මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, October 23, 2013

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද?

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද?
‘මාක්ස්වාදී චින්තනයට එංගල්ස් ආනයනය කළ රළු නියතභාවය  දේශපාලන තලයේ දී මූර්තිමත් වූයේ  සමාජවාදයේ ජයග‍්‍රහණය පථයක ගමන් ගන්නා ග‍්‍රහයන් විසින් උදාකරන්නාක් වැනි තිර නිශ්චිතකරණයවීමක් ලෙසය.’ ( මාක්ස්වාදය -  ඓතිහාසික හා විවේචනාත්මක අධ්‍යායනයක් - ජෝජ් ලිච්හෙයිම් (1912-1973 ජර්මන් ජාතික චින්තකයෙක් )
ජෝජ් ලිච්හෙයිම්   එංගල්ස් විසින් මාක්ස්වාදය දැඩි ලෙස විකෘතිකරන ලදැයි චෝදනාකරන එක් අයෙක් පමණි. බටහිර දාර්ශනිකයන්, චින්තකයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් එසේ එංගල්ස්ට චෝදනා කරති. චෝදනා සහ ඒවා සනාථ කිරීමට ඔවුන් ඉදිරිපත් කරන තර්ක විමසිය යුතු අතරම එසේ කිරීමට ඔවුන් පොළඹවන ලද පසුබිම කුමක් ද, අනතුරුව ඔවුන් මාක්ස්වාදය ස්ථානගත කිරීමට ප‍්‍රයත්න දරන්නේ කොතැනක ද, ඔවුන්ගේ විකල්ප මතවාදයන් සහ ඒවා සමාජයේ පූර්ණ වෙනසකට ප‍්‍රායෝගික විසඳුම් සපයන්නේ ද වැනි කරුණු සම්බන්ධයෙන් ද එසේම අවධානය යොමුකළ යුතු බව අපි කල්පනා කරමු. 
 ‘මාක්ස්වාදය’ට මාක්ස් යන විශේෂණ පදය යොදා ඇති නමුත්  ඉන් මූර්තිමත් කෙරන්නේ මාක්ස් ම පමණක් නොව මාක්ස් සහ එංගල්ස් යන දෙදෙනාම ය. එංගල්ස්ගේ මිතුරන් අතර මෙන් ම සතුරන් අතර ද එංගල්ස් සම්බන්ධ පිළිගැනීම වූයේ ඔහු මාක්ස්ගේම තරමක් වෙනස් වු ආත්මයක් ලෙස ය. එංගල්ස්ට මාක්ස් සමග තිබූ පෞද්ගලික කිට්ටු සම්බන්ධය මෙන් ම දෙදෙනාගේ දේශපාලන මතිමතාන්තර අතර වූ දැඩි සමානත්වය එවැනි පිළිගැනීමකට හේතු වී ඇත.  එංගල්ස් අවුරුදු 40 ක් පමණ මාක්ස් හා එක්ව ‘මාක්ස්වාදය’ පෝෂණය කර ඇති අතර මාක්ස්ගේ අභාවයෙන් (1883) අනතුරුව  ඔහු මියෙන තෙක් ම (1895) එම කාර්යය අඛණ්ඩව ඉදිරියට කරගෙන ගොස් ඇත. 


එඞ්වඞ් බර්න්ස්ටයින් මාක්ස් එංගල්ස් සමග කිට්ටු ඇසුරක් පැවැත්වුව ද මාක්ස්වාදයේ මූලික හරය - අපෝහක අන්තර්ගතය සහ ඓතිහාසික භෞතිකවාදය ප‍්‍රතික්ෂේප කළ ප‍්‍රතිසංස්කරණවාදී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් විය. මාක්ස්වාදය හා ඔහු අතර පැහැදිලි ඉරක් ඔහු විසින් ම ඇඳගෙන තිබීම නිසා ඔහු හඳුනා ගැනීම අපහසු නොවීය. කාල් කෞට්ස්කි චරිතය ඊට වෙනස් ය. දැඩි මාක්ස්වාදිකෙු වූ කෞට්ස්කි  එංගල්ස් සමග ඉතා කිට්ටුවෙන් ඉඳිමින් දෙවන ජාත්‍යන්තරය තුළ බකුනින්වාදයට, බර්න්ස්ටීන්වාදයට එරෙහිව දැඩි ලෙස සටන් කළ අයෙකි. එංගල්ස්ගේ මරණයෙන් (1895 *පසු මාක්ස්වාදී ව්‍යාපාරයේ ප‍්‍රධාන න්‍යායාචර්යවරයා වූයේ කෞට්ස්කි  ය. එළඹෙමින් පැවති ධනවාදයේ සංවර්ධන අවධිය - අධිරාජ්‍යවාදී අවධිය -  තේරුම් ගැනීමෙහි අපොහොසත් වීමෙන් ඔහු අවස්ථාවාදය කරා ඇද වැටෙන අතර පසුව ඊට ගැලපෙන විදියට මාක්ස්වාදය අර්ථගන්වමින් එය විකෘති කළේය. කෙසේ වුවත්  ඔවුන් දෙදෙනාම දෙවන ජාත්‍යන්තරයේ ඉදිරිපෙළ නායකයන් වූයෙන් ඒ කෙරෙහි ඇති කරන ලද බලපෑම සැලකිල්ලට ගත යුතු ය.  