මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, August 24, 2011

මාධ්‍ය භාවිතය හා සංස්කෘතිය

රජිත රාජපක්ෂ
       ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය භාවිතය, මාධ්‍ය සංස්කෘතිය හා මාධ්‍ය නිදහස  සිවිල් සමාජය තුළ අද නිතරම සංවාදයට බඳුන් වන කරුණක් බවට පත්වී තිබේ. පොදු මහජනතාව මෙය එතරම් වැදගත් මාතෘකාවක් ලෙස නොසැලකුවත් ඔවුන්ගේ ද කිසියම් අවධානයක් මාධ්‍ය ක්ෂේත‍්‍රය කෙරේ පවතී.

      ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය භාවිතය, මාධ්‍ය සංස්කෘතිය හා මාධ්‍ය නිදහස පිළිබඳව කථා කිරීමට පෙර අප රට සතු මාධ්‍ය ආයතන පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය කරුණකිග මන් ද මාධ්‍ය භාවිතයේ, මාධ්‍ය සංස්කෘතියේ හා මාධ්‍ය නිදහසේ හැඩය හා ස්වභාවය කෙරෙහි එය තීරණාත්මක බලපෑමක් කරන නිසා ය. අප රට තුළ කි‍්‍රයාත්මක වන මාධ්‍ය ආයතනවලින් විශාල සංඛ්‍යාවක අයිතිය සතු වන්නේ පුද්ගලික අයිතිකරුවන්ට ය. රජයට අයිතිවන්නේ මාධ්‍ය ආයතන කිහිපයක් පමණි.
      1977ට පෙර එකදු රූපවාහිනි නාලිකාවක් හෝ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වූවේ නැත. රාජ්‍ය සතුව එක් ගුවන් විදුලි නාලිකාවක් හා පුවත්පත් කිහිපයක් පැවැති අතර පුද්ගලික අංශයට ද පුවත්පත් කිහිපයක අයිතිය පැවතුණි. 1977 පසු රට තුළ ස්ථාපිත කරන ලද ලිබරල් ආර්ථික ක‍්‍රමයත් සමඟම සෑම සේවා ක්ෂේත‍්‍රයක්ම විශාල ලෙස පුළුල් වීමක් සිදු විය. මෙය සන්නිවේදන ක්ෂේත‍්‍රයට ද අදාළ ය. අද වන විට සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි රූපවාහිනී නාලිකා 20ක් පමණ පවතී. භාෂා තුනෙන්ම විකාශනය වන ගුවන් විදුලි නාලිකා ප‍්‍රමාණය 46ක් වන අතර පුවත්පත් සංඛ්‍යාව ද 47කි. මේ ප‍්‍රදේශීය පුවත්පත් හා ස`ගරා නොමැතිව ය. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලට අනුව රට පුරා සිටින ප‍්‍රාදේශීය මාධ්‍යවේදීහු ද ඇතුළුව 5000කට වැඩි ප‍්‍රමාණයක් දෙනා මාධ්‍යකරණයේ යෙදෙති. මීට අමතරව අද වන විට විශාල ලෙස ජනපි‍්‍රය වී ඇති වෙබ් අඩවි හා බ්ලොග් අඩවි විශාල ප‍්‍රමාණයක් ද රට තුළ කි‍්‍රයාත්මක වේ.
      රටේ පවතින රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නලිකා හා පුවත්පත් වෙන වෙනම සඳහන් කිරීමේ හැකියාවක් ඇතත් එසේ නොකරන්නේ මෙම ලිපියේ අරමුණ එය නොවන නිසා ය.
      මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ලෙස සරල බෙදීමකට ලක්කර ඇත්තේ රට තුළ පවතින මාධ්‍ය ආයතනවල අයිතිය පදනම් කරගනිමිනි. එහෙත් මෙම ආයතනවල අයිතිය පදනම් කරගනිමින් කර ඇති බෙදීම තුළින් පොදු මහජනතාවට මෙම මාධ්‍ය ආයතනවල මාධ්‍ය භාවිතයන් පිළිබඳව නිසි ලෙස තේරුම් ගැනීමට ඇති අවකාශය අවහිර කර තිබෙන බව කිව යුතු ය.
      රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රවෘත්ති හා වැඩ සටහන් සියල්ල එ්ක පාර්ශවික හා රජයට පක්ෂපාතී එ්වා බව පැහැදිලි ය. එය රටේ සෑම පුද්ගලයෙකුටම වැටහේ. අද පවතින මොන පක්ෂය බලයට පත් වූවත් එය ඉදිරියටත් එසේ ම වනු ඇත. එය යථාර්ථයකි.
      එහෙත් අප වේලාගෙන ඇති බිහිසුණු ව්‍යාජයක් වන්නේ බොහෝ දෙනෙකු පුද්ගලික මාධ්‍ය ආයතන ඉදිරිපත් කරන ප‍්‍රවෘත්ති වැඩසටහන් සියල්ල බොහෝ දුරට අපක්ෂපාතී, ස්වාධීන හා සත්‍ය කරුණු මත පදනම්ව ඉදිරිපත් කරන තොරතුරු ලෙස විශ්වාස කරන තත්ත්වයක් පැවතීම ය. පුද්ගලික මාධ්‍ය ආයතන අපක්ෂපාතීව හා ස්වාධීනව සත්‍ය කරුණු ඉදිරිපත් කරන එ්වා ලෙස සමාජය තුළ ද මතයක් පවතී. රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වඩා වැඩි පිරිසක් පුද්ගලික මාධ්‍ය ආයතනවලින් විකාශනය කරන ප‍්‍රවෘත්ති හා වැඩසටහන් නැරඹීමටත්, පුද්ගලික මාධ්‍ය ආයතනවල පුවත්පත් වැඩියෙන් කියවීමටත් පෙළඹී ඇත්තේ මෙම කරුණු නිසා ය.
      සමාජය තුළ කිසියම් ප‍්‍රමාණයකට පුද්ගලික මාධ්‍ය ආයතන කෙරේ ඇති වී ඇති විශ්වාසය මොන තරම් ව්‍යාජයක් ද යන්න හෙළි දරව් කිරීමට  ඕනෑ තරම් හේතු මෙම ”අපක්ෂපාතී, ස්වාධීන හා සත්‍ය ගරුක මාධ්‍ය” මගින් ම ඉදිරිපත් කෙරෙන අන්දම සමාජයට තේරුම් ගැනීමට නොහැකිව තිබීම උත්ප‍්‍රාස දනවන්නකි.
      එකක් දෙකක් හැරුණු විට පුද්ගලික අයිතිය සතු සෑම මාධ්‍ය ආයතනයක්ම ආරම්භ කරනු ලැබ ඇත්තේ මහ පරිමාණ ව්‍යාපාරිකයන් විසිනි. රටටම නැරඹිය හැකි රූපවාහිනී නාලිකාවක් ඇරඹීමට ලොකු ව්‍යාපාරිකයෙකුට හැර වෙනත් අයෙකුට අද ඉඩකඩක් නොමැත. එය එතරම්ම වියදම් අධික කාර්යයකි. මෙම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ප‍්‍රධාන ව්‍යාපාර වන්නේ රත්රන් බඩු වෙළඳාමල රජයේ විශාල කොන්ත‍්‍රාත් ලබා ගැනීම, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළඳාම, විශාල ප‍්‍රචාරක ආයතන වැනි වෙනත් කේෂ්ත‍්‍රයන් ය. තවත් අය රේස් බුකි වැනි මහා පරිමාණ සූදු කී‍්‍රඩාවන් පවත්වා ගෙන යන්නෝ ය.
