මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, April 28, 2012

1978- 2012 ජවිපෙ ගමන් මග කෘතිය පිළිබඳ සංවාදයට ප‍්‍රවේශයක්


 


  පි‍්‍රය සහෝදරවරුනි, සහෝදරියනි,

පළමුවෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් එළි දක්වනු ලැබ ඇති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳ ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සඳහා වන කෘතිය - 1978 -2012 ජවිපෙ ගමන් මග කෘතිය පාදක කර ගෙන ගොඩ නැගීමට අදහස් කරන කතිකාවතක ආරම්භක අවස්ථාවට පීපල්ස් මාච් සංවිධානයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපේ සහෝදරාත්මක ස්තුතිය  පළ කරමු. 

මෙය සැබවින්ම කදිම ආරම්භයක් යයි අපි සිතමු. මෙවැන්නක් වමේ ඉතිහාසයේ මින් පෙර දක්නට නොලැබුණු භාවිතාවකි. මෙය හදා වඩා පෝෂණය කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු නව සංස්කෘතියක ප‍්‍රවේශයක් ලෙස හඳුන්වා දීමට අපි කැමැත්තෙමු. සැබවින්ම මෙය එඩිතර පියවරකි, ආදර්ශයකි.  පි‍්‍රය සහෝදරවරුනි, සහෝදරියනි, මෙවන් ප‍්‍රවේශයක් ගැනීම ගැන අපි ඔබව බෙහෙවින් අගය කරන බව, අපගේ ගෞරවාදරයට ඔබ පාත‍්‍ර වන බව දැඩි සහෝදරත්වයෙන් යුතුව ප‍්‍රකාශ කරමු.



පක්ෂයක් හෝ සංවිධානයක් සිය දේශපාලනය පිළිබඳ ස්වයං විවේචනයක යෙදීම එම පක්ෂය හෝ සංවිධානය  කොතෙක් දුරට තම දේශපාලනයට, තම සාමාජිකත්වයට හා ජනතාවට තම යුතුකම් සැබවින්ම ඉටු කරනවා ද නැද්ද යන්න පිළිබඳ අතිශය වැදගත් නිර්ණායකයකි. ස්වයං විවේචනය යනු කළ වැරදි ගැන කරන පාපෝච්චාරණයක් නොවේ, පව් කමා කිරීමක් නොවේ. එය පක්ෂයක් හෝ සංවිධානයක් ස්වකීය වැරදි හඳුනා ගැනීමට හා නිවැරදි කර ගැනීමට භාවිතා කරන අවියයි. එසේම ස්වයං විවේචනය හා විවේචනය දැනුම පිළිබඳ න්‍යායේ ද කොටසක්. එමගින් අපේ භාවිතාව පිරික්සා බැලෙනවා. භාවිතාවේ අඩුපාඩු හා වැරදි නිවැරදි කර ගැනීමට මාර්ගය සකසනු ලබනවා. පක්ෂයක් හෝ සංවිධානයක් පවතින්නේ පවතින සමාජ ක‍්‍රමය තුළයි. ඒවා තුළ අනිවාර්යයෙන්ම සමාජයේ පවතින දේවල් පිළිබිඹු වෙනවා. ධනේශ්වර හා සුළු ධනේශ්වර අදහස්, චර්යාවන්, හුරු පුරුදු ගලා ගෙන එනවා. මේවා පරාජය කරන්න නිරන්තර අරගලයක් පක්ෂය තූළ, සංවිධානය තුළ තියෙන්න  ඕන. එක පැත්තකින් දෘෂ්ටිමය අරගලය තියෙන්න  ඕන. අනෙක් පැත්තෙන් විවේචනය ස්වයං විවේචනය තියෙන්න  ඕන. විවේචනය ස්වයං විවේචනය කියන්නෙත් අවසානයේ දෘෂ්ටිමය අරගලයේ කොටසක්. ඒ නිසා එය විද්‍යාත්මක පදනමක් මත පිහිටන්න  ඕන. ඒ තුළ අනුරාගය තියෙන්න බැහැ. ඒ තුළ යථා ප‍්‍රශ්න වලින් මග හැර යන්න බැහැ. ඒ තුළ උඩින් පල්ලෙන් දුවන්න බැහැ. ඒ තුළ සුළු හෝ වංක භාවයකට ඉඩක් තිබෙන්න බැහැ. සතුරා ප‍්‍රයෝජනයට ගනීවි කියා සමහර වැරදි කතා නොකර ඉන්න බැහැ. සහෝදරවරුනි, සහෝදරියනි,  මේ පිළිබඳව ලෙනින් කියන දෙය ගෙන හැර දක්වන්න අප කැමතියි.