මෙහිදී පැහැදිලිව පෙනෙන කරුණක් නම් බර්න්ස්ටයින් විසින් මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කිරීමේදී හෝ කාල් කෞට්ස්කි විසින් මාක්ස්වාදය විකෘති කිරීමේ දී හෝ එංගල්ස් දඩමීමා කර නොගැනීම ය. ජාත්‍යන්තර කම්කරු සංගමය, පළමුවන දෙවන ජාත්‍යන්තරයන්, පැරිස් කොමියුනය ආදි ප‍්‍රායෝගික ව්‍යාපාරයන් හා  පංති අරගලයන් තුළ රටින් රට පිටුවහලට ලක්වෙමින්,  මාක්ස් සහ එංගල්ස් සිය මතවාදය පරීක්ෂාවට ලක්කරන ලද්දේ  වුව ද, පශ්චාත් ලෙනින් යුගයේ මහාචාර්යවරුන් ඇකඩමික් (ඊනියා ශාස්ත‍්‍රාලීය) පර්යේෂණාගාර තුළ මාක්ස්වාදය විච්ඡේදනය කරමින්  එංගල්ස් විසින් මාක්ස්වාදය තුළ කරන ලද ‘විකෘතිකිරීම්’ සොයා ගැනීමෙහි යුහුසුළු වී ඇත.  මේ සියල්ලට අවධානය යොමු කළ යුතු වෙයි.  ලෙනින්, එංගල්ස්ගේ ඊනියා ‘විකෘතිකිරීම්’වලට ලක්වූ මාක්ස්වාදය මත පිහිටා අධිරාජ්‍යවාදයේ ආර්ථික හා දේශපාලන කොන්දේසි පැහැදිලි කරමින් හා ඊට අනුකූල උපාය මාර්ගයන් හඳුන්වා දෙමින් රුසියාවේ විප්ලවීය ව්‍යාපාරය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට සමත්වූයේ කෙසේද යන්න ගැන ද ඒ සමගම අවධානය යොමු කළ යුතුය.  
ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුලය
1923 දී ජර්මනියේ ප‍්‍රැන්ක්පර්ට් විශ්ව විද්‍යාලයට අනුබද්ධව මාක්ස්වාදී බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් පිහිටුවාගත් සමාජ පර්යේෂණ ආයතනය මේ නමින් හඳුන්වයි. මාක්ස්වාදී විවිධ ප‍්‍රවනතා ඒකරාශි කිරීමත්  කම්කරු පංති ව්‍යාපාරය පිළිබඳ සමාජ හා ඓතිහාසික පර්යේෂණ පැවැත්වීමත්  එහි මූලික අරමුණ විය. දෙවන ජාත්‍යන්තරයේ පිරිහීම, 1920 ගණන්වල යුරෝපයේ (ජර්මනිය, හංගේරියාව) විප්ලවයන්ගේ පරාජයන් , සෝවියට් දේශය තුළ ලෙනින්ගෙන් පසු බලයට පත්වන ස්ටාලින් යටතේ සිදුවන යම් යම් දේශපාලන අපගමනයන්,  ලෝ්ක සමාජවාදී ව්‍යාපාරය විවිධ ප‍්‍රවනතාවලට බිඳියාම,   අධිරාජ්‍යවාදය නව උපායික ප‍්‍රවේශයක් ගැනීම ආදිය මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ  ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුලය බිහිවීමට හේතුවී ඇති බව පෙනේ. 
 ජෝජ් ලූකාස්, ප්‍රෙඞ්රික් පොලොක් , කාල්  ඕගස්ට්, කාල් කොෂ්ච් යන අයගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ ආයතනයට පසුව සමාජවිද්‍යාව, මනෝ විශ්ලේෂණය, සාහිත්‍යය, දේශපාලන ආර්ථික විද්‍යාව, හෙගේලියානු දර්ශනය ආදී ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රවීනයෝ ද සම්බන්ධවූහ. සමහරෙකු දේශපාලන ක‍්‍රියාකාරීන් වූ අතර සමහරෙකු ආයතනයේ මූලික අරමුණෙන් බොහෝ දුරස්ථ වූවන් ය.
ඔවුන් එකිනෙකාගේ මතවාදයන් අතර වෙනස්කම් පැවතියත් දෙවන ජාත්‍යන්තරයේ පිරිහීම සම්බන්ධයෙන් සමාන මතයක් දරා ඇති බව පෙනේ. ඔවුන්ට අනුව බර්නස්ටයින්, කාල් කෞට්ස්කි, ප්ලෙකනොව් පමණක් නොව  එංගල්ස් ද මාක්ස්වාදය විකෘතිකිරීමට දායක වී ඇත ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුලය පමණක් නොව ඔවුන් අනුව යමින්  එංගල්ස්ගේ මාක්ස්වාදයේ  විකෘති කිරීම් සොයා  ඇවිදින තවත් බොහෝ චින්තකයෝ  සිටිති. මෙම ලිපියෙහි ඉදිරියට ඔවුන්ගේ ප‍්‍රධාන තර්කයන් වැඩිදුරටත් විමසීමට අපේක්ෂා කරන අතර ඊට පෙර තවදුරටත් ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුලයේ  දෘෂ්ටිවාදය සැකෙවින් හෝ විමසිය යුතුව ඇත.
