මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Friday, May 10, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 4

විප්ලවවාදීන් (විප්ලවවාදී පක්ෂය) පොදු ජනතාව සමග සංයෝගවන්නේ කෙසේ ද ?
විප්ලවවාදී පක්ෂය පෙරමුණු බල ඇණිය ලෙස ද හැඳින්වෙන බව අපි දනිමු. එසේ හැඳින්වීමෙන්ම පෙනීයන්නේ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වයෙන් යුත්, පංති අරගලයේ ඉදිරියෙන් ම සිටිමින් එම අරගලයේ සියළු  හැරවුම්, සංධිස්ථාන, ඉදිරියට යාම්, පසුබැසීම් කොටින්ම පංති අරගලයේ සියළු සම්බන්ධතාවයන් විනිවිද දැකීමෙහි සමත්, ඒ අනුව සිය ස්ථානය ක්ෂණයෙන් වෙනස්කර ගැනීමෙහි මනා පුහුණුව ලත්, නිපුණ විප්ලවවාදීන්ගෙන් එම පක්ෂය සමන්විත වී ඇති බවයි. එවැනි පක්ෂයක් තිබීම  නිර්ධන පංති විප්ලවයේ ජයග‍්‍රහණය සඳහා ඇති එක් ප‍්‍රධාන කොන්දේසියකි. එම පක්ෂය    බලය අල්ලා ගැනීමට පෙර, ඒ අතරතුර හා ඉන් පසුව නිර්ධන පංතියේ සහ නිර්ධන පංතික නොවන පීඩිත පංතික කොටස්වල නොදියුණු ස්ථරයන්ට පුහුණුව, අධ්‍යාපනය හා අවබෝධය දී ඔවුන් නව ජීවනයට අද්දාගැනීමට සමත් විය යුතුය. විප්ලවවාදී දේශපාලන කලාව යනු එයයි.  (ලෙනින් තෝ. කෘති 165 පිට* විප්ලවවාදීන් ජනතාව සමග සංයෝග වන්නේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි මග පෙන්වීමක් මින් ලබා දෙයි. නිර්ධන පංතියේ හා පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන් නොදියුණුබව තුළ දිගටම රඳවාගෙන සිටිනු ලබන්නේ  ධනේශ්වර දෘෂ්ටිවාදය හා පසුගාමී සංස්කෘතික චර්යාවන් විසින් ය. ධනේශ්වරය තමන් සතුව ඇති  සකලවිධ මාධ්‍යයන් මේ සඳහා යොදා ගනී.  පීඩිත පංතිකයන්ට යොදා ඇති මේ තිරිංග කඩා බිඳ දැමිය යුතුව ඇත. සම්මත ආයතනික අධ්‍යාපන රටාවට එහා ගිය  ප‍්‍රායෝගික දේශපාලනික ‘පාසැල් ‘ තුළට ඔවුන් ඇතුළත් කරගත යුතු ය. එහි දී ඔවුන් අවබෝධ ගැන්විය යුතු ය.  පුහුණු කළ යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, දේශප්‍රෙමය ගැන ධනපතීන්ගේ මොරගෑම් සමග සහමිතියට ඒමට නොව  අවබෝධයෙන් යුතුව ඒවාට එරෙහිව නැගී සිටීමට උගැන්විය යුතු ය.
     නිර්ධන පංතියේ හා පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන්ට විප්ලවවාදී දේශපාලන කලාව උගන්වා පුහුණු කරන පාසැල නිවැරදිව හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. අන් සෑම විප්ලවයකටම සාපේක්්ෂව රුසියානු බොල්ෂෙවික් විප්ලවය ලෝක  නිර්ධන පංති ව්‍යාපාරයට මේ සම්බන්ධයෙන් බොහෝ දේ උගන්වා ඇතැයි යන්න පැහැදිලි සත්‍යයකි. විප්ලවීය අරමුණ සාක්ෂ්‍යාත්කර ගැනිම සඳහා ඔවුන් - බොල්ෂේවිකයන් පොදු ජනතාව සමග එකට වෙලී ඔවුන් දැනුවත්කරමින් හා පුහුණුකරමින් ද තමන්ම ද ඒ අනුව වෙනස්වෙමින් හා පන්නරය ලබමින් ගමන් කර ඇති මූලික පාසැල සෝවියට් ව්‍යාපාරයයි.  මූල කඳවුරු න්‍යාය , ගරිල්ලා සටන් උපාය හෝ පැතිරුණ සන්නද්ධ අරගල න්‍යාය වැනි සන්නද්ධමය අරගල විධික‍්‍රම සමග  සෝවියට්   ව්‍යාපාරය පටලවා නොගත යුතු බව අපි අවධාරණය කරමු. මක්නිසාද ජවිපෙ පැතිරුණ කෙටිකාලීන සන්නද්ධ අරගල උපාය වෙත ප‍්‍රවේශවීමේදී සෝවියට් සභා අර්ථ ගැන්වූයේ රුසියානු විප්ලවයේ නැගිටීමේ උපාය ලෙසට ය. එවැනි උපායයක් ලංකාවට නොගැලපෙන බව ය. ඇත්තවශයෙන්ම සෝවියට් සභා ව්‍යාපාරය විප්ලවයේ නැගීසිටීමේ අවස්ථාවට අදාළ බලය අල්ලා ගැනීමේ  අකෘතියක් නොව පුළුල් පීඩිත බහුජනතාව - කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන් - ඒකරාශිවූ සමස්ත විප්ලවීය දේශපාලන ව්‍යාපාරයකි. මෙය මේ අර්ථයෙන් තේරුම් නොගැනීම නිසා එදා  ජවිපෙට විප්ලවයේ යෝධ බහුජන ස්වරූපය අත හැරිණි. අතිධාවනකාරී අන්තවාදයකට ඇද වැටුණි.
