මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, June 9, 2011

බෑන් කි මූන් ගේ උපදේශන කමිටු වාර්තාව හා රාජපක්ෂ තන්ත‍්‍රයේ දේශපේ‍්‍රමී මත් කුඩු දේශපාලනය

වසන්ත දිසානායක

එජා මහ  ලේකම් ලංකාවේ පැවති යුද්ධය තුළ සිදු කෙරුණා යයි කියන යුද අපරාධ සම්බන්ධ චෝදනා පිළිබඳව තමන්ට උපදෙස් දීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ද එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ද සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයත් එහි කොටස්කාර කල්ලිත් හැසුරුණු ආකාරය පුහුල් හොරා කරෙන් දැනේ කියන කතාවේ සංස්කරණයක් බඳු ය. පුහුල් හොරා කරෙන් දැනේ කී විට ඔහු කළේ හොරෙන් කර අත ගා බැලීම ය. එහෙත් රාජපක්ෂ පාලනය හැසුරුණේ ඔවුන්ගේ මෙහෙබෝන් න්‍යායට අනුව ”අඩෝ කවුද ඩෝ අපි යුද අපරාධ කරා කියන්නේ? බංකි මූනෝ උඹගේ කමිටුව අකුලා ගනින් නැත්තන් අපි එකා පිට එකා මැරිලයි උඹලට උත්තර දෙන්නේ” අන්දමේ චණ්ඩි මල්ලී ටෝක් දීමෙනි. ඒ අතර ම ජනාධිපති රාජපක්ෂ ”මෙන්න මං විදුලි පුටුවට ගෙන යන්න හදනවෝයි” කෑ මොර දෙන්නට ද පටන් ගත්තේ ය.

ඇයි මේ කලබල? තමන් අපරාධ නොකළා නම් චෝදනාවක් එල්ල වූ පමණින් භූමි තෙල් ගෑවුණු ගැර`ඩින් මෙන් ද`ගලන්නට පටන් ගත්තේ මන් ද? මරු විකල්ලෙන් හැසිරෙන්නට පටන් ගත්තේ මන් ද? ශිෂ්ටසම්පන්න මිනිසුන් නම් කරන්නේ තමන්ට යම් චෝදනාවක් එල්ල වූ විට කලබලයට පත්ව චෝදනා ඉදිරිපත් කළවුන්ට අභියෝග කිරීමවත් තර්ජනය කිරීමවත් බැන අ`ඩගැසීමවත් නොවේ, එන්න, ඇවිත් පරීක්ෂණයක් පවත්වන්න, පරීක්ෂණය සඳහා සම්පූර්ණ සහය දෙන්නම් කියන එක නේ ද? අභියෝග කරනවා නම් කළ යුත්තේ එලෙස ය. එහෙත් ජනාධිපති රාජපක්ෂවත් ඔහුගේ අන්තේවාසික විමල් වීරවංශ වැන්නන්වත් ඔවුන්ට එවැනි ශිෂ්ටභාවයක් හෝ සදාචාරයක් ඇති බවක් පෙන්වා නැත.

අනෙක් අතට මේ අය ලොවට දේශනා කරන්නේ තමන් බුදුන් වහන්සේ ගේ  ඉගැන්වීම්වලට අනුව කටයුතු කරන එම ඉගැන්වීම් පිළිපදින මහා බෞද්ධයින් ලෙස ය. එහෙත් බුදුන් වහන්සේ තමන් වහන්සේට දේවදත්තලා හා චිංචමානවිකාවලා ගල් පැලෙන බොරු චෝදනා එල්ල කරන විට  හැසිරී වදාළේ කෙසේ ද? සිවුර උස්සාගෙන චෝදකයන්ට එරෙහිව අභියෝග කළා ද? බැන අ`ඩ ගැසුවා ද? අඩු වශයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න යයි කියාවත් කීවා ද? නැත. රාජපක්ෂලාට බුදුන් වහන්සේ මෙන් කි‍්‍රයාකරන්නට යයි අප කියන්නේ නැත. එහෙත් ඔවුන් කියන පරිදි ඔවුන් සැබෑ බෞද්ධයින් වී නම් කළ යුතුව තිබුණේ බැන අ`ඩ ගැසීම්, අභියෝග කිරීම් හා පපුවට ගසා ගනිමින් හ`ඩ තැලීම් හා මං විදුලි පුටුවට ගෙන යන්න හදනවෝයි කියමින් මුසාවාද ඇද බාමින් හතරවන සිල් පදයත් කඩනවා වෙනුවට තමන් නියම බෞද්ධයන් වශයෙන් බෞද්ධ පිළිවෙත්වලට අනුව යමින් සාධාරණ පරීක්ෂණයක් පවත් වන්නැයි කියා සිටීම ය. එහෙත් ඔවුන් කළේ මර්වින් සිල්වලාට හා විමල් වීරවංශලාට ඇඳ ගැනීම ය.  

