මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Sunday, August 7, 2011

වර්තමාන දේශපාලනය හා අපේ කාර්යභාරය



ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය  පෙර දේශපාලන තත්වයන්ට වඩා විශේෂිත ලක්ෂණ කීපයකින් සංයුක්ත වෙයි.

1. සංස්කෘතික දේශපාලනය

අධිපති බල කණ්ඩායම් එකිනෙකා පරයා ආධිපත්‍යය හෙබවීම සඳහා සමාජයේ ඓතිහාසිකව පවතින සංස්කෘතික විෂමතාවයන්  උපයෝගී කර ගැනීමෙන් සංස්කෘතික දේශපාලනය සකස් වෙයි.

ශ‍්‍රී ලංකාව බහුවිධ සංස්කෘතියකට උරුමකම් කියන දකුණු ආසියාතික රටකි. යටත් විජිතවාදය විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබූ ධනවාදය වර්ධනය වූයේ පසුගාමී වැඩවසම් ආර්ථිකය හා සංස්කෘතිය සමග අතිනත ගෙන සමහරවිට සුළු වශයෙන් ඒවාට බලපෑම් කරමින් ඊටම විශේෂිත ආකාරයකට ය. ඒ එහි යටත්විජිතමය ස්වරූපය නිසා ය. පැවති ආර්ථික හා සංස්කෘතික සබඳතාවන්ගේ පසුගාමී අංග නොවැදගත් අප‍්‍රධාන සාධකයන් බවට පත්කරනවා වෙනුවට එය කළේ ඒවා ලියාපදිංචි කිරීම ය. යටත්විජිතවාදයේ ආභාෂය ලැබූ දේශීය ධනවාදී දේශපාලනඥයන්ට ද ඔවුන්ගේ ස්වාමිවරුන්ට වඩා වැඩි යමක් කිරීමට තරම් දුර දැක්මක් ද හැකියාවක් ද උවමනාවක් ද නොවීය. ඔවුන්ට සමාජ පසුගාමිත්වය බලය ලබා ගැනීම සඳහා කේවල් කිරීමේ මෙවලමක් පමණක්ම විය. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන පැවැත්ම හා සමාජ පසුගාමිත්වය අන්‍යොන්‍යව වෙළී පවති.

නිදහසෙන් පසු කාලපරිච්‍ෙඡ්‏දය විමසා බැලූවිට පැහැදිලි වන්නේ ලාංකීය දේශපාලනය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් අධිපති සමාජ කණ්ඩායම් ඔවුන්ගේම පරිදිය තුළත් දේශීය පරිදිය තුළත් එකිනෙකා පරයමින් ආධිපත්‍ය තහවුරු කරගැනීම සඳහා වර්ගය, ආගම, භාෂාව, කූලය, ප‍්‍රාදේශිකත්වය උපයෝගීකරගෙන ඇති බවය. 1956 දී බණ්ඩාරනායකගේ ජයග‍්‍රහණය පිටුපස එවැනි සංස්කෘතික සාධකයක් සක‍්‍රීය වී තිබිණි. එහෙත් රාජ්‍ය ආධිපත්‍යය තමන් අත කේන්ද්‍රගත කරගැනීම සඳහා හෝ චිරස්ථායී කරගැනීම සඳහා වු දේශපාලන වැඩ සැලැස්මක් ඔහු  සතුව තිබුණ බවක් පෙනෙන්නට නැත. ඇතැම්විට ඒ බලයට පත්ව වසර තුනකදී ඔහුව ඝාතනය කරනු ලැබීම නිසා ඔහුගෙන් එවැන්නක් දිස්වීමට තරම් කාලය ප‍්‍රමාණවත් නොවුන නිසා විය හැකි ය. නොඑසේනම් ඉහළ පවුල් පැළැන්තිය හා සම්භාව්‍ය බි‍්‍රතාන්‍ය අධ්‍යාපනය නිසාවෙන් දේශපාලනය ගෞරවනීය කාර්යයක් ලෙස සැලකීමේ නැඹුරුවක්  නිසා විය හැකි ය.  කෙසේ වුව ද ඔවුන් බලය සඳහා වූ ස්වකීය ව්‍යායාමයේ දී පදනම් වූයේ සංස්කෘතික දේශපාලනයේ පටු භූමිකාව මත ය. වැඩිමනත්ම ඔවුහු සංස්කෘතිය බිල්ලට ගත්හ. එසේම සංස්කෘතිය විසින්  ඔවුන්ව බිල්ලට ගනු ලැබූ අවස්ථාද ඇත.

