මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Friday, August 2, 2013

පෙසප නටන්න . එහෙත් පය පැටලෙන්න දෙන්න එපා


ජුලි දාහතර වෙනිදා චමීර කොස්වත්ත සහෝදරයා ජනරළට ලියා තිබූ පෙරටුගාමී පක්ෂයට මොකද වෙන්නේ ලිපිය කියවීමු. එදා ජවිපෙන් ඔවුන් කැඞී වෙන්වුණ වෙලාවෙ ජවිපෙහි අති විප්ලවවාදයෙන්, ජාතිවාදයෙන්, සභාග දේශපාලනයෙන් මිදුන නව විප්ලවීය ව්‍යාපාරයක් ගැන බලාපොරොත්තු ඇතිවීමෙන් අප ලැබුවේ නොවක් සතුටකි. මේ වනවිට පෙසපක්ෂය තුළ මතුවී ඇති අර්බූද ගැන දේශපාලන ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව ඇති නිසාම  එහි  දේශපාලන මණ්ඩල සභිකයෙක්  බොල්ෂෙවික්වාදය අනුව යමින් පක්ෂ අභ්‍යන්තර දෘෂ්ටිවාදීමය හා ප‍්‍රතිපත්තිමය ගැටළු ප‍්‍රසිද්ධ තලයක සාකච්ඡාකරමින් නව විප්ලවීය සංස්කෘතියක් හඳුන්වා දෙන්නට යන බවක් පෙන්නුම් කළ ලිපියේ මාතෘකාව දුටු මොහොතේ ද ඇතිවුනේ එවන් සතුටකි. ඒ නිසා ම න්‍යායාත්මකවත් ගැඹුරිනුත් කරුණු සාකච්ඡා කිරීමට ඉන් අඩුම තරමේ  ප‍්‍රවේශයකවත් ගෙන ඇතැයි  සිතා  ලිපිය  වැඩි අවධානයෙන් කියවීමු. මැතිවරණ පරාජයන්ගෙන් පසුව ඊට බලපෑ නියම සත්‍ය කරුණු ගැන විශ්ලේෂණයකට නොයා  තම හිතවතුන්ගේ මොරාල් එක රැුක ගන්න ඔරුව පෙරලූන අත හොඳයි කියන්න ආටෝපවත් වචන ගොන්නක්  පෙළ ගැස්වීමට පුරුදුව සිටි ජවිපෙ පරිද්දෙන්ම  සුපුරුදු ඒ වාගාඩම්බරය හැර පෙසපයට මොකද වෙන්නෙ කියා හඳුනාගැනීමට තරම් කිසිදු කරුණක් හෝ ඒ සඳහා ප‍්‍රවේශයක්වත් චමීර කොස්වත්ත සහෝදරයාගේ ලිපියෙහි දක්නටන තිබුණේ නැත. ඒත් ලිපිය අවසානයේ ‘පක්ෂයක දුර්වලකම දක්වන බලවත්ම සාක්ෂිය එහි ලිහී විසිරුණු ස්වභාවය හා පැහැදිලි සීමා සටහන් දුර්වර්ණ වීමයි ’කියන ලෙනින්ගේ උදෘතයක් ගෙනහැර දැක්වීමෙන් අර්බූදයේ හරය ගැන ඇ`ගවුමක් ලබාගත හැකි ය. එවැනි උදෘතයක් හෝ යෙදීමට  පෙළඹීමෙන්  පුරුද්දේ බලයට වඩා චමීර සහෝදරයාගේ  විප්ලවීය හෘදය සාක්ෂිය පෙරට පැමිණීම ගැන අපි සතුටුවෙමු. 

  
මී ළ`ගට ජුලි 28 ජනරළහි චමීර කොස්වත්ත සහෝදරයාගේ ලිපියට නිසල් ජයතිලක දක්වා තිබූ ප‍්‍රතිචාරයත්  කියවීමු. නිසල් ජයතිලකගේ (සමහර කරුණු සම්බන්ධයෙන් හැර)සමස්තය සමග අපි එක`ගවෙමු. ඒ  ඉහතකී  පදනම යටතේ ය.