මෙම වාර්තාව මහින්ද රාජපක්ෂ පෙරළා දැමීමේ මහා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ තවත් පියවරක් බව කියනු ලැබිණ. ඊට එරෙහිව වාර්තාවේ තිබෙන්නේ කුමක්දැයි වත් නොදැන පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරනු ලැබිණ. අර වියලි තල් අත්තට වැටුණු බෙලි ගෙඩියේ ශබ්දයට ලෝකය පෙරළෙනවායි සිතා පණ කඩා ගෙන දුවන්නට වූ හාවා පස්සෙන් දිව ගිය සතුන් සේ අපේ උන්නැහේලා ද මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර විදුලි පුටුවට ගෙන යාම සඳහා වන මහා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් පිළිබඳ කතාව විශ්වාස කරමින් ඔහුව බේරා ගන්නට සාමාන්‍ය කටවහරකින් කියනවා නම් ලවක් දෙවක් නැතිව පෙත්සම් අත්සන් කරන්නට පටන් ගත්හ. රාජ්‍ය මාධ්‍ය පමණක් නොව සත්‍යය ම  ඉදිරිපත්  කරනවා  යයි  කියා  ගන්නා  පෞද්ගලික මාධ්‍යය ද ”රට වෙනුවෙන් අට” ”යුදවිරු ජයග‍්‍රහණ” වැනි වැඩ සටහන් විසුරුවා හරිමන් මේ පෙරහැරට එකතු වූහ.