මෙම සංස්කෘතික දේශපාලනය ලාංකීය දේශපාලනයේ  තීරණාත්මකම සාධකය ලෙස භූමිකාගත වන්නේ උතුර- නැගෙනහිර දෙමළ ජාතික ගැටළුව පාදක කර ගෙන ය. එක් අතකින් උතුර- නැගෙනහිර දෙමළ ජාතික ගැටළුව ප‍්‍රධාන කොටම මෙම සංස්කෘතික දේශපාලනයේ ඵලයකි. අනෙක් අතින් සංස්කෘතික දේශපාලනය විනාශකාරී ලෙස සිංහාසනාරූඪ වන්නේ එම ගැටළුව මෝරා යාමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ගැටළුවේ අනිවාර්ය ඵලයක් ලෙස පැන නැගි යුද්ධයත් අවසානයේ වත්මන් පාලනය එකී යුද්ධය ජය ගැනීමත් මගින් ලංකාවේ මෙම සංස්කෘතික දේශපාලනය කූට ප‍්‍රාප්ත විය. මෙය අද තවමත් ලාංකීය දේශපාලනයේ ප‍්‍රධාන  බලපෑම් සාධකයක් වී තිබීම  එක් විශේෂිත ලක්ෂණයකි.    

2.  විවෘත ආර්ථිකය හා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය

ජේ ආර් ජයවර්ධන ප‍්‍රධාන කොටම තමන් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත  විවෘත ආර්ථික ක‍්‍රමය සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා ගැලපෙන නව ස්ථාවර අනම්‍ය බල කේන්ද්‍රයක් ගොඩ නගාගනු වස් 77 විධායක ජනාධිපතිධූරය සහිත ආණ්ඩුකම‍්‍ර ව්‍යවස්ථාව හඳුන්වා දෙයි. ධනවාදයේ ස්වභාවිකව අන්තර්ගත අගතිගාමිත්වය එය විසින් - විධායක ජනාධිපතිධුරය විසින් සියක් වරකටත් වඩා තීව‍්‍ර කරනු ලැබ ඇත. අද මුළු සාමාජයමත් ඉන් මිරීකී අඳේනා දෙනවා පමණක් නොව එහි ආර්ථිකමය අරමුණ වූ විවෘත ආර්ථික ක‍්‍රමයමත් මගින් දූෂණයට ලක්වී කෙඳිරිගාමින් සිටියි. අමතරව  අද එහි දායකයින් විසින්මත් එය ප‍්‍රතික්ෂේප කරනු ලබමින් සිටියි.

ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ විවෘත ආර්ථික ක‍්‍රමයේ ලේ නහර වූයේ ලූම්පන් පන්නයේ ගජ මිතුරු  ජාවාරම්කරුවන්ය. ඔවුන් සිටියේ  ඔවුන්ගේ අභිලාෂය ඉටු කරගැනීම වඩාත්  පහසු කරන දේශපාලන බලය ආරෝපණය කරගත හැකි ප‍්‍රවේශයන් වෙත ඉව අල්ලමිනි. ඒ එක පැත්තකි. අනෙක් පැත්ත දිගු කලක් බලයේ රැඳී සිටීම සඳහා පාලකයන්ට ද ඡන්ද රැස් කරන  ස්ථාවර යාන්තන‍්‍රයක උවමනාව තිබුණි. එකිනෙකා ඌනපූරණය කරගත්තේ  එතෙක් යම් තරමකට හෝ පැවති වියත් ගෞරවනීය දේශපාලකනය පිසදා හරිමිනි.  පාලකයෝ  ජාවාරම්කරුවන් සඳහා ප‍්‍රදේශීය සභා පළාත් සභා සහ පාර්ලිමේන්තුව විවෘත කර දුන් අතර  ජාවාරම්කරුවෝ  ප‍්‍රතිඋපකාර වශයෙන් ඒ හරහා  පාලකයන්ට චිරාත් කාලයක් යෙහෙන් වැජඹීම සඳහා අවශ්‍ය ඡුන්ද යාන්ත‍්‍රනය සකස්කර දෙති. බල දේශපාලනය හා  ජාවාරම්  කටයුතු  ව්‍යවස්ථාපිත ඒකාබද්ධ ක‍්‍රියාවලියක් බවට පත්විය. කොරේ පිටට මරේ වගේ මුග්ධ සංස්කෘතික දේශපාලනයෙන් පිඩා විඳමින් සිටින සමාජය මත බඩගෝස්තරවාදී ආඥාදායක දේශපාලනය ද කඩා වැදිනි. රබර් ස්පොන්‏‏චියක් වතුර උරාගන්නාක් මෙන් බල දේශපාලනය මේ සියළු කුණු කන්දල්  උරා ගත්තේ අවශ්‍ය විටක මිරිකා මුදා හැරීම සඳහාය.  මේ අනුව බඩගෝස්තරවාදී විවෘත ආර්ථික ක‍්‍රමය හා  ව්‍යස්ථානුකූලව ව්‍යවස්ථාපිතකර ඇති විධායක ජනාධිපති ක‍්‍රමය හෙවත් ව්‍යවස්ථාපිත ආඥාදායකත්වය වර්තමාන දේශපාලනය හසුරුවන තවත් කේන්ද්‍රීය සාධකයක් ලෙස හඳුනා ගත යුතු ය.  

3. දෙමළ ජාතික ප‍්‍රශ්නය හා යුද්ධය

කුමන යුද්ධයක් වුව ද එය අහඹුවක් නොවේ. යුද්ධයක් යනු ආර්ථිකමය හෝ  සංස්කෘතිකමය  පසුබිමක වර්ධනය වූ හේතු සාධකයන් විසින් හැඩගස්වන ලද සමාජ පංතීන් හෝ කණ්ඩායම් අතර වශයෙන් ඇතිවන ගැටුමක උච්ඡුතම අවස්ථාවයි. සිංහල පාලකයන්ගේ නොසැලකිල්ලට භාජනය වූ දෙමළ ජනතාව තුළ මෝරා වැඩෙමින් තිබූ පීඩනය උච්ඡතම අයුරින් ප‍්‍රකාශයට පත්වූ යේ එල්ටීටිඊ සන්නද්ධ ව්‍යාපාරය මගිනි. දෙමළ ජාතික ප‍්‍රශ්නය හා එල්ටීටීඊ සන්නද්ධ අරගලය අතර සහසම්බන්ධය පිළිගැනීමට පාලකයන් කිසිවටෙකත් සූදානම් වූයේ නැත.සරසවි සිසු අරගල, කම්කරු වැඩවර්ජන පාලකයන්ට අනුව කඩාකප්පල්කාරීන්ගේ පෙළඹවීම් අනුව සිදුවන ඒවාය. දෙමළ ජාතික අරගලය ද හුදු බෙදුම්වාදී ත‍්‍රස්තවාදයකි. ඒවා මර්දනය කළ යුතුය. පාලකයන්ට මර්දන යන්ත‍්‍රයක් අත ල`ග තිබියදී සමාජීය ගැටළුවල ඇතුලාන්තය විනිවිද දැකීමක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ අධිකාරය මුදාහැරීම පමණි. දෙමළ ජාතික ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් සොයාගැනීම සඳහා අවශ්‍ය කාලය හා අවස්ථාවන් කොතෙකුත් තිබුණ ද පාලකයන් නිරන්තරයෙන් මර්දනය වෙතම යොමුවීමේ එක් ප‍්‍රධාන හේතුවකි ඒ. සියළු ජනතා අරගලයන් සම්බන්ධයෙන්ම පාලකයන්ගේ ප‍්‍රතිචාරය එබඳු වෙයි. අමතරව සිංහල බෞද්ධ ජාතිකවාදය සැපයූ මානසික ශක්තිය හා පෙළඹවීම හේතුවෙන් යුද යාන්ත‍්‍රණය කර කර හ`ඩක් නොනගාම ඉදිරියට ඇදුනි. එල්ටීටිඊය සමූලඝාතනය කෙරුණා පමණක් නොව දෙමළ ජන සමාජයේ අධ්‍යාත්මය ද වැරහැල්ලක් කරමින් එම සමාජය දහස් වරක් ආපස්සට ඇද දැමුණි. රාජපක්ෂ පාලනය වෙට්ටු දමමින් මග හැරයාමට තැත් කරන නොවිසඳුණු දෙමළ ජාතික ප‍්‍රශ්නය ද වර්තමාන දේශපාලනයේ තවත් වැදගත් සාධකයක් වෙයි. 

