මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, August 18, 2011

උදය ගම්මමන්පිල ගේ ගැලවීමේ මාර්ගය

 ”ඩෙංගු වැඩිවීමට හේතුව සෞඛ්‍ය ඇමතිවරයා නොව ගෝලීය උණුසුම වැඩිවීමයි.”
  
      බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල    - දිවයින- 2011. 08. 10

දේශපාලනය යනු පුද්ගලික කටයුත්තක් නොවේ. ආවෘතව කවුරු වෙනුවෙන් පෙනී සිටිය ද විවෘතව නම් සියළු දේශපාලකයන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙනි. ඒ අර්ථයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයක් නොසලකා දේශපාලකයන් තමන් කරන කියන සියළු දේ සම්බන්ධයෙන් ජනතාව වෙත වගවීමට බැඳී සිටී යනු අපේ වැටහීමයිි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂ දේශපාලකයන් මත එම වගකීම වැඩියෙන් රැුඳී ඇත. ජනතාව අවුරුදු පහකට හයකට තම පරමාධිපත්‍යය ඔවුන් වෙත පවරා දී ඇති නිසාත් මහත් තරගයක් දී ඔවුන් එය ලබාගෙන ඇති නිසාත් ආණුඩු පක්ෂ මැති ඇමතිවරු ජනතාව වෙත වගවීමට අනිවාර්යයෙන්ම බැඳී සිටිති.
ඉතිං උදය ගම්මන්පිල පළාත් ඇමති කියන විදියට ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමට එමගින් සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවීමට සෞඛ්‍ය ඇමතිවරයා වගකිව යුත්තෙක් වන්නේ නැත. වගකිව යුතු වන්නේ ගෝලීය උණුසුම වැඩිවීම ය. නීතිඥයෙකු වූ ඔහු අපරාධ නඩුවක විත්තිය වෙනුවෙන් පෙනී සිට මෙසේ තර්ක කරන්නට යන්නේ නම් ඒවා පිළිගන්නවා ඇත්තේ කැකිල්ලේ රජුුගේ උසාවියකදී පමණකි. උදය ගම්මන්පිල ද දේශපාලනයේදී පාලක ශ්‍රේණියට ම අයත් වූවෙක් වන නිසා ඔහුගේ ප‍්‍රකාශයෙන් තම ඇමති සගයෙක් මෙන් ම තමන්ව ද එල්ලවන හා එල්ලවිය හැකි චෝදනා සම්බන්ධ වගකීම් වලින් මුදා හරිනු ලැබෙයි. එපමණක් නොව කිසියම්  දවසක විරුද්ධ පක්ෂය බලයට පත්වුවහොත් එම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ද ජනතාවට ඒ අනුව වග වීමෙන් නිදහස් කෙරෙයි.

අනෙක් අතට ගෝලීය උණුසුම වැඩිවීමේ හේතුවෙන් ඩෙංගු වැඩිවීමටත් වඩා මුළු ජීවී ලෝකයටම දැඩි ලෙස  බලපාන තවත් ප‍්‍රශ්න පැන නැගෙමින් පවතී. මුහුදු මට්ටම ඉහළ නගී. ඒ හේතුවෙන් ගොඩබිම් ප‍්‍රමාණය අඩුවෙයි. මාලදිවයින මුළු මනින්ම නැතිවී යා හැකි බවට අනාවැකි පලවෙයි. ඇතිවිය හැකි දේශගුණික විපර්යාස හේතුවෙන් අකල් මහ වැසි කුණාටු සුළි සුලං නිය`ගයන් ඇතිවිය හැකි ය. රාජ්‍ය බලය යොදා ඒවා නැවැත්විය නොහැකි වුව ද වර්තමාන   තාක්ෂිණික දියුණුව අනුව එවැනි තත්ත්වයන් කල් ඇතිව හඳුනාගත හැකි ය. ඒ අනුව ජනතාවට හා පරිසරයට සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහාත් පසුව කෙරෙන පුනරුත්තාපන කටයුතු සඳහාත් නිසි උපාය මාර්ගයන් සැකසීම ආණ්ඩුවක පැහැර හැරිය නොහැකි වගකීමක් බවට පත් වෙයි.  මහා නිය`ගයක් නිසාවෙන් කෘෂිකර්මාන්තය සහමුළින් බිඳ වැටී මහ ජනයා අහාර අහේනියකට මුහුණපා ලෙඩ රෝගවලට හා මරණයට ගොදුරු වන්නේ නම් එම සාගතය හේතුවෙන් හොරකම් මංකොල්ලකෑම් කැරලිගැසීම් ඇතිවන්නේ නම් ගම්මන්පිලගේ න්‍යායට අනුව එක ද ඇමතිවරයෙකුවත් ආණ්ඩුවවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නොවේ. මක්නිසා ද මහා නිය`ගය ඇති වූයේ ගෝලීය උණුසුම ඉහළ යාම හේතු කොට ගෙන වන නිසාය.!