”අප පුහු කතා ගෙතීමෙහි නිරත නොවිය යුතු ය. අරගලය වඩාත් හොඳට සංවිධානය කිරීම සඳහා කරන ලද වැරදිවලින් නිසි පාඩම් උගත යුතු ය. සතුරා ඉදිරියේ පවා අපි අපේ වැරදි සැ`ගවිය යුතු නොවේ. මෙයට බියවන කිසිවෙක් විප්ලවවාදියෙක් නොවේ. එහෙත් එයට ප‍්‍රතිලෝමව අප විවෘත ලෙස කම්කරුවන්ට මෙසේ ප‍්‍රකාශ කළ යුතු ය. එසේය අපි වැරදි කර ඇත්තෙමු. මෙහි තේරුම මේ වැරදි යළිත් නොකරනු ඇති බව ය.’’
                      ලෙනින් - තෝරාගත් කෘති 12 (සිංහල  34 පිටුව)

ඔබ ද කියන පරිදි වමේ ව්‍යාපාරය නිවැරදිම ආස්ථානයක් මත පිහිටු විය යුතු මොහොතක හා ඒ වෙනුවෙන් පුළුල් කතිකාවක් සමාජ ගත කළ යුතු මොහොතක ස්වයං විවේචනාත්මකව සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට යොමු වීම ගැන ද ඔබේ කි‍්‍රයාකාරිත්වයන් පිළිබඳව සහෝදර පක්ෂ හා සංවිධානවලින් පමණක් නොව වගකීමක් සහිත වෙනත් සංවිධාන හා පුද්ගලයින්ගෙන් ද සහෝදරාත්මක විවේචන අපේක්ෂා කිරීම ගැන ද අපි අවංකවම සතුටු වෙමු. එය ඔබේ අනාගත ගමන් මග පිළිබඳ සාධනීය සංඥාවකැයි අපට හැ`ග්.

සහෝදරවරුනි, සහෝදරියනි, ඔබේ ආරාධනාවට අනුව ජවිපෙහි සිටි කි‍්‍රයාකාරී බලවේගයක් වශයෙන් ඔබ ජවිපෙ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ස්වයං විවේචනය පිළිබඳව අපේ අදහස් හා සහෝදරාත්මක විවේචන ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. මෙය මෙම අවස්ථාවේ සංවාදයට නියමිත කාලය, අවකාශය හා පරිමාණය අනුව ප‍්‍රවේශයක් මිස සම්පූර්ණ ඉදිරිපත් කිරීමක් නොවේ. දැනටමත් අපි එක්තරා දුරකට මේ හා අදාළ මැදිහත් වීම් කර ඇත්තෙමු. ඒ ඔබගේ ස්වයං විවේචනය එළි දැක්වීමට පෙර ජන අරගල ව්‍යාපාරයට අභියෝගයක් වන ජවිපෙ උරුමය යන පොත් පිංච හා තවත් ලියවිලි කීපයක් මගිනි. මෙම සංවාදයෙහිලා ඔබට ඒවා ප‍්‍රයෝජනයක් වනු ඇති බව අපගේ හැ`ගීම ය. අප මෙහිදී බර තබන්නේ ඔබව අගැයීමට වඩා ඔබේ ප‍්‍රවේශය පිළිබඳව අපගේ විවේචන ඔබ හමුවේ තබන්නට ය. අපි කාල සීමාවට අනුව කීපයකට  යමු.

