මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, July 30, 2011

අද දේශපාලනය තුළ ජවිපෙ භූමිකාව

 මේ වනවිට ජවිපෙ උතුරේ දෙමළ ජනතාව අතරට තම හ`ඩ ගෙනයාමට මහත් වෑයමක් දරණ බවක් පෙනෙන්ට තිබේ. එය දෙමළ සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන්  හා යුද්ධයේදී අතුරුදහන්වූ දෙමළ ජාතිකයන් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි  නියැලෙයි.  කිළිනොච්චිය වැනි හමුදා පාලනයට දැඩි ලෙස නතුව ඇති ප‍්‍රදේශවල පවා දෙමළ ජනතාව සමගින් වීදිවලට පිවිසීමට උත්සාහ දරමින් සිටී. රාජපක්ෂ විරෝධී වාම කණ්ඩායම් පක්ෂ හා ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්   කොළඹ කේන්ද්‍ර කරගත් වේදිකා මතින් වැඩිම වුනොත් කොටුව දුම්රිය පළ ඉදිරිපිට පදික වේදිකාව මතින් හෝ ලිප්ටන් වටරවුමේ පදික වේදිකව මතින් ඔබ්බට යා නොහැකි තරමට දුර්වලව හා  අසංවිධිතව සිටින තත්ත්වයක් යටතේ ජවිපෙ මේ ක‍්‍රියාකාරිත්වය සැලකිය යුතු වැදගත්කමක් දරයි. ඒ පරිද්දෙන් ම ලංකා පුවත්පතෙහි පලවෙන සමහර ලිපි තුළින්  හා එහිම ජවිපෙ නායකත්වය සමග කෙරෙන සම්මුඛ සාකච්ඡා ආදිය  මගින් ප‍්‍රකාශවන මතයන්   විශේෂයෙන් දෙමළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ප‍්‍රකාශවන මතයන් මෑත කාලීන ජවිපෙන් ප‍්‍රකාශ නොවූ ආකාරයේ මතයන් ය. ඒවා  බරපතල අවුල් සහගත තත්ත්වයක පැවතිය ද යම් දුරකට ප‍්‍රගතිගාමී ප‍්‍රවනතාවක්  පිළිබිඹු කරන බව පෙනෙන්නට තිබේ. එහෙයින් එම මත ඒ මේ අත පෙරළා විමසා බැලීම අද දේශපාලනය තුළ වැදගත් යයි සිතමු.
  දෙමළ ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම දැන් අර කමිටුවෙන් මේ කමිටුවටත් මේ කමිටුවෙන් අර කමිටුවටත් විසි වෙමින් පවතී. රාජපක්ෂ ආණ්ඩුවට එය විසඳීමට කිසිදු උවමනාවක් නැති බව අපි දිගින් දිගටම පෙන්වා දී ඇත්තෙමු . 2016 වන තෙක්ම විධායක ජනාධිපති බලය සින්නක්කරව හිමිකරගෙන තිබියදීත් මහින්ද රාජපක්ෂ මෙසේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම මග හරින්නේ ඇයි? පාර්ලිමේන්තුව තුළ  ආණ්ඩු බලය රැුක ගැනීමේදී සිංහල ජාතිකවාදීන්ගේ සහයෝගය නොලැබේය යන බිය නිසා ද? එය එසේ විය නොහැකි ය. මක්නිසා ද හෙළ උරුමය හා විමල් වීරවංශගේ කල්ලිය එකතු කළත් එතැන ඇත්තේ මංත‍්‍රී ධූර 6 ක් පමණි. ඒ අනුව ඒ පිරිසේ සහාය නොලැබුණත් ආණ්ඩුවට අති බහුතරයක් ඇත. අනෙක් අතට හෙළ උරුමය බලය බෙදීමට දැඩි විරෝධයක් දැක්වීම දැන්  තරමක් හකුලාගෙන ඇත. විමල් වීරවංශගේ දේශපේ‍්‍රමය දැනටමත් රාජපක්ෂ ත‍්‍රිත්වය ඉදිරියේ වාෂ්ප වී ඇත. ජාතික ප‍්‍රශ්නය විසඳීමේ යම් යෝජනාවක දී ආණ්ඩුවේ එක ද ඇමතිවරයෙක් හෝ මංත‍්‍රීවරයෙක් ජනාධිපතිවරයාට අභියෝගයක් නොවනවා ඇත. ඒ වැල යන අතට මැස්ස ගැසීමට ඔවුන් අති දක්ෂයන් වන නිසා ය. එසේ නම් ඇයි මේ කල් මැරිල්ල? හේතූන්  පාර්ලිමේන්තුවෙන් පිටත පවතින බව අපේ වැටහීම යි.