ගෝලීය උණුසුම වැඩිවීම යන සාධකයම ගත්තත් ඊට ද  වගකිව යුත්තේ ගම්මන්පිලලා නියෝජනය කරන සමාජ පැළැන්තියම බව ඉතිහාසය පෙන්වා දෙයි. මිනිසා පරිසරය සැලකුවේ තම ජීවිතයේම කොටසක් ලෙස ය. ඔහු එය වෙනස් කළා මිස විනාශ කළේ නැත. එහෙත් පරිසර විනාශය නිශ්චිතවම සනිටුහන් කරන්නේ 18 වෙනි සියවසින් ඇරඹි කාර්මික විප්ලවය සමගින් ය. (
http://en.wikipedia.org/wiki/Global_warming ) එනම් ලාභ අපේක්ෂාවම අරමුණු කරගත් ධනවාදී ආර්ථික ක‍්‍රමය ඇරඹීමත් සමගින් ය.  එතැන් සිට ගෙවී ගිය වසර තුන් සියයකට අධික කාලය තුල ගෝලීය උණුසුම සීඝ‍්‍ර ලෙස  වැඩිවී ඇති බව අද සොයාගෙන  ඇත. ගෝලීය උණුසුම වැඩිවීම නම් ක‍්‍රියාවලියේ හේතු ඵල සම්බන්ධතාවයන් ඔස්සේ එහි ඇතුලාන්තයට යන්නෙකුට කැලෑ හෙළිකරමින් සිටින පොසීල ඉන්ධනවලින් ක‍්‍රියාත්මක ධනවාදී යාන්ත‍්‍රික මිනිසා හමුවෙනවා ඇත. ඔහු පිටකරන හරිතාගාර වායුව නිසාවෙන් ගෝලීය උණුසුම වැඩිවෙන අයුරු ද පෙනෙනවා ඇත. මිනිසා සහ ක‍්‍රමය එකක් නොව දෙකකිි. මිනිසා සහ ධනවාදී (මිනිසා * ක‍්‍රමය පිළිබඳ හොඳම උදාහරණයක්  අපට ඇමරිකාවෙන් සොයාගත හැක. ක‍්‍රමයේ නියෝජිතයෙකු ලෙස ඇමරිකානූ ජනාධිපති ප‍්‍රෑන්ක්ලීන් 1854 දී ස්වදේශීය රතු ඉන්දියන් ජාතිකයන් සතු ඉඩම් මිලදී ගැනීමට යෝජනාකරන විට රතු ඉන්දියන් නායක සියැටෙල්  පිලිතුරු දුන්නේ මෙසේය.   

”මේ පොලවේ සෑම කොටසක්ම මගේ මින්සුන්ට පූජනීයයි. දිදුලන පයින් දලූ සැමකක් ම, වැල්ලෙන් පිරි මුහුදු වෙරළ සැමකක් ම, ගුමු හ`ඩ නගන ප‍්‍රසන්න කෘමීන් සැමෙකෙක් ම මගේ මිනිසුන්ගේ අත්දැකීම් හා මතකය තුල පූජනීයයි. ගස් අතරින් පෙරා හැලෙන සාරය රතු මිනිසාගේ මතකයන් රැුගෙන යයි.”

