සෝවියට් සභා විප්ලවීය ආණ්ඩුවක කලලයකි
අපේ කාර්යභාරය හා කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව නම් ලිපියෙහි ලෙනින් අවධාරණය කරන තවත් වැදගත් කරුණක් නම් දේශපාලන වශයෙන් සෝවියට් සභා තාවකාලික විප්ලවීය ආණ්ඩුවක කලලය ලෙස සැලකිය යුතුය යන්න ය. මෙම ඉදිරිපත් කිරීමේදී ඔහු මාක්ස්වාදයේ වැදගත් මූලික සංකල්පයක් වන රාජ්‍යය පිළිබඳ න්‍යාය සෝවියට් සභා සමග එක එල්ලේ සම්බන්ධකර ඇත. වැඞී වර්ධනය වීමට නියමිත යම්කිසිවක මූලික ගති ලක්ෂණ සියල්ල අඩංගුකරගත් එහි ප‍්‍රාථමික අවධිය කලලය නමින් හඳුන්වයි. 1905 ප‍්‍රථම සෝවියට් සභාව විප්ලවීය ආණ්ඩුවක මූලික ගති ලක්ෂණ අඩංගුකරගත් කලලයක් වී ද? එක් අතකින් පාර්ලිමේන්තුවකින් පනවන ලද නීති මගින් බැහැරව ජනතාව තමන්ගේ ප‍්‍රදේශවල සිට කෙලින්ම බලය අල්ලා ගැනීම මගින් ද ප‍්‍රතිවිප්ලවීය හමුදාවන්ට එරෙහිව කම්කරුවන්ගේ සන්නද්ධ සේනාංකයන් ගොඩනගා ගැනීම මගින් ද අනෙක් අතට කම්කරුවන් විසින් සෘජුව නියෝජිතයින් තෝරාපත්කර ගැනීම මගින් සහ එය විසින්ම නියෝග පනවමින් හා ක‍්‍රියාත්මක කරමින් ව්‍යවස්ථාදායක හා විධායක බලය එක්තැන් කිරීම මගින් ද සෝවියට් සභාව විප්ලවීය ආණ්ඩුවක මූලික ලක්ෂණ පෙන්නුම් කළේ ය.
එක් පැත්තක පැරණි රුසියාව වෙනුවෙන් සූරාකෑමේ, පීඩනයේ සහ මිනිසාට එරෙහි ප‍්‍රචණ්ඩත්වයේ සියළු දුෂ්ඨ බලවේගයන් නිළ රාජ්‍යය තුළ සංවිධානයවී සිටී. අනෙක් පැත්තේ නිදහස සහ සමාජවාදය වෙනුවෙන් සියළු පීඩිත ජනතාවගේ සහ සාධාරණත්වය අගයන බුද්ධිමතුන්ගේ විප්ලවීය බලවේගයන් නැගී එන සෝවියට් සභා තුළ හිඳිමින් මුහුණට මුහුණලා අරගලයක යෙදී සිටී. එය සාමාන්‍ය වශයෙන් ජනතාව වෘත්තීය සමිති හෝ සමූපකාර සමිති තුළ සංවිධානයවී සිටිනවාට වඩා වැඩි දෙයක් යනුවෙන් ලෙනින් පැහැදිලි කරයි. එහි සියළු ලක්ෂණ වෙතින්, එම ලක්ෂණ තවමත් නොදියුණුව පැවතුණ ද නිර්ධන පංතියේ දේශපාලන ආධිපත්‍යයයේ මුලික ලක්ෂණ ප‍්‍රකාශ කෙරෙයි. එම අර්ථයෙන් සෝවියට් සභා නව විප්ලවීය රාජ්‍ය බලයක කලලයක් වෙයි.
