මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, June 27, 2013

ජාතික ප‍්‍රශ්නය පිළිබඳ සම්පිණ්ඩනාත්මක සටහනක්



ශ‍්‍රී ලංකාව සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ ආදී ජාතීන් හෝ  ජාතිකත්වයන් හා ජන වාර්ගික සමූහන්ගෙන් යුත් බහු ජාතික රටකි. ලංකාවේ සිංහල සහ දමිළ ප‍්‍රජාවන් ජාතීන් හෝ ජාතිකත්වයන් බවට විකාශනය වූයේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දිවයිනේ ජීවත් වූ ද දිවයිනට සංක‍්‍රමණය වූ ද ප‍්‍රජාවන් කාලාන්තරයක් තිස්සේ භූමි ප‍්‍රාදේශික හා සංස්කෘතික වශයෙන් විවිධ පරිණාමන්යට භාජනය වෙමිනි. කාලයක් මුළුල්ලේ වරෙක එක්ව ද වරෙක වෙන් වෙන්ව ද සිටි මෙම ප‍්‍රජාවන්් දෙක ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තුළට අවසාන වශයෙන් ගොනු කරන ලද්දේ 1815 මුළු දිවයිනම යටත් කර ගනු ලැබූ බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ඔවුන්ගේ ම උවමනාවන් ඉටුකර ගැනීම උදෙසා බලහත්කාරයෙනි. මේ අනුව  ලාංකීය  ජාතික රාජ්‍යය ඒකීය රාජ්‍යයක් වශයෙන් විකාශනය වන්නේ ඓතිහාසික වශයෙන් ප‍්‍රචණ්ඩ හෝ සාමකාමී අභ්‍යන්තර සමාජ විකාශයක ප‍්‍රතිඵලයක් වශයෙන්  නොව බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදීන් විසින් රෝපණය කරන ලද්දක් වශයෙන් හා පසුව  සිංහල ධනපති පංතිකයන්ගේ අභිලාෂයන්ට ප‍්‍රමුඛත්වය දෙමින් බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් පවරා දෙනු ලැබූ  විකෘතිමය ධනේශ්වර රාජ්‍යයක් වශයෙනි. ඊනියා නිදහසින් පසුව සිදු වූයේ ලංකාව සිංහල, දමිළ හා මුස්ලිම් ආදී වශයෙන් වන ජාතික ප‍්‍රජාවන්ගෙන් යුත් බහු ජාතික රටක්ය යන යථාවට පිටු පාමින් සියලූ ජාතික හා ජන කොටස්වල සමාන අයිතීන් සහතික කරන සැබෑ එක්සත් රාජ්‍යයක් නිර්මාණය කරනු වෙනුවට සිංහල ජාතික ආධිපත්‍යය (සැබවින්ම සිංහල ධනපති පංතික ආධිපත්‍යය) තහවුරු කරන සිංහල ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීම කරා පියවරෙන් පියවර ගමන් කිරීම ය. එමගින් දමිළ  ජාතියට හෝ ජාතිකත්වයට ලාංකීය රාජ්‍යය තුළ සමානත්වයේ හා සහෝදරත්වයේ  පදනමින්  ගරුත්වයෙන් හා අභිමානයෙන් යුතුව  එහි කොටස්කරුවන් වෙමින් ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ජීවිතය බුක්ති විඳීමට ඇති අයිතිය  අහිමි කළා පමණක් නොව පොදු ප‍්‍රජාතන්ත‍්‍රීය පදනම මත ලාංකීය ජාතියක හා ජාතික රාජ්‍යයක පාර්ශවකරුවන් වීමේ මාවත ද අහුරා දමා ඇත. එහි මුල් එක්තරා දුරකට ඊනියා නිදහසට පෙර යුගයට ද දිවෙන බව ඇත්ත නමුත් දමිළ ජාතික ව්‍යාපාරය සැබවින්ම ආරම්භ වන්නේ නිදහසෙන් පසු මෙම වෙනස් කොට සැලකීමට එරෙහි ප‍්‍රතිචාරයක් වශයෙනි. මුල දී ව්‍යවස්ථාදායකය තුළ ද ඒ හා සමග ඉන් පිටත ද පොදු සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් වශයෙන් ඇරඹුණු එම ව්‍යාපාරය දිගින් දිගටම සිංහල ස්වෝත්තමවාදී ආණ්ඩු අනුගමනය කළ මුරණ්ඩ ප‍්‍රතිපත්ති හේතුවෙන් සම්ප‍්‍රදායික හා සාමකාමී අරගල විධීන්ගෙන් බැහැර බිහිසුණු  ප‍්‍රචණ්ඩ මාවතකට අවතීර්ණ විය. රාජපක්ෂ හෙජමනික බලය විසින් එම අරගලය ගෝලීය හා කලාපීය බලවතුන්ගේ ද ආධාරය ලද යුදමය ක‍්‍රියාමාර්ගයකින් පරාජය කරනු ලැබුව ද එයින් දමිළ ජාතික ව්‍යාපාරය හෝ එහි උවමනාවන් යටපත්කර දැමීමට හැකිවී නැත. ඒ වෙනුවට පශ්චාත් යුද කාලපරිච්ඡේදය තුළ එම ජනතාවට මුහුණ දීමට බල කරනු ලැබ ඇති තත්ත්වයන් විසින් දමිළ ජාතික ගැටළුව පෙරටත් වඩා බරපතල ජාතික අර්බූදයක් නිර්මාණය කරන තත්ත්වයක් කරා වර්ධනය වීම අනිවාර්ය කෙරී  ඇත.
 
