපාරයෙන් ඉවත්වීමට හෝ ලෙනින් පෙළඹී නැත. ස්වයං ආරම්භකත්වයෙන් පැන නැගි කම්කරු පංතික අරගල ම්‍යස්ථානයක් කම්කරුවන්්, ගොවීන්, සොල්දාදුවන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන් ඇතුළු සියලූ පීඞීත කොටස් වැළඳගත් දැනුවත්, සංවිධිත පොදු අරගල ව්‍යාපාරයක් බවටත් එතැනින් එය නිර්ධන පංතික රාජ්‍ය බලයක් බවටත් පත්වීමේ ඉතිහාසය යනු  බොල්ෂෙවික් ව්‍යාපාරය හා සෝවියට් සභා ව්‍යාපාරයේ අනොන්‍ය සම්බන්ධතාවයේ ඉතිහාසයයි.
එහෙත් අපේ මෑත වාම ව්‍යාපාරයේ ඉතිහාසය කියාපාන්නේ කුමක් ද? ඒ ඓතිහාසික ව්‍යාපාරය එහි වර්ධනයේ නිසි සම්බන්ධතාවයන් තුළ ගෙන පිරික්සා බලා ඇති ද? පසු කාලයක හෝ එය ගැඹුරින් අධ්‍යයනය කර ඇති ද? එසේ නොකිරීමෙන් අප ගමන්කර ඇත්තේ ප‍්‍රථමකොට නිර්ධන පංතික සිත්සතන් පිරිසිදු කිරීම, නිර්ධන පංතිකයන්  ධනපති පංතික බලපෑමෙන් නිදහස්කර ගැනීම නම් යෝධ මහජන ව්‍යාපාරය ගොඩනැගීම වෙත නොවන බව ය. ලෙනින්  එහි හරය ග‍්‍රහණය කරගෙන විප්ලවයේ ජයග‍්‍රහණය කරා එය යොමු කර ඇත. අපි එය නැගීසිටීමේ ආකාරයක් ලෙස, එය ද උඩින්පල්ලෙන් සලකා බැහැරකර අතිධාවනකාරී අරගල කරා ගමන් කර පරාජයන් අත්විඳ ඇත්තෙමු. ඇත්තවශයෙන්ම රුසියානු විප්ලවයේ උච්ඡුතම අවස්ථාව වූ නැගීසිටීමේ මූලික මෙහෙයුම් කටයුතු දියත් කළේ ද සමස්ත  සෝවියට් සභාවන් විසින් නොවේ. එය කළේ නොවැම්බර් වනවිට බොල්ෂෙවිකයන් ගේ නායකත්වය යටතට පත්ව තිබූ පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියට් සභාව විසින් ය. ඒ නිසාම අනෙක් පාර්ශවයන් නැගිටීම බොල්ෂෙවික් කුමන්ත‍්‍රණයක් ලෙස හංවඩුගසා එය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළහ. නමුත් බොල්ෂෙවිකයන් බලය අල්ලානිමින් සෝවියට් සභා විප්ලවයේ බල කේන්ද්‍රස්ථානයෙහි පිහිටවූහ.
සෝවියට් සභා නිර්ධන පංති රාජ්‍ය බලයේ ආකෘතියක් ලෙස
විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු  ව්‍යවස්ථාපිත  ජනතා පාලනයක් බවට පත්වෙමින් එම කලලය එහි නිසි පරිනත අවධියට ළ`ගා විය. 1919 අගෝස්තු 24 ලෙනින්, ඒ ගැන මෙසේ කියයි.
ව්‍යවහාරයේදී ‘කම්කරු පංතියේ ආඥාදායකත්වය’ යනුවෙන් අදහස් වන්නේ ප‍්‍රාග්ධනය දෙසට නැඹුරුවීමක් නොව, එයට විරුද්ධව සටන්කිරීම සඳහා වූ වැඩකරන ජනතාවගේ සන්ධානයකි, කම්කරුවන්ගේ හා ගොවියන්ගේ රාජ්‍ය බලයකි, සෝවියට් රාජ්‍ය බලයකි. ( තෝ. කෘ 10,  97පිට)
ලෙනින් සෝවියට් සභා රුසියාවට පමණක් අදාළ කරගැනීමෙන් නොනැවතී ලෝකයේ  ඕනෑම තැනක තිබිය හැකි, කම්කරු පංතියේ හා එහි නායකත්වය දරන නිර්ධන පංතියේ ආධාරය ලබන එකම පාලන ආකෘතිය විය හැක්කේ සෝවියට් පාලනයයි, නිර්ධන පංති ආඥාදායකත්වයයි, යනුවෙන් හංගේරියානු සෝවියට් ආණ්ඩුවට සුභ පතිමින් අවධාරණය කරයි. (තෝ. කෘති 9, 202 පිට) 1920 දී  යුනිවර්ෂල් සර්විස් ප‍්‍රවෘත්ති සේවයේ බර්ලින් වාර්තාකරු කාල් වීගන්ද් ලෙනින් වෙත යොමු කරන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ සමස්ත ලෝකයේම අනාගතය සෝවියට් ක‍්‍රමයට අයත් වන බව ය. (තෝ. කෘති 10 , 94 පි.) මෙලෙස ලෙනින් සෝවියට් පාලන ක‍්‍රමය ලෝකයට තිබිය හැකි එකම නිර්ධන පංති රාජ්‍ය ආකෘතිය ලෙස අවධාරණය කිරීමේදී යාන්ත‍්‍රිකවාදී මනෝරාජික ආස්ථානයකට ඇද වැටී ඇද්ද?  නැත.  ලෙනින් සියල්ල වාස්තවික සම්බන්ධතාවයන් තුළ තබා බැලූවෙකි. ඒ අනුව දේශපාලනය සකසා ගත්තෙකි. ඔහු සෝවියට් සභා හඳුනා ගන්නේ රාජ්‍යය පිළිබඳ, නිර්ධන පංති ආඥාදායකත්වය පිළිබඳ  මාක්ස්, එංගල්ස් ඉදිරිපත් කරන න්‍යායාත්මක මෙන්ම ජගත් විප්ලවීය කම්කරු ව්‍යාපාරය තුළින් ඔවුන් ලැබූ අත්දැකීම් මගින් වැඩිදුරටත් පෝෂණය කර ඉදිරිපත් කර ඇති  කරුණු සම්බන්ධයෙන් කරන ගැඹුරු හැදෑරීම මත පිහිටාය. 
මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් ප‍්‍රකාශනය මගින්  පංති අරගලයේ  වර්ධනය නියත වශයෙන්ම  යොමුව ඇත්තේ නිර්ධන පංතියේ ආධිපත්‍යය ගොඩනැගීම කරා බව පෙන්වා දෙයි. සකල විධ ප‍්‍රාග්ධනය ධනපති පංතියෙන් උදුරා ගැනීමත් පාලක පංතිය ලෙස සංවිධානය වූ නිර්ධන පංතිය අත සියලූ නිෂ්පාදන මාර්ග මධ්‍යගත කිරීමත් අධික වේගයෙන් නිෂ්පාදන බලවේගයන්ගේ සමස්තය වැඩිකරලීමත් සඳහා එම ආධිපත්‍යය ක‍්‍රියාකරනු ඇත යනුවෙන් එම ආධිපත්‍යයයේ විෂයපථය සම්පිණ්ඩනාත්මකව එහි දක්වයි. එහෙත් පොදු වැඩපිළිවෙලක් වූ  කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙහි නිර්ධන පංති ආධිපත්‍යයේ ආකෘතිමය ස්වරූපය (ආණ්ඩු ආකාරය) මෙසේ යැයි පෙන්වීමට තරම් ඔවුන් මනෝරාජික වී නැත. ඔවුන්ගේ ඇස් පනාපිට 1871 දී පැරිසියේ කම්කරුවන් ධනපති ආණ්ඩුව පෙරළා දමා ප‍්‍රථම නිර්ධන පංති රාජ්‍යය - පැරිස් කොමියුනය -පිහිටූවූ විට එය ළ`ගින් සිට නිරන්තරව අධ්‍යයනය කරමින් එහි පියවරක් පියවරක් පාසා විග‍්‍රහ කරමින් මාක්ස් ජාත්‍යන්තර කම්කරු සංගමයේ මහා මණ්ඩලය වෙත වාර්තා කර  ඇත. ඒ වෙනුවෙන් ප‍්‍රකාශ නිකුත්කර ඇත.  පැරිස් කොමියුනයේ පරාජයෙන් ස්වල්ප දිනකට පසු ප‍්‍රංශයේ සිවිල් යුද්ධය නමින් එම ලියවිලි කෘතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. පැරිස් කොමියුනයට ඇ`ගිල්ල දිගුකරමින් මාක්ස් එහි මෙසේ සටහන් කරයි. 
‘එය ඉඳුරාම කම්කරු පංතියේ ආණුඩුවක්, දේපළ අත්පත්කර ගන්නා පංතියට එරෙහි දේපළ නිපදවන්නාගේ අරගලයේ නිපැයුමක්, ශ‍්‍රමයේ ආර්ථික විමුක්තිය උදාකර ගැනීමට අවසානයේ  සොයාගත් දේශපාලන ආකෘතියක් විය.’
ප‍්‍රථම නිර්ධන පංති රාජ්‍යය දින 72 ට පමණක් සීමාවූව ද එය - කොමියුනය - කම්කරු පංතික ආණ්ඩුවක ආකෘතියක් ඉතිහාසයට හිමිකර දී ඇත. මාක්ස් සහ එංගල්ස්  පැරිස් කොමියුනයේ අත්දැකීම් මත පිහිටා  නිර්ධන පංති රාජ්‍යය පිළිබඳ සංකල්පය වඩාත් පෝෂණය කළ අතර ලෙනින් තමන්ගේම  දේශපාලන ව්‍යවහාරය තුළින්  එම සංකල්පය වඩාත් පැහැදිලි ලෙස විග‍්‍රහ කළේය. (කොමියුනය යනු දේපොළ පිළිබඳ සාමූහික අයිතිය හා පරිභෝජනය මත පදනම් වූ ජන සමූහයක් හැඳින්වීමට මධ්‍යකාලීන යුගයේ දී යුරෝපයේ භාවිත වචනයකි. පසු කාලයේ එම රටවල කූඩා පරිපාලන දිස්ත‍්‍රික්ක හැඳින්වීමට ද එම නම භාවිත කර ඇත.) 1871 පැරිස් කොමියුනය ගොඩනැගීමට නායකත්වය දුන්නවුන්ගෙන් බොහෝ දෙනෙක් ජාත්‍යන්තර කම්කරු සංගමයට සම්බන්ධව සිටි කොමියුනිස්ට්වාදීහු ද සමාජවාදී ද වූහ. පැරිස්වරුන්ට අමතරව පිටුවහළට ලක්ව සිටි රුසියන්, පෝලන්ත, ජර්මන්  වැනි වෙනත් ජාතීහු ද ඊට සහභාගි වූහ. ජර්මනිය විසින් වටකර පහරදෙමින් තිබියදීත් කොමියුනය ජර්මන් ජාතික කම්කරුවෙකු කම්කරු ඇමති වශයෙන් පත්කර ගනිමින්  සිය  ජාත්‍යන්තරවාදී ස්වරූපය පිළිබිඹු කළේය. වචනයේ එහි මුලික අර්ථයෙන් කොමියුනය දේපොළ පිළිබඳ සාමූහික අයිතිය හා පරිපාලනය ස්ථාපිත කරමින් තිබිණ. එහි මූලික ලක්ෂණ මෙසේය,
කොමියුනය ඡුන්දයෙන් තෝරාගත් එහෙත් කෙටිකාලයක් තුළ අවශ්‍ය නම් ආපසු කැඳවිය හැකි නියෝජිතයන්ගෙන් සමන්විත විය.  ඔවුන්ගෙන් බහුතරයක් කම්කරුවෝ හෝ කම්කරු පංතියේ  පිළිගත් නියෝජතයෝ වූහ.
කොමියුනය පාර්ලිමේන්තුවකට වඩා වෙනස් ලෙස එකවර ව්‍යවස්ථාදායකයක්  හා විධායකයක් ද විය.
