මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, June 27, 2013

ජාතික ප්‍රශ්ණය සම්බන්ධායන් සම්පිණ්ඩනාත්මක සටහනක් -2

ලෙනින් ස්වයං තීරණයට ඇති ජාතීන්ගේ අයිතිය පිළිබඳ මාක්ස්වාදී ප‍්‍රවේශය පෙන්වා දෙන්නේ මෙසේ ය.
”ස්වයං තීරණයට ඇති ජාතීන්ගේ අයිතිය යන්නෙන් ඒකාන්තයෙන්ම දේශපාලන අර්ථයකින් ස්වාධීනත්වයට ඇති අයිතිය, පීඩක ජාතියෙන් දේශපාලන වශයෙන් වෙන් වීමේ අයිතිය අදහස් කරයි. සංයුක්තව මෙම දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම වෙන් වීමට පක්ෂව උද්ඝෝෂණ ගෙන යාමට සම්පූර්ණ නිදහස හා වෙන් වීම පිළිබඳ ප‍්‍රශ්නය වෙන් වීම අවශ්‍ය කරන ජනතාවගේ ජනමත විචාරණයක් මාර්ගයෙන් විසඳා ගැනීමට ඇති නිදහස අදහස් කරයි. ආනුෂාංගිකව මෙම ඉල්ලීම කිසිදු ආකාරයකින් වෙන් වීම සඳහා, කුඩා රාජ්‍යයන් සකස් කිරීම සඳහා වන ඉල්ලීම සමග අනන්‍ය නොවේ. එය හුදෙක්  ඕනෑම ආකාරයක ජාතික පීඩනයකට එරෙහි අරගලයේ තාර්කික ප‍්‍රකාශනය ය.” (ක්‍Critical Remarks on National Question – 168   පිටුව)
 තවදුරටත්,



”සෑම ජාතියක්ම සම්බන්ධයෙන් වෙන් වීම පිළිබඳ ප‍්‍රශ්නයට ‘ඔව්’ හෝ ‘නැත’ යනුවෙන් පිළිතුරක් ඉල්ලා සිීටීම ‘ප‍්‍රායෝගික’ එකක් ලෙස පෙනී යා හැකි ය. යථාර්ථයේ දී එය හාස්‍ය ජනක ය. න්‍යායේ දී එය පාර භෞතිකවාදී වන අතර භාවිතයේ දී ධනේශ්වරයේ ප‍්‍රතිපත්තියට යටත් කිරීම කරා ඇද දමයි. ධනේශ්වර පංතිය හැම විටම එහි ජාතික ඉල්ලීම් ඉදිරියෙන් තබන අතර එය කරන්නේ ඒකාන්ත ආකාරයෙනි. කෙසේ වුව ද නිර්ධන පංතිය සම්බන්ධයෙන් ගත් කල මේ ඉල්ලීම් පංති අරගලයේ උවමනාවන්ට යටත් ය. න්‍යායික වශයෙන් ගත් කල නිශ්චිත ජාතියක ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය තවත් ජාතියකගෙන් වෙන් වීමෙන් හෝ පසුව කී ජාතිය සමග එහි සමානත්වයෙන් හෝ නිමාවට පත්වනු ඇති බව හෝ නැති බව ඔබට කල් ඇතිව කිව නොහැකි ය. මේ කුමක දී වුව නිර්ධන පංතියට වැදගත් දෙය වන්නේ සිය පංතියේ සංවර්ධනය සහතික කර ගැනීම ය. ධනේශ්වර පංතිය සම්බන්ධයෙන් ගත් කල ඊට වැදගත් වන්නේ නිර්ධන පංතියේ අරමුණු තල්ලූ කර දැමීම මගින් මේ සංවර්ධනයට අවහිර කිරීම ය. කිසිදු ජාතියකට පොරොන්දු දීමෙන් තොරව හා තවත් ජාතියකගේ විය පැහැදමෙන් කිසිවක් දීමට භාර ගැනීමෙන් තොරව ස්වයං තීරණ අයිතිය පිළි ගැනීම සඳහා වන ප‍්‍රතිෂේධාත්මක ඉල්ලීමට නිර්ධන පංතිය තමන්ව සීමා කර ගන්නේ එහෙයිනි.” (The Right of Nations to Self – Determination 22- 23   පිටු) 


ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිගැනීමෙන් රාජ්‍යය බිඳී විසිරී යාමට මග පෑදෙනු ඇතැයි නගන තර්කය පදනම් විරහිත ය. සහෝදරත්වයේ, සමානත්වයේ පදනමක් තුළ ජාතීන් අතර සමගිය රජයන සැබෑ එක්සත් රාජ්‍යයක් ඇති කර ගනු සඳහා ඊට මහත්ම බාධකයක්ව ඇති වත්මන් ප‍්‍රජා පීඩක රාජ්‍යය බිඳී යන්නේ නම් ඒ ගැන අප පසුතැවිය යුතු ද? අ`ඩා වැලපිය යුතු ද? මේ පීඩක රාජ්‍යයෙන් පීඩිත පංතීන්ටවත් පීඩිත ජන කොටස්වලටත් කිනම් හෝ යහපතක් සිදු වන්නේ ද? එය වෙනත් කාරණයකි. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිගැනීමෙන් රාජ්‍යය බිඳී විසිරී යාමට මග පෑදී ඇත්තේ කොහේ ද? මේ අයිතිය පිළිගත් නිසා කැඞී ගිය රාජ්‍යයක් පිළිබඳ එක ද නිදසුනක් හෝ දැක්විය හැකි ද? නැත, මෙම අයිතිය පිළිගැනීමෙන්  සිදු වන්නේ අප මෙහි මුලින් ද දැක් වූ පරිදි ජාතීන් වෙනම රාජ්‍යයන් වශයෙන් කැඞී යාමේ ප‍්‍රවනතාවන් දුර්වල වී එක්සත් වීමේ ප‍්‍රවනතාවන් ශක්තිමත් වීමට තත්ත්වයන් සැකසීම ය. යළිත් මෙහිදී රුසියානු සෝවියට් ඒකාබද්ධ සමාජවාදී ජනරජය ඇතුළු අනෙකුත් සෝවියට්  සමාජවාදී ජනරජයන්ගේ ද එක්සත් සෝවියට්  සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ ද නිදසුන් දක්වන්නට පුළුවන. මේවායේ දී ස්වයං තීරණ අයිතිය පිළිගත් නිසා කැඞී යාමේ ප‍්‍රවනතාවන් වර්ධනය වූයේ නැත. කැඞී ගියේ සාර් විසින් ඇඳා ගනු  ලැබ තිබූ පෝලන්තය, පින්ලන්තය, යුක්රේනය ආදී රටවල් ය. රුසියාව තුළ වූ එකදු ජාතියක්වත්, සුළු ජන සමූහයක්වත් සෝවියට් රසියාවෙන් කැඞී ගියේ නැත.   සිදු වූයේ එක්සත් වීම ය.

අනෙක් අතට වෙන් වීම ප‍්‍රයෝගිකව සිදු විය හැකි ය යන කාරණය නිසා එකී අයිතිය ප‍්‍රතික්ෂේප කළ හැකි ද? එවිට එය බලහත් කාරයෙන් රඳවා තබා ගැනීමක් වන්නේ නැති ද? එවිට සිදු වන්නේ කුමක් ද? කැඞී වෙන් වී යාමේ ප‍්‍රවනතා ශක්තිමත් වීම නොවේ ද?