දමිළ ජාතික ගැටළුවට වත්මන් තත්ත්වය යටතේ දමිළ ජනයාට අවම වශයෙන් හෝ පිළිගත හැකි සාධාරණ විසඳුමක් සැපයීම සිදු නොකරන්නේ නම් එය එක් අතකින් ලංකාවේ සමාජ සංවර්ධනයට ද අනෙක් අතින් නිර්ධනීන් ප‍්‍රමුඛ පීඩිත පංති ව්‍යාපාරයේ සංවර්ධනයට ද තියුණු ලෙස බාධා කරනු ඇත. එක් අතකට එම ප‍්‍රශ්නය ධනේශ්වර සංවර්ධනයටමත් අවශ්‍ය කරන ආර්ථික, දේශපාලන හා සමාජ ජීවිතයේ සාපේක්ෂ ප‍්‍රජාතන්තී‍්‍රයකරණයට පවා ප‍්‍රතිවිරෝධීව කි‍්‍රයා කරන අතර ලංකාව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීමටවත් ඉඩ නොදෙයි. අනෙක් අතට පසුගාමී ධනපති පංතික පාලකයින් ද අනෙකුත් පටු ජාතිකවාදී බලවේග ද එම ප‍්‍රශ්නය දඩ මීමා කර ගනිමින් සියළු ජාතීන්ට අයත් පීඩිත පංතිකයින් අතර පටු ජාතිකවාදය, වර්ගවාදය හා ආගම්වාදය අවුලූවාලමින්, ජාතීන් වශයෙන්  එකිනෙකා කෙරෙහි වෛරය හා  සතුරුතාවය වර්ධනය කරවමින් පීඩිත පංතීන් අතර එක්සත්භාවය ගොඩ නැගීමට අවහිර කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය යන දෙකරුණෙහි දී ම ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් නිවැරදි මාක්ස්ලෙනින්වාදී ආස්ථානයක හා ප‍්‍රතිපත්තියක පිහිටීම අත්‍යාවශ්‍ය වන්නේ මේ නිසා ය. 


ජාතික ගැටළුව සම්බන්ධයෙන් නිවැරදි ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශයකට හා විසඳුමක් සඳහා වන වැඩ පිළිවෙලකට එළඹිය  හැක්කේ  ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිගැනීමේ පදනම මත පමණකි.


ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිගැනීමෙන් තොරව ජාතික ගැටළුව සම්බන්ධයෙන් නිවැරදි ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශයකට හා විසඳුමක් සඳහා වන වැඩ පිළිවෙලකට එළඹිය නොහැකි බව ද මෙම ප‍්‍රතිපත්තිය පුළුල් අර්ථයෙන් තේරුම් ගැනීම අද අත්‍යාවශ්‍ය කරුණක් බව ද අපි කියා සිටිමු.   අධිරාජ්‍යවාදී බලවතුන් හෝ බලගතු ජාතීන් හෝ රටක මහ ජාතිය හෝ විසින් වෙනත් ජාතියක් හෝ ජාතීන් නැතහොත් ජාතිකත්වයක් හෝ ජාතිකත්වයන් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කරනු ලබන විට ඒ තන්හි ජාතික ගැටළුව පැන නගී. එවිට එසේ පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කෙරෙන ජාතියකට හෝ ජාතීන්ට නැතහොත් ජාතිකත්වයකට හෝ ජාතිකත්වයන්ට එකී භාවිතයන්ට එරෙහිව නිදහස හා විමුක්තිය පතා සටන් වැදීමට සිදුවේ. එය ඔවුන් සතු අනුල්ලංඝනීය අයිතියකි. මේ අයිතිය අන් කිසිවක් නොව ස්වයං තීරණය සඳහා ඔවුන්ට ඇති අයිතිය යි. පීඩිත ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට ඇති මේ අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ජාතීන් හෝ ජාතිකත්වයන් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කිරීමට විරුද්ධ වන්නේ යයි කීම මහා වංචාවකි.