ස්ථාවර හමුදා අහෝසි කිරීම හා ඊට සන්නද්ධ මහ ජනතාව ආදේශ කිරීම
පොලීසිය හා පරිපාලනයේ සියළු නිළධාරීන් කොමියුනයට වගකිවයුතු,  ඕනෑම මොහොතක ආපසු කැඳවිය හැකිවීම
කොමියුන නියෝජිතයන් ද ඇතුළු සියලූ මහජන පරිපාලන සේවකයන් සාමාන්‍ය කම්කරුවෙකුගේ වැටුපක පිහිටුවීම
සියළු මහජන සේවාවන් කොමියුනය යටතට ගැනීම
සියළු අධ්‍යාපන ආයතතන මහජනතාවට විවෘතකිරීම සහ අධ්‍යාපනයට  පල්ලියේ මැදිහත්වීම අහෝසි කිරීම
අධිකරණය ස්වාධීන කිරීම සහ විනිසුරුවරුන් ඡුන්දයෙන් තෝරාපත් කිරීම
සෑම දිස්ත‍්‍රික්කයකම මහ ජනතාවගේ පොදු කටයුතු ඔවුන්ගේම සභාවලට පැවරීම හා ඒවායේ නියෝජිතයින් පැරිසියේ ප‍්‍රධාන නියෝජිත සභාවට සහභාගිවීම
පුද්ගලික නිෂ්පාදන මාධ්‍යයන්, ඉඩම්, සහ ප‍්‍රාග්ධනය නිදහස් පොදු දේපොළ බවට පරිවර්තනය කිරීමට අරමුණුකර ගෙන සිටීම
මෙකී ලක්ෂණ අනුව කොමියුනය එය පැවති සුළු කාලය තුළ වුව ද නිර්ධන පංති රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය  මූලික පියවරයන් ප‍්‍රාථමික මට්ටමෙන් හෝ ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර හෝ ආරම්භ කිරීමට අරමුණුකරගෙන හෝ සිටිමින් කොමියුනිස්ට්වාදය යථාර්ථයක්ය යන්න ලෝකය හමුවේ ඔප්පුකොට පෙන්වීය. ඒ සමගම කොමියුනය පළමුවරට  නිර්ධන පංති රාජ්‍ය ආකෘතියක ආදර්ශය  සපයමින්  ලෝක විප්ලවීය ව්‍යාපාරයට භෞතික බලවේගයක් වීමට අවශ්‍ය ශක්තිය සපයා දුනි. බොල්ෂෙවික් ව්‍යාපාරය එම ශක්තිය හරියාකාරව  උකහාගනිමින් ඉන් වසර 46 ට පසු මේ මිහිපිට හයෙන් එකක් වසා ගත්  දෙවන කොමියුන රාජ්‍යය රුසියානු ජාතික අනන්‍යතාවයකින් සමාජවාදී සෝවියට් රාජ්‍යය ගොඩ නැගීය.
     සමාජවාදය කරා ප‍්‍රවේශවීමේ දී අත්‍යවශ්‍ය, නිෂ්පාදන බලවේගයන්ගේ භෞතික වර්ධනය ධනවාදය විසින් එහි ගැබ තුළම පෝෂණය කරයි. එනම් සමාජවාදී කලලය දරයි. එසේම එය මෙහෙයවීමෙහි, හැසිරවීමෙහි, ඒ කෙරෙහි අධිකාරිත්වය දැරීමෙහි සුදුසු බල ව්‍යුහයන්ගේ, ආකෘතීන්ගේ කලලයන් බිහිකර ගැනීමට ධනවාදය නිර්ධන පංතියට අභ්‍යාසය ලබා දෙයි. කොමියුනය එවැනි අභ්‍යාසයකින් නිර්ධන පංතිය ගොඩනගා ගත් නිර්ධන පංති රාජ්‍ය බලයේ ඓතිහාසික ආකෘතියකි. එදා 1905 දී  පීටර්ස්බර්ගයේ කම්කරුවන් ගොඩ නගාගත්්  අරගල මධ්‍යස්ථානය-සෝවියට් සභාව තුළ වූ      ‘පැරිස් කොමියුනය ’ හඳුනා ගැනීමට ලෙනින් සමත් විය.  සෝවියට් සභා  1917 දී පාලක පංතිය බවට පත්  නිර්ධන පංතියේ  රාජ්‍ය අකෘතිය බවට පත්වීමත් ඒ පිළිබඳ ලෙනින්ගේ පැහැදිළි කිරීම් ද යන සියල්ලත්  මගින් පෙන්නුම් කරන වැදගත් කරුණ එයයි.

Friday, May 10, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 4

විප්ලවවාදීන් (විප්ලවවාදී පක්ෂය) පොදු ජනතාව සමග සංයෝගවන්නේ කෙසේ ද ?
විප්ලවවාදී පක්ෂය පෙරමුණු බල ඇණිය ලෙස ද හැඳින්වෙන බව අපි දනිමු. එසේ හැඳින්වීමෙන්ම පෙනීයන්නේ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වයෙන් යුත්, පංති අරගලයේ ඉදිරියෙන් ම සිටිමින් එම අරගලයේ සියළු  හැරවුම්, සංධිස්ථාන, ඉදිරියට යාම්, පසුබැසීම් කොටින්ම පංති අරගලයේ සියළු සම්බන්ධතාවයන් විනිවිද දැකීමෙහි සමත්, ඒ අනුව සිය ස්ථානය ක්ෂණයෙන් වෙනස්කර ගැනීමෙහි මනා පුහුණුව ලත්, නිපුණ විප්ලවවාදීන්ගෙන් එම පක්ෂය සමන්විත වී ඇති බවයි. එවැනි පක්ෂයක් තිබීම  නිර්ධන පංති විප්ලවයේ ජයග‍්‍රහණය සඳහා ඇති එක් ප‍්‍රධාන කොන්දේසියකි. එම පක්ෂය    බලය අල්ලා ගැනීමට පෙර, ඒ අතරතුර හා ඉන් පසුව නිර්ධන පංතියේ සහ නිර්ධන පංතික නොවන පීඩිත පංතික කොටස්වල නොදියුණු ස්ථරයන්ට පුහුණුව, අධ්‍යාපනය හා අවබෝධය දී ඔවුන් නව ජීවනයට අද්දාගැනීමට සමත් විය යුතුය. විප්ලවවාදී දේශපාලන කලාව යනු එයයි.  (ලෙනින් තෝ. කෘති 165 පිට* විප්ලවවාදීන් ජනතාව සමග සංයෝග වන්නේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි මග පෙන්වීමක් මින් ලබා දෙයි. නිර්ධන පංතියේ හා පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන් නොදියුණුබව තුළ දිගටම රඳවාගෙන සිටිනු ලබන්නේ  ධනේශ්වර දෘෂ්ටිවාදය හා පසුගාමී සංස්කෘතික චර්යාවන් විසින් ය. ධනේශ්වරය තමන් සතුව ඇති  සකලවිධ මාධ්‍යයන් මේ සඳහා යොදා ගනී.  පීඩිත පංතිකයන්ට යොදා ඇති මේ තිරිංග කඩා බිඳ දැමිය යුතුව ඇත. සම්මත ආයතනික අධ්‍යාපන රටාවට එහා ගිය  ප‍්‍රායෝගික දේශපාලනික ‘පාසැල් ‘ තුළට ඔවුන් ඇතුළත් කරගත යුතු ය. එහි දී ඔවුන් අවබෝධ ගැන්විය යුතු ය.  පුහුණු කළ යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, දේශප්‍රෙමය ගැන ධනපතීන්ගේ මොරගෑම් සමග සහමිතියට ඒමට නොව  අවබෝධයෙන් යුතුව ඒවාට එරෙහිව නැගී සිටීමට උගැන්විය යුතු ය.
     නිර්ධන පංතියේ හා පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන්ට විප්ලවවාදී දේශපාලන කලාව උගන්වා පුහුණු කරන පාසැල නිවැරදිව හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. අන් සෑම විප්ලවයකටම සාපේක්්ෂව රුසියානු බොල්ෂෙවික් විප්ලවය ලෝක  නිර්ධන පංති ව්‍යාපාරයට මේ සම්බන්ධයෙන් බොහෝ දේ උගන්වා ඇතැයි යන්න පැහැදිලි සත්‍යයකි. විප්ලවීය අරමුණ සාක්ෂ්‍යාත්කර ගැනිම සඳහා ඔවුන් - බොල්ෂේවිකයන් පොදු ජනතාව සමග එකට වෙලී ඔවුන් දැනුවත්කරමින් හා පුහුණුකරමින් ද තමන්ම ද ඒ අනුව වෙනස්වෙමින් හා පන්නරය ලබමින් ගමන් කර ඇති මූලික පාසැල සෝවියට් ව්‍යාපාරයයි.  මූල කඳවුරු න්‍යාය , ගරිල්ලා සටන් උපාය හෝ පැතිරුණ සන්නද්ධ අරගල න්‍යාය වැනි සන්නද්ධමය අරගල විධික‍්‍රම සමග  සෝවියට්   ව්‍යාපාරය පටලවා නොගත යුතු බව අපි අවධාරණය කරමු. මක්නිසාද ජවිපෙ පැතිරුණ කෙටිකාලීන සන්නද්ධ අරගල උපාය වෙත ප‍්‍රවේශවීමේදී සෝවියට් සභා අර්ථ ගැන්වූයේ රුසියානු විප්ලවයේ නැගිටීමේ උපාය ලෙසට ය. එවැනි උපායයක් ලංකාවට නොගැලපෙන බව ය. ඇත්තවශයෙන්ම සෝවියට් සභා ව්‍යාපාරය විප්ලවයේ නැගීසිටීමේ අවස්ථාවට අදාළ බලය අල්ලා ගැනීමේ  අකෘතියක් නොව පුළුල් පීඩිත බහුජනතාව - කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන් - ඒකරාශිවූ සමස්ත විප්ලවීය දේශපාලන ව්‍යාපාරයකි. මෙය මේ අර්ථයෙන් තේරුම් නොගැනීම නිසා එදා  ජවිපෙට විප්ලවයේ යෝධ බහුජන ස්වරූපය අත හැරිණි. අතිධාවනකාරී අන්තවාදයකට ඇද වැටුණි.
බොල්ෂෙවික්වාදය නියමාකාරයෙන් අර්ථ දැක්විය හැක්කේ එය සෝවියට් ව්‍යාපාරය හා එකට ගෙන කරන අධ්‍යයනයකින් පමණකි. මක්නිසා ද බොල්ෂෙවික්වාදය මෙන්ම සෝවියට් ව්‍යාපාරය ද හැදී වැඞී පෝෂණය වූයේ එකිනෙක අන්තර් සම්බන්ධිතව ය. ඒවා වෙන් කළ නොහැකි දේශපාලන ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් ලෙස පැන නැගි ඒවා ය. බොල්ෂෙවික් විප්ලවවාදීන් පොදු පීඩිත ජනතාව සමග සංයෝගවීමේ ප‍්‍රධාන මාධ්‍යය වූයේ මේ ඓතිහාසිකවූත් ඒ වගේම අතිශයින් සංකීර්ණවූත් සෝවියට්  ව්‍යාපාරය යි.  පීඩිත කම්කරුවන් ගොවීන් හා සොල්දාදුවන් සාර්වාදයට එරෙහිවත් පසුව ධනේශ්වර සභාගවාදට එරෙහිවත් විටෙක ඒ සමග සම්මුතිවාදීවත් අවසානයේ ඊට එරෙහිව තීරණාත්මකවත් නැගී සිටුවමින්  ස්වකීයමය රාජ්‍ය බලය කරා  ඔසවා තබනු ලැබූවේ සෝවියට් ව්‍යාපාරය හරහාය. සෝවියට් (soviet ) යනු රුසියානු භාෂාවෙන් සභා ( council) යන අර්ථය දනවන පදයකි. එවකට සාර් යටතේ වූ ඇමති මණ්ඩලය නම්කර ඇත්තේ  ද  soviet of ministers  යනුවෙනි. ප‍්‍රථම වරට සෝවියට් යන්න කම්කරු නියෝජිතයින්ගේ සභා හැඳින්වීමට යොදා ගැනෙන්නේ 1905 විප්ලවයේ දීය. 1905 අවසන් කාර්තුව තුළ  රුසියාවේ විප්ලවීය තත්ත්වයන් මෝරමින් පැවතිණි. පීටර්ස්බර්ගයේ  ඉවනොවො වොසෙන්ස්කි ප‍්‍රදේශයේ  රෙදිපිළි කර්මාන්ත කම්කරුවන්ගේ වැඩවර්ජනය තවත් වැඩවර්ජන රැුල්ලකට ආරම්භය දුනි. මේ වනවිට පීටර්ස්බර්ගයේ සිටි  සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ක‍්‍රියාත්මක වෙමින් සිටියේ රහසිගතව ය. ඔවුන් හා පුළුල් ජනතාව අතර සජීවී සංවිධාන  සම්බන්ධතාවයක් ගොඩනැගී  නොතිබිණි. අනෙක් අතට  ඔවුන් අතර කණ්ඩායම් දෙකක අභ්‍යන්තර ගැටුමක් ද විය. සමාජවාදී විප්ලවවාදීන්ගේ තත්ත්වය ද ඊටත් වඩා අයහපත් විය. මේ සියළු පාර්ශවයන් අන්‍යොන්‍ය අරගලයක පැටලී සිටිය ද වැඩ වර්ජන රැුල්ල තව තවත් වර්ධනය වුණි. පැවති යථාර්ථය තුළ පාක්ෂික නොවන ස්වයං පාලනයක් සහිත විප්ලවීය කම්කරු සභාවක් කැඳවීමට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමක් ක‍්‍රියා කළේ ය. ඒ අනුව  ඔක්තෝම්බර් 13 දින පීටර්ස්බර්ගයේ තාක්ෂණික ආයතනයේ දී නියෝජිතයින් 50 කින් පමණ සැදුම් ලත්  කම්කරුවන්ගේ  ප‍්‍රථම -සෝවියට් සභාව - රැුස්විය. වෘත්තීය ශ්‍රේණි හෝ දේශපාලන ප‍්‍රවනතා නොසලකා කම්කරු සමූහයා අතරින් තෝරාපත් කර ගත් නියෝජිතයින්ගෙන් එය සමන්විත විය. දේශපාලනමය මහා වැඩවර්ජනයක් කැඳවීමට එහි දී තීන්දු විය. වැඩවර්ජනය මොස්කව් ඇතුලූ නගර කරා තව තවත් පැතිර ගියේ ය.  සැප්තම්බර් 6 දින රැුස්වූ සෝවියට් සභාව වැඩ වර්ජනය ආයුධ සන්නද්ධ නැගීටීමකට පරිවර්තනය කිරීමට තීරණය කළේ ය. පීටර්ස්බර්ග් කම්කරුවන්ගේ ප‍්‍රථම සෝවියට් සභාවේ ඉතිහාසය දින පනහකට පමණක් සීමාවිය. දෙසැම්බර් 3 දින ආණ්ඩුව විසින් එය මර්දනයකර දමනු ලැබිය.    