අපි ලංකාවේ නිදසුනම ගනිමු. උතුර හා නැගෙනහිර වෙනම රාජ්‍යයක් අරමුණු  කරගත් එල්ටීටීඊය යුදමය වශයෙන් සම්පූර්ණ පරාජයකට පත්කර දැමීමෙන්  දමිළ ජනතාව තුළ ගොඩ නැගී තිබූ වෙනම රාජ්‍යයක් සඳහා වූ අභිලාෂය වියැකී ගොස් තිබෙනවා යයි කිව හැකි ද? කොහෙත්ම නොහැකි ය. මක් නිසා ද එසේ නැති වී යන්නට කිසිදු හෝ පදනමක්, වටාපිටාවක් ඇතිවී හෝ ඇති කර නොමැති නිසා ය. එල්ටීටීඊය යටතේ ද උතුරේ හා නැගෙනහිර දමිළ ජනයා ජීවත් වූයේ අත්තනෝමතික පාලනයක් යටතේ ය යන්න සත්‍යයකි. එහෙත් දකුණේ පාලකයන් දමිළ ජනයා මත පටවා තිබූ වෙනස්කොට සැලකීමේ අත්තනෝමතික හා මර්දනීය පාලනයට සාපේක්්ෂව එල්ටීටීඊය ඔවුන්ට ස්වකීය වීම තාර්කික විය, යුක්ති යුක්ත විය. යුද්ධයෙන් කෙරුණු එල්ටීටීඊය සමූල ඝාතනයෙන් දමිළ ජනතාවට ලැබුණේ කුමක් ද? ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇත්තා වූ  දරුණුතම වහල්භාවයක් නොවේ ද? ඔවුන්ගේ ජාතිකාභිමානය කුඩු පට්ටම්කර දැමීම නොවේ ද? දකුණේ ජනයා දකුණේ පාලකයන් පමණක් නොව ජනතාවගෙන් බහුතරයක් ද පෙනී සිටින්නේ දමිළ පමණක් නොව මුස්ලිම් ආදී සිංහල නොවන ජනයා ද  බෞද්ධ නොවන ජනයා ද ස්වකීය ආධිපත්‍යය යටතේ තබා ගැනීමට ය. යටත් පිරිසෙයින්  පළාත් සභා වැනි අවම හෝ දෙයක් උතුරේ දමිළ ජනයාට ලබා දෙනවාට ඔවුන් විරුද්ධ ය. මේ කාරණයේ දී ජවිපෙ පෙරමුණේ ම ඉන්නට සටන් වදී. පෙසප සිටින්නේ ද  කුමන හෝ බල බෙදීමකට විරුද්ධව ය. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ එකට  සිටීම ගැන සිතීමක් දමිළ ජනයා තුළ හට ගන්නේ කෙසේ ද?

මේ හේතුවෙන්  රාජ්‍යය බිඳී විසිරීයාමේ තර්ජනය ඊයේටත් වඩා අද, අදටත් වඩා හෙට මතූවනවා ඇත. එසේ නම්  රාජ්‍යය බිඳී විසිරීයාමේ තර්ජනය ස්වයං තීරණය නම්  ප‍්‍රතිපත්තිය පිළිගැනීමෙන් බාහිරව දැනටමත් සිදුවෙමින් පවතින ක‍්‍රියාවලියක් බව පිළිගත යුතු ය. ලෙනින් සඳහන් කරන විදියට වෙනවී ඉවත්වීමේ අයිතිය පිළිගැනීමෙන් රාජ්‍යය ලිහී විසිරී යමේ අන්තරාය අඩුවන්නේය. එය එසේ වන්නේ පීඩිත දෙමළ ජනතාව තූළ දකුණේ පීඩිත පංතික ව්‍යාපාරය කෙරෙහි සැක සාංකා තුරන්වී විශ්වාසය ගොඩනැගීමට තත්ත්වයන් සැකසෙන නිසා ම පමණක් නොව දමිළ ජාතික ධනපති පංතියට තවදුරටත් ජාතිකවාදී සටන් පාඨ අහිමි කරන නිසා ය. ස්වයංතීරණ ප‍්‍රතිපත්තිය පිළිගැනීම සිංහල දෙමළ පාර්ශවයන් දෙක අතර යහපත් සංවාදයකට ඉඩකඩ විවෘත කරනවා ඇතැයි යන්න නිසැකව කිව හැකි ය. එවැනි පරිසරයක ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සැබෑ වැඩපිළිවෙලක් ගැඹුරින් ඒත්තු ගැන්වීම හා ඒ වෙත සියළු ජාතින්ට අයත් පීඩිත පංතිකයන් දිනා ගැනීම පහසුවෙනවා ඇත. අනෙක් අතට ස්වයං තීරණයේ අයිතිය පිළිගැනීම යටතේ එක්සත් වූ රාජ්‍යයක  පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරුවීමේ වැඩි ඉඩක් පවතී. මක් නිසා ද ලිහී විසිරීයාමේ අවදානම ඉදිරියේ මධ්‍යම රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිළිවෙත්වල පිහිට සොයා යාමට පසුබටවනු ඇති නිසා ය. මේ තත්ත්වය පෙරළා රාජ්‍යයේ එක්සත්බව ආරක්ෂා කිරීමට දායක වනු ඇත. අද උතුර මුළුමනින් ම හමුදාකරණයට යටත් කර ඇතිවාක් මෙන් එක්සත් රාජ්‍යක් තුළ එසේ කිරීම කොහෙත්ම පහසු කාර්යයක් නොවනවා ඇත. යම් හෙයකින් මධ්‍යම රජය අත්තනෝමතිකව ක‍්‍රියාකරන්නට යන්නේ නම් එයම රාජ්‍යයේ එක්සත්බව අනතුරේ හෙලනවා ඇත. පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වෙන්වීම අධෛර්මත් කෙරෙන අතර ඒ නිසාම ලිහී විසිරීයාමේ අනතුර අඩු කෙරෙයි.

4.    ලංකාවේ දමිළ ජනයාගේ අරගලය පීඩිත ජාතික විමුක්ති අරගලයක් නොවේ, බෙදුම්වාදී අරගලයකි. එය අධිරාජ්‍යවාදීන්ගේ රටවල් බෙදා කැබලි කිරීමේ උපාය මාර්ගයේ කොටසකි. එහෙයින් ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළි ගැනීමෙන් සිදු වන්නේ බෙදුම්වාදය ශක්තිමත් කිරීම යි.

මෙය ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම සඳහා ගෙනෙනු ලබන ප‍්‍රධානම තර්කය යි. මෙම තර්කය ප‍්‍රබල ලෙස නගාලනුයේ ජවිපෙ ය. පෙසප ද යම් යම් වෙනස්කම් ඇතිව නමුත් බොහෝ පරිස්සමින් හා වක‍්‍රාකාරව නොකියා කියා සිටිනුයේ ලංකාවේ දමිළ ජනයාගේ ස්වයං තීරණය සඳහා වන අරගලය රටවල් බෙදා වෙන් කිරීමේ අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගය මගින් කළමනාකරණය කරනු ලබන්නක් බව ය. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළි ගැනීම හා සටන් පාඨයක් ලෙස භාවිතා කිරීම දෙමළ ධනේශ්වර ජාතිවාදීන්ගේ දේශපාලන අවශ්‍යතා තෘප්ත කිරීමක් හා නිර්ධන පංතිය භේද කිරීමට මග පෑදිය හැක්කක් බව ය. එය පිළි ගැනීම පෙරළා සිංහල ධනේශ්වර ජාතිවාදය පෝෂණය කිරීමට දායක විය හැකි හා එමගින් ජනගහනයෙන් අනෙකුත් අඩු කොටස් නියෝජනය කරන ජාතික ප‍්‍රජාවන්ගේ එම අයිතිය පිළි ගැනීම වළක්වා ලිය නොහැකි වනු ඇති බව ය. මේ නම් පුදුම මක්ස්වාදයකි.

ලංකාවේ දමිළ ජාතික ප‍්‍රශ්නයේදී පමණක් නොව ලෝකයේ කවර රටක කවර ආකාරයක හෝ ප‍්‍රශ්නයකදී ගෝලීය බලවතුන් ක‍්‍රියා කරන්නේ ඔවුන්ගේ උවමනාවන් කේන්ද්‍රීය කරගත් මූලෝපායයන් මත පිහිටා ය. (මෙහි දී එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව, චීනය ආදී වශයෙන් කියා වෙනසක් නැත. මේ සියල්ලෝම අපේ ව්‍යාජ මිතුරන් ය.) අද ඉන්දියාව ගෝලීය ධනවාදය තුළ දරන තත්ත්වය අනුව ප‍්‍රතිවිරෝධයන් මැද වුව ද ඉන්දියාවේ උවමනාවන් නොසලකා හැර ක‍්‍රියාකිරීමේ හැකියාවක් එක්සත් ජනපද හෝ යුරෝපීය බලවතුන්ට නොමැති හෙයින් ඒ අනුව  ඔවුන් ලංකාව සම්බන්ධයෙන් තම උපාය මාර්ගය ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන මූලෝපායික ප‍්‍රතිපත්තිය සමග නොගැටෙන ලෙස  සකස්කර ගැනීමට වග බලාගනී. මේ නිසාය ඔවුන් ඉන්දියාව අනුව යමින් ලංකාවේ දමිළ  ජාතික ප‍්‍රශ්නයේදී වෙනම රාජ්‍යයකට මෙහා දේශපාලන විසඳුමක් යෝජනා කරනුයේ. අධිරාජ්‍යවාදී උපාය මාර්ගයන් කාලීන, ජාත්‍යන්තර මෙන්ම කලාපීය තත්ත්වයන් අනුව විශ්ලේෂණය කරගත යුතු වෙයි. එසේ නොකොට රටවල් බෙදා වෙන්කිරීමේ අධිරාජ්‍යවාදී උපාය මාර්ගය මහත් ඉහළින් හුවා දක්වා මුළුමනින් ම ඒ මත දේශපාලන කි‍්‍රයාමාර්ග තේරීමට යාමෙන් දමිළ පීඩිත ජාතියටත් පොදුවේ පීඩිත පංතියටමත් ගෙන දෙනුයේ මහත් හානියක්ම බව ජවිපෙ ඉතිහාසය අපට උගන්වයි.

