මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, April 28, 2012

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුවට අපේ සුභාශිංසන

සහෝදර සහෝදරියනි,

ප‍්‍රථමයෙන්ම අද දින මුළු දෙන ඔබගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රථම සමුළුවට සුභ පැතුම් පිරි නමන්නට අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් පීපල්ස් මාච් සංවිධානයේ අපගේ සහෝදරාත්මක කෘතඥතාව පළ කරන්නට ඉඩ දෙන්න. මෙම සමුළුව පැවැත්වෙන්නේ එක් අතකින් ලෝක ධනේශ්වර ක‍්‍රමය තියුණු හා ගැඹුරු ව්‍යුහාත්මක අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන්නා වූ ද එහි   පරපෝෂිත හා මැරී යන ස්වභාවය ලෝකයට ප‍්‍රකට කරමින් තිබෙන්නා වූ ද වකවානුවක ය. එහි වෙන් කළ නොහැකි කොටසක් බවට පත්ව තිබෙන අපේ රට ද එලෙස ම අර්බුදයක් කරා ගමන් කර තිබෙන්නා වූ ද වැඩෙන ආර්ථික අවපාතය, ණය අර්බුදය, උද්ධමනය හා විරැුකියාව, දරිද්‍රතාව හා දුක්ඛිත භාවය හා අර්බුදය හමුවේ පිළියම් නොමැති පාලක රෙජිමය ඉවක් බවක් නැතිව ජනතාවන්ගේ සියලූ ප‍්‍රජාතන්තී‍්‍රය හා මානව අයිතීන් කප්පාදු කරන්නා වූ ද ඊට එරෙහිව කි‍්‍රයාකාරී වන විරෝධය පාන කොටස් මර්දනයට පමණක් නොව පැහැර ගෙන ගොස් ඝාතනයට පවා ලක් කරන්නාවූ ද වටා පිටාවක් තුළ ය. අනෙක් අතින් මීට විකල්පය විය යුතු වමේ ව්‍යාපාරය තුළ අවස්ථාවාදය, පටු ජාතිකවාදය හා කට්ටිවාදය ජයග‍්‍රාහීව ඇත්තා වූ ද ජනතා බලවේග විප්ලවීය නායකත්වයක්, කි‍්‍රයා මාර්ගයක් හා සංවිධානයක් නැතිව විසිරී සිටින්නා වූ ද  එනයින්  ප‍්‍රබල වමේ ව්‍යාපාරයක අවශ්‍යතාවය බරපතල් ලෙස මතුව තිබෙන්නා වූ ද  වටාපිටාවක ය.



මෙම සමුළුව  අද දවසේ අවස්ථාවාදයට, කට්ටිවාදයට හා පටු ජාතිකවාදයට ගොදුරුව වමේ වගකීම අත්හරිමින් ප‍්‍රතිගාමී වී ඇති වමට එරෙහිව සැබෑ වමේ විකල්පයක් පිළිබඳ සිහින මවා ගැනීමේ ද  භේද භින්නතාවන්ගෙන් පීඩා විඳිමින් මහත් පසු බෑමකට ලක්ව තිබෙන වාම ජන බලවේගයන්ට නව අපේක්ෂාවක්, නව ජීවනයක් හා නව මාවතක් ලබා දීමේ ද විභවයක් අඩංගු කර ගන්නා බව  අපි දකිමු.



මෙය නව ආරම්භයක් බව ද සැබෑ වමේ ව්‍යාපාරයක් බවට පත්වීමට ඔබ  තව බොහෝ දුර ගමන් කළ යුතුව තිබෙන බව ද එමෙන් ම පැරණි නිශේධනීය උරුමයන්ගේ නෂ්ටාවශේෂයන් ඔබට තවමත් බාධා කළ හැකි බව ද සහෝදරාත්මකව පැවසීමට අපට ඉඩ දෙන්න. ධනවාදයෙන් කොමියුනිස්ට්වාදයට පරිවර්තනය වීමේ දී අවශ්‍යයෙන්ම සංක‍්‍රමණීය කාල පරිච්ෙඡ්දයක් පසු කර යා යුතුවන බව ද එම සංක‍්‍රමණීය කාල පරිච්ෙඡ්දය තුළ පැරණි සමාජයේ කළු ලප නොවැළක් විය හැකි පරිදි ශේෂ කර ගන්නා බව බව ද ඒ සංක‍්‍රමණීය කාල පරිච්ෙඡ්දය අන් කිසිවක් නොව සමාජවාදය බව ද යන මූලික මාක්ස්වාදී ප‍්‍රස්තුතය අපට මූලික සත්‍යයක් උගන්වයි. එනම් එක දෙයකින් තවත් දෙයකට මාරුවන විට ඒ දෙක අතර සංක‍්‍රමණීය කාලයක් අඩංගු වන බවත් එම කාලය තුළ පැරන්නේ නෂ්ටාවශේෂ ශේෂ වන බවත් ය. මේවා අභිබවා ජය ගන්නට ඔබට ශක්තියක් හා අධිෂ්ඨානයක් ඇතැයි අපි විශ්වාස කරමු. 