වෙළෙන්දෙකුට මිනිසා දුන් පිළිතුර එබඳු ය. ගෝලීය උණුසුම අවම කිරිම සඳහා සැකසූ කියතෝ ගිවිසුමට රටවල් 192 ක් අත්සන් කළ ද ඇමරිකාව තවමත් අත්සන් කිරිමෙන් වැලකී සිටී. ඒ රතු ඉන්දියානුවාට එරෙහි ප‍්‍රෑන්ක්ලීන්ලාගේ ප‍්‍රතිපත්තියෙහි දිගටම ඇලී සිටින නිසාය. ඇමරිකාවේ විදුලි බල උත්පාදනය සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ  හරිතාගාර වායුව නිකුත්කරන පොසීල ඉන්ධන  -( පෙට‍්‍රල් ඞීසල් ගල් අ`ගුරු * ය. ගිවිසුම් ප‍්‍රකාරව ක‍්‍රියාකරන්නේ නම් එම භාවිතය ක‍්‍රමානුකූලව වෙනස්කර ගැනීමට ඇමරිකාවට සිදුවෙයි. එහෙත් එය ඇමරිකාවේ  ආර්ථිකයට තදින්ම බලපාන කරුණක් නිසා ගිවසුම පැත්තකට  දමා යකා බැඳගත්වනම සිටින්නට ඇමරිකාවට සිදුවී ඇත. මිනිසා නොව ක‍්‍රමය නොනිිමි අර්බූදයක ගිලී ඇත.  මේ නිසා අපි නැවතත් කියන්නේ මිනිසා හා ක‍්‍රමය එකිනෙකට පරස්පර කරුණු දෙකක් බවය .ඒවා එකිනෙක පටලවා නොගත යුතය.  ගෝලීය උණුසුම වැඩිවන්නේ  සියැටෙල් වැනි පොදු  මිනිසුන්ගේ  ක‍්‍ර‍්‍රියාකාරකම් නිසා නොව ප‍්‍රෑන්ක්ලීන්ලා වැනි මිනිස් පැළැන්තියේ ක‍්‍රියාකාරකම් නිසාවෙනි.  මානව ක‍්‍රියාකාරකම් නිසා නොව ක‍්‍රමයේ ක‍්‍රියාකාරකම් නිසාවෙනි. හොරාම හොරෙක් හොරෙක් කියා කෑගසන්නේ නම් සැබෑ හොරා හඳුනා ගැනීම දුෂ්කර වෙයි. සියල්ල පැටලෙයි.

ගෝලීය උණුසුම ඉහල යාම ගැන හ`ඩ නගන උදය ගම්මන්පිලගේ දේශපාලන භාවිතය නම් ගෝලීය උණුසුම ඉහල දමන  භාවිතයක් ම ය.

    සෝමාවතී රක්ෂිත වනය                     - අක්. 11600
    ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යනය        - අක්. 3000
    මින්නේරිය රක්ෂිත වනය                     - අක්. 1500
    මැණික් ග`ග රක්ෂිත වනය                    - අක්. 1500
    ඩෙරගල වේලි ඔය ජලපෝෂක බිම           - අක්. 625
                                               ලංකා පුවත්පත
                                                   2011. ජුලි 24

මේ ඔවුන්ගේ ආණ්ඩුව විසින් විකුණාදමා දැනට එළිපෙහෙලි කළ හෝ එසේ කරමින් පවතින රක්ෂිත වනයන් ය. මීට අමතරව ලෝක උරුමයක් වූ සිංහ රාජ වන අඩවියේ තැනින් තැන ඉඳිකෙරෙමින් පවතින හෝටල් ගැන පුවත් නිති පතා අසන්නට ලැබෙයි. පරිසර ඇමතිවරයෙකු වී ත් ඔහු මේ සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරය 0 ය. ඒ අනුව ගෝලීය උණුසුම ඉහල යැවීමට එමගින් ඩෙංගු වැඩිවීමට සෞඛ්‍ය ඇමති සමගින් ඔහු ද වගකිව යුතු නොවන්නේ යයි කිව හැක්කේ කෙසේ ද, කෙලෙස ද ?