     මෙම පුද්ගලයින් විසින් මාධ්‍ය ආයතන ආරම්භ කර ඇත්තේ ඒවා විශාල ලෙස මුදල් ඉපයීමට උදව්කර ගත හැකි මෙවලම් වශයෙන් යොදා ගැනීමට මිස මාධ්‍ය නිදහස තහවුරු කිරීමට හෝ නිවැරදි භාවිතයක් ඇති හොඳ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට හෝ නොවේ. මේ මාධ්‍යවල මුළු මහත් භාවිතයම ලාභ ගැරීම උපරිමය කර ගැනීම සඳහා අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට කරන දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපෘතියකට වැඩි යමක් නොවේ.
      තම ව්‍යාපාරික ලාභ චේතනාව ඉහළින්ම ඉටුකර ගැනීමට ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයෝ රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගැනීමට හැම විටම උත්සාහ කරති. ඊට අනුකූලව රාජ්‍යයේ හා බලවත් දේශපාලන පක්ෂ හා පුද්ගලයින් සතුටුවන ආකාරයට කටයුතු කිරීමට බොහෝ පුද්ගලික මාධ්‍ය ආයතන ද පෙළඹී සිටී. මාධ්‍ය ආයතනයක් ලෙස සමාජය තුළ තහවුරු වීම සඳහා බොරු, ස්වාධීන අපක්ෂපාතී බවක් පෙන්වීමට උත්සාහ දරනවා හැරෙන්නට මෙම ආයතනවල කිසිදු අපක්ෂපාතී හෝ සත්‍යගරුක බවක් නොමැත. ඇත්තේ ව්‍යාජ අලංකාරෝක්තීන් පමණි. මෙම ආයතනවල වැඩ කරන මහ ලොකු මාධ්‍යවේදීන්ට ද වැඩ කළ හැක්කේ ඉතාම සීමිත වපසරියක පමණි. එයින් පිටට පැනීමට උත්සාහ කළහොත් ඔවුන්ට සිදු වන්නේ රස්සාව අතහැර ගෙදර යාමට ය.
      අපගේ වර්ගීකරණයට අනුව රාජ්‍ය මාධ්‍ය ආයතන වන්නේ පවතින පාලන තන්ත‍්‍රය පවත්වාගෙන යාමට සහය වන එ් වෙනුවෙන් ජනතා කමැත්ත රඳවා ගැනීමට දායකවන හා ජනතා කැමැත්ත වර්ධනය කිරීමට උදව් වන රාජ්‍යයේ පාලනය යටතේ පවත්නා මාධ්‍ය  ආයතනයන් ය. එහෙත් ඒ අරුතින් රාජ්‍ය මාධ්‍ය ආයතන නොවුන ද රාජ්‍ය මාධ්‍ය ආයතන පරිද්දෙන් ම පවතින පාලන තන්ත‍්‍රයේ පැවත්ම වෙනුවෙන් සිය මාධ්‍ය භාවිතය හසුරුවන පෞද්ගලික මාධ්‍ය ආයතන රාශියක් ද ඇති බව දක්නට තිබේ. පුද්ගලික ආයතනවලින් අති බහුතරයක හැසිරීම අනුව ඒවා ද දැමිය යුත්තේ අයිතියෙන් පෞද්ගලික වුව ද භාවිතයෙන් රාජ්‍ය මාධ්‍ය ගණයට ම ය.
අද මෙම පුද්ගලික රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් ආයතනවලින් එකක් දෙකක් හැරුණු විට අනිකුත් සෑම ආයතනයක්ම කටයුතු කරන්නේ ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය වර්ධනය කිරීමේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස ය. මේවා විසින් හැම විටම වාගේ කරනු ලබන්නේ පොදු මහජනයාට හරි හැටි කරුණු අවබෝධ කර ගැනීමට ඇති ඉඩකඩ ව්‍යාකූල කිරීම ය.
