මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Monday, May 13, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 6

නිර්ධන පංති රාජ්‍යය හා කොමියුනිස්ට් පක්ෂය අතර සම්බන්ධය
 

 ඒ සමගම එම රාජ්‍යය සහ පක්ෂය අතර පැවතිය යුතු සම්බන්ධතාවය පිළිබඳ ලෙනින් ඉතාමත් නිරවුල් ප‍්‍රතිපත්තියක පිහිටා ඇත. සෝවියට් සභා තුළ සංවිධානය වී සිටින නිර්ධන පංතිය විසින් රාජ්‍ය බලය  ක‍්‍රියාත්මක කරනු ලබයි. එම සභාවල  නිර්ධන පංතියේ බහුතරය දිනාගනිමින් ඊට  නායකත්වය දෙනු ලබන්නේ බෝලෂෙවික් වරුන්ගේ කොමියුනිස්ට් පක්ෂය විසින් ය. වාර්ෂික සම්මේලනය විසින් තෝරාපත් කළ මධ්‍යම කාරක සභාව විසින් පක්ෂය මෙහෙයවයි. පක්ෂයේ නිතිපතා කටයුතු කරනු ලබන්නේ මධ්‍යම කාරක සභාව විසින් තෝරාපත් කළ සංවිධාන කාරක සභාව හා දේශපාලන කාරක සභාව විසින්ය.
 ‘අපට නාමික වශයෙන් පමණක් කොමියුනිස්ට් පාක්ෂික නොවන , නම්‍යශීලී , සහ සාපේක්ෂ වශයෙන් පුළුල් හා ඉතාම බලවත් නිර්ධන පංති යාන්ත‍්‍රණයක් ඇත. එය මගින් පක්ෂය, පංතිය හා පොදු ජනතාව සමග සමීප ලෙස එකට සම්බන්ධවී සිටී. එය මගින් පක්ෂයේ නායකත්වය යටතේ පංති ආඥාදායකත්වය කි‍්‍රයාත්මක කරනු ලැබේ.’ (ලෙනින් තෝ. කෘති 10 වෙළුම 162-163 පිට) පංති ආඥාදායකත්වය මෙහෙයවීම පක්ෂය විසින් කරන මුත් පක්ෂය ඊට ආදේශකයක් වීම ලෙනින් බැහැර කරයි. කොමියුනිස්ට් පාක්ෂිකයන්  සෝවියට් සභාවක බහුතරය දිනා ඇතැයි කියන විටම එහි නව ක‍්‍රමයට  අනුගතවී ඇති නමුත් කොමියුනිස්ට් පාක්ෂික නොවන සුළුතරයක් සිටින බව ඇ`ගවෙයි. සමහර තැනක ඔවුන් කම්කරුවන්ගේ ම වෙනත් ප‍්‍රවනතාවයන්ය, සමහර තැනක ඔවුන් ගොවීන් ය, ඔවුන්ගේම තවත් ප‍්‍රවනතාවයන් ය. එසේ වුවත් ඔවුන් විප්ලවීය බලවේගයේ සැලකිය යුතු කොටසක් නියෝජනය කර ඇත. උදාහරණයක් වශයෙන් එවකට රුසියානු ගොවි ජනතාවගෙන් බහුතරය සිටියේ සමාජ විප්ලවවාදීන් සමග ය. මේ නිසා ගොවින්ගේ සෝවියට් සභා බොහොමයක්  ඔවුන්ගේ නායකත්වයට නතුව පැවතිනි. ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු ඔවුන්ගේ වාමාංශය බොල්ෂෙවික් ආණ්ඩුවට එක්වී ඇමති තනතුරු තුනක් දැරූහ. සමහරු කොමියුනිස්ට් පක්ෂයට එක්වූහ. තවත් සමහරු ප‍්‍රතිවිප්ලවීය ධවල ව්‍යපාරයට එක්වූහ. විප්ලවීය බලවේගයන්ගේ වුව ද ඒවායේ නියම ස්වභාවය පංති අරගලය තුළ නිශ්චයකර ධ‍්‍රැවීකරණයට ලක් කරනු ලබයි. ප‍්‍රතිවිප්ලවය වෙත පලායන්නවුන් හැර විවේචනාත්මක පාර්ශවයන්ගේ පැවැත්ම විවෘතවම පිළිගැනීම, ඔවුන් සමග සමගි  සම්මුතියකින් කටයුතු කිරීම,  ඔවුන්ට එරෙහිව බලය යෙදවීම නොව දෘෂ්ටිමය අරගලයක් ගෙනයාම ලෙනින්වාදී ප‍්‍රතිපත්තිය වී ඇත. වැදගත් දේ නම් ප‍්‍රති පාක්ෂිකයන් කෙරෙහි වෛරීය ප‍්‍රචණ්ඩ හැසිරීමකින් ප‍්‍රතිචාර දක්වනවා වෙනුවට ඉවසිලිමත් හා තර්ක බුද්ධියෙන් ක‍්‍රියාකරන අනුගාමිකත්වයක් බිහිවීමය. ප‍්‍රති පාක්ෂිකයන් ප‍්‍රතිවිප්ලවීය ක‍්‍රියාකාරිත්වයක නොයෙදෙන තාක් විවිධ මතවාදයන් දැරීමට, ඒ අනුව සංවිධානය වීමට හා ක‍්‍රියාත්මකවීමට එහි කිසිදු අවහිරයක් නොවීය. සමාජ විප්ලවවාදීන් බොල්ෂෙවික් ආණ්ඩුවේ ඇමති තනතුරු දරමින් සිටියදී  බ්‍රෙස්ලිටොව්ස්ක් සාම ගිවිසුමට එරෙහිව විරෝධය පාමින් ඔවුන්  ඉන් ඉවත්වී තවදුරටත් සෝවියට් සභා තුළ සිටිමින් කි‍්‍රයාත්මකවීම බොල්ෂෙවිකයන්ට ගැටළුවක් වූයේ නැත. ලෙනින්ගේ අවධිය තුළ අපට පෙනෙන්නට ඇත්තේ මෙසේ  ගොඩනගන ලද නව කොමියුනිස්ට්වාදී සංස්කෘතියයි. මෙම සංස්කෘතිය තුල නිළධාරිවාදයට තිබූ ඉඩකඩ අවම ය.