රාජපක්ෂ පාලක කල්ලියේ ආර්ථික වසන්තය වැඩිමනත් රැඳී ඇත්තේ උතුරේ ය. උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යපෘති සියල්ල රාජපක්ෂ පවුලේ සාමාජිකයන් යටතේ පවතී. සංචාරක හෝටල් සඳහා මුහුදු වෙරළ හා දූපත් ද රට අභ්‍යන්තර ඉඩම් අක්කර දහස් ගණනින් ද ඔවුන් පවුලේ දේපළ මෙන් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ට විකුණමින් සිටිති. දෙමළ ජනතාව අතර නිසි බලය බෙදීමක් කරන්නේ නම් රාජපක්ෂ සහෝදර සමාගමේ මේ ව්‍යාපෘතීන් ඔවුන්ගේ අතින් ගිලිහී යනවා ඇත. නැතිනම් දෙමළ ජාතික පාලනය යටතට පත්වෙනවා ඇත. ඊට ඔවුන් කොහෙත්ම සූදානම් නැත. ඒ නිසා බලය බෙදීම හැකි තාක් පස්සට දැමිය යුතුම ය.

ඊළ`ගට ඹවුන්ගේ මිලිටරි උපායික සැලසුම් ද බලය බෙදීමකට හරස්ව ඇත. ඔවුන් උතුරු නැගෙනහිර පුරා හමුදා කඳවුරු ජාලයක් ගොඩ නැගීමේ යෙදී සිටී. ඒ සඳහා අවශ්‍ය ඉඩම් දැනටමත් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇත. ඉදිරියේදී ද එසේ තව තවත් අලලාගන්නවා ඇත.  ඒවායේ රඳවන විශාල භට පිරිස්වල අමතර කාලය ගොවිතැන් කටයුතු සඳහා යෙදවීමට තවත් කෘෂි ඉඩම් අල්ලා ගත යුතු ය. මේ සියල්ල දැනටමත් සිදුවෙමින් පවතී. බලය බෙදීමකදී ප‍්‍රබල ලෙස මතුවන එක් ප‍්‍රශ්නයකි ඉඩම් බලතල පිළබඳ ප‍්‍රශ්නය. ආර්ථිත හා මිලිටරි උපායික සැලසුම් කවර අකාරයක බලය බෙදීමකින් වුව ද වෙනස් කළ නොහැකි පරිදි තහවුරු කරගන්නා තෙක්   දේශපාලන විසඳුම් හැකිතාක් පස්සට දැමිය යුතු ය. මේ හැර දේශපාලන විසඳුමකට ඇති බාධාවක් තවත් තිබිය නොහැකි ය. ඉන් අනතුරුව දැඩි සේ කප්පාදුවට ලක්වූ විසඳුමක් දෙමළ ජනතාව වෙත පැටවීමට තැත් දරනවා ඇත. මේ  තත්ත්වය ඉන්දීය, චීන හා බටහිර බලවේගයන්ගේ ආර්ථික හා දේශපාලන උවමනා එපාකම් හා ගැලපෙන නිසා දෙන දෙයක් අරගන්න යයි ඔවුන් ද දෙමළ ජනතාවට කියනවා ඇත. එහෙත් දකුණු ඉන්දීය තෙරපුම ද වැදගත් සාධකයක් වන නිසා සහ දෙමළ ජාතික සංධානය ද 18 වන සංශෝධනයෙන්  පහළට බැසීමට සූදානම් වනු ඇතැයි සිතිය නොහැකි නිසා  මේ සිදුවීම් සුමටව සිදුවනු අතැයි විශ්වාස කිරීමේ හැකියාවක් නොමැත.