අද එම සටන් පාඨය  රාජපක්ෂ රෙජිමයේ පැවැත්මට මහ`ගූ රුකුලක් වී තිබීම උත්ප‍්‍රාසජනක ය.  ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි සියළු ජාතීන්ට අයත් නිර්ධන පංතියේ විප්ලවීය එක්සත්භාවය හුදු වාක්‍ය ඛණ්ඩයකට සීමා නොකර යථාවක් බවට පත් කර රාජ්‍යයන් බිඳී විසිරී යෑමේ අන්තරාය අවම කළ හැක්කේ වෙන්වී ඉවත්වීමේ අයිතිය පිළිගන්නා ස්වයං පාලන ප‍්‍රදේශ සහ සියළු ජාතිකත්වයන්ට සමානාත්මතාවය සහතික කරන පුළුල්තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙලකට පමණි. එවැනි ප‍්‍රතිපත්තියක නොපිහිටා දමිළ ජාතික ඉල්ලීම හුදෙක් රට බෙදීමක් ලෙස අර්ථ දැක්වීම ධනේශ්වරයේ  ජාතිකවාදී උවමනාවන් සමග සමපාත වන බව නම් පැහැදිලි ය. රට බෙදීම වැළක්වීමට රාජපක්ෂවාදීන්ටත් වඩා රාජපක්ෂ රෙජිමයට සහාය දීමෙන් ජවිපෙ උතුරේ පීඩිත දමිළ ජනයාටත්  දකුණේ පීඩිත සිංහල හා සෙසු ජනතාවන්ටත් ලබා දුන්නේ කුමක් ද? 

මේ ප‍්‍රශ්නයේ දී මෙබඳු තර්ක ගෙන එමින් ස්වයං තීරණය සඳහා පීඩිත දමිළ ජනයාට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නේ  මහ ජාතිකවාදීන් හැරුණු විට මහ ජාතිකවාදී ආස්ථනයක තිර ලෙස රැුඳී සිටින ජවිපෙ හා ජවිපෙ ආස්ථානයෙන් සපුරා කැඞී වෙන්වීමට නොහැකිව න්‍යායික අවුලක පැටලී සිටින පෙසප වැනි පක්ෂ පමණක් නොවේ. ”පිරිසිදුම” මාක්ස්වාදී පක්ෂය වශයෙන් පෙනී සිටින සමාජවාදී සමානතා පක්ෂය ද  ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය සම්බන්ධ රෝසා ලක්සම්බර් දැරූ මාක්ස්වාදයේ ජීව ගුණයෙන්  බැහැරට ගිය ආධානග‍්‍රාහී ආස්ථානයන් ගුරු කොට ගනිමින් දමිළ ජනයා අරභයා මෙම අයිතිය ප‍්‍රතික්ෂේප කරයි.

”එක් සමයක ප‍්‍රගතිශීලී හා විප්ලවවාදී අන්තර්ගතයක් පැවැති සූත‍්‍ර හා සටන් පාඨ තවත් කාලයක දී මුළුමනින්ම වෙනස් අර්ථයකින් ගැනීම මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ දී බොහෝ විට දක්නට ලැබී තිබෙන දෙයකි. ජාතික ස්වයං නීර්ණය ඉදිරිපත් කරන්නේ හරියමට ඒ සමාන තත්ත්වයකි” යි කියන එය ”අද ‘ ස්වයං නීර්ණ අයිතිය’ මතු කිරීමෙන් සාර්වර්තිකව අදහස් කෙරෙන්නේ ජාතික බෙදී වෙන්වීමට සහ නව රාජ්‍යයක් නිර්මාණය කිරීමට උපදෙස් දීමයි..... ශී‍්‍ර ලංකාව තුළ ‘දෙමළ ජනයා සඳහා ස්වයං නීර්ණය’ යන සටන් පාඨය ප‍්‍රායෝගික දේශපාලන ආස්ථානයකින් සැලකූ කල්හි අද ගන්නේ එකම එක අර්ථයකි. ඉන් කෙරෙන්නේ එල්ටීටීඊයේ ජාතික බෙදුම්වාදී ව්‍යාපෘතියට සහය දීම සහ එම ව්‍යාපාරය විසින් රාජ්‍යයක් නිර්මාණය කිරීම මහජනතාවට ද ශී‍්‍ර ලංකාව තුළ සමාජවාදයේ වර්ධනය සඳහා වඩා වාසිදායක කොන්දේසි කෙසේ හෝ නිර්මාණය කරනු ඇතැයි දෙමළ කම්කරුවන්ට හා පීඩිතයන්ට ද පැවසීම යි.” (බලන්න, භූගෝලීයකරණය සහ ජාත්‍යන්තර කම්කරු පංතිය - මාක්ස්වාදයේ සුළු ධනේශ්වර ප‍්‍රතිවාදීන්ට පිළිතුරක්)

මාක්ස්වාදීන් ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළි ගන්නේ අප පෙර ද දක්වා ඇති පරිදි ජාතීන් බෙදී වෙන්විය යුතු ය යන නිරපේක්ෂ අර්ථයෙන් නොවේ. එක්සත්වීම ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රතිපත්තියක් වශයෙනි. ඒ බව මෙම අයිතිය සම්බන්ධ විවාදයන්හි දී ලෙනින් ඇති තරම් පෙන්වා දී ඇත. එම අයිතිය පීඩක හා පීඩිත ජාතීන් අතර සම්බන්ධයේ දී පැන නගින්නක් වන අතර එය පිළි ගැනීමෙන් කරන්නේ පීඩක ජාතියේ පාලකයන්ට වෙනස්ව අප පීඩිත ජාතියේ අයිතීන් පිළි ගැනීම, පීඩක මහ ජාතික ප‍්‍රතිපත්තියට එරෙහිව සටන් වැදීමේ අපේ සූදානම සහ අධිෂ්ඨානය ප‍්‍රකාශ කර සිටීම හා අංශු මාත‍්‍රයක හෝ බලහත්කාරයක් නොකරන බවට පීඩිත ජාතික ජනතාවන්ට සහතිකවීම ය.  එනයින් වෙන්ව නොව එක්සත්ව සටන් වදින්ට හැකි පදනමක් තිබෙන බව පීඩිත දමිළ ජනතාවට පෙන්වා දීම හා ඒත්තු ගැන් වීම ය. ඊට විරුද්ධ වීමෙන් කරන්නේ පීඩිත දමිළ ජනයා දමිළ ධනේශ්වරයේ තුරුලටම හා ඔය කියන බෙදුම්වාදයටම තල්ලූ කර දැමීම ය. ලෙනින් කියන මේ දෙය බලන්න.

”මේ අරමුණ සාක්ෂාත් කර ගනු සඳහා එක් අතකින් අපි ඊනියා ‘සංස්කෘතික  ජාතික ස්වයං පාලනය’ පිළිබඳ  රෙනර් සහ ඔටෝ බවර්ගේ අදහස්වල ප‍්‍රතිගාමි ස්වභාවය බහු ජනයාට විස්තර කර දිය යුත්තෙමු. ඒ අතරම අනෙක් අතින් පොදුවේ පමණක් නොව, නොපැහැදිලි වාක්‍ය ඛණ්ඩවලින්, සන්ධාරයෙන් ශූන්‍ය ඝෝෂාවන්ගෙන් නොව, සමාජවාදය ස්ථාපිත කරන තෙක් ප‍්‍රශ්නය ‘කල් දැමීම’ මගින් නොව විශේෂයෙන් පීඩක ජාතික සමාජවාදීන්ගේ කෛරාටික බව සහ බිය සුළුබව සැලකිල්ලට ගන්නා, පැහැදිලිව හා නිවැරදිව සකස් කරන ලද දේශපාලන වැඩපිළිවෙලකින් පීඩිත ජාතීන්ගේ විමුක්තිය ඉල්ලා සිටිය යුත්තෙමු. මිනිස් වර්ගයාට පංතීන් අහෝසි කිරීම මුදුන් පමුණුවා ගත හැක්කේ පීඩිත පංතියේ ආඥාදායකත්වයේ සංක‍්‍රමණීය කාල පරිච්ෙඡ්දය තුළින් පමණක් සේම ජාතීන්ගේ  නොවැලක්විය හැකි ඒකාබද්ධතාවය මුදුන් පමුණුවා ගත හැක්කේ සියලූ පීඩිත ජාතීන්ගේ සම්පූර්ණ විමුක්තියේ එනම් වෙන් වීම සඳහා වන ඔවුන්ගේ නිදහසේ  සංක‍්‍රමණීය කාල පරිච්ෙඡ්දයක් ඔස්සේ ගමන් කිරීම මගින් පමණි. (ක්‍රසඑසජ්ක ඍැප්රන්ි දබ එයැ භ්එසදබ්ක ූමැිඑසදබ 170 පිටුව, අවධාරණය අපේ)  