4. රාජපක්ෂාධිපත්‍යය

මහින්ද  රාජපක්ෂ ඉතිහාසය පූරා කැපී පෙනෙන්නෙ අධිපතිත්වය සඳහා වරෙක ජනතාව ඉදිරියේ වීරයකුගේ චරිතයත් තවත් වරෙක හොරගල් අහුලන්නෙකුගේ චරිතයත් ර`ගපාන්නකු ලෙස ය. 88 දී  භීෂණයට එරෙහි ක‍්‍රියාකාරිකයා කම්කරු ප‍්‍රඥාප්තියක් ගැන වේදිකා වේ මොරදෙන්නා වාමාංශික නායකයන් සමග ඇ`ගෑළුම් පාන්නා  ජනාධිපතිධුරය සඳහා ප‍්‍රථමවරට තරග වැදීමට සූදානම් වූ ක්ෂණයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී යුදවාදී බල කණ්ඩායම් සමග ගිවිසුම්ගත වෙමින් ඔවුන් හා එක පෙළට සිට ගත්තේ කිසිදු පැකීලීමකින්, ලැජ්ජාවකින් තොරවය.  කෙසේ හෝ බලය, ඔහුගේ එකම අරමුණ එපමණක්ම විය. අද ඔහු මස්ථකප‍්‍රාප්ත කරගෙන ඇති අත්තනෝමතික බල ආධිපත්‍යය පිළිබඳ ඒ ඇ`ගවුම තේරුම් ගැනීමට මෙරට බහුතරයක්ම උවමනාවක් දැක්වූයේ නැත. ඒ  ඔවුන් බාහිරෙන් හ‍දුනාගත් ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් හෙම්බත්ව  සිංහල බෞද්ධ ජාතිකවාදයේ  රණගොසට කන් යොමා සිටි හෙයිනි.  යුද ජයග‍්‍රහණයත් සමගින්  උද්දාමයට පත් සිංහල බෞද්ධ බහුතරයට දෙවරක් සිතන්න අවශ්‍ය නොවීනි. පළමු වරටත් වඩා දෙවන වර මහත් ඉහළින්  තම සහමිතිය එක හෙළා මහින්ද රාජපක්ෂ  වෙත පුද කෙරිණ. ඇත්තෙන්ම ඔහු තම නියම චරිතය  වෙත ප‍්‍රවේශ වූයේ මින් අනතුරව ය. යුද ජයග‍්‍රහණයේ ප‍්‍රමුඛ කොටස්කරුවෙකුවූ හිටපු හමුදාපති සරත් පොන්සේකා අභියෝගාත්මක දේශපාලන ප‍්‍රවේශයකට යොමු වූ ක්ෂණයෙන් පොරොවෙන් කපන්න නොතියා නියපොත්තෙන්ම කඩා දැමී ය. විධායක ජනාධිපතිධුරය යාවජීවව දැරීමේ බල ලෝභී අපේක්ෂාවෙන් ඊට ඉදිරිපත්වීමේ  අවස්ථා සීමාව ව්‍යවස්ථාව ගෙනා 1 වන සංශෝධනයෙන් අහෝසි කර දැමී ය. 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් හරහා බෙදී ගොස් තිබූ බලය ද එමගින් ආපසු  උදුරා ගත්තේය. තමන්ගේ ල`ගම ඥාතීන් හා හිතවතුන් ආර්ථික හා දේශපාලන බලය අතින් වැදගත් තැන්හි පිහිටුවා විශේෂ බල ගැන්වීමක් කළේය. ඇමති මණ්ඩලය  ඕනෑම දෙයක් ඇඹිය හැකි තෙත මැටිගුලියක් බවට පත් කළේ ය..නීතිපති දෙපාර්තමේන්තුව තම යටතට ගෙන ඉන් නොනැවතී හිටපු අගවිනිසුරු ද සිය උපදේශකයකු කරගනිමින් අධිකරණයට අතපෙවිය හැකි වක‍්‍ර මාවතක් සකස්කර ගත්තේ ය. සෙබළකු සියොල`ග පුරා ආයුධ සන්නද්ධව සිටිමෙන් පෙන්නුම් කරනුයේ බිහිසුණු ප‍්‍රහාරයකට ඇති සූදානම පමණක්ම නොවේ. කුමන මොහොතක හෝ ප‍්‍රහාරයකට ලක්වේය යන ආත්ම  බිය ද පෙන්නුම් කරයි.