      ජපානයේ සිදු වූ මහා භූමිකම්පාවෙන් වූ විනාශය මුළු ලෝකයේම ප‍්‍රධාන පුවත් බවට පත් වෙද්දී රත්තරන් බඩු වෙළදාම් කරන සෝමා එදිරිසිංහගේ ඊ ඒ පි ආයතනයේ ස්වර්ණවාහිනී චැනලයේ එදින ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය වූයේ ජනාධිපතිවරයා රත්නපුරයේ සමන් දේවාලය වැඳ පුදා ගැනීම ය. එදින රාජ්‍ය මාධ්‍ය ආයතනවල පවා ප‍්‍රධාන පුවත වූයේ ජපාන භූමි කම්පාවට අදාල පුවතයි. චැනල් ෆෝ වීඩියෝ පට බොරු බව පෙන්වා දීමට රාජ්‍ය මාධ්‍ය ආයතන අභිබවා ස්වර්ණාහිනිය මහත් වෙහෙසක් දරයිග මෙවැනි ආකාරයට ප‍්‍රවෘත්ති පෙළ ගැසීම් සිදු වන්නේ එම ආයතනවල වැඩ කරන මාධ්‍යකරුවන්ගේ ඔලමොට්ටලකම හෝ නිහීන බව නිසාම නොවේ. ඊ.එ.පී. අයිතිකරුවන්  තම ලාභ කුට්ටිය වෙනුවෙන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කඬේ යන හොඳම හොඳ එහෙයියන් වන නිසා ය.
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන සරත් අමුණුගමගේ දුව වන වරුණි අමුණුගමගේ හා ගෝඨාභය රාජපක්ෂගේ සමීප මිත‍්‍රයකු වන ව්‍යාපාරික දිලිත් ජයවීරගේ දෙරණ රූපවාහිනිය රජයට එරෙහිව උද්ඝෝෂණවල නියැලෙන ශිෂ්‍ය සංවිධානවලට, වෘත්තීය සමිතිවලට මඩ පැකට් පිටින් තවරා පහරදීමේ පෙරමුණේම සිටින රූපවාහිනි මාධ්‍ය ආයතනයක් ලෙස කි‍්‍රයා කරයි. එහි සිටින ආචාර්ය මහාචාර්ය මාධ්‍යවේදීන් ටික වෘත්තිය සමිතිවලට, ශිෂ්‍ය සංවිධානවලට  පමණක් නොව විරුද්ධ දේශපාලන පක්ෂ හා නායකයින්ට ද උපදෙස් දීම සිදු කරයි.
දෙරණ හා ස්වර්ණවාහිනී ආයතන තම ප‍්‍රවෘත්ති මගින් හැමවිටම උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩූෙවි ප‍්‍රතිරූපය වර්ධනය කිරිමට අතිශයෝක්තියෙන් කරුණු ගෙන හැර පෑම මිස ජනතාවට සත්‍ය කරුණු දැන ගැනිමට ඉඩ සැලසීම නොවේ.
     මෑතකදී මහත් අවධානයකට ලක් වූ චැනල් ෆෝ වීඩියෝ පටයට ඇතුළත් කරුණු දිවයින, අයිලන්ඞ් පුවත්වලට අනුව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් කුඩු පට්ටම්කර දමනු ලැබ ඇත. වීඩියෝ පටය පිළිබඳව නිව්යෝක් නුවර පැවැති සාකච්ඡාවෙන්පසු රාජපක්ෂ ආංඩුවේ ටෙලිකොම් සභාපති හා ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගේ සහෝදරයා වන නිමල් වෙල්ගමගේ  උපාලි පුවත්පත් ආයතනයේ සියලූ පුවත්පත්වල ප‍්‍රධාන ලිපි හා ප‍්‍රවෘත්ති සියල්ල චැනල් ෆෝ කුඩු කළ ආකාරය ගැන ය. තත්ත්වය එසේ නම් චැනල් ෆෝ අභියෝගය දැන් අවසන් වී ඇත.
