මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Friday, October 25, 2013

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද ?  - 2 
මාක්ස් සහ එංගල්ස් දෙදෙනාගේ නොබිඳුනු ශක්තිමත් සම්බන්ධතාවය මාක්ස්වාදයේ පදනම ශක්තිමත්  කිරීමෙහි ලා ඉවහල්වී ඇති එක් වැදගත් කරුණකි. දෙදෙනො පෞද්ගලිකව හඳුනාගැනීමට පෙර වෙන් වෙන් වශයෙන් සමාන මතවාදයක් කරා එමින් සිටියහ. 
Rheniche Zeitun   පුවත් පතට 1842 සිට දර්ශනය , දේශපාලනය හා දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් ලියන ලද ලිපි තුලින් ඉදිරිපත් වූ  දෘෂ්ටීන්ගේ සහමතියක් පිළිබිඹුවෙයි.  තවදුරටත් 1844  පෙබරවාරියේ දී මාක්ස්ගේ ප‍්‍රධානත්වයෙන් නිකුත්වූ ජර්මන් - ප‍්‍රංශ ඉතිහාස සංග‍්‍රහයට ( මෙහි එකම කලාපයක් පමණි නිකුත්වූයේ) ‘දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් විවේචනයක් සඳහා කෙටි සටහන් ’ මැයෙන්  ලියන ලිපියෙහි පෞද්ගලික දේපළ, ප‍්‍රාග්ධනය, ශ‍්‍රමය, ලාභය ගැන විග‍්‍රහකරමින් ‘‘අපි පෞද්ගලික දේපළ අහෝසිකරන්නේ නම්, එවිට මේ සියළු අස්වාභාවික බෙදීම් අන්තර්ධාන වෙනවා ඇත.’ යනුවෙන් එංගල්ස් තනිව එළඹෙන දේශපාලන-ආර්ථික නිගමනයත්,  එම ඉතිහාස සංග‍්‍රහයෙහිම ‘අයිතිය පිළිබඳ හෙගල්ගේ දර්ශනවාය සම්බන්ධයෙන් විවේචනයට දායකත්වය - හැඳින්වීමක් ’ ලිපියෙහි ජර්මනියෙහි විමුක්තිය ගැන සඳහන් කරමින් ‘මෙම විමුක්තියෙහි හිස නම්  දර්ශනවාදයයි, හදවත නම් නිර්ධන පංතියයි. නිර්ධන පංතියේ ඉදිරියට පැමිණීමකින් තොරව දර්ශනවාදයට ඊටම ප‍්‍රත්‍යක්ෂවිය නොහැකිවාක් මෙන්ම දර්ශනවාදය ප‍්‍රත්‍යක්ෂවීමෙන් තොරව නිර්ධන පංතියට ද ඉදිරියට යා නොහැක’ යනුවෙන් මාක්ස් දාර්ශනික දෘෂ්ටියකින්  එළඹෙන නිගමනයත් ඉදිරියේ දී දෙදෙනා අතර ඇතිවෙන  අනුකූලතාවය කදිමට පෙන්නුම් කරයි. (http://www.marxists.org/archive/marx/works   

මාක්ස් එංගල්ස් දෙදෙනාගේ ප‍්‍රථම  මුණගැසීම සිදුවන්නේ 1844 ගිම්හානයේ දී පැරිසියේ දී ය.   පැරිසියේ දී ඔවුන්ගේ එම හමුවීම ගැන එංගල්ස්  පසුකාලයේ මෙසේ කියයි.
‘‘සියලූ න්‍යායික ක්ෂේත‍්‍රයන්හි අපේ පූර්ණ එක`ගතාවය ප‍්‍රත්‍යක්ෂ වූ අතර අපේ එකට වැඩකිරීම එතැන් සිට ඇරඹෙයි. ’
 ඔවුන්ගේ ප‍්‍රථම හමුවීමෙන් පසු මාක්ස් මියයන තෙක් 1883 දක්වා මාක්ස් තනිවම ද එංගල්ස් සමග එක්ව ද  එතැන් සිට එංගල්ස් මියයන තෙක් 1895 දක්වා එංගල්ස් තනිවම ද වශයෙන් අඩ සියවසක පමණ කාලයක් පුරා  ලියන ලද ප‍්‍රධාන ලිපි සහ කෘතින් තුල ඉදිරිපත් කෙරෙන මතයන් අතර සමපාතයක් ම මිස පරස්පරතාවයක් පිළිබිඹු නොවෙයි. 
මාක්ස්ගේ රචනා -
අයිතිය පිළිබඳ හෙගල්ගේ දර්ශනයට විවේචනයක් (1843-44), ආර්ථික සහ දාර්ශනික අතපිටපත්  (1844), ෆෙබාර්ක් පිළිබඳ තීසිසයන් (1845), දර්ශනයේ දුගීබව (1847), වැටුප් ශ‍්‍රමය සහ ප‍්‍රාග්ධනය (1847 ) , ප‍්‍රංශයේ පංති අරගලයන් 1848-1850 (1850), ලූවී බොනපාට්ගේ 18 වෙනි බෲමරය (1852) දේශපාලන ආර්ථිකවිද්‍යාව පිළිබඳ විවේචනයට දායකත්වය - හැඳින්වීම (1857), අතිරික්ත වටිනාකම පිළිබඳ නියාමය (1861) , ප‍්‍රාග්ධනය ෂ (1867), ප‍්‍රංශයේ සිවිල් යුද්ධය (1870-71), ගොතා වැපිළිවෙල පිළිබඳ විවේචනය (1875) සහ ප‍්‍රාග්ධනය කෘතිය සම්පූර්ණකිරීම සඳහා අවශ්‍ය සටහන් ලිවීම .
එංගල්ස්ගේ රචනා -
දේශපාලන අරේථිකවිද්‍යාව සම්බන්ධ දළ සටහන් (1844), එංගලන්තයේ කම්කරු පංතියේ තත්ත්වය (1845), කොමියුනිස්ට්වාදයේ මූලදර්ම(1847), ජර්මනියේ ගොවි යුද්ධය(1850), ජර්මනියේ විප්ලවය සහ ප‍්‍රතිවිප්ලවය(1852), මාක්ස්ගේ ‘ප‍්‍රාග්ධනය’ යේ සංක්ෂිප්තය (1668), වානරයාගේ සිට මිනිසා දක්වා ශ‍්‍රමය විසින්  ඉටුකරන ලද වැඩකොටස(1876), ඩූරිං විරෝධය(1877), අපෝහකය පිළිබඳ(1878), සමාජවාදය -මනෝරාජික සහ සමාජවාදී (1880), ස්වභාවයේ අපෝහකය (1873-86), පවුල, පෞද්ගලික දේපල සහ රාජ්‍යයේ සම්භවය (1884), ලූඞ්විග් ෆෙබාර්ක් සහ සම්භාව්‍ය ජර්මන් දර්ශනවාදයේ අවසානය(1886), සහ මාක්ස්ගේ ප‍්‍රාග්ධනයේ සස ල සසස වෙළුම් සංස්කරණයකර ප‍්‍රකාශයට පත්කිරීම (1885-94)
මාක්ස් -එංගල්ස් දෙදෙනාගේම සහභාගිත්වයෙන් එළිදැක් වූ රචනා
    සුද්ධ වූ පවුල (1845), ජර්මන් දර්ශනවාදය(1845-46) , කොමියුනිස්ට් ප‍්‍රකාශණය (1848), ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ ඉල්ලීම් (1848), බකුනින් සමග ගැටුම(1865), පංති අරගලයේ උපාය සහ උපක‍්‍රමයන් (1879),
න්‍යායික වශයෙන් මාක්ස්වාදය ලෙස සලකණු ලබන්නේ  මෙම ප‍්‍රධාන පෙළ රචනා තුළ අඩංගු සමස්ත මතවාදයන්ගේ සාරය යි. මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, ඔහුගේ ‘බුදුන් වහනසේ සහ කාල් මාක්ස් -මිනිසා සහ මනුෂ්‍ය ස්වභාවය ගැන ’කෘතියෙහි මාක්ස්වාදයෙහි එම සාරය
        (අ)  අපෝහක අන්තර්ගතය
        (ආ) ඓතිහාසික භෞතිකවාදී අන්තර්ගතය
ලෙස  ප‍්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි. මෙසේ බෙදා දැක්වුව ද ඒවා හොඳින් ඒකාබද්ධ වූ එකම පද්ධතියක් සේ සැලකිය යුතු බව ද ඔහු අවධාරණය කරයි. එංගල්ස්  මාක්ස්ගේ මූලික මතයන්ට පරස්පරව පෙනී සිටියේ ද නැතිනම්  යම් විෂයයීක කරුණක අවශ්‍යතාවය තකා මාක්ස්ගේ මතයන් හිතූමනාපයට වෙනස්කරන් ලද්දේ දැයි යන ප‍්‍රශ්න නිරාකරණයකර ගැනීමට,  ප‍්‍රථමයෙන් ම මාක්ස්ගේ   මූලික මතවාදයන් ද දෙදෙනාම එක්ව ලියන ලද රචනා ද එංගල්ස් තනිව කරන ලද රචනා ද ප‍්‍රවේසමෙන් පිරික්සිය යුතුව ඇත.
අපෝහක අන්තර්ගතය
ලෝකයේ සියලු දේ සහ ක‍්‍රියාවලියන්  අභ්‍යන්තරයෙහි  ප‍්‍රතිවිරෝධාවයන්ගේ නිරන්තර ගැටීමක් ඇති අතර ඒවායේ අන්තර් සම්බන්ධතාවයක් මෙන්ම අනොන්‍ය නිශේධනයක් ද ඇත. සමස්තය තුල මිස කිසිවක් නිරපේක්ෂ වශයෙන් එකිනෙකෙන් වෙන්ව නොපවතී. සියල්ල අඛණ්ඩව වෙනස්වන තත්ත්වයක පවතින අතර එය හුදු වෙනස්වීමක් නොව ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක තත්ත්වයන්ගේ අන්තර් සම්බන්ධිත කි‍්‍රයාවලියක ප‍්‍රතිඵල වශයෙන් සිදුවන්නකි.
මාක්ස්  සිය ‘දර්ශනයේ දුගීබව’ (1847) කෘතියෙන්  පෘදොන් ගේ ‘දුගීබවේ දර්ශනය’විවේචනය කිරීමෙහි දී භාවිතකරන අපෝහක විධික‍්‍රමය පෘදොන්ගේ සාවද්‍ය දෘෂ්ටිය පමණක් නොව හෙගල්ගෙන් වෙනස් වූ මාක්ස්ගේ අපෝහකවාදය පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.
පෘදොන්ගේ ‘දුගීබවේ දර්ශනය’ දේශපාලන ආර්ථිකවිද්‍යාව අලලා රචනා වූවකි. එහිදී ඔහු යොදාගන්නේ  හෙගේලියානු තර්ක ක‍්‍රමයයි. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාඥයන් කරන පරිදි පෘදොන් ද ධනේෂ්වර නිෂ්පාදන සම්බන්ධතාවයන්,  ප‍්‍රාග්ධනය, හ‍්‍රම විභජනය, ණය, කොටස් වෙළඳපල, බැංකු ක‍්‍රම ආදී ආර්ථික ප‍්‍රභේදයන්  ස්ථාවර, නිත්‍ය දේවල් සේ ෂලකා එම ප‍්‍රභේදයන් , නියාමයන් ,මූලදර්මයන් , මතයන්  ආදියේ සම්භවය පැහැදිලි කිරීමට තැත් දරයි. මෙම සම්බන්ධතාවයන් තුල නිෂ්පාදනය සිදුවන අයුරු ඔහු පැහැදිලිකළත්  එම සම්බන්ධතාවයන් නිපදවෙන්නේ කෙසේද එනම් ඒවාට උපත දෙන්නාවූ ඓතිහාසික චලිතය කුමක්ද යන වැදගත් කරුණ පැහැදිලි නොකරයි. ප‍්‍රභේදයන් (නියාමයන්, මූලදර්මයන්, මතයන්) නිෂ්පාදන සම්බන්ධතාවයන්ගේ ඓතිහාසික චලිතයේ ම ප‍්‍රකාශනයන් මිස ඉන් ස්වාධීනව,  ඕපපාතිකව පැනනගින්නා වූ දේ නොවේ. ඒ අනුව හුදු, සදාකාලික, අකර්තෘක (
Impersonal)හේතූන්ගේ චලිතයකින් ප‍්‍රභේදයනගේ (නියාමයන්, මූලධර්මයන්, මතයන් ආදියේ* සම්භවය සිදුවිය නොහැක්කක්ම ය. උදාහරණයක් වශයෙන් ‘ශ‍්‍රමිකයා’ යන වර්ගීකරණය නැතිනම් ප‍්‍රභේදය ගනිමු. එය ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතාවයන් තුල පැනනැග්ගකි. ස්වභාවයේ සෑම දේකම අන්තරගතව  ඇති සම්භවය, පරිනාමය හා අභාවය යන අනවරත චලිතයට ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතාවයන් ද යටත් වෙයි. ඒ අනුව ‘ශ‍්‍රමිකයා’ යනු සදාකාලික, නිත්‍ය හේතුවකින් පැනනැගි ප‍්‍රභේදයක් ( සංකල්පයක් ) නොව  එම අනවරත චලිතයක පවතින ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතාවයන්ගේ එක් සංකල්පීය ප‍්‍රකාශනයකි, එයින් ම උපන්  ප‍්‍රභේදයකි. ඒ අනුව ප‍්‍රභේදයන්, නියාමයන්, අදහස් ආදිය හුදු අකර්තෘක හේතූන් නිසාවෙන් ප‍්‍රභවය ලබනවා නොව  අදාළ ප‍්‍රපංචයන්ගේ ඓතිහාසික චලිතය නිසාවෙන් ප‍්‍රභවය ලැබූ ඒවා වෙයි.