ආසියාවේ ආශ්චර්යය කරා යන සංවර්ධනය විශාල බිංදුවකි. නෑ හිතවතුන් හා අනුගාමිකයන් සඳහා විශාල ඉල්ලමකි.  දේශපේ‍්‍රමය කට දෙකොනින් වැගිරෙද්දී නිල වශයෙන් ගෝලීය ධනවාදය හා සහවාසයේ යෙදෙයි. කොළඹ, පුත්තලම, උතුර හා නැගෙනහිර ඉඩම් කුණු කොල්ලයට විකුණයි. අධ්‍යාපනය විකිණීමේ ද කටයුතු වේගයෙන් සැලසුම් කරයි.    දෙමළ ජාතික ප‍්‍රශ්නය පාර්ලිමේන්තු කාරක සභාවකට පවරා ඇ`ග බේරා ගැනීමට උත්සාහ කරන්නේ ජනාධිපති  රාජපක්ෂට ඒ සඳහා ඇත්ත උවමනාවක් නැති නිසා ය. දිගු කාලීන බලය සඳහා එදා වේල ගැට ගහගන්නා දේශපාලන ක‍්‍රමවේදයන්ට ඔහු වඩාත් ආසා කරන නිසා ය. සංකීර්ණ ආර්ථික හා දේශපාලන කාරණාවලින් ගහන යුද්ධයක විජයග‍්‍රාහී සේනාධිනායකයාට සාමකාමී කාලයකදී යෝජනා කෙටුම්පතක් සකස්කර ඉදිරිපත් කරන්නට තරම් දිරියක් නැති හැටිෟ

