මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, December 27, 2011

නැසෙමුද නැතිනම් රැකෙමුද

  
රජිත රාජපක්ෂ-    

  ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු යාපනය ප‍්‍රදේශයේ දී අතුරුදහන් විය. සිය සංවිධානයේ දේශපාලන කටයුතුවල නිරත වී සිටියදී මෙසේ අතුරුදහන් වී ඇති බව ජන අරගල ව්‍යාපරය පවසයි.මෙම ලියන මොහොත දක්වාම ඔවුන් අත් අඩංගුවට ගත් බවක් හෝ රදවාසිටින තැනක් රජය ප‍්‍රකාශ කර නැත මෙය අවනීතික පැහැර ගැනීමක් බවට මෙයින් මනාව පෙන්නුම් කරයි

  දශක තුනකට ආසන්න කාලයක සිට මිනිසුන් අතුරුදහන්වීම්, පැහැරගැනීම් හා මරාදැමීම්මවලින් අඩුවක් ශී‍්‍ර ලංකාවේ නැත. දරුණු යුධ ගැටුමක නිමාවකින් පසුවත් මෙවැනි තත්ත්වයන් ඉවත් වී සමාජය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් නිර්මාණය වීම දැකීම සියලූ ජනතාවගේ ප‍්‍රාර්ථනය විය.

  2009 මැයි මස සිදු වූ ප‍්‍රභාකරන්ගේ ඝාතනයත් සමඟ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ කි‍්‍රයාකාරිත්වය සහමුලින්ම අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජය සමත් විය.

  අලූතින් නිර්මාණය වූ මෙම තත්වය තුළ දකුණට පමණක් සීමා වී තිබූ බොහෝ දේශපාලන පක්ෂ තම දේශපාලන කි‍්‍රයාමාර්ග උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. ඇත්තෙන්ම මෙය හොඳ ප‍්‍රවණතාවයකි. එක්තරා ප‍්‍රදේශයකට පමණක් සීමා වී දේශපාලනය කරමින් සිටි ජාතික දේශපාලන ව්‍යාපාර යැයි කියාගත් සංවිධානවලට මුළු රටේම දේශපාලන කටයුතු කිරීම අගය කළ යුත්තකි. තම ජාතියට, තම ප‍්‍රදේශවලට පමණක් සීමා වී දේශපාලන කටයුතුවලට මැදිහත් වූ දෙමළ සමාජයට ද රට තුළ පවතින ජාතික දේශපාලන බලවේග සමඟ එක්ව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් දෙයකි.

 වෙනම රාජ්‍යයක් පාදක කරගනිමින් දරුණු සන්නද්ධ කි‍්‍රයාකාරීත්වයක යෙදී සිටි දෙමළ සමාජය දකුණේ දේශපාලන සමඟ සම්බන්ධ වී දේශපාලන කටයුතු කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුත්තකි. ඇත්තෙන්ම මෙම තත්වය තව තවත් දිරිගැන්වීමට කටයුතු කිරීම වගකිව යුතු රජයක යුතුකමකි.

  නමුත් සිදුවීම් සිදුවන්නේ එසේ නොවේ. එවැනි දේශපාලන කි‍්‍රයාකාරකම්වල නිරතවීමට උත්සාහ ගන්නා ආණ්ඩුවේ නොවන දෙමළ හෝ සිංහල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, පැහැර ගැනීම, පහරදීම, අතුරුදහන් කිරීම හා මරා දැමීමය. උතුරේ හෝ දකුණේ දේශපාලනය කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලන බලවේග පමණක් නොවේ. ඒ අයිතිය විපක්ෂ බලවේගවලටද තිබිය යුතුය. රටේ  ඕනෑම ප‍්‍රදේශයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස දේශපාලන කටයුතුවල නිරත වීමට ආණ්ඩුවේ අවසර පත් අවශ්‍ය නැත. එය නිකමට හෝ තිබෙන ආණ්ඩුවක ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති දෙයකි.

  රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ඇති කිරීම ගැටුම් නිර්මාණය වීම වැළැක්වීමට හා සාමය ස්ථාපිත වීමට ගත හැකි හොඳම කි‍්‍රයාමාර්ගයයි. එසේ නොමැතිව රටේ ධනය මිලියන ගණන් වැය කරමින් වසර ගණන් කාලය වැය කරමින් බොරු කොමිසං සභා පිහිටුවීම හෝ බොරු වාර්තා සැකසීම නොවේ.

  අතුරුදහන් කිරිම්, පැහැරගැනීම්, මරා දැමීම් ඇතුළු මානව හිමිකම් කඩකිරීම් ගැන ජාත්‍යන්තර වශයෙන් ද ප‍්‍රබල චෝදනාවන්ට ලක් වී ඇති පාලන තන්ත‍්‍රයක් ඒ ගැන කිසිදු තැකීමක් නොකර තම සුපුරුදු මිලිටරිකරණ කි‍්‍රයාවලිය දිගටම පවත්වාගෙන යන තත්වයක් පවතී. මෙම සියලූ අවනීතික කි‍්‍රයා ඉදිරියේ රටේ නීතිය කි‍්‍රයාත්මක කරන අංශ දක්වන නිද්‍රාශීලිත්වය දෙස බලන විට මේවා පාලන තන්ත‍්‍රයේ අනුග‍්‍රහය මත සිදුවන කි‍්‍රයාවන් බවට මතුවන සැකය බැහැර කළ නොහැකිය.

  මූලිකවම විපක්ෂ බලවේග මුල්කරගනිමින් සිදුවන මෙම අවනීතික කි‍්‍රයාවලියට ආණ්ඩු පක්ෂයේ අයද ගොදුරුවිය හැකි බව භාරත ඝාතනයෙන් මනාව පෙන්නුම් කළේය. භාරත මෙහි ප‍්‍රථමයා හෝ අවසානයද වන්නේ නැත.

  මෙම බැරැරුම් තත්වය පිළිබඳව විපක්ෂයේ සියලූ බලවේග මෙන්ම, ආණ්ඩු පක්ෂයේද ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග නිසි අවධානයක් යොමු කොට කි‍්‍රයාත්මක නොවුන හොත් අප සියලූ දෙනාටම අවසානයේ කියන්නට සිදුවන්නේ මාටීන් නීමොලර් ගේ වදන් පෙළ පමණි. අවසානයේ අපි වෙනුවෙන් කථා කිරීමට කිසිවෙකු ඉතිරි වී නොසිටියේය යන්නයි.



No comments:

Post a Comment