1. ඔබගේ ස්වයං විවේචනය ස්වයං විවේචනයට ප‍්‍රමාණවත් නිසි බරෙන් යුතුව කර නොමැති බව අපගේ අදහස ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වන ඔබ ජවිපෙ පිළිබඳව කර ඇති ස්වයං විවේචනයෙහි මෙතෙක් පැවති තත්ත්වයන්ට සාපේක්ෂව සාධනීය ලක්ෂණ රාශියක් පිළිබිඹු කෙරෙන බව අපි දකිමු. එය සැබවින්ම ප‍්‍රගතිගාමී සංවර්ධනයකි. එසේ වුව ද ඔබට මුහුණ දීමට සිදුව ඇති සංයුක්ත හා ප‍්‍රායෝගික තත්ත්වයන් කිහිපයක් නිසා දෝ් ඔබගේ ස්වයං විවේචනයේ දී ඔබට අධි පරිස්සමකින් හා කිසියම් සම්මුතිවාදී ආකාරයකින් කටයුතු කරන්නට සිදුව ඇති බවක් අපි නිරීක්ෂණය කරමු. ඔබට තවමත් ඇතැම් ප‍්‍රශ්නවලදී මතවාදී ඒකාග‍්‍රතාවකින් කටයුතු කරන්නට නොහැකි වී ඇති බවක් ද දිස්වෙයි. ඒ අනුව ඔබේ ස්වයං විවේචනය ඊට සරිලන නිසි ගුණයකින්, සන්ධාරයකින්, ආඪ්‍යබවකින්  හා ආකාරයකින් ගැනීම අසීරු වී ඇති බව අපි නිරීක්ෂණය කරමු.

”අප විසින් සිදු කරනු ලබන ස්වයං විවේචනයක් මගින් පක්ෂයේ නිර්මාතෘ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අනෙකුත් දිවි පි¥ හා මෙම ව්‍යාපාරය හමුවේ වෙනත් සුවිශේෂ කැපකිරීම් හා දායකත්වයන් පුද කළ වීරවරියන්ගේ හා වීරවරුන්ගේ කාර්යභාරය අවතක්සේරු වීමක් හෝ ඔවුන්ට යම් කිසි ආකාරයක අගතියක් සිදුවේය යනුවෙන් පවතින අනුරාගී හැ`ගීම මෙම ව්‍යායාමයේ දී කිසිසේත්ම බාධාකාරී නොවිය යුතු ය.”

යනුවෙන් ඔබ කියා සිටිය ද සැබවින්ම ඔබ පක්ෂය තුළ,  ඔබ සාමාජිකත්වය තුළ ඇතැම්විට නායකත්වය තුළම පවතින එම අනුරාගික හැ`ගීම බාධාවක් නොකර ගන්නට, අතික‍්‍රමණය කරන්නට ඔබට අසීරු වී තිබෙන බව හා එය කළමනාකරණය කරන්නට ඔබට සිදුවී තිබෙන බව ඔබගේ කෘතිය නිරීක්ෂණය කිරීමේ දී අපි දකිමු. මෙහිලා අපට ඔබ මුහුණ දෙන උභතෝකෝටිකය තේරුම් ගන්නට හැකි නමුදු එය ඔබට සැබෑවටම ඉදිරියට යන්නට බාධා කරන අවහිරයක්ව තිබෙන බව පවසනුයේ් සහෝදරාත්මක විවේචනයක් ලෙසිනි.

2. ස්වයං විවේචනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ පංති ස්වභාවය විද්‍යාත්මක ප‍්‍රවේශයකින් හඳුනා ගන්නට ඔබ අසමත්ව ඇති බව පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ස්වයං විවේචනයක දී මග හැර යා නොහැකි ප‍්‍රමුඛ කාරණයක් වන්නේ එහි පංති ස්වභාවය කුමක් ද යන්න ය. ඒ බව ඔබ විසින් ද පිළි ගනු ලබන බව ”ජනතා විමුක්ති පෙරමුණ 1965 දී එය බිහි වූ මොහොතේ සිටම නව දේශපාලන සම්ප‍්‍රදායක් ගොඩ නැගුවේය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන් ස්ථරයන්ගේ පංති පදනම් ද අනිවාර්යය බලපෑමක් සිදු කරන්නට ඇති බව නිසැකය.”(පෙරවදන 7 පිට) යනුවෙන් කියන විට අදහස් කෙරෙන බව අපේ හැ`ගීම ය.