බොල්ෂෙවික්වාදය නියමාකාරයෙන් අර්ථ දැක්විය හැක්කේ එය සෝවියට් ව්‍යාපාරය හා එකට ගෙන කරන අධ්‍යයනයකින් පමණකි. මක්නිසා ද බොල්ෂෙවික්වාදය මෙන්ම සෝවියට් ව්‍යාපාරය ද හැදී වැඞී පෝෂණය වූයේ එකිනෙක අන්තර් සම්බන්ධිතව ය. ඒවා වෙන් කළ නොහැකි දේශපාලන ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් ලෙස පැන නැගි ඒවා ය. බොල්ෂෙවික් විප්ලවවාදීන් පොදු පීඩිත ජනතාව සමග සංයෝගවීමේ ප‍්‍රධාන මාධ්‍යය වූයේ මේ ඓතිහාසිකවූත් ඒ වගේම අතිශයින් සංකීර්ණවූත් සෝවියට්  ව්‍යාපාරය යි.  පීඩිත කම්කරුවන් ගොවීන් හා සොල්දාදුවන් සාර්වාදයට එරෙහිවත් පසුව ධනේශ්වර සභාගවාදට එරෙහිවත් විටෙක ඒ සමග සම්මුතිවාදීවත් අවසානයේ ඊට එරෙහිව තීරණාත්මකවත් නැගී සිටුවමින්  ස්වකීයමය රාජ්‍ය බලය කරා  ඔසවා තබනු ලැබූවේ සෝවියට් ව්‍යාපාරය හරහාය. සෝවියට් (soviet ) යනු රුසියානු භාෂාවෙන් සභා ( council) යන අර්ථය දනවන පදයකි. එවකට සාර් යටතේ වූ ඇමති මණ්ඩලය නම්කර ඇත්තේ  ද  soviet of ministers  යනුවෙනි. ප‍්‍රථම වරට සෝවියට් යන්න කම්කරු නියෝජිතයින්ගේ සභා හැඳින්වීමට යොදා ගැනෙන්නේ 1905 විප්ලවයේ දීය. 1905 අවසන් කාර්තුව තුළ  රුසියාවේ විප්ලවීය තත්ත්වයන් මෝරමින් පැවතිණි. පීටර්ස්බර්ගයේ  ඉවනොවො වොසෙන්ස්කි ප‍්‍රදේශයේ  රෙදිපිළි කර්මාන්ත කම්කරුවන්ගේ වැඩවර්ජනය තවත් වැඩවර්ජන රැුල්ලකට ආරම්භය දුනි. මේ වනවිට පීටර්ස්බර්ගයේ සිටි  සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ක‍්‍රියාත්මක වෙමින් සිටියේ රහසිගතව ය. ඔවුන් හා පුළුල් ජනතාව අතර සජීවී සංවිධාන  සම්බන්ධතාවයක් ගොඩනැගී  නොතිබිණි. අනෙක් අතට  ඔවුන් අතර කණ්ඩායම් දෙකක අභ්‍යන්තර ගැටුමක් ද විය. සමාජවාදී විප්ලවවාදීන්ගේ තත්ත්වය ද ඊටත් වඩා අයහපත් විය. මේ සියළු පාර්ශවයන් අන්‍යොන්‍ය අරගලයක පැටලී සිටිය ද වැඩ වර්ජන රැුල්ල තව තවත් වර්ධනය වුණි. පැවති යථාර්ථය තුළ පාක්ෂික නොවන ස්වයං පාලනයක් සහිත විප්ලවීය කම්කරු සභාවක් කැඳවීමට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමක් ක‍්‍රියා කළේ ය. ඒ අනුව  ඔක්තෝම්බර් 13 දින පීටර්ස්බර්ගයේ තාක්ෂණික ආයතනයේ දී නියෝජිතයින් 50 කින් පමණ සැදුම් ලත්  කම්කරුවන්ගේ  ප‍්‍රථම -සෝවියට් සභාව - රැුස්විය. වෘත්තීය ශ්‍රේණි හෝ දේශපාලන ප‍්‍රවනතා නොසලකා කම්කරු සමූහයා අතරින් තෝරාපත් කර ගත් නියෝජිතයින්ගෙන් එය සමන්විත විය. දේශපාලනමය මහා වැඩවර්ජනයක් කැඳවීමට එහි දී තීන්දු විය. වැඩවර්ජනය මොස්කව් ඇතුලූ නගර කරා තව තවත් පැතිර ගියේ ය.  සැප්තම්බර් 6 දින රැුස්වූ සෝවියට් සභාව වැඩ වර්ජනය ආයුධ සන්නද්ධ නැගීටීමකට පරිවර්තනය කිරීමට තීරණය කළේ ය. පීටර්ස්බර්ග් කම්කරුවන්ගේ ප‍්‍රථම සෝවියට් සභාවේ ඉතිහාසය දින පනහකට පමණක් සීමාවිය. දෙසැම්බර් 3 දින ආණ්ඩුව විසින් එය මර්දනයකර දමනු ලැබිය.    
