මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, September 14, 2011

එජාපයේ නායකත්ව සටන හා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

රජිත රාජපක්ෂ
      එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව සටන නැවැත වතාවක් කරලියට පැමිණ තිබේ. රනිල් වික‍්‍රමසිංහ නායකත්වයට පත් වූ දින සිට වාර ගණනාවක් ම ඔහුට එරෙහි අරගලයක් ඉස්මතු විය. එම අරගල කරුවන්ගෙන් විශාල පිරිසක් අද වන විට සිටින්නේ එක්සත් ජාතික පක්ෂය හැර ගොස් රාජපක්ෂ සෙවනේ ය.

      වරක් නියෝජ්‍ය නායක කරු ජයසූරියගේ නායකත්වයෙන් ද පක්ෂය තුළ රනිල්ට එරෙහි ප‍්‍රබල අරගලයක් පැවතුනි. එහි ප‍්‍රතිඵලයක් වූයේ  කරු ජයසූරිය ප‍්‍රමුඛ පිරිස එදා හැර දා රාජපක්ෂ ආණ්ඩුවට එක් වී ඇමතිකම් තොගයක් ලබා ගැනීම ය. පසුව රාජපක්ෂ රෙජිමයේ කෙනෙහිලිකම් නිසා ඇතිවූ කලකිරීම ද ඊටත් වඩා එස්. බී. එජාපයේ නියෝජ්‍ය නායකකමට ඒම වැළක් වීම සඳහා එජාප නායකත්වය කරුට ආරාධනා කිරීම ද හේතුවෙන් කරු ජයසූරිය එජාපයට යළි සම්ප‍්‍රාප්ති වෙන්නේ නියෝජ්‍ය නායක කමින් ද පුද ලබමිනි.

      දැන් යළි රනිල්ගේ නායකත්වයට එරෙහි අරගලය ඇරඹී තිබෙන්නේ සජිත් පේ‍්‍රමදාස ගේ නායකත්වයෙනි. අද වන විට වීදි සටන් දක්වා වර්ධනය වී ඇති රනිල් විරෝධී අරගලය පිටු පස කරු ජයසූරියගේ ද භූමිකාවක් ඇති බව පෙනේ. පසු ගිය දා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පක්ෂයක නායකයෙකු ඉවත්කිරීමට එජාපයේම නායකකාරකාදීන් පෙරටු කරගත් සාමාජික පිරිසක් නායකයාගේ කාර්යාලය වැටලීය. මෙම සටන දිගටම ඇදී යන බවක් පෙනෙන අතර රනිල් ඉවත් කරන තුරු සටන අත් නොහරින බව කැරලිකරුවෝ ද ප‍්‍රකාශ කරති. වත්මන් රනිල් විරෝධී අරගලයට නායකත්වය දෙන එජාප නියෝජ්‍ය නායකයෙකු වන සජිත් පේ‍්‍රමදාසය වටා එක් වී ඇති පුද්ගලයන්ගෙන් ස්වල්ප දෙනෙකු හැර සෙසු සියලූ දෙනාම දේශපාලන වශයෙන් නවකයන් වීම ද විශේෂ ලක්ෂණයකි. එසේ ම මේ අරගලයට එනම් සජිත් පේ‍්‍රමදාස එජාපයේ ”සුපර් ස්ටාර්” බවට ගෙන ඒමට මහාරාජගේ මාධ්‍ය  ජාලය විසින් දියත් කරනු ලැබ ඇති  මාධ්‍ය මෙහෙයුම ද අති විශේෂ ය.

      එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් ද, කරු ද, සජිත් ද යන්න තීරණය කිරීම එම පාක්ෂිකයන්ගේ වැඩකි. එය පිටතින් සිටින අපට, ආණ්ඩුවට හෝ මාධ්‍ය ආයතනවලට තීරණය කළ හැක්කක් නොවේ.

      ශී‍්‍රලනිප හා  එජාප යනු මෙරට තුළ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තිබෙන පක්ෂ දෙකයි. එය ඉදිරියේ දී වෙනස්විය හැකි වුවත් දැනට පවතින යථාර්ථය එයයි. එජාපයට ආණ්ඩු බලය හිමිවුවහොත් රටේ නායකයා වන්නේ එම පක්ෂයේ නායකයා වන අතර ශී‍්‍රලනිපයට ආණ්ඩු බලය හිමි වූ විට එහි නායකයා රටේ නායකත්වයට පත්වේ. පක්ෂයේ නායිකාව නොවී චන්ද්‍රිකා බණ්ඩාරනායක රටේ නායකත්වයට පත් වන්නේ එම පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක ශාරිරික වශයෙන් ඉතා දුර්වල තත්ත්වයක සිටීම නිසා ය. මෙවැනි විශේෂ අවස්ථාවක හැර රීතියක් වශයෙන් රටේ නායකත්වයට පත්වන්නේ ආණ්ඩු බලය ලබා ගන්නා පක්ෂයේ නායකයා හෝ නායිකාව ය.