අනෙක් අතට රටක මහ ජාතිය විසින් (ඇත්ත වශයෙන්ම මහ ජාතියේ පාලකයන් විසින්) අනෙකුත් ජාතීන් හෝ ජාතිකත්වයන් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කරනු ලබන විට එම රටේ ජාතීන් අතර විශේෂයෙන් පීඩිත පංතීන් අතර සමගියක් ගොඩ නැගීම අපහසු කරයි. පීඩක ජාතියේ නිර්ධනීන් ප‍්‍රමුඛ පීඩිතයෝ පීඩිත ජාතිය හෝ ජාතිකත්වයන් පෙළීමේ පාලක පංති ප‍්‍රතිපත්තියේ දී පාලකයන් සමග එක්සත් වීමේ නැමියාවක් දක්වනවා පමණක් නොව ඇතැම් තත්ත්වයන් තුළ දී  තමන්ගේ ධනපති පාලකයන් වෙනුවෙන් සටන් වැදීමට පවා අනලස් වෙති. එමගින් පීඩිත ජාතියේ හෝ ජාතිකත්වයන්ගේ  වහල්භාවය චිරස්ථායි කරන්නට දායක වෙති. මෙම තත්ත්වය පවතින තාක් ජාතීන් අතර, පීඩිත පංතීන් අතර සමගියක් පිළිබඳ අපේක්ෂා මායාවක් පමණක්ම වනු ඇත. ජාතීන් අතර මෙන්ම පීඩිත පංතීන් අතර ද සමගියක් ඇති වෙන්නට නම් ජාතීන් සම්බන්ධ පීඩක පංතීන්ගේ ප‍්‍රතිපත්තියෙන් කැඞී වෙන්වීම පමණක් නොව පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කිරීමට විරුද්ධව පීඩිත ජාතිය හෝ ජාතිකත්වයන් ගෙන යන අරගලය සමග බද්ධ වීම ද අවශ්‍ය කෙරෙනු ඇත. මෙම කැඞීමේ හා බද්ධ වීමේ ආරම්භක ලක්ෂ්‍යය වනුයේ ස්වයං තීරණය සඳහා  පීඩිත ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට ඇති අයිතිය පිළි ගැනීම ය.
පොදුවේ ගත් කල ස්වයං තීරණය සඳහා දෙමළ ජනතාව සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ හා පෙනී සිටිනුයේ  කුඩා කුඩා වාමාංශික පක්ෂ හා (අප ද ඇතුළුව) කණ්ඩායම් කිහිපයක් පමණි. එහෙත් පීඩිත පංති ව්‍යාපාරය කෙරෙහි හෝ පීඩිත ජාතික ව්‍යාපාරය කෙරෙහි හෝ ඵලදායී බලපෑමක් කිරීමෙහිලා ඒවා සමත්ව නැත. දමිළ ජාතික අරගලයට එරෙහිව රාජ්‍ය මර්දනයේ විශේෂිත සිදුවීම්වලදී  පුවත්පත් නිවේදන නිකුත් කිරීම, ප‍්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම  සහ වැඩිම වුනොත් විරෝධතා පෑම් වශයෙන් සුළු පිරිසක් එකතුව පිකට් කිරීම වැනි  ක‍්‍රියාකාරිත්වයන්ට ඒවායේ කි‍්‍රයාකාරිත්වය සීමාවනු දැකිය හැකි ය. අධිරාජ්‍යවාදයට, ධනවාදයට හා පටු ජාතිකවාදයට එරෙහිව පීඩිත පංතියට අධ්‍යාපනයදීම ඔවුන් සංවිධානය කිරීම ආදී පංතිමය දේශපාලනයට අදාළ පැහැදිලි සහ සැබෑ වැඩපිළිවෙලක්වත්  භාවිතයක්වත් ඒවා සතුව නොතිබීම ඊට බෙහෙවින් බලපෑ එක් ප‍්‍රධාන සාධකයක් වූවා නිසැක ය.            
කෙසේ වේවා එකී කුඩා කුඩා වාමාංශික පක්ෂ හා කණ්ඩායම්වලට වෙනස්ව අපේ ඇතැම් මාක්ස්වාදී, විප්ලවවාදී යයි කියනු ලබන වාමාංශිකයන් විවිධ හේතු ගෙන හැර දක්වමින් ස්වයං තීරණය සඳහා  පීඩිත ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට ඇති අයිතිය පිළි ගැනීම ප‍්‍රතික්ෂේප කරනු දැකිය හැකි ය. එක් නිදසුනක් ජවිපෙ ය. පැරණි වමේ ප‍්‍රතිසංස්කරණවාදී අවස්ථාවාදී දේශපාලනයට එරෙහිව ”විප්ලවයේ මාවත” ගත් ජවිපෙ දමිළ ජාතික ප‍්‍රශ්නයේදී තමන් ලෙනින්වාදය මත පිහිටනවා යයි කියමින් ලෙනින්වාදය ද විකෘති කරමින් ස්වයං තීරණය සඳහා  පීඩිත ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කරමින් අවස්ථාවාදී ප‍්‍රවේශයක් ගත් අයුරු ද තමන් ජාතිවාදයට සපුරා විරුද්ධ යයි කියමින්  ධනේශ්වර ජාතිකවාදීන්ටත් වඩා  ඔබ්බට  යමින් පීඩිත පංති ව්‍යාපාරය පටු ජාතිකවාදයේ සීමාවන් තුළ කොටුකර හා තවදුරටත් කොටුකරමින් සිටින අයුරු ද අපි දකිමු. වමේ නව ව්‍යාපාරයක් වශයෙන් කි‍්‍රයාකාරී වී සිටින ජවිපෙන් කැඞී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ජවිපෙහි පටු ජාතිකවාදී ආස්ථානයන් හා ප‍්‍රතිපත්තිවලින් කැඞී වෙන් වූවා යයි පැවසුව ද ස්වයං තීරණයට දමිළ ජනයාට ඇති අයිතිය එය පිළි නොගන්නා බව ප‍්‍රකාශිතව තිබේ. කලක දී එම අයිතිය ස්ථිරසාරව පිළිගත් සමාජවාදී සමානතා පක්ෂය ද ජවිපෙ, පෙසප යන ඒවාට වෙනස් ප‍්‍රවේශයකින් නමුත් අද ස්වයං තීරණය සඳහා දමිළ ජනතාව සතු අයිතිය පිළි නොගනී. 
ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නෝ ඊට විවිධ හේතු ගෙනහැර දක්වති. අපි මේවා පරීක්ෂා කර බලමු.
1.    ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිබඳ ඉල්ලීම ධනපති පංති ඉල්ලීමකි. මෙම ඉල්ලීම පිළිගතහොත් එය භාවිතයට නැගීමේ දී බලයට පත්වන්නේ දමිළ ධනපතීන්  නිසා එයින් දමිළ පීඩිතයාට ඇතිවන සෙතක් නැත. ඊට ප‍්‍රතිකූලව එමගින් සිදු වන්නේ ප‍්‍රශ්නය වඩාත් නරක අතට හැරීම ය යනු මෙම තර්කයෙන් ගෙන හැර පාන කාරණය ය. තර්කය තවදුරටත් ගෙන යමින් දමිළ ජනයාට අවම හෝ ස්වයං පාලන ආකෘතියක් සැපයෙන බලය බෙදීමකට පවා එරෙහිව මෙසේ ද කියනු දැකිය හැකි ය.