දැනගත යුතු සත්‍ය කරුණුවලින් ජනතාවගේ ඇස් වසාලීමට මොවුන් කරනා දැඟලිල්ලම මහත් සේ පිළිකුල් සහගත ය.  දිවයින පුවත්පතේ ආරම්භයේ සිටම විශාල ඉඩකඩක් හිමි වූ මහාචාර්ය නලින් ද සිල්වා වැන්නන්ට  පවා ද දැන් එහි  ඉඩකඩ ඇහිරී තිබේ. ආසනික් ප‍්‍රශ්නය හේතු කොටගෙන ආණ්ඩුවේ උදහසට ලක්වේය යන බිය නිසා උපාලි පුවත්පත් ආයතනයත්, මහ ලොකු දේශපේ‍්‍රමී පත්තරකරුවෙකු ලෙසට පෙනී සිටිමට උත්සාහ කරන ගාමිණී සුමනසේකරත් නලින් ද සිල්වාට ගේට්ටුව වැසීමට කටයුතු කර ඇත.
      සුමති පුවත්පත් ආයතනය යනු ආණ්ඩුවේ මන්තී‍්‍රවරයෙකු වන තිලංග සුමතිපාලගේ  පුවත්පත් ආයතනයයි. එය රාජ්‍ය මාධ්‍ය ආයතනයකට සමාන ය. එම ආයතනය පලකරන ලක්බිම ඉරිදා ලක්බිම, ලක්බිම නිවුස් වැනි පුවත්පත් කියවන පාඨකයින් මේ බව දනී.
සියත ටී වි හා සියත රේඩියෝව අයිති කාරියප්පෙරුමලා කලක් රාජපක්ෂලා වෙනුවෙන් පෙනි සිටි ඔවුන්ගේ සුවච කීකරු ගෝලයන් ය. සරත් ෆොන්සේකාට උදවි කළේ ය යන සැකය මත මෑතක සිට කිසියමි විරසක බවක් ඇති වී තිබේ.
මැක්ස් ටී වී හා රේඩියෝව අයිති මහින්ද රාමනායක යනු  එකල පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ හිතවතකි.
     රටේ ක‍්‍රියාත්මක ගුවන් විදුලි නාලිකා වලින් පහලොවක්ම රජයේ ගුවන් විදුලි සංස්ථාවට අයත් ය. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුවරයකු වන දුමින්ද සිල්වාගේ සහෝදරයාගේ
ABC ආයතනයට නාලිකා පහක් අයත් ය. මහාරාජාට පහකි. සෝමා එදිරිසිංහගේ ඊ ඒ පි එකට තුනකි. රනිල්ගේ අයියාවන ශාන් වික‍්‍රමසිංහට නාලිකා පහකි.
මෙහි සඳහන් කර නැති අනිකුත් සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍ය ආයතන බොහොමයක් ආණ්ඩුවේ හිතවතුන්ගේ හෝ ගජ මිතුරු ව්‍යාපාරිකයන්ගේ ය. නැතිනම් යු ඇන් පි යේ හිතවතුන්ගේ ය.
පෞද්ගලික මාධ්‍ය ආයතන අතර මධ්‍යස්ථ බවක් පෙන්නුම් කිරීමට උත්සාහ දරණ සිරස ආයතනය ද සත්‍ය කරුණු ඉදිරිපත් කරනවා යයි කීව ද එය අනුදැන වදාරන දේශපාලනඥයන්ගේ ප‍්‍රතිරූපය නංවාලීමට හා තමන් අකැමති දේශපාලනඥයන්ගේ ප‍්‍රතිරූපය කඩා ඉහිරවීමට  සිය මාධ්‍යය හසුරුවනුයේ ජුගුප්සා ජනක ලෙස ය. නිදසුන් ලෙස රනිල් වික‍්‍රමසිංහ දේශපාලනිකව විනාශ කර දැමීමට හා සජිත් පේ‍්‍රමදාස සිහසුන වෙත ගෙන ඒමට එය ගෙන යන වියරු මාධ්‍ය පුචාරයෙන් මෙය මොනවට පැහැදිලි වේ. මහරාජා ආයතනය හා රනිල් වික‍්‍රමසිංහ අතර ගැටුම පිළිබදව රනිල් හෙළි කළ කරුණ සත්‍ය හෝ අසත්‍ය විය