වැඩිවෙන ගෝලීය උණුසුමට දෙස් දෙවොල් නොදී සමාජීය හා විද්‍යාත්මක උපාය  මාර්ගයන් මත පිහිටා කියුබාව සාර්ථක ලෙස ඩෙංගු පාලනය කරමින් සිටින  බව අද ලෝකයම පිළිගනී. මේ මහත්වරු ද ඒ ගැන නොදන්නවා නොවේ. එහෙත් ඔවුන් BTI බැක්ටීරියාවෙන් එහාට ඇති දේ ගැන කථාකිරීම හිතාමතාම මගහරිති.

කියුබානු උපාය මාර්ගයේ  ප‍්‍රධාන අංශ දෙකකි.
  
        1.  මානව හැකියාව ගොඩ නැගීමේ අඛණ්ඩ ක‍්‍රියාවලිය.
    2. මූලික පර්යේෂණ සංවර්ධනය කිරීම. 
                    (
ඩෙංගු වෛරස් වාහක මදුරුවා -Aedes Aegypti- විනාශ කරන BTI බැක්ටීරියාව සොයා ගැනීමට ඔවුන් සමත්වූයේ ඉහත සඳහන් දෙවෙන උපාය මාර්ගය  අනුව කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙනි. එම සොයා ගැනීම ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි වූයේ ඉහත පළමුවන උපාය මාර්ගය එනම් ජන සහභාගිත්ව අඛණ්ඩ ව්‍යාපාරයක් මත පදනම් වූ නිසාවෙනි.  ඒ අනුව එම උපාය මාර්ග අංශ දෙක එකිනෙකට හොඳින් බද්ධ කරගැනීමෙහිලා අවශ්‍ය තත්වයන්   හා උවමනාව  තිබීම ඩෙංගු පාලනය කිරීමට පමණක් නොව යහපත්  මහජන සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට ද පොදුවේ සමාජ ප‍්‍රගතියක් අත්කරගැනිමටද  අදාල වෙයි. එම හැකියාව හා උවමනාව කියුබාව සතුව තිබුණි. එය තිබුණේ කියුබාවේ දේශපාලනය තුළ ය.
  
”සුළු සම්පත් ප‍්‍රමාණයක් සහිත කුඩා රටකට ගෝලීය සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දෙන්න හැකි වූයේ කෙසේ ද යන්නට කියුබාව උදාහරණයකිි . මේ ක‍්‍රියාවලියේදී දේශපාලන අධිෂ්ඨානය හා සියළු ශක්‍යතාවයන්ගේ ඒකාබද්ධතාවය මූලික වෙයි.”

                                                         (  http://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(09)61975-9)
ඉහත ප‍්‍රකාශයේ සුළු සම්පත් සහිත කුඩා රටක් යන්න ලංකාවට අදාළ කරගත හැකි නමුත් මුලිකම දේ වූ දේශපාලන අධිෂ්ඨානය අපේ අධිපති දේශපාලනය තුළ කලඳක් තරමවත් සොයා ගත නොහැකි වීම ය. ඒ නිසාම සියළු ශක්‍යතාවයන් ඒකාබද්ධ කිරීම ඔවුන්ට හිතා ගන්නට පවා බැරි ය. එවකට හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඔලොක්කුවට හිනාවෙමින්  ඒ  වැඩපිළිවෙල කියුබාවේ කළාට මෙහෙ කරන්න බෑ යි  මාධ්‍යයට කියද්දී ඉන් එළියට පැන්නේ මේ යථාර්ථය යි.

