මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, July 5, 2011

නව මානයක් ගත් සරසවි ආචාර්ය ප‍්‍ර‍්‍රජාවගේ අරගලය

       වසන්ත දිසානායක
සිය වෘත්තියට ගැලපෙන වැටුපක් සඳහා සරසවි ආචාර්ය ප‍්‍රජාව ආරම්භ කළ අරගලය මේ වන විට ප‍්‍රබල අරගලයක් බවට පරිවර්තනය වී ඇත. ජනතා අවශ්‍යතාවන්ට කන් දෙනවාය යනුවෙන් අප‍්‍රමාණ පොරොන්දු තොගයක් දෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව බලයට පත් තැන් සිටම අනුගමනය කළේ පෙර පාලන තන්ත‍්‍රයන්ට නොවෙනස්ව දුන් පොරොන්දු අමතක කර දමා  ජනතා ඉල්ලීම් බලහත්කාරය යොදා පාගා දැමීම ය. සරසවි ආචාර්ය ප‍්‍රජාවගේ අරගලය සම්බන්ධයෙන් ද ආණ්ඩුව අනුගමනය කරන්නට වූයේ එම පිළිවෙතම ය.

ආණ්ඩුව පළමුව සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අනුගමනය කළේ නෑසූ කන් ප‍්‍රතිපත්තියකි. ලියුම් ලියා සාකච්ඡා ඉල්ලා කොතෙක් උත්සාහ කළ ද උසස් අධ්‍යාපන ඇමති යයි කියන ඇමැත්තාවත් රට දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කරනවාය කියන ආණ්ඩුවවත් දැනුම් කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරිමේ ප‍්‍රමුඛ ගාමක බලය වන සරසවි ආචාර්ය ප‍්‍රජාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් පයිසයකටවත් මායිම් කළේ නැත.

 ආණ්ඩුව සරසවි ආචාර්ය ප‍්‍රජාව හමුවේ තැබුවේ අපි උඹලාගේ ඉල්ලීම් ගණන් ගන්නේ නැහැ, හැකි නම් පුළුවන්  දෙයක් කරලා ඉල්ලීම් දිනා ගනිල්ලා යන විකල්පය යි. අරගලයට ආවොත් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව ආණ්ඩුවට කි‍්‍රයා මාර්ගයක් තිබිණ. එනම් සරසවි ආචාර්ය ප‍්‍රජාව අතර භේද වැපිරීම හා වන්දි භට්ට ආචාර්යවරුන් යොදා අරගලය කඩාකප්පල් කිරීම, රැකියාවලින් අස්කර දමන බවට කරන තර්ජන, අවලාද හා මඩ ප‍්‍රහාර, අධිකරණ නියෝග, අවසානයේ අවශ්‍ය වුවහොත් මැර හා පොලිස් බලය යොදා මර්දනය කිරීම ආදියෙන් තැනුණු කි‍්‍රයා මාර්ගයක් තිබිණ. මෙම කි‍්‍රයා මාර්ගය හමුවේ ආචාර්ය ප‍්‍රජාව ඉදිරියේ වූයේ විකල්ප දෙකකි. එකක් ඉල්ලීම් අත්හැර නිවට ව‍්‍රතය පිළිපැදීම ය. නැතහොත් අදීන, ගරු කටයුතු, ආත්ම ගරුත්වයෙන් යුත් ආදර්ශමත් පිරිසක් වශයෙන් සැබෑ බුද්ධිමතුන් වශයෙන් එනම් ඓන්ද්‍රිය බුද්ධිමතුන් වශයෙන් අරගලයේ මාවත ගැනීම ය. සැබෑ බුද්ධිමතුන් වශයෙන් සරසවි ආචාර්ය ප‍්‍රජාවගේ බහුතරය අරගලයේ මාවත තෝරා ගැනීමෙන් සිය අදීනත්වය විදහා පෑහ.