සහෝදරය, ජවිපෙ අකෘතිය තුළ පිහිටා ප‍්‍රශ්න විග‍්‍රහ කරගන්න යන්නේ නම් කිසි දිනක අපට නිවැරදි පිළිතුරක් සොයා ගැනීමට හැකිවන්නේ නැත. සිදුවන්නේ තව තවත් ආගාධය කරාම ලංවීම ය. වමට අත හැරුණු සංවාදයක් සඳහා සූදානම් වෙමින් සිටිමු  යනුවෙන් ඔබ කියනවිට ඉන් ගම්‍ය කෙරෙන්නේ ඔබට එහි සෘජු  අදාලත්වයක් නැති බවක් නොවේ ද? ඇත්තටම එය එසේ ද? මේ ජවිපෙ ක‍්‍රමයෙහිම වෙනත් ආකාරයක් නොවන්නේ ද? විජේවීරයන් 71අරගලයේ වගකීම න්‍යායික වශයෙන්  අර්ධ මා ඕවාදයට හා අර්ධ ස්ටාලින්වාදයට පැවරූ අතර ප‍්‍රයෝගික වශයෙන් ලොකු අතුල කණ්ඩායමට පවරා එම අරගලයට හා එය මෙහෙයවූ ව්‍යාපාරයට පදනම්වූ මුලික දෘෂ්ටිවාදය හා භාවිතය සාකච්ඡා කිරීමෙන් වැළැකින. ඉන් ඇති කරන ලද අභාවවාචක ප‍්‍රතිඵල අපි අත්දැක ඇත්තෙමු, අදත් අත්දකිමින් සිටිමු. එය ඔබ අතින් නොසිදුවිය යුතුය යන්න අපේ හෘදයාංගම අපේක්ෂාවයි. මේ අරමුණ ඇතිව අපි ඔබ ජවිපෙන් ඛණ්ඩනය වූ විගස එසේ  ඛණ්ඩනයවීම අගයමින් ද ඒ අතර  ඔබගේ මූලික ස්ථාවරයන්ට අභියෝගකරමින් ද ජන අරගල ව්‍යාපාරයට අභියෝගයක් වන ජවිපෙ උරුමය (2012 අපේ‍්‍රල් ) සහ 1978-2012  ජවිපෙ ස්වයංවිවේචනය ගැන අපේ කියවීමක් (2012 ඔක්තෝබර්) නමින් කෘතීන් දෙකක් ප‍්‍රකාශයට පත් කළෙමු. ඔබ ජවිපෙන් කැඞී වෙන්වන්නේ එහි සභාගවාදී හා පටු ජාතිකවාදී දේශපාලනයේ  අභාවවාචක අත්දැකීම්වල තෙරපීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මිස ජවිපෙහි සමස්ත දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය ප‍්‍රවේශය ගැන ගැඹුරු විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් නොවන බව අපි එදා කියා සිටියෙමු.  ලංකාවේ සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩනැගීමට නම් එකී සමස්ත වැරදි විනිවිද දැක ඊට එරෙහිව අධිෂ්ඨාන සහගත අරගලයක් කිරීම සැබෑ ව්‍යාපාරයක් ගොඩ නැගීමේ ප‍්‍රථම පියවර වියයුතු බවත්  එසේ නොමැති නම් ඔබගේ ප‍්‍රයත්නය ශෝචනීය ලෙස ගබ්සාවීමට ඉඩ ඇති බවත් අපි අවධාරණය කළෙමු. අපි අදත් නොපැකිළිව එම ස්ථාවරය දරන්නෙමු. (එසේ නොවීමට අපි අපේ පූර්ණ සහෝදරාත්මක සහාය කොන්දේසි විරහිතව අදත් පළ කරමු )විප්ලවීය ව්‍යාපාරය ගොඩ නැගීමේ ඔබේ අවංක උවමනාවත් ඒ සඳහා අවශ්‍ය ධෛර්යයත් පිළිබඳව අපි සැක නොකරමු. එහෙත් වැරදි පිළිගැනීමට පැකිලීමේ  හා එම වැරදි අනෙකා පිට පැවරීමට උත්සාහ දැරීමේ අවිඥානික පිළිවෙත ඔබ ජවිපෙන් ලද නිශේධනීය උරුමයක් සේ සළකා බැහැර කිරීමට ඔබ උවමනාවටත් වඩා පමා වී ඇතැයි අපි සිතමු.      
