මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, September 8, 2010

ප‍්‍රජාතන්ත‍්‍රවාද‍යේ මලගමේ කසකාරයෝ


එක් පුද්ගලයෙකුට විධායක ජනාධිපති ධූරය දැරීමට තිබූ වාර දෙකේ කාල සීමාව ඉවත් කිරීමත් 17 වන සංශෝධනය මගින් පිහිටවු ස්වාධීන කොමිෂන් සභා අහෝසිකිරීමත් අඩංගු කර ගත් මෙම 18 වන ව්‍යවස්ථා සං‍ශෝධනය හදිසි කටයුත්තක් ලෙස ඉදිරිපත් කර ඇත.


පශ්චාත් යුද සමයේ රටේ සංවර්ධන ක‍්‍රියාවලිය වේගවත් කිරීමට මෙය ඉතා අවශ්‍ය බව ආණ්ඩුව හා ආණ්ඩුවේ හොරණෑ බවට පත්වී ඇති රාජ්‍ය මාධ්‍ය දිගින් දිගටම තප්පුලමින් සිටී.
රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂමතාවය ඉවත් කොට එය සක‍්‍රීය කිරීමට යම් සංශෝධනයක් ගෙන ඒම තර්කයක් ලෙස ආණ්ඩුවට ඉදිරිපත් කළ හැකිවුවත් ජනාධිපති ධූරයේ කාල සීමාව සංවර්ධන ක‍්‍රියාවලිය වේගවත් කිරීමට අදාල වන බව ප‍්‍රකාශ කළ හැක්කේ මොංගල්කාරයෙකුට හැර බුද්ධියක් ඇති පුද්ගලයෙකුට නම් නොවේ. ආණ්ඩුවේ හෙංචයියන් බවට පත්වී ඇති සමහර විශ්ව විද්‍යාල ආචාර්ය මහා චාර්යවරුන් හා සමහර නීතිඥයින් ජනමාධ්‍ය හරහා බොරු දෙසා බාමින් සිටින්නේ තමන් නියම මොංගල්කාරයන් බවට රටට ප‍්‍රදර්ශනය කරමිනි.
ජනාධිපතිවරයාගේ පළමු ධූරකාලය අවසන්වීමට තව මාස තුනකට ආසන්න කාලයක් පවතී. එතැන් සිට තවත් වසර හයක් දෙවන ධුර කාලය සඳහා සම්පූර්ණයෙන්ම ඉතිරිව ඇත. ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ධූරකාලය අවසන් වීමට තව අවුරුද්දක් හෝ දෙකක් පමණක් තිබුණේ නම් ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍යය මෙහෙයවීම සංවර්ධනය ක‍්‍රියාවලියට අත්‍යාවශ්‍ය බව තර්කයක් ලෙස හෝ ආණ්ඩුවට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිණ. නමුත් දෙවනි ධූර කාලය තබා පළමු ධුරකාලයවත් අවසන් නොවී තිබියදී ජනාධිපති ධූරයේ සීමාවන් ඉවත් කිරිම හදිසි කාර්යයක් වන්නේ ජනාධිපතිවරයාටත් ඔහු ගේ පවුලේ සාමාජිකයන්ටත් රාජකීය කිරුළ දීර්ඝ කාලයක් පැළඳ ගැනීමට අවශ්‍ය වට පිටාව සකසා ගැනීමට විනා වෙන දෙයක් සඳහා නොවේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින් මෙහෙයවිය හැකි නායකයෙක් තවත් වසර විස්සකටවත් මහින්ද රාජපක්ෂ ගෙන් මෙපිට නැති බව එම පක්ෂය ම මෙම සංශෝධනය ගෙන ඒම මගින් වක‍්‍රකාරව පිළිගන්නා අතර මෙවැනි සංශෝධනයක් කලින්ම ඉදිරිපත් කිරිම තුළින් තම ආණ්ඩු පක්ෂ කණ්ඩායම ද ඉදිරියේදී තමන්ට විශ්වාස කළ නොහැකි බව ජනාධිපතිවරයා පෙන්නුම් කර ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින දෙවන පෙළ නායකයන්ව ද රාජපක්ෂගේ මෙම සංශෝධනය මගින් උස්සා පොළොවේ ගසා තිබෙන අතර ඔවුන්ට ඇමතිකමකින් පමණක් තම දේශපාලනය අවසන් කිරීමට සිදුවේ. රාජපක්ෂ තමන් නියම නිකමුන් පිරිසක් බවට පත්කර ඇති බවට ශ‍්‍රීලනිපේ සෙසු නායකයන්ට අවබෝධයක් ඇතත් තම බඩජාරී දේශපාලනයට ඇමතිකම රැක ගැනීම අවශ්‍ය නිසා මහින්ද ගේ ගුණ වැයීම හැර ඔවුන්ට වෙන කළ හැකි දෙයක් නැත.
දිනේශ්, විමල්, චම්පික රාජපක්ෂගේ සංශෝධනයට පක්ෂව තම වැදි බණ මහජනයාට දේශනා කරමින් සිටින්නේ නියාලූ බව ලොවට ම ප‍්‍රදර්ශනය කරමිනි. අඩුම තරමින් පොඩි හෝ අඩු පාඩුවක් මෙම සංශෝධන තුළ ඔවුන්ට නොපෙනේ. මෙම දේශපාලන හොරිකඩයන්ට මහින්ද ගෙන් පිට වෙනත් පැවැත්මක් නොමැති නිසා මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තුවිය නොහැකිය. විමල් වීරවංශ ගේ භාෂාවෙන් ම කියතොත් උන්ට තම බඩ ගැන මිස රට ගැන හිතන්නට හෘදය සාක්ෂියක් නොමැත.