හැකි ය. මෙයට පිළිතුරු දිය යුත්තේ මහරාජා ආයතනයේ වගකිව යුතු මටිටමේ අයකු මිස මහරාජා ආයතනයට ඇණ මුරිචිචියක් තරම් නොවටිනා කුලිකාර මාධ්‍ය කාරයන් හෝ රනිල් විරෝධි යු ඇන් පි කාරයන්  නොවේ. තම ආයතනය විවේචනය කරන සෑම පුද්ගලයෙකුටම බූරුවා, කොටළුවා, හොරා, ලජ්ජා නැති එකා වැනි  වචන හා කාටුන් යොදා ගනිමන් මෙම ආයතනය ගෙන යන මාධ්‍ය ප‍්‍රචාරය ඉතාමත් පිළිකුල් සහගත ය. දේශපාලන වශයෙන් සුළුතරයකගේ උවමනාව ඉටු කිරීමට නිරුවත් ලෙස ඉදිරිපත්වීම තුළින් එය එතෙක් යම් තරමකට හෝ පෙන්නූ අපක්ෂපාතීභාවය නම් කඩතුරාව ගලවා දමා ඉතාමත් වේගයෙන් පිරිහී යන මාධ්‍ය ආයතනයක් බවට සිරස පත් වෙමින් තිබේ. ස්වකීය වැඩසටහන් මගින් ඉවසීම, සංවරකම, සදාචාරය ආදිය ගැන බණ වදාරන සිරස තමන්ට විවේචනයක් එල්ල වු ක්ෂණයෙන් වැටෙන වියරුවෙන් පෙන්නුම් කරනුයේ මේවායේ මාධ්‍ය භාවිතයේ ඇති නියම ස්වරූපය ය. මාධ්‍ය සදාචාරය බල්ලට ගියත් මෙහිදී මහාරාජලාගේ එක් අරමුණක් වනු  ඇත්තේ දැනට අහිමිව ඇති ආණ්ඩු පාක්ෂික පේ‍්‍රක්ෂක වෙළෙඳ පොළ අල්ලා ගැනීම විය හැකි ය. එය තවත් සැලකිය යුතු කලකට විශාල පේ‍්‍රක්ෂක වෙළෙඳ පොලක් ලෙස පවතිනු හැකි නිසා ය.
      අපි මාධ්‍ය ජාතික හා විකල්ප ලෙස නැත්නම් මහා සම්ප‍්‍රදායේ හා චූල සම්ප‍්‍රදායේ ඒවා ලෙස වර්ගීකරණයට ලක් කරමු. විශාල මාධ්‍ය ආයතන වන විජය පුවත්පත්, ලේක්හවුස් පුවත්පත්, උපාලි, සුමති යන විශාල ආයතන ජාතික පුවත්පත් ලෙස නම් කරන අතර රාවය, ලංකා, පීපල්ස් මාච්, වැනි පුවත්පත් හා සඟරා විකල්ප හෙවත් චූල සම්ප‍්‍රදායේ ප‍්‍රකාශනයන් ය.
      මෙම විකල්ප හෙවත් චූල සම්ප‍්‍රදාය නියෝජනය කරන වික්ටර් අයිවන් වැනි චරිත කෙලින්ම මහින්ද පාලන තන්ත‍්‍රය වෙනුවෙන් තම පෑන සූක්ෂම ලෙස යොදවන ආකාරය ගැන අපගේ ”මේ කව්ද අයිවන්?” ලිපියෙන් පෙන්වා දී ඇත. වීරකේසරී, තිනකුරල්, සුඩර්ඔලි යන ජාතික තලයේ දෙමළ පුවත්පත් හා ප‍්‍රාදේශීය දෙමළ පුවත්පත් සියල්ලම පාහේ දෙමළ ජාතික ප‍්‍රශ්නයට බර තබා  ඒ වෙනුවෙන් මාධ්‍ය භාවිතයක යෙදී සිටින ආයතනයන් ය. මෙම දෙමළ පුවත්පත්වලට ලංකාවේ අනිකුත් ප‍්‍රධාන ප‍්‍රශ්න වන ආර්ථික ප‍්‍රශ්න, ශිෂ්‍ය ප‍්‍රශ්න, කම්කරු ප‍්‍රශ්න වැනි දේවල් එතරම් වැදගත් නැත. ඔවුන් දීර්ඝ කාලයක සිට සිංහල බහුතරයකින් ගොඩනඟන ආණ්ඩුවලට එරෙහි මාධ්‍ය භාවිතවල යෙදෙන ආයතනයන් ය. කලක සිට ශී‍්‍ර ලංකාවේ පවතින තත්ත්වය අනුව එය එසේ වීම එතරම් පුදුම විය යුතු දෙයක් නොවේ.