ඔවුන් තම තර්කය ගොඩනගන්නේ මෙසේය. සම්භාව්‍ය මාක්ස්වාදය හෙගේලියානු අපෝහක තර්කනය මත පිහිටියකි. දේවල් ඒවායේ අන්තර් සම්බන්ධාවයන් ගේ සංකීර්ණයකි. ඒ අනුව දේවල්  ඒකත්වයක ගෙන සැලකීම එහි (අපෝහක තර්කනයෙහි) ප‍්‍රධාන ලක්ෂණයකි. එසේ වුවත් එංගල්ස් (‘ඩූරිං විරෝධය’ සහ ‘ ස්වභාවයේ අපෝහකය’ කෘති  තුළින්) අපෝහක තර්කනය චලිතයේ පොදු නියාමයන් අධ්‍යායනය කරන ස්වභාවික විද්‍යාවක තත්ත්වයට පහත හෙළා ඇත. එමගින් ‘නියාම පාලිත’ ලෝකයක් ඇ`ගවෙන අතර එයින්  ධනවාදයේ අභ්‍යන්තරික ‘නියාමයන් ’ අනුව සමාජවාදය නොවැළැක්විය හැක්කක්ය යන  නියතිවාදය ගොඩ නැගෙයි. එයින්  සවිඥානක මිනිස් ක‍්‍රියාකාරිත්වය අක‍්‍රීය සාධකයක් බවට පසුපසට තල්ලූකෙරෙමින්,  ආර්ථික ප‍්‍රවර්ථකයන්  ප‍්‍රාථමිකකොට සලකන ආර්ථික නියතිවාදයක් පෙරට එයි. මෙම ආභාෂය නිසාවෙනි  දෙවන ජාත්‍යන්තරය  ප‍්‍රතිසංස්කරණවාදය කරා ගමන් කළේ. කෙසේවුවත් මාක්ස් සහ එංගල්ස් දෙදෙනාගේ මතවාදයන් දැඩි ලෙස ආරක්ෂා කළ හා අනුගමනය කළ ලෙනින් වෙතින්  විවේචනයට හසුකරගත හැකි කිසිවක් ඔවුන්ට හමු නොවන බව පෙනෙන්නට ඇත. මුල් අවධියේ දී  ඔවුන් ( ජෝර්ජි ලූකාස් සහ කාල් කෝෂ්ච්) බොල්ෂෙවික් විප්ලවයෙන් මහත් ආස්වාදයක් ලබමින්  ලෙනින්වාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගත පක්ෂයක් හා සෝවියට් සභා වෙනුවෙන්  ද පෙනී සිට ඇත. ජෝජ් ලූකාස් 1919 හංගේරියානු විප්ලවයෙන් බලයට පත්ව කෙටි කාලයක් පැවති හංගේරියානු සෝවියට් සමූහ ආණ්ඩුවේ අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ කොමිසාර්වරයා ද  විය. කාල් කෝස්ච්   ඔහුගේ ‘මාක්ස්වාදය සහ දර්ශනය ’ (1923) තුළින්   දෙවන ජාත්‍යන්තරයේ බර්න්ස්ටීන් , කෞට්ස්කි වැන්නන්ගේ අවස්ථාවාදය දැඩි ලෙස හෙලාදකිමින් මාක්ස්වාදය ‘න්‍යාය හා ව්‍යවහාරයේ විප්ලවීය සමස්ථය’  ලෙස පෙන්වා දෙයි.  ස්ටාලින්ගේ පාලනය සම්බන්ධයෙන් ද ඔහු දැඩි විවේචකයෙක් විය.  කෙසේවුවත්   ඔහු මුලදී ඉදිරිපත් කළ ‘න්‍යාය හා ව්‍යවහාරයේ සමස්තය’ වෙතින් ඔහුම බැහැරවෙමින් පවතින සමාජය සම්බන්ධයෙන් විවේචකයෙක් බවටත් , සමහර වාර්තා අනුව අවසාන කාලයේ මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කරන තත්ත්වය කරාත් ගමන් කර ඇත. ඔහු ල`ගින් ඇසුරු කළ බර්ටෝල් බ්‍රෙස්ට් ඔහු ගැන මෙසේ කියයි . ‘ කොෂ්ච් නිර්ධන පංතියේ නිවසෙහි අමුත්තෙක් පමණි.  ඕනෑම වෙලාවක පිටවෙන්න බලාගෙන ඔහුගේ අඩුම කුඩුම සූදානම්ව තිබිණි. ’   
යුරෝ කොමියුනිස්ට්වාදය නැතිනම් බටහිර කොමියුනිස්ට්වාදය   ප‍්‍රභවය ලබන්නේ මෙකී මතවාදයේ පදනම මත යි.