මෙයින්  උතුර නැගෙනහිර දමිළ ජනයාට විමුක්තියක් සැපයෙන්නේ යයි මනෝරාජිකව උපකල්පනය කළත් දමිළ ජනතාවගෙන් අඩක්ම ජීවත් වන්නේ උතුර හා නැගෙනහිරෙන් බාහිරව අනෙක් ප‍්‍රදේශවල නිසා ඔවුන්ගේ අයිතීන් තහවුරු වන්නේ නැත. අම්පාර වැනි දිස්ති‍්‍රක්කවල සිංහල, දෙමළ, මුස්ලිම් ජන ප‍්‍රජාවන් දළ වශයෙන් සමාන ප‍්‍රතිශතවලින් වාසය කරන අතර බලය බෙදා හැරීමකින් ඒ සංකීර්ණ ප‍්‍රශ්න විසඳිය නොහැක. මෙවැනි දිස්ති‍්‍රක්කවල එක් ජාතික ප‍්‍රජාවකට විශේෂ වරප‍්‍රසාද ලැබීම තුළ අනෙකුත් ජාතික ප‍්‍රජාවන් අසාධාරණයට ලක්වීම වැලක්විය නොහැක.  ආදී වශයෙන් කියනු ලැබේ. 

ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළි ගැනීමෙන් ම ජාතික ගැටළුව විසඳෙන්නේ නැති බව සැබෑ ය. එය ඒ සඳහා පදනමක් මිස විසඳුම නොවේ. කිසියම් ජාතියක් ස්වයං තීරණ අයිතිය මත දේශපාලන වශයෙන් වෙන්ව ස්වාධීන ධනේශ්වර රාජ්‍යයක් බවට පත් වුවහොත් ඉන් වැඩ කරන ජනයා මත කි‍්‍රයාත්මක වන පංති පීඩනය අහෝසි කිරීමක් වන්නේ නැත. සිදු වන්නේ ජාතිකමය වශයෙන් පැවති පීඩනය අහෝසි වීම පමණකි.