ලෝකයේ සිලූම දේ  නිරපේක්ෂ වශයෙන් එකිනෙකින් වෙන්වු ඒවා නොව , අන්තර් සම්බන්ධිත ඒවා වේ. එසේම ඒ සෑම දෙයක් ම  දාමයක් ලෙස වෙනත් ප‍්‍රපංචයක හේතුවෙන් පැනනැග්ගකි.   සෑම දෙයකම ඊටම අයත් ස්වයං හේතූන් පවතින අතර එම හේතූන් විසින් ඒවායේ චලිතය තීරණය කරන  බව මාක්ස් අවධාරණයකරයි.
චලිතයේ තාර්කික රූපාකාරය (
logical form of movement )  මෙලෙස සූත‍්‍රගත කෙරෙයි.
    (අ) ස්ථානගතවීමේ අවස්ථාව  -
position           
    (ආ) ප‍්‍රතිවිරෝධක අවස්ථාව     -
opposition
 
    (ඇ) සංයෝජන අවස්ථාව      -
composition

මෙම සූත‍්‍රය ග‍්‍රීක සහ හෙගේලියානු ක‍්‍රමයට නම් කෙරෙන්නේ  
     (අ) ප‍්‍රවාදය         -
-   thesis

    (ආ) ප‍්‍රතිවාදය         -
antithesis

     (ඇ) සංශ්ලේශණය   -   -  synthesis   ලෙසය.
මාක්ස් එය   සූත‍්‍රගත කරන්නේ මෙසේය.
    (අ)  ප‍්‍රතිජානනය        -
affirmation

    (ආ)  නිශේධනය        -   negation
    (ඇ)  නිශේධනයේ නිශේධනය  - negation of negation
ප‍්‍රපංචයක චලිතය  අවස්ථා තුනකට මෙසේ බෙදා දැක්වුවත් ඒ බෙදීම් කුමන නමකින් හැඳින් වුවත් ඒවා චලිතය,  තාර්කිකව එනම් න්‍යායිකව ප‍්‍රකාශකෙරෙන හා හඳුනාගන්නා විධික‍්‍රමය බව සැලකිය යුතුය. මක්නිසාද , මේ අවස්ථා කිසිවක් එකිනෙකින් වෙන්කළ නොහැකි , එකම සමස්තයක් තුල අන්තර්ගතව ඇති නිසාය.
සෑම ප‍්‍රපංචයක්ම අනොන්‍ය  සම්බන්ධතාවයන්ගෙන් යුත් සංකීර්ණක්ය යන වැටහීම ඇතිව අධ්‍යයනයේ පහසුව සඳහා එම දිගු දම්වැලෙන් එක් පුරුකක් ලෙස ගෙන ප‍්‍රවාදයක් නැතිනම් සංකල්පයක්   චලිතයට බඳුන්වෙමින් වර්ධනය වන අකාරය විමසා බලමු.
සංකල්පයන්ට අදාළව නම් යම්  සංකල්පයක් මතුවී ස්ථානගත වූ විගස එනම් (අ) ප‍්‍රවාදයක් (
thesis) වනවාත් සමග ම එම ප‍්‍රවාදය ඊටම ප‍්‍රතිවිරෝධීව නැගී සිටී. එය ප‍්‍රතිශේධාත්මක හා නිශේධාත්මක ලෙස,  ‘ඔව්’ හා ‘නෑ’ ලෙස ප‍්‍රතිවිරෝධී සංකල්ප දෙකක් ලෙස විභේදනය වී (ආ) ප‍්‍රතිවාදය (antithesis)  ලෙස ස්ථානගත වෙයි. මෙලෙස ප‍්‍රතිවාදය තුල  අඩංගුකරගත් මෙම ප‍්‍රතිඝට්ඨනීය මූලිකාංග දෙකේ අරගලය එහි අපෝහක චලිතය ස්ථාපනය කරයි. ‘ඇත’, ‘නැත’ බවටත් , ‘නැත’, ‘ඇත’බවටත්, ‘ඇත’, ‘ඇත’ සහ ‘නැත’ යන දෙකම බවටත්, ‘නැත’,  ‘ඇත’ සහ ‘නැත’ යන දෙකම බවටත් පත්වෙමින් ප‍්‍රතිපක්ෂයන් එකිනෙක සමතුලිත කෙරෙයි, උදාසීන කෙරෙයි, අකර්මන්‍ය කෙරෙයි. මෙම ප‍්‍රතිවිරෝධී සංකල්ප දෙක සංයෝජනය වී  (ඇ) සංශ්ලේෂණය ( synthesis) අවස්ථාවට පිවිසෙන අතර  දැන් එහි ස්ථාපනය වී ඇත්තේ මෙම ක‍්‍රියාවලියෙහි සහභාගිවූ ආරම්භක සංකල්පය නොව නව සංකල්පයක්ම ය. මෙම සංකල්පය නැවත ප‍්‍රතිවිරෝධී සංකල්පයන් දෙකකට විභේදනය වෙමින් නව සංශ්ලේෂණයක් තුල සංකලනය වෙයි. මෙආකාරයෙන් අපෝහක චලිතය ක‍්‍රියාවලිය පුරා ප‍්‍රකාශයට පත් වෙයි. 
උදාහරණයක් වශයෙන් මෙම අපෝහකය වෙළඳ භාණ්ඩ  තුල ප‍්‍රකාශ වන්නේ කෙසේදැයි සොයා බලමු.  A නම් නිෂ්පාදනය එහි හිමිකරු විසින් හුවමාරුව සඳහා වෙළඳපල පරිපථයට ඇතුල් කළා යයි සිතමු.  ඒ විගස එයට මුහුණ ලා හුවමාරුවට සූදානමින්  B නම් වෙළඳ භාණ්ඩය පෙනී සිටී. ප‍්‍රයෝජ්‍යතාවය අතින් A කිසිවිටකත්  B ට සමානවිය නොහැක. මක්නිසාද කිසිම අවස්ථාවක සමාන ප‍්‍රයෝජ්‍ය වටිනාකම් අතර හුවමාරුවක් සිදුනොවන නිසාය, පාන් රාත්තතලකට පාන් රාත්තලක්ම හුවමාරුකිරීම තේරුමක් නැති නිසාය. මේ අනුව A සහ B නොවැලැක්විය හැකි ලෙසම එකිනෙකට ප‍්‍රතිවිරෝධී පාර්ශව දෙකක් ලෙස පෙනී සිටියි. එනම් ‘ඇත’ හෝ ‘නැත’ ලෙස පෙනී සිටියි.  අනෙක් අතට A  සහ B  ගේ අයිතිකරුවන් දෙදෙනාම හුවමාරු ක‍්‍රියාවලියට ඇතුල් වෙන්නේ ඔවුන් එකිනෙකා තුල මෙන් ම එකිනෙකා අතරම ත්  පරස්පර ද්විත්ව අපේක්ෂාවන් ඇතිව ය. එකෙකුට  තමන්ගේම භාණ්ඩයේ  ක්ෂණික ප‍්‍රයෝජ්‍යතාවක් නැත. එනම් ඔහුට එය නිෂේධාත්මකය. (
negative),  එහෙත් ඔහුට අනෙකාගේ   භාණ්ඩයෙහි ප‍්‍රයෝජ්‍යතාවක් ඇත. එනම් ඔහුට එය ප‍්‍රතිෂේධාත්මකය. (positive)අනෙකා සම්බන්ධයෙන් ද තත්ත්වය මෙසේම ය. ඒ අනුව A , එහි අයිතිකරුට සාපේක්ෂව නිශේධනයකි. නමුත් B ගේ අයිතිකරුට සාපේක්ෂව Aප‍්‍රතිෂේධනයකි. එනම් එකම මොහොතකA නිෂේධාත්මක  හා ප‍්‍රතිෂේධාත්මක  ලෙස ප‍්‍රතිඝට්ඨණීය මූලිකාංග දෙකක්  අඩංගු කර ගනී.  Bසම්බන්ධයෙන් ද තත්ත්වය මෙපරදිම ය.  මෙලෙස ප‍්‍රතිඝට්ඨණීය පාර්ශව දෙකක අරගලය මගින් පෙන්නුම් කරන්නේ හුවමාරු ක‍්‍රියාවලියෙහි  අඩංගු අපෝහකය යි. එය  මුලූ ක‍්‍රියාවලිය  චලිතයක පවත්වාගෙන යයි, එය අදාළ හුවමාරු ක‍්‍රියාවලිය සාපේක්ෂව තුලනය කරයි.  හුවමාරුවේ ප‍්‍රතිඵලයක් වශයෙන්  A සහ B වෙළඳ භාණ්ඩ පරිපථයෙන් ඉවත්වන ක්ෂණයෙන් අදාළ සංශ්ලේෂණීය අවස්ථාව - (composition)නිශේධනයවී නව ප‍්‍රතිවිරෝධයන් සහිත නව සංශ්ලේෂණීය අවස්ථාවක් ස්ථාපනය වෙයි. වෙනත් විදියකට කියනවා නම් ප‍්‍රතිවිරෝධතාවයන් වර්ධනය වී සමතුලනය අහෝසිවීමෙන් ්  සහ ඊ භාණ්ඩ පරිපථයෙන් විසි වී නව සංශ්ලේෂණීය අවස්ථාවක් ස්ථාපනය කරගැනීමට ඉඩ හරියි.
මිනිස් ඉතිහාසය විවරණය කිරීමේදී හෙගල් අපෝහක තර්කනය යොදාගත්ත ද එහිදී සචේතනික මිනිස් ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රාථමික කාර්යභාරය බැහැර කර සෑම දෙයක්ම තාර්කික ප‍්‍රභේදයන්ට (
logical category & ඌනනය කළේ ය. ඒ අනුව සවිඥානකත්වය, ධනය, රාජ්‍ය බලය, ආගම, නීතිය, අයිතිය, යනාදිය  සංකල්පමය භූතාර්ථයන් ( thought entities ) පමණි.  කාලානුරූපී ඉතිහාසය කියා දෙයක් නැත, ඇත්තේ අවබෝධකර ගැනීමේදී පහළවෙන අදහස්වල අනුක‍්‍රමිකතාවක් පමණි.  ඉතිහාසය මිනිසාගේ නිෂ්පාදනයක් නොව වියුක්ත මනසේ නිෂ්පාදනයකි. මෙලෙස හෙගල් ඇසුරෙහි දී අපෝහකවාදය චින්තනයේ අපෝහකයට සීමාවිය.
මාක්ස් ඔහුගේ ‘ආර්ථික හා දාර්ශනික අත්පිටපත් ’(1844) හි පෙන්වා දෙන්නේ  ‘හෙගේලියානු දර්ශනයේ රහස සහ සැබෑ මූලාරම්භය’  ප‍්‍රපංචවේදය (
phenomenology) බවයි. එනම් හෙග්ලගේ දාර්ශනික ප‍්‍රවේශයේ පදනම ප‍්‍රපංචවේදය බවයි. සචේතනික අනුභූතියට ලක්වෙන දේවල්, නැතිනම් ඉන්ද්‍රීය ගෝචරවන දේවල් - එනම් ප‍්‍රපංචයන් ගවේශනය ඔහු ආරම්භ කරන්නේ ම ස්වයං සවිඥානකත්වය, සිත, ආගම සහ නිරපේක්ෂ දැනුම යන ප‍්‍රභේදයන්ගෙන් ය. මේ මගින් ප‍්‍රපංචයන්ගේ ගැඹුර සොයායාමට ය.  අවසානයේ වියුක්ත,  අධි මානුෂීය දැනුම නැතිනම් ආත්මය නම්  නිගමනය කරා ප‍්‍රවේශවෙමින්  ඔහු විඥානවාදය නව පදනමක පිහිටුවයි. හෙගල්ගේ මෙම ක‍්‍රමය අපෝහක ප‍්‍රපංචවේදය (dialectic phenamenology) ලෙසද සමහර ලේඛන තුළ හ\qන්වයි.         
*   අපෝහකවාදය හුදෙක් ප‍්‍රකෘතිය සහ විඥානය අතර සහසම්බන්ධය, අනොන්‍ය පැවැත්ම සහ එහි චලිතය ආදියේ පමණක්ම නැතිනම් ඒවා පමණක් අදාළකර ගන්නා  ඥානමිමාංෂනාත්මක විධි ක‍්‍රමයක් (epistemology )පමණක් ද ?
  *   නොඑසේ නම් අපෝහකවාදය විඥානය ද ඇතුලූ  සියලූ දේවල් සහ ක‍්‍රියාවලියන් සඳහා අදාළ වන්නේ ද?
හෙගේලියානු විධික‍්‍රමය මත පිහිටන්නේ නම් පළමු ප‍්‍රශ්නයට පිළිතුර ‘ඔව්’ වන අතර එහෙයින්ම දෙවන ප‍්‍රශ්නය නිශ්ප‍්‍රභ කෙරේ. මාක්ස්වාදී විධික‍්‍රමය මත පිහිටන්නේ නම් පළමු ප‍්‍රශ්නයට පිළිතුර ‘ නැත ’ වන අතර එහෙයින්ම  දෙවන ප‍්‍රශ්නය නිරවශේෂයෙන්ම සහතිකකෙරෙයි. මේ සම්බන්ධයෙන් දෙගිඩියාවක් ඇතිකර ගැනීමට මාක්ස් කිසිතැනක ඉඩක් තබා නැති බව පැහැදිලි ය. අපෝහකවාදය විධික‍්‍රමයක් වශයෙන් හෙගල් සහ මාක්ස් යොදා ගන්නේ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රමයකටය යන්න නොසලකා හුදු  ‘අපෝහකවාදය’ක් මත පිහිටීමම අපෝහක විරෝධී ය.
1868 මාර්තු 6 දින මාක්ස් කුගෙල්මාන්ට ලියූ ලිපියක පෘදොන්  ගැන කරන සඳහනක දී  අපෝහකවාදය සම්බන්ධයෙන් හෙගල් සහ මාක්ස් අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇඳ පෙන්වයි.
ඔහු (පෘඩොන්) ඉතා හොඳින් දන්නව මගේ ඉදිරිපත්කිරීමේ ක‍්‍රමවේදය හෙගේලියානු ක‍්‍රමවේදය නොවන බව, මක්නිසාද, මම භෞතිකවාදියෙක් වන අතර හෙගල් විඥානවාදියෙකි. හෙගල්ගේ අපෝහකවාදය සියලූ භෞතිකවාදයන්ගේ මූලික ආකාරය යි, නමුත් එහි ගුප්ත ආකාරය ඉවත්කර දැමීමෙන් පසුව පමණි මගේ විධික‍්‍රමය නිවැරදිව වෙන්කර දැක්වන්නේ.’
