මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, September 29, 2010

යුඇන්පිය නන්නත්තාරකරන ලද මහින්දගේ මැජික්පොල්ල

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් වෙනුවෙන් සිරිකොත වටලා මාරාන්තික සටනක් කිරීමට හෝ තමන් සූදානම් බව එම පක්ෂයේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රකාශ කළේ නොබෝදා පැවති කුරුණෑගල දිස්ත‍්‍රික් එජාප පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගේ රැස්වීමකදී ය. එජාපයේ ඉහළ නායකයන්ගේ සිට පහළ නායකත්වය දක්වා බොහෝ කොටස්වලින් නායකත්වයේ වෙනසක් බලාපොරොත්තුවන බව පෙනේ
. වසර 64 ට වඩා ඉතිහාසයක් ඇති එජාපය මේ වනවිට ගැඹුරු අර්බූදයක පැටලී සිටී. 1994 සිට වසර 16 ට වැඩි කාලයක් එක් වතාවකදී හැර පැවති සෑම ඡන්දයකින් ම එජාපය පරාජය වී ඇත. 2001 වසරේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට එජාපය සමත් වුවත් වසර දෙක හමාරකට වඩා එම බලය රැක ගැනීමට එජාප නායකයාට හෝ එම පක්ෂයට හැකි වූයේ නැත. එසේ වූයේ චන්ද්‍රිකා විධායක බලය යොදා එය විසුරුවා ලීම ය. 2005 ජනාධිපතිවරණයේ දී එල්ටීටීඊය දෙමළ ජනයා ඡන්දය වර්ජනයකට පෙළඹ වීම ද එහි දීර්ඝ කාලීන පසුබෑමට තීරණාත්මක හේතුවක් විය. මෙම දීර්ඝ කාලීන පසුබෑම තුළ එම පක්ෂයේම වාර්තා අනුව ප‍්‍රධාන පෙළේ නායකයින් 61 දෙනෙකු පක්ෂය හැරගොස් ඇති අතර තවත් බොහෝ ප‍්‍රාදේශීය මට්ටමේ නායකයින් ද අහිමි වී ඇත.  කැපුවත් කොළ පාට යැයි කියනු ලැබූ එජාප පාක්ෂිකයින් ද බුරුතු පිටින් පක්ෂය හැර ගිය අතර තව තවත් හැර යමින් සිටී. 
බහු වාර්ගික බහු ආගමික පදනම මත සම්භවය ලබා ඇති එජාපය යනු ලංකාවේ පවතින විශාලතම තනි දක්ෂිණාන්ෂික පක්ෂය යි. නිදහසින් පසු හරි අඩක කාලයක් රට පාලනය කර ඇති පක්ෂය යි. සිංහල ඡන්ද පදනම හැරුණු විට ලංකාවේ විශාල සුළු ජන ඡන්ද පදනමක් තිබූ දකුණේ එකම පක්ෂය එජාපය විය.  මුස්ලිම් කොංග‍්‍රස් පක්ෂය ආරම්භ කිරීමට පෙර ලංකාවේ පුස්ලිම් ජාතිකයන්ගෙන් අති බහුතරයක් එජාප හිතවාදීහු වූහ .  දෙමළ ඡන්ද පදනම එලෙස නොවුනත් බොහෝ දෙමළ ජාතික කණ්ඩායම් එජාපය සමග සමීපව කටයුතු කල ඉතිහාසයක් පවති. 
අද වනවිට එජාපයේ සුළුජන ඡන්ද පදනම තියා දකුණේ ඡන්ද පදනම ද විශාල ලෙස සෝදා පාළුවට ලක්වී ඇත.   ඕනෑම මැතිවරණ පරාජයක් තුළ වුව ද එජාපය ඡන්ද පදනම සියයට 40 ඉක්මවුවත් 2010 දී පැවැත්වූ මැතිවරණය තුළ සියයට 23 දක්වා පහත වැටීමෙන්ම එම පක්ෂයේ සෝදා පාළුව තේරුම් ගත හැකි ය. 
