ශ‍්‍රීලංකාවේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ඉවත්කර සිංහලෙන් පමණක් එය ගායනා කළ යුතුය යන යෝජනාවක් කැබිනට් මණ්ඩලය මගින් සම්මත කර ඇත. මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ චම්පික රණවක හෝ විමල් වීරවංශ විසින් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ම වීම නිසා රටේ තරමක ආන්දොලනයක් මතුවිනි. එල්ටීටිය පරදවා ආණ්ඩුව ලැබූ ජයහ‍්‍රනයෙන් පසු ජනාධිපති රාජපක්ෂ ජාතිය අමතමින් කියා සිටියේ දැන් සුළු ජාතිය කියා පිරිසක් නැති බව ය. ඒ අනුව අද වනවිට දෙමළ පුළුටක්වත් මේ රටේ හතර දිග්භාගයේ කොතැනකවත් සිටිය නොහැකි ය! එසේ නම් ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් තව දුරටත් තිබිය යුත්තේ අහවල් දේකට ද? ඔහු තර්කය ගොඩ නගනවා ඇත්තේ එසේ යැයි අපට උපකල්පනය කරන්නට පුළුවන.
ප‍්‍රභාකරන් මරා දැමීමෙන් පසු කරන ‘සුළු ජාතියක් නැත’ යන ප‍්‍රකාශය තුළ ගැබ්ව තිබුණේ ඔහුගේ දේශපාලන අමනෝඥකමට වඩා බල වියරුවක සේයාව ය. දෙමළ ජාතික ප‍්‍රශ්නය ප‍්‍රභාකරන්ට සාම්‍යය කිරීම ඈත දුරක සිටින අයිස්ලන්ත වැසියෙකුවත් නොකරන දෙයකි. එහෙත් එම ප‍්‍රකාශය සිංහල බහුතරය තුළ කරනු ලැබූ හොඳ ආයෝජනයකි. මෙතෙක් ඔහු අනුගමනය කරමින් පවතින ප‍්‍රතිපත්ති මගින් පැහැදිලි වන්නේ එදා කළ ප‍්‍රකාශය අද යතාර්ථවත් කරන බවකි. බිහිසුණු විනාශකාරී යුද්ධයක් කරා මග පෑදූ දේශපාලන ප‍්‍රශ්නය එසේ තිබිය දී ම අද ජාතික ප‍්‍රශ්නය විසඳීම පිළිබඳ හාන්කවිසියක්වත් නොමැතිව රාජපක්ෂ තන්ත‍්‍රය මේ කරන්නේ කුමක් ද? ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු යයි නියෝග කිරීමෙන් දෙමළ ජනයා තුළ ඇතිවන චිත්තවේගය රාජපක්ෂලාට තේරෙන්නේ නැති ද? රාජපක්ෂලා තොත්ත බබුන් නොවන බව අපි දනිමු. ඉදිරියේ දී ජාතික කොඩියේ සුළු ජාතිකත්වයන් නිරූපණය කරන කොල සහ කහපාට සිරස් තීරු දෙක ඉවත්කර තනි සිංහ රූපය පමණක් යොදා ගැනීමට යෝජනාකරන්න ඉඩ ඇත. මහින්ද චින්තනයට අනුව දැන් සුළු ජාතීන් කියා කොටස් ලංකාවේ නොමැති නම් සුළු ජාතීන් සඳහා වෙන් කළ එවැනි තීරු කුමට දැයි කියා විමල් වීරවංශලා, චම්පික රණවකලා පමණක් නොව ඩියු ගුණසේකරලා, තිස්ස විතරණලා, වාසුදේව නානායක්කාරලා පවා පෙන්වා දෙන්නට පුළුවන.
