මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, October 18, 2011

”සරදියෙල්ලාගේ” නීතිය

රජිත රාජපක්ෂ
නීතිය අතට ගෙන කිසිදු පුද්ගලයෙකු කටයුතු නොකළයුතු අතර එසේ කටයුතු කරන  ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කිහිපවරක්ම ප‍්‍රකාශ කර තිබේ.   කිසියම් පුද්ගලයෙකු අපරාධයක් හෝ නීති විරෝධී කටයුත්තක නිරතවන්නේ නම් එ් බව පොලිසියට දන්වා පොලිසිය මඟින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරවා ගන්නා ලෙස ඔහු මහා ජනතාවගෙන් ද ඉල්ලීමක් කර ඇත. අපූරු ය! 
 
ඇත්තෙන්ම ආරක්ෂක ලේකම්වරයා මේ තර්ජනාංගුලිය එල්ල කරන්නේ කාට ද?   මෑත කාලයේ දී ශී‍්‍ර ලංකාව පුරා පැතිරී යන ගී‍්‍රස් යකා නම් විකාර සහගත සිතුවිල්ල හේතු කොට ගෙන ගැටුම්කාරී තත්වයක් ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල ඇතිවිය. එම හේතුව නිසාම අහිංසක පුද්ගලයන් කිහිප දෙනෙකු මිය ගිය අතර තවත් බොහෝ කොටසක් විවිධ ප‍්‍රහාරවලට හා පොලිස් අත් අඩංගුවට පත්විය. පහර කෑ පුද්ගලයන් අතර ඉන්දියානු ඉංජිනේරුවන් දෙදෙනෙකු ද විය.  අපි ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශයේ කිසිදු වරදක් නොදකිමු. ඔව්, කිසිදු පුද්ගලයෙකුට නීතිය අතට ගෙන කි‍්‍රයා කිරීමට ඉඩ දිය යුතු නැත. නීතිය කි‍්‍රයාත්මක විය යුත්තේ රටේ පවතින නීතියට අනුව හා පොලිසිය ඇතුළු එ් සඳහා නිසි බලයක් ඇති රජයේ නිලධාරීන් හරහා ය. එහෙත් අද රටේ සිදු වන්නේ කුමක් ද? නීති කඩන්නේ කවුරුන් ද? මහ ජනතාව ද?  ගී‍්‍රස් යකුන් පිළිබඳව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙකු වන මර්වින් සිල්වා කැලණියේදී කරන ප‍්‍රකාශය මෙසේ ය.  ”කැලණියේ එක ගී‍්‍රස් යකෙකුටත් මම ඉඩ දෙන්නේ නැහැ. එහෙම එවුන් ඉන්නවා නම් කරුණාකර මට දැනුම් දෙන්න. මම ඌව අල්ලාගෙන එතැනම ඉවර කරනවා. ඌ සොහොන් බිමේ මම හිර ගෙදර (මර්වින් සිල්වා තමාගේ ජංගම දුරකථන අංකය ද ජනතාවට දැන්වීය.) 
නීතියට අනුව නම් මර්වින් සිල්වාට මිනිසුන් මරන්නට, ගස්බදින්නට හෝ පහර දීමට නොහැකි ය. මර්වින්ට පමණක් නොව එය වෙනත් දේශපාලඥයෙකුට, පොලිසියට හෝ රජයේ කිසිදු නිලධාරියෙකුට ද කළ නොහැකි ය. කිසියම් අපරාධයක් සිදු කළ පුද්ගලයෙකු සිටී නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පොලීසියේ වැඩකි. දඬුවම නියම කරන්නේ අධිකරණයේ කාර්යයකි.  ආරක්‍ෂක ලේකම් නීතිය අතට නොගන්නා ලෙස ජනතාවට තරවටු කරන අතර එසේ කළහොත් මුහුණ දෙන්නට වන කරදර ගැන ද මතක් කර සිටී. නමුත් ආණ්ඩුවේ ම කැබිනට් ඇමැතිවරයෙකු කැලෑ නීතිය කි‍්‍රයාත්මක කරන ආකාරය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරයි. ප‍්‍රකාශවලින් එහාට ගොස් අවස්ථා කිහිපයකදීම මෙම ඇමැතිවරයා කැලෑ නීතිය කි‍්‍රයාත්මක කළ අයෙක් ද වෙයි.   එහෙත් මහ ලොකුවට සිංහනාද දෙන ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා තම පිලේ දේශපාලඥයන්ට හෝ හෙංචයින්ට නීතිය කි‍්‍රයාත්මක කළ කිසිදු අවස්ථාවක් අප දැක නොමැතිවා පමණක් නොව කරනුයේ තමා සමග නම් තමන්ම රටේ නීතිය උල්ලංඝනය කරමින් ඔවුන් රැුක ගැනීම ය.  