වසර 16 ට වැඩි පරාජයක ඉතිහාසයක් ඇති එජාපයට මෙවැනි ඉරණමක් අත්වී ඇත්තේ ඇයි ද යන්න ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු දෙයකි.  එය හුදෙක් නායකත්වයේ ප‍්‍රශ්නයක් නිසා සිදු වූවක් ලෙස හුවා දැක්විම ප‍්‍රශ්නය මතුපිටින් අතගෑමක් පමණි. 
රනිල් වික‍්‍රමසිංහ යනු ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස වැනි සෘජු සටන්කාමිත්වයක් ඇති නායකයෙක් නොවේ.  2001 වසරේ දී ලබාගත් බලය වසර දෙකාමාරකින්ම නිමාකරන්නට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කටයුතු කරන විට රනිල් වික‍්‍රමසිංහ  කටයුතු කළ ආකාරයෙන්ම ඔහු තමා සටන්කාමී නායකයකු නොවන බව සෘජුවම ප‍්‍රදර්ශනය කළේ ය.  රටේ ජනතාවගෙන් බහුතර බලයක් ලබා ජනතා ප‍්‍රසාදයක් තිබු මොහොතක තම පාක්ෂිකයන් දහස් ගණනින් වීදි බැස්සවීමට හැකියාව තිබු මොහොතක ඔහු චන්ද්‍රිකාට  ඕනෑ දෙයක් කරන්නට ඉඩ දී ඉවත බලාගෙන සිටියා හැර පොඩි හෝ ක‍්‍රියා මාර්ගයක් ගැනීමට ඉදිරිපත් නොවී ය.  එජාපයේ දැවැන්ත පරාජය හමුවේ තම පාක්ෂිකයින් සැබවින්ම ඉල්ලා සිටින්නේ සටන්කාමි නායකයෙකි.  සටන්කාමී  නායකත්ව ගුණාංගය රනිල් වික‍්‍රමසිංහ  තුළ දක්නට නොමැත.  එම හේතුව නිසාම ඔහුට පක්ෂයේ සෙසු නායකයන්ගෙන් මෙන්ම පාක්ෂිකයන්ගේ ද ප‍්‍රබල විවේචනවලට  මුහුණ දිමට සිදුවි තිබේ. 
පාර්ලිමේන්තු සටන් මාධ්‍ය, සාකච්ඡා, සම්මන්ත‍්‍රණවලින් එහාට ගිය පුළුල් සටන්කකාමිත්වයක් එජාප පාක්ෂිකයන් පමණක් නොව රටේ සෙසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ද වික‍්‍රමසිංහ ගෙන් බලාපොරොත්තු වේ.  මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි සටනේදී රනිල් වික‍්‍රමසිංහ  දක්වන දුර්වල නායකත්වය සමස්ත විපක්ෂ බලවේගයම දුර්වල කිරීමට සමත් වී ඇත. 
රනිල්ගේ නායකත්වයේ පවතින මෙම දුර්වලතාවය එජාපයේ බිඳ වැටීමට හේතුවක් වුවත් එය එකම හේතුව හෝ ප‍්‍රධාන හේතුව වන්නේ නැත. 
1994 වර්ෂය වන විට එජාපයේ 17 වසරක පාලනය අවසන් කිරීමේ සෑම තත්ත්වයක් ම  නිර්මාණය වී තිබුණි.  17 වසරක ශාපය ලෙස මෙම පාලනය හඳුන්වා දෙනු ලැබූ අතර එම පාලනයේ එවකට ප‍්‍රධාන චරිතය වු රණසිංහ පේ‍්‍රමදාස  මළවුන් අතරට එක්වී තිබුණි. විජේතුංග ජනාධිපතිවරයා සිය දේශපාලන  ජිවිතය අවසන් කිරීමට තීරණය කර තිබූ තත්ත්වය තුළ 1994 මහ මැතිවරණය ගැටුම් වලින් අවම වූ ලංකා මැතිවරණ ඉතිහාසයේ සාධාරණ මැතිවරණ වලින් එක් මැතිවරණයක් විය . 
