මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, April 5, 2011

71 බක්මහ අරගලය

ඒ. ඩී. පී. රත්නායක


2011 අපේ‍්‍රල් 5 වෙනි දිනට 71 අරගලයට හතලිස් වසරක් සපිරෙයි නිල වශයෙන් ඒ වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ සුපුරුදු පරිදි වේදිකා මත ආකර්ෂණීය ස්මාරකයන් තනා අපේ‍්‍රල් විරුවන් සමරනු ඇත . උද්වේගී දේශනයන් පවත්වනු ඇත. ඒ අතර විවිධ මතවාදයන් දැරුවද හෘදය සාක්ෂිය විසින් අමතකකීරීමට ඉඩදෙනු නොලැබූ  තවමත් ජීවත්ව සිටින කැරලිකරුවන් ද වෙනත් තැනක 71 විරුවන් සමරනු වස් සුහඳ හමු පවත්වති. 71 විරුවන් සැමරීම කවුරු කොතැනක සිදුකලත් සම්ප‍්‍රධායක් සිරිතක් බවට පත්වී ඇතිවා හැර 71 අප්‍රෙල් අරගලය විසින් මතුනරන ලද දේශපාලන අරමුණට ආලෝකයක් ලැබී නැත.

නොයෙක් අඳුරු සෙවනැලිවලින් වසාගෙන තිබුනද සමාජවාදය මූලික අරමුණ කරගත් ඒ වෙනුවෙන් තම යෞවන ජීවිතය පරිත්‍යාග කල  මිය ගිය සහෝදර සහෝදරියන්ට ප‍්‍රණාමය පුදකරන්නට අපි දෙවරක් නොසිතමු. ඒ අතරම ඔවුන් ගිය මග ගැඹුරින් නොවිමසීමෙන් ඔවුන්ගේ ජීවත පරිත්‍යාගයට නියමිත අගය ලබාදී නැතැයි අපේ  ව්ස්වාශයයි.  අදත් සක‍්‍රීය දේශපාලනයේ නියුතු ජවිපෙ මේ පිළිබඳ මුනිවත රකියී.

පුළුල් ලෙස කරුණු දැක්වීමට ඇතත් 71 අරගලය අධ්‍යයනයකිරීමේ ප‍්‍රවේශයක් ගැනීමට හැකි සම්පිණ්ඩනාත්මක විග‍්‍රහයක් පමණක් ඉදිරිපත් කිරීමට මෙහිදී අපි සීමා වෙමු.

 තරුන අසහනය, ග‍්‍රාමීය ඉඩම් ප‍්‍රශ්නය, කුල පීඩනය, රැවටිලිකාරී දේශපාලනය ආදී සාධකයන් 71 අරගලයට පාදක වූ බවට කෙරෙන සමාජ විද්‍යාත්මක ස්වරූපයේ විග‍්‍රහයන් ද ආගමික පරිසරයෙන් ඈත්වීම නිසා සිදුවූ අවාසනාවන්ත සිදධීන් ලෙස කෙරෙන ආගමික විග‍්‍රහයන් ද පවතී. එ‍ෙස්ම සීඅයිඒ කුමන්ත‍්‍රණයක් ලෙසටත් සමහර අවස්ථාවල අතිධාවනකාරිත්වය ලෙසටත් හඳුන්වා දෙමින් පැරණි වම දේශපාලන විග‍්‍රහයකට වඩා කුහක චෝදනා ගොන්නක් එල්ලකර තිබිනි ඒවා සභාග දේශපාලනයට පිවිසීමෙන් උරුම වූ දේශපාලන අවස්ථාවාදී ප‍්‍රතිරූපය වසා ගැනීමේ අභිප‍්‍රායෙන්ම නගන ලද චෝදනා බව පැහැදිලිය කෙසේවුවද 71 අරගලයට පාදක වූයේයැයි ඉදිරිපත්කෙරෙන හේතු සාධකයන් කුමක් වුවත් ඒ හැමකක්ම අඩු වැඩි වශයෙන් ලංකාවේ ආර්ථික දේශපාලන හා සංස්කෘතික මූලයන් හා බැඳී පවතින බව නම් නිසැකය මෙහිදී අපේ අරමුණ එවැනි හේතු සාධකයන් විමර්ශණය කිරීම නොවේ.