සෝවියට් සභාවේ පාක්ෂික නොවන ස්වරූපය නිසා සමහර බොල්ෂෙවිකයන් එය පක්ෂයේ කාර්යභාරයට තර්ජනයක් වෙතැයි සැළකූහ.  දේශපාලන වේදිකාවෙන් බොල්ෂෙවිකයන් බැහැර කිරීමට මෙන්ෂෙවිකයන් අටවන ලද කුමන්ත‍්‍රණයකැයි ඔවුන් සිතූහ.  මේ වනවිට ලෙනින් සිටියේ   විදේශගතව පිටුවහල් ජීවිතයක් ගතකරමිනි. ඔහු තොරතරුු ලබාගත්තේ දිනපතා පුවත්පත් හරහාය. ඒ නිසාම යම් අවිනිශ්චිත හැ`ගීමකින් යුතුව ඔහු (1905 නොවැම්බර්) අපේ කාර්යභාරය හා කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව (
^http://www.marxists.org/archive/lenin/works/1905/nov/04b.htm    යන මැයෙන් ලියූ ලිපියක් පක්ෂ පුවත්පතේ කතුවරුන් වෙත එවූයේ එය පලකිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අභිමතය පරිදි කිරීමට ඉඩහරිමින් ය. එසේම වඩාත් තොරතුරු ලැබූවිටෙක ඔහුගේ මතය වෙනස්කර ගැනීමට ද ඔහු සූදානම් බවක් පෙන්වීය. ඒ තොරතුරු සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතභාවය නිසාම ය. දින පනහක් පමණක් පැවති එහෙත් කිසිදිනක සෝවියට් සභාව ඇසින් නොදැක, ඒ  සමග ප‍්‍රායෝගික සම්බන්ධතාවයක් නොමැතිව වුවද ලෙනින් එම සෝවියට් සභාව පදනම් කරගෙන ඒ ලිපියෙන්  ඉදිරිපත් කළ මත තවත් අවුරුදු 12 ක් ඈත අනාගතයේදී සිදුවීමට නියමිත රුසියානු විප්ලවයේ දී පංති බලවේගයන්ගේ හැසිරීම, බොල්ෂෙවිකයන්ගේ උපාය මාර්ගය, විප්ලවීය ආණ්ඩුවේ ආකෘතිය ආදිය පිළිබඳ සපයන කටුසටහනක් බඳු ය. ඒ නිසාම තම මතයන් වෙනස් කරගැනීමට ඔහුට ඉතිහාසය අවස්ථාව උදා කළේ නැත.  එළඹි 1917 විප්ලවයන්හිදී පංති අරගලයේ න්‍යෂ්ටීය කාර්යභාරය  ඉටු කළේ නැවත පිහිටුවූ සෝවියට් සභා ය. නිර්ධන පංති රාජ්‍ය ආකෘතිය වුයේ සෝවියට් සභා ය. මෙලෙස සෝවියට් සභාවල නියෝජිත ස්වරූපයත්, විප්ලවීය අරගලයක් සඳහා ඒ තුළ ගැබ්වූ ශක්තියත්, හැකියාවත් සම්බන්ධයෙන් කල් ඇතිව නිවැරදි තක්සේරුවකට එළඹීමට ලෙනින්ට හැකි වූයේ ඔහු සතු තියුණු විප්ලවීය ඉව නිසා ය.
පක්ෂය හා බහුජන ව්‍යාපාරය අතර ද පක්ෂය හා වෙනත් විප්ලවීය පාර්ශවයන් අතර ද පැවතිය යුතු   සම්බන්ධතාවය පිළිබඳ අපෝහකවාදී න්‍යායාත්මක දැක්මක් ලෙනින් එම ලිපිය තුළ සම්පිණ්ඩනයකර ඉදිරිපත් කරයි .    
බොල්ෂෙවිකයන් සෝවියට් සභා ද? පක්ෂය ද? කියා අන්දමන්දව සිටියදී තම ලිපියෙන් ලෙනින් කියා සිටියේ නිසැකවම තීරණය විය යුත්තේ කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව සහ පක්ෂය යන දෙකම ය. එකම ප‍්‍රශ්නය සහ වඩා වැදගත්ම ප‍්‍රශ්නය නම් කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාවේ සහ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ කාර්යභාරයන් වෙන්කර දක්වන්නේ කෙසේ ද, ඒවා ඒකාබද්ධ කරන්නේ කෙසේ ද යන්න ය.