1905 විප්ලවයේ පරාජය ජනතාව දිගු කලකට අධෛර්යට පත් කළේ ය. දැනුවත් විප්ලවවාදීන් ජනතාව මත පැතිරවූ බලපෑම හීන කළේ ය. එදා පොලිස් ප‍්‍රහාරයකට එරෙහිව එකාවන්ව නැගී සිට වැඩවර්ජනයේ යෙදුන කම්කරුවෝ දැන් ආණ්ඩුවේ කෲර අපරාධයන්ට වුව ද කිසිදු විරෝධයක් නොපා ඉවසා සිටිති. එහෙත් 1914 දී හටගත් යුද්ධය හා එහි රුසියානු පංගුකාරිත්වයත් විසින් කම්කරු පංතිය සහ සෙසු පීඩිත පංතීන් මත ඇතිකරන ලද පීඩනය ඔවුන් නින්දෙන් අවදි කළේ ය. පීතෘ භූමිය ආරක්ෂා කිරීමේ ආණ්ඩුවේ මෝහනීය ප‍්‍රකාශ නිශ්ප‍්‍රභා කෙරිණි. නව දේශපාලන හැරීමක්, වඩා ඉහළ තලයකින් ඇරඹිණ. කම්කරු වැඩවර්ජන නැගිටීම් බවට පත්විය. ගොවීහු ද සොල්දාදුවෝ ද කම්කරුවන් අනුගමනය කළහ. ප‍්‍රතිඵලය නම් 1917 පෙබරවාරි 27 සාර් බලයෙන් නෙරපා දැමීම ය. එදිනම වෘත්තීය සමිති, සමූපකාර සමිති සහ පක්ෂ නායකයෝ රැුස්ව 1905 ආදර්ශයට ගනිමින් සෝවියට් සභාවක් කැඳවූහ. අපේ‍්‍රල් වනවිට නගර, ගම් කරා පැතිරෙමින් සෝවියට් සභා වඩාත් පැතිරුණු හා සංකීර්ණ මෙන්ම වඩාත් විප්ලවීය මහජන ව්‍යාපාරයක් බවට පත්විය. සෝවියට් ව්‍යාපාරයේ ප‍්‍රධාන අවිය වුනේ වැඩ වර්ජනය යි. නිර්ධන පංතියේ සියළුම කණ්ඩායම් සමග සෘජු සම්බන්ධාතාවයන් තබා ගනිමින් එය මුළු වැඩකරන ජනතාවගේ බලය හා අධිකාරිත්වය ප‍්‍රකාශ කළේය. නිෂ්පාදන මාර්ගයන්ගේ අයිතිය ධනපතින් සතුව තිබුණත්, රාජ්‍ය නිළ බලය නිළධාරි තන්ත‍්‍රය අත තිබුණත් රටේ එදිනෙදා ආර්ථික ක‍්‍රියාකාරිත්වය හා රාජ්‍ය පාලනය අක‍්‍රීය කිරීමෙහි ශක්තිය එය සතු විය. ජනතා බලය සැබවින්ම සෝවියට් සභා මත රදීපැවතියෙන් නිළ තාවකාලික ආණ්ඩුව නාමික එකක් විය. කම්කරුවෝ, සොල්දාදුවෝ තාවකාලික ආණ්ඩුවේ නියෝග නොතකා හැර සෝවියට් සභා නියෝග ක‍්‍රියාත්මක කළහ. සෝවියට් ව්‍යාපාරය අත්කර ගනිමින් තිබූ මේ බලය එහි නායකත්වයේ සිටි සුළු ධනපති සමාජ විප්ලවවාදීන් හා මෙන්ෂෙවිකයන් (1917 ජුනි 3 දින පැවැත්වූ කම්කරු හා සොල්දාදු නියෝජිතයින්ගේ සෝවියට් සභා ප‍්‍රථම සමුළුවට සෝවියට් සභා 400 ක 1090 ක් නියෝජිතයින් සහභාගි වී ඇත. ඉන් 285 ක් සමාජ විප්ලවවාදීන් ද 248 ක් මෙන්ෂෙවිකයන් ද නියෝජනයකර ඇත. බොල්ෂෙවිකයන් නියෝජනයකර ඇත්තේ 105 ක් පමණි.* යොදාගත්තේ ධනපති සභාග ආණ්ඩුවකට ඇතුල්වීමට ය, ඒ සමග කේවල් කිරීමට ය.