ඇත්ත නම් ජාත්‍යන්තර වශයෙන් ගත් විට ඔය කියන කිසිවෙකුට රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ දොළ දුකක් නැති බව ය. ඔවුන්ට එවැනි දොළ දුකක් ඇති වන්නට හේතුවක් ද නැති බව ය. රාජපක්ෂ ආණ්ඩුව වැටෙන්න ගිය හැම විටම එය ගලවා ගැනීමට අත දුන්නේ ඔය ජාත්‍යන්තර බලවතුන් ය. ආර්ථික වශයෙන් අන්තිටම හිරවී කර කියා ගත හැකි දෙයක් නැතිව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හි`ගමනේ ගිය විට එය රාජපක්ෂලා ඉල්ලූවාටත් වඩා ණය සැපයීමෙන් ඔවුන් ගලවා ගනු ලැබී ය. මේ ණය දුන්නේ පොරොන්දුවීම් ගොඩක් සමග ය. ඒ පොරොන්දු ඉටු කරන පාලක කල්ලියක් පෙරළා දමන්නේ කුමකට ද? ඒ වෙනුවට කරනු ලැබුවේ දෙනු ලබන ණය ප‍්‍රමාණය තවත් වැඩි කිරීමෙන් රාජපක්ෂ පාලනය ගොඩ දැමීම ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක් ද? අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන මූල්‍ය උපකරණ දෙකෙන් එකකි. අනෙක ලෝක බැංකුව ය. නගරවල දිළින්දන් පන්නා දමමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකමින් හා නිවාස කඩා බිඳ දමමින් ඒවා ද නගරයේ හොඳම හා වටිනාම තැන් ද නාගරික සංවර්ධනයේ මුවාවෙන් ධනපති ව්‍යාපාරිකයන්ට විකුණා දමනුයේ ලෝක බැංකුවේ උපදෙස් අනුව ය. මේවා ලංකාවේ අපට අලූත් නමුත් මාකෝස්ලා යටතේ පිලිපීනයේ ද බෙන් අලිලා යටතේ ටියුනීසියාවේ ද තවත් බොහෝ රටවල ද ලෝක බැංකු උපදෙස් පිට කි‍්‍රයාවට නැගූ දේවල් ය. නගර ප‍්‍රධාන කොට ම ධනපතීන්ට සීමා කෙරුණු අතර දිළින්දන් නගරවලින් පිට තදාසන්න ප‍්‍රදේශවල ගාල් කරනු ලැබිණ. රාජපක්ෂලා මෙහේ කරන්නේත් ඒ ටිකම ය. එමෙන් ම දශ ලක්ෂ ගණනක් වූ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදලේ බිලියන ගණන් වූ මුදලක් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට යයි කියා කොල්ල කෑම සඳහා  විශ‍්‍රාම වැටුප් පනතක් ගෙන එනු ලැබුවේ අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනවල උපදෙස් පරිදි ය. ඉතින් අධිරාජ්‍යවාදීන්ගේ මූලික ආර්ථික පිළිවෙත් සමග ගැට ගැසී ඒවා ජනතාවට තුවක්කු බැටන් පොලූ හා කඳුළු ගෑස් එල්ල කරමින් බලහත්කාරයෙන් කි‍්‍රයාත්මක කරන රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අධිරාජ්‍යවාදීන්ට ඇති රුදාවක් වේ ද?

මෙහිදී GST+ සහනය කපා හැරීම ගැන කියමින් විරෝධයක් එල්ල කරන්නට පුළුවන.
GST+ සහනය ලැබුණේ වෙන පදනමක් මත ය. ඒ සඳහා වූ එක`ගතාවන් නොසලකා හැරීම නිසා එය අපට නැතිවී ගියේ ය. එහි දී සිදු වූයේ එය නැති කිරීමක් නොව රාජපක්ෂ පාලනයේ උඩ`ගු අමනෝඥ කි‍්‍රයා කලාපය මගින් එය නැති කර ගැනීමකි. නමුත් අධිරාජ්‍යවාදයේ් ප‍්‍රධාන මූල්‍ය උපකරණ දෙකක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනු දෙනුවේ දී එසේ නොවී ය. ඒ උඩ`ගුබව, කයිවාරු ගැසීම, අභියෝග කිසිත් නොතිබිණ. ජාත්‍යන්තර මූලත්‍ අරමුදල ඉටුකරන්නැයි කී සියලූ දේට  රාජපක්ෂ පාලනය හොර රහසේ සම්පූර්ණයෙන් ම අවනත විය. ඉල්ලූවාටත් වඩා ණය සපයමින් ද රාජපක්ෂ පාලනය ආර්ථිකය මනාව කළමනාකරණය කරනවා යයි සහතික දෙමින් ද රාජපක්ෂ පාලනයේ පැවත්ම වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් ගලා එවන ලද්දේ මෙම අවනතවීම වීම නිසා ය.