      එම නිසාම එක්සත් ජාතික පාක්ෂිකයෙකු හෝ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයෙකු නොවුවත් මෙම පක්ෂ දෙකට පත්වන නායකයන් ගැන විචාරශීලී වීමට, අවධානය යොමු කිරීමට, අදහස් දැක්වීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන  ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබේ. මක් නිසාද යත් බලයට පත්වන පක්ෂයේ නායකයාගේ අදහස් ආකල්ප, දෘෂ්ටිවාද විශේෂයෙන් ලංකාව වැනි රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයට ප‍්‍රබල ලෙස බලපාන නිසා ය.

      මෑත භාගයේ එජාපය තුළ පැවැති නායකත්ව සටනින් රනිල් වික‍්‍රමසිංහ  ජයග‍්‍රහණය කළේ ය. එය තාවකාලික වන්නට පුළුවන. සජිත් පේ‍්‍රමදාස පවසන පරිදි ඔහු පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස්වලට සවන් දී නියෝජ්‍ය නායකකමත් බාර ගත්තේ ය. මේ සමඟම එජාපයේ නායකත්ව සටන කිසියම් සමතයකට පත්වන ස්වභාවයක් පෙන්නුම් කළත්, නායකත්වය තහවුරු කරගත් රනිල් වික‍්‍රමසිංහ කටයුතු කළ ආකාරය මඟින් දෙපාර්ශවයේ එක`ගතතාවන් බිඳවැටීමේ තත්ත්වයක් නිර්මාණය වූයේ ය.

      රනිල් වික‍්‍රමසිංහ තමාට එරෙහිව සජිත් පාර්ශ්වය නියෝජනය කළ කිසිදු පුද්ගලයෙකුට වගකිවයුතු තනතුරක් ලබා නොදෙන පිළිවෙතක් ගත්තේ ය. මෙම හේතුව නිසාම එම පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට අදාළව නඩුවක් ද පැවැරී තිබේ. සජිත් පාර්ශ්වයේ සිටි සෙසු ප‍්‍රධානින් සියල්ලම පක්ෂ තුළ කොන්කර දැමූ අතර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළ පුද්ගලයන්ට එහි සාමාජිකත්වය ද අහිමි කෙරිණ.

     රනිල්ගේ නායකත්වය විවේචනය කළ සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් වැඩ කළ සියලූ දෙනාටම එළව එළවා පහරදීමෙන් රනිල්ගේ ආකල්ප හා නායකත්වය ශෛලිය හොඳින් ඉස්මතු වී තිබේ. රනිල් යනු අන්‍ය මත නොඉවසන, පක්ෂයක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිසිදු තැකීමක් නැති අධිකාරීවාදී නායකයකු බව නැවත වරක් ඔප්පු කර ඇත. කෙසේ වුව ද මෙය රනිල්ට පමණක් විශේෂ වූවක් නොවේ. ජේ.ආර්, පේ‍්‍රමදාස, සිරිමා, චන්ද්‍රිකා, රාජපක්ෂ යනාදී වශයෙන් මෙම පක්ෂ නායකයන් බොහොමයක් සතුව අඩු වැඩි වශයෙන් පවත්නා ගුණාංගයකි. පක්ෂ නායකත්වය ලැබුණහොත් සජිත් ද ඊට වෙනස් නොවනු ඇතැයි කිව හැක්කේ කාට ද?

ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරක් පෙන්නුම් කළ නායකයන් නායකත්වයට පත් වූ පසු කොතෙක් අධිකාරීවාදී වන්නේ ද යන්න පිළිබිඹු කරන කුප‍්‍රකට නිදර්ශනය වන්නේ මහින්ද රාජපක්ෂයි. එකල මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වීදි සටන්කරුවෙකු ලෙස පෙනී සිටි ඔහු අධිකාරීවාදී නායකත්වයේ නරකම ප‍්‍රතිරූපය පිළිබිඹු කරමින් ශී‍්‍රලනිපය තුළ රාජපක්ෂ පවුල් ආධිපත්‍යය තහවුරු කර ඇත්තේ සෙසු සියලූම ශී‍්‍රලනිප නායකයින් මහින්ද රාජපක්ෂ පමණක් නොව ගෝඨාභය, නාමල් හා බැසිල් යන රාජපක්ෂවරුන් හමුවේ දෙදනින් යන්නන් බවට පත් කරමිනි. ශී‍්‍රලනිප පාක්ෂිකයන් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට කටයුතු නොකළහොත් දරුණු අධිකාරිවාදයක් රට තුළ බිහි වී විරුද්ධ පාක්ෂිකයන් පමණක් නොව රාජපක්ක්ෂවාදීන් නොවන ශී‍්‍රලනිප නායකකාරකාදීන් ද මෙම අධිකාරී බලයේ ගිලටීනයට අසුවීමේ ඉඩ කඩ බැහැර කළ නොහැකි ය.

      පක්ෂයක සිටින  ඕනෑම පුද්ගලයෙකුට කිසියම් මතයක් දැරීමේ අයිතියක් තිබේ. තමන් කැමැති පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ද අයිතියක් ඇත. පක්ෂයක් ඇති කර ඇති පිළිගත් ආයතන ව්‍යුහයක් තුළ ඒ වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු සතු අයිතියකි.