සෝවියට් සභාවේ  ආර්ථික ඉල්ලී්ම් කිසියම් කම්කරු පිරිසකට පමණක් නොව සමස්ත නිර්ධන පංතියටම අදාළ වූ ඒවා ය. එහි දේශපාලන ඉල්ලීම් රුසියාවේ සියළු  ජනයා  රාජාණ්ඩුවේ වියගසින් නිදහස් කරගැනීමට, අයිතීන් අහිමි තත්ත්වයෙන් නිදහස්කර ගැනීමට හා කෲර පොලිස්  පාලනයෙන් නිදහස් කරගැනීමට ඉලක්කකර ගත් ඒවා විය. මේ අර්ථයෙන් සෝවියට් සභාව බහුජනතාවගේ  විප්ලවීය අරගල කේන්ද්‍රස්ථානය විය. කාර්මික හා කාර්යාල සේවකයින්, ගෘහ සේවකයින්,  කෘෂිකාර්මික කම්කරුවන් වැනි සියළු කොටස් අතරින්, වැඩකරන ජනතාව වෙත වඩාත් උසස් ජීවන තත්වයක්  ලබා දීම සඳහා පොදු අරගලයක් ගෙන යාමට  සූදානම්, අවම වශයෙන්  දේශපාලන අවංකභාවයේ මූලික මට්ටමක සිටින සියළු කොටස් අතරින්, ඔවුන්ගේ දෘෂ්ටිමය තත්ත්වයන් නොසලකා, නියෝජිතයින්  තෝරා පත්කර ගැනීමට සෝවියට් සභාව පරිශ‍්‍රම දැරිය යුතු යැයි ලෙනින් වැඩිදුරටත් අදහස් දක්වයි. එසේම අන්ත ප‍්‍රතිගාමී කොටස්වලට පිවිසිය නොහැකි පරිදි සෝවියට් සභාවක දොරටු වසා දැමිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.         
ලෙනින්  සෝවියට් සභාව දෙස බැලුවේ එය  කිසියම් විකල්ප සංවිධාන මාධ්‍යයක් ලෙස සලකා නොව පොදු ජනතාවගේ විශ්වාසය දිනාගත්, ඒ නිසාම පොදු ජනතාව අතර මුල් බැසගත්, විප්ලවීය ශක්තියෙන් හෙබි, විප්ලවීය ආකාරයට ක‍්‍රියා කරන,  විප්ලවීය සංවිධාන හා පක්ෂ සමග ඉතා සමීප සබඳතා ඇති සජීවී නව සමස්ත රුසියානු දේශපාලන මධ්‍යස්ථානයක අඩුව පුරවන්නාවූ සංවිධානයක් ලෙස ය. පළල් දේශපාලන අරගල  මධ්‍යස්ථානයක් ලෙස පැවතීමෙන් බැහැරව සෝවියට් සභා කිසියම් පක්ෂයකට ඇලී සිටීම හෝ සෝවියට් සභා නියෝජිතයින් බොල්ෂෙවික් වැඩපිළිවෙල පිළිගෙන එහි සාමාජිකයන් විය යුතු යැයි හෝ එම බැනරය යටතේ ගමන් කළ යුතු යැයි හෝ සිතීම නුවණට හුරු දෙයක් නොවන බව ද  ලෙනින්ගේ අදහස විය. එය දේශපාලන අරගලය හා දේශපාලන නායකත්වය  එකිනෙකට වෙනස් කරුණු දෙකක්ය යන්න නොසලකා හැරීමකි. බලය සම්බන්ධයෙන් පංතීීන් අතර කෙරෙන අරගලය දේශපාලන අරගලය යි. දැන් පීටර්ස්බර්ග්හි සිදුවන්නේ කම්කරුවන්ගේ හා පීඩිත පංතීන්ගේ දේශපාලන අරගලයකි. පංතියක් හෝ පංති ස්ථරයක් නියෝජනය කරන වැඩපිළිවෙළක් හෝ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එම පංතිය හෝ පංති ස්ථරය ඉදිරියට මෙහෙයවීම දේශපාලන නායකත්වයෙන් අදහස් කෙරෙයි. එය තම අරමුණ සම්බන්ධයෙන් සවිඥානක, සාපේක්ෂව කුඩා පිරිසකගෙන් සමන්විත  සංවිධානය වූ පක්ෂයක කාර්යභාරයයි. දැනටමත් අරගල බිම මත සක‍්‍රීයව පෙනෙන්නට  ඇති සෝවියට් සභාව  බහුවිධ දෘෂ්ටීන්ගේ, නායකත්වයන්ගේ පොදු එකතුවක්ය යන්න කිසිවෙකුටවත් ප‍්‍රතික්ෂේප කළ නොහැකි  යථාර්ථය යි. එසේ වුව ද එය කම්කරුවන්ගේ විප්ලවීය අරගලයේ මධ්‍යස්ථානයක්ය යන්න ද එවැනිම යථාර්ථයකි.  මේ අනුව තමන්ගේ බැනරය යටතේ පමණක් තිබිය යුතුයැයි  සිතා එය පිටු දැකිය නොහැකි ය. සෝවියට් සභාව බොල්ෂෙවික් නායකත්වයේ මගපෙන්වීමට අනුගත කරගැනීම අවශ්‍යයෙන්ම කළ යුතු නමුත් එය කළ යුත්තේ එහි විප්ලවීය ගතිකත්වයට හානි කරන බලවේගයන් ජනතාව හමුවේ හෙළිදරව්වීමට සැලැස්වීම මගින් ය. ඒ සඳහා කරන නොනවතින අරගලයක් මගින් ය. අනෙක් සාධනීය පාර්ශවයන් තම පැත්තට දිනා ගැනීමට ක‍්‍රියා කිරීම මගින් ය.  ඒ අනුව  සෝවියට් සභා බොල්ෂෙවික් දේශපාලනයට  අදාළ කරගන්නා උපාය මාර්ගික කරුණු දෙකක් ඔහු ඉදිරිපත් කරයි.