තත්කාලීන සමාජයේ සංකීර්ණ  බල සම්බන්ධතාවයන් තේරුම් ගැනීම පිණිස ඒ ඒ සමාජ කණ්ඩායම්වල ආර්ථික උවමනාවන්  හා ඒවා අතර අනොන්‍ය සම්බන්ධතා  ගැඹුරින්  අධ්‍යායනය කිරීම, ඉතිහාසය පිළිබඳ පර්යේෂණාත්මක හැදැරීම, සාහිත්‍ය හා කලාව සම්බන්ධයෙන් නව මූලධර්මයන් හඳුන්වාදීම වැනි ඔවුන් කරන ලද ශාස්ත‍්‍රීය කටයුතුවලට වැදගත් තැනක් හිමිවෙයි.  1930 ගණන්වල නැගී එමින් තිබූ හිට්ලර්ගේ පැසිස්ට්වාදය වෙත උගත් මිනිසුන් මෙතරම් ඇදීයාමට පෙළඹවූත් ඒ වගේම පරිභෝජනවාදී සමාජය සමග මෙතරම්  ඇලී සිටින්නට  මිනිසුන් පොළඹවන්නාවූත්  මූලයන් සොයා බැලීමේ දී ඔවුන් මාක්ස්වාදය පමණක් නොව  මාක්ස්වාදය සමග ෆ්‍රොයිඞ්වාදී මනෝවිද්‍යාව,  ආචාරදර්ම විද්‍යාව ,    සමාජ විද්‍යාව,  මානව ශාස්ත‍්‍රය  (භාෂාව , සාහිත්‍යය , දර්ශනය , ආගම , කලාව, සහ සංගීතය වැනි විෂය ධාරාවන්) ආදීයේ  ඒකාබද්ධ විධික‍්‍රම අනුගමනය කර ඇත. ධනවාදී සමාජය තුළ මිනිස් චර්යා රටාවන් හසුරුවන , පාලනය කරන සම්බන්ධතාවයන් හඳුනාගෙන ඒවා විනිවිද යන තියුණු  විවේචනාත්මක විශ්ලේෂණයන්  ඉදිරිපත් කිරීමෙහි ඔවුන් සමත්වී ඇත.
ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුලයේ දෘෂ්ටිවාදය විවේචනාත්මක න්‍යාය (
Critical theory  ) සහ සංස්කෘතික මාක්ස්වාදය ( Cultural Marxism   ) ලෙස ප‍්‍රධාන ධාරවන් දෙකක් ඇතත් ඒවා අතර ගැඹුරු වෙනසක් පෙන්නුම් කරන්නේ නැත. ධනවාදය, ජාතිකවාදය, න්‍යෂ්ටීය පවුල, වාර්ගිකත්වය, ආගම සහ වෙනත් සංස්කෘතික ලක්ෂණයන්  පුද්ගල කෑදරකම සමග දැඩි ලෙස බැඳී ඇත. ආර්ථික සාධකයන්ට අමතරව මෙම සම්ප‍්‍රදායික සංස්කෘතිය විසින් සමාජ පීඩනය සුජාත කරනු ලබන  අතර ම පෙරළා  පාලන බල අධිකාරිය ද නඩත්තුකරනු ලබයි . මේ නිසා සම්ප‍්‍රදායික සංස්කෘතිය සමාජ පීඩනයේ කේන්ද්‍රීය කරුණක් ලෙස සලකා ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිය සහ ඒ තුළ  වූ  අධිපතිවාදී පෞරුෂත්වයන්ගේ සැබෑ ස්වරූපය හෙළිදරව්කිරීම මගින් එය නිරාවරණය කරමින්  ඊට පහරදීය යුතු ය. ඓන්ද්‍රීය බුද්ධිමතුන් සහ ප‍්‍රති හෙජමනිය ගොඩනැගීම යන ග‍්‍රාම්සියානු සංකල්පයන්ගේ ආභාෂය මීට  ලැබී  ඇතැයි සමහරෙක් අදහස් කරති. 
ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුල දෘෂ්ටිවාදය ප‍්‍රධාන වශයෙන් පදනම් වන්නේ ‘ව්‍යාජ විඥානය’(
false consciousness), පරාරෝපණය (Alienation ), වැනි මාක්ස්වාදී සංකල්පයන් මත ය. පෙර සඳහන් කළ පරිදි ඔවුන්ගේ විශ්ලේෂණයන්හි දී එම සංකල්පයන් මෙන් ම  අනෙකුත් විවිධ විෂය ධාරාවන්ගේ මූලික සංකල්පයන් ද යොදා ගෙන ඇති බව පෙනෙන්නට ඇත.