      අන්‍ය මත ඉවසීම, විවේචනවලට මුහුණදීම හා සියලූ පාර්ශවයන් එකතුකර ගෙන පක්ෂයක් හෝ සංවිධානයක් මෙහෙයවීමට කටයුතු කිරීම දක්ෂ නායකයෙකුගේ වැඩකි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු සතුවිය යුතු ඉහළ ගුණාංගයකි.

      රනිල් වික‍්‍රමසිංහ ජාතික දේශපාලනයට පිවිසි 1977 වර්ෂයේ සිටම මෙම එ්කාධිපති ලක්ෂණ මතු කළ නායකයෙකි.  ඔහුගේ දේශපාලන ගමන හොඳින් විමසා බැලූවහොත් මෙම තත්ත්වය ඉතාමත් පැහැදිලි ය. ඔහු අගමැතිවරයා වූ කාලය තුළ පක්ෂයේ මන්තී‍්‍රවරයෙකුට තබා සමහර ඇමැතිවරුන්ට ද ඔහු හමුවීමට අපහසු වූ බව හෙළි වී ඇත. 2001 වර්ෂයේ රනිල් අගමැතිවරයා වූ කාලය තුළ මෙම තත්ත්වය වඩාත්ම කැපී පෙනුණි. රනිල්ගේ මෙම අධිකාරීවාදී ශෛලියම ඔහුට එරෙහි අරගලයන්ට හේතු පාදක වී තිබේ. අධිකාරී නායකත්ව ශෛලීන් සමහර තත්ත්වයන් යටතේ නායකයෙකුට අවශ්‍ය වුවත් සැමවිටම එසේ කි‍්‍රයා කරන්නට ගියහොත් එම පක්ෂ, සංවිධාන දෙදරීම බොහෝ විට සිදුවන දෙයකි. එය එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව  ඕනෑම පක්ෂයකට හෝ සංවිධානයකට අදාළ ය. රාජපක්ෂ පාලනය විසින් ආණ්ඩුව තුළ ගොඩ නගා ඇති අධිකාරි බව නිසා බොහෝ  ඇමතිවරුන් හා ශී‍්‍රලනිප සෙසු නායකයන් තුළ නොසතුටක් පවතී. එය දැනට ජනාධිපති බලතල තුළ යටපත් වී ඇතත් කොයි මොහොතේ හෝ  පුපුරා යා  හැකි ය යන්න විභව යථාර්ථයකි.

      ලංකාවේ තිබෙන බොහෝ පක්ෂවල හා සංවිධානවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොමැත. අධිකාරිවාදී සුළුතරයක මතය මත පක්ෂ හා සංවිධාන කි‍්‍රයාත්මක වන තත්ත්වයක් පවතී. රටේ පාලනය බලය ලබා ගැනීමේ හැකියාව ඇති එජාපයේ හා ශී‍්‍රලනිපයේ බොහෝ විට කි‍්‍රයාත්මක වන්නේ නායකයාගේ මතවාද හා අදහස් ය.

      පක්ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට අසමත් අධිකාරිවාදී ලෙස හැසිරෙන නායකයෙකු රටක පාලනය බලය ලබාගත් විට ද කි‍්‍රයාකරන්නේ එ් අයුරින්ම ය. ආණ්ඩු බලය ලබා ගන්නා එජාපය හෝ ශී‍්‍රලනිපය නිදහසින් පසු මේ දක්වා තම පාලන කාලයක් තුළ සෙසු විපක්ෂ බලවේග සඳහා අනුගමනය කර ඇත්තේ හැමවිටම මර්දනකාරී ප‍්‍රතිපත්තියකි. රනිල් වික‍්‍රමසිංහ අරභයා මේ පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් ඇත.  එම නිසා එජාපයට හෝ ශී‍්‍රලනිපයට නායකයකු තෝරා ගැනීම එම පක්ෂවල අයිතියක් බව අප පිළිගන්නා නමුත් නායකත්වයට එන පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කිරිම, අදහස් දැක්වීම, හා එ් වෙනුවෙන් මතයක් ඇතිකිරීම සෑම ප‍්‍රගතිශීලියෙකුගේම  ද කාර්යයක් විය යුතු ය.

      රනිල් වික‍්‍රමසිංහ පලවා හරිමින් එජාප නායකත්වයට පත්වීමට දැනට ප‍්‍රබල සටනක් දියත් කර ඇති සජිත් පේ‍්‍රමදාස යනු දේශපාලන භූමියේ එතරම් පරිණත පුද්ගලයෙකු ලෙස දැකීම අසීරු ය. ඔහුගේ හැසිරීම මගින්ම මෙම තත්ත්වය හොඳින් පිළිබිඹු කරයි. එම තත්ත්වය පසකින් තබා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට උත්සාහ දරන ඔහුගේ දැනට ප‍්‍රකාශිත කියවීම් දෙස බලමු.