ලංකාවේ අධිපතිවාදී දේශපාලන ව්‍යුහය අනුව පාලකයන්ට කුමන කටයුත්තක් සඳහාවත්     නියම තේරුමෙන් යුත් ජන සහභාගිත්ව ව්‍යාපාරයක් කැඳවිය නොහැකි ය. ඒ ලංකාවේ ජනයාගේ පොදු ස්වභාවික  දුර්වලතාවයක් නිසා නොව ලංකාවේ රාජ්‍යය හා ජනතාව අතර අධි දුරස්ථබවක් නිර්මාණය කර ඇති නිසා ය. ඒ හැර ජනතාව ද බොහෝවිට  පාලකයන්ගේම   කෝවක  හැඩගැසී ඇති නිසා ය. මේ විෂයයේදී කියුබාවේ තත්ත්වය කෙබඳු ද?.
කියුබානු ජනතාව වැඩ බිම, ගොවිපල, පාසැල, විශ්ව විද්‍යාලය, හමුදාව වැනි එක් හෝ වෙනත් ආයතනයක් තුළ සංවිධානය වී සිටිති. ඔවුන් අතරින් තෝරා පත් කෙරෙන නියෝජිතයන්ගෙන් (මංත‍්‍රීවරු)  මහජන බලයේ සභාව (Assembly Of Peoples Power) (පාර්ලිමේන්තුව) සකස්වෙයි. වැදගත්ම කරුණ නම් එම මංතී‍්‍රවරුන්ට පෙරදි  ඔවුන් සේවය කළ ආයතනයෙන් ගෙවූ වැටුප හැර වෙනත් ප‍්‍රතිලාභ හෝ වරප‍්‍රසාද නොතිබීම ය. ඔවුන් මෙහෙයවෙන එකම අධිෂ්ඨානය වන්නේ ජනතා සේවය යි. මේ හා අදාල ලංකාවේ තත්ත්වය විස්තර කිරීම අවශ්‍ය නොවේ. මේ අනුව කියුබානු දේශපාලනය සකස්වී ඇත්තේ (1) ජනතාවට සේවය කිරීම නම් ආකල්පයෙන් හැඩ ගැසුන ජනතා නියෝජිතයන් හරහා (2) සමාජය සමග එකට ජාලගත වීමෙනි.

ජන්ම එදිරිවාදියකු වූ යෝධ ඇමරිකාව ගඳ සුවඳ දැනෙන තරම් දුරකින් සිටියදීත් කියුබාව නොනැසී පවතින්නේ මේ ප‍්‍රබල සාධකය නිසාවෙනි.

2009 අගොස්තු මස කියුබානු කීට විද්‍යාඥයන් දෙදෙනෙක් පැමිණ ඊඔෂ බැක්ටීරියා වැඩසටහන ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව  අධ්‍යයනය කර ඇත. එහෙත් ප‍්‍රතිඵල අප‍්‍රකාශිත ය. එම බැක්ටීරියාව ලංකාවට දැනටමත් ගෙන්වා ඇතැයි ද හඳුනාගත් ස්ථානවලට ඒවා මුදාහරිනවා යයි ද වරෙක ප‍්‍රකාශ කරන සෞඛ්‍ය බලධාරීන් එහෙම ගෙන්වා නැතැයි  මේ  මෑතක දී ප‍්‍රකාශ කරනවා අපට අසන්නට ලැබුනි. කොහේ හෝ ඩෙංගු රෝගියකු මියගිය හොත් ඒ අවට කාණු පද්ධතිය ප‍්‍රා. සභා හෝ නගර සභා කම්කරුවන් යොදවා ඇවිස්සීමත් බැනර් දැමීමත් ඉඳහිට හෝ මහජනයා ම ස්වේච්ඡුාවෙන් අවට පරිසරය පිරිසිදු කරද්දී මංත‍්‍රීවරු හා නිළධාරීන් ඒ මැදට පැන රූපවාහිණී සංදර්ශන පැවැත්වීමත් ලංකාවේ ඩෙංගු පාලනය කිරීම සඳහා ‘මානව හැකියාව ගොඩ නැංවීමේ අඛණ්ඩ ක‍්‍රියාවලිය’’ වී ඇත.

BTI බැක්ටීරියව ටොන් ගනණක් ගෙන්නුවද  ඔය කොහේ හෝ තැන් තැන්වලට ඒවා  අතහරිනවා හැර සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට ලංකාවේ වත්මන්  දේශපාලන ව්‍යුහය අසමත් ය. සැබෑ ලෙසම ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට නම් අවංක දේශපාලන නායකත්වයක් සහිත අඛණ්ඩ මහජන සහභාගිත්ව ව්‍යාපාරයක් තිබිය යුතු ය. මේ වැදගත්ම සාධකය ගැන හිතා ගැනීමටවත් නොහැකි  ගම්මන්පිලලා ගෝලීය උණුසුමේ එල්ලීමට තැත් කිරීම   පුදුමයක් නොවේ .   





        

No comments:

Post a Comment