 1.  සියළුම වෘත්තීය සමිති තුළ පක්ෂ සංවිධාන නියෝජනය කරවීමට හැකි උපරිමයෙන් ක‍්‍රියා කිරීම
 2. ඒකාබද්ධ අරගලය සැබෑ නිර්ධන පංති ලෝක දෘෂ්ටිය වූ මාක්ස්වාදය තහවුරුකිරීම සඳහා යොදාගැනීම
සෑම වෘත්තීය සමිතියක් තුළම පක්ෂ නියෝජනය වැඩිකර ගැනීමෙන් සෝවියට් සභාව නියෝජනය කිරීම සඳහා බොල්ෂෙවිකයන්ට වැඩි අවස්ථාවක් ලැබෙයි. එවිට ඔවුන්ට සෝවියට් සභාවට වැඩි බලපෑමක් එල්ල කළ හැකිවෙයි. එසේ කිරීමෙන් පමණි සෝවියට් සභාව ගෙන යන අරගලය තුළ දී පංතිමය දෘෂ්ටිය  තහවුරු කිරීම මගින් ආර්ථික අරගලයෙන් ඔබ්බට යන්නාවූ දේශපාලන අරගලයේ -නිර්ධන පංති විප්ලවයේ - ජයග‍්‍රහණය සාක්ෂාත් කරගත හැක්කේ. වැඩ වර්ජන හරහා සාමාන්‍ය ආර්ථික ඉල්ලීම් දිනා ගැනීමේ සීමිත අරගලය සමග පංතියේ හා සෙසු පීඩිත ජනතාවගේ  නිදහස දිනා ගැනීමේ පුළුල් අරගලය කරා මෙහෙයවීමේ බොල්ෂෙවික් පක්ෂයේ විප්ලවීය අරමුණ බද්ධකීරීමට එම උපාය මාර්ගය සමත් විය. වැදගත් කරුණ නම් පංතියේ ස්වයං ක‍්‍රියාකාරිත්වය සහ ඊට මග පෙන්වීමේ, නායකත්වය දීමේ විප්ලවීය පක්ෂයක කාර්යභාරය බෙදා වෙන්කිරීම වගේම ඒවා ඒකාබද්ධ කිරීමේ විධික‍්‍රමය එහි අන්තර්ගත වීම ය. පක්ෂ අරමුණු සෝවියට් සභාවන් හරහා පොදු අරගලයන් සමග ඒකාබද්ධ කළේ වැඩබිම් හා කර්මාන්තශාලා පදනම්කර ගත් බොල්ෂෙවික් පක්ෂ ඒකක විසින්් ය.  
පොදු ජන අරගල ව්‍යාපාරය හා විප්ලවීය පක්ෂය අතර ඇති අපෝහකය සම්බන්ධයෙන්  යථාර්ථවාදී අවබෝධය ලබා ගැනීමට නම් සෝවියට් ව්‍යාපාරය ආකෘතිමය කෝණයකින් නොගෙන අධ්‍යායනය කළ යුතු ය. එය පෙබරවාරි විප්ලවයේ අවධියේ බොල්ෂෙවික්වාදය හා බහුවිධ අවස්ථාවාදයන් එකට ගැටෙමින් තිබූ එකම වේදිකාවක් විය. සෝවියට් ව්‍යාපාරය බොල්ෂෙවිකයන් ද සුළු ධනපති අවස්ථාවාදීන් ද අන්ත ප‍්‍රතිගාමී ධනපති දෘෂ්ටිවාදීන් ද එකම මොහොතක එකම ස්ථානයක අභිමුඛ වෙමින් කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන් මත බලපෑම් එල්ල කරමින් විප්ලවය ඔවුනොවුන්ගේ දිශාවන්වෙත ඇදගෙන යාමට දරන  ප‍්‍රයත්නයන්ගේ ගහණ වූවකි. විප්ලවවාදීන්ට හා අවස්ථාවාදීන්ට එකවර ඇහුම්කන්දීමට කම්කරුවන්ට, ගොවීන්ට, සොල්දාදුවනට අවස්ථාව ලැබිණිි. පංති අරගලය විවෘත වේදිකාවේ දිග හැරිණ. ඒ ඒ නළුවන්  ර`ගපාන මොහොතේම ඒවා වෙත ඇ`ගිල්ල දිගුකර ඒවායේ චරිත ස්වභාවයන් නරඹන්නන්ට පැහැදිලි කරදීමට බොල්ෂෙවිකයන්ට හැකියාව ලැබිණි.  සෝවියට් ව්‍යාපාරය තුළ අරක්ගත් ප‍්‍රතිගාමිත්වයට හා අවස්ථාවාදයට අභිමුඛව සිට ඒවා හෙළිදරව්කරමින් පංතිය අවබෝධ ගැන්වීමත් පුහුණු කිරීමත් සිදු වූයේ එලෙස ය. ශාස්ත‍්‍රීය අධ්‍යාපනයෙන් කිසිදාක නොලැබෙන  තර්ක ඥානයක් ජනතාවට ඉන් ලබා ගත හැකි විය. බොල්ෂෙවික්වාදය සමගින් ජනතාව  හැඩ ගැසී  වර්ධනය වූයේ ඒ මගිනි. ඓතිහාසික අරගලයන් මගින් හිමිකරගත් වටිනාකම් ස්වර්ණාභරණයක් සේ එල්ලාගෙන සුපිරි යැයි සිතා විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයක් නිර්මාණයකර ගැනීමෙන් බැහැරව ක‍්‍රියාකරන්නාවූ  ජවිපෙ මෙම භාවිතයෙන් බොහෝ දුරස් බව ඔබට පෙනෙනවා ඇත.