      එජාප නායකයා යනු රටේ ජාතික මට්ටමේ පුද්ගලයෙකි. පාලන බලය ලබා ගැනීමේ හැකියාව ඇති රට තුළ වන විකල්ප දේශපාලන නායකයා යි. අප කැමැති වූවත්, නැතත්, පවතින යථාර්ථය එය යි. එම පක්ෂයේ නායකයා පාක්ෂිකයන්ගේ අනාගතය පමණක් නොව  සමස්තයක් වශයෙන් රට සංවර්ධනය කෙරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව දර්ශනයක් හා ප‍්‍රතිපත්ති මාලාවක් රට හමුවේ තැබිය යුතු ය. නමුත් සජිත් පේ‍්‍රමදාස හැමවිටම පවසන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ අනාගතය ගොඩ නැගීම ගැන ය. එක්සත් ජාතික පාක්ෂිකයන් සුඛිත මුදිත කිරීම ගැන ය. එජාප නායකයා වී රටේ නායකයා වීමට උත්සාහ දරන සජිත් පේ‍්‍රමදාසගෙන් කිසි විටකත් රටේ පවතින ආර්ථික, සාමාජික, දේශපාලන ගැටළු විසඳීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති හෝ යෝජනා ඉදිරිපත් වන්නේ නැත. ඔහු කතා කරන්නේ පිය උරුමයක් ගැන මිස ඉන් ඔබ්බෙහි දෙයක් ගැන නොවේ.

      රටේ බරපතල සංවේදී ප‍්‍රශ්නයක් වන දෙමළ ජාතික ප‍්‍රශ්නය අරභයා සජිත් ඉදිරිපත් කරන්නේ අන්ත ජාතිවාදී මත ය. මේ මගින් ජනාධිපති රාජපක්‍ෂ වටා ගොනු වී සිටින සිංහල බෞද්ධ බලවේගයන්ගෙන් කොටසක් තමනට දිනාගත හැකිය යන බරපතල මිත්‍යාවක ඔහු සිටින බවක් පෙනේ. ඔහුගේ සසුනට අරුණ වැඩසටහන මේ අරමුණින්ම ආරම්භ කළ දේශපාලන ව්‍යපෘතියකි. ලංකාව වැනි රටක ආගම දේශපාලනයට ප‍්‍රබල බලපෑමක් ඇති කරන බැවින් පළමුවෙන්ම රටේ සංඝ සමාජය තුළ තහවුරු වීමට සජිත් උත්සාහ දරන බවක් පෙනේ. මෙය රනිල් වික‍්‍රමසිංහ අවධානය නොදැක්  වූවකි.

      ජනාධිපති රාජපක්‍ෂ සංඝ සමාජය ඇතුළු බෞද්ධ බලවේග තුළ දැනට සිය දේශපාලන ව්‍යපෘතිය හොඳින්ම තහවුරු කර ගෙන සිටින නායකයා ය. ඔහු මොනවා කළත් දැනට ඔහුව වෙනස් කිරීමට මෙම බලවේගවලට කිසිදු අවශ්‍යතාවයක් ඇති බවක් නොපෙනේ. එම නිසාම සජිත් පේ‍්‍රමදාසට මෙම බලවේගවලින් දැනට කිසිදු ඉල්ලූමක් ද නැත.

      අපගේ පීපල්ස් මාච් සඟරාවේ ලිපි ලේඛන කිහිපයක අප මීට කලින් පෙන්වා දුන් පරිදි සජිත් පේ‍්‍රමදාස පක්ෂ විනයක් තුළ වැඩ කරන පුද්ගලයෙකු ද නොවේ. පසුගිය මාර්තු මස පළාත් පාලන මැතිවරණය පුරාම ආණ්ඩුව විවේචනය කරනවාටත් වඩා ඔහු කථා කළේ සිංහල අවුරුද්දෙන් පසු එජාප නායකයා වී හම්බන්තොට කිරිබත් කන්නට එ්ම ගැන ය. නමුත් කොරතම් අඩුපාඩු පැවැතියත් රනිල් වික‍්‍රමසිංහ පක්ෂයේ ප‍්‍රශ්න විවෘත වේදිකාවල කථා නොකළේ ය. ආණ්ඩුව විවේචනය කිරීම පමණක් ඔහුගෙන් සිදු විය. ජාතික මට්ටමක නායකයෙකු වීමට උත්සාහ කරන සජිත් පේ‍්‍රමදාස මීට වඩා ඉහළ විනයක් සමාජයට ප‍්‍රදර්ශනය කළ යුතුම ය.

     පසුගිය ජුලි 23 දා නිමා වූ පළාත් පාලන මැතිවරණයේ දෙවන අදියරේදී එජාප ඡුන්ද ප‍්‍රතිශතය 22% දක්වා පහත බැස තිබුණි. එය මාර්තු මස මුල් අදියරේදී 34%ක ප‍්‍රතිශතයක් ගත්තේ ය. එජාපයට මෙම තත්ත්වය අත් වූයේ සජිත්, රනිල්, කරු යන සියලූ ප‍්‍රධාන පෙළ නායකයන් ඡුන්දයට නායකත්වය දුන් තත්ත්වයක් තුළ ය.