17 වසරක් එජාපය රටේ පාලනය හෙබවුවත් 17 වසරක ශාපය ලෙස හැඳින්වුවත් පොදු ජන එක්සත් පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූවේ ඉතා අමාරුවෙනි.  යම් හෙයකින් මුස්ලිම් කොංග‍්‍රස් සහාය චන්ද්‍රිකාට නොලැබුණා නම් තත්ත්වය මිට වඩා වෙනස් වනන්ට ඉඩ තිබුණි.  මුස්ලිම් කොංග‍්‍රස් සහාය ලැබී තිබියදීත් චන්ද්‍රිකා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හිමිවූයේ එක් වැඩි ඡන්දයකින් පමණි.
සුළු ජාතික ඡන්ද පදනම සුළු ජාතික පක්ෂවල සහාය එජාප සම්ප‍්‍රදායික ඡන්ද පදනම එසේම පැවතීම පරාජයට ලක්වී තිබියදීත් එජාපයේ ශක්තියට හේතුවක් විය.  1994 ජනාධිපතිවරණය  එජාප අපේක්ෂකයා වූ ගාමිණී දිසානායාක  ඝාතනය වූ තත්ත්වය තුළ සටනක් නැති තනි අශ්වයෙකුගේ සටනක් බවට පත්වූ ජනාධිපතිවරණයක් විය. ඉන්පසු එජාපයේ ජනපති අපේක්ෂකයා ශී‍්‍රමා දිසානායකද සියයට 35 ජන්ද ප‍්‍රතිශතයක් ලබාගැනීමට සමත් විය. නමුත් 1999 කැඳවූ ජනාධිපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ  චන්ද්‍රිකා ළග ළග සටනක් දීමට සමත් විය.  1994 ජනාධිපතිවරණයේදී සියයට 60 ඉක්මවූ චන්ද්‍රිකාගේ ප‍්‍රතිශතය සියයට 52 දක්වා පහළ වැටී තිබුණි.  වර්ෂ 2000 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය නැවත පරාජය වුවත් චන්ද්‍රිකා  ආණ්ඩුව තුළ ඇතිවූ අභ්‍යන්තර ගැටුම හේතු කොට ගෙන එම පාලනය ගෙන යාමට ඇයට හැකි වූයේ එක් වර්ෂයක් පමණි.  ඒ අනුව 2004 වර්ෂයේ පැවති හදිසි මැතිවරණයෙන් බහුතර බලයක් ලබා ආණ්ඩුවක් පිහිටු වීමට රනිල් වික‍්‍රමසිංහ  සමත් විය.  වික‍්‍රමසිංහ ගේ ආණ්ඩුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් හදිසියේ විසුරුවා ලමින් පැවති 2001 මැතිවරණයෙන් එජාපය පරජය කිරීමට හැකි වූයේ ජවිපෙත් සම්බන්ධ කරගනිමින් පොදු ජන එක්සත් පෙරමුණ ගොඩ නගා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා යි. මැතිවරණය ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් වූයේ නැත.