සෝවියට් සභාවේ පාක්ෂික නොවන ස්වරූපය නිසා සමහර බොල්ෂෙවිකයන් එය පක්ෂයේ කාර්යභාරයට තර්ජනයක් වෙතැයි සැළකූහ.  දේශපාලන වේදිකාවෙන් බොල්ෂෙවිකයන් බැහැර කිරීමට මෙන්ෂෙවිකයන් අටවන ලද කුමන්ත‍්‍රණයකැයි ඔවුන් සිතූහ.  මේ වනවිට ලෙනින් සිටියේ   විදේශගතව පිටුවහල් ජීවිතයක් ගතකරමිනි. ඔහු තොරතරුු ලබාගත්තේ දිනපතා පුවත්පත් හරහාය. ඒ නිසාම යම් අවිනිශ්චිත හැ`ගීමකින් යුතුව ඔහු (1905 නොවැම්බර්) අපේ කාර්යභාරය හා කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව (
^http://www.marxists.org/archive/lenin/works/1905/nov/04b.htm    යන මැයෙන් ලියූ ලිපියක් පක්ෂ පුවත්පතේ කතුවරුන් වෙත එවූයේ එය පලකිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අභිමතය පරිදි කිරීමට ඉඩහරිමින් ය. එසේම වඩාත් තොරතුරු ලැබූවිටෙක ඔහුගේ මතය වෙනස්කර ගැනීමට ද ඔහු සූදානම් බවක් පෙන්වීය. ඒ තොරතුරු සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතභාවය නිසාම ය. දින පනහක් පමණක් පැවති එහෙත් කිසිදිනක සෝවියට් සභාව ඇසින් නොදැක, ඒ  සමග ප‍්‍රායෝගික සම්බන්ධතාවයක් නොමැතිව වුවද ලෙනින් එම සෝවියට් සභාව පදනම් කරගෙන ඒ ලිපියෙන්  ඉදිරිපත් කළ මත තවත් අවුරුදු 12 ක් ඈත අනාගතයේදී සිදුවීමට නියමිත රුසියානු විප්ලවයේ දී පංති බලවේගයන්ගේ හැසිරීම, බොල්ෂෙවිකයන්ගේ උපාය මාර්ගය, විප්ලවීය ආණ්ඩුවේ ආකෘතිය ආදිය පිළිබඳ සපයන කටුසටහනක් බඳු ය. ඒ නිසාම තම මතයන් වෙනස් කරගැනීමට ඔහුට ඉතිහාසය අවස්ථාව උදා කළේ නැත.  එළඹි 1917 විප්ලවයන්හිදී පංති අරගලයේ න්‍යෂ්ටීය කාර්යභාරය  ඉටු කළේ නැවත පිහිටුවූ සෝවියට් සභා ය. නිර්ධන පංති රාජ්‍ය ආකෘතිය වුයේ සෝවියට් සභා ය. මෙලෙස සෝවියට් සභාවල නියෝජිත ස්වරූපයත්, විප්ලවීය අරගලයක් සඳහා ඒ තුළ ගැබ්වූ ශක්තියත්, හැකියාවත් සම්බන්ධයෙන් කල් ඇතිව නිවැරදි තක්සේරුවකට එළඹීමට ලෙනින්ට හැකි වූයේ ඔහු සතු තියුණු විප්ලවීය ඉව නිසා ය.
පක්ෂය හා බහුජන ව්‍යාපාරය අතර ද පක්ෂය හා වෙනත් විප්ලවීය පාර්ශවයන් අතර ද පැවතිය යුතු   සම්බන්ධතාවය පිළිබඳ අපෝහකවාදී න්‍යායාත්මක දැක්මක් ලෙනින් එම ලිපිය තුළ සම්පිණ්ඩනයකර ඉදිරිපත් කරයි .    
බොල්ෂෙවිකයන් සෝවියට් සභා ද? පක්ෂය ද? කියා අන්දමන්දව සිටියදී තම ලිපියෙන් ලෙනින් කියා සිටියේ නිසැකවම තීරණය විය යුත්තේ කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව සහ පක්ෂය යන දෙකම ය. එකම ප‍්‍රශ්නය සහ වඩා වැදගත්ම ප‍්‍රශ්නය නම් කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාවේ සහ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ කාර්යභාරයන් වෙන්කර දක්වන්නේ කෙසේ ද, ඒවා ඒකාබද්ධ කරන්නේ කෙසේ ද යන්න ය.
සෝවියට් සභාවේ  ආර්ථික ඉල්ලී්ම් කිසියම් කම්කරු පිරිසකට පමණක් නොව සමස්ත නිර්ධන පංතියටම අදාළ වූ ඒවා ය. එහි දේශපාලන ඉල්ලීම් රුසියාවේ සියළු  ජනයා  රාජාණ්ඩුවේ වියගසින් නිදහස් කරගැනීමට, අයිතීන් අහිමි තත්ත්වයෙන් නිදහස්කර ගැනීමට හා කෲර පොලිස්  පාලනයෙන් නිදහස් කරගැනීමට ඉලක්කකර ගත් ඒවා විය. මේ අර්ථයෙන් සෝවියට් සභාව බහුජනතාවගේ  විප්ලවීය අරගල කේන්ද්‍රස්ථානය විය. කාර්මික හා කාර්යාල සේවකයින්, ගෘහ සේවකයින්,  කෘෂිකාර්මික කම්කරුවන් වැනි සියළු කොටස් අතරින්, වැඩකරන ජනතාව වෙත වඩාත් උසස් ජීවන තත්වයක්  ලබා දීම සඳහා පොදු අරගලයක් ගෙන යාමට  සූදානම්, අවම වශයෙන්  දේශපාලන අවංකභාවයේ මූලික මට්ටමක සිටින සියළු කොටස් අතරින්, ඔවුන්ගේ දෘෂ්ටිමය තත්ත්වයන් නොසලකා, නියෝජිතයින්  තෝරා පත්කර ගැනීමට සෝවියට් සභාව පරිශ‍්‍රම දැරිය යුතු යැයි ලෙනින් වැඩිදුරටත් අදහස් දක්වයි. එසේම අන්ත ප‍්‍රතිගාමී කොටස්වලට පිවිසිය නොහැකි පරිදි සෝවියට් සභාවක දොරටු වසා දැමිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.         
ලෙනින්  සෝවියට් සභාව දෙස බැලුවේ එය  කිසියම් විකල්ප සංවිධාන මාධ්‍යයක් ලෙස සලකා නොව පොදු ජනතාවගේ විශ්වාසය දිනාගත්, ඒ නිසාම පොදු ජනතාව අතර මුල් බැසගත්, විප්ලවීය ශක්තියෙන් හෙබි, විප්ලවීය ආකාරයට ක‍්‍රියා කරන,  විප්ලවීය සංවිධාන හා පක්ෂ සමග ඉතා සමීප සබඳතා ඇති සජීවී නව සමස්ත රුසියානු දේශපාලන මධ්‍යස්ථානයක අඩුව පුරවන්නාවූ සංවිධානයක් ලෙස ය. පළල් දේශපාලන අරගල  මධ්‍යස්ථානයක් ලෙස පැවතීමෙන් බැහැරව සෝවියට් සභා කිසියම් පක්ෂයකට ඇලී සිටීම හෝ සෝවියට් සභා නියෝජිතයින් බොල්ෂෙවික් වැඩපිළිවෙල පිළිගෙන එහි සාමාජිකයන් විය යුතු යැයි හෝ එම බැනරය යටතේ ගමන් කළ යුතු යැයි හෝ සිතීම නුවණට හුරු දෙයක් නොවන බව ද  ලෙනින්ගේ අදහස විය. එය දේශපාලන අරගලය හා දේශපාලන නායකත්වය  එකිනෙකට වෙනස් කරුණු දෙකක්ය යන්න නොසලකා හැරීමකි. බලය සම්බන්ධයෙන් පංතීීන් අතර කෙරෙන අරගලය දේශපාලන අරගලය යි. දැන් පීටර්ස්බර්ග්හි සිදුවන්නේ කම්කරුවන්ගේ හා පීඩිත පංතීන්ගේ දේශපාලන අරගලයකි. පංතියක් හෝ පංති ස්ථරයක් නියෝජනය කරන වැඩපිළිවෙළක් හෝ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එම පංතිය හෝ පංති ස්ථරය ඉදිරියට මෙහෙයවීම දේශපාලන නායකත්වයෙන් අදහස් කෙරෙයි. එය තම අරමුණ සම්බන්ධයෙන් සවිඥානක, සාපේක්ෂව කුඩා පිරිසකගෙන් සමන්විත  සංවිධානය වූ පක්ෂයක කාර්යභාරයයි. දැනටමත් අරගල බිම මත සක‍්‍රීයව පෙනෙන්නට  ඇති සෝවියට් සභාව  බහුවිධ දෘෂ්ටීන්ගේ, නායකත්වයන්ගේ පොදු එකතුවක්ය යන්න කිසිවෙකුටවත් ප‍්‍රතික්ෂේප කළ නොහැකි  යථාර්ථය යි. එසේ වුව ද එය කම්කරුවන්ගේ විප්ලවීය අරගලයේ මධ්‍යස්ථානයක්ය යන්න ද එවැනිම යථාර්ථයකි.  මේ අනුව තමන්ගේ බැනරය යටතේ පමණක් තිබිය යුතුයැයි  සිතා එය පිටු දැකිය නොහැකි ය. සෝවියට් සභාව බොල්ෂෙවික් නායකත්වයේ මගපෙන්වීමට අනුගත කරගැනීම අවශ්‍යයෙන්ම කළ යුතු නමුත් එය කළ යුත්තේ එහි විප්ලවීය ගතිකත්වයට හානි කරන බලවේගයන් ජනතාව හමුවේ හෙළිදරව්වීමට සැලැස්වීම මගින් ය. ඒ සඳහා කරන නොනවතින අරගලයක් මගින් ය. අනෙක් සාධනීය පාර්ශවයන් තම පැත්තට දිනා ගැනීමට ක‍්‍රියා කිරීම මගින් ය.  ඒ අනුව  සෝවියට් සභා බොල්ෂෙවික් දේශපාලනයට  අදාළ කරගන්නා උපාය මාර්ගික කරුණු දෙකක් ඔහු ඉදිරිපත් කරයි.
 1.  සියළුම වෘත්තීය සමිති තුළ පක්ෂ සංවිධාන නියෝජනය කරවීමට හැකි උපරිමයෙන් ක‍්‍රියා කිරීම
 2. ඒකාබද්ධ අරගලය සැබෑ නිර්ධන පංති ලෝක දෘෂ්ටිය වූ මාක්ස්වාදය තහවුරුකිරීම සඳහා යොදාගැනීම
සෑම වෘත්තීය සමිතියක් තුළම පක්ෂ නියෝජනය වැඩිකර ගැනීමෙන් සෝවියට් සභාව නියෝජනය කිරීම සඳහා බොල්ෂෙවිකයන්ට වැඩි අවස්ථාවක් ලැබෙයි. එවිට ඔවුන්ට සෝවියට් සභාවට වැඩි බලපෑමක් එල්ල කළ හැකිවෙයි. එසේ කිරීමෙන් පමණි සෝවියට් සභාව ගෙන යන අරගලය තුළ දී පංතිමය දෘෂ්ටිය  තහවුරු කිරීම මගින් ආර්ථික අරගලයෙන් ඔබ්බට යන්නාවූ දේශපාලන අරගලයේ -නිර්ධන පංති විප්ලවයේ - ජයග‍්‍රහණය සාක්ෂාත් කරගත හැක්කේ. වැඩ වර්ජන හරහා සාමාන්‍ය ආර්ථික ඉල්ලීම් දිනා ගැනීමේ සීමිත අරගලය සමග පංතියේ හා සෙසු පීඩිත ජනතාවගේ  නිදහස දිනා ගැනීමේ පුළුල් අරගලය කරා මෙහෙයවීමේ බොල්ෂෙවික් පක්ෂයේ විප්ලවීය අරමුණ බද්ධකීරීමට එම උපාය මාර්ගය සමත් විය. වැදගත් කරුණ නම් පංතියේ ස්වයං ක‍්‍රියාකාරිත්වය සහ ඊට මග පෙන්වීමේ, නායකත්වය දීමේ විප්ලවීය පක්ෂයක කාර්යභාරය බෙදා වෙන්කිරීම වගේම ඒවා ඒකාබද්ධ කිරීමේ විධික‍්‍රමය එහි අන්තර්ගත වීම ය. පක්ෂ අරමුණු සෝවියට් සභාවන් හරහා පොදු අරගලයන් සමග ඒකාබද්ධ කළේ වැඩබිම් හා කර්මාන්තශාලා පදනම්කර ගත් බොල්ෂෙවික් පක්ෂ ඒකක විසින්් ය.  