කෙසේ වේවා, සෝවියට් ක‍්‍රමය  වැරදි හා දුර්වලතාවයන්ගෙන් විනිර්මුක්ත වූවක් නොවීය. එය ‘ධනපති ක‍්‍රමය නැමති මව් කුසින් මේ දැන් දහවල් ආලෝකයට බිහිවුණු, සහ පැරණි සමාජයෙන් ගෙන ආ උපන් ලපවල මුද්‍රාව සෑම අතින්ම දරන’ (ලෙනින් තෝ. කෘ. 12. 99 පිට) කොමියුනිස්ට් ක‍්‍රමයේ පහළ අවධිය ය. එම අවධියෙහි  ‘උපන් ලපවල මුද්‍රාව’ ඇති පුද්ගලයන් වගේම සංවිධාන හා ප‍්‍රවනතා ද තිබිය හැකි ය. ඒ හා සමීප ලක්ෂණ හෙබවූවන් බොල්ෂෙවික් පක්ෂය තුළ ද සිට ඇත. කොමියුනිස්ට් පක්ෂය ද පංති තත්වයන්ට ඉහළින් වූ නිරපේක්ෂ ආයතනයක් නොවේ. ‘අපේ පක්ෂය පංති දෙකක් පදනම් කරගෙන සිටී’ යි ( තෝ.කෘ. 12 වෙළුම 166 පිට) ලෙනින් සඳහන් කරන්නේ ඒ නිසාය. පසුගාමී ආර්ථික හා සංස්කෘතික පසුබිමක් යටතේ මේ කොතැනකත් ‘උපන් ලපවල මුද්‍රාව’ මතු විය හැකි ය. එය වැඞී නිළධාරිවාදය කරා, ධනවාදය කරා නැවත ආපසු ගමන්කිරීමේ වැඩි ඉඩක් පවතී. ලෙනින්ගේ ජීවිතයේ අවසාන වසර කීපයේ ඔහුු ලියා ඇති ලිපි බොහොමයක  රාජ්‍ය ආයතන සහ පක්ෂය තුළ ගොඩනැගෙමින් පැවති නිළධාරිවාදය ගැන දැඩි විවේචනයන් සහ ඒවාට එරෙහි ක‍්‍රමවේදයන් ගැන ද සඳහන්කරයි. සමාජවාදය තුළ වරප‍්‍රසාදිත පංතීන් බිහිවීමට අවශ්‍ය ආර්ථිකමය මූලයන් නොමැතිවුවද  කොමියුනිස්ට් පක්ෂය සහ රාජ්‍ය ආයතනවලට රිංගා ගත් උපන් ලපවල මුද්‍රාව ඇති ආත්මාර්ථකාමීන්  එකී ආයතනවල දේශපාලන අධිකාරිත්වය හා බලය උපයෝගීකර ගනිමින් වරප‍්‍රසාධිත ජීවන ශෛලියක් ගොඩනගා ගැනීමට උත්සාහ ගනී. මෙකී නිළධාරිවාදයට එරෙහිවීමේදී පාක්ෂික නොවන නිර්ධන පංතිකයන්ගේ කාර්යභාරය ලෙනින් ඉහළින් අගය කොට සලකයි. පක්ෂය පිරිසිදුකිරීම නම් ඔහුගේ කෙටි ලිපියෙහි මෙසේ සඳහන් කරයි. ‘සමහර ස්ථානවල ප‍්‍රධානවශයෙන් පාක්ෂික නොවන කම්කරුවන්ගේ යෝජනා හා අත්දැකීම් ආධාරයෙන් පක්ෂය පිරිසිදු කරනු ලබමින් ඇත. පාක්ෂික නොවන නිර්ධන පංතික ජනතාවගේ මේ යෝජනා සහ ඔවුන්ගේ නියෝජිතයන් වෙත නිිසි සැලකිල්ලකින් යුතුව අවධානය යොමුකරනු ලබමින් සිටී. වඩාත් අ`ගනා  සහ වඩාත් වැදගත් දෙය මෙයයි. සත්‍යවශයෙන් අපි මේ අයුරින්  ඉහළ සිට පහළට පක්ෂය පිරිසිදු කිරීමෙහි සමත් වේ නම් නිසැකවම එය විප්ලවය සඳහා අතිවිශාල ජයග‍්‍රහණයක් වනවා ඇත.’ මේ මගින් පක්ෂය පංතිය සමග වඩාත් ශක්තිමත්ව බැඳ තබන බවත් දුෂ්කරතාවයන් හා අනතුරු රාශියක් මැද වුවද පංතිය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමේ හැකියාව එයට ලැබෙන බවත් ලෙනින් වැඩිදුරටත් සඳහන් කරයි. ( මේ අවධියේ දි පක්ෂ සාමාජිකයන් එක් ලක්ෂ හැතෑ දහසක් පමණ දෙනා  බොල්ෂෙවික් පක්ෂයෙන් ඉවත්කර ඇති බව එක් වාර්තාවක සඳහන් වෙයි)
නිළධාරිවාදයට එරෙහි අරගලයේ දී ලෙනින් පාක්ෂික නොවන සාමාන්‍ය නිර්ධන පංතිකයන් කෙරෙහි සැලකිල්ල යොමුකර තිබීමෙන්  පෙනී යන්නේ පක්ෂයේ   අධිකාරී බලයට පිටතින් විවෘත විවේචනාත්මක පාර්ශවයන්ගේ පැවැත්ම පෙරළා පක්ෂයට ද   විප්ලවයට ද වැදගත්වන බවය. සෝවියට් සභා එවැනි පාක්ෂික හා පාක්ෂික නොවන පිරිස්ගෙන් සැදුම් ලත් ආයතනික ව්‍යුහයකි.  පක්ෂ අධිකාරියේ මෙන්ම ඒ මගින් රාජ්‍යයේ ද ඇතිවිය හැකි අගතිගාමී අත්නෝමතික ප‍්‍රවනතා සාපේක්ෂව හෝ මැඩලිය හැක්කේ සෝවියට් සභා නැතිනම් විප්ලවීය බහු ජන ව්‍යාපාරය ශක්තිමත් කිරීමෙන් පමණි.              