චන්ද්‍රිකා කුමාරතුංග සිය ධූරයෙන් ඉවත් වන 2005 මැතිවරණය ඉතාමත් තීරණාත්මක විය. චන්ද්‍රිකා ඇතුළු ශ‍්‍රිලනිපයේ නායකයෝ සැලකිය යුතු ප‍්‍රමාණයක් මහින්ද පරදින බව විශ්වාස කළෝ ය.  රනිල් මහින්ද කරට කර සටනක් බවට බවට පත්වූ මෙම තරගයේදී මහින්ද රාජපක්ෂට තවත් ඡුන්ද 25000ක් අඩු වුණා නම් සියයට 50 ප‍්‍රතිශතය ඉක්මවා යාමට හැකිවන්නේ නැත.  එල්ටීටිඊය විසින් උතුරු නැගෙනහිර සිදු කළ ඡන්ද වර්ජනය නොකරන්නට වික‍්‍රමසිංහට වඩා වැඩි වාසිදායක තත්ත්වයක් නිර්මාණය වීමේ ඉඩක් පැවතිණි.  ඇත්තෙන්ම එල්ටීටීඊ සාධකය වික‍්‍රමසිංහට හෝ එජාපයට පාලනය කළ හැකි සාධකයක් නොවී ය.  2005 වසර දක්වා  පැවති සෑම ප‍්‍රධාන මැතිවරණයකදීම  එජාපය සියයට 40 ඡුන්ද ප‍්‍රතිශතය ඉක්මවා ගියේ ය.  එම ප‍්‍රතිශතය දිගින් දිගටම පහත වැටෙන්නේ මින් පසුව බව ඉතා පැහැදිලි ය.  එජාප නායකත්වයේ කොතරම් දුර්වලතා පැවතියත් ඔහු තරග කළ ජනාධිපතිවරණ දෙකේදීම කරට කර සටනක් දීමට රනිල් වික‍්‍රමසිංහ  සමත් විය.  එජාපය සිය ඡන්ද පදනම 2005 වන තුරුම රැක ගැනීමට සමත් විය.  මෙම මැතිවරණ ප‍්‍රතිඵලයන් පිළිබඳව කිසියම් විග‍්‍රයක් කිරීමට උත්සාහ කළේ වැදගත් කරුණක් මතුකර ගැනීම සඳහා යි.  එනම් නායකත්වය කොතරම් දුර්වල වුනත් සියයට 40ට අඩු නොවූ ඡන්ද ප‍්‍රතිශතය 2010 මහ මැතිවරණය වන විට සියයට 23 දක්වා සෝදාපාළුවට ලක් වූයේ ඊට වඩා වෙනස් කරුණක් නිසා ය යන්න ය. උතුරු නැගෙනහිර පැවති 30 වසරකට ආසන්න යුද්ධය ජයග‍්‍රහණය කිරීමට රාජපකෂ ආණ්ඩුව සමත්වීම  එජාපයේ ඡන්ද පදනම දෙදරීමට බොහෝ දුරට බල පෑවේය.  ඊළම් ව්‍යාපෘතිය මිලිටරි ක‍්‍රියාමාර්ගයකින් පරාජය කිරීම තුළින් රාජපක්ෂ  පක්ෂ බේදයකින් තොරව සිංහල සමාජය තුළ වීරත්වයට පත් විය. 
කොතරම් බාධක මැද වුවත් රනිල් වික‍්‍රමසිංහ  ජාතිය හෝ ආගම මත දේශපාලනය නොකිරීම ප‍්‍රසංශා කළ යුත්තකි. ඔහුගේ ලිබරල්වාදී දෘෂ්ටියට අනුව ඊළාම්වාදී සටනට විසඳුම ලෙස දැක්කේ මිලිටරි කි‍්‍රයා මාර්ගයක් නොව දේශපාලන ක‍්‍රියා මාර්ගයකි. මෙම ස්ථාවරය සිංහල ජාතිවාදයෙන් මුසපත් කළ සමාජයක දේශපාලනය කිරීම අසීරු කරන්නකි.  ඒ අනුව අති විශාල සිංහල බහුතරයක් තුළ රනිල් යනු දේශ ද්‍රෝහියෙකි.  නැතිනම් රට පාවා දෙන්නෙකි.  එසේත් නැතිනම් කොටින්ට කත් අදින පුද්ගලයෙකි. මේ අනුව එජාපය යනු කොටින් රකින පක්ෂයකි.  මෙය සිංහල ජාතිවාදි දේශපේ‍්‍රමීන් සිංහල සමාජය තුළ කාවද්දා ඇති මතය යි. 