සමාජ ආර්ථික හා දේශපාලන විෂමතාවයන් අරගල ව්‍යාපාරයන් පැනනැගීමට පොළඹවන සුළු සාධක බව සැබෑය. එසේ බිහිවන සංවිධානයන් හෝ ව්‍යාපාරයන් ඉදිරියට ඇදෙන්නේ ඒවාටම අයත් අරමුණක් හෝ දෘෂ්ටිවාදයක් අනුගාමික සමාජ බලවේගයක්  උචිත සංවිධාන ව්‍ය‍්‍රහයක් හා භාවිතයක් ද කැටිකොට ගෙනය.  මේ අංග ලක්ෂණ සියල්ල එක්වීමෙන්  එම  ව්‍යාපාරයේ සමස්ථය නිර්මාණය කෙරෙයි. එම සමස්ථය විසින් එහි චලනය -  හැසිරීම තීරණය කෙරෙයි. වෙනත් විදියකට කියනනේනම් යම් සංවිධානයක ක‍්‍රියාකාරික්වය ප‍්‍රධාන වශයෙන් එහිම අන්තර්ගතය විසින් හසුරුවනු ලබයි. 71 අපේ‍්‍රල් අරගලය වෙත අපේ අවධානය යොම්වීමේදී ජවිපේ අන්තර්ගතය- එහි දෘෂ්ටිවාදය අනුගාමිකත්වය සංවිධාන ව්‍යුහය හා භාවිතය විමර්ශණයට ලක්වීම  මගහැරිය නොහැක. මක්නිසාද 71 අපේ‍්‍රල් අරගලය ස්වයංසිද්ධ අරගලයක් නොව, ජවිපෙ දේශපාලනයේ නිශ්චිත ඵලයක් නිසාය. එම දේශපාලනය පිළිගත් ඒ වෙනුවෙන් කැපවූ සහෝදර සහෝදරියන්ගේ සංවිධානාත්මක මැදිහත්වීම ඇතිව දියත්වුවක් වන නිසාය.

71 අපේ‍්‍රල් අරගලයේ අරමුණ -දැක්ම  සමාජවාදී විප්ලවය මගින් ලංකාවේ පීඩිත පංති ජනතාව වෙත යහපත් සමාජයක්  සමාජවාදී සමාජයක් උදාකර ගැන්මය.

එම අරගලය තුලින් ප‍්‍රකාශවූ දේශපාලනය සම්බන්ධයෙන් ප‍්‍රශ්නකිරීම ඒ වෙනුවෙන් කැපවූ මහන්සිවූ දුක්විඳි ජීවිත පරිත්‍යාග කළ උස් මිනිසුන්ට ලැබිය යුතු ගෞරවය කෙළසීමක් හෝ අවතක්සෙරුකිරීමක්  නොවේ. ඒ වෙනුවට ඉන්  විප්ලවීය දේශපාලනයට ආලෝකයක් ලැබීමෙන් ඔවුන්ගේ පරිත්‍යාගයන්ට නිසි ගෞරවය ලැබෙනවා ඇත.

එසේ තිබියදී ජවිපෙ වසරක් පාසා අපේ‍්‍රල් විරුවන් සැමරීමෙන් 71 අරගලය පිළිබඳ හැගීම්බර මතකයන් අවදිකර තබාගැනීමත් වත්මන් ගමනට එය උත්තේජනයක් කරගැනීමත් එහි අරමුණ නම් එය ආගමික සැමරුමකට වඩා වැඩි යමක් නොවේ.

1871 පැරිස් කොමියුනාඞ්වරුන්ගේ අරගලය පරාජයෙන් කෙලවර වුවද එහිදී ඔවුන් දැක්වූ වීරත්වය ගැන මාක්ස් මහත් උද්වේගයක් දැක්වූ අතරම එහි ආලෝකයෙන් තම න්‍යාය යළි පිරික්සා බැලීමටත් ඉන් උගත් පාඩම්  අනුව කොමියුනිස්ට් ප‍්‍රකාශණයේ එකම නිවැරදි කිරීම ඇතුලත් කිරීමටත් උනන්දුවී ඇත. එය පැරිස් කොමියුනාඞ්වරුන්ටවත් මාක්ස්ටවත් අගෞරවයක් ගෙනාවේ නැත. සිදුවූයේ මාක්ස්වාදය පෝශණයවීමකි.