සෝවියට් ව්‍යාපාරය හා වෘත්තීය සමිති ව්‍යාපාරය අතර වෙනස
කර්මාන්ත සංවර්ධනයත් සමග වැඩෙන නිර්ධන පංතිය සමූහයන් ලෙස ඒකරාශිවෙයි.   එම සංවර්ධනය ශ‍්‍රමයේ විශේෂතාවන් මකා දමමින්, නිර්ධන පංතියේ උවමනාවන් හා ජීවන තත්වයන් සමාන තත්වයකට පත්කරයි. එසේම වැඩෙන අර්බූය විසින් ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් අස්ථිර තත්වයකට පත්කරන හෙයින් එය වළක්වා ගැනීම සඳහා ඔවුහු එක්ව ක‍්‍රියා කරති. වෘත්තීය සමිති ඔවුන් එසේ ගොඩ නගා ගන්නා ප‍්‍රාථමික සංවිධාන ආකාරයයි. ඒවායේ ශිල්පීය සංගම් ස්වභාවය හීනවී මුළු මහත් කර්මාන්තයන්ම වැළඳගන්නා තත්ත්වය කරා ඒවා වර්ධනය වී ඇත්තේ හෙමිහිට ය. එසේ වුවත්  එය පංති සංවිධානයේ ඉදිරි පියවරක් විය. එය  නිර්ධන පංතියට එම පංතියේ උසස්ම සංවිධාන ආකෘතිය වූ විප්ලවීය පක්ෂය සොයා ගැනීමට අත්වැලක් විය. ‘වෘත්තීය සමිති හා කම්කරු පංතියේ පක්ෂය අතර අන්‍යොන්‍ය ක‍්‍රියාකාරිත්වයෙන් තොරව ලෝකයේ කිසිම තැනක නිර්ධන පංතිය සංවර්ධනය නොවීය’ යි ද, ‘වෘත්තීය සමිති කොමියුනිස්ට්වාදයේ පාසැලක්’ ලෙසට මෙකල මෙන්ම අනාගතයේදී ද අත්‍යවශ්‍යවනු ඇතයි ද, ඒවා නිර්ධන  පංතිකයන්ට ඔවුන්ගේ ආඥාදායකත්වය ක‍්‍රියාත්මක කිරීමේ පුහුණුව දෙන අභ්‍යාස විද්‍යාල වන බව ද, රටේ ආර්ථික ජීවිතයේ කළමනාකාර කටයුතු ක‍්‍රමානුකූල ලෙස,  ප‍්‍රථමයෙන් කම්කරු පංතියට (එක් එක් කර්මාන්තවලට නොවේ) සහ පසුව සියළු වැඩකරන ජනතාවට පවරාදීම සඳහා නැතිවම බැරි සංවිධානයක්  බව ද මතක තබාගත යුතු යැයි ලෙනින් (තෝ. කෘ.10 .  165 පිට) අවධාරණය කරයි. ඒ අතරම  විප්ලවීය පක්ෂය  නැගී එනවිට වෘත්තීය සමිති, ඒවායේ ස්වභාවයෙන්ම පිහිටි පටු වෘත්තීය ආකල්ප හේතුවෙන්  තම ක්ෂේත‍්‍රය තුළටම තව තවත් වැද දේශපාලනයෙන් බැහැරව සිටීමේ ප‍්‍රතිගාමී ප‍්‍රවනතාවක් පෙන්නුම්කරන්නේ යයි ඔහු පෙන්වා දෙයි. එපමණක් නොව පොදු ජනතාව සමග සම්බන්ධතා පැවැත්වීමේදී වුව ද වෘත්තිය සමිති ප‍්‍රමාණවත් නොවන බව ලෙනින් අදහස් කරයි. මේ සියළු කරුණු අනුව, ‘වෘත්තීය සමිති නිර්ධන පංතිකයන්ට ඔවුන්ගේ ආඥාදායකත්වය ක‍්‍රියාත්මක කිරීමේ පුහුණුව දෙන අභ්‍යාස විද්‍යාලයකි. එය ‘ජනතාව අතරින් ශ‍්‍රම විභජනය තුරන්කර ඔවුන්ට  සර්ව පාර්ශවීය සංවර්ධනය හා සර්වපාර්ශවීය පුහුණුව ලබා දීමට, ඔවුන්ට අධ්‍යාපනය හා ශික්ෂණය ලබාදීමට ක‍්‍රියා කරයි’. (ලෙනින්  එම) 
එසේ නමුත්  සෝවියට් සභා ගුණාත්මක වශයෙන් වෘත්තිය සමිතිවලට වඩා වැඩි යමක් අඩංගුකර ගනී. එය සම්පූර්ණ බලය ඇති ‘ගොවිජන -නිර්ධන පංතික සමූහාණ්ඩුවකි’.   මේ  ආයතන දෙක තුළම   කම්කරුවන් සිටී. වෘත්තීය සමිති ආර්ථිකමය ක්ෂේත‍්‍රය තුළ හැසිරෙන අතර සෝවියට් සභා  නිර්ධන පංති  ආඥාදාදායකත්වය ක‍්‍රියාත්මක කරයි.  ඒ දෙක අතර  ඇත්තේ පැහැදිලි  ගුණාත්මක වෙනසකි. තරුණ, කාන්තා, ශිෂ්‍ය සංවිධාන හෝ සංගම්වල තත්ත්වය වෘත්තීය සමිතිවල තත්ත්වයට වඩා වෙනස් නොවේ.
