ජනාධිපතිවරයා යනු කිසියම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් පත්වන පුද්ගලයකු වෙයි. ස්වාධීනව තරග කොට ජනාධිපතිවරයකු වීමට ඉඩක් ශ‍්‍රී ලංකාවේ නොමැත. කිසියම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් පත්වන ජනාධිපතිවරයා පොදුවේ මුළු රටට ම ජනාධිපති වුවත් ක‍්‍රියාත්මක වීමේදි එසේ සිදු වන්නේ නැත. 1978 සිට අද දක්වා ම සිදු වන්නේ තමා නියෝජනය කරන පක්ෂයට හා තමාට සමීප පුද්ගලයන්ට හිතවත්ව කටයුතු කිරීමකි. මෙම තත්ත්වය තුළ පොලීසිය ඇතුළු රාජ්‍ය සේවයේ කටයුතුවලදීත් මැතිවරණ ක‍්‍රියාවලියේදීත් කිසියම් පක්ෂපාතිත්වයක් පවතින ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට හිමි වෙයි. මෙය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියට මග අහුරන වැඩකි. රටේ නීතිය සැමට ම පොදු යයි සඳහන් වුවත් මෙම තත්ත්වයන් තුළ එසේ සිදු වන්නේ නැත. සැම විට ම බලයේ සිටින කණ්ඩායම්වල වාසියට සමස්ත රාජ්‍ය සේවයේ කටයුතු සිදු වෙයි.
ඩිලාන් පෙරේරා වැනි මහ ලොකු ලිබරල් ප‍්‍රජාතන්වාදීන් ලෙස පෙනී සිටිමට උත්සාහ කරන පුද්ගලයින් රාජ්‍ය සේවය ප‍්‍රකෘතිමත් කළ බව පවසන්නේ 17 වන සංශෝධනය ඉවත් කර සම්පූර්ණයෙන් ම දේශපාලන ග‍්‍රහණයට ලක් කළ මෙම 18 වන සංශෝධන ක‍්‍රියාවලිය යි.
18 වන සංශෝධනය මගින් උත්සාහ කරන්නේ පොලීසිය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම පවතින ආණ්ඩුවේ එහෙයියන් බවට පත් කිරීම නොවේ ද? මෙ වැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී සිදු වනු ඇත්තේ පවතින ආණ්ඩු වෙනුවෙන් හොඳට කඬේ යන නිවට අතලොස්සක් පුද්ගලයන්ට ඉහළ තනතුරු හිමි වී යම් හෝ පිට කොන්දක් ඇති පුද්ගලයන් ඉවතට විසි වීම ය. අද මුළු රටේ ම හැම ක්ෂේත‍්‍රයක ම පවතිනවා සේ සුදුස්සන් ඉවතට විසිවී පුස්සන් රටේ බල පරක‍්‍රම විදහා පෑම ය. මෙවැනි වාතාවරණයක් තුළ අනාගතයේදී අති බහුතරයක් රාජ්‍ය සේවකයින් කළකිරීමට පත්වීම නොවැලැක්විය හැකි ය. මෙය රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම කෙසේ වෙතත් අකාර්යක්ෂම, අන්ත දූෂිත නිළධාරි තන්ත‍්‍රයක් බිහි කිරීමට නම් මග පාදනු ඇත.
ජන මාධ්‍ය හරහා බොරු පොර ටෝක් නොදී ”අපිට වැඩ කරගෙන යාමට අපේ පිරිසක් පත් කර ගැනීම අවශ්‍ය ය. ඒ නිසා මේ සංශෝධනය ගෙනාවා” යනුවෙන් කෙළින් ම ප‍්‍රකාශ කරන්නට බැරි මේ ගොයියලා එසේ නොකියා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරු ද නිළධාරීන් ලෙස පත් කරන්නේ තමන්ගේ හිතවත් අය බව පවසති. එය ඇත්ත ය. එහෙත් ඒ හැම අයෙක් ම සෙනේට් සභාවේ දැඩි අධීක්ෂණයට භාජනය වන බවත් ඔවුන්ගේ පත් වීම් ප‍්‍රතික්ෂේප කරන්නට සෙනෙට් සභාවට හැකි බවත් ඔවුහු නොකියති. ඇරත් ඇමෙරිකා එක්සත් ජනපදය යනු සෑම කේෂ්ත‍්‍රයක් ම ජාතික ප‍්‍රතිපත්ති තුළ ඉදිරියට යන සංවර්ධිත සමාජයක් ඇති, ක‍්‍රියා කාරී පුරවැසියන් සිටින රටකි. එම රට තුළ මොන පුද්ගලයා ජනාධිපති වුවත් කවුරු ඉහළ තනතුරුවලට පත් වූවත් ජාතික ප‍්‍රතිපත්ති තුළ කටයුතු කරනවා විනා තමන්ට උවමනා සේ කටයුතු කළ නොහැකි ය. ඔබාමා ද ගමන් කරන්නේ ඊට පෙර ජනාධිපතිවරු ගමන් කළ මාවතේ ම ය. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට එක ම ක්ෂේත‍්‍රයකවත් ජාතික ප‍්‍රතිපත්ති නොමැත. ලංකාව වැනි වැඩ වසම් මානසිකත්වයක් ඇති, හීනමානයෙන් පෙළෙන නොදියුණු සමාජයක කටයුතු කරන පුද්ගලයන්ගෙන් පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමක් බලාපොරොත්තු විය හැකි ද ?
No comments:
Post a Comment