5.    මෙම අයිතිය මුලදී මාක්ස්වාදීන් විසින් පිළි ගනු ලැබූවක් වුව ද පසුව අත් හැර දමන ලද්දක් බව ද එහෙයින් එය යොදා ගැනීමේ අර්ථයක් නැති බව ද මෙහිලා දක්වන තවත් හේතුවකි. ස්වයං තීරණයට ජාතීන්ට ඇති අයිතිය ගැන වූ සූත‍්‍රය ගෙනෙන ලද්දේ කෞට්ස්කි විසින් බවත් 1896 දෙවන ජාත්‍යන්තරයේ ලන්ඩන් සමුළුවේදී එය අනුමත කෙරුණ බවත් එතැන් සිට ඔක්තෝබර් විප්ලවය දක්වා එකී සූත‍්‍රය පිළිබඳ මහත් වූ විවාදයක් පැවැති බවත් 1898 මාර්තුවල මින්ස්ක්හි පැවති රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ  පළමුවන සමුළුව ලෙනින් සයිබීරියාවේ පිටුවහලේ සිටියදී ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිබඳ කෞට්ස්කි සූත‍්‍රය එහි ප‍්‍රකාශනයට ඇුතුළත් කරනු ලැබූ බවත් එතැන් පටන් ලෙනින් මෙම සූත‍්‍රය පිළිගත් බවත් එහෙත් යුරෝපයේ පිටුවහලේ සිට 1917 අපේ‍්‍රල් 16 රුසියාවට පැමිණි ලෙනින් කලින් පිළි ගෙන තිබූ සූත‍්‍ර ගණනාවක්ම වෙනස් කිරීමට පියවර ගත්තා සේම ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිබඳ සූත‍්‍රය ද ඉවත ලූ බවත් එලෙස ”ජාතික ගැටළුව පිළිබඳ නිර්ධන පංති විප්ලවකාරී ස්ථාවරයේ ලෙනින්වාදී සාමාන්‍යකරණය මගින් දෙවැනි ජාත්‍යන්තරයේ කෞට්ස්කිගේ සූත‍්‍රය පලවා හැරි” බවත් මෙහි දී කියනු ලබන දෙය ය. මෙම තර්කය ගෙනෙනු ලැබුවේ විජේවීර එනයින් ජවිපෙ විසිනි.
මෙම ප‍්‍රකාශය අපි කිසිදු දෙගිඩියාවකින් තොරව ද නිරවශේෂයෙන් ද ප‍්‍රතික්ෂේප කරමු. ජවිපෙ කියන ලෙස ලෙනින් කිසි විටෙක එම ප‍්‍රතිපත්තිය අතහැර නොදැමී ය. ලෙනින් විසින් කරනු ලැබුවේ එය වඩාත් නිශ්චිතව හා සංයුක්තව ඉදිරිපත් කළ යුතු විෂය බද්ධ තත්ත්වයක් එළඹ තිබූ විට දී පුළුල් පරාස අර්ථකතනයන්ට හා එනිසාම වියුක්ත අර්ථකතනයන්ට මග පාදනසුළු ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය යන වාක්‍ය ඛණ්ඩය එලෙස යොදනවා වෙනුවට එම විෂය බද්ධ තත්ත්වය යටතේ එම අයිතිය නිදහසේ වෙන්වීමට සහ ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගැනීමට රාජ්‍යයේ සියළු සාමාජික ජාතීන් සතු අයිතිය යනුවෙන් හරියටම සංයුක්ත හා පැහැදිලි ප‍්‍රකාශනයක් ලෙස පක්ෂ වැඩපිළිවෙලට ඇතුළත් කිරීම ය. විස්තරාත්මකව ගතහොත් මෙසේ ය. 1917 අපේ‍්‍රල් මැයි පැවැත්වූ බොල්ෂෙවික් පක්ෂයේ විශේෂ සාකච්ඡුා සභාව්දී ගත් තීරණයක් අනුව පක්ෂ වැඩපිළිවෙල සංශෝධනය කිරීම සඳහා කෙරුණු  දීර්ඝ සාකච්ඡුාවන්ට හා විවාදයන්ට  අනතුරුව  1919 පැවැත්වූ 8 වන පක්ෂ සමුළුව විසින් නව වැඩපිළිවෙලක්  සම්මත කරනු ලැබිණ. ඒ අනුව  1903 වැඩ පිළිවෙලේ 9 වගන්තියේ රාජ්‍යයේ සියළු සාමාජික ජාතීන් සඳහා ස්වයංතීරණ අයිතිය  යන්න වෙනුවට
නිදහසේ වෙන්වීමට සහ ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගැනීමට රාජ්‍යයයේ සියළු සාමාජික ජාතීන් සතු අයිතිය.  රුසියානු ජාතික සමූහාණ්ඩුව අනෙකුත් ජාතීන් හෝ ජාතිකත්වයන් ආකර්ෂණය කරගත යුත්තේ බලහත්කාරය මගින්  නොව, පොදු රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ ප‍්‍රශ්නය පිළිබඳ සම්පූර්ණයෙන්ම ස්වෙච්ඡුා එක`ගතාවය මගිනි. සියලූ රටවල කම්කරුවන්ගේ එක්සත්බව හා සහෝදරාත්මක සන්ධානය, අනෙකුත් ජාතිකත්වයන්ට එරෙහිව සෘජුව හෝ වක‍්‍රව බලහත්කාරය යෙදවීමට ප‍්‍රතිවිරෝධි වෙයි. 
යන්න ඇතුළත් කළේ ය. මෙය එනම් නිදහසේ වෙන්වීමට සහ ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගැනීමට රාජ්‍යයේ සියළු සාමාජික ජාතීන් සතු අයිතිය යන්න ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය නොවේ නම් වෙන කුමක් ද? හොඳයි අපි මෙහිදී මොහොතකට විජේවීර හා ජවිපෙ කියන පරිදි ලෙනින් ස්වයං තීරණය පිළිබඳ අයිතිය ප‍්‍රතික්ෂේප කළා යයි සිතමු. ලෙනින් ඒ අයිතිය, ඒ සූත‍්‍රය අත් හැර ඒ වෙනුවට ඇතුළත් කරන්නේ කුමක් ද?  නිදහසේ වෙන්වීමට සහ ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගැනීමට රාජ්‍යයේ සියළු සාමාජික ජාතීන් සතු අයිතිය  යන්න යි. ඉතින් ජවිපෙ මේ අයිතිය පිළි ගන්නවා ද? ලෙනින් කළ වෙනස් කිරීම පිළි ගන්නවා ද? ඒත් නැත. එය ද ප‍්‍රතික්ෂේප කරයි. ජවිපෙ තමන් වෙනුවෙන් සාක්ෂියට කැඳවූ ලෙනින්වත් අවසානයේ මෙලෙස ඉවත ලන්නේ උත්ප‍්‍රාස දනවන අයුරිනි.
නිදහසේ වෙන්වීමට සහ ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගැනීමට රාජ්‍යයේ සියළු සාමාජික ජාතීන් සතු අයිතිය යන්න ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය යන්නෙහි ප‍්‍රධාන අඩංගුව ය. නිදහසේ වෙන්වීමට සහ ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගැනීමට රාජ්‍යයේ සියළු සාමාජික ජාතීන් සතු අයිතියෙන් තොරව ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතියක් ගැන කතා කරන්නට නොහැකි ය. එහෙත් ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ එය පමණක්ම නොවේ. එක්ව විසීමට තීරණය කිරීම ද එකී අයිතියට ඇතුළත්. තවදුරටත් කියනවා නම් එක්ව විසීමට තීරණය කිරීමේ සිට වෙන්ව වෙනම රාජ්‍යයක් ගොඩ නැගීම දක්වා වන  ඕනෑම තීරණයක් ගැනීම ස්වයං තීරණය පිළිබඳ අයිතියට ඇතුළත්.
