මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Sunday, October 24, 2010

හිරේ දමා සමාව ඉල්ලන්නැයි කීමේ කලාව

ජනාධිපති රාජපක්ෂ තමන් සෝබෝන් අයෙකු නොව මෙහෙබෝන් අයෙකු බව මතක තබා ගන්නැයි ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සමාලෝචන රැුස්වීමක දී සිය පාක්ෂික ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකුට පසුගිය දා පැවසා ඇත. හරියට ම හරි ය. ඔහු නියම මෙහෙබෝනයෙකි. ඔහුගේ ක‍්‍රමය මෙහෙබෝන් ක‍්‍රමය යි. එනම් මෙහෙබෝන්වාදය යි. දැන් ඔහුගේ  පාලනය යටතේ සියල්ල සිදු කෙරෙන්නේ මෙම මෙහෙබෝන්වාදයට අනුව ය.


මෙම මෙහෙබෝන්වාදය විවිධ කලාවන්ගෙන් අනූන ය. මෙම සියලූ කලාවන් බලය,  ධනය හා අනුහස සිය අත්හි හා සිය ගජ මිතුරන් අත්හි පමණක් රඳවා ගැනීමේ හා ගොඩ ගසා ගැනීමේ නොතිත් උවමනාව මුදුන් පමුණුවා ගැනීම උදෙසා ම නිර්මාණය කර ගත් ඒවා ය.


විරුද්ධවාදීන් බොරු චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන නඩු අසා හිරේ දමා  සමාව ඉල්ලනැයි කීම මෙම මෙහෙබෝන්වාදයේ දහසකුත් එකක් කලාවන් ගෙන් එක් කලාවකි. මෙම කලාව භාවිතයට නැගීමේ ආරම්භය සනිටුහන් වූයේ තමාගේ ප‍්‍රධාන හා අභියෝගාත්මක ප‍්‍රතිවාදියා ලෙස නැගී එමින් සිටි ජෙනරාල් ෆොන්සේකා අත් අඩංගුවට ගෙන යුද අධිකරණ හමුවට පමුණුවා වරදකරු කොට සිරගෙයි ලා සමාව ඉල්ලා සිටියොත් සමාව දෙන්නෙමැ යි ප‍්‍රකාශ කිරීමත් සමගිනි.


ජෙනරල් සරත් ෆොන්සේකාට එරෙහිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාණන්  යුද අධිකරණ පිහිට වූයේ ප‍්‍රතිවාදියාගෙන් පලි ගැනීමේ කිසිදු චේතනාවකින් නොවන බව එතුමාගේ ද  එතුමාගේ පරිවාර මැති ඇමති තුමන්ලාගේ ද ශී‍්‍ර මුඛවලින් දෙසා වදාරණ  රුවන් වැකිවලින් ප‍්‍රකාශිත වේ. ඉතාමත් ම මෛතී‍්‍ර චේතනාවෙන් යුක්තිය හා නීතිය පිහිටුවීමේ පරම අභිලාෂයෙන් එතුමාණන් විසින් යුද අධිකරණය පිහිටුවන ලද බව පැවසේ! එවැනි වූ අධිකරණයක් හමුවේ බිඳ හෙළිය නොහැකි සේ සමාව දිය නොහැකි සේ ඔප්පු වූ වැරදි හේතුවෙන් වැරදිකරු කොට ද`ඩුවම් නියම කිරීම හැර වෙනත් ගත හැකි කිසිදු විකල්පයක් එතුමාට තිබුනේම නැති බව කියවේ! ඒ  නිසාම යුද අධිකරණය  විසින් නිස්සරණාධ්‍යාසයෙන් දෙන ලද තීන්දුවකට අත්සන් කිරීම හැර එය  නොතකා හැරිය හැක්කේ කෙසේදැයි ජනාධිපති තුමෝම ප‍්‍රශ්න කරති. එනමුත්  අන් කවුරුවත් නොව සරත් ෆොන්සේකා හෝ පවුලේ අය සමාව ඉල්ලන්නේ නම්  සමාව දීමට එතුමාණන්ගේ ඇති සූදානම ප‍්‍රකාශ කර තිබේ! පුදුමාකාර මෛතී‍්‍ර සිතකි! මෙබඳු සිතක් පහළ විය හැක්කේ මෙහෙබෝන් තුමකුට ම පමණක් ම ය.


මහින්ද තන්ත‍්‍රයේ මෙම  සංවේදිතාව හා මෛතී‍්‍ර චිත්තය අමූලික ව්‍යාජ රංගනයකි. හීනවෙමින් යන සිය ප‍්‍රතිරූපය වෙනත් ක‍්‍රමයකට ගොඩ නගා ගැනීමට යොදා ගන්නා මෙහෙබෝන්වාදී කූටෝපායකි.


මේ කලාවේ ඊළ`ග අවස්ථාව එළඹෙන්නේ සරසවි සිසුන් සම්බන්ධයෙනි. උසස් අධ්‍යාපන ඇමතිවරයාට හූ  කීමේ වරදට පේරාදෙනි සරසවියේ ශිෂ්‍ය නායකයන් හතර දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.  එසේ සිර කර නිදහස අවශ්‍ය නම්  සමාව ඉල්ලිය යුතු යයි ලෙස කියා සිටියි. මෙහෙබෝන් ක‍්‍රමයට අනුව හූ කීමත් හිරේ විලංගුවේ දැමීමට තරම් බරපතල වරදකි! හැබැයි සමාව ඉල්ලූවොත් නිදහස ලබන්නට පුළුවන! දැන් මේ යන විදියට ඇමතියෙක් පමණක් නොව මැතියෙක් යන විට වුව අයෙකුට හදිසියේ කැස්සක් ඇති වුවොත් මහ උළු ගෙදර නේවාසිකව සමාව ගන්නට සිදු වනු ඇත. එය මෙම කලාවේ ස්වභාවය යි.


අප‍්‍රසිද්ධියේ කරන තර්ජන බියවැද්දිම් හා ආර්ථික අවහිරතා මගින් මෙල්ල නොවන ප‍්‍රධාන පෙළ විරුද්ධ පාක්ෂිකයන්ට  එරෙහිව මෙම කලාව ඉදිරියේ දී නැවත නැවතත් භාවිතයට නගනු ඇති බව නිසැක ය.


හිරේ දමා සමාව ඉල්ලන්නැයි කීමේ කලාව ප‍්‍රතිවාදීන් නිවටුන් හා වහලූන් බවට පත් කිරීමේ මෙහෙබෝන්වාදී කලාවකි. මේ කලාවේ  භාවිතයට එරෙහිව අදීනයින් ලෙස මුහුණ දීම එහි ගොදුරු බවට පත් වන්නන්ගේ වගකීම ය. ඔවුන්ට සවියක් වන සේ මෙම භාවිතයට එරෙහිව නැගී සිටීම සෙසු ජනයාගේ වගකීම ය.

No comments:

Post a Comment