මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, August 6, 2011

කව්ද මේවට වගකියන්නේ ?

         


රාවය පුවත් පතේ පිටුවක් බද්දට ගෙන පලකරන ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ලියා තිබූ ලිපියක මාතෘකාව එලෙසින්ම අපේ මේ සටහනට ද යොදාගැනීම වඩාත් සුදුසුය යි අපි අදහස් කරමු .


කුමාර් සංගක්කාර විසින් එංගලන්තයේ දී පැවැත්වූ කොලින් කවුඞ්රි දේශනය අද  බොහෝ  බුද්ධිමතුන් විසින් මහත් අගය කිරීමකට ලක් කරනු ලබයි. එහිදී අපේ ක‍්‍රිකට් පරිපාලනය තුළ අරක්ගෙන ඇති දේශපාලනය හා දූෂණය ගැන අවධාරණය කරන අතරම සංගක්කාර, ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩාව මහත් සේ ඉහළට ඔසවා තබයි. ඒ තමයි ඔහුගේ කථාවේ ඇති විශේෂත්වය. අගය කිරීමට ලක්වූයේ එම යථාර්තය යි. මේ නිසාම  ක‍්‍රීඩා ඇමතිවරයාට හා ක‍්‍රිකට් පරිපාලනයට සිදුවුනේ සංගක්කාරට එරෙහිව අමෝරා ගත් පොලූ මුගුරු පස්ස පැත්තේ හංගාගෙන පසු බහින්නයි. ඉදිරියේ දී සංගක්කාරට කුමක් සිදුවේ දැයි අපි නොදනිමු. ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ද වෙළෙඳ පොළ භාණ්ඩයක් වීම අද යථාර්තය තුළ නොවැලැක්විය හැක්කකි. එසේ වුව ද වඩාත්  ආකර්ෂණීය රිද්මයක් සහිත ක‍්‍රීඩාවක් වූ  ක‍්‍රිකට් ක‍්‍රීඩාව යම් දුරකට හෝ එලෙසින්ම පවත්වාගෙන යාමට සංගක්කාර දක්වන උනන්දුව  අපි අගයන අතරම මේ සමාජ යථාර්තය සම්බන්ධයෙන් අපේ විවේචනයන් සනාථ කරන්නාවූ සාක්ෂිකරුවකු වූ ඔහුව අපි ආරක්ෂා කළ යුතු වෙමු.


සුදර්ශන ගුණවර්ධන ම කියන විදියට ආණ්ඩු හිතවාදීන් හැරුණු කොට දි අයිලන්ඞ් පත‍්‍රයේ කර්තෘගේ සිට කුමාර් ඩේවිඩ් දක්වා මුළු ලංකාවම සංගාගේ පැත්තේ ය. මෙසේ කියන අතරම  ඔහුට සංගක්කාරව පෙනෙන්නේ කැරොල්   කරත්තයක් ලෙස ය. තමා විසින් විවේචනය කරනු ලබන යථාර්තයෙන් තමා ඉවත්කොට කථා කරන්නෙක් ලෙස ය, සංගක්කාර  ක‍්‍රිකට් ක‍්‍රීඩාව මුහුණ පා ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයට තමන්ගේ දායකත්වය ගැන  ස්වයංවිවේචනයක් නොමැතිව කථාකරන්නෙකි. ඔහු නියමිත වචනය නොයොදා මේ කියන්නේ සංගක්කාර ගේ කථාව වංචනික බව ය. ඔහු මේ පිළිබඳ උදාහරණයක් වශයෙන් හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා ගෙන හැර පායි. අද ආණ්ඩුවේ නීතිය හා යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කරන්නකු වූ සරත් එන් ද සිල්වා එහිදී එදා එම ක‍්‍රියාවලිය තුළ තමන්ගේ දායකත්වය කෙබඳු වී ද යන්න ගැන කතා නොකරයි. එය සත්‍යයකි. එහෙත් ගලක් ගැසීමට පව් නොකළ අයෙක්ම සොයා ඇවිදීමට තරම් අද දේශපාලන අවකාශය ඉඩ නොදෙයි. කෙසේ නමුත්  සංගක්කාර හා සරත් එන් ද සිල්වා එක ගොඩට දැමිය නොහැකි ය. මක්නිසා ද අප දන්නා තරමින් සංගක්කාර සෙල්ලම් කළේ ක‍්‍රීඩා පිටිය තුළ මිස සූදු පිටිිය තුළ නොවන බැවිනි.