මේ අනුව රාජපක්ෂාධිපත්‍යය යනු බඩගෝස්තරවාදී විවෘත ආර්ථිකය හා බැඳුණු ගජ මිතුරු ආර්ථිකය, අත්තනෝමතික විධායක ජනාධිපති ව්‍යවස්ථාව, ව්‍යාජ දේශපේ‍්‍රමය හා සිංහල බෞද්ධ ජාතිකවාදය  පත අට එකට හින්දා පෙරා සකස් කළ ව්‍යවස්ථානූකූල ඒකාධිපතිත්වයකි. මේ වත්මන් දේශපාලනය හසුරුවන  තීරණාත්මකම සාධකය යි.
5. බෙලහීන විරුද්ධ පක්ෂ
එජාපය
රාජපක්ෂාධිපත්‍යය තීව‍්‍ර වන ප‍්‍රමාණයට එජාපයේ බලය හීනවෙමින් යයි. ඒ මෙවැනි වූ ආධිපත්‍යයක ස්වභාවිකව පිහිටන ප‍්‍රතිපත්තියක් වූ මර්දනය හා වරදාන ඉදිරියේ තම දෙපා මත සෘජුව සිට ගැනීමට තරම් ශක්තියක් නැති දේශපාලන ව්‍යාපාරයන්ට අත්වෙන ඉරණම වෙයි. සෑම තැනකම සිදු කෙරෙන ආණ්ඩුවේ අධිපතිවාදී බොහෝවිට ප‍්‍රචන්ඩකාරී හැසිරීම මගින් ද, කිල්ලෝටවල හුණු ගහංගාගෙන ඉන්න සමහර එජාප මංතී‍්‍රවරු වෙත අප‍්‍රකටව කෙරෙන තර්ජන හා බියවැද්දීම් මගින් ද,  බඩගෝස්තරවාදී දේශපාලනයට දිගු කාලීනව අබ්බැහිවූ තවත් සමහරුන්  විවිධාකාර වරදාන මගින් ද ආණ්ඩුව ප‍්‍රබල විපක්ෂයක් තිබිය යුතුයැයි හ``ඩ ගාන ගමන්ම එජාපය නොමරා මරයි. රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයේ අත්තනෝමතිකත්වය රංචු පිටින් ආණ්ඩුව වෙත පලායන්නවුන්ට බේරේ බොක්කක් වී ඇත. ජාතික හෝ ජාත්‍යන්තර තත්ත්වයන් සම්බන්ධයෙන් තමන්ගේම කියා කිසිම පැහැදිලි දැක්මක් නැති නිසාම සජිත් පේ‍්‍රමදාස සිය පියාගේපචින්තනයක් ගැන කියමින් මහින්ද රාජපක්ෂගේ සිංහල බෞද්ධ ජාතිකවාදය ඩැහැ ගැනීමට මාන බලයි. අඩුමවශයෙන් එය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බිඳක්වත් ඉතිරි නොකර වීදුරුවේ අඩියටම ගිල්වා දමා ඇති බවවත් ඔහුට නොපෙනෙයි. අපට ඇත්තේ රාජපක්ෂාධිපත්‍යයට දශමයක හෝ අභියෝගයක් එල්ලකිරීමේ හැකියාවෙන් තොර අර්බූදයන්ගෙන් හෙම්බත් වූ විරුද්ධ පක්ෂයකි.

ජවිපෙ
රාජපක්ෂාධිපත්‍යයයේ පදනම සකස් කිරීමෙහිලා හා ඊට අවශ්‍ය මතවාදය ගොඩ නැගීමෙහිලා ජවිපෙ ඉටු කරන ලද කාර්යභාරය අතිවිශාල වූවාක් මෙන්ම අප නිතර දකින එහි දෝලනය ප‍්‍රදර්ශනය කරමින් අද එය  රාජපක්ෂාධිපත්‍යයට එරෙහි  ප‍්‍රබල  ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නට පටන් ගෙන තිබේ. එහෙත් මෙම හැරවුම හුදෙක් සුපුරුදු උපක‍්‍රමික එකක් වන්නේ නම් එය ජනතාව මෙන්ම තමන්ව ද රවටා ගනු ලැබීමක් වන බව පැවසිය යුතුම ය. එහෙත් ඊට වෙනස්ව   විමර්ශනාත්මක සමාලෝචනයක් සමගින් සිදුවන සැබෑ ප‍්‍රතිපත්තිමය හැරවුමක් නම් එයට  රාජපක්ෂාධිපත්‍යයට එරෙහි අරගලයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි බව පැවසිය හැකි ය. .    

දෙමළ ජාතික දේශපාලනය
එල්ටීටීඊ පරාජයත් සමග දෙමළ ජාතික ව්‍යාපාරයට දකුණේ ආණ්ඩු සමග කේවල් කිරීමේ හැකියාව අහෝසි විය. ඒ සඳහා යම් හෝ ඉඩක් තිබේ නම් ඒ ආණ්ඩුවට කෙරෙන ජාත්‍යන්තර බලපෑම් විශේෂයෙන් ඉන්දියාවේ බලපෑම නිසා ය. පැහැදිලි ලෙසම ආණ්ඩුව දෙමළ ජනතාව වෙත කිසිවක්ම දීමට සූදානම් නැත. විධායක ජනාධිපතිධුරය වෙත පෙර නොතිබූ බලතල පවා  ආරෝපණය කරගනිමින් ජනාධිපති  රාජපක්ෂ  රටේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය  හකුළුවා දමද්දී බලය බෙදීමක් ගැන තවත් කවර කතා ද? දෙමළ ජනතා ව්‍යාපාරය දකුණේ පීඩිත ජනතා අරගලය හා ඒකාබද්ධ කරන එමගින් ස්වකීය ජාතික අභිලාෂයන් මුදුන්පත් කරගත හැකි උපාය මාර්ග ගැන අවධානය යොමු කරනවාට වඩා දකුණේ වංචනික පාලකයන් හා ඵලක් නැති සාකච්ඡුා සඳහා දෙමළ නායකයන්ට ඇත්තේ වැඩි උනන්දුවකි. ඉන්දි්ය හා බටහිර තානාපති කාර්යාල වෙත දුක්ගැනවිලි කියා පෑමට ඔවුන් වඩා කැමතිය. දෙමළ වුව ද පීඩිත ජනතාව කෙරෙහි විශ්වාසය නොතැබීමට ඔවුන් වගබලා ගෙන ඇත. ඛේදනීය තත්වයක පවතින දෙමළ ජාතික ප‍්‍රශ්නය සමගින් වත්මන් දේශපාලනය තවත් සංකීර්ණ වෙයි. 