ජනතා විමුක්ති පෙරමුණේ පංති පදනම කුමක් ද?

සහෝදරවරුනි, සහෝදරියනි,

ඔබට අනුව නම් ජනතා විමුක්ති පෙරමුණ නිර්ධන පංති පක්ෂයකි.

”....රෝහණ විජේවීර සහෝදරයා ද ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගෙන් බහුතරයක් නිර්ධන පංතියෙන් හා ග‍්‍රාමීය පීඩිතයන් අතරින් බිහි වූ අය වූහ.... ජනතා විමුක්ති පෙරමුණ නිර්ධන පංතිය සතු  අසම්මුතිකාමිත්වයේ ගුණය වමේ ව්‍යාපාරය තුළ ස්ථාපිත කිරීමට සමත් විය.... ජනතා විමුක්ති පෙරමුණ තුළ නිර්ධන පංතියේම ලක්ෂණ ලෙස පැවති දුබලතා සහ නොදියුණුකම්ද පරාවර්තනය විය. ”(පෙරවදන  9 පිට) යනුවෙන් කියන විට එය පැහැදිලි වේ. තැනක ඔබ ජවිපෙ හඳුන් වනුයේ ”ලාංකේය නිර්ධන පංතියේ මුදුන් මල් කඩ වූ පක්ෂය” යනුවෙනි. මෙතැන ඇත්තේ පක්ෂය පිළිබඳ අනුරාගී අලංකාරික ප‍්‍රවේශයක් මිස සංයුක්ත විද්‍යාත්මක ප‍්‍රවේශයක් නොවන බව යථා කරුණු වලින් පෙන්වා දීමට අපට ඉඩ දෙන්න.

ඇත්තටම රෝහණ විජේවීරයන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගෙන් බහුතරයක් නිර්ධන පංතියෙන් හා ග‍්‍රාමීය පීඩිතයන් අතරින් බිහි වූ අය නොවේ.  ජවිපෙ පුරෝගාමීන් අතර නිර්ධන පංතිකයන් දෙතුන් දෙනෙකු සිටි බව ඇත්ත යි. එහෙත් ඒ කිසිවෙකු නායක මණ්ඩල තුළ සැබවින්ම නියෝජනය වූයේ නැහැ. ග‍්‍රාමීය පීඩිතයන්ගේ තත්ත්වය ද ඊට වෙනස් වුණේ නැහැ. ජවිපෙ නායකයන් වැඩි දෙනා පැමිණියේ නාගරික හා ග‍්‍රාමීය සුළු ධනේශ්වරය වෙතිනුයි. මොවුන්ගෙන් පීඩිතයින්ගේ නියෝජනයක් සිදුවූවා යයි කිව හැකි වුව ද කිසිසේත්ම නිර්ධන පංතිය නියෝජනය වූවා යයි කිව නොහැකි යි. මාක්ස්වාදී නිර්වචනයට අනුව නිර්ධන පංතිය යනු කම්කරු පංතිය යි, නූතන වැටුප් ශ‍්‍රමික පංතිය යි. ගම්බද වැටුප් ශ‍්‍රමිකයන් හැඳින්වෙන්නේ ග‍්‍රාමීය නිර්ධනීන් ලෙස යි. නිර්ධන පංතිය පිළිබඳ මාක්ස්වාදී නිර්වචනයට අනුව ජවිපෙ නායකයින්ගේ පමණක් නොව සාමාජිකත්වයේ බහුතරය ද  නිර්ධන පංතිය අතරින් ආ අය වුණේ නැහැ. ඒ නිසා ඉහත දැක් වීම කරුණු වශයෙන් ගත්තම නිවැරදි නැහැ.