කැලණිය ප‍්‍රාදේශීය සභාවට ව්‍යාපාරිකයන් ඇතුළු එම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ පුද්ගලයන් රු. කෝටි ගණනක වරිපනම් බදු ගෙවා නැත. මෙය වහා අයකර ගත යුතු බව සැබෑ ය. අවශ්‍ය නම් නීතිය කි‍්‍රයාත්මක කොට මෙම මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම එම ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ වැඩකි.  නමුත් සිදුවන්නේ එවැනි කි‍්‍රයාමාර්ගයක් නොවේ. මර්වින් සිල්වා සරම කැහැපට ගහ ගෙන ගොස් වරිපනම් බදු ගෙවා නැති හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන සීල් තැබීමට කටයුතු කිරීම ය.  ධර්මාලෝක පාසලට පිහිනුම් තටාකයක් ඉදිකිරිම සදහා ළමුන් ගෙන් විශාල ලෙස මුදල් අයකිරිමට එරෙහිව මෙම පාසලේ දෙමව්පියන් ගෙන් කිසියම් විරෝ්ධයක් හට ගෙන තිබේ මෙසේ විරෝධය දැක් වු පුද්ගලයෙකුට මර්වින් සිල්වා පහර දෙන අයුරු  ජනමාධ්‍ය මගින් මුළු රටට ම ප‍්‍රදර්ශනය විය. මේ කි‍්‍රයාත්මක වන්නේ රටේ නීතිය ද?  වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරිමල  කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය වැනි වැරදි සදහා නීතිය ක‍්‍රියාත්මක කළ යුත්තේ පාරිභෝගික අධිකාරිය යිග අද මර්වින් සිල්වා එම කාර්යන් ද භාරගෙන සිටිග    හලාවත මූන්නේෂ්වරම් කෝවිලේ පැවැත්වීමට උත්සාහ කළ බිලි පූජාවට එරෙහිව බෞද්ධ, කතෝලික යන බහුතර ජනතාවගේ විරෝධය කිහිපවිටක්ම පලවී තිබුණි. නොබෝ දා පැවැත්වීමට නියමිතව තිබු බිලි පූජාවකට එරෙහිව සත්ව ආරක්ෂක සංවිධානය විසින් අධිකරණය මඟින් තහනම් නියෝගයක් ලබා ගත්තේ ය. එම නිසා යොදා ගත් නියමිත දිනයට එය කිරීමට කෝවිලේ පූජකයන්ට නොහැකි විය.  බිලි පූජාව යනු ම්ලේච්ඡු තිරිසන් කි‍්‍රයාවක් බව සැබෑය. එයට එරෙහිව මතයක් සමාජය තුළ ඇති කළ යුතු බව ද සැබෑ ය.  මේ අතර තුර මැර කණ්ඩායමක් සමඟ මුන්නේෂ්වරම් කෝවිලට කඩා වැදුනු මර්වින් සිල්වා බිලි පූජාවට නියමිතව සිටියේ යැයි විශ්වාස කළ එළුවන් හා කුකුළන් ට‍්‍රැක්ටරයකට දමා හලාවත පොලිසියට ගෙන ගිය බව මාධ්‍ය වාර්තා කළේ ය. සියලූම සතුන් පොලිසියට ගෙන ගියේ ද නැද්ද අපි නොදනිමු.  මර්වින් සිල්වාගේ මෙම කි‍්‍රයා මාර්ගය පිළිබඳව මහානාහිමියන්ගේ ප‍්‍රසාදය පලකළ බව ද පුවත්පත්වල පල වී තිබුණි. දිවයින පුවත්පතේ කර්තෘවරයා ද සිය කර්තෘ සටහන මඟින් මෙම කි‍්‍රයාමාර්ගය අගේ කොට තිබුණි.  උසාවිය මඟින් තහනම් කළ සිද්ධියක් පිළිබඳව සෙසු කි‍්‍රයාමාර්ග ද පිළිගත් නීතිමය ආකාරයට ගත යුතුව තිබුණි. එය පොලීසියේ හා නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනවල වගකීමකි.   මර්වින් සිල්වාගේ මෙවැනි සරදියෙල් පන්නයේ කි‍්‍රයාමාර්ග කැලෑ නීතියේ කි‍්‍රයාමාර්ගයන් ය. මේවා කිසි විටකත් සමාජයකින් අනුබලය නොදිය යුතු කි‍්‍රයා ය. ඉන්දියාවේ වීරයන්, ලංකාවේ සරදියෙල්ලා ද මෙවැනි ආකාරයේ කි‍්‍රයාමාර්ග අනුගමනය කර තිබේ. වීරප්පන්ලා හා සරදියෙල්ලා සමහර අවස්ථාවල දානපතියන්ගෙන් මුදල් දේපල, සොරකම් කොට දුප්පතුන්ට බෙදා දුන් අවස්ථා තිබුණි. නමුත් ශිෂ්ට සම්පන්න ලෝකය මෙවැනි බලහත්කාරකම් පිළිගත්තේ නැත. එ්වාට උඩ ගෙඩි දෙන්නේ ද නැත. අප රටේ මහා නාහිමිවරු ද මෙවැනි කි‍්‍රයා අගය කිරීම මහත් අවාසනාවකි.   