එක් කෝටි විසි ලක්ෂය ඉක්මවා ඇති ඡන්දදායකයකන්ගෙන් සියයට 70 ට ආසන්න ප‍්‍රතිශතයක් සිංහල ඡන්දදායකයන් වේ.  ප‍්‍රභාකරන් ඉවර කළ නායකයා සිංහල බහුතරයක ඡන්දදායකයා ගේ නායකයා විය.පසුගිය ජනාධිපතිවරනයේදි දකුණේ  සමහර ඡන්ද කොට්ඨාශවල පාවිච්චි කළ ඡන්දවලින් සියයට 80 ට ආසන්න ඡන්ද ප‍්‍රතිශතයක් මහින්ද රාජපක්ෂ ලබා ගැනීමට මෙම තත්ත්වය බෙහෙවින් ම ඉවහල් විය.  ප‍්‍රබල එජාප පාක්ෂිකයන් විශාල සංඛ්‍යාවක් මහින්ද රාජපක්ෂ වටා එක් වන්නේ මෙම සංදර්භය තුළ ය.  ඊළාම් ව්‍යාපෘතිය තුළ තවත් සුළු ජාතික පිරිසක් වූ මුස්ලිම් ජනයා  ද දෙමළ සටන් කාමීන්ගේ පීඩාවට ලක් වූ පිරිසකි.  ඔවුන්ගෙන් අති බහුතරයේ පැතුම වූයේ ද ප‍්‍රභාකරන් ඉවත් කර එල්ටීටීය මර්දනය කිරීම ය.  මහින්ද රාජපකෂ කුමන ක‍්‍රමයකින් හෝ එය ඉටුකර ඇති තත්ත්වය තුළ සම්ප‍්‍රදායිකව එජාපය සතු විශාල ඡන්ද ප‍්‍රතිශතයක් සතු කර ගැනීමට රාජපක්ෂ  සමත්වී සිටී.‍‍‍‍‍ මේ අනුව යුඇන්පි නන්නත්තාරකරන ලද මහින්දගේ  තීරනාත්මක මැජික්පොල්ල යුද ජයග‍්‍රහණයබව ඉතා පැහැදිලිය. ‍ ඒ අතර ජනාධිපතිවරණ, මහ මැතිවරණ යන ඒවායේ දී රාජ්‍ය බලය එතෙක් මෙතෙක් නොවූ විරූ අයුරින් යොදා ගැනීම ද රාජපක්ෂ පාලනය යටතේ සිදු විය. එකක් හැරුණු විට සියලූම ප‍්‍රධාන මාධ්‍යයන් පෙනී සිටියේ රාජපක්ෂ වෙනුවෙනි. එජාපයේ ඡන්ද ප‍්‍රතිශතය සියයට 23 දක්වා පසු බසින්නේ රට තුළ නිර්මාණය වූ මෙම සංදර්භය තුළ මිස හුදු රනිල් වික‍්‍රමසිංහගේ පෞද්ගලික දුර්වලතාවයක් ම නිසා නොවේ මෙම තත්ත්වයන් හමුවේ සජිත් නොව ආර් පේ‍්‍රමදාස  සිටිය ද තත්ත්වයෙහි වැඩි වෙනසක් සිදු නොවේ. 
රට තුළ ගොඩ නගා ඇති ජාතිවාදී බොරු සිංහල වීරත්වය රාජපක්ෂට  දිගට ම රඳවා ගැනීම අසීරු කරුණකි.  ශ‍්‍රී ලංකාව වත්මනයේ මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම බොරු සිංහල වීරත්වයක් තුළින් කළ හැකි දෙයක් නොවේ.  රාජපක්ෂට ද සිය බලය දිගට ම පවත්වා ගෙන යාමට ගෝලීයකරණය වූ ලෝකයක් තුළ මීට වඩා ක‍්‍රියාමාර්ග ගැනීමට සිදු වේ. මේවා බොහෝ විට සමාජයේ පීඩිත ජන කොටස් සතුටු කරන පියවරයන් නොව ජාවාරම්කාර ධනපතියන් හා අධිරාජ්‍යවාදී බලවේග සතුටු කරන ක‍්‍රියාමාර්ග බව පැහැදිලි ය. මෙම තත්ත්වයන් තුළ යුද්ධයේ දී පීඩිත ජන කොටස් රාජපක්ෂ ආණ්ඩුව සමග පැවති එක`ගතාවයන් දෙදරායාමට හේතු වනවා ඇත.  මෙම කරුණු පිළිබඳව පොදු මහජනයා දැනුවත් කරමින් සටන් ක‍්‍රියා මාර්ග ඔවුන් තුළට ගෙන යාම අනිවාර්ය දෙයකි. මෙම කරුණු නිසි ලෙස සම්පූර්ණ වන තුරු සජිත් නොව මොකා ආවත් එජාපයට ගොඩ ඒමක් නැති බව නම් නොකියා නොහැකි ය.  සමාජය විසින් කලින් කලට තම අවශ්‍යතා සදහා අදාල නායකයින් නිර්මාණය කරන බව පොදු යතාර්ථයයි.













No comments:

Post a Comment