කෙනෙකුගේ දෘෂ්ටිය  හුදු අපෝහකවාදය මත පිහිටීමම (එසේ පිහිටිය නොහැකි වුවත්)  ප‍්‍රමාණවත් නොවන අතර එම පිහිටීම අපෝහකවාදයේ හෙගේලියානු විඥානවාදී ආකාරය මත හෝ අපෝහකවාදයේ මාක්ස්වාදී භෞතිකවාදී ආකාරය මත හෝ  සකස්කරගත යුතු බව ඉහත මාක්ස්ගේ උපුටනයෙන්  පැහැදිලිවෙයි. අපෝහකවාදීයැයි හඳුන්වා ගත්ත ද මූලිකවම  සහ තීරණාත්මවම මෙම පිහිටීම අනුව කෙනෙකුගේ දෘෂ්ටිවාදය හෙගේලියානුවාදී ද මාක්ස්වාදී ද යන්න තීරණය වෙයි. මේ සමගම මාක්ස්ගේ එම ප‍්‍රකාශය තවත් වැදගත් කරුණක් නිරාකරණය කරගැනීමට අපට අවස්ථාව සපයයි. හෙගල්,  මාක්ස් දෙදෙනාම අපෝහකවාදීන් නම් හෙගල් විඥානවාදියෙක් වන්නේත් මාක්ස් භෞතිකවාදියෙක් වන්නේත් කෙසේද? හුදු ‘අපෝහකවාදීන්’  ලෙස තනි ස්ථානයක නොරැුඳී විඥානවාදී සහ භෞතිකවාදී වශයෙන් ප‍්‍රති ධ‍්‍රැවයන්හි ස්ථානගත වෙන්නේ, විශේෂයෙන් මාක්ස් තෙමේම එසේ ස්ථානගත කරගනු ලබන්නේ ඇයි? දැනටමත් සරල පිළිතුරක් අප ඉදිරියේ ඇත. හෙගල් විඥානවාදීය, මාක්ස් භෞතිකවාදීය යනු එම සරල පිළිතුරයි. එහෙත් එහි ඊට වැඩි තේරුමක් ඇත. හෙගල් විඥානවාදියෙක් වන්නේ ප‍්‍රපංචවේදය -සවිඥානකත්වයේ ප‍්‍රභේදයන් – පදනම්කර ගනිමින්, ඒවා ප‍්‍රාථමිකකොට සලකන නිසා ය, මාක්ස් භෞතිකවාදියෙක් වන්නේ භෞතිකය  ප‍්‍රාථමිකකොට සලකන නිසා ය.  මිනිස් පරිණාමයේ මුල් අවධියේ , නිෂ්පාදන ක‍්‍රියාකාරිත්වයක් කොහෙත්ම නොපැවති අවධියේ මිනිස් සචේතනිකත්වය රංචු සචේතනිකත්වයකට වඩා වැඩි නොවීය. මිනිසා යන්තමින් හෝ සතෙකුගෙන් වෙනස් වෙමින් පැවතියේ ඔහුගේ සහජාසය සවිඥානකත්වයේ හැඩය ගනිමින් පැවති නිසාවෙන් පමණි. මෙහිදී ස්වභාවය මිනිසා මත ආධිපත්‍ය පතුරුවමින් සිට ඇති බවත් ස්වභාවය හා මිනිසා අතර අපෝහක ක‍්‍රියාවලියෙහි ස්වභාවය ප‍්‍රාථමික වී ඇති බවත් පැහැදිලිය. එහෙත් උවමනාවන් වැඩිවෙත්ම, නිෂ්පාදන ඵලදායීතාව වැඩිවෙත්ම, ජනගහනය වැඩිවෙත්ම සත්ව ස්වරූපයේ සචේතනිකත්වය වැඩිදුර වර්ධනයන් අත්කරගනී. වර්තමානය වනවිට  මිනිසාගේ සචේතනික කි‍්‍රයාකාරිත්වය තීරණාත්මක ලෙස ස්වභාවය කෙරෙහි සිය බලපෑම ඇති කරයි. එසේම රදළවාදී නිෂ්පාදන ආකාරය තුල ඉඩම් පිළිබඳ රදළවාදී සම්බන්ධතාවය ප‍්‍රාථමික මෙහෙවරක් ඉටු කළ බවත් එහි ව්‍යුහය හා ස්වරූපය තීරණය කිරීමේදී එම සාධකය බලපා ඇති බවත් පැහැදිලිය. ධනවාදය සම්බන්ධයෙන් ද මෙම කරුණ එකසේ අදාළ වෙයි. ධනවාදී ව්‍යුහය සහ ස්වරූපය තීරණය කරනු ලැබ ඇත්තේ ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය එහි ප‍්‍රාථමික ස්ථානයක් අත්කරගෙන ඇති නිසා බව අවිවාදිතය.  විඥාත මිනිසා  පමණක් නොව සහජ ඉව ඇති සතුන් පවා බිහිවීමට අවුරුදු මිලියන ගණනකට පෙර අපේ මේ ද්‍රව්‍යමය ලෝකය පරිණාමය වෙමින් පැවතී ඇත යන සත්‍යය භෞතිකය ප‍්‍රාථමික සාධකයක් යන කරුණ සරළව ඔප්පුකරයි. කෙසේවුවත් මේ කිසිම කරුණකින් අදහස්, මත, සංකල්ප දෘෂ්ටිවාදයන් මානව ඉතිහාසය ගොඩනැගීමෙහිලා නොවැදගත් සාධකයක් සේ සලකා නිෂ්ප‍්‍රභ නොකෙරෙයි. ඒ වෙනුවට මාක්ස්වාදය අවධාරණය කරන්නේ පුද්ගලයන් ගොඩනගාගන්නා අදහස්  යනු ප‍්‍රකෘතියට ඔවුන්ගේ ඇති සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් වූ අදහස්ය, නැතිනම් ඔවුන්ගේ අනොන්‍ය  සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේම ස්භාවය සම්බන්ධයෙන් වූ අදහස්ය. මේ සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ අදහස් යනු,  ඒවා තථ්‍ය හෝ මායාකාරී වුවත්, ඔවුන්ගේ තථ්‍ය සම්බන්ධතාවයන්ගේ සහ ක‍්‍රියාකාරිත්වයේ ,ඔවුන්ගේ නිෂ්පාදනයේ , ඔවුන්ගේ සහසම්බන්ධතාවයන්ගේ , ඔවුන්ගේ සමාජීය හා දේශපාලන චර්යාවේ චෛතසික ප‍්‍රකාශයන් ය  යනුවෙන්ය.
හෙගේලියානුවාදයේ විඥානවාදීමය හරය නිසා එය එහිම සිරකරුවෙක් බවට පත්ව ඇත. එය ඔළුවෙන් හිිටගෙන සිටීම නිසා පොළව මත පා තබා ඇවිදීමට නොහැකි ස්වභාවික ගුණයෙන් යුක්තය.
මාක්ස්වාදයේ භෞතිකවාදීමය හරය නිසා එය  භෞතික ලෝකය සිසාරා යාමට හැකි ස්වභාවික ගුණයෙන් යුක්තය. 
එය හුදු ඥානමිමාංශාත්මක විධික‍්‍රමයකින් නොනැවතී භෞතික ලෝකය විග‍්‍රහකිරීම කරාත් ඉනිදු නොනැවතී එය වෙනස්කිරීම කරාත් තරම් ඇතකට විහිදෙන්නේ එහි අපෝහක භෞතිකවාදී මේ  ගුණය නිසාය. ක‍්‍රිස්තියානිය දෙවියන්වහන්සේ වැනි ආත්මීය මූර්තීන් ඉදිරිපත් කළත් දර්ශනවාදයන්ට එවැනි මූර්තීන්ගෙන් කෙළවරක් දැකිය නොහැක. හෙගල් කළාක් මෙන් පරම ආත්මයක ආධාරයෙන්  සමස්ත තථ්‍ය ලෝකය, එනම් භූමිය මත, සහ ජලයෙහි පවතින සිල්ල හා ජීවත්වන සියල්ල වියුක්ත ලෝකයක් තුල , තාර්කික ප‍්‍රභේදයන් තුල ගිල්වා දැමිය නොහැකි යැයි පවසන මාක්ස් මෙසේ තර්ක කරයි. 
‘ පවත්නා සියල්ල, භූමිය  මත සහ ජලයෙහි ජීවත්වන සියල්ල, පවතින්නේත් ජීවත්වන්නේත් යම්කිසි ආකාරයක චලිතයක් මගින් පමණි. මෙලෙස  ඉතිහාසයේ චලිතය නිෂ්පාදන සම්බන්ධතාවයන් බිහිකරයි, කාර්මික චලිතය අපට කාර්මික නිෂ්පාදනයන් ලබාදෙයි. ’
                        මාක්ස් - දර්ශනයේ දුගීබව

අපෝහකය   ලෝකයේ  පවතින හා ජීවත්වන සියල්ලෙහි ඇති ස්වභාවික ලක්ෂණයක් බව මාක්ස්   අවධාරණය කරන බව මින් පැහැදිලිය. මේ මිහි මත සහ දියෙහි ජීවත්වන සත්ත්ව සහ ශාඛ සියල්ලෙහි පමණක් නොව ‘පවත්නා සියල්ලෙහිම ’ ත් කිසියම් ආකාරයක චලිතයක් පවතී. ප‍්‍රභවය, පැවතීම හෝ ජීවත්වීම සහ අභාවයම යනු  එම චලිතය යිි. අපෝහක චලිතයයි. ප‍්‍රවාදය , ප‍්‍රතිවාදය සහ සංශ්ලේෂණය යනුවෙන් න්‍යායික වචනවලට නගා ඇත්තේ එම අපෝහක චලිතයේ  ප‍්‍රභේදයන් හැර අන් යමක් නොවේ. බුද්ධිමත් අනුමානයන් යටතේ වුවද පුරාණ ග‍්‍රීක දාර්ශනිකයන් ස්වභාව ධර්මයේ සියලූ වස්තූන් ඇතිවීමට හා නැතිවීමට මුහුණපා ඇති බවත්  නිරන්තර චලිතයට හා වෙනස්වීමට හසුවී ඇති බවත් කියා සිටිවිට ඉන් අදහස් කෙරුණේ ද  මෙම අපෝහක චලිතයයි. 18 වෙනි සියවසේ   භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව සහ තාරකා සාශ්ත‍්‍රය වැනි  ස්වභාවික විද්‍යාවන්ගේ නව සොයාගැනීම්වල ප‍්‍රතිඵලයන් වශයෙන් තවදුරටත් අනුමානයන්ට ඉඩ නොතබමින් ද්‍රව්‍යයේ ජංගමශීලිත්වය (චලිතය) ඔප්පුකර පෙන්වනු ලෑබීමෙන් අපෝහකවාදයේ පදනම ශක්තිමත් කරනු ලැබීය. මේ අනුව අපෝහකවාදය තේරුම් ගතයුත්තේ එය පරම චින්තයකට සීමාකරමින් විඥානවාදයට ඇදවැටුන හෙගල් අනුව නොව, පවත්නා සියල්ලෙහි චලිතයක් ලෙස හඳුනාගත් භෞතිකවාදී මාක්ස්ට අනුවය.
අපෝහකය ලෝකයේ පවත්නා සියල්ලෙහි ස්වභාවික ලක්ෂණයක්ය යන මාක්ස්වාදී මතය තේරුම්ගැනීමට අපි වෙනත් කෝණයකින් ඒ කරා ප‍්‍රවේශ වෙමු. 
මිනිසා ස්වභාවික වගේම ජීවී සක‍්‍රීය සත්ත්වයෙකි. ඔහු ස්වභාවික ශක්තීන් සහජාශයන් ලෙස දායාදකොටගෙන ඇතත් ඔහු අනෙක් සත්තු සහ ශාඛ වගේම යම් යම් තත්ත්වයන්ට හා සීමාවන්ට යටත් ප‍්‍රාණියෙකි.  එසේ වුවත්  ඔහු  ශරීරයකින් ද හෙබි සංවේදී වාස්තවික සත්ත්වයෙකි. (
corporeal, sensuous objective being  ) මේ නිසාම ඔහුට වේදනා, දුක් , පීඩා දැනෙයි. මෙහි තේරුම නම් ඔහුගේ සහජාශයන් කොතෙකූත් වුවත් ඔහු පෙලෙන පීඩාව, අපි හිතමු කුසගින්න කියා- එය නිවා ගැනීමට නම් ඔහුගේ එම සහජාශයන් ඔහුට පිටතින් ඇති, ඔහුගෙන් ස්වායක්ත්ව ඇති වස්තූන් ( objects independent of him) මත, එය ගඩා  ගෙඩියක් වුවත් හාවෙක් වුවත්, ඒ මත අනිවාර්යයෙන් ම යෙදවිය යුතු වෙයි. බාහිර වස්තූන් ඔහුගේ ශක්තීන් ප‍්‍රකාශනයෙහිලා අත්‍යාවශ්‍ය සාධකයක් වෙයි. මින් අවධාරණය කෙරෙන වැදගත් කරුණ නම් මිනිසාට ඔහුගේ ජීවිතය උදෙසා සැබෑ , සංවේදක වස්තූන්  (බාහිරව) තිබිය යුතුය යන්නය. ස්වභාවය මත සචේතනික මිනිස් ශ‍්‍රමය යෙදවීම මගින් පමණි මිනිසාට කුස ගින්න වැනි තමන් පෙළන පීඩාවන් නිවාගැනීම කළ හැක්කේ. ඒ නිසා ඔහු නොවැළැක්විය හැකි ලෙසම ස්වභාවයේ කොටසක් ර`ගදැක්විය යුතුය.   මිනිසා සහ ස්වභාවය නිරන්තරයෙන් වෙනස්වෙන ක‍්‍රියවලියක අන්තර් සම්බන්ධිත සමස්ථයක් නිර්මාණය කරයි. ‘ආර්ථික හා දාර්ශනික අත්පිටපත්හි ’-(1844) මාක්ස් කරන මෙම පැහැදිලිකිරීම මතින් අපේ මාතෘකාව එනම් අපෝහකවාදය ඥානමිමාංසාත්මක විධික‍්‍රමයක් පමණක් ද නොඑසේ නම් ලෝකයේ පවතින, ජීවත්වන සියල්ලෙහි චලිතය පිළිබිඹුකරන න්‍යායික ප‍්‍රකාශනයක් ද යන්න විසඳා ගැනීම සඳහා ආලෝකයක් සැපයෙයි. 