ලෙනින් කියන මේ දෙය බලන්න.
”ඔබ කළ යුතුව තිබෙන දෙය වන්නේ රුසියාවෙහි පීඩිත ජාතීන් සඳහා වෙන් වීමේ නිදහස අවධාරණය කිරීම හා පෝලන්තයෙහි ඔවුන්ගේ එක්සත් වීමට ඇති නිදහස අවධාරණය කිරීම ය. එක්සත්වීමට ඇති නිදහස යන්නෙන් වෙන්වීමට ඇති නිදහස හ`ගවයි. අප රුසියානුවන් වෙන් වීමට ඇති නිදහස අවධාරණය කළ යුතු අතර පෝලන්තවරුන් එක්සත් වීමට ඇති නිදහස අවධාරණය කළ යුතු ය.” (ජාතික ප‍්‍රශ්නය පිළිබඳව 1917 අපේ‍්‍රල් 29 කළ කතාව)
එලෙස යමෙක් මෙම අයිතිය ප‍්‍රතික්ෂේප කිරීමෙන් කරන්නේ පීඩිත ජාතියකට තිබෙන වෙන් වී වෙනම රාජ්‍යයක් ඇති කර ගැනීමේ  අයිතිය පිළි ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම පමණක් නොවේ. එක්ව විසීමට තීරණය කිරීමට ද ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම යි. එහෙත් වෙන්වීමේ අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නෝ එක්ව විසීමට තීරණය කිරීමේ අයිතිය ප‍්‍රතික්ෂේප නොකරති. මෙයින් පෙන්නුම් කරන්නේ මෙලෙස ස්වයං තීරණයට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නවුන් එසේ කරන්නේ එක්කෝ ඔවුන් මහ ජාතියට අයත් වන්නන් නම් මහ ජාතිකවාදී පටු භාවයෙන් නිදහස් වීමට ඔවුන්ට ඇති නොහැකියාව නිසා බව ය. එසේත් නැතහොත් එම අයිතියේ සැබෑ සන්ධාරයවත්  නොදන්නා බව ය.
ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතියට නැතිනම් වෙන්වී ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගැනීම සඳහා  ජාතීන් සතු  අයිතියට  මාක්ස්වාදීන් සහයෝගය දක්වන්නේ නිශ්චිත හා පැහැදිලි පංතිමය උවමනාවන් මත පිහිටා ය. ඓතිහාසික හා ආර්ථික දෘෂ්ටිකෝණයට අනුව ධනපති ක‍්‍රමයේ සංවර්ධනය සඳහා හොඳම තත්ත්වයන් සහතික කෙරෙන්නේ ජාතික රාජ්‍යයෙනි. නිදහස් හා විස්තීර්ණ වාණිජ ව්‍යාපාරය, පංතීන්ට නිදහස්  හා පළල් ලෙස කණ්ඩායම්ගත වීමේ ඉඩකඩ, පොදු භාෂාවක් කතා කරන ප‍්‍රජාවක් හා දේශපාලනමය වශයෙන් එක්සත් දේශයක් ආදී වශයෙන් වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයේ පූර්ණ සංවර්ධනය සඳහා අවශ්‍ය පහසු තත්ත්වයන් සපයනු ලබන්නේ ජාතික රාජ්‍යය විසිනි. එම ව්‍යායාමයේදී එය විසින් නිෂ්පාදන බලවේගයන් වර්ධනය කරමින් ද නිෂ්පාදනය සමාජීයකරණය කරමින් ද සමාජවාදය ගොඩ නැගීම සඳහා අවශ්‍ය භෞතික තත්ත්වයන් ද නිර්මාණය කරයි. එසේම එය විසින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රාග්ධනය හා පීඩිත පංති ව්‍යාපාරය අතර ප‍්‍රතිවිරෝධීභාවය එළිමහනට හා පෙරට ගෙන එයි. මීට සාපේක්ෂව නිශ්චිත කොන්දේසි යටතේ බහු  ජාතික සංයුතියකින් යුත් ජාතික පීඩනය නිසාවෙන් මහත් වේදනා විඳින්නාවූ රාජ්‍යයන් ඌන සංවර්ධනය තුළ තැග්ගැහෙමින් ඓතිහාසික සංවර්ධනයේ මග අවුරාගෙන සිටියි. වෙන්වී ස්වාධීන රාජ්‍යයන් පිහිටුවා ගැනීම සඳහා ජාතීන් සතු අයිතියට සහයෝගය දැක්වීමේදී මාක්ස්වාදීන් සැලකිලිමත් වන ඓතිහාසික හා ආර්ථික දෘෂ්ටි කෝණය එයයි.
අනෙක් දෘෂ්ටිකෝණය දේශපාලන හා මනෝවිද්‍යාත්මක ස්වරූපයක් ගනී. භාෂාමය, ආගමික හා වාර්ගික සීමාන්තිකවාදී ලක්ෂණ ස්වභාවයෙන්ම අඩංගු කරගන්නා ජාතිකවාදය එහි පටු ස්වභාවයෙන් ගත් කල  සමාජවාදී ව්‍යාපාරය ඉදිරියේ මහත්ම බාධකයක් ලෙස නැගී සිටී. පීඩිත ජාතියේ ජාතික ව්‍යාපරය අවශ්‍යයෙන්ම ජාතිකවාදය මත පිහිටන අතර එය ද්විත්ව ස්වභාවයක් ගනී. එක් පසෙකින් එය පීඩනයට විරුද්ධ පොදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හරයක් අඩංගු කර ගන්නා අතර අනෙක් පසින් පටු හෙවත් සීමාන්තික ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රතිගාමී හරයක් අඩංගු කර ගනී. මාක්ස්වාදීන් ජාතිකවාදයේ මෙකී සීමාන්තික අන්තර්ගතයට විරුද්ධව දැඩි සේ සටන් කරන අතර ම එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අන්තර්ගතයට කොන්දේසි විරහිතව සහාය දක්වයි. යමෙක් හෝ ව්‍යාපාරයක් මෙම වෙනස නොසලකා ජාතිකවාදය සමස්තයෙන් ගෙන ඒ හා සහයෝගී වන්නේ නම්  එය තමන්ගේ ම ජාතික ධනපති පංතියේ උවමනාවන් හා එක පෙළට සිට ගැනීමක් වන්නේ ය. මින් අනෙක් ජාතියේ පීඩිත පංතිය තුළ අනිවාර්ණීය වශයෙන් අවිශ්වාසය අවුලූවන්නේ ය. ධනපති පංතිය විසින් දැනටමත් භේද භින්නකර ඇති පීඩිත පංතිය ඉන් වැඩිදුරටත්  භේදකර ඔවුන් අතර සමගිය දුර්වල කෙරෙන්නේ ය. ඒ ආදී වශයෙනි.
මාක්ස්වාදී වැඩපිළිවෙලක් තුළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ  ප‍්‍රතිපත්තිය මගින් දෙආකාරයක කර්තව්‍යයක් ගම්‍ය කෙරෙයි. එනම් ඉන් එක් අතකින් සියලූම ජාතීන් සඳහා සමාන අයිතිවාසිකම් ද ස්වාධිපත්‍යය සඳහා ජාතීන් සතු අයිතිය ද පිළිගැනීම  ප‍්‍රකාශ කෙරෙන අතර අනෙක් අතින් පංති අරගලයේ ජයග‍්‍රහණය සඳහා  නිර්ධන පංති  සංවිධානයන්ගේ ජාතික හා ජාත්‍යන්තර සමගිය ආරක්ෂා කිරීමේ  වැදගත්කම ද ප‍්‍රකාශ කෙරෙයි. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතියට විරුද්ධ වන්නන්ට මෙම දෙආකාර කර්තව්‍යයන් පිළිබඳ කිසිදු නිරාකූල අවබෝධයක් ඇති බව පෙන්නුම් නොකෙරේ.