 ඇත්ත නම් බටහිර බලවතුන්ට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ පාලනයට පොඩි තරවටුවක් කිරීමට වඩා වැඩි දෙයක් නොවේ. ඇතැම්විට පුරුද්දේ බලය හේතු කොට ගෙන ඔහු සහ ඔහුගේ සගයින් අධිරාජ්‍යවාදීන්ට ගොරවන බව ඇත්ත ය. එසේ ගොරවන්නන් ද අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ය. එහෙත් සීමාව පනින විට තරවටු කිරීමට ද බලා ගනී. එය අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිපත්තියකි. අධිරාජ්‍යවාදීන් සමග ටිකක් තදින් ගැටෙන විට ඒ රටවලට ඔවුහු සම්බාධක පමුණුවති. ලිබියාවට එසේ සම්බාධක පැමිණ වීය. එහෙත් ගඩාපි අධිරාජ්‍ය විරෝධීබව ලොවට පෙන්වමින් එහෙත් අධිරාජ්‍යවාදයේ ආර්ථික ප‍්‍රතිපත්ති සමග ගැට ගැසෙන විට එකී සම්බාධක ඉවතලීය. එහෙත් ඒ ගඩාපිට ආදරය කරන නිසා නොව ගඩාපි අධිරාජ්‍යවාදයේ ආර්ථික ප‍්‍රතිපත්ති සමග ගැට ගැසුණ නිසා ය. ජන සහමතියෙන් වෙනත් පුද්ලයෙකු ගඩාපි වෙනුවට ගෙන ඒමට තත්ත්වයන් සැකසේ නම් ඒ තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට අධිරාජ්‍යවාදීන් සූදානම් ය. අද ලිබියාවේ ගඩාපිට සිදුවන්නේ එයයි. එය ද එසේ සිදු වන්නේ විශේෂයෙන් ම  ලිබියාවේ ඇති සුවිශාල තෙල් සම්පත නිසා ය. 

රාජපක්ෂලා, වීරවංශලා, චම්පික රණවකලා උගුරු දණ්ඩ කඩා ගෙන අභියෝග කළාට ඇත්තටම ඒ තමන්ට සැබවින්ම එල්ල කරන අභියෝගයක් නොවන බවත් ඒ ඝෝෂාව දාන්නේ මෙරට ජනයාට තමන් අධිරාජ්‍ය විරෝධී බව පෙන්නා ජන සහයෝගය දිනා ගෙන පාලනය පවත්වා ගෙන යාමට බවත් එසේ ඝෝෂා කළාට තමන් වෙත හොර රහසේ තමන් සමග එක`ගතාවන්ට පැමිණ විශේෂයෙන් ම තමන්ගේ ආර්ථික උවමනා එපාකම් ඉටු කරලීමට මේ පාලනය කි‍්‍රයාකරන බවත් අධිරාජ්‍යවාදීහු දනිති.

එක්සත් ජාතීන් අනුගමනය කරන්නේ, එමෙන්ම සෑම මහ බලවත් රටක් ම අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක් බව ද රහසක් නොවේ. එක්සත් ජනපදය වේවා, මහා බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය, ජපානය ආදිය වේවා, රුසියාව, ඉන්දියාව හෝ චීනය වේවා මෙහිදී මූලික වෙනසක් නැත. එය මෙහි දී ද කැපී පෙනේ. එක්සත් ජාතීන් හෝ බෑන් කී මූන් හෝ කි‍්‍රයා කරන්නේ ඇත්තටම ලංකාවේ පාලකයන්ගේ යුද අපරාධ පිළිබඳ සැබෑ කැක්කුමකින් නොවේ. රාජපක්ෂලා ඇතුළු ව්‍යාජ දේශපේ‍්‍රමී නඩයටත් ඒ නඩය වෙනුවෙන් සිය පෑන් හසුරුවන මාධ්‍යවේදී ලියන අප්පුලාටත් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පාවිච්චි කිරීමට මේ දෙබිඩි පිළිවෙත මගින් සලසා ඇත්තේ කදිම ආවරණයකි.