*    අපෝහකය යනු චලිතයෙහි  විධික‍්‍රමයයි.  
*    ස්වභාවය යනු ම්නිසා ද අයත් චලිතයෙහි පවත්නා සමස්ථයකි.
*    එවිට අපෝහකය සමස්ථ ස්වභාවයේ චලිතයයෙහි විධික‍්‍රමයකි.
ස්වභාවය සහ සමාජය - ලෝකය - ඒකාකාරී ස්ථිතික චක‍්‍රයක පවතිනවා නොව නිරන්තරයෙන් සර්පිලාකාරව  වෙනස්වීමේ ක‍්‍රියාවලියක පවතින බව අපෝහකවාදයේ මූලික පිළිගැනීමයි. මිනිස් දැනුම ගොඩනැගෙන්නේ මිනිසා ප‍්‍රකෘතිය සමග ඇතිකරගන්නා සහසම්බන්ධතාවයන්ගේ, මිනිසුන් ඔවුනොවුන් අතර ඇති කරගන්නා සහසම්බන්ධතාවයන්ගේ සහ ක‍්‍රියාකාරිත්වයේ චෛතසික ප‍්‍රකාශයන් වශයෙනි. දැනුම් ක‍්‍රියාකාරිත්වය ප‍්‍රකෘතියේ තවත් එක් කොටසක් මිස සමස්ත ප‍්‍රකෘතිය නොවේ. ඥානමිමාංසනවේදයේ අධ්‍යායනයට ලක්වෙන්නේ එම දැනුමය. ඒ අනුව අපෝහකවාදය ඥාන මිමාංසනවේදයට ලඝු කළ නොහැකි බවත් ඊට ප‍්‍රතිවිරුද්ධව මාක්ස් ‘පවත්නා හා ජීවත්වන සියල්ල’ අපෝහකවාදී පිරික්සුමට ලක්කරන බවත් ඉතා පැහැදිලිය.
මේ දර්ශනවාදී ක්ෂේත‍්‍රයෙහි  හෙගේලියානු දර්ශනය මහත් ඉහළින් වැජඹෙමින් පැවති අවධියකි. අයිතිය, නීතිය, රාජ්‍යය, ආගම, අචාරධර්ම ආදිය ගැන පුලූල් ලෙස ඉන් සාකච්ඡුා කෙරිණි. සම්භාව්‍ය ආර්ථිකවිද්‍යාව  ‘ සියලූ ධනයෙහි උල්පත ශ‍්‍රමය ’ යනුවෙන් ප‍්‍රකාශ කරන්නාවූ තරම් ඉහළ විශ්ලේෂණීය තත්ත්වයක් අත්කරගෙන තිබිණි.  සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය පිළිබඳව ආස්වාදනීය  ප‍්‍රයෝගික ක‍්‍රියාකාරකම් හා මතවාදයන් වේගයෙන් ජනප‍්‍රිය වෙමින් තිබිණි. මේ සියල්ල සමගින් යුරෝපය විප්ලවීය අවදියකට  මුහුණ දෙමින් තිබිණි. විප්ලවීය න්‍යායක හා ව්‍යවහාරයක උපත සඳහා අවශ්‍යව තිබුණේ මද වශයෙන් නමුත් ගැඹුරින් මෙම ඓතිහාසික තත්ත්වයන් සහසම්බන්ධකරන්නාවූ දාර්ශනික ප‍්‍රවේශයක් ගැනීමය. මාක්ස් විසින් ඉටුකරන ලද්දේ එම කාර්යභාරයයි. රොබට්  ඕවන්ගේ හෝ ෆූරියර්ගේ ප‍්‍රායෝගික (මනෝරාජික) ප‍්‍රයත්නයන්ට වඩා කොමියුනිස්ට්වාදය න්‍යායික වශයෙන් තහවුරුකිරීමේ  අවශ්‍යතාවය දැඩි ලෙස ඒත්තුගොස් තිබූ බව මාක්ස්  1842 දී (
Rheinische Zeitung) පුවත් පතට ලියූ ලිපියක සඳහන් කරයි.
 නියාමයන් ( Laws)
ස්වභාවයේ  පවතින සෑම දෙයක් ම අඛණ්ඩව වෙනස්වෙන එනම් චලිතයක පවතින බව මාක්ස්වාදයේ පිළිගැනීමයි. එම චලිතය හුදෙක්  ආවාට ගියාට සිදුවන, අවුල්සහගත ‘සෙලවීමක්’ නොව නිශ්චිත තත්ත්වයන් යටතේ නියමිත රටාවකට (
regularities and patterns  )එම ක‍්‍රියාවලිය පුරා සිදුවන බව දැකිය හැක. එය  සාමන්‍යයෙන් සත්ව හා ශාඛ ලෝකය දෙස පවා බැලූබැල්මටද වුවද පෙනීයන කරුණකි. ඇසට නොපෙනුනද  අජීවී ලෙස සැලකෙන පාෂාණවර්ග තුල පවා එවැනි රිදමයානුකූල චලිතයක් පවතින බව විද්‍යත්මකව පැහැදිලි කෙරෙයි.  චලිතයට එවැනි  නියමිත රටාවක් ලැබී ඇත්තේ ඊට පිටතින් වූ බලයක් විසින් එය එසේ යම් රිද්මයකට හසුරුවනු ලබන නිසා නොව එහිම වූ අපෝහක හැසිරීමෙහි  ඇති  රිද්මයානුකූලභාවය නිසාවෙනි.  මේ අපෝහක චලිතය ප‍්‍රවාද, ප‍්‍රතිවාද හා සංශ්ලේෂණය ලෙස නැතිනම් මාක්ස්ට අනුව ප‍්‍රතිජානනය, නිශේධනය හා නිශේධනයේ නිශේධනය ලෙස  දාර්ශනිකව භාෂාමය ප‍්‍රභේදකරණයට ලක්කර ඇති අයුරු මෙම ලිපියෙහි ඉහත තැනක පැහැදිලිකර ඇත. කිසියම් දෙයක එහි ප‍්‍රභවයට, පැවැත්මට, අභාවයට තීරණාත්මකව බලපාන්නාවූ හේතු සාධකයන් මොනවාද යන්න ඒවායේ අනොන්‍ය සම්බන්ධතාවයන් තුලම හඳුනාගැනීම ප‍්‍රභේදකරණයෙන් සිදුවෙයි.   ‘ අපෝහක චලිතය ’ යයි කීව පමණින් කෙනෙකුට ලැබෙන්නේ ඒ පිළිබඳ වියුක්ත අදහසකි. නමුත් ඊට අයත් මූලික අංග ලක්ෂණ මේවා යයි ප‍්‍රභේදකර දක්වන්නේ නම් එය පහසුවෙන් තේරුම්ගත හැකිවෙයි. කෙසේවුවත් ප‍්‍රභේද යනු සම්භන්ධතාවයන්ගේ සමස්තය යන්න අමතක නොකළ යුතුය. චලිතය නියමිත රටාවකට  හසුරුවන්නාවූ සම්බන්ධතාවයන් (අපෝහකය)  ප‍්‍රභේදකරණය මගින්  අපට පහසුවෙන් හඳුනාගත හැකිවෙයි. අපි ‘නියාමයන් ’ යනුවෙන් නම්කරන්නේ එසේ හඳුනාගත් තීරණාත්මක අපෝහක  සම්බන්ධතාවයන්ය. මේ පැහැදිලි කිරීම අපි අරම්භ කළේ නිශ්චිතව නම් කළ කිසියම් වස්තුවකින් නොව මිනිස් සමාජය ද අයත් ස්වභාවයේ අඛණ්ඩ චලිතයෙන් බව ඔබට මතක ඇතැයි සිතමි. එවිට ‘ පවත්නා සියල්ල, භූමිය  මත සහ ජලයෙහි ජීවත්වන සියල්ල, පවතින්නේත් ජීවත්වන්නේත් යම්කිසි ආකාරයක චලිතයක් මගින් පමණි ’ යන මාක්ස්ගේ  ප‍්‍රකාශයෙහි අර්ථය වන්නේ සෟජුව හෝ වක‍්‍රව මෙතෙක්  මිනිසා විසින් අනුදත්  ස්වභාවය තුල  චලිතයක් ඇති බවයි.  එම චලිතය කිසියම් රටාවකට සිදුවෙයි. චලිතයත්, එහි රටාවත් හසුරුවනු ලබන්නේ අපෝහක  සම්බන්ධයන් විසින් ය. ‘‘ස්වභාවයේ නියාමයන්’ ලෙස සැලකෙන්නේ අන් කිසිවක් නොව එම  අපෝහක සබඳතාවයන්ම ය. කිසියම් උත්රීතර බලයකගෙන් ස්වායක්තව පමණක් නොව සාමාන්‍ය මිනිස් අභිලාෂයන්ගෙන් පවා ස්වායක්තව පවතින හෙයින් මෙම ක‍්‍රියාදාමය භෞතිකවාදී වෙයි, අපෝහක භෞතිකවාදී වෙයි. මාක්ස්වාදය මුලූමනින්ම රැුඳී ඇති එහි පදනම වූ අපෝහක භෞතිකවාදය මතයි. 
 වර්ථමානයේ සුප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි ජාතික භෞතික විද්‍යාඥ සහ විශ්ව න්‍යායවේදී ස්ටීවන් හෝකින්   විශ්වය පාලනය කරන ‘ගණිතමය නියාමයන් ’ ගැන දක්වන අදහස අපි අමතර වශයෙන් මෙසේ ඉදිරිපත් කරමු . 
‘‘විශ්වය ගුප්තාකාර දෙයක් ය යන අදහස සමග මම එක`ග නොවෙමි. මට හැෙ`ගන්නේ මේ අදහස හරියටම අවුරුදු හාර සියයකට පෙර ගැලිලියෝ විසින් අරම්භ කළ සහ නිව්ටන් විසින් ඉදිරියට ගෙනගිය විද්‍යාත්මක විප්ලවයට සාධාරණයක් ඉටු නොකරන බවයි. අවම වශයෙන් විශ්වයේ සමහර ප‍්‍රදේශයන් නිශ්චිත ගණිතමය නියාමයන් (
precise mathematical laws  )  මගින් පාලනය කරන බව ඔවුන් පෙන්වා දී ඇත. එතැන් සිට අවුරුදු ගණනාවක් පුරා අපි ගැලිලියෝ සහ නිව්ටන්ගේ කාය_යන් වැඩිදියුණු කර ඇත්තෙමු . අපි සාමාන්‍යයෙන් අත්දකින සෑම දෙයක්ම පාලනය කරන ගණිතමය නියාමයන් දැන් අප සතුව ඇත.
මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි ඔහුගේ  ‘බුදුන් වහන්සේ සහ කාල් මාක්ස්’ කෘතියෙහි මාක්ස්වාදයෙහි එන නියාමයන් පෙළගස්වන්නේ මෙසේය.
‘‘මාක්ස් සහ එංගල්ස් දෙදෙනාට අනුව ඓතිහාසික පරිණාමය තුලින් පහළ වූ ස්වභාවික නියාම ත‍්‍රිවිධාකාර වේ.
(අ) ප‍්‍රමාණාත්මක වෙනස්කම් ගූණාත්මක ඒවා බවටත් ගූණාත්මක වෙනස්කම් ප‍්‍රමාණාත්මක ඒවා බවටත් පරිවර්තනය කෙරෙන නියාමය.
(ආ) ප‍්‍රතිපක්ෂයන්ගේ එකමුතුව හා අරගලය සම්බන්ධ නියාමය.
(ඇ) නිෂේධයේ නිෂේධනය සම්බන්ධ නියාමය. ’
( නියාමයන් එකින් එක පැහැදිලිකිරීම මෙම ලිපියෙහි අරමුණ නොවන බව සලකන්න )
මාක්ස් කරුණු ඉදිරිපත්කිරීමේදී සම්පිණ්ඩනාත්මකව ඉදිරිපත්කිරීමට වැඩි කැමැත්තක් දක්වයි .  කරුණු සංක්ෂිප්තව පැහැදිලිකිරීම මාක්ස් කරන විශාල වැරැුද්දක් බවත් ප‍්‍රාග්ධනය ’ ලිවීමේදි හෙගල්ගේ ක‍්‍රමය අනුව යමින්  සෑම අපෝහක පියවරක් ම කුඩා උප මාතෘකා හා වෙන් වෙන් මාතෘකා රාශියක් මගින් සංකල්ප අනුපිළිවෙලට ගලායාමට සැලැස්විය යුතු බව එංගල්ස් 1867 ජුනි 16 දින   මාක්ස්ට ලියන ලිපියකින් අවධාරණය කරයි . මාක්ස් කරුණු විශ්ලේෂණයෙහිදී  ඉහත නියාමයන් අන්තර්ගත  අපෝහකවාදය මත දැඩි ලෙස පිහිටන නමුත්   ඒවා එලෙෂ එකින් එක වෙන්කර දැක්වීමට උනන්දුවක් නොදක්වා ඇත්තේ ඔහුගේ   සම්පිණ්ඩකාත්මක ක‍්‍රමය නිසා ම යයි සිතිය හැක. කෙසේවුවත් 1867 ජුනි 22 දින මාක්ස් එංගල්ස්ට ලියන ලිපියක මෙසේ සඳහන් වෙයි.
