මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Friday, October 25, 2013

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද ?  - 2 
මාක්ස් සහ එංගල්ස් දෙදෙනාගේ නොබිඳුනු ශක්තිමත් සම්බන්ධතාවය මාක්ස්වාදයේ පදනම ශක්තිමත්  කිරීමෙහි ලා ඉවහල්වී ඇති එක් වැදගත් කරුණකි. දෙදෙනො පෞද්ගලිකව හඳුනාගැනීමට පෙර වෙන් වෙන් වශයෙන් සමාන මතවාදයක් කරා එමින් සිටියහ. 
Rheniche Zeitun   පුවත් පතට 1842 සිට දර්ශනය , දේශපාලනය හා දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් ලියන ලද ලිපි තුලින් ඉදිරිපත් වූ  දෘෂ්ටීන්ගේ සහමතියක් පිළිබිඹුවෙයි.  තවදුරටත් 1844  පෙබරවාරියේ දී මාක්ස්ගේ ප‍්‍රධානත්වයෙන් නිකුත්වූ ජර්මන් - ප‍්‍රංශ ඉතිහාස සංග‍්‍රහයට ( මෙහි එකම කලාපයක් පමණි නිකුත්වූයේ) ‘දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් විවේචනයක් සඳහා කෙටි සටහන් ’ මැයෙන්  ලියන ලිපියෙහි පෞද්ගලික දේපළ, ප‍්‍රාග්ධනය, ශ‍්‍රමය, ලාභය ගැන විග‍්‍රහකරමින් ‘‘අපි පෞද්ගලික දේපළ අහෝසිකරන්නේ නම්, එවිට මේ සියළු අස්වාභාවික බෙදීම් අන්තර්ධාන වෙනවා ඇත.’ යනුවෙන් එංගල්ස් තනිව එළඹෙන දේශපාලන-ආර්ථික නිගමනයත්,  එම ඉතිහාස සංග‍්‍රහයෙහිම ‘අයිතිය පිළිබඳ හෙගල්ගේ දර්ශනවාය සම්බන්ධයෙන් විවේචනයට දායකත්වය - හැඳින්වීමක් ’ ලිපියෙහි ජර්මනියෙහි විමුක්තිය ගැන සඳහන් කරමින් ‘මෙම විමුක්තියෙහි හිස නම්  දර්ශනවාදයයි, හදවත නම් නිර්ධන පංතියයි. නිර්ධන පංතියේ ඉදිරියට පැමිණීමකින් තොරව දර්ශනවාදයට ඊටම ප‍්‍රත්‍යක්ෂවිය නොහැකිවාක් මෙන්ම දර්ශනවාදය ප‍්‍රත්‍යක්ෂවීමෙන් තොරව නිර්ධන පංතියට ද ඉදිරියට යා නොහැක’ යනුවෙන් මාක්ස් දාර්ශනික දෘෂ්ටියකින්  එළඹෙන නිගමනයත් ඉදිරියේ දී දෙදෙනා අතර ඇතිවෙන  අනුකූලතාවය කදිමට පෙන්නුම් කරයි. (http://www.marxists.org/archive/marx/works   

Wednesday, October 23, 2013

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද?

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද?
‘මාක්ස්වාදී චින්තනයට එංගල්ස් ආනයනය කළ රළු නියතභාවය  දේශපාලන තලයේ දී මූර්තිමත් වූයේ  සමාජවාදයේ ජයග‍්‍රහණය පථයක ගමන් ගන්නා ග‍්‍රහයන් විසින් උදාකරන්නාක් වැනි තිර නිශ්චිතකරණයවීමක් ලෙසය.’ ( මාක්ස්වාදය -  ඓතිහාසික හා විවේචනාත්මක අධ්‍යායනයක් - ජෝජ් ලිච්හෙයිම් (1912-1973 ජර්මන් ජාතික චින්තකයෙක් )
ජෝජ් ලිච්හෙයිම්   එංගල්ස් විසින් මාක්ස්වාදය දැඩි ලෙස විකෘතිකරන ලදැයි චෝදනාකරන එක් අයෙක් පමණි. බටහිර දාර්ශනිකයන්, චින්තකයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් එසේ එංගල්ස්ට චෝදනා කරති. චෝදනා සහ ඒවා සනාථ කිරීමට ඔවුන් ඉදිරිපත් කරන තර්ක විමසිය යුතු අතරම එසේ කිරීමට ඔවුන් පොළඹවන ලද පසුබිම කුමක් ද, අනතුරුව ඔවුන් මාක්ස්වාදය ස්ථානගත කිරීමට ප‍්‍රයත්න දරන්නේ කොතැනක ද, ඔවුන්ගේ විකල්ප මතවාදයන් සහ ඒවා සමාජයේ පූර්ණ වෙනසකට ප‍්‍රායෝගික විසඳුම් සපයන්නේ ද වැනි කරුණු සම්බන්ධයෙන් ද එසේම අවධානය යොමුකළ යුතු බව අපි කල්පනා කරමු. 
 ‘මාක්ස්වාදය’ට මාක්ස් යන විශේෂණ පදය යොදා ඇති නමුත්  ඉන් මූර්තිමත් කෙරන්නේ මාක්ස් ම පමණක් නොව මාක්ස් සහ එංගල්ස් යන දෙදෙනාම ය. එංගල්ස්ගේ මිතුරන් අතර මෙන් ම සතුරන් අතර ද එංගල්ස් සම්බන්ධ පිළිගැනීම වූයේ ඔහු මාක්ස්ගේම තරමක් වෙනස් වු ආත්මයක් ලෙස ය. එංගල්ස්ට මාක්ස් සමග තිබූ පෞද්ගලික කිට්ටු සම්බන්ධය මෙන් ම දෙදෙනාගේ දේශපාලන මතිමතාන්තර අතර වූ දැඩි සමානත්වය එවැනි පිළිගැනීමකට හේතු වී ඇත.  එංගල්ස් අවුරුදු 40 ක් පමණ මාක්ස් හා එක්ව ‘මාක්ස්වාදය’ පෝෂණය කර ඇති අතර මාක්ස්ගේ අභාවයෙන් (1883) අනතුරුව  ඔහු මියෙන තෙක් ම (1895) එම කාර්යය අඛණ්ඩව ඉදිරියට කරගෙන ගොස් ඇත.