ඇත්තටම කියනවා නම්  රාජපක්ෂ පාලනයට එරෙහිව අපරාධ චෝදනා එල්ල කරන්නේ බටහිර බලවත් රාජ්‍යයන් නොවේ. එම රටවල කි‍්‍රයාත්මක වන බලගතු මානව හිමිකම් සංවිධාන විසිනි. මේවායේ බලපෑම නිසා එකී බලගතු රාජ්‍යයන් යම් යම් පියවර ගත්ත ද ඒවා ගන්නේ ද ඇල් මැරුණු ස්වභායකිනි. ඇරත් ඔවුන් ගේ ම මානව හිමිකම් පිළිබඳ වාර්තාවන් නිසා ද අපේ වැනි පාලකයන් ඉඳහිට ලේ රත්වන කතා කීව ද තමන්ට එරෙහිව හෝ තම ප‍්‍රතිපත්තිවලට එරෙහිව ඔවුන් ඉදිරිපත් කරන අභියෝග ඇත්ත අභියෝග නොවන බව දන්නා නිසා ද එම ඇල් මැරුණු ස්වභාවය තාර්කික ය. ඉහත කී මානව හිමිකම් සංවිධාන එනම් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් වැනි මානව හිමිකම් සංවිධාන මේ බලගතු රටවල පාලකයන්ගේ ද අපරාධවලට එරෙහිව හ`ඩ නගන සංවිධාන වේ. මේ අයගේ වාර්තා කියවන්නේ  නම් එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍යය ආදී රටවල යුද අපරාධ සම්බන්ධයෙන් මේවා මොන තරම් හ`ඩ නගා තිබේ දැයි කෙනෙකුට අවබෝධ කර ගන්නට පුළුවන. ලංකාව සම්බන්ධයෙන් වේවා චෝදනා කරන්නේ ආණ්ඩුවට එරෙහිව පමණක් නොවේ. එල්ටීටීඊය කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ද බරපතල  චෝදනා එල්ල කර තිබේ.  විටින් විට මේ පිළිබඳව ඉදිරිපත් කළ වාර්තා ගණනාවක් ම තිබේ. එක්තරා අර්ථයකින් එජා සංවිධානයේ මහ ලේකමුත් ඇමෙරිකාව වැනි රාජ්‍යයනුත් රාජපක්ෂ පාලනයට එරෙහිව යම් යම් ප‍්‍රකාශන කරන්නේ ඇපයෙන් බේරීමට පරිද්දෙනි.

අනෙක් අතට අප වටහා ගත යුතු තවත් කාරණා ගණනාවක් තිබේ.

පළමුව මෙම වාර්තාව හුදු ආණ්ඩුවේ කි‍්‍රයා කලාපයට එරෙහි  වාර්තාවක්ම නොවේ. එය එල්ටීටීඊයේ කි‍්‍රයා කලාපයට ද එරෙහි වාර්තාවකි. ආණ්ඩුවට එරෙහිව චෝදනා පහක් එල්ල කරනවිට එය ඒ හා සමානවම හා ඊටත් වැඩියෙන් එනම් චෝදනා හයක් එල්ටීටීඊයට එරෙහිව එල්ල කර ඇත. එජා මහ ලේකම්ගේ යම් යම් අභිප‍්‍රායන් තිබෙන්නට පුළුවන. ඒවා කුමක් වුවත් වාර්තාවෙන් ඉදිරිපත් කරන කරුණු විවේචන සාධාරණය අගයන හා සත්‍ය ගරුක කිසිවෙකුට ප‍්‍රතික්ෂේප කළ හැකි ඒවා නොවේ. රටේ යහ පාලනයක් ඇතිවීම හා නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාතාවරණයක් ඇති කිරීම සඳහා ඒවා ඉදිරිපත් කරන්නේ කවරෙක් ද යන්න නොතකා කි‍්‍රයාත්මක කළ යුතු ඒවා ය. ඒවා කි‍්‍රයාත්මක කිරීම අන්තරායකාරී වන්නේ බලය අයුතු ලෙස කි‍්‍රයාවට නගන්නාවූ ද ජනතාවගේ නිදහස හා  ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන්නාවූ ද පාලකයන්ට හා ඔවුන්ගේ අනුහස ගෙන වැජඹෙන්නවුන්ට පමණි.