පොදු ජන අරගල ව්‍යාපාරය හා විප්ලවීය පක්ෂය අතර ඇති අපෝහකය සම්බන්ධයෙන්  යථාර්ථවාදී අවබෝධය ලබා ගැනීමට නම් සෝවියට් ව්‍යාපාරය ආකෘතිමය කෝණයකින් නොගෙන අධ්‍යායනය කළ යුතු ය. එය පෙබරවාරි විප්ලවයේ අවධියේ බොල්ෂෙවික්වාදය හා බහුවිධ අවස්ථාවාදයන් එකට ගැටෙමින් තිබූ එකම වේදිකාවක් විය. සෝවියට් ව්‍යාපාරය බොල්ෂෙවිකයන් ද සුළු ධනපති අවස්ථාවාදීන් ද අන්ත ප‍්‍රතිගාමී ධනපති දෘෂ්ටිවාදීන් ද එකම මොහොතක එකම ස්ථානයක අභිමුඛ වෙමින් කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන් මත බලපෑම් එල්ල කරමින් විප්ලවය ඔවුනොවුන්ගේ දිශාවන්වෙත ඇදගෙන යාමට දරන  ප‍්‍රයත්නයන්ගේ ගහණ වූවකි. විප්ලවවාදීන්ට හා අවස්ථාවාදීන්ට එකවර ඇහුම්කන්දීමට කම්කරුවන්ට, ගොවීන්ට, සොල්දාදුවනට අවස්ථාව ලැබිණිි. පංති අරගලය විවෘත වේදිකාවේ දිග හැරිණ. ඒ ඒ නළුවන්  ර`ගපාන මොහොතේම ඒවා වෙත ඇ`ගිල්ල දිගුකර ඒවායේ චරිත ස්වභාවයන් නරඹන්නන්ට පැහැදිලි කරදීමට බොල්ෂෙවිකයන්ට හැකියාව ලැබිණි.  සෝවියට් ව්‍යාපාරය තුළ අරක්ගත් ප‍්‍රතිගාමිත්වයට හා අවස්ථාවාදයට අභිමුඛව සිට ඒවා හෙළිදරව්කරමින් පංතිය අවබෝධ ගැන්වීමත් පුහුණු කිරීමත් සිදු වූයේ එලෙස ය. ශාස්ත‍්‍රීය අධ්‍යාපනයෙන් කිසිදාක නොලැබෙන  තර්ක ඥානයක් ජනතාවට ඉන් ලබා ගත හැකි විය. බොල්ෂෙවික්වාදය සමගින් ජනතාව  හැඩ ගැසී  වර්ධනය වූයේ ඒ මගිනි. ඓතිහාසික අරගලයන් මගින් හිමිකරගත් වටිනාකම් ස්වර්ණාභරණයක් සේ එල්ලාගෙන සුපිරි යැයි සිතා විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයක් නිර්මාණයකර ගැනීමෙන් බැහැරව ක‍්‍රියාකරන්නාවූ  ජවිපෙ මෙම භාවිතයෙන් බොහෝ දුරස් බව ඔබට පෙනෙනවා ඇත.
සෝවියට් ව්‍යාපාරය විසින් පිළිබිඹු කරන විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය  වාම පෙරමුණු හෝ වාම සන්ධාන ද නොවේ. ඒවාට විකල්පයක් ද නොවේ. එය පැහැදිලිවම පීඩිත පංතීන්ගේ සජීවී දේශපාලන අරගලයේ සංවිධානමය ව්‍යුහයකි.  ලෙනින්ගේ ලිපි ලේඛන දහස් ගණනක් කියා පාන්නේ  සෝවියට් පොදු ජන අරගල  ව්‍යාපාරය තුළ බොල්ෂෙවිකයන් ගෙන ගිය අරගලයේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක තරම ය. මෙන්ෂෙවික්වරු හා සමාජ විප්ලවවාදීහු ද තාවකාලික ආණ්ඩුවේ ඔවුන්ගේ ඇමතිවරු ද බොල්ෂෙවිකයෝ ද සෝවියට් සභා තුළ, ඒවායේ මධ්‍ය විධායක කමිටු තුළ සහභාගි වූහ. මෙම රැුස්වීම්වලදී මෙන්ෂෙවිකයන්, සමාජ විප්ලවවාදීන්් සහ ඔවුන්ගේ ඇමතිවරුන් ඉදිරිපිට තබා ගෙනම  බොල්ෂෙවික්වරු ඔවුන් දැඩි විවේචනයට ලක් කළහ. එසේම ඔවුහු ද බොල්ෂෙවික්වරුන්ට එලෙසම ප‍්‍රතිචාර දැක්වූහ. සමහර අවස්ථාවල ලෙනින්ගේ කථාවලට කෑකෝගැසීම් මගින් බාධා එල්ලවිය. 1917 ඔක්. 25 නැගීටීම ආරම්භ වූ දින පැවැත්වෙමින් තිබූ සෝවියට් සභා දෙවන  සම්මේලනය විප්ලවයේ පොදු ජන ස්වභාවය මැනවින් විදහා දැක් වූ අවස්ථාවකි. ඒ ගැන ”ලොව හෙල්ලූ දස දවස” හි ජෝන් රීඞ් මෙසේ කියයි.  එතැන (සෝවියට් සභා සම්මේලනය) ජරාවට ඇඳගත් විශාල සෙබළ සමූහයන් ය. අපිරිසිදු විශාල කම්කරු පිරිස් ය. ගොවි ජන සේනාවන් ය. ජීවත්වීම සඳහා ගෙන යන අමානුෂික අරගලයෙන් ඔත්පල වී ගිය දුගී ජන සන්නිපාතයකි. මේ ඔත්පල වී ගිය දුගී ජන සන්නිපාතය විප්ලවය වෙත වාරු කරගෙන ආවේ කවුරුන් විසින් ද? ඒ කුමන මාධ්‍යයක් ඔස්සේ ද? ප‍්‍රධාන වශයෙන් බොල්ෂෙවිකයන් විසින් ය. සෝවියට් නම් රුසියානු නමින්  වූ පොදු ජන අරගල ව්‍යාපාරය නම් මාධ්‍යය හරහා ය.  අරගලය සඳහා තම පාක්ෂිකයන් පමණක් නොව සාමාන්‍යයෙන් දේශපාලනය ගැන කිසිවක් නොදන්නා දුකසේ ජීවත් වන පාක්ෂික නොවන දහස් ගණන් ජනතාව ද පුබුදුවාලමින් ඔවුන් විප්ලවවාදී ලෙස ක‍්‍රියාකිරීමට හැඩගස්සූ විට එය බහුජන අරගල  ව්‍යාපාරයක් බවට පත්වී  එම ව්‍යාපාරය පක්ෂය හා බහු ජනතාව අතර පාලමක් ලෙස ක‍්‍රියා කරන බව ඉන් තහවුරු වෙයි.  පක්ෂය විසින් බහු ජන ව්‍යාපාරය පෝෂණය කරනු ලබන අතරම බහු ජන ව්‍යාපාරය විසින් පක්ෂය පෝෂණය කරනු ලබයි. අසංවිධිත, අවරසික, සාමාන්‍ය පීඩිතයා සංවිධිත, විඥානගත විප්ලවවාදියකු බවට පරිවර්තනය කරනු ලබන්නේ  සැබෑ ලෙසම බිමේ අරගලය මත යැපෙන බහුජන ව්‍යාපරය මගිනි. අනතුරුව එවැන්නන් ප‍්‍රථමයෙන් තරුණ, කාන්තා, ශිෂ්‍ය වැනි පක්ෂය න්‍යෂ්ටිය කරගත් කනිෂ්ඨ සංවිධානවලට ද ඒවායේ ඔවුන්ගේ භාවිතය තවදුරටත් පිරික්සා පක්ෂ සාමාජිකත්වයට ද  ඇතුළත් කරගනී. අන්‍යොන්‍ය බලපෑම් සහිත මේ ක‍්‍රියාවලිය සමගම බහු ජන ව්‍යාපාරය ද ගුණාත්මකභාවයක් අත්කර ගනී. එය තවදුරටත් පැතිරෙමින් ඉදිරියට යන්නේ නම් සැබෑ විප්ලවයක් දක්වා වර්ධනය වෙයි. කාලෝචිත  නිසි සටන් පාඨ ඉදිරිපත් කරමින් බහුජන ව්‍යපාරය මෙහෙයවන විට පමණක් පක්ෂය පෙරමුණු බල ඇණියක තත්ත්වය ගනී. සෝවියට් ව්‍යාපාරයේ හා බොල්ෂෙවික්වාදයේ අපෝහකය මෙයයි. පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන් උගන්වා පුහුණු කළ හැකි වෙනත් මාධ්‍යයක් තවත් තිබිය හැකි ද? ඇත්තවශයෙන්ම විප්ලවවාදීන් පොදු ජනතාව සමග සංයෝජනය වූයේ එලෙස ය. එවිට පමණකි,  පොදු ජනතාව පෙරළා විප්ලවවාදීන් ගේ දේශපාලන නායකත්වයේ නිවැරදි බව, ඔවුන්ගේ ක‍්‍රියාමාර්ගයන්ගේ නිවැරදි බව තම අත්දැකීම් මගින්ම තේරුම් ගනිමින් ජන සන්නිපාතයක් ලෙස ඉතිහාසයට කඩා  වදින්නේ. 
ලෙනින් විප්ලවයේ බහුජන පදනම වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකි.  කුඩා පක්ෂයකට බලය ලබා ගැනීම කළ නොහැකි දෙයක් නොවන නමුත් එම පක්ෂය පීඩිත පංතික බහුතරයක සහයෝගය ලබා ගැනීමෙහි සමත්ව සිටිය යුතුයැයි ලෙනින් අවධාරණය කරයි. විප්ලවීය පක්ෂයකට එවැනි සහයෝගයක් ලබාගත හැක්කේ බහුජන ස්වරූපයේ සංවිධාන ව්‍යුහයක් හරහා පමණි. අපේ වාම දේශපාලන ව්‍යාපාරය නොතකා හැර ඇත්තේ ද එයම ය. මෙවැනි තත්ත්වයක් යටතේ පංති අරගලය බහු ජනතාවගේ අරගලයක් වෙනවා වෙනුවට  පක්ෂයක් භාරගත් කොන්ත‍්‍රාත් එකක් බවට පත් වෙයි. මේ නිසාය අපේ බොහෝ උද්ඝෝෂණ පෙළපාලිවල නිතරම පක්ෂ හෝ සංවිධානවල නායකයන්, ඒවායේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරීන් සහ ළ`ගම අනුගාමිකයන් පිරිසක් පමණක්ම දකින්නට ලැබෙන්නේ. උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක අරමුණු දෙකකි. එකක් නම් ප‍්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් පාලකයන්ට බලපෑම් කිරීම ය. දෙවැන්න නම් අප ඉහත උපුටා දක්වා ඇති ලෙනින්ගේ උදෘතයකට අනුව විප්ලවවාදී දේශපාලන කලාවට අයත් නොදියුණු ස්ථරයන්ට පුහුණුව, අධ්‍යාපනය හා අවබෝධය දී ඔවුන් නව ජීවනයට අද්දවා ගැනීමට කරන පෙළඹවීම ය.
