මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, October 9, 2010

සමාව ඉල්ලන්න ඕන ද?



නීත්‍යානුකූල, පිළිගත් ක‍්‍රමයක් යටතේ සමාව ඉල්ලා සිටින්නේ නම් ජෙනරල් සරත් ෆොන්සේකාට සමාව දීමට හෝ ඒ ගැන සලකා බැලීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර ය. මෙවැනි ප‍්‍රකාශයක් ජනාධිපතිවරයාට කිරීමට සිදුව ඇත්තේ මෙම අසාධාරණ කි‍්‍රයාවට සමාජයෙන් නැග එමින් පවතින  විරෝධය නිසා මිස ඔහුගේ මනස තුළ ඇති වූ  සානුකම්පාවක් නිසා නොවේ.

විපක්ෂයේ මන්තී‍්‍රවරයෙකු ලෙස ෆොන්සේකා මහතාට සමාව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර පසුව ඔහු ජනාධිපතිවරයාගෙන් මෙය ලිඛිතව ද ඉල්ලා සිටියේ ය. මීට පෙර මා නායක හිමිවරුන් ද එමෙන් ම තවත් හිමිවරුන් ගණනාවක් ද කතෝලික බිෂොප් සම්මේලනය ද මෙම ඉල්ලීම කරනු ලැබිණ. මේ සියල්ලට ජනාධිපතිවරයාගේ පිළිතුර වී ඇත්තේ සරත් ෆොන්සේකාගේ පවුලෙන් ම එම ඉල්ලීම ආවොත් පමණක් ම සලකා බලන බව ය.

ජනාධිපතිවරයාගේ මනස කි‍්‍රයා කරන්නේ කෙසේ දැයි මෙයින් සිතා ගන්නට පුළුවන. කවරෙකු ඉල්ලා සිටිය ද සමාවක් අවශ්‍ය නම් ප‍්‍රතිවාදියා තමා ඉදිරියේ දණින් වැටී බැගෑපත් විය යුතු ය. නැතිනම් කිසිදු සමාවක් නැත! තම ප‍්‍රතිවාදියා නොකවුට් වෙන්නට පහර දීම හෝ අනුකම්පා විරහිතව පහර දෙන බව පෙන්වා තම දෙපතුළ ළ`ගට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ ක‍්‍රමය වී ඇත. මේ සඳහා විධායක ජනාධිපති ධූරයෙන් ලැබී ඇති අසීමිත බලතල කිසිදු හිරිකිතයකින් තොරව ඔහු යොදා ගන්නේ සරත් ෆොන්සේකාට පමණක් නොව  තමන් සමග හැප්පෙන්න එන  ඕනෑම කෙනෙකුට අත්වන ඉරණම මේ යයි කියා පාමිනි. මෙය ඔහුගේ දේශපාලන සදාචාරය යි!

මෙවැනි මනෝභාවයකින් පෙළෙන හා කි‍්‍රයා කරන ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා පාර්ශවයෙන් ”නිසි” ඉල්ලීමක් ලැබෙන තෙක් පුල පුලා බලා සිටීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව පැහැදිලි ය.

නිදහස් දිනය, වෙසක් පොහොය, ජනාධිපති පදවි ප‍්‍රාප්තිය වැනි දිනයන්හි සිරකරුවන් සාමුහිකව නිදහස් කරන්නේ සියලූ දෙනාම ඉල්ලා සිටි නිසා දැයි අපි නොදනිමු. මෙය මේ රටේ ජනාධිපති ධූරය දැරූ සෑම අයෙක් ම කර ඇති දෙයකි. මහින්ද රාජපක්ෂ මහතා ද තම පස් වසර තුළ සැලකිය යුතු සිරකරුවන් පිරිසකට සමාව දී ඇත. ඒ අතර යුද අධිකරණ මගින් ද`ඩුවම් ලැබූ පුද්ගලයන් පමණක් නොව ද්විත්ව මිනීමැරුමකට බන්ධනාගාරගත කර සිටි වත්මන් කැබිනට් ඇමතිවරයෙකුගේ බිරිඳක් ද සිටිති.