සෝවියට් සභා පිළිබඳ අපේ වටහාගැනීම හුදු විප්ලවීය මාදිලියක්, නැගීසිටීමේ තවත් එක් අකෘතියක් නොවන බව ය. එය වචනයේ සැබෑ අර්ථයෙන් ම විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරයකි. එය විප්ලවීය බලවේගයන්ගේ මැදිහත්වීමෙන්, මෙහෙයවීමෙන් කම්කරුවන්ගේ, ගොවීන්ගේ, සියළු පීඩිතයින්ගේ බලය කැටිකර ගනිමින් ධනපති රාජ්‍ය බලයට ප‍්‍රතිපක්ෂව නිර්ධන පංති රාජ්‍ය බලය වෙත යොමුව පැවති පොදු ජනතාවගේ ව්‍යාපාරයකි.  ලෙනින්වාදය ඊට නායකත්වය දෙමින් එය නියමිත මොහොතෙහි නියමිත ස්ථානයෙහි පිහිටුවාලීය. ඔක්තෝම්බර් විප්ලවයේ ජයග‍්‍රහණය යනු සෝවියට් ව්‍යාපාරය නම්  වේදිකාව මත එළිදැක්වූ  බොල්ෂෙවික්  න්‍යායයේ  හා භාවිතයේ අති සාර්ථක රංගනයයි. ලාංකේය විප්ලවයේ ජයග‍්‍රණය සඳහා විප්ලවීය පක්ෂයක උපාය මාර්ගයේ  අවශ්‍යයෙන්ම තිබිය යුතු එක් වැදගත් මූලික කොන්දේසියක් වන්නේ මේ  ‘වේදිකාව’ නිර්මාණය කරගැනීම ය. නළුවා සහ වේදිකාව එකක් නොව එකිනෙකට සම්බන්ධ ප‍්‍රපංචයන් දෙකක් බව අපි නැවත නැවතත් අවධාරණය කරමු. ලාංකේය වාම ව්‍යාපරයේ ප‍්‍රතිසංස්කරණවාදය, පාර්ලිමේන්තුවාදය, පංති සහයෝගිතාවාදය,  අතිවාමවාදය හා පටු ජාතිකවාදය ලෙස පිළිබිඹුවී ඇති සුළු ධනපති අවස්ථාවාදයේ පදනම් සාධකය, වෙනත් සාධකයන්ට අමතරව විප්ලවීය අරගලයේ ‘පොදුජන’ සාධකය නොතකා හැරීම ය. විප්ලවය පළල් අරුතින් වටහා නොගැනීම ය. යමෙක්  විප්ලවයේ පොදු ජන ස්වරූපය ගැඹුරින්ම තේරුම් ගන්නේ නම්  ඒ පොදු ජනතාව සඳහා නිශ්චිත    ‘ස්ථානය’ සොයා ගැනීමට ද ඔහුට  සිදුවෙයි.  එය, එනම්  විප්ලවයේ පොදු ජන ස්වරූපය (කමනෙව්, සිනොවියෙව් වැනි සමහර බොල්ෂෙවිකයන් මෙන්) අවතක්සේරු කරන්නේ නම්  නැතිනම් (මෙන්ෂෙවිකයන් හා සමාජ විප්ලවවාදීන් මෙන්* තමන්ගේම පටු අරමුණකට ඌනනය කරන්නේ නම්  හේ ඉහත කී අවස්ථාවාදයේ කුමන හෝ ප‍්‍රවනතාවයකට ඇද වැටෙන්නේ ය. සංවිධානමය වශයෙන් නිළධාරිවාදී, කුමන්ත‍්‍රණකාරී හැඩගැස්මක ම පිහිටන්නේ ය.     