ඇත්ත වශයෙන්ම සුදර්ශන ගුණවර්ධනට උවමනා වුනේ සංගක්කාර ක‍්‍රිකට් යථාර්තය තුළ තම වගකීම වසන් කරමින් එය විවේචනය කරනනේය යන්න විමසීම නොව ජනප‍්‍රිය සංගක්කාර  හරහා ජන අප‍්‍රසාදයට පත්වෙමින් සිටින රනිල් වික‍්‍රමසිංහ පව් නොකළ එකම තැනත්තා ලෙස අභිෂේක කරවීමට බව පෙනෙන්නට තිබේ.


රනිල් වික‍්‍රමසිංහ පසුගිය ජුලි 10 වෙනි දින පැවති සුගතදාස අණුස්මරණ උළෙලේදී රජය කරන වැරදි හේතුවෙන් ජනතාවම පීඩාවට පත්වෙන නිසා  දෙමළ ජාතික සංධානය සමග සාකච්ඡා කර පැමිණෙන එක`ගතාවයකට තමන් සහයෝගය දෙන බව ප‍්‍රකාශ කර ඇත. මෙහිදී රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන පෙනීසිටිමින්  කියා සිටින්නේ තමා වගකිවයුතු නොවන ක‍්‍රියාවලියකට තමා ද වගකිව යුතු යැයි කියා වගකීම භාර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වී ඇති බව ය. සුදර්ශන ගුණවර්ධනට මාතෘකාවට සංගක්කාර ඇද ගන්නට උවමනා වූනේ මේ නිසා ය. ක‍්‍රියාවලිය තුළ තමන්ගේ ඇති වගකීම නොපිළිගෙන එය විවේචනය කරන කුහක සංගක්කාරලා මෙන් නොව දෙමළ ජාතික ප‍්‍රශ්නයේ වර්තමාන වර්ධනීය තත්ත්වය සම්බන්ධයෙන් කෙස්ගහක තරමවත් වග නොකිය යුතු  රනිල් වික‍්‍රමසිහ විවේචනය කර කර ඉන්නේ නැතිව නිහතමානීව ප‍්‍රශ්නය විසඳීමට රජයට සහයෝගය දීමට ඉදිරිපත්වී සිටී.  අද දේශපාලන යථාර්තය පිළිබඳ වගකීමෙන්   රනිල් වික‍්‍රමසිංහ නිදොස් කොට නිදහස් කිරීමට නීතිඥ සුදර්ශන ගුණවර්ධන  දරන ප‍්‍රයත්නය නිෂ්ඵල වන්නේ  ඔහුගේ වචනවලට වඩා සබෑ කරුණු ප‍්‍රබලව පවතින නිසා ය.


රනිල් වික‍්‍රමසිංහ සමාජය විසින් අවධානයට ගැනෙන්නේ තවත් එක් පුද්ගලයෙක් ලෙස සලකා නොව ලංකාවේ පැරණිතම පක්ෂයන්ගෙන් එකක් වූ එජාපයේ වත්මන් නායකයා ලෙස ය. එජාප ආණ්ඩු ගොඩනැගීමට මහත් ධනයක් වැය කළ ලේක් හවුස් ආයතනයේ හිමිකරු වූ ඞී.ආර්. විජේවර්ධන මව් පාර්ශවයෙන් රනිල් වික‍්‍රමසිංහගේ සීයා වූ අතර ජේ ආර් ජයවර්ධන මාමා විය. ඒ අනුව  දේශපාලනිකව පමණක් නොව ඥාතිත්වය අනුව ද ඔහු එජාපය හා වගකීමට බැඳෙයි. එජාපයේ අතීත ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔහුගේ වගකීම නොතකා හැරිය ද  77 මහ මැතිවරණයෙන් බියගම ආසනයේ එජාප මන්තතීවරයා ලෙස තේරී පත්වී ජේ. ආර්. ජයවර්ධන රජයේ යෞවන කටයුතු  හා ?කීරක්ෂා ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු එම ආණ්ඩුුවේ  සමස්ත ක‍්‍රියාවලිය සම්බන්ධයෙන්  වගකීමට බැඳීසිටීම නම් නොතකා හැරිය නොහැක්කකි.