‘හොෆ්මන්) (
Hofmann) සම්බන්ධ කරුණේදී ඔබ සම්පූර්යෙන් නිවැරදිය. හුදෙක් ප‍්‍රමාණාත්මක වෙනස්කම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් හස්තකර්මාන්ත හිමිකරුවා ධනපතියෙක් බවට පරිවර්තනයවී ඇති ආකාරය පෙන්වා ඇති බවත්  එසේම    හුදෙක් ප‍්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක වෙනස්කම් බවට පරිවර්තනය කෙරෙන නියාමයට අදාල හෙගල්ගේ සොයාගැනීම එහි උපුටා දක්වා ඇති බවත්  ඉතිහාසය හා ස්වභාවික විද්‍යාව තුල එය එකසේ වැදගත් වන බව සඳහන්කර ඇති බවත් මගේ තුන්වන පරිච්ෙඡ්දයේ අවසාන නිගමනයෙන් ඔබට අහම්බෙන් හෝ පෙනීයනවා ඇත. ’
අපේ ප‍්‍රධාන මාතෘකාවට අදාළ වැදගත් කරුණු තුනක් මින් මතුකරගත හැක .
*    අපෝහකවාදය  හුදු ඥානමිමාංසකවේදයක් පමණක් නොවන බවත් ් ‘හස්තකර්මාන්ත හිමිකරුවා ධනපතියෙක් බවට පරිවර්තනයවීමේ ’ක‍්‍රියාවලිය මගින් අපෝහකය  මානව සමාජයේ  චලිතය තුල ද අන්තර්ගතව ඇති බවත්  සනාථ කෙරෙයි.
*     අපෝහකය දේවල් තුල අන්තර්ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රකාශනයක් පමණක් බවත් ඉන්  ස්වභාවයේ පොදු නියාමයක් ප‍්‍රකාශ නොවන බවටත් මාක්ස් එවැනි ‘ නියාමයන් ’ ගැන කතා නොකරන බවටත් ඉදිරිපත් කෙරෙන මත නිෂ්ප‍්‍රභ කෙරෙයි .
*    අපෝහක නියාමයන් මිනිස් ඉතිහාසය තුල පමණක් නොව ස්වභාවික විද්‍යාව තුල ද එකසේ අදාළකිරීමෙන් මාක්ස් අපෝහකවාදය විශ්ව ව්‍යප්ත නියාමයන් බවට පත්කරයි,
* හොෆ්මන් (1818 -1892) ප‍්‍රසිද්ධ ජර්මන් ජාතික රසායන විද්‍යඥයෙකි
අපි මෙතෙක් කළ පරිද්දෙන් මාක්ස්ගෙන් ම තවදුරටත් සාක්ෂි විමසා බලමු. 1861 ජන. 16 ෆර්ඩිනන්ඞ් ලසාල් ට ලියු ලිපියක ජීව පරිණාමය පිළිබඳ චාල්ස් ඩාවින් ගේ නව සොයාගැනීම් සහ න්‍යාය සම්බන්ධයෙන් මාක්ස් ප‍්‍රතිචාර දක්වා  ඇත්තේ මෙසේය.
‘ඩාවින්ගේ කෘතිය ඉතා වැදගත් ය. එය ඉතිහාසයෙහි පංති අරගලය ස්වභාවික විද්‍යාවේ දෘෂ්ටි කෝණයෙන් තහවුරුකරන හෙයින් එය මට හොඳින්  ගැලපෙයි. ’
මාක්ස්ගේ පංති අරගලය පිළිබඳ න්‍යාය පදනම්ව ඇත්තේ අපෝහක භෞතිකවාදය මතය. ‘පීඩකයා හා පීඩිතයා එකිනෙකාට විරුද්ධව නියත ලෙස නැගී සිට, වරෙක සැ`ගවුනා වූද , වරෙක විවෘත වූද සටනක්, එක්කෝ මුළු මහත් සමාජයම විප්ලවවාදී ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමෙන් අවසන් වූ , නැතිනම් සටන් කරන පංතීන් ගේ පොදු විනාශයෙන් අවසන් වූ සටනක් නොකඩවාම කරගෙන ගියහ.   (කොමියුනිස්ට් ප‍්‍රකාශනය) සත්ත්ව සහ ශාඛ ලෝකයේ පරිනාමය සම්බන්ධයෙන් ඩාවින් ඉදිරිපත්කරන  ‘පැවැත්ම සඳහා අරගලය’ නම් න්‍යාය මගින් කෙරෙන්නේ එම ලෝකයේ ප‍්‍රතිවිරෝධයන්, ගැටුම්, අන්තර් සම්බන්ධතාවයන් කොටින්ම  එක්තරා විදියකින් අපෝහකවාදය සනාථ කිරීමකි. පංති අරගලය   ස්වභාවික විද්‍යාවේ දෘෂ්ටිකෝණයෙන් තහවුරු කෙරෙන්නේ නම් ස්වභාවික විද්‍යාවට පංති අරගලයේ දෘෂ්ටි කෝණය අදාල නොවිය හැක්කේ කෙසේද? මාක්ස්වාදය ලෝක දෘෂ්ටියක් වන්නේ සමාජීය ප‍්‍රපංචයන්ට සීමා නොවී සමස්ත ස්වභාවයම විනිවිද ගොස් තේරුම් කිරීමටත් ඉන් නොනැවතී එය ප‍්‍රගතියේ දිසාවට යොමු කිරීමට මග පෙන්වීමත්  නිසාය. නොඑසේ නම් මාක්ස්වාදය ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුල වර්ගයේ බුද්ධිවාදීන් අත රැුඳුන තවත් එක් සමාජ විද්‍යා හෝ ආර්ථික විද්‍යා ගුරුකුලයක් ම පමණි. එයට පාවෙල්ලා, දූෂෙන්ලා මගහැරෙනු ඇත.
නියතිවාදය - (
determinism)
සෑම සංසිද්ධියක්ම අවශ්‍යයෙන්ම ඇතිකරනු ලබන්නේ ස්වභාවයේ නියාමයන් මගින් තීරණයකරනු ලබන  පූර්ව තත්ත්වයන් සහ හේතූන් විසින් පමණක් ම යැයි නිරපේක්ෂව පිළිගැනීම නියතිවාදයේ ප‍්‍රධාන ලක්ෂණයයි. මෙවැනි නිගමනයකට පැමිණියෙකුට කළ හැකි එකම දේ සිදුවෙන දේ දෙස දෑත් පොරවා ගෙන බලා සිටීම පමණි. නමුත් ෂතුන් කෙසේ වෙතත් ‘ මිනිසා ’ එවැන්නෙක් නොවන බව ඉතිහාසය පෙන්නුම් කරයි. කුඩා දිය පාරක් හරස්කර නැතිනම් එහි ම වළක් කපා හෙට දිනයට වතුර ටිකක් රැකගැනීම මොනතරම් නිය`ගයකදී වුවත් සතෙකුට කල නොහැක්කකි. කළත් ඒ සහජාශයෙන්ම කරන්නක් පමණි.  නමුත් මිනිසා අනාගතයේ අවුරුදු දහස් ගණනකදී වුවත් ප‍්‍රයෝජනයට ගත හැකි විශ්මිත මහා ජලාශයන් ගොඩනගා ඇත. මේ තත්ත්වය මිනිසා ලබාගෙන ඇත්තේ හිටිගමන් නොව අවරුදු දස දහස් ගණනක් සිය පැවැත්ම සඳහා ස්වභාවය සමග කරන ලද අනවරත අරගලයක - ප‍්‍රධාන වශයෙන් නිෂ්පාදන ක‍්‍රියාවලියක නිිරතව සිටීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මිනිසා අනුභූතිකව හෝ විද්‍යත්මක ගවේශණයන් මගින් හෝ ස්වභාවයේ නියාමයන් අවබෝධකරගන්නා ප‍්‍රමාණයට ඊට ප‍්‍රතික‍්‍රීයව ක‍්‍රියාකරයි. මිනිසා ම යනු ස්වභාවයේ නියාමයන් ට එරෙහි අරගලය මූර්තිමත් කරන්නෙකි. මානව සමාජය අද සිටින ස්ථානය කරා ල`ගා වී ඇත්තේත් ප‍්‍රගතිගාමී අනාගතයක් කරා ගමන්කරනු ඇත්තේත් නියතවාදයට යට වූ අලස සත්ත්වයකු නිසා නොව ස්වභාවයේ නියමයන්ට අභියෝගකරන දැනුවත් සක‍්‍රීය සමාජීය මිනිසෙකු නිසාවෙනි. දේවල්වල බැලූ බැල්මට පෙනෙ සම්බන්ධතාවයන්ගේ දැනුමක (
phenomenal knowledge ) සිට දේවල්වල අභ්‍යන්තර සම්බන්ධතාවයන්ගේ දැනුම (theoritical knowledge or scientific knowledge & උකහාගනිමින්  සිටින මිනිසා නිසාවෙනි . ධනවාදය තුල අතිශයින් පරාරෝපණයට පත්කරනු ලැබීම නිසා  මිනිසා තමන් ඉදිරියේ ඇති සියල්ල ‘ ස්ථාවර ’යයි සිතන්නට හැඩගස්වා ඇත. මේ ධනවාදය සමග මිනිසා තදින් ගැටගසා ආකාරයයි. ධනවාදයේ අභ්‍යන්තර සම්බන්ධතාවයන් එනම් එහි වාස්ථවික නියාමයන් ප‍්‍රායෝගිකවත් අධ්‍යාපනිකවත් හෙළිදරව්කර ඒත්තු ගන්වන ප‍්‍රමාණයට- විප්ලවීය දේශපාලනය දිගහැරෙන ප‍්‍රමාණයට ධනවාදයේ චලිතය මිනිසුන් තේරුම් ගන්නවා ඇත. ගැසී ඇති ගැට ලිහාගන්නවා ඇත.  නියාමයන්  යනුවෙන් හඳුනාගත හැකි දෙයක් නැතිනම් ඉන් අදහස් වන්නේ චලිතය හෝ එහි අභ්‍යන්තර සම්බන්ධතාවයන් යනුවෙන් හඳුනාගත හැකි කිසි දෙයක් නැති බවයි . වැඩිදුරටත් ඉන් අදහස් වන්නේ සියල්ල සථාවර බවයි. එවිට විප්ලවීය දේශපාලනයක , එවැනි දේශපාලනික ව්‍යාපාරයක,  ඒ සඳහා කැපවූ දිරිමත් මිනිසුන්ගේ  අවශ්‍යතාවය පැනනොනගී. ස්වයංව ම විප්ලවීය දේශපාලනය  ශුන්‍යය කරා ල`ගා වෙයි.  මේ එකහෙළා ධනවාදය සමග නොවේ නම් සුළු ධනේශ්වරවාදය සමග පෙළගැසීමකි.        
දැන් අපි මාක්ස්වාදය විකෘත්ති කළා යයි කියන එංගල්ස් ඉදිරියට කැඳවිය යුතුයයි අදහස් කරමු. මක්නිසාද මෙතෙක් අපි ඉදිරිපත් කර ඇත්තේ  මාක්ස්ගෙන් ම පමණක් උකහාගත් කරුණු ප‍්‍රමාණයක් වන නිසාත් . දැන් එම කරුණුවලට ප‍්‍රතිවිරුද්ධව එංගල්ස් , ඔහුට චෝදනා කරනු ලබන පරිද්දෙන් ක‍්‍රියාකර ඇත්තේ දැයි විමසිය යුතුව ඇති නිසාත්ය.
ආර්ථික නියතිවාදය (
economic determinism & *
(1) ආර්ථිකය ප‍්‍රාථමික හේතු සාධකයක් කරගැනීම නිසා සමාජයේ සෑම පැතිකඩක්ම පැහැදිළිකල හැක්කේ ආර්ථික ව්‍යුහයට ඒවායේ ඇති සෘජු සම්බන්ධතාවයන් මගින් පමණක් ම යන ස්ථවරයක් දැරීමත්
(2) ධනවාදය බිඳවැටීම නොවැලැක්විය හැක නැතිනම් සමාජවාදය බිහිවීම නොවැලැකවිය හැක යන ස්ථිර නියත මතයක
 එංගල්ස් එල්බගෙන සිටි බව ඔහුට එරෙහිව එල්ල කෙරෙන පොදු චෝදනාවකි. ‘එංගල්ස්ගේ ආර්ථික නියතිවාදය’ ලෙසින් මෙම චෝදනාව ප‍්‍රධාන වශයෙන් එල්ලකරන්නේ ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුලයයි.
(1* මිනිසාට තම අදහස් සහ ක‍්‍රියාකාරිත්වයන් හැඩගස්වා ගැනිමේ දී භෞතිකමය සාධකයන්  ප‍්‍රමුඛ වෙන බවත් එවා අතර වැදගත්  ආර්ථික මූලයන් ඇති බවත්  මාක්ස් මෙන් ම එංගල්ස් ද විශ්වාසකළහ.
නමුත් මාක්ස් හෝ එංගල්ස් විශ්වාසකළේ ඉල්ලූම හා සැපයුම විසින් මිනිස් චර්යාවන් නිශ්චය කරනවා යයි තර්ක කරන ධනේශ්වර ‘ආර්ථික විද්‍යාව’ නොව සමාජ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව එක්ව පලල් ක්ෂේත‍්‍රයක්  ආවරණය කරන ‘ දේශපාලන ආර්ථික විද්‍යාව ’ බව අවධාරණය කරමු. නිශ්චිත අවදියක ස්වභාවයට මිනිසාගේ ඇති සම්බන්ධතාවයන් , මිනිසුන් මිනිසුන් අතර සම්බන්ධතාවයන් , නිෂ්පාදන මාධ්‍යයන් , නිෂ්පාදන සම්බන්ධතාවයන් , පංතීන් , දේශපාලන පක්ෂ,  දෘෂ්ටිවාදයන් , ආගමික ආයතන , සංස්කෘතිය ආදී වශයෙන් පලල් ක්ෂේත‍්‍රයක් ගවේෂණය කරන ‘දේශපාලන ආර්ථික විද්‍යාවකි. එයට  හසු නොවී  රූටා යන මිනිස් චරිත ඇතැයි අපි විශ්වාස නොකරමු. 