මෙකී මුඛ්‍ය අරමුණු දෙක එයාකාරයෙන් සාක්ෂාත් කරගැනීමට අප සමත්වී ඇති ද? පාලකයන්  මේවාට දැන් හොඳින් පුරුදුවී ඇත. ඒත් සැබෑම ජන අරගලවලදී පාලකයන් වෙව්ලූ අවස්ථා අපි දැක ඇත්තෙමු. විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක අරගලය, සී ප්ලේන් බැස්සීමට එරෙහි මීගමුව ධීවරයන්ගේ අරගලය හා පීඩාවට පත් ගොවීන් මින්නේරිය වාරිමාර්ග  ඉංජිනේරු කාර්යාලය වටලෑම  ඒ සඳහා මෑත උදාහරණයන් ය.  වාමාංශික  පක්ෂ නායකත්වය ඒවායින් බැහැර කෙරිණි. යම් මැදිහත්මක් සිදු වූයේ නම් ඒ පුද්ගලයන් වශයෙනි. එවැනි අරගල යම් ප‍්‍රතිසංස්කරණ හෝ තාවකාලික සහන දිනා ගැනීමෙන් කෙළවර වනවා වුවත් පීඩිතයින් ඉන් ලබන අවබෝධය හා පුහුණුව නොසළකා හැරිය නොහැකි ය. මෙයාකාර ජන අරගල හා විප්ලවීය දේශපාලනය අතර සහසම්බන්ධය ගොඩනැගීම මේ නිසාම වැදගත් කොන්දේසියක් වෙයි.            ඇත්තවශයෙන්ම මෙය ලාංකීය වාම දේශපාලනයේ තීරණාත්මක අර්බූදයකි.  සාමාන්‍ය වශයෙන් සෑම වාම දේශපාලන පක්ෂයක්ම වාගේ තමන්ගේ හංවඩුව නැති පරිබාහිර ජන ක‍්‍රියාකාරිත්වයන් දෙස බලන්නේ වපර ඇසකිනි. සියල්ල තමන්ගේම නායකත්වය යටතේ සිදුවිය යුතුයැයි ඔවුහු සිතති. තමන් වටා එක්වන්නැයි ඉල්ලා සිටිති. නැතිනම් තමන්ගේම ක‍්‍රියාකාරිකයන් යොදවා නාමමාත‍්‍රයෙන් පමණක් පොදු වූ සංවිධානයක් සාදා ඒ වටා එක්වන්නැයි  ආයාචනය කරති. එසේ ගොඩනගන සංවිධාන මොන පැත්ත හරවා බැලූවත් මව් සංවිධානයෙන් වෙනස් වන්නේ නැත. ඇසෙන්නේ එහිම දෝංකාරය යි.   මෙම ගුණාංගයන් වැඩිපුරම පිහිටා ඇත්තේ ජවිපෙ තුළ ය. එය විසින් කලින් කල එසේ ගොඩනැගූ පොදු ජන ව්‍යාපාර එමට ය. පුරුද්දේ බලය නිසාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද පූර්වයෙන් ජන අරගල ව්‍යාපාරය  නමින් පොදුජන ව්‍යාපාරයක් ප‍්‍රකාශයට පත් කරමින් ඒ වටා එක්වන්නැයි ප‍්‍රගතිශීලී ජනතාවට ආයාචනය කළේ ය. එහෙත් ඒ හෝ මේ කිසිවක් සැබෑ පොදු ජන ව්‍යාරයක් වී නැත. එසේ වන්නේ ඇයි?
පොදුජන අරගල  ව්‍යාපාරය හරයෙන් මෙන් ම ආකාරයෙන් ද විවිධත්වය අඩංගූකර ගනී.     ධනවාදයේ පීඩන බරින් දුකට වේදනාවට මෙන් ම කෝපයට පත්  සියළු පීඩිතයන්ගේ   නියෝජිතත්වය ඒ තුළ ප‍්‍රකාශ වෙයි. සමහරවිට පාලක ධනේශ්වරයෙන් එල්ලවන ප‍්‍රහාර හමුවේ කරකියාගත නොහැකි ධනේශ්වර කොටස් පවා ද සෘජුව හෝ වක‍්‍රව එහි සරණ සොයා පැමිණිය හැකි ය. මේ නිසාම එය දෘෂ්ටිමය වශයෙන් ද  අරමුණු අතින් ද විවිධ වේ, සමාජීය වශයෙන් විවිධ වේ. සංවිධානමය වශයෙන් නම්‍ය වේ. විෂය වශයෙන් සංකීර්ණ වේ. ඊට වෙනස් ලෙස විප්ලවීය පක්ෂය ඒකීය දෘෂ්ටිවාදයකින් සන්නද්ධ ය. සාමාජිකත්වය නිශ්චිත ය, මධ්‍යගත සංවිධාන විනයකින් බැඳී සිටී. මේ ආයතන  එකිනෙකට සාපේක්ෂව එකක් බහුත්වයකි, විවිධත්වයේ ඒකත්වයකි. අනෙක ඒකීයත්වයකි. කිසියම්  පක්ෂයකට මේ  අපෝහක සම්බන්ධතාවයට පිටු පා නිර්ධන පංති විප්ලවයක් සාක්ෂාත් කරගත හැකි ද? නොහැකි ය. මතු පිටින්  නොව ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නම්  සෑම නිර්ධන පංති  විප්ලවයකම ජයග‍්‍රහණය හෝ පරාජය තීන්දු කර ඇත්තේ වෙනත් කරුණුවලට අමතරව ප‍්‍රධාන වශයෙන් පක්ෂය බහු ජනතාව අතර දරන ලද තත්ත්වය මත ය. බොල්ෂෙවිකයන් සෝවියට් ව්‍යාපාරය හරහා ද චීනය හා වියට්නාමය දිගු කාලීන යුද්ධය හා බහු ජන ව්‍යාපරය ඒකාබද්ධ කළ මහජන ප‍්‍රතිරෝධක ව්‍යාපාරය හරහා ද කියුබාව ගරිල්ලා ප‍්‍රහාර සමග පෙළ ගැසුන නාගරික මහජන ව්‍යාපාරය හරහා ද බහු ජනතාව අතර ස්වකීය තත්ත්වය තහවුරුකර ගනිමින් ජයග‍්‍රහණය ලැබූහ.

Wednesday, May 8, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 3

විප්ලවීය දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති
සමාජය පංතිවලට බෙදී පවතී. එම පංතීන් ගේ උවමනාවන් මෝරා වැඩෙත්ම එම උවමනාවන් ඉටුකර ගැනීමේ නිශ්චිත මාධ්‍යය රාජ්‍ය බලය ලෙස හඳුනාගත් විගස ඔවුන් දේශපාලන පක්ෂ ගොඩනගා ගනිති. දේශපාලන පක්ෂවල දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති  ලෙස ප‍්‍රකාශ වෙන්නේ  ආර්ථිකය, දේශපාලනය, සමාජය හා සංස්කෘතිය පිළිබඳ ඒ ඒ පංතීන්ගේ අභිලාෂයන්, සංකල්ප ආදියේ සම්පිණ්ඩිතය යි.  ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය  වෙනුවෙන් පෙනී සිටින හා ක‍්‍රියා කරන පංතීන් හා ඔවුන්ගේ පක්ෂවල දෘෂ්ටිවාදය වන්නේ ධනපති දෘෂ්ටිවාදය යි. ධනවාදයේ  විෂයබද්ධ තත්ත්වයන් විසින්ම නිරායාසයෙන් ඊට අවශ්‍ය ධනේශ්වර දෘෂ්ටිවාදය ගොඩනන්වනු ලබයිි. පාලක අධිපති ධනපති පංතිය හැරුණු විට ධනපති පංතියේ තවත් ප‍්‍රභේද ඇති හෙයින් මෙය මැද ධනපති, සුළු ධනපති ආදී වශයෙන් තවත් ප‍්‍රභේදවලට බෙදී යයි. නිර්ධන පංතියට ඊටම වන නිශ්චිත දෘෂ්ටිවාදයක් පැවතිය ද ධනපති ක‍්‍රමය තුළ ස්වභාවිකව හා නිරායාසව නිර්ධන පංතිය තමන්ට හිමි දෘෂ්ටිවාදය මත පිහිටන්නේ නැත. සාමාන්‍යයෙන් නිර්ධන පංතියමත් ස්වභාවිකව හා නිරායාසයෙන් ධනපති දෘෂ්ටිවාදයේ කිසියම් ප‍්‍රභේදයකට අනුගත වෙයි. සෙසු පීඩිතයින් ගැන කිව යුතු නොවේ. තමන් නිරායාසව වැළඳ ගන්නා දෘෂ්ටිවාදය  තමන්ගේ උවමනාවන් ප‍්‍රකාශ නොකරනවා පමණක් නොව, එය තමන් පීඩාවට පත්කරන්නාවූ  ප‍්‍රති දෘෂ්ටිවාදයක් බවත් එමගින් තමන් නිරායාසව ඇලී සිටින්නේ තමන්ටම එරෙහි ප‍්‍රති දේශපාලනයක බවත් නිර්ධනීන් හා පීඩිතයින් වූ බහුතර ජනතාව කිසිවිටකත් ස්වයංව අවබෝධකර නොගනී. ඒ නිසාම ඔවුන් තමන්ගේ ම වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමෙහි  අපොහොසත් වෙයි. ඒ තාක් ඔවුන් ධනපති පංතියේ බලපෑම හා මෙහෙයවීම යටතේ ක‍්‍රියා කරයි.  නිර්ධනීන් හා පීඩිතයින් ධනපති දෘෂ්ටිවාදයෙන් ද එම දේශපාලනයෙන් ද- සියළු ධනපති සම්බන්ධතාවයනගෙන් ද  පැහැදිලි ලෙසම  කඩා ඉවත්කර විමුක්ත කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම කොමියුනිස්ට්වාදය යි.  (කොමියුනිස්ට් ප‍්‍රකාශනය, උප ග‍්‍රන්ථය)  පංති අරගලය නිර්ධන පංති රාජ්‍ය බලය ඇති කිරීම අරමුණු කරගත් නිර්ධන පංති විප්ලවය දක්වා වර්ධනය වන බවත් අනාගතයේ යම් දවසක  සූරාකෑම, පීඩනය හා මර්දනය නොමැති නිසා ජනයා ස්ව කැමැත්තෙන්ම  සමාජ කොන්දේසීන් පිළිපැදීමට පුරුදුවන  පංති රහිත එනයින් රාජ්‍යය ද නැති සමාජයක් දක්වා පරිවර්තනය  වන බවත්  කොමියුනිස්ට්වාදය අපට උගන්වයි.  මාක්්ස් , එංගල්ස් සහ ලෙනින්  මෙහි ලා ඉදිරිපත්කර ඇති සංකල්ප සමූහය මාක්ස්- ලෙනින්වාදී දෘෂ්ටිවාදය වෙයි. ඒ මත පදනම් වූ ව්‍යාපාරය නිර්ධන පංතියේ විප්ලවීය දේශපාලන ව්‍යාපාරය වෙයි. බොල්ෂෙවික් විප්ලවයේ ජයග‍්‍රහණය රැුඳුනේ මාක්ස්වාදී දර්ශනය මත පිහිටා මෙසේ ලෙනින්ගේ  උපායික හා උපක‍්‍රමික මග පෙන්වීම අනුව බොල්ෂෙවික් පක්ෂය ගෙන ගිය අඛණ්ඩ අරගලය මත ය. නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීමට කි‍්‍රයා කිරීමේ දී එම සමස්ත අරගලයේ අත්දැකීම් යෝධ සවියක් ද ස්ථිරසාර පදනමක් ද වන බව අවධාරණය කරන අපි ඒ අත්දැකීම් ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු බව තවදුරටත් අවධාරණය කරමු.  
අප හමුවේ ඇති ප‍්‍රධාන අත්දැකීමක් වන්නේ  නිර්ධන පංති විප්ලවීය පක්ෂ ගොඩ නැගීමට ගොස් කලක් අපත් සිටි ජනතා විමුක්ති පෙරමුණේ අත්දැකීමයි. එදා ජවිපෙ ආරම්භක ක‍්‍රියාකාරීන්  සෘජුව මුහුණලා සිටි  ලාංකේය වාම ව්‍යාපාරයේ අවස්ථාවාදී හැඩගැසීම්වලට එරෙහිව ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමට පෙළඹීම හා  ඒ හේතුවෙන් වාම අන්තවාදය කරා ගමන් කිරීමත් ප‍්‍රධාන වශයෙන් ඔවුන් බොල්ෂෙවික් ව්‍යාපාරය සමස්තයක් වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම අවතක්සේරු කිරීමත් අතර ඇත්තේ පැහැදිලි සම්බන්ධතාවයකි.   ඔවුන් පැරණි වමේ පංති සහයෝගිතාවාදය හඳුනාගත් මොහොතේ,  මාක්ස්වාදීමය දැක්ම හා ප‍්‍රතිපත්තීන් හැඩගැසුන අවුරුදු 150 ට වැඩි පංති අරගල ඉතිහාසය තිබියදීත්, විශේෂයෙන් බොල්ෂෙවික් ව්‍යාපාරය වැනි අත්දකීමෙන් අති පොහොසත් ඉතිහාසයක් තිබියදීත් එය නිසි ගැඹුරකින්  කියවීමට උත්සාහ දැරුවේ නම් විප්ලවය, පක්ෂය, පක්ෂ උපාය මාර්ගය හා සන්නද්ධ නැගීටීම ආදිය  අතර වෙනස මෙන්ම ඒ එකිනෙක අතර තිබිය යුතු අපෝහක සම්බන්ධතාවය ද ඒවා සම්බන්ධ දෘෂ්ටිය හා ප‍්‍රතිපත්ති ද නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඉඩ තිබිණි. ජවිපෙ සම්බන්ධයෙන් එය එසේ නොවුන බව අපේ පිළිගැනීමයි.  
දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් කළ යුතු දේ නම් ඒවා ජාතික හෝ භූගෝලීය තත්වයන් අනුව වෙනස් නොවන බව ය, ධනවාදය සම්බන්ධයෙන් පොදු වශයෙන් අදාළ වන බව ය. මේ නිසා විප්ලවවාදී පක්ෂයක පදනම් කාර්ය වන්නේ මාක්ස්-ලෙනින්වාදී දැක්ම හා ප‍්‍රතිපත්තීන් නිවැරදි ලෙස හඳුනාගෙන ඒ මත තිර ලෙස පදනම් වීම ය.  
විප්ලවීය උපාය මාර්ගය 
මෙහි දී උපාය මාර්ගය  හා උපක‍්‍රම යන යෙදුම් නිරවුල්ව යොදා ගැනීම අවශ්‍ය ය. ඒ නොයෙක් අවස්ථාවල මේ දෙකම එකම අර්ථයේ යෙදෙන බවක් පෙනෙන හෙයිනි. මෙය සිංහල පරිවර්තනයන්හි පමණක් නොව ඉංග‍්‍රීසියෙහි ද දැකිය හැකි ය. උපාය මාර්ගය හා උපක‍්‍රම යන ඒවාට ඉංග‍්‍රීසියෙන් යෙදෙනුයේ පිළිවෙලින් ිඑර්එැටහ හා ඒජඑසජි ය. මේ වචන දෙක ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයෙහි සමාන වචන ලෙස ද දක්වා තිබේ. මෙයින් යම් අවුලක් ඇති වේ. ිඑර්එැටහ යන්නෙන් අදහස් කරන්නේ සමස්ත කි‍්‍රයා මාර්ගයකි. මූලෝපාය හෝ උපාය මාර්ගය ලෙස දැක්විය හැකි එය දිගුකාලීන හා සමස්ත කි‍්‍රයාවලියම වැළඳ ගන්නා එකකි. ඒජඑසජි යනු උපක‍්‍රම ය. ඒවා සමස්ත කි‍්‍රයාවලිය තුළ එක් එක් අවස්ථාවට, එක් එක් සිද්ධියට අනුව වෙනස් විය හැකි අතර උපාය මාර්ගය සාර්ථක කර ගැනීම සඳහා සේවය කරයි. එහෙයින් එම වචන එකී වෙනසට අනුව යොදාගත යුතුවේ. මේ වෙනස සැලකිල්ලට නොගෙන නොයෙක් අවස්ථාවල සිංහල පරිවර්තනයන්හි උපාය මාර්ගය ු උපක‍්‍රම වශයෙන් ද ඉංග‍්‍රීසි පරිවර්තනයන්හි ිඑර්එැටහ  ු  ඒජඑසජි වශයෙන් ද යොදා ගෙන තිබීම නොසලකා අපි උපාය මාර්ගය  උපාය මාර්ගය ලෙස ද උපක‍්‍රම උපක‍්‍රම ලෙස ද එකිනෙකට වෙනස් අරුතෙන්   භාවිතා කරමු. ඒ අනුව තැනක උපුටා ගැනීම්වලදී සඳහන්වන උපක‍්‍රම යන්න වෙනුවට අපි උපාය මාර්ගය යන්න යොදා ඇත.
පක්ෂයේ උපාය මාර්ගය සම්බන්ධයෙන් ලෙනින් මෙසේ කියයි.
”පක්ෂයේ උපාය මාර්ගය යනුවෙන් අප අදහස් කරන්නේ පක්ෂයේ දේශපාලන ස්වභාවය, නැතහොත්  හැසිරීම, එල්ලය හා එහි දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ විධි ක‍්‍රමයයි.”
                                               ලෙනින් තෝ. කෘති වෙළුම 3.  19 පිට
පැන නගින නව දේශපාලන තත්වයන් අනුව හෝ  පක්ෂය මුහුණදෙන නව කර්තව්‍යයන් සමබන්ධයෙන් හෝ නිශ්චිත රටක නිශ්චිත  අවධියක් සඳහා වලංගුවන සමස්තයක් වශයෙන් මුළු පක්ෂයේ දේශපාලන කි‍්‍රයා මාර්ගික හැසිරීම ඉතාමත් නොවරදින ලෙස පැහැදිලි කිරීම විප්ලවීය පක්ෂයක උපාය මාර්ගය යන්නෙන් අදහස් කෙරෙයි. නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනා ගැනීමේ කාලපරිච්ෙඡ්දය තුළ හා සමාජවාදය ගොඩ නැගීමේ කාලපරිච්ෙඡ්දය තුළ මෙන්ම එකිනෙක රටවල විශේෂිත තත්ත්වයන් අනුව ද අනුගමනය කරන උපාය මාර්ගික වැඩපිළිවෙල් එකිනෙකින් වෙනස් වන්නේ ද  මේ නිසා ය.  විප්ලවීය පක්ෂයේ තත්කාලීන අරමුණ විජයග‍්‍රහණය කරවීම  වෙනුවෙන්  නිර්ධන පංතිකයින්ගේ හා පීඩිත පංතිකයින්ගේ උපරිම සහාය ලබා ගැනීමට ඔවුන්ගේ දේශපාලන, ආර්ථික, මතවාදීමය හා විප්ලවීය හැකියා සියල්ල කළමනාකරණය කිරීමේ කලාව හා විද්‍යාව උපාය මාර්ගයෙහි අන්තර්ගත යි. උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යන සමස්තය මෙහෙයවන පොදු නියාමයන්  සාරාර්ථයෙන් ගැබ්වෙන හෙයින්  එය විද්‍යාවක් වන අතර පෘථුල අත්දැකීම් හා විමර්ශනයෙන් ලබා ගත් නිපුණතාවය අවශ්‍ය හෙයින් එය කලාවක් ද වෙයි. මෙම අර්ථයෙන් ගත් විට පක්ෂයේ දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති මෙන්ම  උපාය මාර්ගය ද අතිශයින් වැදගත් තැනක් ගනී. එසේ නමුත් උපාය මාර්ගය දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති  මෙන්  ස්ථාවර තත්ත්වයක් ගන්නේ නැත. පංතීන් සැමවිටම ඔවුනොවුන්ගේ දිශාවන් කරා ගමන් කරයි. ක‍්‍රියාවන් හා ප‍්‍රතික‍්‍රියාවන් ඇති කරයි. මෙහි තේරුම නම් පංති අරගලය නිරන්තරයෙන් සක‍්‍රීයව පවතින බවයි. දේශපාලන තත්ත්වයන් වෙනස් වෙමින් පවතින බව යි. වෙනස් වෙන නව දේශපාලන තත්වයන් අනුව  හා එම තත්වයන් යටතේ පක්ෂයට පැවරෙන නව කර්තව්‍යයන් අනුව උපාය මාර්ගය වෙනස් කිරීම්වලට භාජනය වන්නේ මේ නිසාය. මේ පිළිබඳ වැදගත් උදාහරණයක් නම් ලෙනින් ගේ අපේ‍්‍රල් තීසිසය යි. රුසියාවේ 1917 පෙබරවාරි විප්ලවයට පෙර උපාය මාර්ගය කේන්ද්‍රගත වූයේ සාර් එපා කම්කරුවන්ගේ ගොවියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාණ්ඩුවක් යන සටන් පාඨයෙන් ප‍්‍රකාශිත කෙරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය මතයි.  1917 පෙබරවාරි විප්ලවයෙන් රාජාණ්ඩුව පරදවා රාජ්‍ය බලය ධනපති පංතිය අතට පත්වෙමින් සභාග ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ තැන බලය සමාජවාදී විප්ලවයේ තැනට මාරු වූ පසු  විප්ලවයේ පළමු අදියර එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය නිමා වී ඇති නිසා එය ඉලක්කකර ගත් පක්ෂයේ පැරණි අවම වැඩපිළිවෙල යල් පැන ගොස් ඇති හෙයින් එය වෙනස් විය යුතු විය. සිය අපේ‍්‍රල් තීසිසයන් මගින් ලෙනින් සියළු බලය කම්කරු ගොවි සෝවියට් සභා වෙත යන නව සටන් පාඨය පෙරට ගනිමින් එම වෙනස් වීම කළේ තවත් අදාළ වෙනස් කිරීම් ද සමග ය. 
පක්ෂයේ දේශපාලන ස්වභාවය, හැසිරීම නැතහොත් එහි දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ විධික‍්‍රමය (උපාය මාර්ගය* සකස්කර ගැනීමේදී පංති හා පංති අරගලය පිළිබඳ ගැඹුරු කියවීමක් අවශ්‍ය වෙයි.  රටේ ආර්ථිකයේ ස්වභාවය, සමාජය පංතින්ට බෙදී ඇති අන්දම, කම්කරු පංතියේ,  ගැමි සහ නාගරික  පීඩිත පංතින්ගේ  හා  පීඩිත ජාතීන්ගේ තත්ත්වය ආදිය පමණක් නොව මැද පංතියේ හා දේශීය ධනපති පංතියේ ස්වභාවය,  ලෝක ධනපති පංතීන් සමග ඔවුන්ට ඇති සම්බන්ධතාවය,  එහි ස්වභාවය ආදිය ද නිවැරදි ලෙස විමසා බැලිය යුතු ය. ඒ ඒ ජනවර්ගයන්ගේ සංස්කෘතික හැසිරීම තේරුම් ගත යුතු ය. අභ්‍යන්තර භූගෝලීය තත්ත්වයන් මෙන්ම කලාපීය භූ පිහිටීම හා එහි බලපෑම් ද අධ්‍යායනය කළ යුතු ය. මෙසේ ලබා ගත් දැනුම තවමත් උපාය මාර්ගය නොව, උපාය මාර්ගය සකස්කර ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සපුරා ගැනීමකි. එම කොන්දේසි මත පිහිටා නිර්ධන පංතික රාජ්‍ය බලය ගොඩනැගීම සඳහා නිර්ධන පංතිකයින්ගේ හා පීඩිත පංතිකයින්ගේ උපරිම සහාය ලබාගැනීමට ඔවුන්ගේ දේශපාලන, ආර්තථික, මතවාදීමය හා විප්ලවීය හැකියා සියල්ල කළමනාකරණය කිරීම විප්ලවීය උපාය මාර්ගයේ අතිශය වැදගත්ම අංගය වෙයි. මෙය පැහැදිලි ලෙසම විප්ලවීය පක්ෂයක දෘෂ්ටිවාදය සහ  ප‍්‍රායෝගිකත්වය හා බැඳි පවතින්නකි, දෘෂ්ටිවාදය පංති අරගල යථාර්ථය සමග ගලපන අභියෝගාත්මක අවස්ථාවකි. න්‍යාය එහි අවසාන හැඩරුව ලබන්නේ සැබවින්ම පොදුජන සහ සැබවින්ම විප්ලවවාදී ව්‍යාපාරයක ප‍්‍රායෝගික ක‍්‍රියාකාරිත්වය හා සමග සමීප සම්බන්ධතාවයක් ඇතිව පමණි. (ලෙනින් තෝ. කෘති 10. 135 පිට) බොල්ෂෙවිකයන්ට මේ තත්ත්වය ජයග‍්‍රහණය කිරීමට හැකිවූ ඔවුන් සතු විශේෂ ගුණාංග තුනක් ගැන ලෙනින්   අවධාරණය කරයි.
1. නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණියෙහි පංති විඥානය, විප්ලවය කෙරෙහි වූ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වය
2. නිර්ධන පංතියත් නිර්ධන පංතික නොවන පොදු ජනතාවත් සමග ගැලපීම නැතිනම් සංයෝගවීමට ඇති හැකියාව
3. නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණිය දෙන දේශපාලන නායක්තවයේ නිවැරදිබව,  පොදු දේශපාලන ක‍්‍රියාමාර්ගයේ නිවැරදි බව හා ඒවා නිවැරදි බව ජනතාව ඔවුන්ගේම අත්දැකීම් මගින් දැන තිබීම,
     බොල්ෂෙවික්් ව්‍යාපාරයේ දෘෂ්ටිවාදය එහි ප‍්‍රායෝගික ක‍්‍රියාකාරිත්වය සමග බද්ධ කළාවූ ආකාරය පෙන්වන  ඉහත කී කරුණු තුන  ඕනෑම රටක විප්ලවීය ව්‍යාපාරයකට එකසේ අදාලවන බව පමණක් නොව අදාළ කරගත යුතු බව අපි අවධාරණය කරමු. මේ තත්ත්වය කරා ළගා වීමට අපොහොසත්  කිසිම පක්ෂයකට දියුණු පංතියේ පක්ෂය බවට හෝ ධනපති පංතිය බලයෙන් නෙරපා දමා මුළු සමාජයම පරිවර්තනයට භාජනය කිරීම හෝ කළ නොහැක්කක් බව ඉතා පැහැදිලි ය. බොල්ෂෙවික්වාදය හුදු වචන යෙදුමක් නොව, විප්ලවීය හැඩගැස්මකී. මෙකී තත්ත්වයන් ජවිපෙ සන්නද්ධ අරගල දෙකක් සහිත  අතීතය සමගත්  එහි වර්තමාන දේශපාලනය සමගත් පෙළගස්වා බලන්න.  පෙන්වූ කැපවීම, වීර්යය හා වීරත්වය හැරුණු කොට දෙවන හා තෙවන කොන්දේසි මගින් පෙන්වන ජනතාව සමහ සංයෝගවීම, දේශපාලන නායකත්වයේ නිවැරදිබව,  පොදු දේශපාලන ක‍්‍රියාමාර්ගයේ නිවැරදි බව හා ඒවා නිවැරදි බව ජනතාව ඔවුන්ගේම අත්දැකීම් මගින් දැන තිබීම සත්‍ය වශයෙන්ම සිදු නොවූ දේවල්ම ය. ඒ  කරා ළ`ගාවීමට ප‍්‍රයත්න නොදැරුවා පමණක් නොව අඩුම වශයෙන් සරළ අරුතින් හෝ ඒවා තේරුම් ගෙන තිබුණේ ද නැත. ජවිපෙන් කැඞී වෙන්වූ  පෙස පක්ෂය ද බොල්ෂෙවික්වාදය මෙවැනි අරුතකින් තෙරුම් ගෙන ඇති බවක් මෙතෙක් පෙන්නුම් නොකරන නමුත් එය කියවා ගැනීමට ඔවුන් දක්වන උද්‍යෝගයට අපේ කියවීම යම් පිටුවහලක් වේයැයි අපි කල්පනා කරමු. 