සෝවියට් ව්‍යාපාරය විසින් පිළිබිඹු කරන විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය  වාම පෙරමුණු හෝ වාම සන්ධාන ද නොවේ. ඒවාට විකල්පයක් ද නොවේ. එය පැහැදිලිවම පීඩිත පංතීන්ගේ සජීවී දේශපාලන අරගලයේ සංවිධානමය ව්‍යුහයකි.  ලෙනින්ගේ ලිපි ලේඛන දහස් ගණනක් කියා පාන්නේ  සෝවියට් පොදු ජන අරගල  ව්‍යාපාරය තුළ බොල්ෂෙවිකයන් ගෙන ගිය අරගලයේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක තරම ය. මෙන්ෂෙවික්වරු හා සමාජ විප්ලවවාදීහු ද තාවකාලික ආණ්ඩුවේ ඔවුන්ගේ ඇමතිවරු ද බොල්ෂෙවිකයෝ ද සෝවියට් සභා තුළ, ඒවායේ මධ්‍ය විධායක කමිටු තුළ සහභාගි වූහ. මෙම රැුස්වීම්වලදී මෙන්ෂෙවිකයන්, සමාජ විප්ලවවාදීන්් සහ ඔවුන්ගේ ඇමතිවරුන් ඉදිරිපිට තබා ගෙනම  බොල්ෂෙවික්වරු ඔවුන් දැඩි විවේචනයට ලක් කළහ. එසේම ඔවුහු ද බොල්ෂෙවික්වරුන්ට එලෙසම ප‍්‍රතිචාර දැක්වූහ. සමහර අවස්ථාවල ලෙනින්ගේ කථාවලට කෑකෝගැසීම් මගින් බාධා එල්ලවිය. 1917 ඔක්. 25 නැගීටීම ආරම්භ වූ දින පැවැත්වෙමින් තිබූ සෝවියට් සභා දෙවන  සම්මේලනය විප්ලවයේ පොදු ජන ස්වභාවය මැනවින් විදහා දැක් වූ අවස්ථාවකි. ඒ ගැන ”ලොව හෙල්ලූ දස දවස” හි ජෝන් රීඞ් මෙසේ කියයි.  එතැන (සෝවියට් සභා සම්මේලනය) ජරාවට ඇඳගත් විශාල සෙබළ සමූහයන් ය. අපිරිසිදු විශාල කම්කරු පිරිස් ය. ගොවි ජන සේනාවන් ය. ජීවත්වීම සඳහා ගෙන යන අමානුෂික අරගලයෙන් ඔත්පල වී ගිය දුගී ජන සන්නිපාතයකි. මේ ඔත්පල වී ගිය දුගී ජන සන්නිපාතය විප්ලවය වෙත වාරු කරගෙන ආවේ කවුරුන් විසින් ද? ඒ කුමන මාධ්‍යයක් ඔස්සේ ද? ප‍්‍රධාන වශයෙන් බොල්ෂෙවිකයන් විසින් ය. සෝවියට් නම් රුසියානු නමින්  වූ පොදු ජන අරගල ව්‍යාපාරය නම් මාධ්‍යය හරහා ය.  අරගලය සඳහා තම පාක්ෂිකයන් පමණක් නොව සාමාන්‍යයෙන් දේශපාලනය ගැන කිසිවක් නොදන්නා දුකසේ ජීවත් වන පාක්ෂික නොවන දහස් ගණන් ජනතාව ද පුබුදුවාලමින් ඔවුන් විප්ලවවාදී ලෙස ක‍්‍රියාකිරීමට හැඩගස්සූ විට එය බහුජන අරගල  ව්‍යාපාරයක් බවට පත්වී  එම ව්‍යාපාරය පක්ෂය හා බහු ජනතාව අතර පාලමක් ලෙස ක‍්‍රියා කරන බව ඉන් තහවුරු වෙයි.  