ව්‍යාජ විඥානය-
false consciousness
ධනවාදය තුළ පුද්ගලයාගේ සිතුම් පැතුම්, අභිලාශයන්, චර්යාවන් සියල්ලෙහි (දෘෂ්ටියෙහි) න්‍යෂ්ටිය වී ඇත්තේ මුදල නම් සාධකය යි. මුදල් යනු වෙළඳ භාණ්ඩයන්ගේ විශ්වීය ස්වරූපය යි. භාණ්ඩ නිෂ්පාදනය, බෙදාහැරීම සහ ඒ සමග සම්බන්ධ අනෙකුත් සෑම සේවා කටයුත්තක්ම ප‍්‍රධාන වශයෙන්  ධනපති පංතිය සතුව ඔවුන්ගේ පාලනය, කළමණාකරනය යටතේ සිදු කෙරෙයි. ඉන් අදහස් වන්නේ පුද්ගලයා, පුද්ගල සමූහයා, නැතිනම් සමාජය හිතන පතන විධීය, හැසිරෙන විධිය (දෘෂ්ටිවාදය)  හැසිරවීමෙහි ලා විශාල බලයක්  ධනපති පංතිය සතු කරගෙන තිබේ ය යන්න ය.  සමාජීය සත්වයන් වශයෙන් මිනිසුන් ඔවුනොවුන් එකිනෙකා මත රඳාපැවතීම (අනොන්‍ය පරායත්තභාවය
Mutulal  Defendence )හේතුවෙන් ගොඩනැගුන මිනිසා හා මිනිසා අතර වූ  මානවීය සම්බන්ධතාවය ගිලිහී ගොස් මිනිසා හා භාණ්ඩ  (මුදල්)  ලෙස හුදු භෞතිකමය සම්බන්ධතාවයකට පරිවර්තනය වෙයි. මිනිසා මිනිස් බවෙන් ඈත් කරන ලද පරාරෝපිත (Alienated) ‘මිනිසෙක්’ බවට පත්වෙයි. ප‍්‍රාග්ධනය කෘතියෙහි මාක්ස් වෙළඳ භාණ්ඩ වන්දනාවාදය (Theory of Commodity Fetishism ) පිළිබඳ න්‍යාය මගින් විග‍්‍රහ කරන්නේ  මෙම තත්ත්වය යි. අනෙකා කවුරුන් වුවත් ඔහු පෙරළා දමා  තමන් වෙත හැකි උපරිමයෙන් මුදල් රැස්කර ගැනීම  ( උපරිමයෙන් භාණ්ඩ හා සේවා ලබාගැනීම) කරා, ආත්මාර්ථය කරා  පුද්ගලයා තියුණු ලෙස පොළඹවනු ලැබීම වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය මූලික කොටගත්  ධනවාදයේ  ස්වභාව ගුණයකි. නෛසර්ගික ලක්ෂණයකි. නීතිය, පාර්ලිමේන්තුව, ජාතික ආරක්ෂාව, ජාතික සංවර්ධනය වැනි සියලූ  ආයතන හා ක‍්‍රියාවලීන් නිෂ්පාදනය හා හුවමාරුවේ ධනවාදී ආකාරය පවත්වා ගැනීම, වර්ධනය කිරීම මූලික අරමුණ කොටගෙන ඇතිවා වුවත්  ‘මහජන’, ‘ජාතික’ විශේෂණයන් මගින් ඒවා ස්වභාවික හා  ඓතිහාසික සමාජීය ආයතන හා ක‍්‍රියාවලීන් ලෙස ඒත්තු ගැන්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් සමාජය වෙත ව්‍යාජ විඥානය ආරෝපණය කෙරෙයි.  එම තත්ත්වය යටතේ පුද්ගලයා සමාජීය ප‍්‍රපංචයන්  අතර වූ සත්‍ය සම්බන්ධතාවයන් පමණක් නොව තමන්ම ද අවබෝධකර නොගනියි. 
ශ‍්‍රමයේ ඵලය අහිමිකරනු ලැබීම ආරම්භවීමත් සමග, එනම්  පෞද්ගලික දේපල ක‍්‍රමය බිහිවීමත්  සමග පරාරෝපණයට පත් වූ මිනිසා  ධනවාදය තුළ  පරාරෝපණයේ ඉහළම තලයක් කරා ඇද දමා ඇති බව සැබෑ ය. එබඳු පරාරෝපිත මිනිසා ආපසු  මිනිසත් බවට නැවත ඔසවා තැබිය හැක්කේ ඔහුට මානුෂික ලෙස  ක‍්‍රියාකාරීවීමට හැකි වටපිටාවක් ගොඩ නැගීමෙනි. ඒ තුළ පවා ඔහුට එය ලබාගත හැක්කේ හුදකලාව  නොව අන්‍යොන්‍යය සහයෝගය මත ය. ධනවාදය අහෝසිකිරීමෙන් මිස ධනවාදය තුළ පරාරෝපණය ඉවත්වීමක් ගැන හෝ අනොන්‍ය පරිපූර්ණත්වය (
Mutual Completion) පිහිටුවීමක් ගැන සිතීම අපූර්ව සිහිනයක් ම පමණි. එපමණක් නොව කිසියම් රටක හෝ රටවල් කීපයක සමාජවාදී විප්ලවය ජයග‍්‍රහණය කළ පමණින්මත්  එය ඉටු නොවේ. එසේ විය හැක්කේ මුළු ලොවේම  භෞතික හා බුද්ධිමය නිෂ්පාදනය අත්කර ගන්නා සංවර්ධනය අනුව  විවිධ ප‍්‍රාදේශීය හා ජාතික සීමා තහංචිවලින් පුද්ගලයා විමුක්ත වන ප‍්‍රමාණයට ය. ‘සෑම තනි තනි පුද්ගලයෙකුගේමත් විමුක්තිය සාක්ෂාත්වනු ඇත්තේ ඉතිහාසය ලෝක ඉතිහාසයක් බවට පරිවර්තනය වන ප‍්‍රමාණයට ය.’ ( ජර්මන් දෘෂ්ටිවාදය,  මාක්ස් - එංගල්ස්)
(ආර්ථිකය) පදනම  හා උපරි ව්‍යුහය (දේශපාලන හා සංස්කෘතික) ලෙස මාක්ස්වාදය හඳුන්වන පද්ධතීන් දෙක අතර ඇත්තේ අපෝහක සම්බන්ධයකි. සංස්කෘතික සම්බන්ධතා, ආර්ථික පදනමෙන්, දේශපාලනයෙන්,  එහි සම්බන්ධතාවයන් ගෙන් ස්වාධීන වූ පද්ධතියක් නොවේ. ආර්ථික පදනම ප‍්‍රාථමික යයි මාක්ස්වාදය කියා සිටියත් එය උපරි ව්‍යුහය නම් ඝන පිටකටුවෙන් ආරක්ෂාකරනු ලැබේය යන්න අවධාරණය කරයි. එය බිඳ හෙළීම පෙරට ගතයුත්තකි. නමුත්  විවේචනාත්මක න්‍යාය  හෝ සංස්කෘතික මාක්ස්වාදය  හුවාදක්වන අන්දමට සම්ප‍්‍රදායික අධිපතිවාදී සංස්කෘතිකමය හරයන්  හෙළිදරව් කළ  පමණින්  ම උපරි ව්‍යුහය සමස්තයක් වශයෙන්  බිඳ නොවැටෙයි,  ඉන් ධනවාදී දේශපාලනය දෙදරුම් කනවා වුවත් එය බිඳ නොවැටෙයි .