මේ පිළිබඳව එජාපයේ මාධ්‍ය එ්කකයේ ප‍්‍රධානී මංගල සමරවීර  කිසියම් කරුණු දැක්වීමක් කර තිබුණි. එම කරුණු දැක්වීම බොහෝ සෙයින් ඇත්තටම සිදු වූ දේ ප‍්‍රකාශ කිරීමකි. එහෙත් ඔහුගේ අදහස් දැක්වීමට සජිත් පාර්ශවයේ මන්තී‍්‍රවරුන් දැක් වූයේ ඉතාම අපරිණත හා චණ්ඩි ස්වභාවයක් ගත් ප‍්‍රතිචාරයකි.

       මෙහි දී ද සජිත් පාර්ශවය පෙන්නුම් කර ඇත්තේ ඔවුන්ගේ දේශපාලනික ආධුනික බව ය.  එජාපය තමන්ට භාර දෙන්නැයි ඉල්ලා සිටින ජාතික මට්ටමක නායකයෙකු වීමට උත්සාහ කරන සජිත් පේ‍්‍රමදාස ද ඔහුගේ  පාර්ශවය ද කළ යුත්තේ තමන් මීට වඩා ඉහළ විනයක් ඇති, අන්‍ය මත ඉවසන, විවේචනයට ඉඩ ඇති හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුද්ගලයන් බව කතාවෙන් මෙන් ම හැසිරීමෙන් ද සමාජයට ප‍්‍රදර්ශනය කිරීම මිස තම අදහස්වලට එකඟ නොවූ පුද්ගලයන්ට අදහස් දැක්වීමට ඇති අයිතිය ප‍්‍රශ්න කිරීමට හෝ ඔවුන්ට මඩ පැකට් පිටින් තවරා පහරදීම නොවේ. භූමිතෙල් තැවරුණු ගැර`ඩියන් මෙන් හැසිරීම නොවේ.

      යම් හෙයකින් සජිත් පේ‍්‍රමදාස එජාප නායකත්වයට පත්වුවහොත් ඔහු වටා සිටින කොටස් කෙසේ කි‍්‍රයා කරනු ඇත් ද යන්න මෙම හැසිරීම් රටාවන් දෙස බැලීමෙන් සිතාගත හැකි ය.

      එජාපයට බලයට එන්නට බැරි රනිල්ගේ නායකත්වය නිසා යයි ද සජිත් එජාප නායකයා වීමෙන් ඉතා ඉක්මනින්ම එජාපයට බලයට පැමිණිය හැකි යයි ද යන බරපතල මිත්‍යාවක සැලකිය යුතු එජාපාක්ෂිකයන් පිරිසක් සිටින බව ද එසේම එජාපය පක්ෂයක් වශයෙන් දුර්වලවීමට බල පෑ වැදගත් කරුණු ගණනාවක්  ඔවුන් විසින්  අමතක කර දමන බව ද පෙනේ.

අද එජාපයේ පවතින දුර්වල වීම ඇරඹෙන්නේ ජේ. ආර්. නායකත්වයෙන් ඉවත් වීමත් සමග ය. ඉන්පසු එජාප නායකත්වයට පත් වූ ආර් පේ‍්‍රමදාසගේ ජේ. ආර්ටත් ඉහළින් ගිය දැඩි අධිකාරිවාදී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නායකත්වය හේතු කොට ගෙන ඔහුත්  එජාප සෙසු නායකයන් වූ ලලිත්, ගාමිණී වැනි නායකයනුත් අතර දරුණු ගැටුමක් නිර්මාණය විය. මෙය පේ‍්‍රමදාසට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු වූ අතර අවසානයේ ලලිත්, ගාමිණී ඇතුළු ප‍්‍රබල නායකයන් පිරිසක් එජාපයෙන් ඉවත් වී ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් නව පක්ෂයක් නිර්මාණය කර ගත්තෝ ය. එයින් එජාපය සෑහෙන්න දුර්වල විය. එයට එහි දුර්වලතාවය වසා ගෙන පවත්වාගත හැකි වූයේ විධායක ජනාධිපති ධූරයේ බල මහිමය නිසා ය. පේ‍්‍රමදාස එල්ටීටීඊය විසින් ඝාතනය කිරීමෙන් ද ඉන්පසු යළිත් එජාපයට එක්ව බලගතු ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස  මතුවෙමින් සිටි ගාමිණී දිසානායක ඇතුළු එජාප නායකයන් තොගයක් ඝාතනය වීමෙන් ද එජාපය තවත් දුර්වල විය.  1994 වන විට චන්ද්‍රිකාට පහසුවෙන් ජයග‍්‍රහණය කළ හැකි වන්නේ ඒ වන විට ප‍්‍රබල ලෙස  දුර්වලවූ එජාප පාලනයක්  පැවතීම තුළ ය.