ඇත්තවශයෙන්ම වත්මන් සන්දර්භය තුළ වෙන්වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ ඉල්ලීම ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට අදාල ඉල්ලීමකි. එහි කිසිදු විවාදයක් නැත. වෙන්වීම ධනපති ක‍්‍රමයෙන් බැහැර නොයනවා පමණක් නොව ඉන් ධනපති ක‍්‍රමයේ අවශ්‍යතාවයන් වඩාත් පැහැදිලිව ප‍්‍රකාශ කෙරෙයි. එහි අත්තිවාරම වඩාත් පුළුල් කෙරෙයි, ශක්තිමත් කෙරෙයි. එමගින්  ධනපති පාලන ක‍්‍රමයක් ස්ථාපිතවීම නොවැලැක්විය හැක්කකි. සූරාකෑමේ සියළුම ආකරයන් එපරිද්දෙන් ම සිදුවෙනවා ඇත. ස්වයං තීරණයේ අයිතිය පිළිගැනීමෙන් ප‍්‍රකාශ වන්නේ ජාතික පීඩනය අහෝසි කිරීමේ පිළිවෙතකි. ඉන් නිර්ධන පංතියේ විමුක්තිය උදාවේ යයි කිසිසේත්ම අදහස් නොවේ. නිර්ධන පංතියේ විමුක්තිය සමාජවාදයට අදාළ කරුණකි. දමිළ ජනතාව සම්බන්ධයෙන් ස්වයං තීරණයේ අයිතිය පිළිගැනීම යනු එම ජනතාවට  ඔවුන් ජීවත්වන භූමි ප‍්‍රදේශයන් තුළ මහ ජාතික පීඩනයෙන් තොරවූ නිදහස්  ආර්ථික හා දේශපාලනික සංවර්ධනයක් ඇති කර ගැනීමට  ඇති අයිතිය පිළි ගැනීම ය. එය ජාතික වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය වීමට පක්ෂවීමකි. ඉන් දමිළ පීඩිත පංතියේ විමුක්තිය උදා නොවන නමුත් ජාතිකමය වශයෙන් කෙරෙන පෑගීමෙන් හා පීඩනයෙන් නිදහස් වීම  ජාතීන් දෙක තුළම  සමාජවාදී ව්‍යාපාරයක ඉදිරි ගමනට බාධක වූ අද දවසේ ප‍්‍රමුඛ බාධකයක් අහෝසි වෙයි. ජාතික පීඩනය අහෝසි වීම පීඩනයට පත්ව සිටි ජාතියේ ධනේශ්වර පංතියේ සැබෑ ස්වභාවය, එනම් ජාතික විමුක්තිය වෙනුවෙන් පෙනී සිටි ධනේශ්වර පංතිය ඊළ`ග නිමේෂයේ පටන් ලෝක හා කලාපීය ධනපති පාලකයන් සමග පමණක් නොව තමන් ජාතික වශයෙන් පෙළුෑ ජාතියේ ධනේශ්වර පාලකයන් සමග ද සන්ධානගත වෙමින් සිය ජාතියේම පීඩිත පංතීන් පෙළීම එහි න්‍යාය පත‍්‍රයේ මුදුනට ගෙන ඒමේ ස්වභාව ලක්ෂණය එකී ජාතියේ පීඩිත පංතීන් හමුවේ හෙළි දරව් වීමට ද එය පීඩක පීඩිත වශයෙන් සිටි දෙජාතියේ පීඩිත පංතීන් අතර එක්සත් භාවය සඳහා පදනම් දමා ගැනීමේ අවකාශයන් විවෘත කිරීමට ද මග පාදයි. නිර්ධනීන් ප‍්‍රමුඛ පීඩිත පංතීන්ගේ පංති දෘෂ්ටි කෝණයෙන් ගත් කල ඒ තාක් දුරට එය ඔවුන්ගේ පංති අරගලයට වාසිදායක කොන්දේසියක් වේ. කෙසේ වුව ද මෙම වාසිදායක කොන්දේසි යථාවක් බවට පත් කර ගැනීම රඳා පවතින්නේ දෙජාතියේම සහ විශේෂයෙන් මහ ජාතියේ විප්ලවවාදී බලවේගයන්ගේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාකාරිත්වයන් මත ය.
ජාතික ගැටළුවට විසඳුමක් ලෙස ඇති කරන ලද පළාත් සභා ක‍්‍රමය ගත් කල එය ගැටළුවට කොහෙත්ම විසඳුමක් නොවන බව ඇත්ත ය. එහෙත් ඊට විරෝධය පාන්නවුන් ඒ විරෝධය පාන්නේ පැහැදිලි ලෙසම එය ප‍්‍රශ්නයට විසඳුමක් නොවන නිසා නොවේ.  දමිළ ප‍්‍රදේශවලට සැබවින්ම නාමිකව නමුත් යම් ආකාරයක ස්වයං පාලනයක් ලබා දීම ඉන් හැ`ගවෙන නිසා ය. මෙහි දී ඔවුන් කෙරෙන් එළියට පනින්නේ ඔවුන් තුළ සැ`ගවී සිටින මහ ජාතිකවාදී හැ`ගීම් හා සිතීම්වල දෝංකාරය යි. පීඩිත ජාතික ජන කොටස්වලට මහ ජාතියේ ආධිපත්‍යයික හා අනිසි බලපෑමෙන් තොරව නිදහසේ සිය කටයුතු කරගෙන යාමට අවම හෝ අවකාශයකට එරෙහි වන්නන් පීඩිත ජාතික ජනයාට නොකියා කියා සිටින්නේ ඔවුන් කියන ‘‘සමාජවාදය’’ එළඹෙන තෙක් බලා සිටින්නට ය.
”ඒ අතරම අනෙක් අතින් පොදුවේ පමණක් නොව, නොපැහැදිලි වාක්‍ය ඛණ්ඩවලින්, සන්ධාරයෙන් ශූන්‍ය ඝෝෂාවන්ගෙන් නොව, සමාජවාදය ස්ථාපිත කරන තෙක් ප‍්‍රශ්නය ‘කල් දැමීම’ මගින් නොව විශේෂයෙන් පීඩක ජාතික සමාජවාදීන්ගේ කෛරාටික බව සහ බිය සුළුබව සැලකිල්ලට ගන්නා, පැහැදිලිව හා නිවැරදිව සකස් කරන ලද දේශපාලන වැඩපිළිවෙලකින් පීඩිත ජාතීන්ගේ විමුක්තිය ඉල්ලා සිටිය යුත්තෙමු.” යි ජාතික ප‍්‍රශ්නය පිළිබඳ විවේචනාත්මක සටහන් හි දී ලෙනින් පිළිතුරු දෙන්නේ මෙවැනි සමාජවාදීන් සැලකිල්ලට ගනිමිනි.
2ග    මාක්ස්වාදය කිසිදු උත්තර් ඓතිහාසික අයිතියක් පිළිගන්නේ නැත. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය යනු උත්තර් ඓතිහාසික අයිතියක් නොවේ, එහෙයින් එවැනි  අයිතියක්  පිළිගත යුතුම නොවේ. මෙය මෙම අයිතිය සම්බන්ධ ජවිපෙහි ප‍්‍රස්තුතයකි. (විජේවීර - දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද? 89 පිටුව) පෙසප ද මේ හා සමාන අදහස් දරණ බවක් පෙනෙන්නට තිබේ. 

ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය උත්තර් ඓතිහාසික අයිතියක් නොවේ. කිසිදු මාක්ස්වාදියෙකු කිසිදු විටෙක කිසිදු තැනක එම අයිතිය උත්තර් ඓතිහාසික අයිතියක් යයි කියා නොමැතිවා පමණක් නොව කියන්නේ ද නැත.  මාක්ස්වාදය පිළිබඳ සරල හෝ අවබෝධයක් ඇති කිසිවෙකු ද එවැනි උත්තර් දේ ගැන කතා කරන්නේ නැත. මෙම උත්තර් අයිතියක් පිළිබඳ කතා ගෙන එන්නේ  ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය ප‍්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට මිස අන් කිසිවකට නොවේ.
3.    ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය යන්නෙන් ගම්‍ය වන්නේ බලවත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඈඳා ගනු ලැබූ රටවලට, ජාතීන්ට, යටත් විජිතවලට වෙන් වී යාමට තිබෙන අයිතිය යි. (විජේවීර -එම 94 - 95 පිටු*. එය එක් රටක් තුළ ජීවත්වන ජාතීන්ට (ජාතිකත්වයන්ට) අදාළ කළ නොහැකි ය. එක් රටක්  තුළ වෙසෙන ජන කොටසක් සම්බන්ධයෙන් මෙම අයිතිය පිළි ගත හොත් සිදු වන්නේ එම රට කැබලි වී යාමයි, රාජ්‍යය බිඳී විසිරී යාම යි.  මේ තර්කය ප‍්‍රධාන වශයෙන් ගෙනෙනුයේ ජවිපෙ ය.

මෙම තර්කයෙන් කරුණු දෙකක් ගෙන හැර දක්වයි. 

පළමු වැන්න රටක් තුළ පීඩිත ජාතියකට හෝ ජාතිකත්වයකට ස්වයං තීරණය සඳහා අයිතියක් තිබෙන්නට නොහැකි ය යන්න යි. එහෙත් මෙය අමු අමුවේ කරුණු විකෘති කිරීමකි. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පැන නගින්නේ අප පෙර ද දැක් වූ පරිදි ජාතියක් විසින් සිය දේශ සීමාවන්ගෙන් ඔබ්බෙහි හෝ සිය දේශ සීමා තුළ හෝ වෙසෙන ජාතියක් හෝ ජාතීන් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කරනු ලබන විට ය. ලෙනින් හෝ කොමියුනිස්ට් ජාත්‍යන්තරය හෝ කිසි විටෙක ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඈඳා ගනු ලැබූ රටවල හා යටත් විජිතවල ජාතීන්ට පමණක් ඇති අයිතියක් ලෙස දැක්වූයේ නැත. මූලික පදනම වූයේ කිසියම් ජාතියක් හෝ ජාතිකත්වයක් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කරනු ලබන්නේ ද යන්න ය. ලෙනින් මෙම කරුණ අවධාරණය කර දක්වන්නේ මෙසේ ය.