6ග    සමහරු ජාතික ගැටලූවේ දී ස්වයං තීරණ අයිතිය වෙනුවට  සම අයිතිය යෝජනා කරති. මෙහි දී පෙසප කැපී පෙනෙයි. එය කියන්නේ මාක්ස්වාදීන් සටන් වැදිය යුතුව තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සම අයිතිය මත පදනම්ව ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා ය කියා ය.   
පැහැදිලි ලෙසම මෙය පිරිසිදු ලිබරල්වාදී ආස්ථානයට නෑකම් කියන්නකි. අද උත්සන්න තත්ත්වයට පත්ව ඇති දමිළ ජාතික ප‍්‍රශ්නයට විසඳුම් වශයෙන්  සම අයිතිය ඉල්ලීම  පමණක් අඩංගු කරගත් වැඩපිළිවෙලක් කරුණු කීපයක් අනුව මාක්ස්වාදී වැඩපිළිවෙලක් ලෙස සැලකිය නොහැකි ය.  අප පෙර සඳහන්කර ඇති පරිදි ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මාක්ස් ලෙනින්වාදී වැඩපිළිවෙලක අන්තර්ගතයෙන්  දෙආකාරයක කාර්යභාරයක් ප‍්‍රකාශ වෙයි. වැදගත්ම කාර්යය නම් අධිරාජ්‍යවදයට හා ධනවාදයට එරෙහිව සියලූම ජාතීන්ට අයත් පීඩිතයින්ගේ සමගිය ගොඩ නැගීම ය. දෙවැන්න  ඒ සඳහා ජාතීන් අතර විශ්වාසය ගොඩ නැගීමත් පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමත්  සඳහා පීඩිත ජාතියට වෙන්වීමේ අයිතිය පැකිලීමකින් තොරව පිළිගැනීම ය. ස්වයං එක`ගතාවය මත එක්සත් රාජ්‍යයක් ගොඩ නගා ගැනීමේ මාවත එය යි. මාක්ස් ලෙනින්වාදී ප‍්‍රතිපත්තිය ලිබරල්වාදී ප‍්‍රතිපත්තියෙන් පැහැදිලි ලෙසම වෙන්කර තේරුම් ගැනීමට හැකි වන්නේ  එම ද්විත්ව කාර්යයන්  සමස්තයක් ලෙස එකට ගෙන කියවීමෙන් පමණි. ලිබරල්වාදය සම අයිතිය ඉල්ලාසිටීමේදී හුදෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරගැනීම පමණක් ම අරමුණුකරගන්නා අතර ඊට ප‍්‍රතිකූලව, ඉන් ඔබ්බට යමින් මාක්ස්වාදය පීඩිත ජාතියට ස්වාධිපත්‍යය සඳහා අයිතිය සහ සියළුම ජාතීන් සඳහා සමාන අයිතීන් ඉල්ලාසිටීමේදී අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව සියලූම ජාතීන්ට අයත් පීඩිතයින්ගේ සමගිය ගොඩ නැගීම අරමුණු කර ගනියි. මේ කරුණෙහි දී මාක්ස්වාදය ලිබරල්වාදයෙන් වෙනස්වන්නාවූ හරයාත්මක කරුණ එයයි. සියලූම ජාතීන් සඳහා සමානාත්මතාවය යනුවෙන් මාක්ස්වාදයෙහි අදහස් කරන්නේ සාමාන්‍ය වශයෙන් භාෂාව, ආගම, වර්ගය, ආදී ක්ෂේත‍්‍රයන්හි සමාන අයිතිවාසිකම් පමණක් නොවේ. වෙන්වීමේ අයිතිය එනම් ස්වාධීන රාජ්‍යයන් ඇති කර ගැනීමේ අයිතිිය ඇතුළත් සමස්තයකි. ලෙනින් ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය ලිපියෙහි කියන මේ දෙය බලන්න.