චේගේ ජීවිතය ද එවැනිම උදාහරණයකි. ඔහුගේ ජීවතය පවා අහිමි කළ බොලිවියානු උපාය මාර්ගය නිවැරදි නොවේ යැයි කීමේදී ඔහුගේ විප්ලවීය ගුණය අවතක්සේරුවට ලක් නොවෙයි. ඔහු දැනුදු ශ්‍රේෂ්ට විප්ලවවාදියෙකු ලෙස ගෞරවය ලබයි.

නිර්ධන පංති විප්ලවය

 නිර්ධන පංති විප්ලවය පිළිබඳ ජවිපෙ දැරූ ස්ථාවරය වැදගත් මාක්ස්වාදී ප‍්‍රවේශයකි. එහෙත් එය එහි පුළුල් අරුතින් වටහා ගත්තේද ?

ධනවාදය තුල නිෂ්පාදානයේ සමාජීයකරණයවීම සමග පෞද්ගලික ආර්ථික හා දේපොල සම්බන්ධතාවයන් තව දුරටත් නොගැලපෙන තත්වයක් උදාවෙයි. නව සමාජීය සම්බන්ධතාවයන්ට ඉඩදෙනුවස් එම නොගැලපීම අනිවාර්යයෙන් ඉවත්කෙරෙයි. මෙම ක‍්‍රියාවලිය ඓතිහාසික භෞතිකවාදය අනුව නිර්ධන පංති විප්ලවය ලෙස සැලකෙයි.

සාමාන්‍ය දේශපාලන ව්‍යවහාරය අනුව නම් ධනපති ආධිපත්‍ය පෙරළා නිර්ධන පංති ආධිපත්‍යය පිහිටුවීමේ ක‍්‍රියාවලිය ඉන් අදහස් කෙරෙයි. එය මෙසේ තනි සරළ වාක්‍යයක් තුල කැටිකොට දැක්වුවද අතිශයින් සංකීර්ණ තත්වයන් හා කොන්දේසි විසින් මෙහෙයවෙන යෝධ සමාජීය ක‍්‍රීයාතාරිත්වයක උච්ඡතම ප‍්‍රකාශය ලෙස සැලකියයුතුය. මේනිසාම කිසියම් රටකට විප්ලවය පිළිබඳ සංකල්පය ගලපාගැනීමේදී එනම් විප්ලවීය උපාය මාර්ගයන් හා වැඩපිළිලෙක් සකසා ගැනීමේදී මාක්ස්වාදය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර පංති අරගල ව්‍යාපාරය පිළිබඳව පෘතුල අවබෝධයක්ද ඒ සමගම පංති අරගල ව්‍යාපාරය තුල බහුල අත්දැකීම්ද තිබිය යුතුය.

ජවිපෙ විප්ලවය විග‍්‍රහකරගත් අන්දම එහි පස්වන පංතිය වූ "ලාංකීය විප්ලවය ගතයුතු මග" තුලින්  මැනවින් පෙන්නුම් කරයි.  ඉන් ජවිපෙ සමස්ථය - දෘෂ්ටිය, අනුගාමිකත්වය, සංවිධාන ව්‍යුහය හා භාවිතය හඳුනාගත හැකිය. විප්ලවය යෝධ සමාජ කර්තවයක් ලෙස සලකා ූඅපි ක‍්‍රියා කලේද ? ලෙනින් පෙන්වා ඇති පරිදි අපි ක‍්‍රියා කළේ නිර්ධන පංතිය හා ගොවීන් අද්දවා ගන්නා බහුතරයක විප්ලවයක්, ඒ නිසාම ජනතා විප්ලවයක් සඳහා ද? පක්ෂයේ මුළු ජවය යෙදවූයේ ලග එන "පැතිරුනු කෙටිකාලීන සන්නද්ධ අරගලයක් "සඳහා සූදානම් වීමටය. අපේ ප‍්‍රධානතම භාවිතය එයම විය. ඉන් පැහැදිලිවන්නේ  විප්ලවය නිසි ලෙස විග‍්‍රහකරගැනීමට අපොහොසත්වීමෙන් ඊට හුදු සන්නද්ධ අරගලය ආදේශවීමය. මෙය ජවිපෙ තීරණාත්මක ලක්ෂයක් සනිටුහන් කරයි