77 දී බලයට පත් එජාප ආණ්ඩුව හා හා පුරා කියා වැඩ අරඹන්නේ පොලීසිය නිහ`ඩව තබමින් දියත් කළ ප‍්‍රචණ්ඩ ව්‍යාපාරය, විශේෂයෙන් දෙමළ ජනතායට එරෙහිව දියත් කළ ප‍්‍රචණ්ඩ ව්‍යාපාරය සමගිනි.  රනිල් වික‍්‍රමසිංහ තම කුළුඳුල් රාජ්‍යතාන්ත‍්‍රික ජීවිතය අරඹන්නේ දෙමළ ජනතාවට එරෙහි ලේ වැකි ව්‍යාපාරයට එම ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස වග කිවයුත්තෙකු ලෙසින් ය. බලයට පත්වන එජාප ආණ්ඩුව දෙමළ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා වට මේස සාකච්ඡ්වක් කැඳවන බවට මැතිවරණයට පෙර පොරොන්දු වුව ද 6 න් 5ක අති විශාල බලයක් ලැබීමෙන් පසු ජේ. ආර් ජයවර්ධන කීවේ කුමක් ද?


‘යාපනයෙ මිනිස්සුන්ගේ අදහස් ගැන දැන් මම කරදර වෙන්නේ නැහැ. දැන් අපට ඔවුන් ගැන ඔවුන්ගේ ජීවිත ගැන ඔවුන් අපි ගැන දරණ අදහස් ගැන හිත හිතා ඉන්න බැහැ. උඹලා උතුරේ එල්ල කරන බලපෑම් වැඩිවන තරමට මෙහෙ සිංහල මිනිස්සු වැඩියෙන් සතුටු වෙනවා ඇත.’


පසුව සිදුවන සිදුවීම්වලින් පෙන්නුම් කළේ ජේ ආර් ගේ මෙවැනි සිංහල මහ ජාතිවාදී ප‍්‍රකාශයන් දෙමළ දේශපාලනඥයන් වෙත එල්ල කළ හුදු උද්දච්ච වාග් ප‍්‍රහාරයන්ම පමණක් නොවන බව ය. ජේ. ආර්. වට මේස සාකච්ඡ් පැත්තකට දමා  දෙමළ තරුණ ව්‍යාපාරය සමූලඝාතනය කර දමන ලෙස බි‍්‍රගේඩියර් වීරතුංග වෙත නියෝග කරන අන්දමත් ඔහු එය ක‍්‍රියාත්මක කරන්නට නොපැකිල උත්සාහ දැරූ අන්දමත් අපි දැක ඇත්තෙමු. ඒ වන විට රනිල් වික‍්‍රමසිංහ ජේ.ආර්. ගේ ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස එම යථාර්තය තුළ තහවුරු වෙමින් සිටියේ ය.


අද මහත් ව්‍යාසනයක් බවට පත්ව ඇති විධායක ජනාධිපති ධූරය සහිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමේදී ජේ.ආර්.ගේ නව ලිබරල් ආර්ථික හා දේශපාලන දෘෂ්ටිය සමග  පෙර සඳහන් ඔහුගේ ජාතිවාදී ආකල්පයන්  ද වෙලී පැවති බව නිසැක ය. නව ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ජාතික අභිලාෂයන් හකුලාගන්නට ඔවුන්ට බලකරන්නක්ම විය. අද වනවිට මහින්ද රාජපක්ෂ රජය  දෙමළ ජනතාව මත වහල්භාවය පටවමින් ද අමතරව  මුළු ලංකාවම අත්තනෝමතික පාලනයකට නතුකරමින් ද සිටින්නේ රනිල් වික‍්‍රමසිංහයන් ද විසින් එක හෙලා අනුමත කරනු ලැබූ කි‍්‍රයාත්මක කරන්නට දායක වූ එම ව්‍යවස්ථාවේ පිහිටෙනි. ඉතිං මේ යථාර්තයට වග වීමෙන් රනිල්ව මුදවා ලන්නට සුදර්ශන ගුණවර්ධනට කිසිදාක හැකිවන්නේ නැත.


⋆ 83 ජුනි 4 දිස්ත‍්‍රික් සංවර්ධන සභා ඡුන්දය දින යාපනය   පූස්තකාලය ගිනිතැබීම
⋆82 දෙසැ 12 ජනමත විචාරණය හරහා මහ මැතිවරණයක් එහෙම පිටින්ම කොල්ලකෑම
⋆83 ජුලි 23 දකුණේ දෙමළ ජන සංහාරය


අද යථාර්තය ගොඩනැගීමට ඉවහල් වූ  මේ වගේ සිදුවීම් ඇතුළත් දිග ලැයිස්තුවක් ඇතත් ඉන් 83 ජුලි සිදුවීම් ප‍්‍රබලතම සිදුවීම් බව කාගේත් පිළිගැනීම ය. ජුලි සිදුවීම්වල වගකීම  වාමාංශික පක්ෂ මත පැටවීමට රජය උත්සාහ ගත්තත් ඒ පිළිබඳ ජූරි සභිකයන්ගේ ජාත්‍යන්තර කොමිෂමේ බි‍්‍රතාන්‍ය අංශයේ සභාපති ‏ ‏Paul Seighhart  විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වෙන්නේ මෙසේ ය.