මේ අර්ථයෙන් බලනවිට ලාංකේය වාම ව්‍යාපාරය එක් හෝ තවත් අන්තයකට ගමන් කරමින් සිටිනවා හැර බහු ජනතාව වැළඳගන්නා විප්ලවීය ව්‍යාපාරයක් බවට පත් නොවීම තේරුම් ගත හැකි ය. 53 හර්තාල් ව්‍යාපාරයට මදක් එබී බලන්න. 1952 පැවති මැතිවරණයේ දී එජාපය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට ජනතාව මත තව තවත් බර පැටවීම හේතුකොටගෙන ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය අහිමිකරගත්තා පමණක් නොව ක‍්‍රමිකව වැඩෙමින් පැවති  ඔවුන්ගේ සක‍්‍රීය විරෝධයට ද පාත‍්‍ර විය. එහි උච්ඡුතම අවස්ථාව ලෙස 53 අගෝ. 12 විරෝධතා ව්‍යාපාරයක් (හර්තාලයක්) වම විසින් ප‍්‍රකාශයට පත් කෙරෙයි. ප‍්‍රධාන වශයෙන් බස්නාහිර, දකුණ හා සබරගමුව පළාත්වල පැතිර ගිය එම ව්‍යාපාරය තුළ කුලය වර්ගය ආගම නොසලකා දහස් ගණන් පීඩිත ජනකොටස් ඒකරාශි වූහ. සාමාන්‍ය විරෝධය පෑමේ සිට වැඩ වර්ජන, බැරිකේඞ් දැමීම, ප‍්‍රවාහන සහ තැපැල් හා විදුලි පණිවුඩ සේවා ඇනහිටුවීම, දුම්රිය ස්ථාන අත්පත්කර ගැනීම, සමහරතැන්වල කුඩා පාළම් පුපුරවා හැරීම වැනි සිදුවීම් සමගින් එය ලංකාව තුළ ධනවාදයට එරෙහි පළමු  මහා ජනතා නැගිීටීමක් සළකුණු කරයි. පොදු ජනතාව ගේ විප්ලවවාදී උද්වේගය මෙසේ ප‍්‍රකාශයට පත්වීමත්, ආණ්ඩුව වරායේ නවතා තිබූ නැවකට පසුබසිමින් හා ඩඞ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ධනපති පංතියේ දුර්වල, වැනෙන සුළු, අධිෂ්ඨාන විරහිතභාවය ප‍්‍රකාශවීමත් සමගින් ඉතිහාසයේ සංධිස්ථනායක් නිර්මාණය විය. වැදගත් ප‍්‍රශ්නය නම් මේ  ඉතිහාසයේ සංධිස්ථානය කෙරෙහි විශ්වාසය තබමින් (ලෙනින් - තෝ .කෘති 6 වෙළුම, 134 පිට)

* තීරණාත්මක හැරවුමක් ගැනීමට ලසසප හෝ කොප නායකත්වය සූදානම් බවක් පෙන්වූයේ ද යන්නය. නැත. නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනාගැනීමේ  විප්ලවීය දැක්මක් හෝ උවමනාවක් නොතිබූ බවත් ඒ හේතුව නිසාම විප්ලවීය පක්ෂයක් සහ ඒ වටා කම්කරු පංතිය හා පීඩිත පංතික බලවේගයන් සංවිධානයකිරීමේ උපාය මාර්ගයක් නොතිබූ බවත් පසු දින මහා ජනතා නැගිීටීම නැවැත්වීමට ගත් තීරණයෙන් ම පැහැදිලිවෙයි. මහමග වැතිර මාර්ග බාධකයක් බවට පත්වීමට තරම්  එඩිතරකමක් පෙන්වූ  පීඩිත පංතික ගැහැණු සහ පිරිමි (රන්දොඹේ* පක්ෂයේ නායකත්වයෙන් මහජන කමිටු වැනි බහුජන සංවිධාන අකෘතින් තුළ ස්ථානගත කීරීමේ සංවිධාන උපාය මාර්ගයක් අරගලයට පූර්වයෙන් හෝ අවම වශයෙන් රන්දොඹේ ආදර්ශය අරගල භූමිය පුරා පැතිර යද්දී ඒ  අතරතුර ක්ෂණිකව හෝ  මතුකර ගැනීමට තරම් දැක්මක්  එදා වමේ පක්ෂවලට   තිබී නැත.  වඩාත් හාස්‍ය ජනක දේ නම් එවකට ලෝකයේ ප‍්‍රබල ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ ලසසපය,  පෙට්‍රොග‍්‍රෑඞ් කම්කරු සභාවේ -සෝවියට් සභාවේ සභාපති වූ ට්‍රොට්ස්කි ගේ පංති අරගල දේශපාලන භාවිතය අහලකින්වත් නොයාම ය.
