රීතියක් වශයෙන් ප‍්‍රතිගාමිත්වය අයත්වන්නේ දකූණට ය. එය විවෘතය, පැහැදිලිය. හඳුනා ගැනීම පහසු ය. නමුත් ප‍්‍රතිගාමිත්වය වමේ ද පවතී. එය හඳුනා ගැනීම පහසු නැත. මක්නිසා ද එය වාමාංශික වදන් හා සළු පිළි පැළඳ එන නිසා ය. වමේ ප‍්‍රතිගාමිත්වය සැබෑ විප්ලවීය ව්‍යපාරයක් සඳහා වන ප‍්‍රධාන බාධකයකි. එය ප‍්‍රකාශයට පත්වන්නේ අවස්ථාවාදය ලෙස යි.
අද දවසේ වමේ අවස්ථාවාදයේ පමුඛතම බලවේගය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ යි. සැබෑ නිර්ධන පංති ප‍්‍රවේශයක් මත පදනම් වෙමින් දෘෂ්ටිමය හා දේශපාලනමය වශයෙන් එය පරාජයට පත් නොකර සැබෑ වාම ව්‍යාරයක් ගොඩනගන්නට බැරි ය. මෙහිදී ජවිපෙන් භින්නවී ජන අරගල ව්‍යාපාරය- පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවීම සැබෑ වමක් ගොඩනැගීමට තබන ලද ප‍්‍රගතිගාමී ආරම්භක පියවරක් ලෙස අපි සළකමු.
එම පක්ෂය සමන්විත වනුයේ ජවිපෙ දෘෂ්ටිමය දේශපාලනමය හා සංවිධානමය යන සමස්තය සමග ඓන්ද්‍රීය ඒකත්වයක පැවති පුද්ගල සමූහයකිනි. ඔවුහු ද එහි දෘෂ්ටිමය සංවිධානමය හා දේශපාලනමය වැරදි සමාජගත කිරීමේදී සුවිසල් කාර්ය භාරයක් ඉටු කළහ. ඒ පක්ෂය උදෙසාම ය. එහෙත් ඇස් පනාපිට සීඝ‍්‍රයෙන් වෙනස්වෙමින් පවතින කරුණු විසින් සුපුරුදු හා කලක් මුල්බැසගත් විශ්වාසයන් එහි පදනමෙන් සොලවා දමයි. දුර්මතයන් ප‍්‍රශ්න කෙරෙයි. එළඹ ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් තම පංගුකාරිත්වය කිරා මැන බැලීමට පොළඹවනු ලබයි. අප දකින අන්දමට නව පක්ෂය කරළියට පිවිසෙන්නේ මෙකී අනුභූතික තත්ත්වයන් යටතේ ය. එහෙත් සමස්ත දැනුම වෙත ප‍්‍රවේශවීමට නම් අනුභූතියෙන් ඔබ්බට යා යුතු ය. එසේ කිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය හා උවමනාව ඔවුන් වෙත ඇතැයි අපි විශ්වාස කරමු. වෙන්වූ පළමු පැයේදීම ඔවුන් පරිපූර්ණ ප‍්‍රතිපත්තිමාලාවක් අතැතිව සිටිය යුතුයැයි අපි අපේක්ෂා නොකරමු. ඒ සඳහා යම් සංක‍්‍රමණීය කාලපරිච්ෙඡ්දයක් අවශ්‍ය වෙයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙට එරෙහිව එල්ල කරන ප‍්‍රධාන විවේචනය වන්නේ ජවිපෙ මේ වනවිට මාක්ස්වාදයේ පිළිගත් පංති අරගලය හා ජාත්‍යන්තරවාදය නම් මූලික ප‍්‍රතිපත්තීන්ට එරෙහිව යමින් පංති සහයෝගිතාවාදය හා පටු ජාතිකවාදය වැළඳගනිමින් අවස්ථාවාදී මඩ ගොහොරුවේ එරී සිටින බව ය. එය පැහැදිලි සත්‍යයකි. නමුත් ජවිපෙ එවැනි තත්ත්වයක් කරා ගමන්කර ඇත්තේ ප‍්‍රධාන කොටම නව ලිබරල්වාදයේ අගතීන්ට යට වීම නැතිනම් එවැනි සමාජ බලවේගයන්ගේ සිරකරුවෙකු වීම නිසා යැයි කියා සිටින විට එය බරපතල වැරදි ආස්ථානයකට තල්ලූවීමකැයි යනු අපේ අදහස ය. මක්නිසා ද ජවිපෙ මෙතෙක් ආ මගෙහි භාවිත වැඩපිළිවෙලවල්, ක‍්‍රියාමාර්ග, මූලෝපායන්, උපක‍්‍රම, සංවිධාන ක‍්‍රමවේද හා ප‍්‍රතිපත්ති යන සියල්ල අන්තර් සම්බන්ධිතව ගෙන පිරික්සීමේදී පෙනීයන්නේ ජවිපෙ අද පංති සහයෝගිතාවාදී අවස්ථාවාදය කරා එළඹ ඇත්තේ හා එය නව ලිබරල්වාදයේ අගතීන්ට ගොදුරු වන්නේ එහිම සංවර්ධනයේ විවිධ අවධි තුළ විවිධ ස්වරූපයෙන් මතු වූ අවස්ථාවාදයේම දිගුවක් ලෙස බව ය.