ජවිපෙන් වෙන්වී  ගෙවී ගිය කාලය තුල පෙසපයේ දේශපාලනය ලිහී විසිරී දුර්වර්ණවෙමින් ගියේ නම්  ඊට හේතුන් සෙවිය යුත්තේ වමට අත හැරුණු යමක් තුළ නොව තමන්ගේම සීමා මායිම් පැහැදිලි ලෙස සටහන් කරගැනීමට අපොහොසත්වීම තුළ ය. අනෙක් අතට වමට අත හැරුණ ඒ දේට උරදෙන්න ඔබ සූදානම් වෙනවායයි කීමෙන් ප‍්‍රකාශ වෙන්නේ ‘මහා ඓතිහාසික කාර්යභාරයක්’ තුළ ඔබේ අපොහොසත්කම සැ`ගවීමට තැත් දැරීමකි. මෙය ඔබ දැනුවත්ව කරන්නක් යයි කීමට අපි ඉදිරිපත් නොවෙමු. එහෙත් එය නිර්ධන පංති දේශපාලනයේ අංගයක් නොවන බව පමණක් පෙන්වා දෙමු.          
කෙසේ හෝ  ඔබේ දැනූමේ හා අත්දැකීම්වල ප‍්‍රමාණය විසින් පමණක් නොව හදිසි සහ අත්‍යාවශ්‍ය යැයි ඔබ ම සිතූ කරුණු කාරණා ඔස්සේ හඹායාම නිසා ද ලිහී විසිරුණු ස්වභාවය සහ පැහැදිලි සීමා සටහන් දුර්වර්ණවීම යන  පක්ෂයක දුර්වලකම දක්වන බලවත්ම සාකෂිය ගැඹුරින් විමසීමට  පියවර ගැනීම ඔබට මගහැරී ගිය බව අපේ වැටහීමයි.  මීට හොඳම උදාහරණය නම් ඔබ පක්ෂය විසින් පලකළ  1978 - 2012 ජවිපෙ ස්වයංවිවේචනය  කෘතියයි. එය පක්ෂයේ සීමා මායිම් පැහැදිලි කර ගැනීමට යෙදවිය යුතුව තිබුණ ඔබේ  බුද්ධිමය ශ‍්‍රමය හා කාලය පැවති යතාර්ථය විහින් ඉල්ලා නොසිටි එහෙත් ඔබගේ යම් අධිතක්සේරුවක් විසින්  පොළඹවනු ලැබ ලියූවක් බව පැහැදිලි ය. යමක් හැදෑරීමේදී එය එහි සියළු සම්බන්ධතාවයන් තුල තබා අධ්‍යයනය කළයුතු බව කියන මාක්ස් ලෙනින්වාදයේ මූලික කරුණ ඔබ එහිදී නොසලකා ඇති බව නම් ඉතා පැහැදිලි ය. එය සමස්තයෙන් වෙන්කරගත්, දෘෂ්ටිමය වශයෙන් දුප්පත්, වැඩි වශයෙන් ඔබේ කඨෝර  අත්දැකීම් කියාපාන අසම්පූර්ණ ලියවිල්ලක් බවට පත්වුනේ ඒ නිසයි. මෙයාකාරයේ දැක්ම විසින්  ඇතිකරන ලද ප‍්‍රතිවිරෝධය තුළයි  අද ඔබේ අර්බූදය නිර්මාණය වී ඇත්තේ. ඔබ අද කරගෙන යන සංවාදය යහපත් අයුරින්  කෙළවරවන්නේ නම්  එදා ඔබ ලියූ ඒ ස්වයං විවේචනයට අනාගතයේදී තවත් සාධනීය ස්වයං විවේචනාත්මක පෙරවදනක් එකතු කිරීමට ඔබට සිදුවෙනවා නිසැක ය. 