මීල`ගට අපි ජවිපෙ වෙත පිවිසෙමු. ජවිපෙ නායකත්වයෙන් 71 සහ 88 දී සන්නද්ධ අරගල දෙකක් ම දියත් කෙරී ඇත. එම අරගලයන් දෙක ම එම පක්ෂයේ පිළිගැනීම අනුව සමාජවාදී සමාජයක් එනම් නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනා ගැනීම අරමුණුකරගත් ඒවා ය. 71 වනවිට සිදුවී තිබුණේ  කෙලින්ම පක්ෂය සංවිධානය කිරීමත් එම පක්ෂයම සන්නද්ධ හමුදාවකට පරිවර්තනය කිරීමත් ය. පුද්ගලයන් සවිඥානගත කිරීමේ හා ඔවුන් උරගා බැලීමේ විධික‍්‍රමයක් වශයෙන්  යොදාගත්තේ පංති පහ හා අධ්‍යාපන කඳවුරු ය. අනතුරුව ඔවුන් අවම  මට්ටමක හෝ පුහුණුවක් නැතිවම සන්නද්ධ ප‍්‍රහාරයකට යොමු කරනු ලැබීණ. කළ යුත්තේ පළමුව පුද්ගලයා බිම්මට්ටමේ බහුජන අරගල ව්‍යාපාරයක් තුළ ගොනුකර ඒ මගින් දැනුවත් කිරීමේ හා පුහුණුකිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කර දෙවනුව පක්ෂයේ ද්වීතියික සංවිධාන තුළ පිහිටුවා වැඩිදුරටත් හැඩගස්වා න්‍යායික දැනුමෙන් ද සන්නද්ධකර   තිරසර විප්ලවවාදියෙකු  බවට පරිවර්තනය කිරීමෙන් පසුව පමණක්  පක්ෂයට උරා ගැනීම ය. එවැනි   විප්ලවීය ප‍්‍රායෝගික පාසලක ලබාදෙන අධ්‍යාපනයට හා පුහුණුවට පංති පහ සහ කඳවුරු අධ්‍යාපනය කිසිසේත් සමකළ නොහැකි ය. ඉන් සිදුවූයේ පුද්ගලයා සමාජයෙන් උගුල්වා සෘජුව පක්ෂය තුළ පැළ කිරීම ය. අනතුරුව පක්ෂ සංස්කෘතියට අනුව හැඩගැස්වීම ය. මෙය විප්ලවීය පක්ෂයකට වඩා යම් ආකාරයක නිකායක්  බඳු විය. පොදු ජනතාව සමග සංයෝග වීම වෙනුවට සිදු වුණේ ජනතාවගෙන් ඔවුන් වෙන්කර පෙන්වන පැහැදිලි හිස් අවකාශයක් නිර්මාණය වීම ය. මෙසේ තිබියදීත් ජවිපෙ යම් ජනප‍්‍රියතාවයක් දිනාගෙන සිටි බව සත්‍යයකි. ඒ, නිිසි මග පෙන්වීම නිසා එය වටා ගොඩ නැගුණ අනුගාමිකත්වයක් හේතුකර ගෙන නොව  හොර මැර වංචා දූෂණවලින් පිරි ධනපති දේශපාලන ව්‍යාපාරය සමග ජවිපෙ සංසන්දනය කර බලද්දී එහි ක‍්‍රියාකාරීන්ගේ අවංකබව, කැපවීම හා වංචා දූෂණවලින් තොරවීම ගැනත් අමතරව පසුකාලයේ ඔවුන්ගේ ජාතිකවාදි සටන් පාඨ ගැනත්  ඇති වූ හුදු කැමැත්ත ප‍්‍රකාශවීමක් වශයෙනි. මේ තත්ත්වය පංතිමය පෙළගැස්මක් වන්නේ නැත. කළ යුතු වූයේ විප්ලවීය පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන විෂයබද්ධ පීඩිත පංතික සටන්පාඨ ඔස්සේ ඉදිරියට යන්නට ජනතාව පෙළ ගැස්වීම ය. පංතිමය පෙළගැස්මක් වන්නේ එවිට ය. ජවිපෙ මුදාහල  ප‍්‍රචණ්ඩත්වයේ හා පටු ජාතිකවාදයේ තෙරපුම යටතේ 88-89 අරගලයේ දී යම්  ප‍්‍රමාණයක ජන සහභාගිත්වයක් ලැබී තිබුණ ද එය පොදු ජන අරගල ව්‍යාපාරයක් වූයේ නැත.  වෙනත් නම්වලින් පෙනී සිටියත් එතැන තිබුණේ පක්ෂය ම ය. 
  ලෙනින්වාදයට අනුව, ලාංකේය නිර්ධන  පංතික දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම  යන්නෙන් අදහස් වන්නේ නැතිනම් එහි සංයුක්තව ඇත්තේ කම්කරුවන්්  ගොවීන් සෙසු පීඩිත පංතිකයින්, පීඩිත ජාතීන්  සහ ප‍්‍රගිතිශීලීන්  අයත් විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරය සහ නිර්ධන පංති පක්ෂය යන ද්විත්වය අන්‍යොන්‍ය සම්බන්ධිතව ගොඩ නැගීම ය. ඒ අනුව විප්ලවවාදී පක්ෂයක කාර්ය භාරය බැහැර කරමින් පොදුජන අරගල ව්‍යාපාරයක් ගැන සිතීම හෝ පොදුජන අරගල ව්‍යාපාරයක කාර්යභාරය බැහැරකරමින් විප්ලවවාදී පක්ෂයක් ගැන සිතීම හෝ කළ නොහැක්කකි. විප්ලවීය පක්ෂයක මග පෙන්වීම නොමැතිව පොදුජන අරගල ව්‍යාපාරයක් පැන නැගිය හැකිමුත්  එය නිර්ධන පංති විප්ලවයේ ජයග‍්‍රණයෙන් නොව තවත් ‘අරාබි වසන්තයකින් ’ ම කෙළවර වන්නක් බව අපි දනිමු. එසේම පොදු ජන අරගල ව්‍යාපාරයක් නොමැතිව, ලෙනින් කියන විදියට නිර්ධනයින්ගේ සහ නිර්ධනයින් නොවන වැඩකරන ජනතාවගේ ප‍්‍රමාණවත්  සහයෝගය ප‍්‍රකාශ කෙරෙන ව්‍යාපාරයක්  නොමැතිව  විප්ලවවාදී පක්ෂය කෙලින්ම සටනට පිවිසෙන්නේ නම් එය සිය දිවිහානිකර ගැනීමකට සමාන වෙයි. පළල් හා පොහොසත් පසුමුණක් නැතිව පෙරමුණු බල ඇණියකට පමණක් සටනක් සාර්ථකව ජයග‍්‍රහණය කළ නොහැකි ය. අපට විප්ලවීය පොදුජන අරගල වේදිකාව නුහුරු නුපුරුදු තැනකි.  මක්නිසා ද තමන්ගේ පාරිශුද්ධ කුටුම්භ වටා මහා පවුරක් අටවාගෙන  පේමන්ට් එකේ මැජික් පෙන්නන්නා වගේ ‘එන්න අප වටා එක්වන්න’ කියා අ`ඩගාන දේශපාලනය  හෝ එහෙමත් නැතිනම් මොනම ඉදිරි දැක්මක්වත්  නැතිව එදාවේල පිරිමහ ගන්නා ආකාරයේ ‘ඇක්ෂන්’ දේශපාලනයේ නියැලීම දන්නා, පුරුදු එකම දේශපාලනය   වන නිසාය. මේ දෙආකාරයෙන්ම මිදිය යුතු ය. අවශ්‍ය වන්නේ  සියළු බලය තමන් අතට පත් කෙරෙන ආකාරයේ තමන්ගේම බල ව්‍යුහයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය හා හැකියාව  සියළුම  වැඩ කරන පීඩිත  ජනතාවට වටහා දීමය. විප්ලවීය  කලලය බිහිකර ගැනීම  සඳහා මග පෙන්වීම ය. පුහුණු කිරීම ය. නායකත්වය දීම ය. එය කළ යුත්තේ විප්ලවීය පක්ෂ සහ සංවිධාන විසින්ය යන්න අවිවාදිත ය. මෙහිලා පළමු කොන්දේසිය සෝවියට් ව්‍යාපාරය ආකෘතිමය වශයෙන් නොගෙන එහි හරයවූ විප්ලවීය පොදුජන අරගල ව්‍යාපරය  යථාර්ථයෙන්ම ගෙන ග‍්‍රහණය කරගැනීම ය. ඒ විප්ලවීය සංස්කෘතිය ලාංකේය බිම මත ගොඩ නැගීම ය.