මාක්ස්වාදීන්,  මාක්ස් -එංගලස්  ‘ජර්මන් දෘෂ්ටිවාදය’ තුළ සංයුක්ත කර දක්වන ‘ න්‍යාය හා ව්‍යවහාරයේ විප්ලවීය සමස්තය’ මත පිහිටීම අත්‍යාවශ්‍ය ය.  නිෂ්පාදනය හා බෙදාහැරීම කොමියුනිස්ට්වාදී ක‍්‍රමයට සංවිධානය කළ යුතු ය, ඒ සඳහා පෞද්ගලික දේපළවල පදනම අහෝ්සි කළ යුතු ය, ඉල්ලූම හා සැපයුම සම්බන්ධතාවයන්ගේ බලය විසිරුවා හැරිය යුතු ය, මේ සඳහා අත්‍යාවශ්‍ය ප‍්‍රාථමික කොන්දේසිය නම් ව්‍යාජ විඥානය පංති විඥානය මගින් ඉවත්කීරීම,  පංතිය සංවිධානය කිරීම හා පංතියේ විප්ලවීය පක්ෂය ගොඩනැගීම ය. ඒ සංකීර්ණ සමස්ත ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් වශයෙන් ‘සමාජයේ පවතින රාජ්‍යය කොමියුනිස්ට් විප්ලවයක් මගින් පලවා හැරීම ය’.  පැවති තත්ත්වයන් යටතේ  මාක්ස් එංගල්ස් නිර්ධන පංතියේ විඥානය ගොඩනැගීම සඳහා න්‍යායාත්මක විශ්ලේෂණයන් වෙනුවෙන් ඔවුන්ගේ හැකියාවන් හා කාලයෙන් වැඩි ප‍්‍රමාණයක් යෙදවූ බව සත්‍යයකි. ඒ අතරම සැබෑ ව්‍යවහාරයෙහි  යෙදී සිටි බව ද ඒ වගේ ම සත්‍යයකි.    
ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුල දෘෂ්ටිවාදය  සහ එහි ප‍්‍රභේදයන් පීඩාවට එරෙහි විවේචනාත්මකව පෙනී සිටීමත් එම විවේචනයන්ගේ ශාස්ත‍්‍රීය තර්කනයත් හේතුවෙන්  උගත්  සමාජ ස්ථරයක ආකර්ෂණය දිනා ගැනීමට  සමත්වී ඇත. ශ‍්‍රම විභජනයේ දෘෂ්ටි කෝණයෙන්  නම් එම  දෘෂ්ටිවාදයන්ගේ  සාධනීය විවේචනාත්මක පාර්ශවය අපි බැහැර නොකරමු. එහෙත් මාක්ස්වාදී දෘෂ්ටි කෝණය අනුව නම් මෙය හරයෙන් හෙගේලියානු විඥානවාදය ලෙස සලකමු . මක්නිසාද එම දෘෂ්ටිවාදයන්  විසින් සංකීර්ණ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යන සමස්තයෙන්  සංස්කෘතිය වෙන්කර නැතිනම් එය ප‍්‍රමුඛ ලෙස සලකා තම උපාය මාර්ගයන් සකස්කර ඇති බව පෙනෙන්නට ඇති නිසා ය. එහි ප‍්‍රමුඛයන්, සහායකයන් පංතිමය දේශපාලනයෙන් බැහැරව, සමාජය තුළ තමන් අත්කරගෙන සිටින ස්ථානයන් එලෙසෙම ආරක්ෂාකරගෙන සිටිමින් තමන්ගේ විශේෂිත විෂය දැනුම මාක්ස්වාදී  හැඩයකින් ප‍්‍රකාශයට පත්කිරීමට දැරූ හා දරන  උත්සාහයන් ඉන් පිළිබිඹුවෙයි.  එක් අතකින්  දෙවන ජාත්‍යන්තරයේ අවස්ථාවාදයට සහ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පළමුවන ලෝක යුද්ධයේ දී ජර්මන්  ආණ්ඩුවට සහාය දැක්වීමේ ජර්මන් සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ අවස්ථාවාදයට එරෙහිවත් ලෙනින්ගෙන් පසු සෝවියට් දේශයේ මතු වූ   ස්ටාලින්වාදී පීලිපැනීම්වලට එරෙහිවත් ප‍්‍රතිචාර දැකිවීමට යාමේදී මාක්ස්වාදී බුද්ධිමතුන් හුදකලාව ගමන්කර ඇති මගෙහි හැඩතල ද අනෙක් අතට හිට්ලර්ගේ පැසිස්ට් මර්දනය විසින් ඔවුන් තව තවත් ඇකඩමිය තුලට ම තල්ලූකර ඇති ප‍්‍රමාණය ද ඉන් ප‍්‍රකාශවෙයි. 