අරගලයේ ප‍්‍රාරම්භය වශයෙන් ඔවුන් කළේ ඔවුන් ස්වෙච්ඡා වෙන්  කරමින් සිටි පරිපාලනමය කටයුතුවලින් ඉවත් වීම ය. මෙහිදී උසස් අධ්‍යාපන ඇමති යයි කියන පුද්ගලයාත් ආණ්ඩුවත් හැසිරුණේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අපහාස කරමින් රැකියාවලින් දොට්ට දමන බවට තර්ජනය කරමින් හා ඔවුන්ට එරෙහිව බේගල් ඇද බාමින් මදාවි ආකාරයකිනි. මෙහි දී ජුගුප්සාජනක ම දෙය වූයේ උසස් අධ්‍යාපන ඇමතිගේත් ආණ්ඩුවේත් හැසීරීමට වඩා සරසවි ආචාර්ය ප‍්‍රජාවගේ ම කොටසක් නිවට ලෙස තමන්ගේ ද අයිතීන් ඇතුළත් අයිතීන් පතා අරගල මාවත ගත්  සහෝදර ආචාර්ය ජනයාට එරෙහිව එස්. බී. දිසානායක වැන්නවුන් ගේ ඔඩොක්කු තුළ ලැගුම් ගැනීම යි.

කුමන අපවාද එල්ල කළත් කුමන තර්ජන ගර්ජන එල්ල කළත් කුමන පාවාදීම් කළත් සරසවි ආචාර්ය ප‍්‍රජාවගේ අරගලය ඉදිරියට ඇදුනේ තව තවත් ආචාර්ය ජනයා අරගලය වෙතට ඇද ගනිමිනි. එමෙන් ම අයිතිවාසිකම් පතා අරගල කරන, අරගල මාවත් ගැනීමට පෙළඹෙමින් සිටින සෙසු ජනයාට ද සවියක්, ආශ්වාදයක් හා නැවුම් බලාපොරොත්තු ඇති කරමිනි.

අරගලය ආරම්භ වූයේ හුදු වැටුප් ප‍්‍රශ්නයක් ලෙස නමුත්  ඉදිරියට ඇදෙන විට එය හුදු වැටුප් ප‍්‍රශ්නයක් ම නොව ඊට ඔබ්බට යන  ප‍්‍රශ්න සමග වෙන් කළ නොහැකි ලෙස බැඳුණු අරගලයක් බවට පරිවර්තනය වෙන්නට වූයේ නිරායාසව මෙනි. මන් ද වැටුප් පිළිබඳ ප‍්‍රශ්නය විශ්ව විද්‍යාල දැනුම් කේන්ද්‍රස්ථාන බවට පත් කරනවා ද නැද්ද යන්න සමග බැඳී පවතින හෙයිනි. එහෙයින් ඊට නිසි අරුත් ගනිමින් වැටුප් ප‍්‍රශ්නයට ඉහළින් විශ්ව විද්‍යාල දැනුමේ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අරගලය මේ වැටුප් අරගලයේ දිගුවක් බවට පත්වෙමින් තිබේ.  එය පෞද්ගලික අවශ්‍යතාවයේ පරිමණ්ඩලයෙන් පොදු අවශ්‍යතාවේ පරිමණ්ඩලය කරා අරගලයේ දිශානතිය යොමු වීමකි. ඉන් අරගලයට ලැබෙන්නේ ශක්තියකි. අරගලය හුදකලාවෙන් අත් මිදීමකි. අරගලයට සෙසු ජනයාගේ ද ආශීර්වාදය හිමි වීමකි.

ඇත්තෙන්ම විශ්ව විද්‍යාල දැනුමේ සැබෑ කේන්ද්‍රස්ථාන බවට පත් වීමට නම් විශ්ව විද්‍යාලවලට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු ය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට නිවී සැනසිල්ලේ ඒ කාර්යයෙහි නියුතු වීමට තරම් සරිලන වැටුපක් ලබා දිය යුතු ය. පාලකයන් රටේ ධනය හිතුමතේ නාස්ති කරද්දී, ඉවක් බවක් නැතිව සිය සුඛ විහරණය සඳහා වැය කරද්දී අනෙකුත් වැඩ කරන ජනයා මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද පටි තද කර ගැනීමේ අර්ථයක් නැත.