අපට දැනුන කරුණක් නම් පීඩන වායුවක් පුරවා සීල්කර තිබූ බඳුනක් සීල් කැඞීමෙන් පසු අතොරක් නැතිව වායුව සීසීකඩ විසිරෙනවාක් මෙන් ජවිපෙහි දැඩි මධ්‍යගත ද`ඩුඅ`ඩුවට සිරවී සිටියදී ඉන්  කැඞී වෙන්වීමෙන් පසු දෘෂ්ටිමය වශයෙනුත් සංවිධානනමය වශයෙනුත්   ලිහිල් නිදහස්වාදී ප‍්‍රවනතාවයක් පෙසප ය තුළ පැන නැගි බවයි. නායකත්වයේ මගපෙන්වීම යටතේ වැරදි නිවැරදි කර ගැනීමේ බරපතල ව්‍යාපාරයක් හරහා බරපතල දෘෂ්ටිමය අරගලයක් නගාලමින් නිශ්චිත විප්ලවීය දේශපාලන වැඩපිළිවෙලක් ද නිශ්චිත දේශපාලන කි‍්‍රයාමාර්ගයක් හා සංවිධානමය කි‍්‍රයා මාර්ගයක් මගින්  එම ප‍්‍රවනතාවය ජයගත යුතුව තිබුණත් ජය ගැනීමේ ශක්‍යතාවය තිබුණත් ඒ අවශ්‍ය නිසි මැදිහත්වීම සිදු නොකර කාලය ඉකුත් වෙන්නට ඉඩ හැරීමෙන්  අද මෙවන් තත්ත්වයක් මතුව ඇත.  අපේ වැටහීම නම් සාමාන්‍ය සාමාජිකයන් හෝ අනුගාමිකයන් නොව නායකත්වයම එම ප‍්‍රවනතාවයේ ගොදුරක් වී ඇති බවයි.  මෙය අපි මුල සිටම නිරීක්ෂණය කළ දෙයකි.  නිළ ජවිපෙහි  තිරශ්චීන ප‍්‍රතිචාරය හමුවෙහි ඉවත්වූ පාර්ශවය ආරක්ෂාකර ගැනීම සඳහා අවශ්‍යයෙන් කළ යුතු වැඩ කොටස් තිබීම නිසා නායකත්වයේ මතවාදී වෙනස්කම් අතර සම්මුතීන් ඇතිවූවා විය හැකි ය. ඒත් බාහිර අවහිරය ක‍්‍රමයෙන් ඉවත්වීමත් සමග සම්මුතීන් බිඳවැටී අභ්‍යන්තර විෂමතා ඉස්මතු වී ඇති බව පැහැදිලි ය. ඒවා වඩාත් කරළියට එන්නේ සිදුවූ යම් යම් සමාජ අරගලයන්ගේ බලපෑම නිසාය. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප‍්‍රශ්නය, විදුලිබිල වැඩිකිරිම පිළිබඳ ප‍්‍රශ්නය වගේ ප‍්‍රශ්නවලදී ඔබේ දෘෂ්ටිමය වෙනස්කම් අතර ගැටුම් උග‍්‍රව පැවති බව පැහැදිලිව පෙනුණි. සම්මුතීන් තාවකාලික සාමයක්  වගේම  ආසන්න පිපිරීමක් ද එකවර සළකුණු කරයි.  අද පෙසපයේ අර්බූදය මෙම ප‍්‍රතිවිරෝධතාවයේ ප‍්‍රකාශනයකි.      
මූලික දාර්ශනික ගැටළුවල සිට පක්ෂ ප‍්‍රතිපත්ති, උපාය මාර්ග ආදිය දක්වා දැන් පහළම තලයෙන් ම  සාකච්ඡුා ආරම්භකර  ඇති බව දැනගන්නට ඇත. පක්ෂ සාමාජිකයන්ගේ පංති විඥානය දියුණු කිරීමේ එක් ක‍්‍රමෝපායක් වශයෙන් එය හොඳ දෙයකි. එහෙත්  සාකච්ඡුාව පෙළගස්වා ඇති අන්දමත් එය කරගෙන යන අන්දමත් අනුව නම්  පෙනීයන්නේ පෙසපය මාක්ස්වාදී පක්ෂයක් වෙනවාද නැතිනම් වෙනත් මොකක් හෝ එකක් වෙනවාද  කියා තීරණයක් ගැනීමට සාමාජිකත්වයට ඉඩහැර ඇති බවකි.  මේ නම් ජවිපෙහි අධි මධ්‍යගතභාවයේ පීඩනය ට එරෙහිව උපන් අති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙතකි. උදාහරණයක් වශයෙන් දර්ශනයේ මූලික ප‍්‍රශ්නය වුූ යථ හා විඥානය අතර සම්බන්ධය ගනිමු.  