එජාපය මෙහිදී අනුගමනය කරන්නේ ඇ`ග බේරා ගැනීමේ ප‍්‍රතිපත්තියකි. දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ යෝජනා ප‍්‍රථමයෙන් ඉදිරිපත් කරන ලෙසත් ඊට පසු තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන බවත් එජාපය කියයි. කොක්කක් ඇදීමේ කුහක චේතනාව මෙහි ගැබ්ව ඇත. ඒ හැර තමන්ගේ යෝජනා රට හමුවේ තබා ඒ වෙනුවෙන් අරගල කිරීමට තරම් කොන්ද පණ නැතිවීම ද ඉන් ප‍්‍රදර්ශනය කෙරෙයි.

රටේ අනෙක් නොතකා හැරිය නොහැකි විපක්ෂ බලවේගය වන ජවිපෙ ද මේ සම්බන්ධයෙන් ඉන්නේ නිවැරදි තැනක යයි කියන්නට බැරි ය.
2011ජුලි 03 ලංකා පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට  සහභාගි වෙමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික අනුර කුමාර දිසානායක ජාතික ප‍්‍රශ්නයට අදාළව ඔහුගෙන් අසා ඇති ප‍්‍රශ්නවලට  නිශ්චිත හා නිරවුල්   පිළිතුරක්  සැපයීමට අපොහොසත් වී  ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

දෙමළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් 1977සහ 85 අතර කාල පරිච්‍ඡදයේදී ජවිපෙ ස්ථාවරය මෙසේ විය.

දෙමළ ජාතික ප‍්‍රශ්නයේ ප‍්‍රභවය සිදු වන්නේ ඔවුන් සුළුතරයක් වීම නිසාම සිංහල පාලකයන් ගේ නොසැලකිල්ලට භාජනය වීමෙන් ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් පීඩාවට පත්වීම තුළිනි. එම ජනතාව සම්බන්ධයෙන් ස්වයං නීර්ණයට ඇති අයිතිය ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා අතර ජාතීන් බලහත්කාරී ලෙස මධ්‍යගත කිරීම මෙන් ම අත්තනෝමතික ලෙස වෙන්වීම ද ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. එමෙන් ම දෙමළ ජනතාව උදෙසා ස්වයං පාලන ප‍්‍රදේශ ද පිහිටුවනු ඇත. මෙම අර්ථය ගත් වගන්ති කීපයක් ජවිපෙ මුල් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි අන්තර්ගත වෙයි. (පසු කාලයේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජවිපෙ විසින්ම ඉවත දමනු ලැබීය.)

1985 දී ජවිපෙ නායක රෝහණ විජේවීර විසින් ලියන ලද කෘතිය  මගින් ජාතීන්ගේ ස්වයං නීර්ණය අයිතිය නම් මාක්ස් ලෙනින්වාදී ප‍්‍රතිපත්තිය බැහැර කරමින් දෙමළ ජාතික අරගලය බෙදුම්වාදී ත‍්‍රස්තවාදී අරගලයක් ලෙසත් එය ඉන්දියානු හා බටහිර බලවේග විසින් මෙහෙය වනු ලබන්නක් බවත් නිගමනය කරයි. එතැන් සිට දෙමළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ ප‍්‍රතිපත්තිය හැඩ ගැසුණේ එම පදනම මත පිහිටා ය. ඒ අනුව දෙමළ ජාතිය  ඔවුන් සුළුතරයක් වීම නිසාම මුහුණපාන විශේෂිත ප‍්‍රශ්නයක් නැත. ඇත්තේ සියළු ලාංකිකයන්ට පොදුවූ ප‍්‍රශ්න ම ය. එනම් ධනවාදය යි. ඒකායන විසඳුම සමාජවාදය යි. ඉන් මෙහා වූ  බලය බෙදීම වැනි දේශපාලන විසඳුම් කියා දෙයක් නැත. බෙදුම්වාදී ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු ය. මෑත ඉතිහාසයේ ඔවුන්ගේ සමස්ත කි‍්‍රයාමාර්ගයන් සැකසුණේ මෙම දැක්මට හා ස්ථාවරයට අනුව ය. මේ එළඹුමේ ප‍්‍රතිඵල වශයෙන් ජාතික වෙනස්කම් නොතකා සියළු පීඩිතයින්ගේ උවමනාවන් වෙත කිසියම් ම හෝ ජයග‍්‍රහණයක් ලබා දී ඇත් ද නොඑසේ නම් කිසිදා නොවූ විරූ අන්ත දූෂිත අත්තනෝමත ආධිපත්‍යයකට මග පාදා දුන්නේ ද යන්න අද  තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ.
  