‘පැහැදිලිවම මෙය සිංහල ජනයා අතර වූ වාර්ගික බද්ධ වෛරය නිසාවෙන් පැන නැගි ස්වයංසිද්ධ නැගිටීමක් නොවේ. එය කල් ඇතිව හොඳින් පිළියෙල කළ සැලැස්මකට අනුව දියත් කරනු ලැබූ හා හිතා මතා කරනු ලැබූ ක‍්‍රියා දාමයකි. ’


ඒ හොඳින් පිළියෙල කළ සැලැස්මකට අනුව ජූලි සිදුවීම් දියත් කරනු ලැබුවේ අන් කවරෙකු විසින් වත් නොව රජයේම ඇමතිවරු සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින්ම ය. එය වසා ගැනීමට ජේ.ආර්. ගත් අමනෝඥ තීරණය නිසාවෙන් ජවිපෙ ප‍්‍රමුඛව තවත් වාමාංශික පක්ෂ දෙකක් එනම් නව සමසමාජ පක්ෂය හා ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තහනමට ලක්විය. ඉන් පසු ඒකාකාර ප‍්‍රතිචාරයන් දෙකක් දෙමළ හා සිංහල තරුණයන් වෙතින් එල්ටීටීඊ හා ජවිපෙ හරහා ප‍්‍රකාශ විණි. අද යථාර්තය ඉදිරියට ඇදෙන්නේ එම ඉතිහාසය මතින් ය.  ඒ අනුව එවකට රජය මත හා එම රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මත  ඒ පිළිබඳ පැවරෙන වගකීම නොතකා සිටිය හැක්කේ කෙසේ ද?.   


ඊළ`ගට 1983 අගෝ. 4 දින ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් 6 වන ව්‍යවස්ථා සංශෝධනය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමටත් වඩා වැඩි දෙයති. එමගින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම එවැන්නකට ආධාර අනුබලදීම නීති විරෝධී කෙරෙන අතර ඒ මත පිහිටා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නැවත දිවුරුම් දීමට නීතියෙන් බල කෙරුණි. මෙය තනිකරම දෙමළ ජාතික පක්ෂ මංත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීම ඉලක්ක කරගනිමින් ඒ වෙනුවෙන්ම සැකසුන සංශෝධනයක් බවට විවාදයක් නැත. මෙවැන්නක් සිදුවූයේ රනිල් වික‍්‍රමසිංහ ද ඇමතිවරයකු වූ ආණ්ඩුවක් යටතේ ය.


එජාපය 2001 මහ මැතිවරණයෙන් ආණ්ඩු බලය දිනාගනිමින් රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරට පත්කර ගනී. එහිදී එල්ටීටීඊය සමග සටන් විරාම ගිවිසුමකට එළඹෙමින් දෙමළ ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයා ගැනීමට ඔහු දැරූ  ප‍්‍රයත්නය අගය කළ යුතු ය. ඒ අතරම එල්ටීටීය බර පතල සිද්ධීන් ද ඇතුළත් 3830 වතාවක් ගිවිසුම උල්ලංඝනය කරද්දී ඔහු අනුගමනය කළ දුර්වල උපායික ප‍්‍රවේශය හා දැක්වූ උදාසීනත්වය හේතුවෙන් සිංහල පටු ජාතිකවාදී බලවේගයන්ට  අ`ඩු බ`ඩු ගසා දමමින් ඉදිරියට ඒමට අවස්ථාව උදාවුණි. එජාප ආණ්ඩුව නෙරපා දැමීමට හේතු කාරණා සොයමින් සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලය එළඹිවිටම ක‍්‍රියාත්මක වූවා ය. අද ඉතිහාසයේ නොතිබූ ආකාරයේ ජාතිකවාදී අත්තනෝමතික දූෂිත පාලනයක් ගොඩ නගා ගැනීමට  රාජපක්ෂවරුන්ට හැකිවන්නේ මෙවන් පසුබිමක් යටතේ ය.