  අපි නැවතත් උපාය මාර්ගය වෙත පිවිසෙමු. විප්ලවවාදීන් පොදු ජනතාව සමග සංයෝග වන්නේ කෙසේ ද? විප්ලවවාදී පක්ෂයේ දේශපාලන නායකත්වයේ නිවැරදිබව හා එහි දේශපාලන ක‍්‍රියාමාර්ගයේ නිවැරදි බව  ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනගන්නට සලස්වන්නේ කෙසේ ද? විප්ලවීය පක්ෂය එසේ දැනුවත් පළල් ජනතාව නියමිත එල්ලය කරා මෙහෙය වන්නේ කෙසේ ද? ඒ සඳහා ඇති යාන්ත‍්‍රණය කුමන ආකාරයක් විය හැකි ද? සවිඥානක, සංවිධිත  කුඩා විප්ලවිය පක්ෂය, අවිඥානික, අසංවිධිත, පළල් බහු ජනතාව සමග සංයෝගවීමේදී එම ‘සංයෝගය’ ඊට මූලික වූ අංග දෙකෙන් එකක් පමණක් විය නොහැකි ය. එය විප්ලවීය පක්ෂයක්  නොවී ය. අනෙක් අතට එය හුදු ප‍්‍රජා ඝනයක් වූයේ ද නැත. එය නම්, විප්ලවීය බලය දෑතට ගනිමින් තම ‘එල්ලය’ කරා පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබූ රුසියානු පොදු පීඩිත ජනතාව නියෝජනය කළ කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන්ගේ සෝවියට් ව්‍යාපාරය ය. බොල්ෂෙවික්වරුන් තම පක්ෂයේ දේශපාලන නායකත්වයේ නිවැරදිබව හා එහි දේශපාලන ක‍්‍රියාමාර්ගයේ නිවැරදි බව ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනගන්නට සැලැස්වූ ප‍්‍රධාන හා වැදගත් ම මාධයය වූයේ එය යි.  ‘සෝවියට්’ නම් රුසියානු භාෂාවෙන් ලියා තිබූ නාම පුවරුව පිටුපස වූයේ  ඒ විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය යි.   
විප්ලවීය ව්‍යාපාරය සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රශ්න සාකච්ඡුා කිරීමේදී අපේ අත්දැකීම් පෙරට පැනීම නොවැළැක්විය හැකි ය.  අප විශ්වාස කරන අන්දමට ලෙනින්වාදී, ට්‍රොට්ස්කිවාදී, මා ඕවාදී කුමන ප‍්‍රවනතාවයක් වුවත් පොදු වශයෙන් ලාංකේය වාම ව්‍යාපාරය, පක්ෂය හා බහුජනතාව අතර සහසම්බන්ධය ගොඩනැගීම සම්බන්ධයෙන් පිළිතුරු සොයා ගැනීමෙහි අපොහසත් වී ඇත. සත්‍යවශයෙන්ම පෙනෙන්නට ඇත්තේ බොහෝ පාර්ශවයන්ට ඒ පිළිබඳ අව්‍යජ උවමනාවක් හා දැක්මක් ද නැති  බවකි. ජවිපෙ දියත් කළ සන්නද්ධ අරගල දෙක තුළින් ද එහි සමස්ත ඉතිහාසය තුළින් ද පෙන්නුම් කරන්නේ ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ වෙනුවට තමන් ආදේශ වීමකි, දේශපාලන ක‍්‍රියාමාර්ගයන්ගේ ‘නිවැරදිබව’, දේශපාලන නායකත්වයේ ‘නිවැරදිබව’  ඒත්තු ගන්වන්නේ සාමකාමී කාලවලදී නම් ආකර්ෂණීය ප‍්‍රවාරණය මගිනි. උද්ඝෝෂණ මගිනි. නැතිනම් කාමර සාකච්ඡුා මගිනි. ඒ ආදී වශයෙනි. අනෙක් කාලවලදී නම් අනෙක්වා ද සමග නීති සහගත මෙන්ම නීති කඩා ගෙන පෙරට යන ති‍්‍රයාකාරිත්වයන් ඇතුළු කි‍්‍රයා සමුච්චයක් මගිනි. ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ යනු පක්ෂය විටෙක පසුමුණේ ද බොහෝ විට පෙරමුණේ ද සිට කි‍්‍රයාකාරීව මැදිහත්වෙන වෙනස් වෙනස් හැඩයන් ඔස්සේ මුළු දෙන විප්ලවීය ජනතා කි‍්‍රයාකාරිත්වය යි. එහෙත් ජවිපෙ සම්බන්ධව ගත් කල සිදු වූයේ එය ජනතාව සමග සංයෝගවීම නොව ජනතාවගෙන් වියෝජනයවී  කිසියම් නිකායික ස්වරූපයක හැඩයක් ගැනීම ය.
විප්ලවීය උපාය මාර්ගය ගැන විමසීමේදී පැහැදිලි කරගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ සන්නද්ධ නැගිටීම පිළිබඳ සංකල්පය යි. සන්නද්ධ නැගීටීම සමස්ත උපාය මාර්ගය ද නැතිනම්, එහි නිශ්චිත තීරණාත්මක කඩඉමක් ද? 71 අරගලය සම්බන්ධයෙන් නම් ජවිපෙ උපාය මාර්ගය මුළු එකම සන්නද්ධ අරගලය පමණක්ම කැටිකොට ගත්තකි. එහි කැපවීම, වීර්යය හා වීරත්වය ප‍්‍රකාශ කෙරුණේ පංති විඥානයෙන් හෙබි පෙරමුණු බල ඇණිය එනම්  නිර්ධන පංති පක්ෂය ගොඩනැගීම හෝ ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ මුඛ්‍ය කරගෙන නොව සන්නද්ධ අරගලයම,  එයම පමණක්  මුඛ්‍ය කර ගෙන ය. ඉහත ලෙනින් අර්ථදක්වන අන්දමටත් බොල්ෂෙවික් ව්‍යාපාරයේ ඉතිහාසයට අනුවත් උපාය මාර්ගයේ වැදගත්ම හා ප‍්‍රමුඛම කාර්යභාරය සංයුක්ත වන්නේ පෙරමුණු බල ඇණිය පංති විඥානගත කිරීම, ජනතාව සමග සංයෝගවීම හා පක්ෂයේ දේශපාලන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්  ජනතාව තුළ විශ්වාසනීයත්වය ගොඩනැගීම වැනි කරුණුවලින් ය. මෙකී මනෝමූල තත්ත්වයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විෂයමූල තත්ත්වයන් ද සම්පූර්ණ නම් පමණක් බලය ලබාගැනීම සඳහා නැගීසිටීම  හැකියාවක් පමණක් නොව කළ යුත්තක් ද වෙයි. ඒ ඒ රටවල පවතින විශේෂිත තත්ත්වයන් අනුව නැගීසිටීම් ආකාරයෙන් වෙනස් විය හැකි ය. රුසියාවේ මෙන් නොව චීනයේ සහ වියට්නාමයේ මුලකඳවුරු හා ගරිල්ලා සටන් ක‍්‍රම පදනම් කරගත් දිග්ගැස්සුන මහජන යුද්ධයන්ගේ ස්වරූපයෙන් නැගිටීම් සිදුවී ඇත. ඒ සමගම එම රටවල් දෙකෙහිම නිර්ධන පංති විප්ලවවාදීන් කොමියුනිස්ට් පක්ෂ ගොඩනගමින්, කොමියුනිස්ට් පක්ෂවල මෙහෙයවීම ලබා දෙමින්  පළල් බහු ජනතාව දැනුවත් කිරිමට හා සංවිධානය කිරීමට ප‍්‍රමුඛ අවධානයක්  දී විප්ලවීය බහුජන අරගලය පණ පොවා ඇත. කියුබානු විප්ලවය මේ සියල්ලටම වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇත. කොමියුනිස්ට්වාදීන් ද ඇතුළත් කුඩා නමුත් ප‍්‍රබල ගරිල්ලා කණ්ඩායමක සටන් ව්‍යාපාරය හා නාගරික ජනතා ව්‍යාපාරයක ඒකාබද්ධ ක‍්‍රියාකාරිත්වයක් අන්තර්ගතව තිබිම එම නැගිටීමේ  විශේෂිත ලක්ෂණය යි. මෙහිදී අපි සැලකිල්ලට ගන්නේ කියුබානු විශේෂිතය නොව නිර්ධන පංති විප්ලවයේ පොදු ස්වභාවයි. ඒ අනුව නැගිටීමකට පූර්වයෙන් මනෝමූල තත්ත්වයන් ගොඩනැගීමත් නැගීසිීටීම සංවිධානය කිරීමත් එකම උපාය මාර්ගයකට අයත් අවස්ථා දෙකකි. නැගීසිටීම පෙරට ගැනීම මනෝරාජික විප්ලවවාදයක් මිස නිර්ධන පංති විප්ලවවාදය නොවේ. ජවිපෙ මේ සඳහා උදාහරණයක් වන අතර  ප‍්‍රතිසංස්කරණවාදය වැළඳගෙන විප්ලවීය නැගීසිටීම බැහැර කර දැමීම සම්බන්ධයෙන්  පැරණි වම උදාහරණයක් වෙයි.

Saturday, May 4, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 2

විප්ලවය, පංතිය හා පක්ෂය
      විප්ලවය පිළිබඳ සංකල්පය පොදු වශයෙන් ඉතිහාසය පිළිබඳ ලියකියවිලි හා පොත්පත් තුළ සටහන් වන්නේ මාක්ස්ට පෙර හා මාක්්ස්ට පසුකාලයේ පටන්ම ය. අදත් පාසැල් පෙළ පොත් තුළ අපට යුරෝපා ඉතිහාසය ඉගැන්වීමේදී විප්ලව ගැන කියා දෙයි. ඒ වැඩවසම්වාදය පෙරළා දමා ධනවාදය බිහිවීමට මග පෑදූ විප්ලවයන් - ධනේශ්වර විප්ලවයන් ගැන යි. නැගී එමින් තිබූ ධනවාදයට බාධකයන් වූ සියළු ආකාරයේ රදළවාදී සම්බන්ධතාවයන් වහාම බිඳදමා නව ධනේශ්වර සම්බන්ධතාවයන් තුළ මුළු මහත් සමාජය ස්ථානගත කිරීම ධනේශ්වර විප්ලවයේ කාර්යභාරය විය. එය ඒ තාක් දුරට ප‍්‍රගතිශීලී වෙයි.   මානව සමාජය ම්ලෙච්ඡුත්වයේ සිට ශිෂ්ඨත්වය කරා, නොදියුණුබවේ සිට දියුණුබව කරා, පහළ අදියරයක සිට ඉහළ අදියරයක් කරා ගමන්කරමින් පැවතිිි විචල්‍ය ප‍්‍රපංචයක් ලෙස දුටු ඉතිහාසඥයින් එය ධනවාදය කරා පිවිසි විගස  මානව සමාජීය සංවර්ධනය එතෙකින් කෙළවර කර ස්ථායී ප‍්‍රපංචයක් ලෙස සලකයි.  සිදුවෙන යම් දියුණුවක් වේ නම් ඒ ධනවාදයම ප‍්‍රසාරණය කරන්නකි.
මාක්ස්- ලෙනින්වාදය ධනවාදය සමාජ සංවර්ධනයේ ස්ථායී කඩඉම සේ නොසලකයි. සමාජ සංවර්ධනය  තවදුරටත් ධනවාදයෙන් සම්පූර්ණ වශයෙන් වෙනස් ගුණාත්මක තත්ත්වයන් අඩංගුකර ගන්නා නව සමාජ අදියරයක් කරා ගමන් ගන්නා බව පෙන්වා දෙයි. එය හුදෙක් මාක්ස්වාදයේ සොඳුරු බලාපොරොත්තුවක් හෝ අපේක්ෂාවක් නොවේ. ඊට පටහැනිව ධනේශ්වර සංවර්ධනයේ ම ප‍්‍රතිවිරෝධතාවයන් නව සමාජ අවධියක් ගොඩ නැගීම දිශානතිකර ගෙන මෝරා යන  නිසා ය.