දැන්  බලය බෙදීම සම්බන්ධයෙන් ජවිපෙ ගන්නා ස්ථාවරය කුමක්දැයි විමසන සෘජු ප‍්‍රශ්නයක්  අනුර කුමාර දිසානායක වෙත එල්ල වෙයි. ඔහු පෙරදී මෙන් බලය බෙදීම බෙදුම්වාදයට උඩ ගෙඩි දීමක් යයි කියා සෘජුව ප‍්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් නොවෙයි.  එය  වැදගත් ලක්ෂණයක් වුව ද ”මේ කරන්න හදන්නේ බලය දිගු කරන්න. කොළඹ සිට බලහත්කාරිත්වය යොදවා පීඩනයට පත් කළ ජනතාව ඔය කියන බලය බෙදීමෙන් පස්සෙ යාපනයේ ඇති ආයතනයක් හරහා පීඩාවට පත් කිරීම මිස අන් දෙයක් සිදුවේවි කියා අපි විශ්වාස කරන්නේ නැහැ”. යනුවෙන් පැරණි වදන් අමුනා කියද්දී ඉන් අදහස් වන්නේ  බලය බෙදීමේ යෝජනාවක් ආවොත් ජවිපෙ එය  ප‍්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති  බවකි.
 
(බලය බෙදීම)  ”දෙමළ ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලූවට පිළිතුරක් වන්නේත් නැහැ.”යයි ඔහු වැඩිදුරටත් කිය යිටී. මේ කියන සැබෑ ගැටලූව කුමක් ද? ඊට විසඳුම කුමක් ද?

ජවිපෙ  කියා සිටින්නේ  සැබෑ ගැටලූව නම් ධනවාදී පීඩනය යි. විසඳුම නම් සමාජවාදය යි කියා ය. ඓතිහාසිකව විශේෂිත හැඩයක් ගත් දෙමළ ජාතික පීඩනය ලාංකීය පීඩිත පංතියේ පොදු පීඩනය තුළ බහා එකක් ලෙස සැලකීම හරියටම කැලය දකින මුත් ගස් නොදැකීමට සමාන ය. එය සමස්තය දකින මුත් විශේෂිතය නොදැකීමකි.  ප‍්‍රතිඵලය නම් නිතරම සමස්තය ම පමණක් ඉලක්ක කරගනිමින් ක‍්‍රියා කිරීමත් විශේෂිතය කෙරෙහි අවධානය බැහැර කිරීමත් සිදු වීම ය. ඔවුන් පිළිගන්නා මාක්ස්වාදී ද්විඝටනාත්මක විධි ක‍්‍රමයට පටහැනි වූ මෙම දෘෂ්ටිවාදයේ ස්වභාවික යොමුව දිශාගත වන්නේ හරයෙන්  එක්කෝ අති වාම නැතහොත් දක්ෂිණාංශික අවස්ථාවාදී දේශපාලනය වෙත ය. පැවති නිශ්චිත සන්දර්භය තුළ එකී එළඹුම දෝලනය වුයේ දෙවැන්න වෙතට ය. සත්‍ය කරුණ නම් මෙම දෘෂ්ටිවාදය දෙමළ ජාතික ප‍්‍රශ්නය ට සීමාවූ හෝ ඒ මතින් පැන නැග්ගක් නොව ජවිපෙ  මාක්ස්වාදය ලාංකීය දේශපාලනය තුළ අර්ථ ගැන්වීමේදී එහි මූලික පදනමෙහි ම වූ පීලි පැනීමකි . ඒ නිසා මේ තත්ත්වය හඳුනාගෙන  නිවැරදි කරගැනීමකින් තොරව යන ගමනේදී   ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් නොව ජවිපෙහි සමස්ත දේශපාලන ප‍්‍රතිපත්ති හා උපායමාර්ගයන් තුළ අර්බූදයක් ඇතිවීම නොවැලැක්විය හැකි ය. අද ඔවුන්ගෙන් ඉදිරිපත් වෙන මතයන් කෙරෙන් ව්‍යාකූල හා අස්ථාවරබව ප‍්‍රකාශවන්නේ මේ නිසා ය.