සහෝදරවරුනි, සහෝදරියනි,

කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත ජනතාවගේ අරගලයට නායකත්වය දෙන විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීම අවශ්‍ය ය. එහෙත් පක්ෂයක් පිහිටුවීමට ඔබ ඉක්මන් වූවා ය යන සහෝදරාත්මක විවේචනයට අපට ඉඩ දෙන්න. ඔබ යම් නිශ්චිත කාලයක් සඳහා පූර්ව පක්ෂ සංවිධාන අවධියක් පසු කළ යුතුව තිබිණි යයි අපි විශ්වාස කරමු. ඒ සැබෑ විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීමෙහිලා මුදුන් පමුණුවාලිය යුතු පූර්ව අවශ්‍යතා සමූහයක් තිබෙන නිසා සහ එකී පූර්ව අවශ්‍යතා තවමත් සම්පූර්ණ කිරීමට තිබෙන නිසා ය. 



එසේ වුව ද සහෝදරවරුනි, සහෝදරියනි,

ඔබගේ ආගමනය සැබෑ වාම කි‍්‍රයාකාරීන්ට ද ජන බලවේගයන්ට ද ආශ්වාදයක්, නව බලාපොරොත්තුවක් හා නව ජීවනයක් ලබා දෙයි. එනමුදු  අවස්ථාවාදී වාම බලවේගයන්ට පමණක් නොව පාලකයන්ට ද ඔවුන් සමග කල්ලි ගැසී සිටින වුන්ට ද ඔබ අභියෝගයක් වී තිබේ. ඔබගේ ප‍්‍රමුඛතම නායකයෙකු වූ පේ්‍රමකුමාර් ගුණරත්නම් සහෝදරයා හා ප‍්‍රමුඛතම නායිකාවක වූ දිමුතු ආටිගල සහෝදරිය පාලක රෙජිමයේ නිල නොවන ඝාතක කල්ලියක් විසින් පැහැර ගෙන යනු ලැබීමෙන් මේ බව සනාථ කෙරේ. පාලක රෙජිමයේ මෙම සාපරාධී කි‍්‍රයාවට එරෙහිව උරෙනුර ගැටී කි‍්‍රයා කරන්නට අපි ඔබ සමග අත්වැල් බැඳ ගන්නෙමු. මේ පැහැර ගැනීම තමන්ට එරෙහිව කි‍්‍රයාකාරී වන්නන්ට එරෙහිව දියත් කර ඇති පාලක රෙජිමයේ උපක‍්‍රමික වැඩ පිළිවෙළේ තවත් එක් පියවරක් බව පැහැදිලි ය. මෙබඳු වැඩපිළිවෙළවල් පසු බස්සවන්නට හා පරාජය කරන්නට පුළුල් බහු ජන ව්‍යාපාරයක් ගොඩ නැගීම අද දවසේ ප‍්‍රමුඛ අවශ්‍යතාවක් බව මෙහි දී අවාධාරණය කරන්නට අපි කැමැත්තෙමු. සහෝදරවරුනි, සහෝදරියනි, මෙහිලා සුවිශාල වැඩ කොටසකට උර දෙන්නට ඔබට පුළුවන් බව අපගේ විශ්වාසය යි.

සහෝදරවරුනි, සහෝදරියනි,

ඔබ හමුවේ දැවැන්ත අභියෝගයක් තිබේ. එම අභියෝගය ඔබගේ පමණක් නොව වමේ අප සැම හමුවේම ඇති අභියෝගයකි. මෙම අභියෝගය ජය ගන්නට සමගිය අරගලය සමගිය යන ප‍්‍රතිපත්තිය මත පදනම් වූ සහෝදරාත්මක එක්සත් ප‍්‍රයත්නයක් අවශ්‍ය ය. එය දවසේ අවශ්‍යතාවකි.

අවසාන වශයෙන් සහෝදරවරුනි, සහෝදරියනි,

ඔබගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මංගල සමුළුවට අපේ සහෝදරාත්මක ආශිංසන පුද කරමු.


පීපල්ස් මාච් සංවිධානය




No comments:

Post a Comment