ස්වාමියා කවුරුන් ද කියා විපරම් කරනවත් එක්කම බල්ලා පැන පැන බුරන්න ගනී. ජනාධිපතිවරයාගේ ජාතික ගීයේ සිංහල අනුවාදයට අනුව ආවේශයෙන් නටන්න වුනේ විමල් වීරවංශයි. 1871දී ඉයුජින් පෝටියර් විසින් ප‍්‍රංශ භාෂාවෙන් රචනාකරන ලද ජාත්‍යන්තර කම්කරු ගීතය එදා ජේවීපී මැයි දින වේදිකාවලදී විමල් වීරවංශලා මිටමොලවාගත් දකුණත පපුව මත තියාගෙන ගායනා කළේ ප‍්‍රංශ භාෂාවෙන් නොව සිංහල භාෂාවෙනි. එය මව් බසින් ගයන විට දැනුන හැගීම් ඔහුට අද අමතකව ඇත. නැතිනම් අමතක කර දමා ඇත. ප‍්‍රංශ භාෂාවෙන් හැර වෙනත් කිසිම භාෂාවකින් එය නොගැයිය යුතුයැයි කිසිවෙක් තහංචි දමා තිබුණේ නම් වීරවංශලා එය ගායනා කරනවා ඇත්තේ කොලයක් දිහා බලා ගෙන ය. නැති නම් කට පාඩම් කර ගෙන ය. ගයන්නාට මෙන් ම අසන්නාට ද එය නොදන්නා පාලියක් ම වෙයි. ඉන් කිසිම භාවයක් නොඉපදෙනවා ඇත.
මොවුන් කියන්නේ ජාතික ගීය භාෂා කීපයකින් ගායනා කරන කිසිම රටක් ලෝකයේ නැති බවයි. එහෙත් දේශීය භාෂා කීපයකින් ජාතික ගීය ගයන රටවල් ගණනාවක් ඇති බවට පසුගිය දිනවල සමහර විද්වතුන් විසින් පුවත්පත් ලිපි මගින් පෙන්වා දී තිබුණි. ජාතික ගීය භාෂා කීපයකින් ගායනා කරන සම්ප‍්‍රදායක් ලෝකයේ කිසිම රටක නැතැයි කීම ඒ අනුව අමුම අමු බොරුවකි. අනෙක් අතට එවැනි සම්ප‍්‍රදායක් නැත්නම් අපි එයට යටවී බකංනිලාගෙන සිටිය යුතු වෙමු ද? අපි අපේ ප‍්‍රශ්න විසඳා ගැනීමට නව සම්ප‍්‍රදායන් ගොඩ නගා ගැනීම වැරදි ද? එහෙත් රාජපක්ෂ ගොයියලා කරන්නේ තිබෙන එකත් අහෝසි කිරීම ය.
ජාතික ගීය දෙමළ මිනිසුන් ලවා නොදන්නා සිංහලෙන් ගයන්නට බල කිරීම පැහැදිලිවම ඔවුන්ව සුපුරුදු ලෙසම බැහැර කිරීමක් වෙයි. අද මේ නිශ්විත මොහොතේ මේ බැහැර කිරීම ඇයි?
රාජපක්ෂ තන්ත‍්‍රය රටේ කිසිදු දැවෙන ප‍්‍රශ්නයකට අලංකාරෝක්තිවලින් සරන ලද බොරු පම්පෝරි මිස කිසිදු යථා විසඳුමක් ඉදිරිපත් නොකරයි. ඒ සඳහා පම්පෝරිවලට වැඩි යමක් කිරීමේ ශක්‍යතාවක් ද ඊට ඇත්තේ නැත. තම පවුල්වාදී බලාධිපත්‍යය තහවුරු කර ගැනීම හා එමගින් තම පවුලේ හා ගජමිතුරන් ගේ ආර්ථික අභිවෘධිය සලසා ගැනීම හැර ඉන් ඔබ්බේ වන දේශපාලනයක් හෝ ආර්ථික සංවර්ධනයක් හෝ ඔවුන්ට නැත. දෙමළ ජනයාගේ ජාතික ගැටළුව විසඳීම පිළිබඳ කාරණය අමතක කර දමා ඇතුවා පමණක් නොව අද උතුරේ සිදු කෙරෙන්නේ යුද්ධ තත්ත්වයක බඳු ජනතා මර්දනයකි. එල්ටීටීඊය ඇතුළු දෙමළ සන්නද්ධ ව්‍යාපාර පැන නැගීමට තත්ත්වයන් සැකසූ අන්දමේ පැහැර ගැනීම්, ඝාතන ආදිය දැන් උතුරේ යළිත් සිදු කෙරෙයි. රටේ යම් ආර්ථික සංවර්ධනයක් වේ නම් ඒ රාජපක්ෂලාගේ හා ගජමිතුරන්ගේ සංවර්ධන ව්‍යාපෘතිවලින් ලැබෙන අතුරු පලයක් පමණි. එහෙත් රටේ ජනයාට සංවර්ධනයේ නාමයෙන් එකී සංවර්ධනයට ගෙවන්නට වන බර පැන ඉතා ඉහළ ය. දැන් එය දරන්නට නොහැකි තරම් ඉහළ නැගී ඇත.