මෙයින් දිරිමත් වී ඇති මර්වින් සිල්වා ලංකාවේම ගවගාතකාර බලෙන් වැසීමට කටයුතු කරන බව පොරොන්දු ශී‍්‍ර ධර්මාලෝක විද්‍යාලයේ උත්සවයකට සහභාගිවෙමින් කළ ප‍්‍රකාශය මාධ්‍යවලින් වාර්තා කර තිබුණි. මේ ආකාරයේ කැලෑ නීතිය මැරයන්ට කි‍්‍රයාත්මක කිරීමට ඉඩදී රටේ බලධාරීන් ද නිශ්ශබ්දව සිටිති. එහෙත් මස්කඩ පවත්වාගෙන යාමට අවසර දී ඇත්තේ නීතියෙන්ම ය. එය ආගමික දෘෂ්ටියට පටහැනි විය හැක. මත්පැන් ද ආගමික දෘෂ්ටින්ට පටහැනිය. නමුත් නීතිමය අවසර ඇතිව මත්පැන් නිපදවීම හා අලෙවිය සිදු වේ. ආණ්ඩුවේ ආදායම් මාර්ගවලින් ප‍්‍රධාන එකක් වන්නේ මත් පැනෙන් ලැබෙන බදු ය. ගව ගාතකාගාර පවත්වාගෙන යාම සුදුසු නොවේ නම් එ් සඳහා නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන රටේ පවතින නීතිය අනුව කටයුතු කල යුතුයි. මර්වින් සිල්වා වැනි මැර ඇමැතියකුට කැලෑ නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉඩ නොදිය යුතු ය. එමෙන්ම සිදුවන්නේ මුළු සමාජයේම නීතිය හා පාලනය බිඳ වැටී ගොස් සරදියෙල් පන්නයේ නීතිය රට තුළ කි‍්‍රයාත්මක වීමයි.  දේශපාලනඥයින්ගේ කාර්යභාරය වන්නේ රටේ යහපැවැත්මට අදාල නීති රීති සකසා එවා පාර්ලිමේන්තුව මඟින් සම්මතකර ගැනීම කටයුතු කිරීමයි. එසේ සම්මත කරගත් නීති කි‍්‍රයාත්මක කිරීමේ බලය ඇත්තේ දේශපාලනඥයනට නොව රජයේ නිලධාරීන්ට ය. එයට ද පිළිගත් ක‍්‍රමවේදයක් පවතී. අනෙක් අතට පැරණි උපහරණයකින් කීවොත් ”බල්ලගෙ වැඬේ බූරුවා කිරීම නොවේ.”  නමුත් මර්වින් සිල්වා මෙම හැම අවස්ථාවලම කටයුතු කර ඇත්තේ නීතිය තම අතට ගෙන ය. මර්වින් සිල්වා පමණක් නොව ආණ්ඩුවේ විවිධ මට්ටමේ දේශපාලනඥයින් රටේ පවත්නා නීතිය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා කටයුතු කරන බොහෝ අවස්ථා අප දැක තිබේ. නමුත් ඔවුන්ට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් නැතුවා පමණක් නොව ඔවුන්ගේ කි‍්‍රයාමාර්ගයන් අනුමත කරන තත්ත්වයක් රජයේ ප‍්‍රබලයන් දක්වන නිහඬතාවයෙන් පෙනේ.  රටේ නීතිය ගැන මහ ලොකුවට කථා කරන ආරක්ෂක ලේකම්වරයා මෙවැනි කි‍්‍රයාමාර්ගයන් ගැන නිශ්ශබ්ද වීමෙන් පෙන්නුම් කරන්නේ ඒවා නිකම් බොරු බයිලා බව ය. නැතිනම් ඔහුට නැවැත්විය හැකිය. ආරක්ෂක ලේකම් යනු අද රට තුළ ජනාධිපතිවරයාට පමණක් දෙවෙනි වන අයෙකි. එහෙත් ඔහු හා රටේ ප‍්‍රධාන පුරවැසියාවන ඔහුගේ වැඩිමහල් සොහායුරු ජනාධිපතිවරයා රටේ නීතියට ගරු කරන්නේ කෙසේ ද යනු මර්වින් හා  දුමින් ද සිල්වලා වැන්නන්ට දක්වන අනුග‍්‍රහයෙන් පෙනේ.   ජනාධිපති, ආරක්ෂක ලේකම් ඇතුළු රජයේ ප‍්‍රධානීන්නට අප මතක් කර දිය යුත්තේ පළමුව තමන්ම නීතිය ආරක්ෂ කර හා තම ගෝලබාලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කොට නීතියේ සාධාරණත්වය හා තම ප‍්‍රකාශවල අව්‍යාජ බව පෙන්වන ලෙස ය. එසේ වන විට පොදු මහජනතාව ද නීත්‍යානුකූලව හැසිරීමට උත්සාහ කරනු ඇත.   මහත්වරුනි,  ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට!

No comments:

Post a Comment