6  අද පවතින දේශපාලනය පිළිබඳ යම් හෝ අවබෝධයක් ඇති ප‍්‍රගතිශීලී වාමවාදී කණ්ඩායම් හා පුද්ගලයන් බහුතරයක්ම ඔවුන්ගේ අවබෝධය හා ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය අතර ප‍්‍රතිවිරෝධතාවයක් ගොඩ නගාගෙන ඇත. රාජපක්ෂාධිපත්‍යය කෙරෙහි  ප‍්‍රබල විරෝධාකල්පයක්  දැරීමේදී ඔවුන් සමාන්තරවන නමුත් ඊට එරෙහි ක‍්‍රියාකාරිත්වයේදී තත්ත්වය හාත්පසින්ම වෙනස් ය. පවතින දේශපාලන යතාර්ථය සමස්තයක් ලෙස ගෙන ඒ අනුව පුළුල් බලවේගයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන කථා කරද්දී ඔවුහු එකෙකුට එකෙක් නොදෙවෙනිව එය එකහෙලා අනුමත කරති. එහෙත් ක‍්‍රියාකාරිත්වයේදී තමන් තෝරාගත්  විශේෂිතවු කරුණු කෙරෙහි යම් උනන්දුවක් පෙන්වන අතර  ඒවා සම්බන්ධයෙන් ද බලපෑම් රහිත සම්ප‍්‍රදායික පිකටින්වල යෙදමින් තෘප්තියක් ලබති.  තමන්ගේ මූලිකත්වයෙන් බොහෝ දේ කරනන්ට අර අඳින ඔවුහු අනෙකාගේ මූලිකත්වයේදී කිසිවක් නොකර කර අරිති. පොදු වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡුාවකදී නිතරම  තමන්ගේ ආංශික ඉල්ලීම් ඒ තුළ ඔබ්බවීමට වෙර දරති. ඉන් පොදු වඩලිළිවෙළක තිබිය යුතු බර හෑල්ලූවෙන බව සැලකිල්ලට නොගනී. කෙසේ  නමුත් මෙම කණ්ඩායම් හා පුද්ගලයන් සතු ප‍්‍රගතිගාමී විභවය කිසිසේත් අවතක්සේරු කළ නොහැක.  

මෙකී කරුණු සම්පිණ්ඩිතව මෙසේ පෙළගැස්විය හැක. ප‍්‍රධාන වශයෙන් මානව අගයන් යටපත්කරන බඩ ගෝස්තරවාදීමය හැසිරීමකට සමාජය පොළොඹවන ගෝලීය ධනවාදය විසින් හසුරවන විවෘත ආර්ථිකය හා බැඳුණු ගජ මිතුරු ආර්ථිකය අද දේශපාලනයේ ආර්ථිකමය හරය වේ. විධායක ජනාධිපති ව්‍යවස්ථාව, හදිසි නීතිය, ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත වැනි නීතිමය පදනමක් මත ගොඩ නගා ඇති ව්‍යවස්ථානුගත අඥාදායකත්වය දේශපාලනමය හරය වේ.  පීඩිත ජන කණ්ඩායම් පාලකයන්ගේ වියගසට ඇද බැඳ තබා ගැනීමට පමණක් ම යොදා ගන්නා ජාතිකවාදී දේශපාලනයෙන් එනම් සංස්කෘතිකමය දේශපාලනයෙන් සැරසී ගත් නමුත් හරයෙන් සියළු සමාජ වටිනාකම් පිසදමන ධනවාදී බඩගෝස්තරවාදය අද දවසේ සංස්කෘතික හරය වෙයි. මේ සියල්ල ඉදිරියේ ප‍්‍රධාන විරුද්ධ පක්ෂය නිශ්කී‍්‍රය වී ඇත. ජවිපෙ ස්වයං අඩස්සියකට පත්ව ඇත. අනෙක් සෑම කණ්ඩායමක් ම පාහේ තමන්ගේම තෙලෙන් බැදෙමින් ඇත.