මේ පසුබිම තුළ දැන් ආරම්භ වී ඇත්තේ රාජපක්ෂ තන්ත‍්‍රය කෙරේ ජනතා කලකිරීම නැගී වර්ධනය වන අවධිය යි. අද දවසේ රාජපක්ෂ තන්ත‍්‍රයේ උපක‍්‍රමික ප‍්‍රවේශය වනුයේ මෙම වැඩෙන ජනතා කලකිරීමට මුහුණ දෙන්නට තත්ත්වයන් නිර්මාණය කර ගැනීම ය. තව දුරටත් ඊට එල්ටීටීඊය පරදවා අත් කර ගත් යුද ජයග‍්‍රහණයම තොරොම්බල් කරන්නට බැරි ය. විරුද්ධපාර්ශවයන් ගෙන් මෙන්ම තමන්ගේ හිතවත් අනු කණ්ඩායම්වලින් එල්ලවිය හැකි විරෝධතාවයන් සමනය කිරීමටත් වැඩිදුරටත් එම හිතවත් කණ්ඩායම් තෘප්තිමත්ව තබාගැනීමටත් වරින් වර සිංහල-බෞද්ධ ජාතිකවාදය ඔපමට්ටම් කළ යුතුව ඇත. සිංහල පමණක් වූ ජාතික ගීයක හ`ඩ ඇහෙන්නට එය එක් හේතුවකැයි කිව හැකි ය. එහෙත් එහි ඊටත් එහා යන උපක‍්‍රමික උවමනාවක් තිබේ. ඒ උවමනාවට අනුව තත්ත්වයන්ට මුහුණ දෙන්නනට දැන් ආණ්ඩුවට උතුරේ එල්ටීටීඊයක් ද දකුණේ 80 ගණන්වල අගභාගයේ මෙන් ජවිපෙයක් ද අවශ්‍ය කෙරී තිබේ. රාජපක්ෂ තන්ත‍්‍රය දැන් දකුණේ එවන් ”ජවිපෙයක්” නිර්මාණය කරන්නට මතයක් ගොඩ නගමින් ද කුමන්ත‍්‍රණකාරී භාවිතයන්හි යෙදෙමින් ද සිටී. දෙමළ ජනයා ද ජාතික ගීය සිංහලෙන් ගායනා කළ යුතු යයි තීන්දු තීරණ ගැනීම එලෙසින් ම උතුරේ ත‍්‍රස්තවාදයකට අ`ඩ ගැසීමකි. අනතුරුව උතුරේ හා දකුණේ ත‍්‍රස්තවාදය දඩ මීමා කර ගනිමින් රාජපක්ෂ ගජමිතුරු තන්ත‍්‍රයට සිය සිතැ`ගි ඉටු කර ගන්නට පුළුවන.
රාජපක්ෂ තන්ත‍්‍රයේ මෙම කුමන්ත‍්‍රණකාරී උපාමාරු අවබෝධ කොට ගැනීම කාගේත් වගකීමකි.
No comments:
Post a Comment