මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Monday, September 19, 2011

න්‍යායික මිලින්ද මොරගොඩ ප‍්‍රයෝගික ගෝඨාභය හා කොළඹ නගරය


 මහ  නගර සභා හා නගර සභා කිහිපයක කල් තැබූ මැතිවරණ එළඹෙන ඔක්තෝබර් 8 දිනට පැවැත්වීමට නියමිත ය. ඒ අතරින් කොළඹ මහ නගර සභා ඡන්දය මත රාජපක්ෂ පාලනය යොදන බර අනුව පැහැදිලි වන්නේ එය කෙසේ හෝ තම පාලනය යටතට ගැනීමට එම පාලනය දරන උත්සාහයේ තරම ය. ඒ සඳහා තිරය පිටු පස සිට කැපවී ක‍්‍රියා කරන්නේ ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ බවට වාර්තා වෙයි. කොටින්ම සන්ධානය වෙනුවෙන් නගරාධිපති ධූරයට මිලින්ද මොරගොඩ යෝජනා කෙළේ පවා ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ උවමනාවට බව කියවෙයි. කොළඹ පොහොසතුන්ගේ පාරාදීසයක් කිරීමේ රාජපක්ෂවරුන්ගේ සිහිනයට අනුව කොළඹින් දුප්පතුන් පළවා හැර එය ශුද්ධ කිරීමේ වගකීම දරන්නා වී ඇත්තේ ද ගෝඨාභය ය. එහෙත් ඔහුගේ ක‍්‍රමය දිරවා ගත නොහැක්කක් බව රාජපක්ෂවරුන්ටම දැනී ඇත. එම නිසා මහත්මයෙකු ලෙස පෙනී සිටිමින් මේ කාර්ය ඉටු කළ හැකි හා දණ්ඩෙන් බිය වැද්දීමෙන් ම නොව මන්ත‍්‍රණයෙන් ජනයා මුලා කළ හැකි අයෙකු කොළඹ පුරපති පුටුවෙහි ස්ථානගත කිරීම ඔවුන්ට අවශ්‍ය වූ සෙයකි. මිලින්ද මොරගොඩ ඔවුන්ගේ තෝරා ගැනීම වූයේ එකී අවශ්‍යතාවෙනි.

ගෝලීය ධනවාදය පිළිබඳ න්‍යායික හැදෑරීමක් ඇති ඒ වගේම ඒ ගැන දැඩි උනන්දුවක් දක්වන හා අවබෝධයෙන් යුතුව ගෝලීය ධනවාදය සමග එක්තැන්ව සිටින මිලින්ද මොරගොඩට එජාපයේ ඇමතිවරයෙක් වශයෙන් සිටියදී මුන්පත් කර ගැනීමට කාලවේලා නොතිබූ ගෝලීය සිහිනය කොළඹ දී නමුත් ඉටුකර ගැනීමට දැන් දේශප්‍රෙමී බටහිර විරෝධී රාජපක්ෂලා විසින් අවස්ථාව ලබා දී තිබීම අපූර්ව ජනක ය.  ගෝලීය ධනවාදී මාවතේ ගොරහැඩි  මිලිටරි ක‍්‍රමයකට ඉදිරියට යන්න තැත් දරන ගෝඨාභය රාජපක්ෂගේ තේරීම ඔවුන්ට අනුව නරකම නැත. මේ විදියට  කොළඹ නගර සභාවේ ඔවුන්  එකිනෙකා  මුණ ගැසීම කිසිසේත්ම අහඹුවක් නොවේ. න්‍යායික හා ප‍්‍රායෝගික සැබෑ එකතුවකි.  ඔවුන් දෙන්නාගේ ක‍්‍රමවේද දෙක එකිනෙක  උණපුරණය කර ගන්නා විට කොළඹ පැල්පත් වාසී ජන සමූහයාට දෙවියන්ගේම පිහිට ය.!  

Wednesday, September 14, 2011

එජාපයේ නායකත්ව සටන හා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

රජිත රාජපක්ෂ
      එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව සටන නැවැත වතාවක් කරලියට පැමිණ තිබේ. රනිල් වික‍්‍රමසිංහ නායකත්වයට පත් වූ දින සිට වාර ගණනාවක් ම ඔහුට එරෙහි අරගලයක් ඉස්මතු විය. එම අරගල කරුවන්ගෙන් විශාල පිරිසක් අද වන විට සිටින්නේ එක්සත් ජාතික පක්ෂය හැර ගොස් රාජපක්ෂ සෙවනේ ය.

Wednesday, September 7, 2011

මින් ඉදිරියට ඉඩම් විකුණන්නේ නෑ





විදේශිය ආයෝජකයන් වෙනුවෙන් මින් ඉදිරියට ඉඩම් විකුණන්නේ නැති බවත් ඒ වෙනුවට 30 අවුරුදු බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන අගෝ. 2 දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශකර ඇත.


ආණ්ඩුව රජයේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට දිගට හරහට විකුණමින් ගියේ හරියටම තම පරම්පරා බූදලයක් විකුණනන්නාක් වගේ ය. එහිදී විශාල වශයෙන් වංචා දූෂණ සිදුවී ඇති බවට විපක්ෂ පක්ෂ හා විකල්ප පුවත්පත් ස`ගරා ආදිය මගින් හෙළිදරව් කෙරුණි. ඒවාට නෑසූ කන් ඇතිව සිටි ආණ්ඩුව දැන් හදිසියේම තිස් අවුරුදු බද්දකට පස්ස ගසා ඇත. අප හිතනවට වැඩිය ජනාධිපති මහින්ද රාජපක්ෂට- ඔහුගේ පැත්තෙන් දුර පෙනෙන බව සිතේ. පහුගිය කාලෙ තුෂ්ණිම්භූතව සිටි ජනයා ග‍්‍රීස් යකා ආවේශයෙන් හමුදා කඳවුරු වටකරන්න ගත්ත වගේ පන්නා දමන නාගරික පැල්පත් වාසීන් ගෙවල යකා ආවේශයෙන් කොළඹ නගරෙ හොල්මන් කරන්න ගත්තොත් ඉහගෙන කෑම කොහොමවුනත්  බාගෙන කන්නවත් වලක් ඉතිරිවෙන එකක් නැතිවෙලා යන්න පුළුවන් කියල හිතුනා විය හැකි ය. ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල සිදුවූ දේ අනුව තමන්ට මෙන්ම පුතාටත් පවුලටත් යන කලදසාව  ගැනත් හිතුනා විය හැකි ය.


මීටත් වඩා ලක්ෂමන් යාපා නි. ඇමතිතුමාගේ කථාවේ තවත් රසවත් කොටසක් ඇත. ඒ එ. ජා. ප. පාලන කාලයේ අක්කරය රු. 300 ක් වගේ සුළු මුදලකට ඉඩම් බදු දී ඇති බවට ඔහු චෝදනා කිරීම යි. ඉතිං ලක්ෂමන් යාපා ද එදා එජාප ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඇමතිවරයෙකුව සිටියා නොවේ ද? එදා ඔහු  ඒවා අනුමත කළා මිස විරුද්ධවූ බවක් අපට අසන්නට නම් නැත. මෙදා ද ඔහුගේම ඇමති ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඉඩම් විකුණද්දී ඒවා සාධාරනීකරණය කළා මිස ඒවාට විරුද්ධ වූයේ නැත. වැරදි යයි කීවේ නැත. එදා මෙදා ඔහුගේ මේ බයාදු නිවට හැසිරීමෙන් ඔහු උපයාගෙන ඇත්තේ නි. ඇමති තනතුරක් විතරක් ම ය.