කවර ආකාරයක හෝ ස්ථාවර පාලනයක් වීමට නම් ආර්ථික හා දේශපාලන වශයෙන් සමස්ත සමාජය මත තනි ආධිපත්‍යය පැතිරවීම අත්‍යාවශ්‍ය වුව ද දැන් එම කොන්දේසිය බිඳවැටී ධනපති ආණ්ඩුව වන තාවකාලික ආණ්ඩුව සමග එක පෙළට සිටින සේ තවත් ආණ්ඩුවක් නිර්මාණය වී තිබේ. ( ලෙනින් - ද්විත්ව බලය) ආණ්ඩුව පෙරළා දැමිය යුතු වුව ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පංති විඥානය හා සංවිධානය ප‍්‍රමාණවත් නොවීම නිසා සෝවියට් සභාවල ආධාරය මත එය තවමත් රැුඳී පවතී. ද්විත්ව බලය තරමක දිගු කාලයක් පුරා ඇදී යන්නේ මේ හේතුව නිසා ය. සෝවියට් සභාවල විප්ලවීය හරය සලකා ඉදිරිපත් කළ සියලූ බලය සෝවියට් සභාවලට යන බොල්ෂෙවික් සටන් පාඨය ප‍්‍රතිපත්තිමය වශයෙන් නිවැරදිය. එහෙත් එහි නියම අරුත ප‍්‍රකාශ වන්නේ සුළු ධනපතිවාදී නායකත්වයෙන් තොර සෝවියට් සභා සම්බන්ධයෙන් බවට ලෙනින් කරුණු දක්වයි. මිනිස් වර්ගයා විසින් මෙතෙක් පරිණාමයකොට ගෙන ඇති උසස්තම ආණ්ඩු ආකෘතිය - සෝවියට් සභා - මෙසේ විකෘතියක් වී ඇතිවිට ධනපති පංතිය සමග බෙදාගත් බලයක් සඳහා නොව නොබෙ¥ තනි බලයක් නිර්ධන පංතිය වෙත දිනා ගැනීම කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියා මගින් නොව, ‘අතිධාවනකාරී ක‍්‍රියා මගින් නොව, නිර්ධන පංතියේ සිත් සතන් පිරිසිදු කිරීමෙන්, ඔවුන් ධනපති බලපෑමෙන් නිදහස් කරගැනීම මගින් කළ යුතු කාර්යයක් බව ලෙනින් අවධාරණය කරයි. සැබෑ අත්දැකීම් ලැබීමෙන් හා ඒ සමග බොල්ෂෙවිකයන් ගෙනගිය ඉවසිලිමත්ව කරුණූ පෙන්වාදීම මගින් නිර්ධන පංතිය බොල්ෂෙවිකයන් වටා එක්වූහ. ඒ අනුව 1917 නොවැම්බර් මස පවත්වන දෙවන සමුළුවේ සංයුතිය වෙනස් විය. සෝවියට් සභා 318 ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගි වූ නියෝජිතයින් 649 න් 390 ක්ම බොල්ෂෙවිකයෝ වූහ. සමාජ විප්ලවවාදීන් 160 කි. මෙන්ෂෙවිකයින් 72 කි. ද්විත්ව බලය අහෝසිවී විප්ලවය ජයග‍්‍රණය කළේය. මෙසේ සෝවියට් සභා දැඩි ලෙස අවස්ථාවාදයට යටත්ව තිබූ වකවානුවලදී පවා නිර්ධන පංති විප්ලවයේ මූලික කොන්දේසි වෙතින් බැහැරවීමට හෝ සෝවියට් සභා ව්‍යාපාරයෙන් ඉවත්වීමට හෝ ලෙනින් පෙළඹී නැත. ස්වයං ආරම්භකත්වයෙන් පැන නැගි කම්කරු පංතික අරගල ම්‍යස්ථානයක් කම්කරුවන්්, ගොවීන්, සොල්දාදුවන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන් ඇතුළු සියලූ පීඞීත කොටස් වැළඳගත් දැනුවත්, සංවිධිත පොදු අරගල ව්‍යාපාරයක් බවටත් එතැනින් එය නිර්ධන පංතික රාජ්‍ය බලයක් බවටත් පත්වීමේ ඉතිහාසය යනු බොල්ෂෙවික් ව්‍යාපාරය හා සෝවියට් සභා ව්‍යාපාරයේ අනොන්‍ය සම්බන්ධතාවයේ ඉතිහාසයයි.