ජාතික ප‍්‍රශ්නය අද පත්ව ඇති  ශෝචනීය  තත්ත්වයට වගකීමෙන් රනිල් වික‍්‍රමසිංහ නිදොස් කිරීමට ඔහුගේ අතීත දේශපාලන භාවිතය කිසිදු ඉඩක් තබා නැතිවාක් වගේම ඔහුගේ අද භාවිතය ද අතීතයට නොදෙවෙනි වෙයි. එජාපය ප‍්‍රධාන විරුද්ධ පක්ෂය ලෙසත් එහි නායක රනිල් වික‍්‍රමසිංහ විරුද්ධ පක්ෂ නායකයා ලෙසත් සලකා බලද්දී ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය තුළ දෙමළ ජාතික ප‍්‍රශ්නයට හිමිවී ඇති ස්ථානය කුමක් ද? එම ස්ථානය කුමක් වුවත් අද ඔවුන් න්‍යාය පත‍්‍රයක්වත් නැති තත්වයට පත්වී ඇත. දෙමළ ජනතාව සමග එක පෙළට සිට ගනිමින් ඔවුන්ට ශක්තියක් විය යුතුව තිබියදී රනිල් කියන්නේ කුමක් ද?  ‘දෙමළ ජාතික සන්ධානය සමග පැමිණෙන එක`ගතාවයකට සහයෝගය දෙනවා’ එපමණ  යි. මේ කරන්නේ  දෙමළ ජාතික ප‍්‍රශ්නය හුදකලා  කිරීමකි.  මක්නිසා ද සෑම ප‍්‍රශ්නයකදීම කරන්නාක් මෙන් මෙහිදී ද  ප‍්‍රධාන විරුද්ධ පක්ෂය මෙසේ ප‍්‍රශ්නයෙන් ඈත්ව සිටීම හා ඒ වග දැනටමත් ප‍්‍රකාශකර තිබීම රාජපක්ෂවරුන්ට සතුටට කරුණක්ම වන අතර නැවතත් තමන්ටම තමන් ගැන බලා ගන්නට සිදුවී ඇති වග දෙමළ ජනතාවට ඒත්තු ගන්වමින් ඔවුන්ව හුදකලා කෙරෙන නිසා ය. අපට පෙනෙන  අද යථාර්තය තුළ නම්  රනිල් වික‍්‍රමසිංහ වග කිවයුතු නොවන තැනක් සොයා ගත නොහැකි වා පමණක් නොව පැහැදිලිවම දැනුදු ඔහු එම යථාර්තයෙන්  ලිස්සා යමින් සිටී.  හරි නම් වග කිවවුතු පක්ෂයක නායකයා වශයෙන් ඒ හැර විපක්ෂ නාහකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ කළයුතු වන්නේ දෙමළ ජාතික ප‍්‍රශ්ණය විසඳීමේ සමත් පුළුල් යෝජනාවලියක් සකස්කර රටට ඉදිරිපත් කිරීමය.ඒ වටා ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමට ක‍්‍රියා කීරීමය.එවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වෙට්ටු දමමින් ඉන්න මහින්ද රාජපක්ෂ රජයට තවත් සෙල්ලම් කළ නොහැකි වනවා ඇත. අනෙක් අතට එවැනි ක‍්‍රියාවලියකින් දෙමළ ජාතික  අරගල ව්‍යාපාරයට නව ශක්තියක් හා පලල් දැක්මක් ද ලැබෙනවා ඇත. එසේ නැතිව රටේ බහුතරයකට පිළිගත හැකි විසඳුමකට එජාපය සහයෝගය දෙනවාය  කියන කථාවල කිසිදු තේරුමක් නැත. මක්නිසාද බහුතරයක් එක`ග නම් එජාපය කුමකටද ? දුවන කෝච්චියේ එල්ලෙන්න බලා නොඉඳ  එජාපය  අවංක ක‍්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළ යුතුය.  අද රනිල් වික‍්‍රමසිංහ නිවැරදි දෙයක් කරන්නේ නම් අතීතයෙන් දමා ගසමින් එය අවලංගු කර දැමිය යුතු යයි අපි නොකියමු. සංගක්කාර සම්බන්ධයෙන් එම ප‍්‍රතිපත්තිය ඊටත් වඩා අදාළ විය යුතු යයි අපි කියමු.


අවසාන වශයෙන් කිවයුත්තේ සුදර්ශන ගුණවර්ධන දක්වන ඇල්ප‍්‍රඞ් හිච්කොක් ගේ සයිකෝ චිත‍්‍රපට උදාහරණය නියම වශයෙන් ගැලපෙන්නේ මෝටර් රථය සම්පූර්ණයෙන්ම දියේ ගිලී අතුරුදහන් වන තෙක් බලා සැනසුම් සුසුමක් හෙලීමට බලා සිටින රනිල් වික‍්‍රමසිංහ  සම්බන්ධයෙන් ය.       














             

No comments:

Post a Comment