අද අප ඉදිරියේ දිගහැරෙන නව ලිබරල්වාදය හුදෙක් දෘෂ්ටිවාදයක් ම පමණක් නොවේ, නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රියාවලියෙහි දෘෂ්ටිමය ප‍්‍රකාශනය යි. එය එහි ආර්ථික සංදර්භයෙන් වියෝ කර  දෘෂ්ටිවාදයක් ලෙස පමණක් ගෙන සැලකීම ප‍්‍රන්ක්පර්ට් ගුරුකුල ආභාෂය අනුව යාමකි,  එය හෙගල් සමග ඔලූවෙන් හිටගැනීමක් මිස මාක්ස් සමග දෙපයින් සිට ගැනීමක් නොවේ. නව ලිබරල්වාදයෙන් ප‍්‍රකාශිත කේවල පුද්ගල නිදහස පිළිගැනීම හෝ එයට ගරුකිරීම යනු ප‍්‍රාග්ධනයේ නිදහස් ගලායාම පිළිගැනීම  හා එය ඉවසා සිටීම හැර අන් යමක් නොවේ. අද ලෝකය ම මෙම ආර්ථික ක‍්‍රියාවලියට හා එම දෘෂ්ටිවාදයට නතුකරගෙන ගෙන තිබීමෙන් මානූෂීය අභිලාෂයන් අන් කවරදාටත් වඩා මිනිසාගෙන් බැහැරකර ඇත. පරාරෝපණය පිළිබඳ මාක්ස්වාදී සංකල්පය අපට මෙය කදිමට පෙන්වා දෙයි. අද ලාංකීය සමාජය දේශපාලන සංවේදීතාවය නැති හා දේශපාලන ප‍්‍රතිචාරයන් නොදක්වන නිසා ම අක‍්‍රීය සමාජයක් බවට, නිර් දේශපාලනීකරණයවූ සමාජයක් ලෙස හඳුනාගැනීම මුළුමනින්ම වැරදි ය. ඇත්තවශයෙන් ම නම් සිදුව ඇත්තේ එහි විරුද්ධ පැත්ත ය. එනම් සමාජය නව ලිබරල්වාදී දේශපාලනය විසින්  මුළුමනින්ම වාගේ නතුකරගෙන ඇති බව ය.  නිර්ධන පංති  දේශපාලනකරණයට මද හෝ ඉඩක් නොතබා  නව ලිබරල්වාදී  දේශපාලනීකරණය  ජයග‍්‍රහණය කර ඇති බව ය. ‘නව ලිබරල්වාදී ජීවන පැවැත්ම’ හුවා දක්වා ඊට විකල්පව ‘ සමාජවාදී ජීවන විලාශයක් ’ අරෝපණය කිරීම අද දවසේ ප‍්‍රමුඛ කටයුත්ත සේ  යමෙක් අදහස් කරන්නේ නම් ඔහු/ඇය කරන්නේ නව ලිබරල්වාදයේ ආර්ථික හා දෘෂ්ටිමය අපෝහක සම්බන්ධතාවය නොසලකා හැරීම ය. ප‍්‍රැන්ක්පර්ට් ගුරුකුල දෘෂ්ටිය වනදනාමානකිරීමය.   ‘සමජවාදී ජීවන විලාශයක් ’ ගොඩනගන්නාවූ විධික‍්‍රමය කුමක් ද? දෛනික පංති අරගලයේ ව්‍යවහාරය තුළ, එහිම අඛණ්ඩ දිගුවක් වූ රාජ්‍යයට එරෙහි දේශපාලන අරගලයේ ව්‍යවහාරය තුළ  නොවන්නේ නම් එය දිග හැරෙන්නේ කොතැනක ද? නිකායික ස්වරූපයේ හුදකලා සංස්කෘතියක් තුළ ද? අපට අවශ්‍ය හුදෙක්  ලිබරල්වාදය විසින් නිර්මිත මනසට එරෙහිව,  ලිබරල්වාදී ජීවන පැවැත්මට එරෙහිව අරගලයක් නම් ඒ සඳහා  විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් හෝ ව්‍යවහාරයක් අවශ්‍ය නැත.  මක්නිසාද දැනටමත් ඒ ගැන  අඳෝනා දෙන සදාචාරවාදින් හා  ඓතිහාසික ආගමීක  සංස්ථාවන් උවමනාවටත් වඩා ඇති නිසා ය. 18 වෙනි සියවසේ පමණ  ඇමෙරීකවෙහි  පො¥ දේපල, ලිංගික හා සමාජ සමානාත්මතාවය, සමාන අධ්‍යාපනය, අවශ්‍යතාවය අනුව බෙදාහැරිම මත පදනම් වූ සේව්‍ය  -සේවකයන් , පාලක - පාලිතයන්  නැති,  සමාජීකයන් දහස් ගණන් සිටි දහ නවයකට වැඞී  ‘කොමීයුනිස්ට්වාදි කොමීයුන ’ ප‍්‍රමාණයක් ගොඩනගමීන්  ‘නව ජිවන විලාශයක් ’ බිහිකිරිමට සමහර ප්‍රොතෙස්තන්ත නිකායිකයින්  දැරූ අව්‍යාජ උත්සාහයන්  ද ඒවා ක‍්‍රමය තුළ ම දීයවි ගිය බව ද අපි මෙහිදි මතකයට නගා ගත යුතුවෙමු.   