ආණ්ඩුව තුළ සිටින වාමාංශික යයි කියා ගන්නා මළ පෙරේතයන් ද සංශෝධනවලට පක්ෂ ය. නමුත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමසමාජ පක්ෂය පෝස්ටර් ගසන අතර වාසුදේව මාධ්‍ය ඹස්සේ පොර ටෝක් දෙමින් සිටී. ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතයට විරුද්ධ නමුත් සංශෝධනවලට පක්ෂව ඡන්දය දෙන බවට මෙම නිවට නියාලූ වාමාංශික මහත්වරු ටික බෙරිහන් දෙති. අන්තර්ගතයට විරුද්ධ නම් පක්ෂ වන්නේ මොන ඉලව්වකට ද යන්න මහජනයාවන අපට
මොවුන්ගෙන් ඇසිය යුතුව ඇත. වාසුදේව, ඩිව් ගුණසේකර, තිස්ස විතාරන යන රජ වාසල කවටයන්ට පා පහර දී එලවා දැමීමට කාලය එළඹී ඇති බව මෙරට ජනයා දැන්වත් අවබෝධ කරගත යුතු ය.
ලොව බලගතුම ජනාධිපතිවරයා වන ඇ. එ. ජනපදයේ ජනාධිපතිවරයාට එම ධුරය දැරිය හැක්කේ වසර හතර බැගින් වාර දෙකකි. එනම් සම්පූර්ණ කාලය වසර අටකි. නමුත් ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එක වරකට වසර හය බැගින් වසර 12 ක් ජනාධිපති ධූරය දැරීමේ අයිතිය ව්‍යවස්ථාව මගින් සහතික කර තිබේ. මෙවැනි සීමාවන් බොහෝ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවන්ට ඇතුළත් කර ඇත්තේ රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය හොඳින් පවත්වාගෙන යාමේ පදනමක සිටය. ආණ්ඩුවේ මොංගල්කාරයින් උපුටා දක්වන සිංගප්පූරුව හෝ මලයාසියාව මෙහෙයවූ ලී ක්වාන් යූ මහතීර් මොහොමඞ් පාලනයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයන්ට වඩා අර්ධ ඒකාධිපති පාලන රටාවන් ය.
17 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පිහිටවූ ස්වාධීන කොමිෂන් සභා බොහෝ අක‍්‍රීයව තිබෙන බව ඇත්ත ය. විශේෂයෙන් ම රාජ්‍ය සේවා කොමිෂම හා මානව හිමිකම් කොමිෂම වැඩක් ම නැති ආයතන දෙකකි. කොතරම් දුර්වලතා තිබුණත් මෙම කොමිෂන් සක‍්‍රීය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනවා විනා ඒවා සතු ස්වාධීනත්වය ඉවත් කර ජනාධිපතිවරයාගේ බලතල යටතට ගෙන ඒම තුළින් ආණ්ඩුවට හිතවත් හෙංචයියන් පමණක් රජයේ ඉහළ තනතුරු දරන තත්ත්වයක් උද්ගතවනවා ඇත මෙය රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම කෙසේ වෙතත් බහුතර රාජ්‍ය සේවකයින් තුළ කලකිරීමක් වෛරයක් ගොඩ නගනු ඇත.
දෙමළ ජාතික ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් ගෙන ඒම රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට කටයුතු කිරීම මානව හිමිකම් සුරක්ෂිත කිරිම ජනතාවගේ ආර්ථික ප‍්‍රශ්න විසඳීමට කටයුතු කිරීම වැනි හදිසි කාර්යයන් රැසක් තිබියදී ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණ වෙනුවෙන් ගෙන එන මෙම සංශෝධනය පැරදවීමට කටයුතු කිරීම සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල අත් නොහැරිය හැකි වගකීමකි. එක්සත් ජාතික පක්ෂයට ද තම සටන් තව දුරටත් පාර්ලිමේන්තුව තුළ හෝ ජනමාධ්‍ය තුළ පමණක් සිදු කළ නොහැක. එම සම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් එළියට ඒමට ඔවුන් සූදානම් නොමැති නම් මෙම ඒකාධිපති වියරුව පරාජය කිරීමට යූඇන්පියේ ඇති අවංකබාවය පිළිබඳ මෙරට ජනයාට ප‍්‍රශ්න කරන්නට සිදුවනු ඇත.

No comments:

Post a Comment