විශා‍්‍රම වැටුප් පනතට එරෙහි කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරු අරගලය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය මේවා ප‍්‍රධාන විරුද්ධ පක්ෂවල මෙහෙයවීමකින් තොරව පැන නැගි අරගලයන් ය. යථාර්ථය හෙළිදරව් කරන්නාවූ පාසැල් තුළින් ජනතාව ගමන් කරවීමට සැලැස්වූ විට පෙරදී තමන් අවබෝධකර නොගත් දේ දැන් තමන් අවබෝධකර ගනිමින් සිටින බව ඔවුන්ට පෙනී යනවා ඇත. මෙම ක‍්‍රියාවලිය ශක්තිමත්වන තරමට එහි බලපෑම ලත් සමාජ තීරු පාලකයන් හා පොදුවූ කිසිවක් නැති බව හැ`ගී පාලක සහයෝගිතා ව්‍යාපාරයෙන් බිඳී වෙන් වනවා ඇත. යුද්ධය මගින් පුබුදුවනු ලැබූ ජතිකාවාදයෙන් රාජපක්ෂ පාලනය පුදනු ලැබූවිට ජනතාවගේ බුද්ධියේ ශේ‍්‍රෂ්ඨ‍ බව අහස උසට වැනූ පාලකයන්ට අද සහ හෙට සිදුවන සිදුවීම් අනුව ජනතාව බුද්ධිහීනයන් ය. කුමන්ත‍්‍රණකරුවන් විසින් නොමග යවන ලද්දන් ය. අවශ්‍යවිට අවශ්‍ය විදියට ජනතාවගේ මනෝභාවයන් හැඩගැස්වීමටත් ඒවා අර්ථ දැකිවීමටත් පාලකයන්ට වැඩි කාලයක් යන්නේ නැත. නමුත් එය සදහටම නොවේ. දැන් තමන්ගේ ඉරණම පිළිබඳ තීන්දු  තීරණ ගැනීම ජනතාව වෙතම පැවරී ඇත. ඔවුන්ගේම අභිලාශයන් ඉටු කිරීම අරමුණු කරගත් ඔවුන්ගේම ව්‍යාපාරයක් ගොඩ නගා ගැනීමට සියළු තත්ත්වයන් විසින් බලකරනු ලැබ ඇත. එය විසින් ප‍්‍රධානකොටම      

1    ව්‍යවස්ථානුගත ආඥදායකත්වය පරාජය කළ යුතු ය
2    ජාතිකවාදී බඩගෝස්තරවාදී සංස්කෘතිය හා දෘෂ්ඨිය පරාජය කළයුතුය

මෙකී පදනම මත සකස්වූ දේශපාලන වැඩපිළිලෙක සංයුක්ත වියයුතු ප‍්‍රධාන ඉල්ලීම් නම්

1 විධායක ජනාධිපති ව්‍යවස්ථායව අහෝ්සිකිරීම

2 හදිසිනීතිය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ආදී මර්ධන නීති     අහෝසිකිරීම

3 දෙමළ ජාතික ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දීම
 
4 ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම
   
මෙම ඉල්ලීම් පෙරටුකරගත් ජනතා අරගල ව්‍යාපාරයක් කැඳවීම වාම හා ප‍්‍රගතිශීලී කඳවුරේ  අද දවසේ ප‍්‍රමුඛ කටයුත්ත විය යුතුය.     

No comments:

Post a Comment