ජනාධිපතිවරයාට සමාව ලබා දීමට අවශ්‍ය බලය තිබිය දී ම ඔහු කේවෙල් කරමින් සිටින්නේ සරත් ෆොන්සේකා තම දෙපතුළ ළ`ගට ගෙන්වා ගෙන සමාව ලබා දීමට ය. මේ  මාධ්‍ය හා ඔහුගේ බුද්ධිමය කේවට්ටයින් යොදා ගනිමින් තවත් මහ ලොකු වීරකමක් කළා සේ මුළු ලෝකයට ම අ`ඩ බෙර ගැසීමට මිස ඔහුගේ ගරු කටයුතු දේශපාලන සදචාරයක් නිසා නොවේ.

යුද අධිකරණය මගින් ලබා දෙන තීන්දු පිළිබඳ  අභියාචනා කිරීමේ හැකියාවක් ඇති බව මෙම යුද අධිකරණ පිහිට වූ අවස්ථාවේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක හා රජයේ මැති ඇමතිවරු ප‍්‍රකාශ කළෝ ය. ජී. එල්. පීරිස් මහතා ප‍්‍රකාශ කළේ ෆොන්සේකා මහතාට සෑහීමකට පත් විය නොහැකි නම් අභියාචනාධිකරණයකට යා හැකි බවකි. නමුත් දැන් ආණ්ඩු පාර්ශවයෙන් ප‍්‍රකාශ කරන්නේ ඊට ප‍්‍රතිවිරුද්ධ දෙයකි. ජනාධිපති පත් කළ යුද අධිකරණයක් දුන් තීරණයක් ජනාධිපති අනුමත කළ පසු වෙනත් කිසිම අධිකරණයක ඒ පිළිබඳව ප‍්‍රශ්න කළ නොහැකි අතර සමාව ලබා දෙන්නේ නම් එය කළ හැක්කේ ජනාධිපතිවරයාට ම පමණක් බව ය.

ලක්ෂ්මන් සෙනෙවිරත්නට හා ජොන්්ස්ටන් ප‍්‍රනාන්දුට දුර කතන ඇමතුම් ලබා දී විශ‍්‍රාම ගිය පසු දේශපාලනය කිරීමට උදව් ඉල්ලා සිටි බව කියන සාක්ෂියක් නොව හුදු  ඕපාදුපයක් නිසා පළමු යුද අධිකරණය සරත් ෆොන්සේකා වරදකරුවෙකු කර ජෙනරාල් පදවිය, විශ‍්‍රාම වැටුප ආදී සියල්ල ම අහෝසි කළේ ය. ලක්ෂ්මන්ලා ජොන්ස්ටන්ලා වැන්නන්ගේ මේ වැනි සාක්ෂි සෙල්ලම් අධිකරණයක දී වත් පිළි ගැනීමට බැරි ඒවා ය. එහෙත් රාජපක්ෂ ජනාධිපතිගේ යුද අධිකරණයට ඒවා මහාර්ඝ සාක්ෂි ය!