පංති පදනම වැදගත්. ඒත් වඩා වැදගත් වන්නේ ජවිපෙ නායකයින් නිර්ධන පංතිය අතුරෙන් ආවා ද නැද්ද යන්න නොවෙයි. නිර්ධන පංති මතවාදයෙන් සන්නද්ධව නිර්ධන පංති වැඩ පිළිවෙළක් හා නිර්ධන පංති දේශපාලන කි‍්‍රයා මාර්ගයක් වෙනුවෙන් කැපවී කි‍්‍රයා කළා ද යන්නයි. එසේ කි‍්‍රයා කරන   ඕනෑම පංතිකයෙකුට නිර්ධන පංති පක්ෂයක සාමාජිකයෙකු විය හැකි යි. නායකයෙකු විය හැකි යි. එහිදී කම්කරු පංති පදනමකින් ආවා ද නැතහොත් සුළු ධනපති පංති පදනමකින් ආවා ද යනු ප‍්‍රශ්නයක් නොවේ. නිදසුන් ලෙස ජාත්‍යන්තර නිර්ධන පංති පක්ෂවල ප‍්‍රමුඛතම නායකයන් වැඩි දෙනෙක් පැමිණියේ නිර්ධන පංතියෙන් නොවෙයි. ඔවුන් නිර්ධන පංති නායකයන් වූයේ භාවිතයේ දී නිර්ධන පංතියේ දෘෂ්ටිමය හා දේශපාලන නායකයන් බවට පත් වීම මගිනුයි.  ඕනෑම අයෙකුට එසේ නිර්ධන පංති නායකයෙකු වන්නට  පුළුවන්. එහෙත් මාක්ස්, එංගල්ස්, ලෙනින්, කෞට්ස්කි, ප්ලෙකනොව්,  (පසු කලක දී ඔවුන් ඉවත හැරීම වෙනම කාරණයකි), රෝසා ලක්සම්බර්ග්, කාල් ලීබ්නෙක්ට්, ට්‍රොට්ස්කි, ප්ලෙකනොව්, කමනෙව්, සිනොවිව්, මා  ඕ  වැන්නන් ආවේ නිර්ධන පංතිය අතරෙන් යයි කීවොත් එය නිවැරදි වේ ද? අනෙක් අතින් නිර්ධන පංතියේ බහුතරයක් නියෝජනය වූ පමණින් පක්ෂයක් සැබැ නිර්ධන පංති පක්ෂයක් වන්නේ නැහැ. නිර්ධන පංතිය ද ධනපති ක‍්‍රමය තුළ බොහෝ කලක් තිස්සේ දෘෂ්ටිමය වශයෙන් සුළු ධනේශ්වර වී තිබීම ඊට හේතුව යි.  

    

ඉතින් අපි විශේෂ කොට සලකා බැලිය යුත්තේ ජවිපෙ නිර්ධන පංති පක්ෂය යයි කියන විට ඊට නිර්ධන පංති දෘෂ්ටිවාදයක්, නිර්ධන පංති වැඩ පිළිවෙලක්, නිර්ධන පංති දේශපාලන කි‍්‍රයාමාර්ගයක්, නිර්ධන පංති විප්ලවීය උපාය මාර්ගයක් හා උපක‍්‍රම තිබුණා ද යන්න යි. අප දන්නා පරිදි ජවිපෙට තිබුණු වැඩ පිළිවෙලවල් ආදිය නිර්ධන පංති විප්ලවීය ඒවා උනේ නැහැ. එසේ වූවා නම් විප්ලවය සඳහා අවශ්‍ය විෂය මූල හා මනෝමූල තත්ත්වයන් කිසිසේත්ම නොමෝරා තිබිය දී 71 අපේ‍්‍රල් වැනි වකවානුවක අපි නිර්ධන පංති විප්ලවයේ නාමයෙන් කැරලි ගසා නැගී සිටින්නේ නැහැ.  එසේ නැගී සිටීමෙන්ම පෙන්නුම් කරන්නේ අප එවැනි පක්ෂයක් නොවු බව නොවේ ද? අපේ වැඩ පිළිවෙලවල් හා කි‍්‍රයා මාර්ග ආදිය නිර්ධන පංති විප්ලවීය ඒවා නොවූ බව නොවේ ද? අප ඉදිරියේ දී මේ පිළිබඳව තව දුරටත් සාකච්ඡුා කරමු.