       අද කි‍්‍රයාත්මක වන සියලූ මාධ්‍ය ආයතන මහින්ද රෙජිමයට පක්ෂ හා විරුද්ධ ලෙස බෙදිය හැකි ය. මෙහිදී වැදගත් වන්නේ මාධ්‍ය ආයතනවල අයිතිය සතු වන්නේ කා වෙත ද යන්නට වඩා මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍යවේදියකු පෙනී සිටින්නේ කා වෙනුවෙන් ද යන්න ය.
පෞද්ගලික අයිතිය පවතින විශාල මාධ්‍ය ආයතනවලින් 90%ක්ම රාජපක්ෂ පාලන තන්ත‍්‍රය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍යම කරුණක් වන මහජන කැමැත්ත රඳවා ගැනීමට හා වර්ධනය කිරීමට තම මාධ්‍ය භාවිතය ඍජුව හා වක‍්‍රව හසුරුවමින් සිටින ආයතනයන් වී තිබේ ය යන්නෙන් මෙය මැනවින් පැහැදිලි වෙයි.
       හැම මාධ්‍ය ආයතනයක්ම ප‍්‍රකාශ කරන්නේ තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි. මෙහිදී රාජ්‍ය මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරය ප‍්‍රශ්නයක් වුව ද එය තේරුම් ගත හැකිය. ඔවුන් කෙලින්ම පවතින පාලන තන්ත‍්‍රය වෙනුවෙන් පෙනී සිටින බව අපි කවදත් දනිමු. එහෙත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින් ඇතැම් විට රාජ්‍ය මාධ්‍ය ආයතන ද පවා අභිබවමින් හා ස්වකීය පල ප‍්‍රයෝජන තකා ම මාධ්‍ය භාවිතයේ යෙදෙන  මහා සම්ප‍්‍රදායේ හා චූල සම්ප‍්‍රදායේ මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන් ගේ මාධ්‍ය භාවිතය ගැන ජනතාව දැනුවත් කිරීම අපගේ වගකීමකි.
      මහින්ද හෙජමනියට විරුද්ධ මහා සම්ප‍්‍රදායේ මාධ්‍ය ආයතන හැම විටම පෙනී සිටින්නේ මහින්ද වෙනුවට රනිල් හෝ සජිත් හෙජමනියක් නිර්මාණය කිරීම සඳහා ය. මහාරාජාගේ සිරස, රනිල් ගේ අයියාගේ ටී. එන්. එල්., රනිල්ගේ මාමාගේ විජය පුවත් මේ ගණයට වැටෙන ආයතනයන් ය. දීර්ඝ කාලයක සිට ලංකාදීප පුවත් පතේ ගුරුදා විග‍්‍රහය ලියු උපුල් ජෝෂප් ප‍්‍රනාන්දුට රනිල්ගේ නායකත්වය විවේචනය කර ලියු ලිපියක් පල නොකිරිම නිසා එම විග‍්‍රහය ලිවිම අත හැර දැමීමට සිදු වු බව උපුල් ජෝෂප් ප‍්‍රනාන්දු පවසා තිබුණි. රනිල් ගේ අයියාගේ මාධ්‍ය ආයතන ටික අද වන විට සජිත් පාර්ශවයට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටී.