අනෙක් අතට ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වී ඇත්තේ විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ  නව ලිබරල් ප‍්‍රතිපත්තිය කි‍්‍රයාවට නැගීම ය. මෙහි දී අධ්‍යාපනයට රාජ්‍ය මගින් පහසුකම් සැලසීම අවම කරමින් අධ්‍යාපනය පෞද්ගලීකරණය ලක් කිරීමේ මං විවෘත කෙරේ. මේ පිළිවෙත තුළ ආණ්ඩුවේ කි‍්‍රයා මාර්ගය වී ඇත්තේ වත්මන් විශ්ව විද්‍යාල පද්ධතිය කඩා දමා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට වැඩි ඉඩකඩ ලබා දීම ය. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල දැනුම් කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම නොව බැරක්ක පන්නයේ ආණ්ඩු යන්ත‍්‍රණයක සේවාස්ථාන බවට පත් කර ගැනීම ය. හෙට අනිද්දා මහින්ද රාජපක්ෂ පාලනය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරයට ගෝඨාභය රාජපක්ෂත්  විශ්ව විද්‍යාල උපකුලපති ධූරවලට මේජර් ජෙනරාල්වරුනුත් පත් කළත් පුදුම විය යුතු නොවේ. මන් ද ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග හා උවමනාව තුළින් තාර්කිකව ප‍්‍රකාශයට පත් වන්නේ එවන් තත්ත්වයක් වන නිසා ය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ ප‍්‍රශ්නය ආණ්ඩුවේ මෙම ප‍්‍රතිපත්තිය හා කි‍්‍රයා මාර්ගය සමග බැඳී පවතී. එහෙයින් ම ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නය පිළිබඳ අරගලය අවශ්‍යයෙන් ම ආණ්ඩුවේ  ප‍්‍රතිපත්තිය හා කි‍්‍රයාමාර්ගය සමග ගැටුමට යන්නකි. සෙසු ජනතා අරගල සම්බන්ධයෙන් මෙන් ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අයිතීන් උදෙසා වන අරගලය  පොඩි පට්ටම් කර දැමීමේ කුප‍්‍රකට උවමනාවෙන් ආණ්ඩුව කටයුතු කරන්නේ එහෙයිනි.
ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය හා කි‍්‍රයා මාර්ගය හමුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නොසැලී අරගල මාවතේ ගමන් කිරීම ප‍්‍රශංසනීය ය. අරගලයේ දී වැනෙන්නට වුවහොත් පරාජය නියත බව කිව යුතු නොවේ. ආචාර්යවරුනි/වරියනි තර්ජන ගර්ජන හමුවේ, මඩ හා අවලාද හමුවේ, කුමන්ත‍්‍රණකාරී, කඩාකප්පල්කාරී කි‍්‍රයාවන් හමුවේ නොසැලී සිටින්න. පාලකයන්ගේ කූටෝපාක‍්‍රම පිළිබඳ නිරන්තර අවදියෙන් ඉන්න. ඔබ දැන් සිටින්නේ ජයග‍්‍රහණයේ මාවතෙහි ය. එය ආපසු හැරෙන්නට, හරවන්නට ඉඩ නොදෙන්න. ඔබගේ ජයග‍්‍රහණය අයිතීන් පාගා දැමීමට ලක් කර සිටින සෙසු ජනයාගේ අරගලයට ශක්තියක්, ජීවයක්, ආශ්වාදයක් ලබා දෙන්නකි.

අපි ඔබේ අරගලයේ ජයග‍්‍රහණය පතමු.


No comments:

Post a Comment