පංති අරගලය පිලිගැනීමම මාක්ස්වාදය නොවේ. පංති අරගලය නිර්ධන පංති ආධිපත්‍යය ගොඩනැගීම දෙසට යොමුව ඇතැයි යන්න මාක්ස්වාදයේ පිළිගැනීමයි. නිර්ධන පංති විප්ලවය එහි නිරායාශයෙන්ම ගැබ්ව ඇත. ප්ලෙහනෝව් හා කෞට්ස්කි සම්බන්ධයෙන් ලෙනින්ගේ ප‍්‍රධාන විවේචනය වුනේ ඔවුන් විප්ලවය මගහරිමින් මාක්ස්වාදය විකෘත්තිකිරීම ගැනය. ජවිපෙ සන්නද්ධ අරගලය අංක එකට ගැනීමෙන් විප්ලවය මගහැර ඇති අතර  ඉන් එහි සමස්තයේ පූර්න විකෘක්ත්තියක් ජන්මයෙන්ම උරුම කරගෙන ඇත. ඒ අනුව  ප්ලෙහනෝව්ලා සම්බන්ධයෙන් ලෙනින්ගේ විවේචනය ජවිපෙටද අදාල වෙයි.  විප්ලවය මාක්ස්වාදයේ ජීවී සාධකයක් වන නිසා  එය මුළුමනින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් දක්ෂිණාන්ශික අවස්ථාවාදයටත් ඒ වෙනුවට සන්නද්ධ අරගල හෝ රැුඩිකල් ක‍්‍රියාමාර්ග තේ්රීමෙන් අතිවාම අවස්ථාවාදයටත් තල්ලූවී යයි. ජවිපෙ මින් දෙවන පාර්ශවයට අතිවාම වාදයට අයත් වෙයි.

ඊළ`ගට විප්ලවය හා සන්නද්ධ නැගිටීම් අතර සම්බන්ධය විමසමු. විප්ලවය හා සන්නද්ධ අරගලය එකක් නොව එකිනෙකට සම්බන්ධ කරුණු දෙකකි. විප්ලවය මගින් මෝරා වැඩෙමින් පවතින සමාජ ආර්ථික හා දේශපාලන  තත්වයන්ගේ පුපුරා යාමක් ප‍්‍රකාශවෙයි. සන්නද්ධ නැගිටීම් එවැනි පුපුරා යාමක 'මොහොත' හා ස්වභාවය ප‍්‍රකාශකරයි.     
වැඩිදුරටත් ඒ පිළිබඳ ලෙනින්වාදය විමසා බලමු.  කැරැල්ලක් සාර්ථක වීමට නම් එය පක්ෂය මත නොව දියුණු පංතිය මත හා පුළුල් ජනතාවගේ සහභාගිත්වය මත විස්වාශය තැබීමත් ජනතාව අතර දියුණුම පිරිස්වල ක‍්‍රියාකාරිත්වය උපරිම මට්ටමක පැවතීමත් සතුරු පාර්ශවයන් බෙලහීන වැනෙන සුළු තත්වයක පැවතීමත් අත්‍යාවශ්‍ය කොන්දේසි ලෙස ලෙනින් පෙන්වා දෙයි. 71 අපේ‍්‍රල් අරගලය දියත් වන විට මෙම කොන්දේසි කිසිවක් නොපැවතුනා පමණක් නොව සියළු තත්වයන් සැකසී තිබුනේ එම කොන්දේසීන්ට ප‍්‍රතිවිරුද්ධ අතටය

1917 ජුලි වනවිට බහුතර ජනතාවගේ සහාය බොල්ෂෙවික්වරුන්ට නොතිබුන අවස්ථාවෙක බලය ලබාගැනීමේ තීරණයක් ගත්තේ නම් එය වරදක් බවත්  නමුත් සැප් - ඔක්තෝම්බර් වන විට රටේ බහුතර ජනතා සහාය (මොස්කව් මැතිවරනයෙන් සියයට  47  ක් - සොල්දාදුවන්ගෙන් සියයට 99ක්)   බොල්ෂෙවික්වරුන්ට ලැබී ඇති විට බලය ලබා නොගැනීම ද වරදක් බවත් ලෙනින් කියයි. මෙසේ පවතින වාස්ථවික තත්වයන් මැනවින් හඳුනාගැනීමේ ඉව හා ඒ අනුව හැඩගැසීමේ හැකියාව බොල්ෂෙවික්වරු ලබාගත්තේ පංති අරගල ව්‍යාපාරය තුලින්මය. එවැනි හැකියාවක් ජවිපෙට නොතිබුනේ ඇයි ?ඒ, අත්දැකීම් ලැබිය නොහැකි තරමට පැරණි වම විසින් පංති අරගල ව්‍යාපාරය මළානිකකොට දමා කිබූ නිසාම නොවේ. ඉක්මන් ප‍්‍රතිඵල ලබාගැනීමේ අපේක්ෂාව විසින් පොළඹවනු ලැබීම නිසාය. දිගු කාලයක් හා මනා ඉවසිමක් අවශ්‍ය පංති අරගල ව්‍යාපාරය පිටු දැකීම නිසාය. ජත්‍යන්තර පීඩිත පංති ව්‍යපාරය ගැඹුරින් අධ්‍යායනය කිරීම නොසලකා හැරීම නිසාය. 