”ප‍්‍රථමයෙන්ම අපේ ප‍්‍රවාද පත්ලෙහි තිබෙන ප‍්‍රධානතම අදහස කුමක් ද? එය නම් පීඩිත හා පීඩක ජාතීන් අතර ඇති වෙනස පිළිබඳ අදහස ය. දෙවෙනි ජාත්‍යන්තරය සහ ධනේශ්වර  ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන් නොව අපි මෙම වෙනස අවධාරණය කරන්නෙමු...... ජාතීන් පීඩිත හා පීඩක වශයෙන් මෙසේ වෙන් කොට දැක්වීම ප‍්‍රවාද මුළුල්ලෙහිම දක්නට ලැබෙන දෙයකි.” (තෝරාගත් කෘති වෙළුම් දොළහ, 11 වෙළුම, 8 පිටුව, අවධාරණය අපේ) 

මේ කරුණ තවදුරටත් පැහැදිලි කර ගන්නට අපට රුසියාව නිදසුනක් වශයෙන් ගන්නට  පුළුවන. රුසියානු සාර් පාලනය විසින් පෑගීමට, සූරාකෑමට හා පීඩනයට පත් කරන ලද්දේ රුසියාව විසින් ඈඳා ගන්නා ලද හා යටත් විජිත බවට පත් කර ගන්නා ලද ජාතීන් පමණක් නොවේ. රුසියාව තුළම විසූ රුසියානු නොවන බෂ්කීර්, ටාටර්, චෙචෙන්, බුරියත්, අදිගෙයි, අල්තායි, මොර්දෝවියා ආදී වශයෙන්  ජාතිකත්ව රාශියක් තිබුණ අතර සාර් පාලනය විසින් අභ්‍යන්තරිකව ඔවුන් ද පෑගීමට, සූරාකෑමට හා ජාතික වශයෙන් වූ පීඩනයකට ලක් කරනු ලැබ තිබිණ.  ඔවුන්  රුසියාව තුළ පීඩිත ජාතිකත්වයන් වූ අතර බොල්ෂෙවිකයන් ඔවුන් රුසියාව තුළ ජීවත්වන නිසා ඔවුන්ට ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය අදාළ කළ නොහැකි යයි කීවේ නැත. ඊට වෙනස් ලෙස බොල්ෂෙවිකයෝ මෙම සියලූ ජාතිකත්වයන් සඳහා ස්වයං තීරණයට ඇති අයිතිය පිළිගෙන තිබුණා පමණක් නොව ඔක්තෝබර් විප්ලවයෙන් පසු එකී ජාතිකත්වයන් සඳහා එම අයිතිය රුසියානු සෝවියට් ඒකාබද්ධ සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ද තහවුරු කළහ. ඒ අනුව එකී ජාතිකත්වයන්ට රුසියානු සෝවියට් ඒකාබද්ධ සමාජවාදී ජනරජයේ කොටස් ලෙස බෂ්කීර්, බුරියාත්, චෙචෙන් - ඉන්ගුෂ්, චුවාෂ්, කි‍්‍රමියන් ආදී වශයෙන් ස්වතන්ත‍්‍ර සෝවියට් සමාජවාදී ජනරජයන් ගණනාවක්ම ඇති කරනු ලැබිණ. එපමණක් නොවේ ජාතික ජන සමූහ වශයෙන් සිටි ජනයා සඳහා ද අදිගෙයි, ගොර්නෝ - අල්තායි, කරචායි - චාකේස්, යුදෙව් ආදී වශයෙන් ස්වතන්ත‍්‍ර කලාප ද ඇති කරනු ලැබිණ. මේ සියල්ල ඇති කරන ලද්දේ ජාතිකමය පදනම්වලිනි. 