3. ස්වයං විවේචනය 78න් පසුවට ගැනීමෙන් ඔබ 78 පෙර ජවිපෙ වැරදි දැකීමෙන්  වැළකී සිටීමට උත්සාහ දරා ඇති බවක් 78 පෙර වකවානුව ප‍්‍රශ්න විරහිතව ආරක්ෂා කරන බවත් පෙන්නුම් කරන බවයි අපේ අදහස.

ජනතා විමුක්ති පෙරමුණ ”1971 න් පසු සමාජය ඉදිරියේ ස්වයං විවේචනයක් ඉදිරිපත් කර වැරදි නිවැරදි කර ගැනීම සඳහා ධෛර්යයක් හා දෘෂ්ටියක් පෙන් වූ” බව ඔබ කියනවා. මෙය කොතෙක් දුරට නිවැරදි ද? යථා කරුණ නම් 76 දක්වාම කෙරුණේ නොයෙකුත් හේතු ගෙන හැර පාමින් ස්වයං විවේචනය මග හැරීම යි. ප‍්‍රථම වරට ස්වයං විවේනයක් නම් ලියවිල්ලක් ඉදිරිපත් කරනුයේ 71 අරගලයෙන්  අවුරුදු පහකට පසු 1976 දී යි. 1976 ට පෙර ඔබට ජවිපෙ සම්බන්ධ විවේචනයක් මග හැරෙන්නේ කෙසේ ද? 76 ඉදිරිපත් කළ 78 දී ප‍්‍රකාශයට පත් කළ 71 අපේ‍්‍රල් දෙස ස්වයං විවේචනාත්මක ලෙස ආපසු හැරී බලමු  යන  ලියවිල්ල මගින් ඉදිරිපත් කරන දේවල් ඔබ නිරවශේෂයෙන් පිළි ගන්නා නිසා ද? ඔබ ඉදිරිපත් කරන ආකාරයෙන් පෙනී යන්නේ එකී ලියවිල්ලත් ඔබේ ස්වයං විවේචනයත් එකට ගත් කල එය ජවිපෙ පිළිබඳ සමස්ත ස්වයං විවේචනයක් බවට පත්වන බවයි.  76 ස්වයං විවේචනය සැබෑ ස්වයං විවේචනයක් වූයේ නම් 76න් පසු ජවිපෙ ස්වකීය පූර්ව වැරදි නිවැරදි කර ගෙන නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් ලෙස නැගී වර්ධනය විය යුතුව තිබුණි. එහෙත් ජවිපෙ 1976 - 1983 වකවානුව යන කොටසෙහි එවැනි විශේෂත්වයක් පෙන්නුම් නොකරයි. ජවිපෙ මෙන්ම ඔබ ද කියන පරිදි මේ වකවානුව ජවිපෙ ස්වකීය වැරදි නිවැරදි කර ගත් හා පක්ෂ පාසලේ අවධියේ සිට බොල්ෂෙවික් පක්ෂ අවධියට පිවිසි වකවානුවයි. මේ කාලයේ පක්ෂය බොල්ෂෙවික් ලකුණ සලකුණු කළ බවට ඇති සාධක මොනවා ද?  ජවිපෙ බොල්ෂෙවික් වනු වෙනුවට 1982 වන විට ඔබේ ද ස්වයං විවේචනයට අනුව  වේගයෙන් මැතිවරණවාදය වෙතට තල්ලූ වෙයි. 1982 ජනාධිපතිවරණ පරාජයෙන් පසු පත්ෂය දරුණු කඩා වැටීමකට ලක් වෙයි. මැතිවරණවාදය හා අතිනත ගන්නා නිදහස්වාදය හා අරාජිකවාදය පක්ෂයේ ඉහළම ශ්‍රේණීන් දක්වා වර්ධනය වෙයි. සංවිධාන ක‍්‍රමවේදයත් සංවිධාන විනය හා පුද්ගල සදාචාරයත් මූල්‍ය සදාචාරයත් බිඳ වැටෙයි. ඉතින් බොල්ෂෙවික් බවට පත් වූ පක්ෂයක් මෙවැනි ඉරණමකට ඇද වැටෙන්නේ කෙසේ ද? මෙයින් පෙන්නුම් කරන්නේ පක්ෂය සැබවින්ම නිවැරදි වීමේ මාවතට අවතීර්ණ වූයේ නැති බව නොවේ ද? 76 පෙර පැවැති වැරදි අඛණ්ඩව පැවති බව නොවේ ද? පක්ෂය බොල්ෂෙවික් වූවාය යන්න හුදු අලංකාරිකයක් වූ බව නොවේ ද? මෙය 83 න් පසු වකවානුවෙහි ජවිපෙ ගමන් ගන්නා මාවතෙන් තව දුරටත් පැහැදිලි නොවේ ද?