යමක් තේරුම් ගැනීමට නම් ප‍්‍රධාන වශයෙන් එහි අත්‍යාවශ්‍ය අභ්‍යන්තරික සාධක පිරික්සීමට ප‍්‍රමුඛත්වය දිය යුතූ ය. බාහිර සාධක සැලකිල්ලට ගත යුතු නමුත් ඒවා පදනම් සාධකය සේ සැලකිය නොහැකි ය. ජවිපෙහි දෘෂ්ටිය හා භාවිතය එහි තීරණාත්මක, අත්‍යවශ්‍ය, වැදගත් අභ්‍යන්තර සාධකය වෙයි. නව ලිබරල්වාදය බාහිර සාධකයකි. බාහිර සාධකයන්ට ප‍්‍රතිඵල අත්කරගත හැක්කේ අභ්‍යන්තර පදනමෙහි ගුණාත්මක තත්ත්වය අනුව ය. ජවිපෙහි සමස්ත ගමන්මගෙහි ප‍්‍රකාශිත පදනම් සාධකය වූ එහි දෘෂ්ටිය හා භාවිතය සංයුක්තව ගෙන පිරික්සිය යුතුයැයි අප කියන්නේ මේ නිසා ය.
නිවැරදි අරුතින් නිර්ධන පංති විප්ලවය වටහා ගැනීම හා ඉන් මග පෙන්වන නිවැරදි භාවිතය මාක්ස් ලෙනින්වාදී විප්ලවීය පක්ෂයක සාරය වෙයි. විප්ලවය අනුරාගයෙන් වටහාගැනීම හා එසේ හැසිරීම අතිවාමවාදයටත් විප්ලවය වෙනුවට පංතිසහයෝගිතාවය ආදේශ කිරීම දක්ෂිණ අවස්ථාවාදයටත් දොරටු විවෘත කරයි. මේ දෙකෙහිම පදනම වන්නේ සුළුධනේශ්වර දෘෂ්ටිවාදය යි.