වැරුදි පිළිබඳ චෝදනා එල්ලවන සැමවිටම ඒවා සාධාරනීකරණය කිරීමට ජවිපෙ 'පැවති ඓතිහාසික තත්වයන්' ගේ පිහිට සෙවිම සාමාන්‍ය පුරුද්දකි. එහෙත් හෙතිහාසික තත්වය යනු මේ කොදෙව්වේම තත්වයන් නොවේ. උවමනාවටත් වඩා අත්දැකීම් සපයන ජාත්‍යන්තර පීඩිත පංති ව්‍යාපාරය ද ඊට අයත් බව සැලකිය යුතුය. උදාහරනයක් වශයෙන් 1917 තරම් ඈත කාලයක ලෙනින් ලියා ඇති මාක්ස්වාදය හා කැරලි ගසා නැගීසිටීම නම් කුඩා ලිපියෙන් වුවද වැදගත් අත්දැකීම් ලැබිය හැකිව තිබිනි.
 
ජවිපෙ මූලික විකෘත්තිය - විප්ලවය වෙනුවට හුදු සන්නද්ධ අරගලය ආදේශකිරීම එහි සංවිධාන ව්‍යුහය තුලින් ප‍්‍රකාශවන්නේ කෙසේද ?  මූලික වශයෙන් එහි සංවිධාන ව්‍යුහය  සන්නද්ධ අරගලයකට උචිත මිලිටරිමය හැඩයක් ගැනිම අනිවාර්යතාවයක් විය. 70 වනවිටත් රහසිගත පහේ කණ්ඩායම් පොලිස් කොට්ඨාශ මට්ටමෙන් ගොනුකරමින් තිබිනි.  කම්කරුවන්, ගුරුවරුන්, ශිෂ්‍යයන් වැනි පිරිස් ගොනුකර තිබුනේ ද  ඔවුන්ට අදාල ශ්‍රේණීන් තුලම  පහේ කණ්ඩායම් ලෙස  ප‍්‍රහාරක ඉලක්ක අනුවය. මෙම වැඩ බෙදීම ඉහළම සංවිධාන සම්බන්ධයෙන් ද අදාළ විය. මේ තත්වයන්  බහුජන සංවිධාන සහිත විධිමත් පක්ෂයක හැඩයක් නොවේ.
අරගලයෙන් පසු දශකයකටත් වඩා වැඩි කාලයක් ජවිපෙ ක‍්‍රියාකාරීන් ලෙස අපි 71 අරගලය දෙස ආපසු හැරීබැලීමේ අවශ්‍යතාවය පක්ෂය වෙත අවධාරණය කර අත්තෙමු. එවැනි අවස්ථාවල පක්ෂය  සමහර සහෝදරවරුන් කල්ලි කණ්ඩායම්  ලෙස හදුන්වා පක්ෂයෙන් ඉවත්කළේය. සමහරුන් නිහ`ඩවම ක‍්‍රියාකාරිත්වයෙන් ඉවත්වූහ. එතැනින් ප‍්‍රශ්නය යටපත් විය.
1974 දී අවස්ථාවාදයද? ජාත්‍යන්තරවාදයද? නම් ලිපිය මගින් පක්ෂයේ අර්ධ ස්ටලින්වාදී අර්ධ මා ඕවාදී ස්ථාවරයන් ගැන සඳහන් කරමින් හුදෙක්  දේශපේ‍්‍රමිත්වය පිටු දැක්කා විනා 71 අරගලය තුලට එබී බැලීමක් සිදු නොවීය.  ඉන් නැවතත්  ප‍්‍රශ්නය යටපත්විය.
1976 දී පමණ (මතකයේ හැටියට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ පාසැලක් ලෙස සිය කාර්යයභාරය අවසන්කර ඇති නිසා ලංකා කොමියුනිස්ට් පක්ෂය (බොල්ෂෙවික් ) නිර්ධන පංත්ති පක්ෂය ලෙස  අභ්‍යන්තර ප‍්‍රකාශයක් කළේය. ප‍්‍රවේශමෙන් තෝරා බේරාගත් සහෝදර සහේදරියන්ගෙන් එම පක්ෂය සමන්විත විය. ඉන් පසු ජවිපෙ මැතිවරණ කොමසාරිස්ගේ ලිපි ගොනු තුලටත් බෝඞ් ලෑලිවලටත් සීමාවූවක්ම විය කෙසේවුවද  මෙම පිම්ම අපව දිරිමත් කළේය.  71අරගලය පිළිබඳ පුළුල් ස්වයංවිවේචනයක් කළහැකි හා කළයුතුව තිබූ පළමු අවස්ථාව මෙය විය. එහෙත් එය සිදුනොවීය.