එහෙත් අපේ මෑත වාම ව්‍යාපාරයේ ඉතිහාසය කියාපාන්නේ කුමක් ද? ඒ ඓතිහාසික ව්‍යාපාරය එහි වර්ධනයේ නිසි සම්බන්ධතාවයන් තුළ ගෙන පිරික්සා බලා ඇති ද? පසු කාලයක හෝ එය ගැඹුරින් අධ්‍යයනය කර ඇති ද? එසේ නොකිරීමෙන් අප ගමන්කර ඇත්තේ ප‍්‍රථමකොට නිර්ධන පංතික සිත්සතන් පිරිසිදු කිරීම, නිර්ධන පංතිකයන් ධනපති පංතික බලපෑමෙන් නිදහස්කර ගැනීම නම් යෝධ මහජන ව්‍යාපාරය ගොඩනැගීම වෙත නොවන බව ය. ලෙනින් එහි හරය ග‍්‍රහණය කරගෙන විප්ලවයේ ජයග‍්‍රහණය කරා එය යොමු කර ඇත. අපි එය නැගීසිටීමේ ආකාරයක් ලෙස, එය ද උඩින්පල්ලෙන් සලකා බැහැරකර අතිධාවනකාරී අරගල කරා ගමන් කර පරාජයන් අත්විඳ ඇත්තෙමු. ඇත්තවශයෙන්ම රුසියානු විප්ලවයේ උච්ඡුතම අවස්ථාව වූ නැගීසිටීමේ මූලික මෙහෙයුම් කටයුතු දියත් කළේ ද සමස්ත සෝවියට් සභාවන් විසින් නොවේ. එය කළේ නොවැම්බර් වනවිට බොල්ෂෙවිකයන් ගේ නායකත්වය යටතට පත්ව තිබූ පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියට් සභාව විසින් ය. ඒ නිසාම අනෙක් පාර්ශවයන් නැගිටීම බොල්ෂෙවික් කුමන්ත‍්‍රණයක් ලෙස හංවඩුගසා එය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළහ. නමුත් බොල්ෂෙවිකයන් බලය අල්ලානිමින් සෝවියට් සභා විප්ලවයේ බල කේන්ද්‍රස්ථානයෙහි පිහිටවූහ.
සෝවියට් සභා නිර්ධන පංති රාජ්‍ය බලයේ ආකෘතියක් ලෙස
විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු ව්‍යවස්ථාපිත ජනතා පාලනයක් බවට පත්වෙමින් එම කලලය එහි නිසි පරිනත අවධියට ළ`ගා විය. 1919 අගෝස්තු 24 ලෙනින්, ඒ ගැන මෙසේ කියයි.