ඊළ`ගට අනුර කුමාර දිසානායකගේ මේ ප‍්‍රකාශය ද විමසා බලමු. ”අපි නිහතමානීව පිළිගන්නවා යුද්ධ කාලයේදී අපේ ක‍්‍රියාකාරිත්වයේ ගැටලූවක් තිබුණ බව. විශේෂයෙන්ම දෙමළ ජනතාව පිළිබඳ පක්ෂයක් හැටියට යොමු කළ යුතු අවධානයේ කිසියම් ඌනතාවක් සිදුවූ බව ඇත්තක්.”  මෙ පමණින් හෝ තමන් ආ ගමන් මග දෙස හැරී බැලීමට පෙළඹීම යහපත් ලක්ෂණයක් ලෙස සලකා  කුහකත්වයකින් තොරව අපි එය  අගය කරමු. එහෙත් එය හුදු ගැටලූවකට, ඌනතාවයකට ලඝු කර පහසුවෙන් බැහැර කිරීම සමග  කිසිසේත්ම එක`ගවිය නොහැක. ඔය කියන ගැටලූව ඈතට දිවයන බව අපි දැනටමත් සඳහන්කර ඇති නමුත් ඔහු කියන සීමාව තුළ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගය තුළ වුවත් ජවිපෙ කරන ලද වැඩ කොටස වැටෙන්නේ පැරණි වමේ සභාග  දේශපාලනයටත් වඩා වැඩි තැනකට ය. යුද්ධය කරගෙන යාමට අවශ්‍ය ජන සහමිතිය පූර්ණවශයෙන් සම්පාදනය කරමින් මහින්ද රාජපක්ෂගේ ගිනුම ඔවුන්ගේ පරම්පරා ගණනකට යැපෙන්න අවශ්‍ය තරමට තර කරන ලද්දේ ජවිපෙ විසින් ය. ඒකාධිපති විධායක ජනාධිපති ධූරයට එක හෙලා විරුද්ධව සිටි ජවිපෙ එයින් ම මහින්ද රාජපක්ෂ පුදනු ලැබ පෝෂණය කළේ ය.   ගොඩ නැගූ සිංහල බෞද්ධ ජාතිකවාදය අතින් 56 බණ්ඩාරනායක යුගය අද රාජපක්ෂ යුගය ඉදිරියේ දෙවන තුන්වන තැනට ද නොවැටෙයි. ඉතින් මේ ආදී වශයෙන් යුද්ධය කාලයේ ජවිපෙ ක‍්‍රියාකාරිත්වය සාමාන්‍ය ගැටලූවක් හෝ ඌනතාවයක් ම නොවන බව අපේ අවබෝධය යි. චැනල් 4 වීඩියෝ පටය  පිළිගන්නවා ද නැද්ද යන ප‍්‍රශ්නයට අනුර කුමාර දිසානායක ඔහුගේ පිළිතුරු අවසානයේ ”මෙවැනි දේ සිදුවිය හැකිය” කියයි. සමහරවිට එම ප‍්‍රශ්නය මීට වසර තුන හතරකට පෙරදී ජවිපෙට යොමු කර තිබුණේ නම් දේශද්‍රෝහී බටහිර කුමන්ත‍්‍රණවලින් ආපසු දමා ගසනවා නොඅනුමාන ය. එහෙත් ඔවුන් අද එතරම් දුර යන්නේ නැත. එම වීඩියෝ පටයේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වුව ද ඔහු අද පිළිගන්නා ”දෙමළ ජනතාව පිළිබඳ පක්ෂයක් හැටියට  යොමු කළ යුතු අවධානයේ කිසියම් ඌනතාවක් ”තුළ සාමාන්‍ය දෙමළ වැසියන් දහස් ගණනක් මරා දැමුණු බව, වද හිංසාවට භාජනය වූ බව, ඔවුන්ගේ  දේපළ විනාශ වූ බව උතුරට නිතර යන එන ඔහුට පෙනෙනවා ඇත. කතාබහේ යෙදෙන  දෙමළ ජනතාව ඔහුට කොඳුරනවා ඇත. එදා ජවිපෙ ක‍්‍රියාකාරිත්වයේ ගැටලූවක් ඌනතාවක් තිබූ බව පිළිගැනීමට මෙකී තත්වයන් ද රටේ වාස්තවික තත්ත්වයන් ද පක්ෂ අභ්‍යන්තර තත්ත්වයන් ද විසින්  ජවිපෙ නායකත්වය පොළඹවමින් සිටින බව පෙනේ. අප සතු අත්දැකීම් අනුව ජවිපෙ වරින් වර තම ක‍්‍රියාමාර්ගයන්හි වෙනස්කම් සිදුකර ඇත්තේ ඒ  පිළිබඳ කළ යතු  පක්ෂ අභ්‍යන්තර පුළුල් සංවාදශීලී විධි ක‍්‍රමයක් අනුගමනය කරමින් නොවේ. එකකින් අනෙකට හෙමිහිට මාරුවීමේ ක‍්‍රමයකට ය. වැරදි අඩුපාඩු සියල්ල ‘පැවති තත්ත්වයන් ‘ ට බැර කිරීමෙනි.  මේ නිසා සිදුවූයේ වැරදි එලෙසින් ම හෝ වෙනත් මුහුණුවරකින්   නැවත නැවතත් දෝංකාර දීම ය. 