”ඔවුන්ගේ ඉල්ලීම් ‘ප‍්‍රායෝගිකය’ යන ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගත් කල පීඩිත ජාතීන්ගේ ධනේශ්වරය එහි අභිලාෂයන්ට කොන්දේසි විරහිතව සහාය දෙන්නැයි නිර්ධන පංතියෙන් ඉල්ලා සිටිනු ඇත. ඉතාමත්ම ප‍්‍රායෝගික පියවර වනුයේ සියලූ ජාතීන්ට වෙන්වීමට ඇති අයිතියට පක්ෂ වනවාට වඩා විශේෂිත ජාතියකගේ වෙන්වීමට පක්ෂව ”ඔව්”යයි නොවළහා කියා සිටීම ය.

නිර්ධන පංතිය එවැනි ප‍්‍රායෝගිකතාවකට විරුද්ධ වේ. එය සමානාත්මතාවය හා ජාතික රාජ්‍යයකට ඇති සමාන අයිතීන් පිළි ගන්නා අතර සියල්ලටත් වඩා සියලූ රටවල නිර්ධනීන්ගේ සන්ධානය අගැයීම ද ප‍්‍රමුඛව තැබීම ද  ඕනෑම ජාතික ඉල්ලීමක්,  ඕනෑම ජාතික අභිලාෂයක් කම්කරුවන්ගේ පංති අරගලයේ කෝණයෙන් තක්සේරු කිරීම ද කරයි.”
වෙන්වීමේ අයිතිය බැහැර කරන ලද සමාන අයිතීන් යනු හුදෙක් ජාතීන්ගේ අයිතීන්හි ප‍්‍රමුඛ අයිතිය කප්පාදු කර අවශේෂ අයිතීන් පිළිගැනීමකි. වෙන්වීමේ අයිතියෙන් තොරව ජාතීන්ගේ සමානත්වය ගැන කතා කිරීම ලෙනින් විසින් හඳුන්වා දෙනු ලැබුවේ කෙසේ දැ යි බලන්න.
”එම අයිතිය වෙනුවන් සහ එය වෙනුවෙන් වන අවංක පිළිගැනීම සාධනය කර ගැනීමේ අරගලයක් තුළ පීඩිත ජාතීන්ගේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් පීඩිත ජාතීන්ට වෙන්වීමේ අයිතිය තිබිය යුතු යයි ඉල්ලා සිටිය යුතු ය. එසේ නොමැතිව ජාතීන් සඳහා සමාන අයිතීන් පිළි ගැනීම හා ජාත්‍යන්තර කම්කරු පංති සහයෝගිතාව පිළිගැනීම ඇත්ත වශයෙන්ම හුදු වාක්‍යාංශ දෙඞීමක්, අමු කුහකකමක් වනු ඇත.”
(ලෙනින්, විප්ලවීය නිර්ධන පංතිය හා ස්වයංතීරණය සඳහා ජාතීන් සතු අයිතිය - අවධාරණය අපේ)
සමාන අයිතීන් සඳහා සටන් වැදිය යුතු ය. එහෙත් වෙන්වීමේ අයිතිය එනම් ස්වාධීන රාජ්‍යයන් ඇති කර ගැනීමේ අයිතිිය බැහැර කර සම අයිතිය ඉල්ලීම මගින් ප‍්‍රායෝගික වශයෙන් ප‍්‍රකාශ කෙරෙන්නේ ජාතික පීඩනය ඉවසා දරාගෙන සියලූ පීඩාවන් අහෝසි කරන සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහණය සඳහා පෙළගැසෙන්න යන  94 වකවානුවේ ජවිපෙ ඉල්ලීම ම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරිම ය. සැබෑ මාක්ස්වාදීන්ට අවශ්‍ය වන්නේ එවැනි ව්‍යාජ කල් දැමීම්  නොව අධිරාජ්‍යවාදයට, ධනවාදයට හා ජාතික පීඩනයට හා වහල්භාවයට එරෙහිව සියලූ ජාතීන්ගේ පීඩිත පංතීන්ගේ විප්ලවීය සමගිය සහතික කරන වැඩපිළිවෙලක් ය.
දමිළ ජනතාව සමානාත්මතාවය ඉල්ලා සිටියේ දැනට දශක හතකට පමණ පෙරදී ය. එය නොලැබූ තැන ය අවසානයේ ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලමින් සන්නද්ධ මාවතට පිවිසියේ. දැන් යමෙකු සමාන අයිතීන් ඉල්ලමින් ඔවුන් දශක හතකට පමණ පෙර සිටි තැනට යන්නට ඔවුන්ට යෝජනා කරන්නේ නම් එය කොතෙක් දුරට යථාර්ථවත් වන්නේ ද යන්න තමන්ගෙන්ම ප‍්‍රශ්න කර ගත යුත්තකි. විශේෂයෙන්ම දමිළ ජාතික අරගලයේ වර්තමාන අවධිය සමග සම අයිතිය ඉල්ලීම කොහෙත්ම නොපෑහෙන්නක් වන්නේ මේ නිසා ය.
අනෙක් අතට දමිළ ජනතාවට සියළු අයිතීන් සහතික කරන නමුත් වෙන්වීමේ අයිතිය එනම්  ස්වාධීන රාජ්‍යයන් ඇති කර ගැනීමේ අයිතිය හෝ (අපි එය මොහොතකට පසෙකින් තබමු) යටත් පිරිසෙයින් එක් රාජ්‍යයක් තුළ ඔවුන්ගේ ස්වයං පාලනයට ඇති අයිතිය හෝ විවිධ හේතු ගෙනහැර පාමින් ප‍්‍රතික්ෂේප  කරන්නේ නම්, නැතහොත් ඒ සම්බන්ධයෙන් නිහ`ඩතාවය රකින්නේ නම්  එයින් ප‍්‍රකාශයට පත් වන්නේ රාජ්‍යයක් පිළිබඳ අයිතිය ඇත්තේ  සිංහල මහ ජාතියට පමණක් ය යන මහ ජාතිකවාදී ආස්ථානය වක‍්‍රාකාරව පිළිගැනීමකි. මේ  සිංහල මහ ජාතික ස්වෝත්තමවාදයේ අදිසි ලක්ෂණ නොවේ ද? දමිළ ජනතාව මුහුණ දී සිටින තත්ත්වයන් නිසා ඔවුන් කෙරෙහි ඇති කර ගන්නා සානුකම්පික බවත් සමාජවාදය කෙරෙහි ඇත්තා වූ අනුරාගයත් මත පදනම්ව සමාජවාදීන්ගේ දේශපාලන වැඩපිළිවෙලවල් හදන්නට බැරි ය. ඔවුන්ගේ වැඩපිළිවෙලවල්වල නොවෙන් කළ හැකි කොටසක් ලෙස ස්වයං තීරණයට දමිළ ජනතාවට ඇති අයිතිය ද නිර්භයව පිළිගත් ස්ථිරසාර ප‍්‍රජාතන්තී‍්‍රය වැපිළිවෙලක් ඇතුළත් විය යුතුම ය. 
මාක්ස්වාදය නිර්ධන පංතියේ විමුක්තිය ඉෂ්ඨාර්ථය කරගත් දර්ශනයකි. එය සියලූම ජාතීන්ට අයත් නිර්ධන පංතිකයන්ගේ සන්ධානය සියල්ලට ම වඩා අගයකරයි. ඒ නිසා එය  ඕනෑම ජාතික ඉල්ලීමක් කිරා මැන බලන්නේ නිර්ධන පංතියේ අරගලයේ මිනුම් ද`ඩුවෙනි. කිසියම් ජාතියක් තම ජාතික ගැටළුව විසඳා ගන්නේ වෙන්වීම මගින්ද නැතහොත් අන් ජාතිය සමග සමානත්වයට පැමිණීමෙන් ද යන දෙකෙන් කුමක් සිදුවුනත් නිර්ධන පංතියට වැදගත් වන්නේ එම පංතියේ සංවර්ධනය සහතික කිරීම ය. සමාජවාදය සඳහා කරන  අරගලයේ දී විවිධ ජාතීන්ට අයත්  නිර්ධන පංතිකයන් හැකි උපරිම සංඛ්‍යාවකගේ සන්ධානය මාක්ස්වාදීන් සියල්ලට ඉහළින් අගේ කරයි.  විශාල රාජ්‍යයක අවශ්‍යතාවය අගේ කරයි. මේ පදනමින් මාක්ස්වාදීහු කිසිවිටකත් වෙන්වීම යථාවක් වනු දැකීමට පක්ෂ නොවෙති,  වෙන් වීමට දේශනා නොකරති. වෙන්වීම හුවා  දැක්වීමේදී නිර්ධන පංතිය අන්තිමයා විය යුතු ය. එහෙත් ජාතීන් අතර සහෝදරත්වය, සමගිය හා එක්සත්භාවය විනාශ කරන ජාතික පීඩනය පවතින විට හා  පීඩිත ජාතික ව්‍යාපාර  ආරම්භවී ඇති විට  සියළු ජාතීන්ට අයත් නිර්ධන පංතිකයන්ගේ විප්ලවීය එක්සත්භාවය  ගොඩ නැගිය හැක්කේ නිදහසේ වෙන්වීමට ජාතීන් සතු ඇති අයිතිය පිළිගැනීමෙන් පමණි. වෙන්වීමේ නිදහස ප‍්‍රතික්ෂේප කර  ගොඩ නැගෙන නොව ගොඩ නගන එක්සත්බව විප්ලවීය එක්සත් බවක් හෝ නිදහස් එක්සත් වීමක් නොව පීඩිත ජාතිය හෝ ජාතිකත්වය තුළ වෙන් වීමේ මනෝභාවයන් පෝෂණය කරන බලහත්කාරී එක්සත් බවකි. ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මාක්ස්වාදීන්ගේ වැඩපිළිවෙල තුළ අඩංගු ප‍්‍රතිපත්තිය  ස්වයං තීරණ අයිතිය එනම් වෙන්වීම කිසි ලෙසකින් දිරිගන්වන්නාවූ එකක් නොව නිර්ධන පංතියේ උවමනාවන් ප‍්‍රමුඛත්වයේ තබමින් පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත ජාතික ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කරන්නා වූ නිර්ධන පංතික ආස්ථානය නගා සිටුවන්නක් බව දැන් කෙනෙකුට පැහැදිලි විය යුතු ය. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය සම්බන්ධ මෙම සුපැහැදිලි අර්ථය බොල්ෂෙවිකයන්ගේ සංශෝධිත වැඩ පිළිවෙලෙහි 9 වෙනි වගන්තිය තුළ ද රුසියාවේ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශනයෙහි ද නිශ්චිතව ද පැහැදිලිව ද සූත‍්‍රගත කෙරී ඇත.
දමිළ ජාතික ගැටළුව - විසඳුම් ප‍්‍රවේශය