ලෝකය වසාගනිමින් යෝධ පරිමාණ ව්‍යවසායයන් වර්ධනය වී ඇත. ඒවා ලෝකය උඩු යටිකුරු කරමින් අමු ද්‍රව්‍ය බිම් සොයා යමින් එකිනෙක සැතපුම් සිය දහස් ගණන් ඈතින් පිහිටි වඩාත් සුදුසු ස්ථානවලට සංවිධිත ආකාරයෙන් ප‍්‍රවාහනය කෙරෙයි. නේකාකාර නිමි භාණ්ඩ රාශියක් නිෂ්පාදනය කරමින්  කෝටි ගණන්  පාරිභෝගික පිරිසක් වෙත එකම සැලැස්මක් අනුව බෙදා හරී. මේ සියල්ලටම ඉහළින් ආයෝජන බිම් සොයා මහ බලවතුන්ගේ ප‍්‍රාග්ධනය පෘථිවි ගෝලය පුරා වියරුවෙන් සැරිසරයි. මෙම සමස්ත කි‍්‍රයාවලිය කුමන රටක කුමන අවස්ථාවක සිදුවුව ද නිවැරදි ලෙස දශමස්ථානයට ගණන් තැබීමෙහි සමත් දියුණු තාක්ෂණවේදයක් සොයාගෙන ඇත. ප‍්‍රග්ධනය, අමු ද්‍රව්‍ය හෝ පාරිභොගිකයා යන මේ කිසිම දෙයක හෝ පිරිසක  ජාතික විශේෂිත ලක්ෂණ තව දුරටත් ඉතිරිවී නැත. අධ්‍යාත්මික නිර්මාණවල තත්ත්වය ද මෙබඳුම ය. සීමා සහිත පටු ජාතික බුද්ධිය එන්න එන්න ම එහි සීමා වළලූ පුළුල් කර ගනිමින් ජගත් අධ්‍යාත්මික නිර්මාණ  ක්ෂේත‍්‍ර කරා වර්ධනය වෙයි. මින්  පෙනී යන්නේ වත්මන් ධනපති ක‍්‍රමය එය ගමන් ගන්නා සංවර්ධන මාර්ගය එය  පිරිසිදු පෞද්ගලික ව්‍යපාර පටිපාටිය ඉක්මවා ගමන් ගන්නා බවය. මෙතරම් බලසම්පන්න නිෂ්පාදන මාධ්‍යයන් හා හුවමාරු ක‍්‍රම මවා තිබෙන සමාජය (කො. ප‍්‍රකාශනය* ලෙනින් වඩාත් පැහැදිලි ලෙස අර්ථ දක්වන්නේ නිෂ්පාදනයේ සමාජමයකරණය  ලෙසය. මේ අරුතින් වත්මන් ධනවාදය නව සමාජය එනම් සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය තරමට නිෂ්පාදන බලවේගයන් වර්ධනය කර ඇත.  එහෙත්  නිෂ්පාදන මාධ්‍යයන් සියල්ල පෞද්ගලික දේපළ හිමිකම් යටතට එනම් ධනපතීන්ගේ  ස්වල්පයක ස්තරයක් අතට පත්වී ඇත. අද ලෝකයේ පොදු තත්ත්වය එයයි. නිෂ්පාදනය අතිශයින් සමාජමයකරණය වුවද  ජනගහනයෙන් වැඩි දෙනෙකූගේ තත්ත්වය වඩාත් දුගීබවට හා විඳ දරාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. වත්මන් සියළු විපත් සදහටම නැතිකරලීමට තරම් මාධ්‍යයන් තිබියදීත් එම මාධ්‍යයන් ධනපති ක‍්‍රමයට අනුව හැසිරවීම හේතුවෙන් විපත් වඩාත් තීව‍්‍ර වෙමින් පවතියි.  ඒ අනුව ධනපති ක‍්‍රමය තවදුරටත් කාලයට අනුරූප නොවෙන බව ඔප්පු වෙයි. එසේ නම් සියලූ විපත් නැති කරලීමට සමත් අයුරින් මාධ්‍යයන් හැසිරවීය හැකි නව සමාජ ක‍්‍රමයක් බිහි කිරීම විෂයමූල තත්ත්වයන් විසින් ම ඉල්ලා සිටින්නක් මිස මාක්ස්වාදී පරිකල්පනයක් නොවේ.
මෙසේ මාක්ස් කළේ අනෙක් ඉතිහාසඥයින් හා අර්ථ ශාස්ත‍්‍රඥයින් අපොහොසත් වූ ඉතිහාසයේ අපෝහක තර්කණය ඔප්පුකොට පෙන්වීම ය. නිෂ්පාදනයේ සමාජමයකරණය  වසා ගත් පෞද්ගලික දේපළ හිමිකම් කේන්ද්‍රීය කරගත් නිෂ්පාදන සබඳතා ක‍්‍රමය නැමති නොගැලපෙන පිටකටුව අනිවාර්යයෙන් ම ඉවත්කර නිෂ්පාදන බලවේගයන්ට යෝධ පිමි හරහා තව තවත් ඉදිරියට යාමට මං විවර කරන නව නිෂ්පාදන සබඳතා ක‍්‍රමයක්, සමාජ ධනය සමස්ත මානව වර්ගයාගේ පොදු යහපත එනයින් සෑම දෙනාගේම පෞද්ගලික යහපත සලසන ක‍්‍රමයක් උදෙසා සටන් වැදීම අද දවසේ කළ යුත්තක් බවට පත්ව තිබේ. බාධකයක්වූ මෙම පවතින පැරැුන්න ඉවත් කරීම  හා නව දෙය ගොඩනැගීම  අඩංගු සමස්ත ක‍්‍රියාවලිය සමජවාදී විප්ලවය ලෙස සැලකෙයි. ඇත්තවශයෙන් ම සමාජවාදී විප්ලවය මේතාක් දුරට හඳුනා ගැනීම ඒ පිළිබඳ තවමත් න්‍යායික වටහා ගැනීමක් පමණකි. කෙනෙකුට එවැනි අවබෝධයක් සාමාන්‍යයෙන් මාක්ස්වාදී සාහිත්‍යය කියවීමෙන් ලබාගත හැකි ය. නමුත් මාක්ස්වාදී විප්ලවවාදියා  යනු  හුදෙක් ඉහතකී වටහාගැනීම තුළ ?ඳී සිටින්නෙකු පමණක් නොවේ. ඔහු/ඇය විප්ලවය න්‍යායිකව වටහා ගැනීම භාවිතයට ද යොදන්නේ වෙයි. මුලදී ජාතික වශයෙන්  ස්වකීය ධනපති පංතිය සමග ගනුදෙනු බේරා අවසන් කරමින් (කො. ප‍්‍රකාශනය* ලෝක ධනපති ක‍්‍රමය ම පෙරළා සමාජවාදය ගොඩනැගීම දක්වා වූ දැක්මක් හා භාවිතයක් ඔහු/ඇය තුළින් ප‍්‍රකාශ වෙයි. නව සමාජ ක‍්‍රමය -සමාජවාදය සඳහා පළමුකොට  නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලබා ගත යුතුය.  නිර්ධන පංති විප්ලවයේ ප‍්‍රථම කොන්දේසිය වන්නේ එයයි. නිර්ධන පංති විප්ලවය සරළ හා සුගම්‍ය දෙයක් සේ සලකා ක‍්‍රියාකිරීමට කිසිදු මාක්ස්වාදී විප්ලවවාදියෙකුට ඉඩක් නොමැති බව සැලකිය යුතු ය. විප්ලවය හා සම්බන්ධිත සියළු පැති පිළිබඳ පූර්ණ කියවීමක් ලබා තිබිය යුතුය.  පූර්ව විප්ලවීය අවධිය හා පශ්චාත් විප්ලවීය අවධිය  තුළ ජනතාව හා  පක්ෂය සතු කාර්යභාරය ඒවා අතර අනොන්‍ය සම්බන්ධතාවය හා ඒ අනුව පක්ෂ උපාය මාර්ගය කෙසේ විය යුතු ද යන්න ගැඹුරින් හැදැරිය යුතුයයි අපි යෝජනා කරමු.
       සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය තරමට නිෂ්පාදන බලවේගයන් වර්ධනය වී තිබීම සහ විප්ලවය සඳහා අවශ්‍ය තත්ත්වයන් මෝරා තිබීම  එකක් ලෙස වටහා නොගත යුතු ය. (පළමුවැන්න වටහා ගත යුත්තේ න්‍යායික ඓතිහාසික අරුතකින් ය. දෙවැන්න ප‍්‍රායෝගික දේශපාලනික අරුතකින් ය.* ප‍්‍රථම කරුණෙන් ඉහත කී ලෙස ධනවාදය සමාජවාදය සඳහා  භෞතික හා සමාජීය වශයෙන් මුහුකුරා ඇති බවක් අදහස් කරයි.  දෙවැන්නෙන් අදහස්වන්නේ නිශ්චිත රටක පාලක ධනපති පංතියට  සිය පාලනය තව දුරටත්  පවත්වාගෙන යාමට නොහැකි තරමට එම රටේ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බූදය උත්සන්න වී තිබීම බවත් ඒ හේතුවෙන් තවත් එක අ`ගලක් හෝ ඉදිරියට යන්නට සමාජයට හැකියාවක් නොමැති බවත් ය. පීඩිත ජනතා නැගීටීම් මගින් සනිටුහන් කරන්නේ මෙහි උච්චතම අවස්ථාවන් ය. ස්වයං සිද්ධ හෝ යම් දුරකට සංවිධිත හෝ ජනතා නැගිටීම් සහිතව අර්බූදය එහි හිනිපෙත්තටම නැග  තිබුණ ද එය සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහණයෙන් කෙළවර වන්නේ යයි කිව නෙහැකි ය. එසේ වීමට නම්  එම රටේ  නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයේ විශේෂිත තත්ත්වයන් විසින් එම සමාජය වෙත ඇති  කර ඇති බලපෑම් හඳුනා ගනිමින් ඒ අනුව නිර්ධන පංතිය ප‍්‍රමුඛ සෙසු පීඩිත පංතික බලවේගයන් දැනුවත්කරමින්, හැඩගස්වමින් හා පෙළගස්වමින් ඉවසිල්ලෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව නායකත්වය සැපයීමෙහි සමත් නිවැරදි දෘෂ්ටියක්, ප‍්‍රතිපත්ති හා උපාය මාර්ගයක් සහිත නිර්ධන පංතියේ විප්ලවීය පක්ෂයක්  ගොඩ නගා තිබිය යුතු ය. මනෝමූල තත්ත්වයන් ගොඩනැගීම යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රධාන කොටම එය යි.  මේ අනුව ධනපති පාලනය පෙරළා දැමීමේ ජනතා නැගීටීමට පූර්වයෙන් විප්ලවීය පක්ෂයක කාර්ය  කොටස අතිශයින්  වැදගත් ස්ථානයක් හිමිකර ගනී.

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 1

 අද අප ජීවත් වන සමාජය  ස්වභාවික වශයෙන් ම ධනපති ක‍්‍රමයයේ ප‍්‍රචණ්ඩමය ආධිපත්‍යය විසින් මෙහෙයවනු ලබන, සංස්කෘතිකමය සමාජයක් පමණක් ම නොව ආගමික හා වාර්ගික  ඓතිහාසික සාධකයන් විසින් පොළවඹවනු ලැබ ආවේශයට පත් ජනතාවක් විසින් ස්ව කැමැත්තෙන්මත් තමන් පාලනය කරනු ලැබීමට ස්වකීය නියෝජිතයන් ලෙස සලකන සමාජ බල කණ්ඩායම් හරහා ධනපති පාලකයන්ට වරම් දෙනු ලැබ ඇති  සමාජයකි. මෙම තත්ත්වයන් ගේ එකතුව විසින් රාජපක්ෂ හෙජමොනිය නිර්මාණය කරනු ලැබ ඇත. ඊට ගෝලීය ධනවාදයේ ආශිර්වාදය හා අනුබලය නොඅඩුව ලැබෙයි. තරවටු කිරීම් කරන්නේ නම් ඒ ‘‘යහ මගට’’ ගැනීම සඳහාම පමණි. උතුරේ දෙමළ ජනතාවට ගේ දොර ඉඩකඩම් අහිමිකර ඇත. ඔවුන්ගේ පැල්පත් යටකරගෙන විසල් හමුදා සංකීර්ණයන් ගොඩ නැගෙයි. ඊටත් වඩා ඔවුන්ට හිමි ජාතික ගෞරවය හා අභිමානය අහිමි කරනු ලැබීමෙන් ඉතිහාසයේ කවරදාටත් වඩා ඔවුහු විඳවමින් සිටිති.