1979 දී  ඕමාරගොල්ලේදී දින ගනනාවක් පුරා පැවැත්වූ ලංකා කොමියුනිස්ට් පක්ෂය (බොල්ෂෙවික් )යේ මංගල සමුළුව  ප‍්‍රශ්නය සාකච්ඡා කළහැකිව තිබූ තවත් ඓතිහාසක වැදගත් අවස්ථාවකි. එතැනදීද ප‍්‍රශ්ණය යටපත්විය. එහෙත් එහිදී  අනුමතවූ විප්ලවීය වැඩ පිළිවෙල තුලින් 'පැතිරුන කෙටිකාලීන සන්නද්ධ අරගලය' ඉවත්කර තිබිනි.  සාකච්ඡාවට බඳුන් නොකර නැතිනම් සවිඥානක නොවී සිදුවූ මෙම  පරිවර්ථනයෙන් නව පත්ෂය තුල ද ප‍්‍රවේනිගත වරද වෙනත් ස්වරූපයකින් පිහිටියේය.

77-83 කාල පරිච්ඡේදය තුල එය ප‍්‍රකාශවන්නේ ආරක්ෂණවාදය (ප‍්‍රචාරණවාදය ) වෙත දෝලනය වීමෙනි. බාහිරින් ශක්තිමත් ලෙස පෙනුනද පක්ෂයේ අතිශයින් දුර්වල දියාරු ඛේදනීය අවදිය මෙය විය. 83 තහනමට පසු අවිඥානකව පැවති  වැඩ පිළිලෙවල් පණ ලැබීය. 71 අරගලය,  88-89 සිදුවීම් හරහා දෙවන වර ඛේදවාචකයක් ලෙසින් ප‍්‍රකාශවිය. 94 න් පසු ද ජවිපෙ කලඑලි බසින්නේ මේ ප‍්‍රවේනිගත ලක්ෂණ සහිතවය. නැවතත් දක්ෂිණාන්ශික අවස්ථාවාදය වෙත දෝලනය වන්නේ මේ හේතුව නිසාය.

විමසිල්ලෙන් බලන්නේ නම්  මේ දෝලනයේ සෑම අදියරයක්ම එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ වන්නාසේම එකිනෙක අතර  ප‍්‍රමාණාත්මක වෙනසක්ද පැහැදිලිව පෙනෙයි. ප‍්‍රගතිගාමී නව ගූණාත්මක වෙනසක් කරා යාමට තවමත් ඉඩකඩ නැතැයි මින් අදහස් නොවෙයි. ඒ සඳහා කලයුත්තේ ප‍්‍රථමයෙන් පහත එන ලෙනින්ගෙ  කියමන තේරුම් ගැනීමය.  


     ‘අප පක්ෂයේ වරද පැහැදිලිව පෙනේ. දියුණු පංතියේ සටන්කාරී පක්ෂය වැරදීම් නිසා බියට පත්විය යුතු නොවේ.   බියවිය යුත්තේ, වරද නැවත නැවතත් කිරීමට ඉදිරිපත්වීම ගැනය; ලජ්ජාව පිළිබඳ බොරු හැ`ගීමකට යටවී වරද පිළිගැනීමටත් එය නිවරදි කිරීමටත්  ප‍්‍රතික්ෂේප කිරීම ගැනය’
                                      
                                          - ලෙනින්
 

No comments:

Post a Comment