දෙවනුව මෙම වාර්තාව අනුවම පෙනී යන කාරණයක් වන්නේ එය රාජපක්ෂ පාලනයට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ගයක් ගන්නට නිර්දේශ නොකරන බව ය. කිසිදු අපහසුවක් නැතිව කි‍්‍රයාත්මක කළ හැකි හා කි‍්‍රයාත්මක කළහොත් රටේ තත්ත්වය මානව හිමිකම් අතින් සාපේක්ෂව යහපත් වනු ඇති නිර්දේශ ගණනාවකි. ඇත්තෙන්ම ඉන් යෝජනා කරන්නේ ද`ඩුවම් කිරීමේ නිර්දේශ නොව සම්මුතියෙන් කි‍්‍රයාත්මක කරන්නැයි කරන නිර්දේශ ය. එම නිර්දේශ කි‍්‍රයාත්මක නොකළත් එක්සත් ජාතීන් හෝ එක්සත් ජාතීන්ගේ ආවරණය යටතේ එක්සත් ජනපද හෝ ඒකාබද්ධ හෝ ප‍්‍රහාරයක් ලිබියාවට මෙන් ලංකාවට එල්ල වන්නේවත් මහින්ද රාජපක්ෂ කොහෙත්ම විදුලි පුටුව කරා ගෙන යන්නේවත් නැති බව සක්සුදක් සේ පැහැදිලි ය. එසේ නොවන්නේ විමල් වීරවංශලා, චම්පික රණවකලා, මර්වින් සිල්වලා ගැංසිය මරා ගෙන මැරෙන්නෙමුයි යනුවෙන් මෙහේ වේදිකාවල කරන තර්ජන ගර්ජන හේතුවෙන් භීතියට පත්ව පස්ස ගැසීමක් නිසා නොවේ. එවැනි උවමනාවක් ඔවුන්ට නොමැති නිසා ය. ඒ නිසා රාජපක්ෂ පාලනය කරන්නේ මේ වාර්තාව අල්ලා ගෙන කොහෙත්ම නැති අන්තරායක් මවා පා ව්‍යාජ ඝෝෂාවක් නගා ජනතාව ගොනාට ඇන්ද වීම ය.

තෙවනුව ජත්‍යන්තර වශයෙන් තාවකාලිකව අවාසිදායක වුවත් අභ්‍යන්තර වශයෙන් මහින්ද රාජපක්ෂට එවන් වාර්තාවක් ඉදිරිපත්වීම තම දේශපාලන ව්‍යාපෘතිය නංවාලනුවස් ඉමහත් ප‍්‍රයෝජනයක් සැලසී ය. මේ වාර්තාව ඉදිරිපත් වූයේ  රාජපක්ෂ පාලනය ජනතා අප‍්‍රසාදයට පත් වීම ඇරඹී එය ක‍්‍රමානුකූලව වැඩෙමින් පැවති පසුබිමක හා ජනතා කලකිරීම තාවකාලිකව හෝ මග හරවා ගැනීම සඳහා අල්ලා ගන්නට කුමක් හෝ දෙයක් සොයමින් එය සිටි අවස්ථාවක ය. එවන් අවස්ථාවක බෑන් කී මූන්ගේ උපදේශන කමිටුවේ වාර්තාව රාජපක්ෂ පාලනය වෙත අභ්‍යන්තර වශයෙන් ආ වෙස් වලාගත් ආශීර්වාදයක් බවට පත් කර ගත හැක්කක් විය. එය කළේ එම අවස්ථාවේ අදහස් ලබා ගැනීමට මිස ප‍්‍රකාශයට පත් නොකිරීමට රහස්‍ය වාර්තාවක් ලෙස ආණ්ඩුවට භාර දුන් උපදේශන කමිටුවේ වාර්තාවෙන් එයට විරුද්ධව තිබූ කොටස් පමණක් ආණ්ඩුවේ හිතවාදී ඉංගී‍්‍රසි පුවත් පතකට ලබා දී ඉහත දැක් වූ පරිදි ජනාධිපතිට හා ආණ්ඩුවට විරුද්ධව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මකව ඇතැයි ද ඊට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු යයි ද හ`ඩ නැංවීමට කි‍්‍රයා කිරීම ය. යළිත් වරක් යුද්ධය දිනූ කාලයේ මෙන් රාජපක්ෂ පිම්ඹීමේ ව්‍යාපෘතිය පණ පෙවීම ය. රාජපක්ෂ නැංවීමේ පෙත්සම් අත්සන් කෙරිලි, පෙළපාලි උද්ඝෝෂණ, කටවුට් ආදිය රටපුරා දියත් කිරීම ය. මහින්ද රාජපක්ෂව විදුලි පුටුව කරා ගෙන යන්නට තැත් කරන සතුරන්ට එරෙහිව රණ ගොස නංවනු ලැබීම ය.