යථ හා විඥානය අතර සම්බන්ධයේ ස්වභාවය ගැන විවිධ දාර්ශනික ප‍්‍රවනතාවයන් වෙනස් වෙනස් ස්ථාවරයන්  දරයි. මාක්ස්වාදී ස්ථාවරය වන්නේ  මිනිසුන් ඔවුන්ගේ භෞතික නිෂ්පාදනයත් භෞතික සහසම්බන්ධතාවයනුත් සංවර්ධනය කරද්දී  ඔවුන් ඔවුන්ගේ චින්තනයත් හැඩගස්වනවාය යන්න ය.  වෙනත් විදියකින් කියනවා නම්  මූලිකව ගත් කල විඥානය විසින් ජීවිතය තීරණය කරනු ලබනවා  නොව ජීවිතය විසින් විඥානය තීරණය කරනු ලබනවා යනු ය.  තවත් විදියකින් කියනවා නම්  ද්‍රව්‍ය ප‍්‍රාථමික වන අතර විඥානය ද්වීතියික වෙන බවයි. මාක්ස්වාදීන් හා මාක්ස්වාදී පක්ෂ මෙම ස්ථාවරයේ පිහිටයි.  ඉතින්, දර්ශනයේ මෙවැනි මූලික ප‍්‍රශ්නයක් (හෝ වෙනත් ආකාරයක ප‍්‍රශ්නයක් *පැන නැගුන විට  මාක්ස්වාදී පක්ෂයක් වශයෙන් ඔබ තම සාමාජිකයන්ට බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයක් ඉදිරිපත් නොකර මාක්ස්වාදී ස්ථාවරය වෙනුවෙන් අභ්‍යන්තරවත් එළිපිටමත් නොසැලී සටන් වැදිය යුතු ය.  විකල්ප මතවාදයන් හා අනුරූප වැඩපිළිවෙල් හා කි‍්‍රයා මාර්ග පැන නැග හෝ නැගෙමින් තිබේ නම් ඒවා සමග  1 අභ්‍යන්තර පළල් සාකච්ඡා සභා තුළ අදාළ සෑම පාර්ශවයකම සහභාගිත්වයෙන් යුතුව පුළුල් සංවාදයක් ගොඩ නැගිය යුතු ය.  කුඩා කව තුළ ඔවුනොවුන්ටම සාකච්ඡා කරගැනීමට ඉඩහැරීමෙන් සිදු වන්නේ ව්‍යකූලත්වයක් ඇතිවීම හා සාමාජිකයන් අන්දමන්දවීම ය. 2 ඔබගේ පුවත්පත් ප‍්‍රකාශන ආදිය හරහා සංවාදය බියෙන් සැකෙන් තොරව එළිමහනට ද ගෙන යාම ය.
 බොල්ෂෙවික් සංස්කෘතිය තුල සංවාද සම්බන්ධයෙන් ක‍්‍රම දෙකක් අනුගමනය කර ඇති බව පෙනේ. එකක් නම් පක්ෂ ප‍්‍රතිපත්ති , උපාය මාර්ග ගැන තියුණු පරස්පරතා මතු වූ විට ඒවා නොවළහා  තමන්ගේ පුවත් පත් හරහා ප‍්‍රසිද්ධියේ සාකච්ඡාකිරීම ය.  දෙවැන්න නම් අදාළ පාර්ශවයන් සියල්ලටම එකම වේදිකාවක තමන්ගේ මතය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට සාකච්ඡා සභා හෝ සමුළු සංවිධානය කිරීම ය. එවැනි සාකච්ඡුාවන් පක්ෂය හා බහුජන සංවිධාන වශයෙන් වෙන වෙනමත් සමහරවිට ඒවායේ   ඒකාබද්ධ සාකච්ඡා සභා  වශයෙනුත් පවත්වා ඇත. මින්  සාමාජිකයන් හා අනුගාමිකයන් පමණක් නොව පංතියමත් දැනුවත් වෙයි. තීන්දු තීරණ ගැනීමේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල්ව ක‍්‍රියාත්මකවීම මෙම  සාකච්ඡා සංවාදයන්හි  කැපී පෙනෙන ලක්ෂණයක් වුවත් ඊටත් වඩා වැදගත් ලක්ෂණය වන්නේ නිවැරදි මතයක් පක්ෂය තුළ ජයග‍්‍රහණය කරවීමෙන් පක්ෂය ශක්තිමත්ව තබා ගැනීම ය. කමනෙව්, සිනොවියෙව්, බුඛාරින් වැනි චරිතවල ජේෂ්ඨත්වය නොසලකා ඔවුන් වැනෙන අවස්ථවල සම්මුතිවාදී නොවී අනුකම්පාවිරහිතව ලෙනින් ප‍්‍රහාර එල්ලකරන්නේ සැමටම වඩා පක්ෂය ඉදිරියෙන් තබන නිසාය. අපේ භාවිතය මීට ඉඳුරාම වෙනස් බව කිව යුතුය.  