චූල සම්ප‍්‍රදාය නියෝජනය කරන බොහෝ මාධ්‍යකරුවෝ ද රනිල් හෝ සජිත් හෙජමනියකට වැඩි කැමැත්තක් දක්වති. මීට වෙනස්ව පොදු මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින ඔවුන් වෙනුවෙන් කථාකරන ජනතාවගේ නිදහස වෙනුවෙන් හඬනඟන මාධ්‍ය ආයතන හා මාධ්‍ය කරුවන් ඇත්තේ ඉතාම ඉතා සුළුතරයක් පමණි. අප වැනි රක්ෂාව වෙනුවෙන් නොව දේශපාලනය වෙනුවෙන් මාධ්‍යකරුවන් බවට පත් වී ඇති අයගේ අරමුණ වී ඇත්තේ රාජපක්ෂ හෙජමනිය බිද දමා තවත් එවැනි හෙජමනියක් ගොඩ නැගීමට දායකවීම හෝ පෙනී සිටීම නොවේ.
    මාධ්‍ය නිදහස යනු රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ගොඩ නැගීමට අවශ්‍ය ඉතාම වැදගත් අංගයක් ලෙස  පිළිගැනේ. නමුත් අතීතයට සාපේක්ෂව අද වන විට ශී‍්‍ර ලංකාවේ අති විශාල ලෙස  මාධ්‍ය ව්‍යාප්තවී ඇතත් හොරකම, වංචාව,  දූෂණය විෂමාචාරය හා පාලකයන්ගේ අධිකාරී බව දිගින් දිගටම වැඩිවී ඇත. මෙයින් පැහැදිලිවන ප‍්‍රධාන කරුණක් වන්නේ රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කොතරම් පුළුල් වීමක් සිදු වුවත් මෙම මාධ්‍ය පොදු මහජනයා දැනුවත් කරන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සැබෑ ප‍්‍රජා මාධ්‍යයන් ලෙස කි‍්‍රයාත්මක වී නැති බවක් නොවේ ද? අද මාධ්‍ය ආයතන බහුතර ප‍්‍රමාණයක් සිය අදහස් සහ මතයන් බවට සමාජගත කරන්නේ මාධ්‍ය අයිතිකරුවන්ගේ හා පාලකයන්ගේ මත හා අදහස් බව මෙයින් ගම්‍ය නොවන්නේ ද? 
අද අවශ්‍ය වන්නේ ජනතාවගේ ප‍්‍රශ්න කථාකර ජනතාවගේ හඬ මතු කරන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින සැබෑ මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමට දායක වීම ය. මෙහිදී සැබෑ මාධ්‍ය නිදහසක්, සැබෑ මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමට නම් ඒ සඳහා සටන් වදින ගමන් ම රැවටිලිකාර මාධ්‍යකරුවන් හා රැවටිලිකාර මාධ්‍ය ආයතන ජනතාව හමුවේ නිරුවත් කිරීම ද අත්‍යවශ්‍යම ය.  


1 comment:

  1. සත්‍ය කරුණු අඩංගූ සාර්ථක ළිපියක් කළකින් කියවීමී. අද 99% ඇත්තෙ ජනමාධ්‍යවේදීන් නොව ජඩමාධ්‍යවේදීන්ය. වික්ටර් අයිවන්ට වී ඇතිදේ උවිඳු සමඟ යන විවාදයෙන් පැහැදිලි වන අතර. එය පළ කිරීම ගැන රාවයට උදක්ම ස්තූතිවන්ත විය යුතුය. ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති ස්වයංවාරණයකට ලක්කොට ඇති බැවින් ඒ ගැන සඳහනක් කළ නොහැකි මුත්, එහි යන ප්‍රසංගික වැඩසටහන් හා විවේචයන්ගෙන් සංස්කෘතියට වන හානිය, වැඩිහිටියන්ට පමනයි චිත්‍රපට වාරණය කරන සංස්කෘතික ඇමතිවරුන්ට හා එහි නිළ්ධාරීනට නොපෙනීම කනගාටුවට කරුණකි.

    ReplyDelete