1890 ඔක්, 25 දින එංගල්ස් ,  කොනරඞ් ස්ච්මිඞ්ට් ( ජදබර්ා ීජයපසාඑ *ට ලියන ලිපිය තුල ආර්ථිකය හා දේශපාලනය අතර අපෝ්හක සම්බන්ධතාවය ගැන කරන අගනා පැහැදිලිකිරීම මගින් එංගල්ස් සැබෑවටම  ‘ආර්ථික නියතිවාදයක ’  පිහිටියේ ද යන්න මැනවින් අවබෝධකරගත හැක.
නිෂ්පාදනයේදී සමජීය පරිමාණයෙන්  ශ‍්‍රම විභජනය ව්‍යාප්තව  වනවිට ශ‍්‍රම කි‍්‍රයාවලියන් එකිනෙකින් වෙන්වෙමින්  එක්තරා ස්වාධීනබවක් අත්කරගනී. නිෂ්පාදනයෙන් ස්වාධීනව වෙළඳාම වර්ධනය වනවිට  එය, (වෙළඳාම) නිෂ්පාදනය විසින් පාලනය කරනු ලැබුවා වුවද,  එය  ඊටම අයත් චලිතයක් අත්කරගනී.   නව සාධකයන් විසින් හසුරුවන එහිම නියාමයන් අනුව හැසිරෙන්න ගනී. එය තමන්ගේ ම අවදීන් ඔස්සේ යමින් පෙරලා නිෂ්පාදන ක‍්‍රියාකාරිත්වයට ප‍්‍රතික‍්‍රියා දක්වයි. නූතන යුරෝපීය මහපරිමාණ කර්මාන්ත සංවර්ධනය යටත්විජිතවාදය යටතේ සිදුවූ වාණිජවාදයේ ප‍්‍රතිඵලයකි. එසේම නූතන යෝධ බැංකු ක‍්‍රියාකාරිත්වය ද තවත් උදාහරණයකි. මෙසේ වෙළඳාම , මුල්‍ය ආයතන ආදිය නිෂ්පාදන ක‍්‍රියාවලිය මත රැඳුන ද එම ක‍්‍රියාවලියට ප‍්‍රතිවිරෝධීව සිටී. ආර්ථිකය හා දේශපාලනය අතර ඇත්තේ ද මෙවැනිම අන්තර් පැවැත්මකි. දේශපාලන බලය සැමවිටම ආර්ථිකයට වඩා උත්තරීත්වයක් අත්කරගන්න මාන බලයි. ආර්ථිකයට දැන් තමන් විසින් කිසියම් ස්වාධිනත්වයකට ඉඩදුන් දේශපාලන බලයෙහි ප‍්‍රතික‍්‍රියාවන් විඳදරාගන්න සිදුව ඇත. සමාජීය වශයෙන් පංතීන් අතර අරගලය ලෙෂත්  ආණ්ඩුව හා විරුද්ධ පක්ෂය  අතර අරගලය ලෙෂත් ප‍්‍රකාශවන්නේ මෙම යතාර්ථයයි.  ආර්ථික සංවර්ධනය කෙරෙහි   රාජ්‍ය බලයේ බලපෑම විසින් ඇතිකළ හැකි ප‍්‍රතිඵලයන්
*    ආර්ථික සංවර්ධය අනුව යමින් එය වේගවත් කිරීම
*    ඊට ප‍්‍රතිවිරුද්ධ අතට යමින් එය විනාශය කරා ඇද දැමීම
*    වෙනත් මාර්ගයක් ගනිමින් ආර්ථික සංවර්ධනය අඩාලකිරීම
පළමු කරුණ හැර අනෙක් කරුණු දෙකම ආර්ථිකයට එහි  ශක්තිය අතිනුත් භෞතිකමය අතිනුත්    විශාල හානියක් කරයි. එංගල්ස්  නිෂ්පාදනය තීරණාත්මක සාධකය ලෙෂ ෂලකන අතර ම   දේශපාලනය පෙරට එන ආකාරය එහ් කදිමට පැහැදිලිකරයි. ඒ අනුව ඔහු ආර්ථික නියතිවාදියෙක් ද අපෝහක භෞතිකවාදියෙක් ද කියා තීරණයකිරීම එතරම් අපහසු කරුණක් නොවේ. එම ලිපිය අවසානයේ එංගල්ස් සියල්ල කැටිකර දක්වන ආකාරයේ  මෙවැනි  ප‍්‍රශ්ණයක් නගයි. 
දේශපාලන බලය ආර්ථික වශයෙන් බලසම්පන්න නොවේ නම් අපි නිරිධන පංතියේ දේශපාලන ආඥාධායකත්වය සඳහා සටන් කරන්නේ අයි ?
අපි තව දුරටත් ඉදිරියට යමු .
1890. සෙප් . 21 දින එංගල්ස් ජෝසප්  බ්ලොච්  ට ලියන ලිපිය අනාගතයේ දී නැගිය හැකි  ආර්තික නියතිවාදි චෝදනාවට පිළිතුරු ලියා තැබුවාක් වැනිය.
‘ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී සංකල්පයට අනුව,  ඉතිහාසයෙහි අවසාන  තීරණාත්මක සාධකය තත්‍ය ජීවිතයේ නිෂ්පාදනය හා ප‍්‍රතිනිෂ්්පාදනය යි. මාක්ස් හෝ මම මීට වඩා කිසිවක් කියා නැත. එනිසා යමෙක් මෙය ආර්ථික සාධකය එකම  තීරණාත්මක දේ යයි විකෘත්තිකර කියන්නේ නම් ඔහු මෙම ප‍්‍රමේය අර්ථවිරහිත , වියුක්ත , විකාරසහගත වාක්‍ය ඛණ්ඩයක් බවට හරවයි. ’ 
ආර්ථික තත්ත්වය පදනමය, නමුත් පංති අරගලයේ දේශපාලනික හැඩයන් , ඒවායෙන් ඇති කරන ප‍්‍රතිඵල , එනම් සාර්ථක  අරගලයකින් පසු විජයග‍්‍රාහී පංතීන් විසින් හඳුන්වාදෙන ව්‍යවස්ථාවන් ආදිය ,  අධිකරණ පද්ධතීන් සහ  දේශපාලනික , ආගමික , දාර්ශනික න්‍යායයන් ආදී උපරිව්‍යුහයේ විවිධ මූලයන් ද  ඓතිහාසික වශයෙන්  බලපෑම් ඇතිකරන බව එංගල්ස් එම ලිපියෙහි පැහැදිලි කරයි. විශේෂයෙන් අරගලයෙහි  සහභාගිවීමෙන් සංවේදී වු පුද්ගලයන්ගේ මනෝභාවයන් ද වැදගත් බලපෑමක් ඇති කරයි. ( 2010 ජනාධිපතිවරණය සැලකිල්ලට ගන්න ) සමහරවිට මේවා ඉතිහාසයෙහි සංධිස්ථානයන් සළකුණු කරන තරම් බලපෑම් ඇතිකරන ඒවා විය හැක. මේ සියලූ මූලයන් අන්තර් සම්බන්ධිතව ක‍්‍රියා කරයි. ඒවා අතරින් සමහරක් නොතකා හැරිය හැකි තරම් කුඩා සාධකයන් ද විය හැකිය.
‘අපේ ඉතිහාසය අපි ම ගොඩනගන්නෙමු. නමුත් ප‍්‍රථම කොටම ඒ ඉතාමත් නිශ්චිත පූර්ව සාධක හා තත්ත්වයන් යටතේය. මේවා අතරින් ආර්ථික ඒවා අවසාන වශයෙන් තීරණාත්මකය. නමුත් දේශපාලනික ඒවා  වැනි  තවත් දේවල්  සහ ඇත්තවශයෙන් ම මිනිස් මනසෙහි හොල්මන්කරන සම්ප‍්‍රධායන් පවා ද කාර්යභාරයක් ඉටුකරයි. ‘ යනුවෙන් එංගල්ස් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කරයි. 
(2)   ධනවාදය බිඳවැටීම නොවැලැක්විය හැක නැතිනම් සමාජවාදය බිහිවීම නොවැලැක්විය හැක
 2013 සැප්  මස උතුරු පළාත් සභාව සඳහා මැතිවරණය පැවැත්විණි, දේශපාලනය පිළිබඳ සාමාන්‍ය වැටහීමක් ඇති සියලූ දෙනා දෙමළ ජාතික සංධානය අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බවත් ආණ්ඩුව අනිවාර්යයෙන් පරදින බවත් නිගමනය කර තිබුනි. උතුරේ දේශපාලන චලිතයෙහි නිශ්චිත තත්ත්වයන්  බැලූබැල්මට වුවද පෙනෙන්ට වූ නිසා එම නිගමනය කරා කෙනෙකුට පහසුවෙන් එළඹිය හැක. එසේ නිගමනය කිරීම වැරදිද ?  එම නිගමනය නිවැරදි බව ප‍්‍රතිඵල මගින් ද ඔප්පුකෙරිණි. මේ මිනිසා පමණක් සතු පරිකල්පන ශක්තියකි. මානව සමාජයේ ප‍්‍රගතිය රැුඳී ඇත්තේ එම ශක්තියෙන් හෙබි ( දැනුවත්)මිනිස් ක‍්‍රියාකාරිත්වය මතය. අනාගතය පය පා මුලට කඩාවැටෙන තෙක් සතුන් මෙන් ඔහු බලා නොසිටින්නේ ඒ නිසාය.   මාක්ස්වාදය ධනවාදයේ චලිතය තේරුම් ගන්නේ  බැලූබැල්මට පෙනෙන කරුණු මත නොව ඊටත් වඩා ගැඹුරට විනිවිධ යන අපෝහක සම්බන්ධතාවයන් පදනම් කරගෙනය. නිශ්ච්ත තත්ත්වයන් යටතේ එම අපෝහක ක‍්‍රියාවලියෙහි  ඵලය  එහි නොවැලැක්විය හැකි බිඳවැටීම (අභාවය) සනිටුහන් කරයි. මෙම අවබෝධය ඇති නම් පමණි බිඳවැටීමේ දී සහ ගොඩනැගීමේ දී  අවශ්‍ය පූර්ව මනෝමූලික හා  භෞතික තත්ත්වයන් සැලසුම් කළ හැක්කේ . අපේ සූර්යාගේ අභ්‍යන්තරව සිදුවෙමින් පවතින දහන ක‍්‍රියාවලිය හේතුවෙන් තව වසර බිලියන හතකදී පමණ එය මියයාමට නියමිත යයි විද්‍යාත්මකව ගණනය කර ඇත. මෙම සොයාගැනීම තමන්ගේ පැවැත්ම සඳහා පූර්ව සැලසුම් ගැන හිතීමට මිනිසා පොළඹවයි.
ධනවාදයේ නියාමයන් පැහැදිලිකරන කොමියුනිස්ට් ප‍්‍රකාශණයෙහි පළමුවන පරිච්ෙඡ්දය අවසන් වන්නේ  ‘ ධනපති පංතියේ වැටීමත් නිර්ධන පංතියේ ජයග‍්‍රහණයත් එකසේ නොවැළැක්විය හැකිය’ යන ප‍්‍රකාශයෙනි. ඉන් ඉදිරියට පැහැදිලි කරන්නේ ඒ හමුවේ නිරිධන පංතියේ මනෝමූල හා විෂයමූල කාර්ය භාරයයි. ධනපති පංතියේ වැටීම  වැළැක්විය හැකි නම් නිර්ධන පංතියේ ජයග‍්‍රහණය ද ඉබේම වැළකී යයි. එවිට නිර්ධන පංතිය සදාතනික නිර්ධන පංතියම වෙයි. 
ඉතින්, තවදුරටත් එංගල්ස් ට ආර්ථික නියතිවාදී චෝදනාව එල්ලකළ හැක්කේ කෙසේද ? ඇත්තවශයෙන් ම ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුලයටත් එහි අනුකාරකවාදීන්ටත් තමන් දේශපාලන අරගලයෙන් මුලූමනින් ම ඉවත්ව සිටිම සාධාරණකරණය කිරීමට ‘ ආර්ථික ඒවා අවසාන වශයෙන් තීරණාත්මකය ’යන මාක්ස්වාදී අපෝහකවාදය වෙනුවෙන් තිර ලෙස  පෙනී සිටි ඒ අනුව  ප‍්‍රායෝගික දේශපාලන අරගලයෙහි අඛණ්ඩව යෙදී සිටි   එංගල්ස්  කෙනෙක් වෙනුවට ‘ මනසෙහි හොල්මන් කරන දේ ’ ප‍්‍රධානයයි කියන හෙගල්වාදී එංගල්ස් කෙනෙක්  උවමනා කර තිබුණි.  මේ ‘ බුද්ධිමය තර්කයන් ’ පිටුපස ඇති සැබෑ යථාර්තය අයයි.
 ආර්ථික නියතිවාදයට ගොදුරුවිය හැක්කේ කෙබඳු අයද , ඒ පිළිබඳ මාක්ස් සහ ඔහුගේ වගකීම කෙබඳු ද  යන්න එම ලිපිය අවසානයෙහි එංගල්ස් ස්වයංවිවේචනාත්මක ස්වරූපයෙන් ඉදිරිපත්කරන අදහස්වලින් පැහැදිලි වෙයි.
‘තරුණ කොටස් සමහරවිට ආර්ථික පැත්තට අවශ්‍යතරමට වඩා වැඩි බරක් දැමීම සම්බන්ධයෙන්  මාක්ස් සහ මම අඩ වශයෙන් චෝදනා ලැබිය යුතුය . අපේ විරුද්ධකරුවන්ට එරෙහිව අපේ ප‍්‍රධාන මූලධර්මයන් අවධාරණයකරන්නට අපට සිදුවී තිබුණ අතර අන්තර් ක‍්‍රියාකාරිත්වයෙහි වූ අනෙකුත් සාධකයන්ට අවශ්‍ය නිසි තැන දීමට අපට සැමවිටම කාලය, ස්ථානය හා අවස්ථාව නොතිබුණි . නමුත් එය ඉතිහාසයෙහි කොටසක් ලෙස ඉදිරියට පැමිණිවිට , එනම් න්‍යාය ව්‍යවහාරයෙහි යොදවනවිට  එය වෙනම කරුණක්.   එහිදී නම් කිසිදු වැරැද්දකට සමාවක් නොවුනි. 