ඇත්තවශයෙන් ම අද  මෙවැනි මතවාදයන් පැන නගින්නේ නම් ඒ මාක්ස්වාදය පිළිබඳ නොදැනුම නිසාවෙන් නොව,  ඉදිරියේ දී නිසැක ලෙස ම ස්වකීය භාවිතයෙන් සනාථ කරනු ඇති පරිදි ‘නව ජීවන විලාශයක’ ආවරණය යටතේ ධනේශ්වර ජීවන විලාශයට සංක‍්‍රමණයවීම සඳහා  අවශ්‍ය කෙරෙන න්‍යායික සාධාරණීයකරණයේ අවශ්‍යතාවයෙනි. මේ සඳහා පණ්ඩිතමානී බවක් ද අවශ්‍ය කෙරේ. මේ පණ්ඩිතමානීභාවය ආරූඪ කර ගන්නේ ජෝජී ලූකාස්ලාගේ, කාල්  කොෂ්ච්ලාගේ , තියඩෝර  ඇඩොනෝලාගේ මතවාදයන් , සමහරවීට ඔවුන්ගේ එම මතවාදයන් ඔවුන් වීසින් ම පසුකාලයේ ප‍්‍රතික්ෂේපකර ඇති බවක් නොදැන ඔවුන්ගේ සරණ යෑමෙනි.     
න්‍යාය හා ව්‍යවහාරයේ ඇත්තේ අපෝහක සම්බන්ධයකි. වීප්ලවිය ව්‍යවහාරය ද අපෝහකය. ධනවාදය පෙරළා දැමීමේ ප‍්‍රයත්නය හමුවේ මතුවන සියලූ ආකාරයේ ප‍්‍රතිවාදයන් -සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික ප‍්‍රතිවාදයන් -  බීඳහෙළීම (ඓතිහාසික  තත්ත්වයන්ට සාපේක්ෂව) වීප්ලවිය ව්‍යවහාරයේ අපෝහකයයි. ප‍්‍රන්ක්පර්ට් ගුරුකුලයේ සිට වර්ථමාන ස්ලෝවජ් ෂීෂෙක් දක්වා වූ චින්තකයන් , දාර්ශනිකයන් ධනවාදයට දැඩි  විවේචනයන් ඉදිරපත් කළ හා ඉදිරිපත්කරමින් සිටින බව ෂත්‍යයකි. එහෙත් විප්ලවීය ව්‍යවහාරයට ඒවායින් ලැබී ඇත්තේ කිනම් දායකත්වය ද? එම මතවාදයන් ගුරුකොටගෙන ව්‍යවහාරයේ යෙදුන හෝ යෙදෙන ලෝකයේ කුමන හෝ විප්ලවීය ව්‍යාපාරයක් පැවතුනේද ? පවතින්නේද ? ඇත්තවශයෙන්ම එවැනි දෙයක් පැවතියේ ද නැත, අනාගතයේ පවතින්නේ ද නැත. මක්නිසාද ධනවාදයට එරෙහිව විප්ලවීය දේශපාලනමය හා සංවිධානමය වැඩපිළිවෙලක් සකසාගැනීමෙහි උදව්වියහැකි ගුණයෙන් ඒම මතවාදයන් ස්වභාවයෙන් ම තොර නිසාය, වඳ නිසාය.
මාක්ස්ගේ ෆොයබාක් ගැන තීසිසයන් 11 න් මුල් තීසිසයන් 10 ම වුවත්  පිළිගැනීමෙන් මාක්ස්වාදී බුද්ධිමතෙකු විය හැකි වුවත්  ඔහු මාක්ස්වාදී විප්ලවවාදියකු වීමට නම් එම තීසිසයන්ගේ 11 ස් වැන්න  කරා ප‍්‍රවේශ විය යුතුය. -‘දාර්ශනිකයන් විවිධ ආකාරයෙන් ලෝකය විග‍්‍රහකර ඇතිවා පමණි, ප‍්‍රධාන කරුණ නම් එය වෙනස්කිරීම’ට එනම් ආර්ථීක , දේශපාලන හා සංස්කෘතික සමස්තය වෙනස් කිරීමේ භාවිතයකට ප‍්‍රවේශ විය යුතු ය. 
එංගල්ස් විසින් මාක්ස්වාදය විකෘත්තිකරන ලදැයි  සනාථ කිරීමට ඉදිරිපත් කරන ප‍්‍රධාන තර්කයන් පිළිබඳව ඊළ`ග ලිපියෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වෙමු.
ඒ . ඞී . පී . රත්නායක
පීපල්ස් මාච්
2013. 9. 6 
     

No comments:

Post a Comment