අපි පුරුදුවී සිටින්නේ  වැදගත් ප‍්‍රධාන කරුණක් සම්බන්ධයෙන්  සුළුතරයේ, පුද්ගලයෙක් නම් එම පුද්ගලයාගේ විකල්ප මතය පලල් සාකච්ඡුාවට බඳුන් නොකර බහුතරය විසින් යටපත්කර ස`ගවා තැබීමටයි. මතවාදීමය වෙනස්කම් උග‍්‍ර තත්ත්වයට පත්වී පුද්ගලයා පක්ෂයෙන් ඉවත්වනතෙක් නැතිනම් ඉවත්කරන තෙක් එය රහසක් සේ රැුකගැනීම මධ්‍යම කමිටුව තම  වගකීම සේ සලකයි.  කෙසේ නමුත් අවසානයේ සමාජිකත්වයට සවන් දෙන්න සිදුවෙන්නේ එකිනෙකා නගන අවලාද ගොන්නකට ය.  වෙනස් මත පුළුල් සංවාදයට ගෙන ඒමෙන් පංතියේ විඥානය ඉහළ තලයට එසවෙන බව, බරපතල බිඳවැටීම් හමුවේ පවා පංතිය නොසැලී සිටීමට හැඩගැහෙන බව, පංතිය විශ්වසනීය නිවැරදි නායකත්වය තෝරාගෙන එය අනුගමනය කිරීමට පුරුදුවෙන බව  අපි නොතකා හරිමු. අවසානයේ   ධනේශ්වරයට එරෙහිව පංතිය සංවිධානය කිරීමේ පූර්ව අවශ්‍යතාවයක් වූ පංතිය සවිඥානක කිරීම නම් සාධකයට ප‍්‍රතිවිරෝධී සාධකයක් අපිම නිෂ්පාදනය කරමින් සිටිමු . අපිට අපිව ම බාධකයක් කරගන්නෙමු.
 අපි මෙසේ යෝජනා කරමු. පංතිය සවිඥානක කිරීම විප්ලවීය යුතුකමක් සේ සලකා  පැහැදිලි සීමා සටහන් දුර්වර්ණවීමට අදාළ මතවාදයන් ඔවුන්ගේම භාෂාවෙන් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට ඉඩ හරිමු.  එසේ දුර්වර්ණ කර ඇති පැහැදිලි සීමා සටහන් මොනවාද කියා ඒ ලෙසටම සාකච්ඡුාවට ගනිමු. මේ වැදගත්  සංවාදය වෙත වැඩි සහභාගිත්වයක් ද වැඩි අවධාණයක් ද යොමුකර ගැනීම සඳහා ජනරළෙහි විශේෂ අතිරේකයක් සම්පාදනය කරන්න හැකි නම් වඩාත් හොඳ ය. එසේ නම් කාටත් පැහැදිලිවත් නිරවුල්වත් කරුණු ඉදිරිපත් කළ හැකි වනු ඇත. 
ලිපිය අවසන් කරන්න ප‍්‍රථම නිසල් ජයතිලක සමග අපි එක`ග නොවන කරුණ ගැනත් කෙටියෙන් පැහැදිලි කරමු. වම යන පොදු නාමකරණය යටතට අද ආණ්ඩුව සමග ඉන්න ලසසපයත්, කොපයත් ගැනෙයි. ඒත් ජවිපෙ මිණිය යුත්තේ එම මිණුම් ද`ඩුවෙන් නොවේ. ජවිපෙ තවමත් මාක්ස් ලෙනින්වාදයක් ගැනත් සමාජවාදයක් ගැනත් කතා කරයි. ඒක එහෙම යැයි පිළිගත් අවංක සාමාජිකත්වයක් ජවිපෙ වටා තවමත් සිටියි.   ජවිපෙ සම්බන්ධයෙන් අපේ විවෙචනයන් සැමවිටම පදනම්වන්නේ  ජවිපෙ  මාක්ස් ලෙනින්වාදයට අනුකූලද නැද්ද යන්න මත ය. ඒ අනුව නම් ජවිපෙ මාක්ස් ලෙනින්වාදයෙන් පිට පනින්නේ එය දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය නිර්මාණය කිරීමත් සමග නොව එහි සම්භවයත් සමග ම ය. එය තේරුම් ගැනීමට  එහි අරම්භක 60 දශකය දක්වා නොගියත් ජවිපෙහි පසුකාලීන සභාගවාදයට, යුදවාදයට, පටු ජාතිකවාදයට මග පෙන්වූ දෙමළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මාක්ස් ලෙනින්වාදය විකෘති කරමින් විජේවීරයන් දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද කෘතිය මගින්  ඉදිරිපත් කරන මතවාදය  නිරීක්ෂණය කිරීම ම ප‍්‍රමාණවත් ය. 


   



    
     .



No comments:

Post a Comment