       මේ අවිචාරවත් සමාජ ක‍්‍රමයේ වෙනසක් පතන පීඩිත සමාජ බලවේග පුබුදුවා ඉදිරියට ගැනීමේ ජවිපෙ සතු හැකියාව හා ඒ සඳහා පෙන්නුම් කරන කැපවීම අගය කළ යුතු අතරම වැඩි කල් නොයාම  එම බලවේගය හා එහි බලාපොරොත්තු ප‍්‍රපාතයකට ඇද දමන්නාවූ ජවිපෙහි අන්තවාදය ද ප‍්‍රතික්ෂේප කළ යුතු වෙමු. ජවිපෙ සැබෑ ජනතා ව්‍යාපාරයක නියමුවෙකු වන්නට ඇත්තටම කල්පනා කරන්නේ නම් දෘෂ්ටිමය වශයෙන් විප්ලවීය වෙනසකට භාජනය වී දැන් සිටින නිකායික තත්ත්වයෙන් ඉවත්ව  පුළුල් ජනතා සටන් ව්‍යාපාරයක් කරා යොමු විය යුතු ම ය. එහි විවිධත්වය පිළිගත යුතු ම ය. ඒ තුළ තමන්ගේ හා අනෙකාගේ මතවාදයන් උපාය උපක‍්‍රමන් ගැටෙන්නට ඉඩ හරිමින් නියමාකාර පංති අත්දැකීම් උකහා ගන්නට දොරටු විවෘත කළ යුතු ම ය. එසේ වෙනස් වන්නේ නම් පමණක් ජවිපෙට ලාංකීය ජනතා සටන් ව්‍යාපාරය තුළ සැබෑ භූමිකාවක් ර`ග පාන්නට හැකි වනවා නොඅනුමාන ය.   
මෙවැනි දේශපාලන පරිසරයකදී දකුණේ සියලූ ප‍්‍රගතිශීලීන් වෙත වැදගත් කාර්යභාරයක් පැවරෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එනම් රාජපක්ෂාධිපත්‍යයේ කෙමනට අසුවී සිටින සියළු පීඩිත ජන කොටස් ඒකරාශී කරන පොදු ජනතා අරගල ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා දායකත්වය සැපයීමයි. එමෙන් ම දෙමළ ජාතික ප‍්‍රශ්නය තව දුරටත් දෙමළ ජනතාවට සීමාවූ ව්‍යාපාරයක න්‍යාය පත‍්‍රයක සිර වෙන්නට ඉඩ නොදී ඉන් ඉවතට ගෙන සියළු ලාංකීය පීඩිත ජනතාවගේ සටන් ව්‍යාපාරයක න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන අංකයක් කර ගනිමින් පීඩිතයින්ගේ අරගලය ඒකාබද්ධ අරගලයක් බවට නංවාලීමට කි‍්‍රයා කිරීමයි.

No comments:

Post a Comment