පක්ෂය විසින් බහු ජන ව්‍යාපාරය පෝෂණය කරනු ලබන අතරම බහු ජන ව්‍යාපාරය විසින් පක්ෂය පෝෂණය කරනු ලබයි. අසංවිධිත, අවරසික, සාමාන්‍ය පීඩිතයා සංවිධිත, විඥානගත විප්ලවවාදියකු බවට පරිවර්තනය කරනු ලබන්නේ  සැබෑ ලෙසම බිමේ අරගලය මත යැපෙන බහුජන ව්‍යාපරය මගිනි. අනතුරුව එවැන්නන් ප‍්‍රථමයෙන් තරුණ, කාන්තා, ශිෂ්‍ය වැනි පක්ෂය න්‍යෂ්ටිය කරගත් කනිෂ්ඨ සංවිධානවලට ද ඒවායේ ඔවුන්ගේ භාවිතය තවදුරටත් පිරික්සා පක්ෂ සාමාජිකත්වයට ද  ඇතුළත් කරගනී. අන්‍යොන්‍ය බලපෑම් සහිත මේ ක‍්‍රියාවලිය සමගම බහු ජන ව්‍යාපාරය ද ගුණාත්මකභාවයක් අත්කර ගනී. එය තවදුරටත් පැතිරෙමින් ඉදිරියට යන්නේ නම් සැබෑ විප්ලවයක් දක්වා වර්ධනය වෙයි. කාලෝචිත  නිසි සටන් පාඨ ඉදිරිපත් කරමින් බහුජන ව්‍යපාරය මෙහෙයවන විට පමණක් පක්ෂය පෙරමුණු බල ඇණියක තත්ත්වය ගනී. සෝවියට් ව්‍යාපාරයේ හා බොල්ෂෙවික්වාදයේ අපෝහකය මෙයයි. පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන් උගන්වා පුහුණු කළ හැකි වෙනත් මාධ්‍යයක් තවත් තිබිය හැකි ද? ඇත්තවශයෙන්ම විප්ලවවාදීන් පොදු ජනතාව සමග සංයෝජනය වූයේ එලෙස ය. එවිට පමණකි,  පොදු ජනතාව පෙරළා විප්ලවවාදීන් ගේ දේශපාලන නායකත්වයේ නිවැරදි බව, ඔවුන්ගේ ක‍්‍රියාමාර්ගයන්ගේ නිවැරදි බව තම අත්දැකීම් මගින්ම තේරුම් ගනිමින් ජන සන්නිපාතයක් ලෙස ඉතිහාසයට කඩා  වදින්නේ. 
ලෙනින් විප්ලවයේ බහුජන පදනම වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකි.  කුඩා පක්ෂයකට බලය ලබා ගැනීම කළ නොහැකි දෙයක් නොවන නමුත් එම පක්ෂය පීඩිත පංතික බහුතරයක සහයෝගය ලබා ගැනීමෙහි සමත්ව සිටිය යුතුයැයි ලෙනින් අවධාරණය කරයි. විප්ලවීය පක්ෂයකට එවැනි සහයෝගයක් ලබාගත හැක්කේ බහුජන ස්වරූපයේ සංවිධාන ව්‍යුහයක් හරහා පමණි. අපේ වාම දේශපාලන ව්‍යාපාරය නොතකා හැර ඇත්තේ ද එයම ය. මෙවැනි තත්ත්වයක් යටතේ පංති අරගලය බහු ජනතාවගේ අරගලයක් වෙනවා වෙනුවට  පක්ෂයක් භාරගත් කොන්ත‍්‍රාත් එකක් බවට පත් වෙයි. මේ නිසාය අපේ බොහෝ උද්ඝෝෂණ පෙළපාලිවල නිතරම පක්ෂ හෝ සංවිධානවල නායකයන්, ඒවායේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරීන් සහ ළ`ගම අනුගාමිකයන් පිරිසක් පමණක්ම දකින්නට ලැබෙන්නේ. උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක අරමුණු දෙකකි. එකක් නම් ප‍්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් පාලකයන්ට බලපෑම් කිරීම ය. දෙවැන්න නම් අප ඉහත උපුටා දක්වා ඇති ලෙනින්ගේ උදෘතයකට අනුව විප්ලවවාදී දේශපාලන කලාවට අයත් නොදියුණු ස්ථරයන්ට පුහුණුව, අධ්‍යාපනය හා අවබෝධය දී ඔවුන් නව ජීවනයට අද්දවා ගැනීමට කරන පෙළඹවීම ය.