මෙය මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියේ එක් මුහුණුවරකි, උපක‍්‍රමයකි. එම  ව්‍යාපෘතියට අනුව ඔහුට නිතරම සතුරන් සිටිය යුතු ය. නැතිනම් සතුරන් මවා ගත යුතු ය. රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර බලවතුන් තමන් සමග තරමක් ප‍්‍රකෝපකාරීව හැසිරෙනවා දකින්නට ආශා කරයි. ඊට දේශපේ‍්‍රමය අවුළුවා ගන්නටත් අවුළුවා ලන්නටත් ඒ විදියේ හැසිරීම් අවශ්‍ය ය. දේශීයව සිටි සතුරා පරාජය කර හමාර ය. (ඉදිරියේ දී නිසැකවම එය රට තුළ සතුරන් ද සතුරු කි‍්‍රයා ද නිර්මාණය කරනු ලැබ ඔවුන්ට එරෙහිව වාචික, නෛතික හා කායික ප‍්‍රහාර ද එල්ල කිරීම කුළු ගන්වනවා ඇත.) දැන් ඔවුන් සතුරන් හා සතුරු කි‍්‍රයාකාරකම් සොයා ගත යුත්තේ ජාත්‍යන්තරව ය. හැබැයි ජාත්‍යන්තර සතුරන්ට එරෙහිව සටන් වදින්නට නොවේ. මෙහි ජනයා හමුවේ රණ ගොස නගමින් වේදිකා සංග‍්‍රාම දියත් කරන්නට ය. එමගින් දේශපේ‍්‍රමී මතෙන් ජනතාව මත් කර තමන්ට ඇවසි දේ කර ගන්නට ය.  රාජපක්ෂ පාලනය පෞද්ගලික අංශයේ සේවකයන් 65 ලක්ෂයකගේ පමණ රුපියල් බිලියන ගණනක සේවක අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල කොල්ල කෑම සඳහා ව්‍යාජ විශ‍්‍රාම වැටුප් පනතක් ගෙන එන ලද්දේ ද සංවර්ධනයට මුවා වෙමින් කොළඹ කර ගෙන යන ඉඩම් කොල්ලයට එරෙහිව නැගිය හැකි විරෝධය වෙනතක හැර වීමට කි‍්‍රයා කළේ  ද මෙම රණ ගොස කුළු ගන්වමිනි. එලෙස එජා මහලේකම් ගේ උපදේශන කමිටු වාර්තාව රාජපක්ෂලා සිය දේශපේ‍්‍රමී මත් කුඩු  ජාවාරම ව්‍යාප්ත කිරීම සඳහා පිනුම් පෝරුවක් කර ගත්තේ  ය.  

මෙය මෙසේ විය හැකි බව එක්සත් ජාතීන් ගේ මහ ලේකම්ලා  නොදැන සිටියා යයි කියන්නට ද බැරි ය. මන් ද මේ පිළබඳව ජාත්‍යන්තර තලයේ යම් අදහසක් ඒ වන විටත් තිබූ නිසා ය. නිදසුන් ලෙස ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය තම රජයට යවන ලද වාර්තාවකින් කියා සිටියේ ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් පරිස්සමකින් තොරව කි‍්‍රයා කළහොත් ශී‍්‍ර ලංකා රජය එය උපයෝගී කර ගනිමින් ජනතා විරෝධයක් පෙළ ගස්වා වාසි ලබා ගැනීමට කි‍්‍රයා කරනු ඇති බවත් එමගින් තත්ත්වය වඩා ව්‍යාකූල වනු ඇති බවත් ය. මෙය සරල කාරණයකි. එක්සත් ජනපද තානාපතිනිය තේරුම් ගෙන සිටි දෙය මේ අයට තේරුම් ගන්නට බැරිවන්නට හේතුවක් නැත. 