ව්‍යවහාරයේදී ‘කම්කරු පංතියේ ආඥාදායකත්වය’ යනුවෙන් අදහස් වන්නේ ප‍්‍රාග්ධනය දෙසට නැඹුරුවීමක් නොව, එයට විරුද්ධව සටන්කිරීම සඳහා වූ වැඩකරන ජනතාවගේ සන්ධානයකි, කම්කරුවන්ගේ හා ගොවියන්ගේ රාජ්‍ය බලයකි, සෝවියට් රාජ්‍ය බලයකි. ( තෝ. කෘ 10, 97පිට)
ලෙනින් සෝවියට් සභා රුසියාවට පමණක් අදාළ කරගැනීමෙන් නොනැවතී ලෝකයේ ඕනෑම තැනක තිබිය හැකි, කම්කරු පංතියේ හා එහි නායකත්වය දරන නිර්ධන පංතියේ ආධාරය ලබන එකම පාලන ආකෘතිය විය හැක්කේ සෝවියට් පාලනයයි, නිර්ධන පංති ආඥාදායකත්වයයි, යනුවෙන් හංගේරියානු සෝවියට් ආණ්ඩුවට සුභ පතිමින් අවධාරණය කරයි. (තෝ. කෘති 9, 202 පිට) 1920 දී යුනිවර්ෂල් සර්විස් ප‍්‍රවෘත්ති සේවයේ බර්ලින් වාර්තාකරු කාල් වීගන්ද් ලෙනින් වෙත යොමු කරන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ සමස්ත ලෝකයේම අනාගතය සෝවියට් ක‍්‍රමයට අයත් වන බව ය. (තෝ. කෘති 10 , 94 පි.) මෙලෙස ලෙනින් සෝවියට් පාලන ක‍්‍රමය ලෝකයට තිබිය හැකි එකම නිර්ධන පංති රාජ්‍ය ආකෘතිය ලෙස අවධාරණය කිරීමේදී යාන්ත‍්‍රිකවාදී මනෝරාජික ආස්ථානයකට ඇද වැටී ඇද්ද? නැත. ලෙනින් සියල්ල වාස්තවික සම්බන්ධතාවයන් තුළ තබා බැලූවෙකි. ඒ අනුව දේශපාලනය සකසා ගත්තෙකි. ඔහු සෝවියට් සභා හඳුනා ගන්නේ රාජ්‍යය පිළිබඳ, නිර්ධන පංති ආඥාදායකත්වය පිළිබඳ මාක්ස්, එංගල්ස් ඉදිරිපත් කරන න්‍යායාත්මක මෙන්ම ජගත් විප්ලවීය කම්කරු ව්‍යාපාරය තුළින් ඔවුන් ලැබූ අත්දැකීම් මගින් වැඩිදුරටත් පෝෂණය කර ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් කරන ගැඹුරු හැදෑරීම මත පිහිටාය.
මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් ප‍්‍රකාශනය මගින් පංති අරගලයේ වර්ධනය නියත වශයෙන්ම යොමුව ඇත්තේ නිර්ධන පංතියේ ආධිපත්‍යය ගොඩනැගීම කරා බව පෙන්වා දෙයි. සකල විධ ප‍්‍රාග්ධනය ධනපති පංතියෙන් උදුරා ගැනීමත් පාලක පංතිය ලෙස සංවිධානය වූ නිර්ධන පංතිය අත සියලූ නිෂ්පාදන මාර්ග මධ්‍යගත කිරීමත් අධික වේගයෙන් නිෂ්පාදන බලවේගයන්ගේ සමස්තය වැඩිකරලීමත් සඳහා එම ආධිපත්‍යය ක‍්‍රියාකරනු ඇත යනුවෙන් එම ආධිපත්‍යයයේ විෂයපථය සම්පිණ්ඩනාත්මකව එහි දක්වයි. එහෙත් පොදු වැඩපිළිවෙලක් වූ කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙහි නිර්ධන පංති ආධිපත්‍යයේ ආකෘතිමය ස්වරූපය (ආණ්ඩු ආකාරය) මෙසේ යැයි පෙන්වීමට තරම් ඔවුන් මනෝරාජික වී නැත. ඔවුන්ගේ ඇස් පනාපිට 1871 දී පැරිසියේ කම්කරුවන් ධනපති ආණ්ඩුව පෙරළා දමා ප‍්‍රථම නිර්ධන පංති රාජ්‍යය - පැරිස් කොමියුනය -පිහිටූවූ විට එය ළ`ගින් සිට නිරන්තරව අධ්‍යයනය කරමින් එහි පියවරක් පියවරක් පාසා විග‍්‍රහ කරමින් මාක්ස් ජාත්‍යන්තර කම්කරු සංගමයේ මහා මණ්ඩලය වෙත වාර්තා කර ඇත. ඒ වෙනුවෙන් ප‍්‍රකාශ නිකුත්කර ඇත. පැරිස් කොමියුනයේ පරාජයෙන් ස්වල්ප දිනකට පසු ප‍්‍රංශයේ සිවිල් යුද්ධය නමින් එම ලියවිලි කෘතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. පැරිස් කොමියුනයට ඇ`ගිල්ල දිගුකරමින් මාක්ස් එහි මෙසේ සටහන් කරයි.