   දැන් අපි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි ප‍්‍රශ්නයක් ගැන අවධානය යොමු කරමු. කොමියුනය හෝ සෝවියට් ව්‍යාපාරය බිහිවුණේ අදාළ ජනතාවගේ ‘ස්වයං ක‍්‍රියාආරම්භත්වයෙන්’, අරගල බිමෙහි ඒ ඒ මොහොතෙහි ය. ඒ ඒ ඓතිහාසික තත්ත්වයන් යටතේ ය. ඒ නිසා එම සංකල්පය  එයාකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමට  උත්සාහ දැරීම ප‍්‍රායෝගික ද? 1905 පළමු සෝවියට් සභාව බිහිවීමට පාදක වූ කරුණ  කම්කරුවන්ගේ වැඩවර්ජනය  යන තේරුමෙන් එය ‘ස්වයං ක‍්‍රියාආරම්භත්වයක් ’ ලෙස සැලකිය හැකි ය. නමුත් එය සාමාන්‍ය වැඩවර්ජන මෙහෙයුම් කමිටුවකට වඩා ‘බලය’ අත්පත්කර ගැනීමේ දිශාවට යොමුවූ කම්කරුවන්ගේ ආයතනයක් බවට පත්වන්නේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් (බොල්ෂෙවික් හා මෙන්ෂෙවික්), සමාජ විප්ලවවාදීන් හා වෙනත්  විප්ලවවාදී හා ප‍්‍රගතිශීලී කවයන්ගේ මැදිහත්වීමෙන් ය, මෙහෙයවීමෙන් ය. පසු කාලයේ ඒ සඳහා වඩාත් තෙරපුමක් ඇති කරන්නේ ලෙනින් ය. මෙහිදී ලෙනින් කළේ පැරිස් කොමියුනය අනුකරණය කිරීමක්  නොව සෝවියට් සභාවේ  අඩංගු කොමියුනයක  විභවය  හඳුනාගෙන එය   ඉදිරියට ගැනීම ය.  පැරිසියේ දී ‘කොමියුනය’ බවට පත්වන්නේත් රුසියාවේදී ‘සෝවියට් සභා’ බවට පත්වන්නේත්  විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයම ය. එහි ජාතික ස්වරූපයන් ය. වෙනත් රටකදී එම ව්‍යාපාරය එම රටේ ජාතික අනන්‍යතාවයකික් පැන නැගිය හැකි ය. මිනිසා පරිකල්පන හැකියාව ඇත්තෙකි.  ඔහු තමන්ගේම සෘජු අත්දැකීම් මගින් උගන්වන තෙක් බලා නොසිටීයි. අතීතය පරිකල්පනය කර ඒ අනුව ඔහු වර්තමානය නිර්මාණය කරගනී. ලාංකේය විප්ලවීය ව්‍යාපාරය කොමියුනය හෝ සොවියට් සභා අනුසාරයෙන් විප්ලවීය පොදුජන ව්‍යාපාරයක දේශීය අකෘතියක් නිර්මාණයකර නොගත යුත්තේ ඇයි? විප්ලවීය ආණ්ඩුවක කලලය සොයා නොගත යුත්තේ ඇයි? විප්ලවයේ පොදුජන ස්වරූපය ගැන වැටහීමක් ඇති නම් විප්ලවීය පක්ෂයකට මේ පිළිබඳ සංකල්ප මාත‍්‍රයක් හෝ තිබිය යුතු ය. එබැවින්  අපට ඇත්තේ කොමියුනය ද සෝවියට් ද යන නාමකරණය පිළිබඳ  ප‍්‍රශ්නයක් නොව,  ඒවායේ හරය මත පිහිටා  ලාංකේය විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම පිළිබඳ ප‍්‍රශ්නයකි. විප්ලවීය රාජ්‍ය බලයේ කලලය සොයා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයකි .
ලාංකේය  විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම අපේ වාමාංශික පක්ෂ සහ සංවිධානවල ප‍්‍රයත්නයෙන්ම සිදුවි යුත්තකි. අවශ්‍යවන්නේ ප‍්‍රථමයෙන් ඒ පිළිබඳ දැක්මක්, දෘෂ්ටිමය වටහාගැනීමක් ලබා ගැනීම ය. දැනටමත් ගොඩ නැගී ඇති වාම පක්ෂ, සංවිධාන හා පුද්ගලයන්ගේ එකතුව තුළ ද ඉන් බාහිරව ද මේ පිළිබඳ ගැඹුරු සංවාදයක් මතු කර ගැනීම අවශ්‍යය. වාම එකතුව පවත්වා ගෙන යමින්ම එම පක්ෂ, සංවිධාවල මැදිහත්වීමෙන් නමුත් ඊට බාහිරින් විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයට මුල්ගල තැබිය හැකි බව අපේ විශ්වාසය යි. පළමු වටයට අපට හැකියාව ඇති වඩාත් වැදගත් කලාපයන් තෝරා ගෙන එම කලාපයන්හි වාම සහ ප‍්‍රගතිශිලී කොටස් ඒකරාශිකර (මේ අදහස ඔවුන්ට ඒත්තු ගන්වමින්) ඔවුන්ගේම සටන් මධ්‍යස්ථානයන් ගොඩ නගා ගැනීමට මග පෙන්විය යුතු ය. ඒවා හුදෙක් එම කලාපයන්හි මානව අයිතීන් හෝ පරිසරය හෝ සුරැුකීමේ සංවිධාන, ගොවි සංවිධාන හෝ වෙන යම් පාර්ශවීය සංවිධානම නොව ධනපති ආර්ථික හා දේශපාලන අධිකාරිත්වය නම් සමස්තයට එරෙහිව අභියෝගාත්මකව නැගී සිටින පොදු සටන් මධ්‍යස්ථාන බව ආරම්භයේදීම නිශ්චය කරගත යුතු ය. නමුත් ඉහතකී වර්ගයේ  ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට මධ්‍යස්ථානයට සම්බන්ධවිය හැකි ය. අනෙක් වැදගත් කරුණ නම් මෙහි ආරම්භය ජාතික ව්‍යාපාරයක ස්වරූපයෙන් නොව එකිනෙකෙන්  ස්වාධීන ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන ලෙස ගොඩ නැගීම ය.  ඉහළින් ඇති ආගන්තූක ‘ජාතික  විධායක කමිටුවකින්’ නියෝග දීම, උපදෙස් දීම හෝ මෙහෙයවීම කරන්නට යන පළමු මොහොතේම එය ශාඛාවක තත්ත්වයට පත්වෙයි. තමන්ගේම පොදු තීරණයන් මගින් එළඹෙන ක‍්‍රියාරම්භකත්වයට  එම මධ්‍යස්ථානයන්ට ඉඩ දිය යුතු ය. වර්ධනය වන තත්ත්වයන් විසින් ඉල්ලා සිටින විට මේ සියළු මධ්‍යස්ථානයන් ජාතික සමුළුවක් තුළ ඒකාබද්ධකළ හැකි ය. ජාතික මට්ටමේ පක්ෂ සහ සංවිධානගත සාමාජිකයන් තමන්ගේ ජාතික හෝ කලාපීය උපාය මාර්ගයන්  ඒ තුළ ජයග‍්‍රහණය කරවීම  ඒවා  තර්කානුකූලව ඒත්තු ගැන්වීම මගින් පමණක් කළ යුතු ය. එසේ නැතිව කවර උපායයක් හෝ යොදා  තමන්ගේම නායකත්වය යටතට,  ලෙනින් කියන විදියට  ‘තමන්ගේ බැනරය’ යටතට ගන්න දරන උත්සාහයන් එහි ජීවය රැුඳී ඇති මතවාදිමය අරගලය වගේම බිමේ ප‍්‍රායෝගික අරගලය ද  ප‍්‍රතික්ෂේප කිරීමකි. මෙය එක අතකින් තමන්ගේ සාමාජිකයන්ගේ තර්ක බුද්ධිය මොටකර දමන අතරම අනෙක් අතින් පීඩිත ජනතාවමත් එවැනි තත්වයකට ඇද දමයි. විවිධත්වය ඉවසන, තර්කානුකූලව සිතන, සැබෑ බිමේ කෙරෙන අරගලය තුළින් ලබන පන්නරය ඇති  පංතියේ ක‍්‍රියාකාරීන්,  නායකයන් බිහිවන්නේ ද අනෙක් අතට නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණියෙහි පංති විඥානය, විප්ලවය කෙරෙහි වූ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වය ප‍්‍රකාශ කෙරෙන්නේ ද මෙවැනි ව්‍යයාමයක් තුළ පමණි. එය සැබෑ විප්ලවවාදීන් පෙරා වෙන් කරන පෙරණයක් වැනි ය. 
විප්ලවීය  පක්ෂයක්,  සංවිධානයක් ජනතාව සමග සංයෝග වෙමින් සිය දේශපාලන දෘෂ්ටිය, වැඩපිළිවෙල, උපාය මාර්ගය , ක‍්‍රියාමාර්ගික සැලසුම් සහ දේශපාලන නායකත්වය  ආදියෙහි නිවැරදිබව, හා ඒවා නිවැරදිබව ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනෙන්ට සලස්වමින් නිර්ධන පංති විප්වයේ ජයග‍්‍රහණය කරා ජනතාව මෙහෙයවීමේ ලෙනින්වාදී විධික‍්‍රමය එයය යන්න අපේ අවබෝධය යි.
 

පීපල්ස් මාච්

No comments:

Post a Comment