සිව්වනුව මෙම කමිටුවට, මෙම වාර්තාවට එරෙහිව මෙහි මරා ගෙන මැරෙන ටෝක් දුන්න ද රාජපක්ෂ පාලනය ජාත්‍යන්තරව අනුගමනය කරන්නේ ”පොර ටෝක්” ප‍්‍රතිපත්තිය ම නොවේ. බෑන් කිං මූන් උපදේශන කමිටුව මෙහිදී තරයේ ප‍්‍රතික්ෂේප කළ ආණ්ඩුව තම නීතිපති ද එක්සත් ජාතීන්ගේ තම ස්ථිර නියෝජිතයා හා දෙවැනි නියෝජිතයා ද හොර රහසේ එම කමිටුව සමග සාකච්ඡුාවට යැවීය. මේ ගැන ආරංචි පැතිරෙන විට මුල දී එවැනි හමුවක් නැතැයි කී ආණ්ඩුව තම නියෝජිතයන් එම කමිටුව හමුවන ඡුායාරූප ද සමග වාර්තා පළ කරන විට එසේ හමුවූ බව පිළි ගත්තේ ය. වාර්තාව ඉදිරිපත් වූ විට එහි නිර්දේශ සමග සමස්ත වාර්තාවම ප‍්‍රතික්ෂේප කරන බවට මෙහි කෑ මොර දුන් රාජ පක්ෂ පාලනය සිය විදේශ ඇමති ඉන්දියාවට යවා එහි ඇතැම් නිර්දේශ කි‍්‍රයාත්මක කරන බවට ඉන්දියාවත් සමග ඒකාබද්ධ ප‍්‍රකාශන අත්සන් කළේ ඊට විරුද්ධ බලවේග ආණ්ඩුව තුළ සිටියදීම ය. එහෙත් බුක්ති විඳින වරප‍්‍රසාද හේතුවෙන් පොඩි සද්ධයක් පමණක් දමා නිහ`ඩ වෙනවා පමණක් අවසානයේ ආණ්ඩුවේ ඔනෑම ජඩ ප‍්‍රතිපත්තියක් වුව රකින්නට ඔවුන් ඉදිරිපත් වන නිසා කැමැත්තෙන් නොවුනත්  එසේ අත්සන් කළේ ය. රාජපක්ෂ පාලනය පිටදී හැසිරෙන්නේ එසේ ය. ඉඳහිට මැදමමුලන පුරුද්ද එලියට පැන්න ද එය ජාත්‍යන්තරව හැසිරෙන්නේ ෂේප් න්‍යායට අනුව ය. 

රාජපක්ෂ පාලනයට මේ විදියේ උපාමාරු මගින් තවත් කලකට පාලනය ගෙන හැකි වනු ඇත. එහෙත් එහි මෙම කෛරාටික රැුවටිලිකාර ස්වභාවය තේරුම් ගන්නට එතරම් කලක් ගත නොවෙනු ඇති බවක් දැන් සිදු වන දේවලට අනුව නම් පෙනෙන්නට තිබේ. දේශපේ‍්‍රමී මත වපුරද්දීත් හොර විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව කම්කරු පංතිය පෙළගැසෙන්නට වූ අයුරු ද ඒ පෙළ ගැසීම් නවතන්නට රාජපක්ෂ පාලනයට නොහැකි වු අයුරු ද අවසානයේ කම්කරු පංති ජීවිතයක් බිලි ගනිමින් වුව ඊට පනත හකුලා ගන්නට සිදුවූ අයරු ද අපි දුටිමු. එය අත්තනෝමතික, ¥ෂිත රාජපක්ෂ පාලනයේ අවසානයේ ආරම්භය සලකුණු කළා වැනි ය.  









No comments:

Post a Comment