‘එය ඉඳුරාම කම්කරු පංතියේ ආණුඩුවක්, දේපළ අත්පත්කර ගන්නා පංතියට එරෙහි දේපළ නිපදවන්නාගේ අරගලයේ නිපැයුමක්, ශ‍්‍රමයේ ආර්ථික විමුක්තිය උදාකර ගැනීමට අවසානයේ සොයාගත් දේශපාලන ආකෘතියක් විය.’
ප‍්‍රථම නිර්ධන පංති රාජ්‍යය දින 72 ට පමණක් සීමාවූව ද එය - කොමියුනය - කම්කරු පංතික ආණ්ඩුවක ආකෘතියක් ඉතිහාසයට හිමිකර දී ඇත. මාක්ස් සහ එංගල්ස් පැරිස් කොමියුනයේ අත්දැකීම් මත පිහිටා නිර්ධන පංති රාජ්‍යය පිළිබඳ සංකල්පය වඩාත් පෝෂණය කළ අතර ලෙනින් තමන්ගේම දේශපාලන ව්‍යවහාරය තුළින් එම සංකල්පය වඩාත් පැහැදිලි ලෙස විග‍්‍රහ කළේය. (කොමියුනය යනු දේපොළ පිළිබඳ සාමූහික අයිතිය හා පරිභෝජනය මත පදනම් වූ ජන සමූහයක් හැඳින්වීමට මධ්‍යකාලීන යුගයේ දී යුරෝපයේ භාවිත වචනයකි. පසු කාලයේ එම රටවල කූඩා පරිපාලන දිස්ත‍්‍රික්ක හැඳින්වීමට ද එම නම භාවිත කර ඇත.) 1871 පැරිස් කොමියුනය ගොඩනැගීමට නායකත්වය දුන්නවුන්ගෙන් බොහෝ දෙනෙක් ජාත්‍යන්තර කම්කරු සංගමයට සම්බන්ධව සිටි කොමියුනිස්ට්වාදීහු ද සමාජවාදී ද වූහ. පැරිස්වරුන්ට අමතරව පිටුවහළට ලක්ව සිටි රුසියන්, පෝලන්ත, ජර්මන් වැනි වෙනත් ජාතීහු ද ඊට සහභාගි වූහ. ජර්මනිය විසින් වටකර පහරදෙමින් තිබියදීත් කොමියුනය ජර්මන් ජාතික කම්කරුවෙකු කම්කරු ඇමති වශයෙන් පත්කර ගනිමින් සිය ජාත්‍යන්තරවාදී ස්වරූපය පිළිබිඹු කළේය. වචනයේ එහි මුලික අර්ථයෙන් කොමියුනය දේපොළ පිළිබඳ සාමූහික අයිතිය හා පරිපාලනය ස්ථාපිත කරමින් තිබිණ. එහි මූලික ලක්ෂණ මෙසේය,
කොමියුනය ඡුන්දයෙන් තෝරාගත් එහෙත් කෙටිකාලයක් තුළ අවශ්‍ය නම් ආපසු කැඳවිය හැකි නියෝජිතයන්ගෙන් සමන්විත විය. ඔවුන්ගෙන් බහුතරයක් කම්කරුවෝ හෝ කම්කරු පංතියේ පිළිගත් නියෝජතයෝ වූහ.
කොමියුනය පාර්ලිමේන්තුවකට වඩා වෙනස් ලෙස එකවර ව්‍යවස්ථාදායකයක් හා විධායකයක් ද විය.