මෙකී මුඛ්‍ය අරමුණු දෙක එයාකාරයෙන් සාක්ෂාත් කරගැනීමට අප සමත්වී ඇති ද? පාලකයන්  මේවාට දැන් හොඳින් පුරුදුවී ඇත. ඒත් සැබෑම ජන අරගලවලදී පාලකයන් වෙව්ලූ අවස්ථා අපි දැක ඇත්තෙමු. විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක අරගලය, සී ප්ලේන් බැස්සීමට එරෙහි මීගමුව ධීවරයන්ගේ අරගලය හා පීඩාවට පත් ගොවීන් මින්නේරිය වාරිමාර්ග  ඉංජිනේරු කාර්යාලය වටලෑම  ඒ සඳහා මෑත උදාහරණයන් ය.  වාමාංශික  පක්ෂ නායකත්වය ඒවායින් බැහැර කෙරිණි. යම් මැදිහත්මක් සිදු වූයේ නම් ඒ පුද්ගලයන් වශයෙනි. එවැනි අරගල යම් ප‍්‍රතිසංස්කරණ හෝ තාවකාලික සහන දිනා ගැනීමෙන් කෙළවර වනවා වුවත් පීඩිතයින් ඉන් ලබන අවබෝධය හා පුහුණුව නොසළකා හැරිය නොහැකි ය. මෙයාකාර ජන අරගල හා විප්ලවීය දේශපාලනය අතර සහසම්බන්ධය ගොඩනැගීම මේ නිසාම වැදගත් කොන්දේසියක් වෙයි.            ඇත්තවශයෙන්ම මෙය ලාංකීය වාම දේශපාලනයේ තීරණාත්මක අර්බූදයකි.  සාමාන්‍ය වශයෙන් සෑම වාම දේශපාලන පක්ෂයක්ම වාගේ තමන්ගේ හංවඩුව නැති පරිබාහිර ජන ක‍්‍රියාකාරිත්වයන් දෙස බලන්නේ වපර ඇසකිනි. සියල්ල තමන්ගේම නායකත්වය යටතේ සිදුවිය යුතුයැයි ඔවුහු සිතති. තමන් වටා එක්වන්නැයි ඉල්ලා සිටිති. නැතිනම් තමන්ගේම ක‍්‍රියාකාරිකයන් යොදවා නාමමාත‍්‍රයෙන් පමණක් පොදු වූ සංවිධානයක් සාදා ඒ වටා එක්වන්නැයි  ආයාචනය කරති. එසේ ගොඩනගන සංවිධාන මොන පැත්ත හරවා බැලූවත් මව් සංවිධානයෙන් වෙනස් වන්නේ නැත. ඇසෙන්නේ එහිම දෝංකාරය යි.   මෙම ගුණාංගයන් වැඩිපුරම පිහිටා ඇත්තේ ජවිපෙ තුළ ය. එය විසින් කලින් කල එසේ ගොඩනැගූ පොදු ජන ව්‍යාපාර එමට ය. පුරුද්දේ බලය නිසාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද පූර්වයෙන් ජන අරගල ව්‍යාපාරය  නමින් පොදුජන ව්‍යාපාරයක් ප‍්‍රකාශයට පත් කරමින් ඒ වටා එක්වන්නැයි ප‍්‍රගතිශීලී ජනතාවට ආයාචනය කළේ ය. එහෙත් ඒ හෝ මේ කිසිවක් සැබෑ පොදු ජන ව්‍යාරයක් වී නැත. එසේ වන්නේ ඇයි?
පොදුජන අරගල  ව්‍යාපාරය හරයෙන් මෙන් ම ආකාරයෙන් ද විවිධත්වය අඩංගූකර ගනී.     ධනවාදයේ පීඩන බරින් දුකට වේදනාවට මෙන් ම කෝපයට පත්  සියළු පීඩිතයන්ගේ   නියෝජිතත්වය ඒ තුළ ප‍්‍රකාශ වෙයි. සමහරවිට පාලක ධනේශ්වරයෙන් එල්ලවන ප‍්‍රහාර හමුවේ කරකියාගත නොහැකි ධනේශ්වර කොටස් පවා ද සෘජුව හෝ වක‍්‍රව එහි සරණ සොයා පැමිණිය හැකි ය. මේ නිසාම එය දෘෂ්ටිමය වශයෙන් ද  අරමුණු අතින් ද විවිධ වේ, සමාජීය වශයෙන් විවිධ වේ. සංවිධානමය වශයෙන් නම්‍ය වේ. විෂය වශයෙන් සංකීර්ණ වේ. ඊට වෙනස් ලෙස විප්ලවීය පක්ෂය ඒකීය දෘෂ්ටිවාදයකින් සන්නද්ධ ය. සාමාජිකත්වය නිශ්චිත ය, මධ්‍යගත සංවිධාන විනයකින් බැඳී සිටී. මේ ආයතන  එකිනෙකට සාපේක්ෂව එකක් බහුත්වයකි, විවිධත්වයේ ඒකත්වයකි. අනෙක ඒකීයත්වයකි. කිසියම්  පක්ෂයකට මේ  අපෝහක සම්බන්ධතාවයට පිටු පා නිර්ධන පංති විප්ලවයක් සාක්ෂාත් කරගත හැකි ද? නොහැකි ය. මතු පිටින්  නොව ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නම්  සෑම නිර්ධන පංති  විප්ලවයකම ජයග‍්‍රහණය හෝ පරාජය තීන්දු කර ඇත්තේ වෙනත් කරුණුවලට අමතරව ප‍්‍රධාන වශයෙන් පක්ෂය බහු ජනතාව අතර දරන ලද තත්ත්වය මත ය. බොල්ෂෙවිකයන් සෝවියට් ව්‍යාපාරය හරහා ද චීනය හා වියට්නාමය දිගු කාලීන යුද්ධය හා බහු ජන ව්‍යාපරය ඒකාබද්ධ කළ මහජන ප‍්‍රතිරෝධක ව්‍යාපාරය හරහා ද කියුබාව ගරිල්ලා ප‍්‍රහාර සමග පෙළ ගැසුන නාගරික මහජන ව්‍යාපාරය හරහා ද බහු ජනතාව අතර ස්වකීය තත්ත්වය තහවුරුකර ගනිමින් ජයග‍්‍රහණය ලැබූහ.

No comments:

Post a Comment