ජාතික ගැටළුවට සැබවින්ම ධනේශ්වර ක‍්‍රමය තුළ සම්පූර්ණ විසඳුමක් අපේක්ෂා කළ නොහැකි ය. එහෙත් ඊට විසඳුමක් සඳහා කරන අරගලය සමාජවාදය තෙක් කල් දමන්නට බැරි ය. සමාජවාදය එළඹෙනු ඇති බව සහතික නමුත් සමාජවාදී බලවේගයන්ගේ යෝධ පිබිදීමකින්, මනා සංවිධානයකින් හා සවිඥානක අරගලයකින් තොරව සමාජවාදය එළඹෙන්නේ ද නැත. සැබවින්ම එවැනි පිබිදීමක්, මනා සංවිධානයක් හා සවිඥානක අරගලයක් මේ වන විට පෙනෙන තෙක් මානයකවත් නැති බව අපි පිළි ගත යුත්තෙමු. එසේ තිබිය දී පීඩිත දමිළ ජනයාට හා සෙසු පීඩිත වාර්ගික ජන කොටස්වලට සමාජවාදය එළඹ ප‍්‍රශ්නය විසඳන තෙක් බලා සිටින්නැයි කියා සිටිය හැකි ද?
කම්කරුවන්, පීඩිත ගොවියන් හා සෙසු පීඩිත පංති ජනයාගේ ප‍්‍රශ්නවලට ද සැබෑ විසඳුම්  ලබා ගත හැක්කේ සමාජවාදය යටතේ බව සෑම සමාජවාදියෙක්ම දනී. එහෙත් ඒ අතරම ඔවුහු සමාජවාදය සඳහා සටන් කළ යුතුව තිබෙන බව පවසන ගමන්ම පවතින ක‍්‍රමය තුළ  ප‍්‍රතිසංස්කරණමය විසඳුම් සඳහා ද සටන් කරන්නට පීඩිත පංතිය සංවිධානය කරති, පෙළ ගස්වන්නට උත්සාහ දරති. එනමුදු ඇතැම් සමාජවාදීහු පීඩිත ජාතීන්ගේ ප‍්‍රශ්නය වෙතට පැමිණි කල්හි සමාජවාදයෙන් මෙපිට විසඳුමක් නැතැයි කියමින් ඔවුන්ගේ අවම ප‍්‍රජාතන්තී‍්‍රය ඉල්ලීම්වලට පවා එරෙහිව ජනතාව බලමුළු ගන්වන්නට ප‍්‍රයත්න දරති. නැතිනම් එම ඉල්ලීම් මගහැර යාමේ මං සොයති.   නිදසුන් ලෙස බලය බෙදීම ජාතිකමය වශයෙන් කෙරෙන පීඩනය අහෝසි කිරීමේ අවම පිළියමකි. එහෙත් නිර්ධන පංති සමාජවාදී පක්ෂයක් යයි කියා ගන්නා ජවිපෙ පමණක් නොව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද දමිළ ජනතාවට ස්වයං තීරණ අයිතියට පමණක් නොව අවම වූ බල බෙදීමකට (ස්වයං පාලනයකට* පවා තරයේ විරුද්ධ වෙයිි. මෙසේ විරෝධය ප‍්‍රකාශ කරන්නේ  ස්වයං තීරණ අයිතිය මගින් පමණක් නොව අවම වූ බල බෙදීමකින් (ස්වයං පාලනයකින්) පවා බෙදුනු ලංකාවක් ඇතිවෙන බවත්  එයින් ප‍්‍රශ්නය තවත් නරක අතට හැරෙන බවත් බල බෙදීමකදී අදාළ ප‍්‍රදේශවල බලයට නැගෙන්නේ දමිළ ධනපතීන්ම නිසා දමිළ  පීඩිත පංතිකයන්ට ඉන් සිදුවෙන සෙතක් නැති බවත් ආදී වශයෙන් නොයෙකුත් දේ කියමිනි. එහෙත් මෙයින්් කියන්නේ ජවිපෙ හා පෙසප යන දෙකම ස්වකීය විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අත්තනෝමතික මධ්‍යගතකරණයට විරුද්ධවනු ලැබේ යයි අවධාරණයෙන් කියා සිටිය ද සමාජවාදය එළඹෙන තෙක් දැනට ධනේශ්වර පාලකයන් බලහත්කාරයෙන් හා අත්තනෝමතික ලෙස උතුර හා නැගෙනහිර දමිළ ජනයා මිලිටරි පොලිස් පාලනයක් යටතේ සිංහලයා සමග ”එක්සත් කර” තබා ගැනීම එනම් අත්තනෝමතික මධ්‍යගතකරණය යටතේ තබා ගැනීම එක පයින්ම පිළි ගන්නා බව ය.
සමාජවාදය සඳහා කරන අරගලයේදි සියළු ජාතීන්ට අයත් පීඩිත පංතිකයන්ගේ එක්සත්භාවය තීරණාත්මක කොන්දේසියකි. නිර්ධන පංතියේ උවමනාවන් සමග ගැලපෙන්නේ  බෙදී වෙන්වූ ශ‍්‍රී ලංකාවක් නොව විප්ලවීය ලෙස  එක්සත්  ලංකාවක් ය යන්න ද තීරණාත්මක සාධකයකි. සැබෑ එක්සත් භාවයක් සාක්ෂාත් කර ගත හැක්කේ  බලහත්කාරය හෝ යුද්ධය මගින් නොව ජාතීන් අතර සහෝදරාත්මක හා ස්වෙච්ඡුා එක`ගතාවය මත පමණක් ය යන්න ද අභියෝග කළ නොහැකි සත්‍යයකි. මෙම සහෝදරාත්මක හා ස්වෙච්ඡුා එක`ගතාවය සඳහා අවශ්‍ය පසුබිම සකස්කළ හැක්කේ ජාතික ගැටළුවේ දී ස්වයං තීරණය සඳහා දෙමළ ජාතිය සතූ අයිතිය පිළිගැනීමේ පදනමෙන් ස්වකීය වැඩපිළිවෙලවල් පොහොසත් කිරීමෙන් පමණි. දමිළ ජනයා ස්වයං තීරණ අයිතිය භාවිත කරමින් වෙන්ව යාමට තීරණය නොකරයි ද නැතහොත්  එක්සත්ව  සිටීමට තීරණය කරයි ද යන්න ගැන කිසිවෙකුටත් අද පවතින තත්ත්වය තුළ සහතික දිය නොහැකි ය. මන් ද සමාජවාදීන් ලෙස පෙනී සිටින බොහෝ දෙනා ද ජාතියක් හෝ ජාතිකත්වයක් වශයෙන් ඔවුන්ට ස්වයං තීරණයට ඇති අයිතිය පමණක් නොව අවම ස්වයං පාලනයකටවත් අයිතියක් නොදිය යුතු යයි කියන තරමටම ”සමාජවාදීන්”ව සිටින හෙයිනි.
දමිළ ජනයා කුමක් තීරණය කළ ද නිර්ධන පංතික දේශපාලන වැඩපිළිවෙලක  ස්වයං තීරණය  සඳහා ඔවුන් සතු අයිතිය පිළිගැනීම අඩංගු විය යුතුම ය. ඒ  ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය සඳහා කරන අරගලයේ දී පීඩිත පංතියේ එක්සත්භාවය උදෙසා ම ය. ස්වයං තීරණයට ඇති අයිතිය වැඩපිළිවෙලට ඇතුළත් කළ පමණින්ම එක්සත්භාවය උදා වන්නේ  නැති බව ඇත්ත ය. එනමුදු මෙම නිමේශයේ  එක්සත්භාවය සඳහා ආරම්භක ලක්ෂ්‍යය සලකුණු කරනුයේ එය මිස අන් කිසිවක්  නොවේ. එතැන් සිට ඒ සඳහා බොහෝ දේ කළ යුතුව තිබේ. මේ දක්වා සිදුව ඇති දේවල් තුළ එක්සත් භාවය ඇති කර ගැනීම බෙහෙවින් ආයාසකර, සාපේක්ෂ වශයෙන් දිගු කි‍්‍රයාවලියක් වීම වැළකිය නොහැකි වෙනවා ඇත. මෙයින් අදහස් කරන්නේ අප ස්වයං තීරණ අයිතිය පිළි ගැනීමට මෙහා කිසිදු හෝ අවම විසඳුමකට විරුද්ධ වෙනවාය යන්න නොවේ. නිදසුන් ලෙස මෙහි දී අපි ඉතාමත්ම අවම අන්තර්ගයකින් යුත් බල බෙදීමක් වන ස්වයං පාලන ඒකක ස්වරූපයක් ගන්නා පළාත් සභා වැනි විසඳුම්වලට විරුද්ධ නොවෙමු. එසේ විරුද්ධ නොවන්නේ ඒවායින් ප‍්‍රශ්නයට සැබවින්ම විසඳුමක් සැපයෙනවාට නොව කිසිවක් නොමැතිවාට වඩා  අවමයක යමක් හෝ එවැනි ඒවායින් ලැබිය හැකි නිසා ය. එහෙත් එවැනි ඒවාට සීමා වන්නේ නම් හෝ එසේත් නැතහොත් එවැනි අවමයන්ට පවා විරුද්ධ වන්නේ නම් දමිළ ජනයාට වෙන් වීම හැර වෙනත් කිසිදු විසඳුමක් සිතීමවත් කළ නොහැකි වනු ඇත. ප‍්‍රශ්නයේ ස්වභාවය අනුව ගත්තත්, සංගත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෘෂ්ටි කෝණය අනුව ගත්තත්  එය එසේම ය. 
ජාතික ගැටළුව විසඳීම සම්බන්ධයෙන් මේ දක්වා ගත හැකි ඉහළම ආදර්ශය වන සෝවියට් අත්දැකීම ද බරපතල ලෙස සැලකිල්ලට ගනිමින් ජාතික ගැටළුව විසඳීම සම්බන්ධයෙන් අපි රටේ සියලූ ජනතාවන්ගේ සමානත්වය හා ස්වෛරීයත්වය, ස්වයං තීරණය සඳහා දෙමළ ජාතිය සතු අයිතිය, අනෙකුත් ජාතික සුළුතරයන්ට හා ජන වාර්ගික සමූහයන්ට පුළුල්තම ප‍්‍රාදේශීය ස්වයං පාලනයකට හා නිදහස් සංවර්ධනයට ඇති අයිතිය පිළිගන්නා වූ ද කිසිදු ජාතික - ආගමික වරප‍්‍රසාදයකට හෝ වෙනස්කොට සැලකීමකට ඉඩ නොසලසන්නා වූ ද  ජාතික පීඩනයන්ට, අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව සියළු ජාතිකත්වයන්ට අයත් නිර්ධනීන් ප‍්‍රමුඛ පීඩිතයින්ගේ එක්සත් භාවය ගොඩ නැගීම ප‍්‍රමුඛ කරගත්  දේශපාලන වැඩපිළිවෙලක් ගොඩ නගා ගැනීමට ද ඒ මත පදනම්ව ප‍්‍රචාරක, අධ්‍යාපනික හා උද්ඝෝෂණ වැඩසටහන් දියත් කිරීමට ද කි‍්‍රයාකාරී විය යුත්තෙමු.
”වෙන්වීමේ පූර්ණ නිදහස, පුළුල්තම ප‍්‍රාදේශීය (හා ජාතික ස්වයං පාලනය), සහ ජාතික සුළු ජන කොටස්වල අයිතීන් පිළිබඳ  විස්තරාත්මක සහතිකයන්  - විප්ලවකාරී නිර්ධන පංතියේ වැඩ පිළිවෙල මෙයයි.” ලෙනින්, (The Tasks of the Proletariat in Our Revolution (Draft Platform for the Proletarian Party)

පීපල්ස් මාච්
2013 ජූනි 17
  



No comments:

Post a Comment