ඉහත තර්කයෙන් ගෙන හැර දක්වන ඊළ`ග කරුණ නම්  එක් රටක්  තුළ වෙසෙන ජන කොටසක් සම්බන්ධයෙන් මෙම අයිතිය පිළි ගත හොත් එම රට කැබලි වී යාම ද  රාජ්‍යය බිඳී විසිරී යාම ද සිදු වන්නේ ය යන්න ය. මෙය පළමුව න්‍යායික අරුතෙන් ද දෙවනුව ප‍්‍රායෝගික දේශපාලන අරුතෙන් ද මුළුමනින්ම වැරදි ය. න්‍යායිකව ගත් කල රට කැබලිවී යාමේ හෝ රාජ්‍යය බිඳී විසිරී යාමේ අනතුර ජනිත කරන්නේ රටක පීඩිත ජාතියකට ස්වයං තීරණය සඳහා වන අයිතිය පිළි ගැනීමෙන් නොව එය ප‍්‍රතික්ෂේප කිරීමෙනි. එය ප‍්‍රතික්ෂේප කිරීම මගින් සිදු වන්නේ අප ද අපගේ මහ ජාතික පාලකයන් හා මහ ජාතිකවාදීන් පරිද්දෙන්ම පීඩිත ජාතියේ (හෝ ජාතිකත්වයේ) අයිතීන් ප‍්‍රතික්ෂේප කරන්නේය යන්න පීඩිත ජාතික ජනයා තුළ තහවුරු කිරීම හා පීඩිත ජාතියේ (හෝ ජාතිකත්වයේ) කම්කරුවන් හා ගොවියන් ඇතුළු පීඩිත පංතීන් ඔවුන්ගේ ධනේශ්වරය වටා පෙළ ගැස්වීමේ තත්ත්වයන් තවදුරටත් පෝෂණය කිරීම ය. යම් යම් ව්‍යතිරේකයන්ට යටත්ව පොදුවේ ගත් කල ජාතියක් හෝ ජාතිකත්වයක් අරභයා ස්වයං තීරණය සඳහා ඇති අයිතිය සම්බන්ධයෙන් අරගලය පැන නගින්නේ හා එම අරගලය එකී ජාතියේ  හෝ ජාතිකත්වයේ සමූහ මනෝභාවයක් ලෙස හා ප‍්‍රයෝගික දේශපාලන ඉල්ලීමක් ලෙස සුජාත භාවය ලබන්නේ ඔවුන් ජාතිකමය වශයෙන් වෙනස් කොට සැලකීමට, පෑගීමට හා පීඩනයට පත් කරන විට දී ය. මෙය දමිළ ජනයාගේ අරගලය සම්බන්ධයෙන් ද සත්‍ය ය. බෙදී යාම වලක්වන්නට නම් අප දමිළ ජනයාට අප ඔවුන්ගේ අයිතීන් ස්ථිරසාරව පිළි ගන්නා බව, ඔවුන්ගේ අයිතීන් පාගා දැමීම සඳහා අපගේ පාලකයන් අනුගමනය කරන පිළිවෙත්වලට හා කි‍්‍රයා මාර්ගයන්ට සපුරා විරුද්ධවන බව හා ජාතිකමය වශයෙන් වෙනස් කොට සැලකීමට, පෑගීමට හා පීඩනයට එරෙහි ඔවුන්ගේ අරගලය පාලක පංතීන්ට එරෙහි අපේ අරගලයේ කොටසක් බව ඒත්තු ගැන්විය යුතු ය. ස්වයං තීරණය සඳහා ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඔවුන්ගේ අරගලයෙන් රට බෙදෙනවා යයි කියමින් පාලක පංතීන්ගේ හා මහ ජාතිකවාදීන්ගේ ප‍්‍රතිපත්ති සමග ඝෘජුව හෝ වක‍්‍රව සන්ධානගත වීමෙන් හෝ එසේ ඒත්තු ගන්වන්ට  නොහැකි ය. එවන් එළඹුමකින් වන්නේ පැහැදිලිවම දමිළ ජනයා තුළ බෙදී වෙන්වීමේ උවමනාව වඩ වඩාත් ශක්තිමත් කිරීමට පණ පෙවීම පමණි.

මාක්ස්වාදීන් ස්වයං තීරණයට ජාතීන්ට ඇති අයිතිය පිළි ගන්නේ නිරපේක්ෂ හෝ ප‍්‍රතිජානාත්මක   අර්ථයෙන් එනම් අනිවාර්යයෙන්ම වෙන් විය යුතුය යන අර්ථයෙන්වත්, වෙන්වීමට ඒකාන්ත වශයෙන් පක්ෂ වීමේ අර්ථයෙන්වත්  වෙන් වීම යථාවක් කිරීමේ අර්ථයෙන්වත් නොවේ. පීඩිත හා පීඩක ජාතීන්ගේ කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත පංතීන්ගේ එක්සත් බව ඇති කර ගැනීමේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදය මත පදනම්ව ජාතීන්ගේ ස්වෙච්ඡානුගත, සැබෑ ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමේ අර්ථයෙනුයි, ප‍්‍රතිෂේධාත්මක අර්ථයෙනුයි. එය සැබවින්ම වෙන්වීම නගාලන, ප‍්‍රවර්ධනය කරන පිළිවෙතක් නොව එක්සත්භාවය, ඒකාබද්ධතාවය නගාලීම, ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදී පිළිවෙත ජාතික ගැටළුවේ දී භාවිතයට යෙදීමයි. මෙය තේරුම් ගැනීමට නොහැකිවීමෙන් නැතහොත් තේරුම් ගැනීම මග හැර යාමෙන් පෙන්නුම් කරන්නේ එක් අතකින් මෙම තර්ක ගෙනෙනවූන්ගේ මාක්ස්වාදී අපෝහකය පිළිබඳ ඇති අවබෝධයේ පවත්නා අන්ත දරිද්‍රභාවය යි. අනෙක් අතින් මහ ජාතිකවාදී මනෝභාවයන්ගෙන් කැඞී වෙන් වීමට ඔවුන්ගේ ඇති නොහැකියාව හා නුවුවමනාව යි.


(මතු සම්බන්ධයි)

No comments:

Post a Comment