ජවිපෙ නිර්ධන පංති විප්ලවය පිළිගැනීම හා එය සාක්ෂාත් කර ගැනීම සඳහා පෙන්වූ ධෛර්ය, කැපවීම හා වීරත්වය ලාංකීය වාම ව්‍යාපාරයේ නොමැකෙන සළකුණක් බව සත්‍යයකි. එහෙත් එකී ගුණාංගවල අනුරාගයෙන් පක්ෂයක ගමන් මග තක්සේරු කරන්නට බැරි ය. අප විද්‍යාත්මක පදනමක පිහිටා යථා විශ්ලේෂණයක යෙදෙන්නේ නම් එහිලා අවශ්‍යයෙන්ම අනුරාගය ඉවතලිය යුතු ය. මාක්ස් ලෙනින්වාදී දෘෂ්ටිමය පදනම මත පිහිටා බලන්නේ නම් අප විප්ලවය එහි පුළුල් අරුතින් එනම් කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් කම්කරුවන් ගොවීන් හා සෙසු පීඩිත පංතින්ගේ පුළුල්තම කොටස් දිනාගැනීම ඒකරාශිකිරීම හා මෙහෙයවීම මගින් රාජ්‍ය බලය දිනාගැනීම යන අරුතින් විප්ලවය විග‍්‍රහ කොටගෙන නොතිබූ බව පෙනෙනවා ඇත. ඒ වෙනුවට අපි හුදු සන්නද්ධ අරගලය ආදේශ කළෙමු. ඊටම උචිත ආකාරයේ දැඩි මධ්‍යගත සංවිධානයක් ගොඩ නැගුවෙමු. වැඩපිළිලෙක් තුළ විධිමත්ව පෙළ නොගැස්සූ අධිරාජ්‍ය විරෝධී දේශපේ‍්‍රමී අරගලය, සමාජවාදී විප්ලවය වැනි ඒවා ව්‍යාකූල ලෙස උපාය මාර්ග ගත කළෙමු. කම්කරු පංතිය හා දෙමළ ජාතික පීඩිත පංතික කොටස් නොතකා හරිමින් ග‍්‍රාමීය තරුණ හා ශිෂ්‍ය කොටස් මත බර තැබුවෙමු. එසේ් අනුගමනය කළ ආන්තික සංවිධානමය උපාය මාර්ගයන් ද සන්නද්ධවීම ප‍්‍රමුඛස්ථානයේලා කරගෙන ගිය ක‍්‍රියාකාරකම් ද යන සියල්ල යොමුව තිබුණේ හුදෙක් බලය ලබා ගැනීම සඳහාම ය. 71 අරගලය තුළින් ප‍්‍රකාශ වූයේ අපේ මෙම දැක්ම හා භාවිතය යි.
71 අරගලය දෙස ස්වයංවිවේචනාත්මකව ආපසු හැරී බලමු නමින් 76 දී ජවිපෙ එළිදැක්වූ ලියවිල්ල 71 අරගලය තුලින් ප‍්‍රකාශිත අතිවාමවාදය විනිවද දැකීමට අපොහොසත්ව ඇත. ඒ මගින් උත්සාහ දරන පරිදි අපේ අතිවාම දෘෂ්ටිවාදී හා භාවිත වැරදි සියල්ල ස්ටාලින්වාදයට හා මා ඕවාදයට බැර කළ නොහැකි ය. අපගේ වැරදි අපේම සුළු ධනේශ්වර ප‍්‍රවේශය තුළින් පැන නැගුණු ඒවාය. ජවිපෙ දෘෂ්ටිවාදය වූයේ මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටාලින්, මා ඕ හා චේ ආදීන්ගේ අදහස් ද විජේවීරයන්ගේ අදහස් ද සාරසංග‍්‍රහවාදීව ගෙන සකස්කර ගත් ජවිපෙම දෘෂ්ටිවාදයකි. එය පංතිමය වශයෙන් සුළු ධනේශ්වර විය. හඳුනා ගෙන නිවැරදි කර ගත යුතුව තිබුණේ මෙයයි. එහෙත් එසේ නොකළ නිසා එය 71 අරගලයෙන් පසු යළි 77 දී විවෘත වූ දේශපාලන වේදිකාව වෙත එළඹන්නේ එම සුළු ධනේශ්වරවාදයේම අනෙක් අන්තය වූ දක්ෂිණාංශික පාර්ලිමේන්තුවාදී ප‍්‍රවේශයක් මගිනි.