ඉන් කලකට පසු ජනාධිපති රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් වරප‍්‍රසාද සඳහා එජාපයේ මන්ත‍්‍රීකම් තොගයක් ම ආණ්ඩුවට එක් කර සිය පක්ෂයේ  බලය ඉමහත් ලෙස බිඳ දැමීමට දාකත්වය දුන්නවුන්ගේ භූමිකාව ද පක්ෂය පැරදවීම මගින් රනිල් පන්නා නායකත්වය අල්ලා ගැනීම සඳහා වන  සජිත්ලාගේ  දේශපාලන උපාය මාර්ගය ද එජාපය දුර්වල වීමට මහත් සේ හේතු වී තිබේ. ඊල`ගට සියල්ලටමත් වඩා එල්ටීටීඊය පරදවා මහින්ද රාජපක්ෂ පාලනය ලත් ජයග‍්‍රහණය මහින්ද රාජපක්ෂ සැලකිය යුතු කාලයකට ජයග‍්‍රාහකයාගේ ස්ථානය තුළ ස්ථාපිත කිරීමක් ද සිදුව ඇත. එජාපය දිගින් දිගටම පරදින්නේ මේ සියලූ සාධකවල එකතුව නිසා මිස හුදෙක් රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය පිළිබඳ ප‍්‍රශ්නය නිසාම නොවේ.

ඇත්ත කරුණු මේවා ය. එවන් පසුබිමකින් යුතුව පවතින දේශපාලන තත්ත්වය තුළ රාජපක්‍ෂ පාලනය  ශක්තිමත් තැනක සිටීම අරුමයක් නොවේ.  ඒ අනුව මෙම පාලන තන්ත‍්‍රය මේ මොහොතේ පෙරළා දැමීම සජිත් නායකත්වයට ආවා කියා හිතන තරම් පහසු කාර්යයක් වන්නේ නැත.

      රට තුළ පවතින ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වශයෙන් එජාපය වඩා ප‍්‍රබල කි‍්‍රයාකාරිත්වයක් ඉටු කළ යුතු බව සැබෑ ය. එය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව විවේචනය කිරීම  හෝ මාධ්‍ය සාකච්ඡුා පවත්වා ආණ්ඩුව විවේචනය කිරීම තුළින් ම කළ හැක්කක් නොවේ. මාධ්‍ය හරහා මහ ලොකු දේශපාලන පෙරළි කළ හැකි යන  මහ මිත්‍යාවක බොහෝ දේශපාලඥයෝ ගිලී සිටිති. මාධ්‍ය මඟින් මහජනයාට කරුණු ඉදිරිපත් කළ හැකි වුවත් ඔවුන් නිසි ලෙස සංවිධානය කිරීම වෙනම දේශපාලන වැඩකි.

      වංචා, ¥ෂණ, ඥාති සංග‍්‍රහ, බාල පැට්රල්, බාල සිමෙන්ති යන ආණ්ඩුවට එරෙහිව යොදා ගත හැකි ආයුධ රැුසක් ආණ්ඩුව විසින්ම විපක්ෂයට ලබා දී තිබියදීත් විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් රනිල්ගේ භූමිකාව ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින බව ද සැබෑ ය. ඔහු අනුගමනය කරනවා වැනි කි‍්‍රයාකාරිත්වයක් වත්මන් ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩ නැගීම සඳහා කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. යුද ජයග‍්‍රහණයේ බලපෑම ආණ්ඩුවේ ස්ථාවර පැවැත්මට තදින් ම  බලපා ඇතත් තවමත් 60%- 70% ඡුන්ද ප‍්‍රතිශතයක් ආණ්ඩුව සතුව පවතින්නේ සමස්තයක් වශයෙන් විපක්ෂ බලවේගවල පවතින ප‍්‍රබල දුර්වලතාවය නිසා ය.

රනිල් වික‍්‍රමසිංහ කියන විදියට පක්ෂය ප‍්‍රතිසංවිධානය කොට පක්ෂය ශක්තිමත් කිරීමෙන් පමණක් හෝ සජිත් කියන විදියට පක්ෂයේ නායකත්වය ඔහුට භාර දීමෙන් හෝ රාජපක්ෂ රෙජිමයේ අත්තනෝමතික බලයට දැනෙන අභියෝගයක් එල්ල කළ හැකි  නොවේ.  පක්ෂ ප‍්‍රතිසංවිධානය වැනි දෑ  කළ යුතු බව සැබෑ ය. නමුත් ඊට වඩා වැදගත් වන්නේ මහජනයා වීදිවලට කැඳවා සිදුකරන මහජන කි‍්‍රයාකාරිත්වයන් ය.

       රනිල් වික‍්‍රමසිංහට හෝ එක්සත් ජාතික පක්ෂයට මෙම වීදි සටන් ක‍්‍රමය එතරම් හුරු පුරුදු සටන් ක‍්‍රමයක් නොවන බව සැබෑ ය. නමුත් ජේ. ආර්. ජයවර්ධන විපක්ෂ නායකයා සිටි කාලවල සත්‍යග‍්‍රහ, උද්ඝෝෂණ, පාගමන් යන පාර්ලිමේන්තුවෙන් පිටතවන විවිධ සටන් කි‍්‍රයාමාර්ග දියත් කළේ ය. එයින් ඔහු සාර්ථක ප‍්‍රතිඵල ලැබූ බව ද පෙනුණි.