ස්ථාවර හමුදා අහෝසි කිරීම හා ඊට සන්නද්ධ මහ ජනතාව ආදේශ කිරීම
පොලීසිය හා පරිපාලනයේ සියළු නිළධාරීන් කොමියුනයට වගකිවයුතු, ඕනෑම මොහොතක ආපසු කැඳවිය හැකිවීම
කොමියුන නියෝජිතයන් ද ඇතුළු සියලූ මහජන පරිපාලන සේවකයන් සාමාන්‍ය කම්කරුවෙකුගේ වැටුපක පිහිටුවීම
සියළු මහජන සේවාවන් කොමියුනය යටතට ගැනීම
සියළු අධ්‍යාපන ආයතතන මහජනතාවට විවෘතකිරීම සහ අධ්‍යාපනයට පල්ලියේ මැදිහත්වීම අහෝසි කිරීම
අධිකරණය ස්වාධීන කිරීම සහ විනිසුරුවරුන් ඡුන්දයෙන් තෝරාපත් කිරීම
සෑම දිස්ත‍්‍රික්කයකම මහ ජනතාවගේ පොදු කටයුතු ඔවුන්ගේම සභාවලට පැවරීම හා ඒවායේ නියෝජිතයින් පැරිසියේ ප‍්‍රධාන නියෝජිත සභාවට සහභාගිවීම
පුද්ගලික නිෂ්පාදන මාධ්‍යයන්, ඉඩම්, සහ ප‍්‍රාග්ධනය නිදහස් පොදු දේපොළ බවට පරිවර්තනය කිරීමට අරමුණුකර ගෙන සිටීම
මෙකී ලක්ෂණ අනුව කොමියුනය එය පැවති සුළු කාලය තුළ වුව ද නිර්ධන පංති රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය මූලික පියවරයන් ප‍්‍රාථමික මට්ටමෙන් හෝ ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර හෝ ආරම්භ කිරීමට අරමුණුකරගෙන හෝ සිටිමින් කොමියුනිස්ට්වාදය යථාර්ථයක්ය යන්න ලෝකය හමුවේ ඔප්පුකොට පෙන්වීය. ඒ සමගම කොමියුනය පළමුවරට නිර්ධන පංති රාජ්‍ය ආකෘතියක ආදර්ශය සපයමින් ලෝක විප්ලවීය ව්‍යාපාරයට භෞතික බලවේගයක් වීමට අවශ්‍ය ශක්තිය සපයා දුනි. බොල්ෂෙවික් ව්‍යාපාරය එම ශක්තිය හරියාකාරව උකහාගනිමින් ඉන් වසර 46 ට පසු මේ මිහිපිට හයෙන් එකක් වසා ගත් දෙවන කොමියුන රාජ්‍යය රුසියානු ජාතික අනන්‍යතාවයකින් සමාජවාදී සෝවියට් රාජ්‍යය ගොඩ නැගීය.
සමාජවාදය කරා ප‍්‍රවේශවීමේ දී අත්‍යවශ්‍ය, නිෂ්පාදන බලවේගයන්ගේ භෞතික වර්ධනය ධනවාදය විසින් එහි ගැබ තුළම පෝෂණය කරයි. එනම් සමාජවාදී කලලය දරයි. එසේම එය මෙහෙයවීමෙහි, හැසිරවීමෙහි, ඒ කෙරෙහි අධිකාරිත්වය දැරීමෙහි සුදුසු බල ව්‍යුහයන්ගේ, ආකෘතීන්ගේ කලලයන් බිහිකර ගැනීමට ධනවාදය නිර්ධන පංතියට අභ්‍යාසය ලබා දෙයි. කොමියුනය එවැනි අභ්‍යාසයකින් නිර්ධන පංතිය ගොඩනගා ගත් නිර්ධන පංති රාජ්‍ය බලයේ ඓතිහාසික ආකෘතියකි. එදා 1905 දී පීටර්ස්බර්ගයේ කම්කරුවන් ගොඩ නගාගත්් අරගල මධ්‍යස්ථානය-සෝවියට් සභාව තුළ වූ ‘පැරිස් කොමියුනය ’ හඳුනා ගැනීමට ලෙනින් සමත් විය. සෝවියට් සභා 1917 දී පාලක පංතිය බවට පත් නිර්ධන පංතියේ රාජ්‍ය අකෘතිය බවට පත්වීමත් ඒ පිළිබඳ ලෙනින්ගේ පැහැදිළි කිරීම් ද යන සියල්ලත් මගින් පෙන්නුම් කරන වැදගත් කරුණ එයයි.
No comments:
Post a Comment