4. 83 න් පසු වකවානුව එනම් 1983 - 1990 වකවානුව පක්ෂය තව දුරටත් පිරිහීමේ මාවතක් ඔස්සේ ගමන් කර ඇති බව ඔබ පිළි ගන්නා නමුත් එම පිරිහීම ඊට හිමි සන්ධාරයෙන් ද පෙර සම්බන්ධතාවයෙන් ද යුතුව විශ්ලේෂණය කර ඇති බවක් පෙනෙන්නට නැත.

ඇත්තෙන්ම ජවිපෙ පටු ජාතිකවාදය කරා පිවිසෙන්නේ මේ වකවානුවේ ය. ඔබ පවසන පරිදි සෝමවංශ - ටිල්වින් නායකත්වය යටතේ නොවේ. පටු ජාතිකවාදයට පිවිසීමට අවශ්‍ය කරන   දෘෂ්ටිමය පදනම නිර්මාණය කරනුයේ රෝහණ විජේවීරයන්ගේ ඊලම් අරගලයට විසඳුම කුමක් ද? යන කෘතියෙනි. මෙම කෘතිය මෙම වකවානුවේ ජවිපෙ පරිහානියට මග පෑදුවා වූ ද ජවිපෙ ජාතික ප‍්‍රශ්නයේ දී එළඹී සිටින පටු ජාතිකවාදී ආස්ථානයට දෘෂ්ටිමය පදනම දැමුවා වූ ද අත් පොතයි. මෙම කෘතිය මගින් අද දක්වා වූ ජවිප භාවිතයේ පමණක් නොව පෙරටුගාමී පක්ෂය වශයෙන් ඔබත් දරණ බව පෙනෙන ඇතැම් ස්ථාවරයන්ට අදාළ දෘෂ්ටිමය පදනම සපයනවා. ස්වයං නීර්ණයට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නේ මෙම කෘතියෙන්. දෙමළ ජාතික ප‍්‍රශ්නයේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික කොන්දේසි පිටු දකින්නේ මෙම කෘතියෙන්. එය සම්පූර්ණ වශයෙන් අධිරාජ්‍යවාදයේ අනුබල ලබන හුදු බෙදුම්වාදයකට ඌනනය කරන්නේ මෙම කෘතියෙන්.  නමුත් ඔබගේ ස්වයං විවේචනයේ දී මේ පිළිබඳව සඳහනක් හෝ නොකිරීම වටහා ගත යුත්තේ කෙසේ ද?

අනෙක් අතට මේ පරිහානියට බලපෑ සුවිශේෂ හේතුව වශයෙන් ඔබ දක්වන්නේ ”එක් පැත්තකින් අධිරාජ්‍යවාදයේ නව ලිබරල්වාදී දේශපාලන ප‍්‍රවේශයේ ලාංකේය පරාවර්තනය එහි මහේක්ෂ තලයේ දී හඳුනා ගනිමින් ඊට ප‍්‍රතිචාර දැක්වීමේ දේශපාලනයකට සීමාවීමටත් අනෙක් පැත්තෙන් අධිරාජ්‍යවාදයේ නව ලිබරල්වාදී දේශපාලන ප‍්‍රවේශයේ විෂයමූල සහ ඓතිහාසික පැන නැගීමට හේතු වූ තත්ත්වය පිළිබඳව පුළුල් සමාජ බලවේගයන් තුළ සාකච්ඡාවට නොගැනීමටත් සමාන්තරව  එහි ක්ෂුද්‍ර දේශපාලනය පිළිබඳ පක්ෂයට පුළුල් කියැවිමක් හා සංවේදී බවක් නොති බීම” ය.