තරුණ හෙගේලියානුන්,  ෆෙබාර්ක් , පෘදොන් , ඩූරිං, බකුනින් , ලසාල් ආදීන්ගේ විවිධ දෘෂ්ටිවාදයන්ට එරෙහිව මාක්ස්වාදී මූලදර්ම තහවුරුකිරීම ඓතිහාසිකව ප‍්‍රාථමික කටයුත්තක් වී තිබුණි. ‘ප‍්‍රාග්ධනය’ ලියා පලකිරීම එහිලා මූලික අවශ්‍යතාවයක් විය. ඒ සඳහා 1844 පමණ සිට කරුණු රැුස්කරමින් , ප‍්‍රවාදයන් ගොඩනගමින් වෙහෙසුන ද එහි පළමුවන වෙළුම (1867 ) හැර ඉතිරි වෙළුම් දෙක මාක්ස්ට ඔහුගේ ජීවිත කාලය තුල පළකිරීමට නොහැකිවීමෙන් ම ඔවුන්ගේ කාර්ය බහුලත්වය තේරුම් ගත හැක. ඒ අතර ජාත්‍යන්තර කම්කරු සංගමයේ වැඩකටයුතුවලට මැදිහත් වීමටත්  එහි විවිධ නිකායන් වලට එරෙහිව  අරගලකිරීමටත් ඔවුන්ට සිදුවී තිබුණි. මෙවැනි කරුණු හේතුවෙන් මූලික ප‍්‍රතිපත්තින් සම්බන්ධයෙන් හැර ඒවාට  සම්බන්ධ අතුරු සාධක ගැන කතාකිරීමට ඔවුන්ට කාලය, අවස්ථාව නොතිබුන එක අපට තේරුම් තේරුම්ගත හැක. එංගල්ස් අරභයා පමණක් නොව මුළු මාක්ස්වාදයටම එල්ල කරන ‘නියතිවාදය ’ නම් චෝදනාව හැඩගැසෙන්නේ ඉහත තත්ත්වයන් යටතේ ය. නමුත් එය එසේ නොවන බව  පීඩිත පංතියේ  ප‍්‍රායෝගික දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් එය ධනවාදයට අභිමුඛව තිබීමෙන් පෙනීයයි.
එවකට වියරුවක්ව පැවති හෙගේලියානුවාදය පිළිබඳ විවේචනාත්මක කෘතිය - ‘ශුද්ධ වූ පවුල ’ (1845) ඔවුන් දෙදෙනොගේ පළමු ඒකාබද්ධ ව්‍යාපෘතිය විය . එහි එන ලිපිවල කර්තෘත්වය වෙන් වෙන් වශයෙන් පෙන්නා ඇතත් එය දෙදෙනාගේ  ලිපි ගොනුකළ ස`ගරාවක් නොව , දාර්ශනික විවේචනාත්මක තනි කෘතියකි. ඇත්තවශයෙන් ඔවුන්ගේ මතවාදයන්ගේ  සාම්‍යයක් නොවුනේ නම් එවැන්නක් එළිනොදකිනවා ඇත. සමහර මාතෘකාවක කර්තෘ එංගල්ස්ය, එහිම උප මාතෘකාවක කර්තෘ මාක්ස් ය. එපමණට ඔවුන්ගේ අදහස්වල සමානත්වයක් තිබී ඇත. අනොන්‍ය අවබෝධය ඉහළින් පෙන්නුම් කළ එම කෘතියෙන් පසු නැවත දෙදෙනා එක්ව  ලිවූ දෙවැනි කෘතිය ජර්මන් දෘෂ්ටිවාදය ( 1846) යි. එය දෙදෙනාගේ ම පොදු -සම -කර්තෘත්වයක් යටතේ ලියවී තිබීමෙන් පෙනී යන්නේ දෙදෙනාගේ මතවාදයන් ඒකාග‍්‍රතාවයකට පැමිණ ඇති බවයි. අප මෙම කරුණු හුවා දක්වන්නේ එංගල්ස් , මාක්ස්ගේ මතවාදය විකෘත්ති කිරීමට තරම් , ඒ ගැන යථා අර්ථකතනයක් දීමට  නොහැකි තරම්  අනවබෝධයක නොසිටි බව පෙන්වීම සඳහාය.
මානව ඉතිහාසය පිළිබඳ ඔවුන්ගේ  අපෝහත භෞතිකවාදී න්‍යාය නැතිනම් ඓතිහාසික  භෞතිකවාදී  න්‍යාය   පැහැදිලිවත් සම්පූර්ණ වශයෙනුත්  ජර්මන් දෘෂ්ටිවාදයෙහි  ඉදිරිපත් කෙරෙයි. එහි සම්පිණ්ඩනාත්මක හරය මෙසේය.  
(අ) අදහස්, සංකල්ප, සහ සවිඥානකත්වයේ සියළු නිපැයුම් මිනිසුන්ගේ භෞතික ක‍්‍රියාකාරිත්වය සමග එකිනෙකට වෙලී පවතී . ඒ අනුව අදහස් , සංකලප නිපදවන්නෝ මිනිසුන් ම ය. 
(ආ) නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයේ නිශ්චිත තත්ත්වයන් මගින් ඒවා( අදහස් සහ සංකල්ප * හැඩගස්වනු ලබයි.
(ඇ)මිනිසා දිනපතා නිෂ්පාදනයේ යෙදෙමින් තමන්ගේ ම ජීවිතය ගොඩනගාගන්නා අතර තම වර්ගයා ද බෝකරමින් දෙආකාරයක සමාජ සම්බන්ධතාවයන් නිර්මාණය කරයි. එක් ආකාරයක් සමාජීය වන අතර අනෙක ස්වභාවික වෙයි.
(ඈ)මෙම සමාජ සම්බන්ධතාවයන් ගේ ආකාරය මගින්  සැමවිටම කිසියම් නිෂ්පාන මාදිලයක් ප‍්‍රකාශකෙරෙයි.
(ඉ)ශ‍්‍රම විභජනය , ශ‍්‍රමය සහ එහි ඵලය බෙදීයාමේ විෂමතාවය ජනිත කරවමින් පෞද්ගලික දේපළ බිහිකරයි. එකිනෙක පුද්ගලයන් ගේ , පවුලේ උවමනාවන් සහ සමූහයේ උවමනාවන් අතර ප‍්‍රතිවිරෝධය පැනනගීයි. 
(ඊ) සමාජයේ මෙම ප‍්‍රතිවිරෝධය පවතින තාක් , මිනිසාගේ ක‍්‍රියාකාරිත්වය තවදුරටත් ස්වෙච්ඡුාවෙන් ඔහු විසින්ම පාලනය කරනවා වෙනුවට ඔහුට එරෙහි අන්‍ය බලයක්  බවට පත්වෙයි.(පරාරෝපණය) මෙම අන්‍ය බලය යටතේ මිනිසා වැඩි වැඩියෙන් වහල්භාවයට පත්වෙයි. 
(උ) නිෂ්පාදන බලවේගයන්ගේ සාර්ව වර්ධනය හේතුවෙන් මිනිසුන් අතර සාර්ව සම්බන්ධතාවයන් ගොඩනැගෙයි. නිෂ්පාදන බලවේගයන්ගේ   සහ ලෝක පරිමාණ  මිනිස් සම්බන්ධතාවයන් ගේ මෙකී වර්ධනය කොමියුනිස්ට්වාදය සමග නියත ලෙෂ බැඳී පවතී .
(ඌ) කොමියුනිස්ට් විප්ලවය මගින් පවත්නා සමාජ ක‍්‍රමය ඉවත්කර පෞද්ගලික දේපළ අහෝසිකිරීමෙන් පරාරෝපණය අහෝසිකළ හැකියි.
ඉහත   කරුණු අනුව පෙනී යන්නේ එතෙක් වූ දර්ශනයන්ගේ සීමාවන් අභිබවමින්  මාක්ස්වාදය  ද්‍රව්‍ය සහ විඥානය පිළිබඳ විශ්ලේෂණයකින් අරඹමින් , අන්තර්සම්බන්ධිතව ඉන්  ඉදිරියට යමින්    ශ‍්‍රම විභජනය , පුද්ගලික දේපළ ,පරාරෝපණය , පංති , රාජ්‍ය , නිෂ්පාදන බලවේගයන්ගේ  වර්ධනය හා කොමියුනිස්ට් සමාජයක් කරා එහි ප‍්‍රවනතාවය , අහිමිවූ මනුෂ්‍යත්වය නැවත පිහිටුවීම ආදී වශයෙන්   පැහැදිලිකරමින් සුභාවිත දර්ශනයක් ඉදිරිපත්කර ඇති බවයි .
පෙර දර්ශනවාදයන් වැඩිමවුනොත්   බුද්ධිමතුන්ගේ පිළිගැනීමට ලක්ව  ඒ ඒ ගුරුකුලයන් නිර්මානය කරනු ලැබුවත් මාක්ස්වාදය පිළිගැනීමට ලක්වූයේ පීඩිත පංතිය අතරය . නිර්මානය වූයේ පීඩිත පංතියේ විප්ලවීය ව්‍යාපාරයන්ය.    එලෙස ගොඩනැගුන  කම්කරුවන්ගේ ජාත්‍යන්තර සංගමය විසින් කරන ලද පැවරීමකට අනුව ‘ජර්මන් දෘෂ්ටිවාදය ’ තුල වූ අන්තර්ගතය මත පිහිටා  එංගල්ස් විසින් ප‍්‍රථමයෙන්  ප‍්‍රශ්නෝත්තර ක‍්‍රමයට ‘කොමියුනිස්ට්වාදයේ මූලධර්ම’   ලියනු ලැබීය . එහි ආකෘතිය වෙනස්කරමින්  1848 දී කොමියුනිස්ට් ප‍්‍රකාශණය ලෙස එලිදැක්විනි.  දාර්ශනික ක්ෂේත‍්‍රයේ ගැඹුරු සංකල්ප , න්‍යායයන්   එම සාහිත්‍යයට  ආවේනික හරබර වචන යොදාගැනීමකින්  තොරව සාමාන්‍ය කම්කරුවන්ට තේරුම්ගත හැකි විදියට එය රචනය කෙරී ඇත. තනි තනි ධනපතියාට එරෙහිව හුදු ආර්ථික අරගලයක යෙදී සිටි නිර්ධන පංතියට තමන්ගේ පරාරෝපිත  තත්ත්වය  අවබෝදගන්වමින්  එය  වෙනස්කිරීමට ධනපති ක‍්‍රමය විප්ලවීය ආකාරයෙන් ඉවත්කීරීමේ අවශ්‍යතාවයත් එය කළ හැකි ආකාරයත් එහි විස්තර කෙරෙයි. ‘ජර්මන් දෘෂ්ටිවාදය’ හා අනතුරුව  කොම්යුනිස්ට් ප‍්‍රකාශනය මගින්, ෆෙබාර්ක් තීසිසය පූර්ණ අර්ථගැන්වීමකට ලක්කරමින් මාක්ස්වාදය එහි පරිවර්තනීය අවදිය පසුකර පරිණත විප්ලවීය දෘෂ්ටිවාදයක් හා ව්‍යාපාරයක් ලෙස එහි මූලික හැඩය අත්කරගනී.    
‘ප‍්‍රාග්ධනය’ - එංගල්ස්ගේ දායකත්වය
‘ප‍්‍රාග්ධනය ’ මාක්ස්ගේ අපෝහක භෞතිකවාදී දර්ශනයේ උත්කෘෂ්ට ඵලයක් බව අවිවාදිතය.  අවුරුදු 15 ට වැඩි තරම් කාලයක් අධ්‍යායනයේ යෙදීමෙන් පසු මාක්ස්  ලියා ඉදිරිපත් කළ ‘ප‍්‍රාග්ධනය ’ හෙගේලියානු අපෝහකයේ ගුප්ත විඥානවාදී  ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධව අපෝහක භෞතිකවාදය මත මුලූමනින් ම පදනම් වී ඇත.  ධනවාදී සමාජ දේහය නිර්මාණයවී ඇති ක්ෂුද්‍ර ෙසෙලයේ   - වෙළඳ භාණ්ඩයේ - අපෝහකය මතුකර දක්වමින්  සමස්ත දේහයම විච්ෙඡ්දනයකර (1) එහි පාලක නියාමයන් සොයා යන ආකාරයත්   (2) එම නියාමයන්ට අනුව ධනවාදයේ නොවැළැක්විය හැකි  පොදු අර්බූදය සහ සමාජවාදය දෙසට යොමු වූ එහි ප‍්‍රවනතාවයත්  (3) අපෝහක භෞතිකවාදී විධික‍්‍රමය , ආර්ථික විෂය සම්බන්ධයෙන් යොදාගනිමින් එය දර්ශනවාදයේ විෂය ක්ෂේත‍්‍රයෙන් පිටත රැුගෙන එන ආකාරයත් මාක්ස් ‘ ප‍්‍රාග්ධනයෙන් කදිමට පෙන්වයි. ධනවාදයේ පාලිත නියාමයන් හඳුනාගැනීම එය වෙනස්කිරීමෙහිලා අත්‍යාවශ්‍ය කොන්දේෂියකි. මෙය වෙනත්  ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ද අදාළවෙයි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියාමය, වර්ණාවලිය පිළිබඳ අදහස ලෝකය විප්ලවීය පරිවර්තනයකට යොමුකර ඇති බව  පිළිගන්නට අප මැළිනොවෙමු . එහෙත් ධනවාදයට එහිම වූ නියාමයන් නැත. !
ඇත්තවශයෙන් ම ප‍්‍රාග්ධනය මාක්ස්ගේ කෘතියක් බව සැබැය, එහෙත් එහි සෑම වචනයක්මත් වගන්තියක්මත් ඡේදයක්මත් සූත‍්‍රයක්මත් එංගල්ස්ගේ අවධාණයට මාක්ස් විසින් ම යොමුකර ඇත.    සමහරවිට එකම පර්ච්ඡේදය නැවත නැවත කියවමින් එංගල්ස්ට ඒත්තුගන්වමින් ඔහුගේ එක`ගතාවය ලබාගැනීමට මාක්ස් ක‍්‍රියාකර ඇති බව පෙනේ. ප‍්‍රාග්ධනය පළමු වෙළුමේ සෝදුපත් එංගල්ස්ගේ පරීක්ෂාවට ලක්වෙමින් තිබියදී 1867 ජුනි 22 දින මාක්ස් එංගල්ස්ට මේසේ ලියා යවයි.