83 ජුලි තහනමෙන් පසු ජවිපෙ නැවතත් අතිවාම දේශපාලනයකට ප‍්‍රවේශවන්නේ වැඩි අපහසුවකින් තොරව ය. එවකට නිර්මාණයවී තිබූ ජාතික හා ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් ජවිපෙ විග‍්‍රහ කරගත්තේ එහිම අරමුණුවලට පමණක් ගැලපෙන ලෙස ය. විජේවීරයන්ගේ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද කෘතිය ඊට අවශ්‍ය දෘෂ්ටිමය මග පෙන්වීම කරන්නේ ඔහුගේම අවස්ථවාදයද නිර්ධන පංති ජාත්‍යන්තරවාදයද ? කෘතියට එරෙහිව යමිනි. දෙමළ ජාතික අරගලය හුදෙක් ලංකාව බෙදා වෙන්කිරීමේ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයකි, ඉන්දීය භූ දේශපාලනයේ අවශ්‍යතාවයකි යනුවෙන් ගෙන එම අරගලය තුළ අන්තර්ගත ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සාධකයන් ඉන් ප‍්‍රතික්ෂේප කෙරිණි. සිදුූවූයේ එම අරගලය එල්ටීටීඊයට ලඝුකරමින් සිංහල පටු ජාතිකවාදී ධනපති හා සුළු ධනපති ඊනියා දේශපේ‍්‍රමී බලවේග සමග පෙළගැසීම ය. 88 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ශ‍්‍රීලනිපය තුළ දේශපේ‍්‍රමය සෙවීමට තැත්කිරීම මීට උදාහරණයකි. සැබෑ නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් කළ යුතුව තිබුණේ දෙමළ ජාතික ප‍්‍රශ්නය යථාර්ථයක් ලෙස පිළිගනිමින් ද පීඩිත දෙමළ ජාතික අභිලාෂයන්ට අව්‍යාජ ලෙස ආමන්ත‍්‍රණය කරමින් ද ඔවුන්ගේ අරගලය සියළු ජාතීන්ට අයත් කම්කරුවන්ගේ හා සෙසු පීඩිත පංතීන්ගේ ධනේශ්වර විරෝධී පොදු අරගලය තුළ සංගතකර ගන්නාවූ උපාය මාර්ගයට ප‍්‍රවේශ වීම ය. දේශපේ‍්‍රමී සටන්පාඨයේ පටු ජාතිකවාදී නොවන අන්තර්ගතය සැබෑ ලෙස අර්ථගැන්විය හැක්කේ එවිට පමණි. එසේ නොවූවිට අපේ වැනි බහු වාර්ගික සමාජයක දී දේශපේ‍්‍රමය නිතැතින්ම එහි එක් ජනවර්ගයක හෝ අනිකක උවමනාවන් පමණක් නියෝජනය කරන පටු ජාතිකවාදයක් බවට පත් වීම වැළකිය නොහැකි ය.
ජවිපෙ අද පංති සහයෝගිතාවාදයට හා පටු ජාතිකවාදයට වැටී ඇත්තේ අහඹු ලෙස හෝ නව ලිබරල්වාදයේ අගතීන් නිසා හෝ නොවේ. 71, 77-83, 88-89, 94-සිට මේ දක්වා එහි පදනමේම පවත්නා සුළු ධනේශ්වරවාදය අඛණ්ඩව ගලා ඒමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ජවිපෙන් ප‍්‍රකාශිතවන අවස්ථාවාදය වියුක්තව ගෙන පිරික්සා උපයෝගිතාවාදය හෝ ප‍්‍රායෝගිකවාදය ලෙස ගෙන තාක්ෂණික ස්වරූපයේ අර්ථ දැක්වීමකින් සිදුවන්නේ එහි පංතිමය දේශපාලන බර සැහැල්ලූ වීම ය. එහි පදනම්ගත සුළු ධනපතිවාදය නිවැරදිව තේරුම් ගැනීමේ අපහසු කිරීම ය. එමගින් නව පක්ෂය තුළ තහවුරු කළ යුතුව පවතින විප්ලවීය දෘෂ්ටිවාදය දුර්වර්ණ කිරීමේ අනතුර ගෙන ඒම ය.
තත්කාලීන වැරදිවලින් පමණක් නොව අතීත වැරදිවලින් ද ප‍්‍රතිසංස්කරණවාදී ලෙස නොව විප්ලවීය ලෙස කැඞී වෙන් වීමෙන් තොරව විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නගන්නට බැරි ය. සැබෑ විප්ලවීය පක්ෂයක් ගොඩ නගන්නට කල්පනා කරන ඕනෑම කොටසකට හෝ බලවේගයකට ඕනෑම වැරදි දෙයක් ඉවතලීමට ධෛර්යයක්, අධිෂ්ඨානයක් හා නිර්භීත භාවයක් තිබිය යුතු ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හමුවේ ඇති ප‍්‍රමුඛ අභියෝගයක් වන්නේ ඊට ජවිපෙ නිශේධනීය උරුමයන් අතික‍්‍රමණය කරමින් සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය හැක්කේ ද යන්න ය.
No comments:
Post a Comment