එහෙත් පක්ෂය සැබවින්ම පරිහානියට ලක් වූයේ නව ලිබරල්වාදයේ මහේක්ෂ දේශපාලනයට සීමා වීමත් එහි ක්ෂුද්‍ර දේශපාලනය පිළිබඳ පුළුල් කියවීමක් හා සංවේදී බවක් පක්ෂයට නොතිබීම ද? අපේ අදහස නම් මෙසේ වූයේ ද පක්ෂයේ දෘෂ්ටිය හා එහි දේශපාලනයේ සීමා මායිම් නිසා බව ය. ජවිපෙ පරිහානිය කරා ගමන්කර ඇත්තේ සුවිශේෂීව  නව ලිබරල්වාදයේ අගතීන්ට යට වීම නැතිනම් එවැනි සමාජ බලවේගයන්ගේ සිරකරුවෙකු වීම නිසා යැයි කියා සිටින විට එය බරපතල වැරදි ප‍්‍රවේශයක් ය යනු අපේ අදහස යි. මක්නිසා ද ජවිපෙ මෙතෙක් ආ මගෙහි භාවිත වැඩපිළිිවෙලවල්, ක‍්‍රියාමාර්ග, මූලෝපායන්, උපක‍්‍රම, සංවිධාන ක‍්‍රමවේද හා ප‍්‍රතිපත්ති යන සියල්ල අන්තර් සම්බන්ධිතව ගෙන පිරික්සීමේදී පෙනීයන්නේ ජවිපෙ පංති සහයෝගිතාවාදී අවස්ථාවාදය කරා එළඹෙනුයේ හා එය නව ලිබරල්වාදයේ අගතීන්ට ගොදුරු වනුයේ එහිම සංවර්ධනයේ විවිධ අවධි තුළ විවිධ ස්වරූපයෙන් මතු වූ අවස්ථාවාදයේම දිගුවක් ලෙස බව ය. 

යමක් තේරුම් ගැනීමට නම් ප‍්‍රධාන වශයෙන් එහි අත්‍යවශ්‍ය අභ්‍යන්තරික සාධක පිරික්සීමට ප‍්‍රමුඛත්වය දිය යුතූ ය. බාහිර සාධක සැලකිල්ලට ගත යුතු නමුත් ඒවා පදනම් සාධකය සේ සැලකිය නොහැකි ය. ජවිපෙහි දෘෂ්ටිය හා භාවිතය එහි තීරණාත්මක, අත්‍යවශ්‍ය හා වැදගත් අභ්‍යන්තර සාධකය වෙයි. නව ලිබරල්වාදය බාහිර සාධකයකි. බාහිර සාධකයන්ට ප‍්‍රතිඵල අත්කරගත හැක්කේ අභ්‍යන්තර පදනමෙහි ගුණාත්මක තත්ත්වය අනුව ය. නිවැරදි මග සොයා යාමේ දී ජවිපෙහි සමස්ත ගමන්මගෙහි ප‍්‍රකාශිත පදනම් සාධකය වූ එහි  දෘෂ්ටිය හා භාවිතය සංයුක්තව ගෙන පිරික්සිය යුතු ය. එසේ නොමැති වීමේ අඩුවක් අපි ඔබේ ස්වයං විවේචනය තුළ දකිමු.

සහෝදරවරුනි, සහෝදරියනි,

කාලය මීට වඩා දුර යාමට අවකාශ නොදෙයි. ඉදිරියේ දී වඩාත් සවිස්තරාත්මකව මේ පිළිබඳව සංවාදයේ යෙදෙමු.

ස්තුතියි.

පීපල්ස් මාච්











No comments:

Post a Comment