    ‘කොළ හතර සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ව ඇතැයි මම සිතමි. මේ දක්වා ඔබේ තෘප්තිය, ලෝකයා ඒ ගැන කියන  ඕනෑම දෙකට වඩා මට වැදගත්ය. ’
මාක්ස්ට ලෝකයා කියන  ඕනැම දේකට වඩා එංග්ලස්ගේ තෘප්තිය  මේ තරම් වැදගත්වුනේ ඇයි ? මාක්ස්ගේ න්‍යාය , සංකල්පයන් අවබෝධකරගත හැකි ඒවායේ තාර්කිකබව,  නිරවද්‍යතාවය පරික්ෂාවට ලක්කර නිසි  ඇගයීමක් කළ හැකි , එකතුකිරීමක් කළ හැකි , බැහැරකිරීමට උපදෙස් දිය හැකි ඒ සඳහා අවශ්‍ය නිසි  බුද්ධියකින් හෙබි එකම පුද්ගලයා  එංගල්ස් බව මාක්ස්ගේ පිළිගැනීම නිසාය. මේ බව ඔප්පුකරමින් 1868 දී එංගල්ස් ප‍්‍රාග්ධනයේ සංක්ෂිප්තයක් ද එළිදක්වා  ඇත. අපෝහකවාදය පිළිබඳව  මාක්ස්ට නොදෙවෙනි අවබෝධයක් තිබූ එංගල්ස්ට අපෝහක නියතයන් හා ආර්ථික නියතිවාදය අතර ව්‍යාකූලත්වයක් තිබුනේ යයි සිතිය නොහැක.  
1878 දී එංගල්ස් විසින් ලියා ප‍්‍රකාශයට පත්කෙරෙන ‘ඩූරිං විරෝධය ’ මාක්ස්වාදය එක්තැන් කළ පූර්ණ ප‍්‍රකාශනයක්  බඳුය.  මාක්ස්වාදය වෙන් වෙන් වශයෙන් සාකච්ඡුාකරමින් තිබූ වැදගත් විෂයයන් තුනක් (1)දර්ශනය (2) දේශපාලන ආර්ථිකවිද්‍යාව සහ (3) සමාජවාදය එකම කෘතියක සාකච්ඡාකිරීම එහි කැපීපෙනෙන ලක්ෂණයයි. දර්ශනය විෂය යටතේ කාලය හා අවකාශය , විශ්ව සම්භව විද්‍යාව , රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ඓන්ද්‍රීය ලෝකය වශයෙන් ස්වභාවයේ දර්ශනය ගැන කෙරෙන සාකච්ඡාව ඊටත් වඩා කැපීපෙනෙන ලක්ෂණයකි. 1876  වනවිටත් එංගල්ස් අවුරුදු අටක් ම ස්වභාවික විද්‍යාවන් ගැඹුරින් හදාරා  ‘ස්වභාවයේ අපෝහකය’ ලිවීම ආරම්භකර තිබූ අතර ඩූරිං විරෝධය ලිවීමේදී එම නව දැනුම ප‍්‍රයෝජනවත් ලෙස යොදාගෙන ඇත. එය මාක්ස් ජීවත්ව සිටියදී ලියා ඇතිවා පමණක් නොව ඒ සඳහා සැකසූ පූර්ණ සැලැස්ම එංගල්ස් මාක්ස්ගේ අවධානය පිණිස යොමුකර ඇත. එපමණක් ම නොව  එහි දේශපාලන ආර්ථික විද්‍යාව යටතේ අවසන් පරිච්ෙඡ්දය ලියා ඇත්තේ ද මාක්ස් විසින් ය. එංගල්ස් එහි දෙවන ඉංග‍්‍රීසි මුද්‍රණයට ලියන පෙරවනෙහි (1885) මෙසේ කියයි.
‘මෙම කෘතියෙහි  විස්තර කෙරෙන දෘෂ්ටිමය ආකාරය වැඩිවශයෙන් මාක්ස් විසින් සොයා දැනගත් සහ වැඩිදියුණු කරන ලද බවත්   මවිසින් කර ඇත්තේ නොවැදගත් ප‍්‍රමාණයක් බවත් , මගේ මේ අනාවරණය ඔහුගේ දැනුමකින් තොරව ප‍්‍රකාශනොවිය යුතු බවට  අප අතර ස්වයං අවබෝධයක් තිබූ බවත් මම  මේ අතර,  සඳහන් කළයුතුය. එය මුද්‍රණය කිරීමට පෙර මම මුළු අත්පිටපතම ඔහුට කියවා දුන්නෙමි.’
ඩූරිං විරෝධය, එංගල්ස්ගේ ග‍්‍රහණය යටතේ මාක්්ස්වාදය විකෘත්තිකර ඉදිරිපත් වූවක් නොව මාක්ස්ගේ   අනුදැනුම හා සහභාගිත්වය ඇතිව ලියවුන මාක්ස්වාදයෙහි සංවර්ධිත පියවරක් බව පැහැදිලිය. 
එංගල්ස් 1880 දී  ‘ සමාජවාදය -මනෝරාජික සහ විද්‍යත්මක ’ යන කුඩා පොත පළකරන්නේ ඩූරිං විරෝධයෙහි තුන් වන කොටස පදනම්කරගෙනය. සමාජවාදය ‘විද්‍යාත්මක කිරීම ’ගැන එංගල්ස් සමග සමහරු උරණවීමට හේතුවිඇත්තේ මේ කෘතිය නිසා විය හැකිය. එතෙක් පැවති සමාජවාදය ධනවාදී සූරාකෑම දැඩි ලෙස  හෙලාදැක්ක නමුත් එම සූරාකෑම පැන නගින්නේ කොතැනින් ද කෙසේද යන්න පැහැදිලිකිරීමෙහි අපොහෝසත් විය. ධනවාදී නිෂ්පාදන ක‍්‍රමයේ ඓතිහාසික ස්වරූපයත් එහි අත්‍යාවශක අභ්‍යන්තරික සම්බන්ධතාවයත් පැහැදිලි කිරීමෙහි සමත්වූයේ ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී සංකල්පය හා  අතිරික්ත වටිනාකම පිළිබඳ නියාමය ට පමණි. ඒ අනුව පූර්ව සමාජවාදයන්,  ධනවාදයේ  සම්බන්ධතාවයන්ගේ ප‍්‍රපංචීය ආකාරය පමණක් ග‍්‍රහණයකරගත් දැනුම මත පදනම වූ නිසා මනෝරාජිකවූ අතර මාක්ස්වාදය පෙන්නා දෙන සමාජවාදය ධනවාදයේ  අභ්‍යන්තර සම්බන්ධතාවයන් විනිවිද දක්නා දැනුම මත පදනම් වන නිසා විද්‍යාත්මක වෙයි. විද්‍යාත්මක සමාජවාදය වෙයි. විද්‍යාව සැබෑ මානව ක‍්‍රියාකාරිත්වයේ ඉහළ ඵලයක් ලෙස පිළිගැනීමට මැලිකමක් දක්වන ආසියාතික පෞඩත්වය හිසින් ගත්තවුන් එය බටහිරට තබා බැලීමේ පුරුද්ද නිසාම විද්‍යාත්මක සමාජවාදය දෙස ද වපර ඇසින් බැලීමට පුරුදු වී ඇති බව පෙනේ.  එංගල්ස් මාක්ස්වාදය විකෘත්ති කරන ලදැයි චෝදනා කරන්නවුන්  (මාක්ස් සහ) එංගල්ස්ගේ  විප්ලවීය දේශපාලන භාවිතය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකිරීමට වග බලා ගෙන ඇත.
‘ කම්කරු පංතියේ දේශපාලන ව්‍යාපාරයේ අවසාන අරමුණ ඇත්තවශයෙන් ම , මේ පංතිය සඳහා දේශපාලන බලය දිනාගැනීමය. ඒ සඳහා ස්වභාවයෙන් ම ඉල්ලා සිටින්නේ ආර්ථික අරගලයන්ගෙන් පැනනැග, නිශ්චිත සංවර්ධන අවධියකට ල`ගාවන කම්කරු පංතියේ සංවිධානයක් ය. කම්කරු පංතිය පංතියක් වශයෙන් පාලක පංතියට මුහුණ ලා පීඩනය එලලකරමින් බලපෑම් කරන්නා වූ ව්‍යාපාරයක්ය. උදාහරණයක් වශයෙන් , වැඩකරන දිනය අඩුකර ගැනීම සඳහා කිසියම් ෆැක්ටරියක හෝ කිසියම් වෙළඳ ආයතනයක එකිනෙක ධනපතියාට බලකරන වැඩ වර්ජන වැනි උත්සාහයන් හුදෙක් ආර්ථික අරගල ව්‍යාපාරයන්ය. අනෙක් අතට   පැය අටේ වැඩ දින වැනි නීතින් දිනාගැනීම සඳහා අරගල කරන විට ඒවා  දේශපාලන ව්‍යාපාරයන්ය . මේ විදියට වෙන් වෙන් ආර්ථික අරගල ව්‍යාපාරයන් වර්ධනය වී දේශපාලන අරගල ව්‍යාපාරයන් එනම් සමාජීය  බලහත්කාරී බලයක ආකාරයෙන් තම අභිලාෂයන් අරමුණුකර ගත්  පංති   ව්‍යාපාරය පැන නගී. පාලක පංතියේ සාමූහික දේශපාලන බලයට එරෙහි තීරණාත්මක ව්‍යාපාරයක් දියත්කිරීමට තරම් සංවිධානාත්මක වර්ධනයක් කම්කරු පංතිය අත්කර ගෙන නැති නම් හැකි සෑම ආකාරයකින් ම  එම බලයට එරෙහිව අඛණ්ඩ උද්ඝෝෂණයන් ගෙන යමින් ද පාලක පංතියේ ප‍්‍රතිපත්තීන් කෙරෙහි විරෝධාකල්පයන් ගොඩනගමින්  ද පංතිය පුහුණුකළ යුතුය. එසේ නොමැති නම් එය පංලක පංතිය අතේ නැටවෙන රූකඩ බවට පත්යෙි. 1871 දී නිව්යෝක් හි ෆෙඩ‍්‍රික්  බෝල්ට් ට මාක්ස් එසේ ලියා යවයි. මාක්ස් සහ එංගල්ස් 1848 සිට ඔවුන් මියෙන් තෙක් කොමියුනිස්ට් සංගමය , පළමු හා දෙවන ජාත්‍යන්තරය සහ විශේෂයෙන් ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තුල තුල කරගෙන ගිය අරගලයන්ගෙන් පෙන්නුම් කරන්නේ එම විප්ලවීය භාවිතයයි. මෙම භාවිතයෙන්  ප‍්‍රකාශවන්නේ (මාක්ස් සහ *එංගල්ස්ගේ   න්‍යායික හා උපායික ඉදිරිපත්කිරීම්ය. මාක්ස් හෝ එංගල්ස් කියන්නේ දෙකක් නොව එකිනෙකින් පෝෂණය කරන්නා වූ එකම දෙයකි, එනිසා ඔවුන්ගේ ක‍්‍රියාවන්හි ඇත්තේ ද පරස්පර තාවයක් නොව සාම්‍යයක් ම ය.
පංතියේ ආර්ථික හා දේශපාලන අරගලයන් ප‍්‍රතික්ෂේපකරමින් ධනවාදය තුල ම අනොන්‍ය පරිපූර්ණත්වය මගින් මිනිසාගේ විමුක්තිය සොයායාමේ ‘සමාජවාදී ජීවන විලාශයක් ’ යෝජනාකරන්නා වූ  මතවාදයන් ඇත්තවශයෙන් ම ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුල මතවාදයන්ටත් වඩා එහා ගිය ආසියාතික ගුප්තභාවයක් ද ආරූඩකරගත් ව්‍යාකූල මතවාදයන් ම ය. එහි   පදනම ?ඳී ඇත්තේ අපෝහකවාදය     ‘    මිනිසා භාහිර ලෝකය සමග කටයුතු කරන යාන්ත‍්‍රණයකට ’ ඌණනය කරන මිත්‍යාව තුලය. මෙවැනි මිත්‍යාවන් හා මාක්ස්වාදය අතර පැහැදිලි බෙදුම් රේඛාවක් සළකුණුකර ගැනීම අත්‍යාවශ්‍ය ප‍්‍රාථමික කටයුත්තකි.

‘පංති අරගලය අප‍්‍රසන්න ‘ රළු ’ප‍්‍රපංචයක් සේ සලකා පැත්තකට දමන සෑම තැනකදී ම ‘ මිනිස් වර්ගයා සඳහා සැබෑ ආදරය ’ සහ ’ සාධාරණත්වය ’ ගැන කෙරෙන හිස් වාක්‍යඛාණ්ඩයන් මිස  සමාජවාදය සඳහා පදනමක් ලෙස කිසිවක් ඉතිරි නොවෙයි.  ’
                            මාක්ස් සහ එංගල්ස් – 1879 සෙප් 17-19 දින  ඕගසට් බෙබෙල් , විල්හෙල්ම් ලිබ්නෙක්ට් , විල්හෙල්ම් බ්‍රේක් සහ අනෙක් අයට යැවූ ලිපිය. 
එංගල්ස්ගේ ‘අපගමණයෙන් ’ ආභාශය ලැබූ ලෙනින්ගේ ‘මාක්ස් විරෝධී ’ දර්ශනය හා භාවිතය ගැන අපි ඊළ`ග ලිපියෙන් සාකච්ඡුා කිරීමට බලාපොරත්තු වෙමු.
ඒ . ඞී. පී . රත්නායක
පීපල්ස් මාච් 
2013. 10 . 18
     






No comments:

Post a Comment