      රනිල් වික‍්‍රමසිංහගෙන් ප‍්‍රබල ආණ්ඩු විරෝධි කි‍්‍රයාකාරිත්වයක් මතුවන බවක් පෙනෙන්නේ නැත. මේ නිසාම පාක්ෂිකයන් තුළ පමණක් නොව ආණ්ඩු විරෝධී විශාල බලවේගයන් තුළ ද විපක්ෂ නායකයෙකු ලෙස රනිල්ගේ නායකත්වය ගැන කිසිදු විශ්වාසයක් නැත. රනිල් පාලනයට දක්ෂ විය හැක. නමුත් දේශපාලන වේදිකාවට හෝ සටන්බිමට දක්ෂයකු බව පෙනෙන්නේ නැත. රනිල්ට එරෙහිව පාක්ෂිකයන්ගේ කැරලි වැඩිවීමට හා ආණ්ඩුවේ ජයග‍්‍රහණයන් ඉහළින්ම තහවුරු වීමට මෙම තත්ත්වය ප‍්‍රබල ලෙස බලපා තිබෙන බව ඇත්ත ය. රනිල්ට විකල්පයක් ලෙස මතු වන හා සිරස වැනි මාධ්‍යයන් මගින් මතුකර දක්වන සජිත් පේ‍්‍රමදාස එහිලා රනිල් තරම්වත් කි‍්‍රයාකාරිත්වයක් පෙන්නුම් නොකරයි. සජිත් කරන්නේ පන්සල් ගානේ සල්ලි බෙද බෙදා යාම හා පක්ෂ නායකත්වය ඩැහැ ගැනීමට සිය කි‍්‍රයාකාරිත්වය කේන්ද්‍රගත කිරීමට මිස ආණ්ඩුවේ අත්තනෝමතික දූෂිත පාලනයට එරෙහිව ජනයා පෙළ ගැස්සවීමට කි‍්‍රයා කිරීම නොවේ.

      රනිල්, සජිත් බල අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස සජිත් පාර්ශවය කරු ජයසූරියව නායකත්වයට යෝජනාකර තිබේ. එජාපයේ නායකත්ව ගැටළුව සමතුලනය කර ගැනීමට සඳහා දෙපාර්ශවයටම නැති බව පෙන්වන කරු ජයසූරිය වැනි පුද්ගලයෙකුට වුව හැකි වේ ද යනු වෙනම ප‍්‍රශ්නයකි. කරු ජයසූරිය යනු අධිකාරී නොවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් පොහොසත් පුද්ගලයෙකු බවට කිසියම් මතයක් සමාජය තුළ පවතී. කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග වදිදිමින් ඔහු ජාතික දේශපාලනයට පිවිසි 1996 සිටම අධිකාරීවාදී නොවන පුද්ගලයෙකු ලෙස  පෙනී සිටීමට උත්සාහ කරන බව පෙනේ. නමුත් ඔහු ප‍්‍රබල ලෙස මහජන සහභාගිත්ව සහිත උද්ඝෝෂණ මෙහෙය විය හැකි ශක්තිමත් නායකයෙකු බව නොපෙන්වයි. අද ආණ්ඩුවේ අත්තනෝමතිකත්වය හමුවේ එජාපයට පමණක් නොව රටේ විපක්ෂ බලවේගවලට ද අවශ්‍ය වන්නේ විපක්ෂ වේදිකාවෙහි දක්ෂ සටන්කාමී නායකයන්  බිහි වීම ය. අද බලගතු විපක්ෂයක පැවැත්ම ආණ්ඩුවේ අත්තනෝමතිකත්වය පසු බැස්සවීම සඳහාවන ජනතා ක‍්‍රියාකාරිත්වය නගාලීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයිනි.

      එජාපයේ නායකත්ව අර්බුදය සමනය කරගැනීමට දායකවීම හෝ එයට උපදෙස් දීම අපට අදාළ නොවේ. එය අපට කළ හැකි හෝ කළ යුතු වූවක් ද නොවේ. එනමුදු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය තහවුරු කිරීමට විපක්ෂ බලවේග ශක්තිමත් වීම ඉතා වැදගත් හෙයින්් අප අපේ අදහස් දැක්වීම කරනුයේ ඒ ආස්ථානයේ සිට ඒතාක් දුරට පමණි.

ශී‍්‍රලනිප ආණ්ඩුවලට විකල්පව එක්සත් ජාතික පක්ෂයත්, එජාප ආණ්ඩුවලට විකල්ප ශී‍්‍රලනිපයත් තෝරා ගැනීම නිදහසින් පසු අද දක්වාම ලාංකීය ජනතාව සිදු කළ දෙයකි. මෙම පුද්ගල මාරු, පක්ෂ මාරු දේශපාලනයට එහා ගිය සමස්තයක් වශයෙන් රට වෙනස් කළ හැකි ප‍්‍රතිපත්තිමය වෙනසක් ඇතිකර ගැනීමට ශී‍්‍ර ලංකාව අපොහොසත් විය. මෙම පාපකර්මය නිසා මුළු රටත්, ජනතාවත් ගෙවා ඇති වන්දිය සුළුපටු නොවේ. ප‍්‍රතිපත්තිමය වශයෙන් රට වෙනස් කළ හැකි බලවේගයක් ගොඩනඟා ගැනීමත්, එය රට තුළ ජයග‍්‍රහණය කරවීමට කටයුතු කිරීමත්, සියලූ පීඩිත බලවේගවල වගකීමයි.