කැමරා කිහිපයක් ඇතුළු සෙසු උපකරණ ස්වල්පයක් හමුදාවට ගෙන්වා ගැනීමේ දී එය සැපයූ සමාගමේ තම බෑණා සිටින බවට හෙළි නොකිරීමේ වැරද්දට දෙවෙනි යුද අධිකරණය හිටපු හමුදාපතිවරයාව බරපතල වැඩ ඇතිව මාස 30 කට සිර ගත කළේ ය. මෙම නඩුව ඇසූ සමහර විනිසුරුවන් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටි කාලය තුළ විවිධ වැරදිවලට චෝදනා ලැබුවන් බවට කරුණු ඉදිරිපත් ව තිබේ. එලෙස සරත් ෆොන්සේකා ඔවුන්ගේ ද විරුද්ධවාදියෙකි. ඔවුන්ව විනිසුරුවන් ලෙස පත් කිරීමට ඔහුගේ ප‍්‍රතිවාදියාවූ ජනාධිපතිවරයාට නිර්දේශ කළ හමුදාපතිවරයා ද ඔහුගේ ප‍්‍රබල විරුද්ධවාදියෙකි. හමුදාපතිවරයා නියෝග ලබන්නේ  සරත් ෆොන්සේකා එල්ලා දැමිම යුතු යයි කියන ජනාධිපති සොහොයුරු ආරක්ෂක ලේකම්වරයාගෙනි.

ඉතිං මේ සියලූ දෙනාගේ නිෂ්පාදිතයක් වූ යුද අධිකරණයන්  මගින් දුන් මෙම තීන්දු අසාධාරණ නඩු තීන්දු ගැන කතා කරන විට නිතර ගෙන හැර පාන කැකිල්ලේ තීන්දුවලට සම කරන්නේ නම් එය කැකිල්ලේ තීන්දුවලට කරන දරුණු අපහාසයකි. කැකිල්ලේ රජු විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීම සඳහා තීන්දු දුන්නේවත් කැලෑ නීතියට අනුව ක‍්‍රියා කරන අධිකරණ පත් කළේවත් නැත.

ජෙනරාල් සරත් ෆොන්සේකාට සමාව ඉල්ලන්නැයි බල කරන්නේ කැලෑ නීති යටතේ දුන් කැලෑ යුද අධිකරණ තීන්දු ෆොන්සේකා ලවා ම යුක්ති යුක්ත කරවා ගෙන සියලූ විරුද්ධවාදීන් මෙල්ල කරලීමේ උපක‍්‍රමයක් ද වශයෙනි.

අද ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ දේශපාලනය වී ඇත්තේ ප‍්‍රතිවාදීන් විනාශ කිරීම, හීලෑ කිරීම හා පලවා හැරීම යන ප‍්‍රතිපත්තිය යි. දේශපාලනයේ දී ප‍්‍රතිවාදීන් පැරදවීම සාමාන්‍ය දෙයක් වන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක එය කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හා ශිෂ්ට සම්පන්න ලෙස ය. එසේ නොමැතිව මර්දන නීති රීති, පැහැර ගැනීම්, මරා දැමීම්, හිරේ දැමීම් හා කැලෑ නීති යොදා ගැනීමෙන් නොවේ. එවැනි කි‍්‍රයා දේශපාලන පාපීන්ගේ් නරුම හා පිළිකුල් සහගත ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියා ය. දේශපාලන මන්ද මානසිකයන්ගේ අශිෂ්ඨ හා අධම දේශපාලන ක‍්‍රියා ය. සරත් ෆොන්සේකා මේ අධම දේශපාලන සංස්කෘතියේ එක් ගොදුරක් හා ගොදුරක සංකේතයක් පමණි. සරත් පොන්සේකාගේ දේශපාලනයට අපි එක`ග නොවෙමු. නමුත් රට තුල පවතින සියළු නීති රීති බිඳ දමමින් ආණ්ඩුව සිදුකරනු ලබන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලියට අපි විරුද්ධ වෙම.ු එබැවින් මෙම අධම අශිෂ්ඨ දේශපාලනය පැරදවීමට පෙළ නොගැසෙන්නේ නම් රාජපක්ෂ තන්ත‍්‍රයට අභියෝග කරන  ඕනෑම පුද්ගලයෙකුට, පක්ෂයකට හෝ සංවිධානයකට සරත් ෆොන්සේකා මුහුණ දෙන ඉරණමට මුහුණ දෙන්නට  සිදුවෙනවා ඇත.

No comments:

Post a Comment