      අවාසනාවකට මෙන් ශී‍්‍රලනිපයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින වාමාංශික හා සෙසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග නොකරන්නේ ද මෙය යි. මෙම පක්ෂවලින් හා සංවිධානවලින් අති බහුතරයක් මමත්වය මත පදනම්ව ඉතාම අහංකාර ලෙස දේශපාලනය කරන සංවිධානයන් ය.

මෙම බොහොමයක් සංවිධානවලින් ,පක්ෂවලින් හා ඒවායේ සිටින පුද්ගලයන්ගෙන් හැම විටම වාගේ  සිදුවන්නේ කුඩුකේඩුකම් ය. පොදු මහජන ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගීමට දරණ හැම වෑයමක්ම විනාශ කරවීමේ කටයුතු ය. එම නිසාම ශී‍්‍රලනිප හා යූඇන්පී නොවන දකුණේ සෑම වාමාංශික හා වෙනත් සියලූ බලවේග ද ගමන් කරමින් සිටින්නේ අවනතියම කරා ය.

      මෙම තත්ත්වය තුළ මහජනතාව ද දේශපාලන අවබෝධයක් ඇතුව හෝ නැතිවම ආණ්ඩුවට සහයෝගය දෙන තත්ත්වයක් පවතී. තවත් විශාල කොටසක් කළ හැකි දෙයක් නොමැතිව බලා සිටිති. වෙනත් විකල්ප බලවේග මෙරට තුළ නොමැති බැවින් තමන් වටා පෙළ ගැසෙන ලෙස ජවිපෙ වැනි බලවේග මහජනතාවගෙන් ඉල්ලා සිටී. නමුත්  එය ද සැබෑ විකල්පයක් ලෙස ගොඩ නැගෙනවා වෙනුවට කරන්නේ පවතින දේශපාලන මඩ ගොහොරුවේ ම ගිලී දැ`ගලීම ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදු වචන මාලාවක් හෝ ව්‍යවස්ථාවක් හෝ නිතර නිතර මැතිවරණ පැවැත්වීම හෝ මාධ්‍ය නිදහස හෝ පමණක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ගෙඩ නැගීමට ඒවා වැදගත් වුවත් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් උදෙසා ප‍්‍රබල මහජන ව්‍යාපාරයක් අත්‍යවශ්‍යම දෙයකි. පොදු මහජනයා සම්බන්ධ කර ගත් දේශපාලන කි‍්‍රයාකාරිත්වයකින් හෙබි සජීවී ව්‍යාපාරයක් ලෙස මෙම බහුජන ව්‍යාපාරය පැවතිය යුතු ය. සැම විටම මහජනයා දැනුවත් කරන ඔවුන් සංවිධානය කරන කි‍්‍රයා මාර්ග ගැනීමකින් තොරව රටක යහ පාලනයකින් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් ගොඩ නගා ගත නොහැකි ය. මහජනයා පිටතින් තබා මාධ්‍ය මගින්, දේශන මගින් හෝ ව්‍යවස්ථාවකට කරුණු ඇතුළත් කිරීම මගින් එය තහවුරු වන්නේ නැත. අද ලංකාවේ මාධ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් පවතී. ප‍්‍රාදේශීය පුවත් ද ඇතුළුව පුවත් පත්ම 51 ට වැඩි ය. නමුත් හොරකම, වංචාව,දූෂණය එන්ට එන්ටම වැඩිවී ඇත.

1978 ව්‍යවස්ථාවේ මානව හිමිකම් රකින ප‍්‍රබල වගන්ති රැුසක් ඇත. නමුත් ඒවා ප‍්‍රායෝගික ලෙස  කි‍්‍රයාත්මක වීමට විශාල මුදලක් අවශ්‍ය ය. මානව හිමිකම් කඩ කිරීම මත සාමාන්‍ය ජනයාට අධිකරණයට යාම දුෂ්කර ය.

 මෙම තත්වයන් තුල රට තුළ ප‍්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් කළ හැකි ජන බලවේගයක් ගොඩ නැගීම වෙනුවෙන් සිය ප‍්‍රයත්නයන් යොමු කිරීම අද සැබෑ ප‍්‍රගතිශීලීන්ගේ කර්තව්‍යය  විය යුතු ය. නැතහොත් සිදු වන්නේ  නිදහසින් පසු මේ දක්වාම සිදු වූ පරිදි  යූඇන්පීය හෝ ශී‍්‍රලනිපය ප‍්‍රමුඛ සන්ධාන මාරුවෙන් මාරුවට බලයට පැමිණ රටත් ජනතාවත් විනාශ මුඛයට ගෙන යාම පමණි.



 
    

No comments:

Post a Comment