මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, August 14, 2010

රටක නීතියට ගිය කලක් !


පසු ගිය 12 වෙනි දින  ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මංත‍්‍රී විජිත හේරත්, ගාල්ල දිස්ත‍්‍රික්  ජවිපෙ මංත‍්‍රී අජිත් කුමාර හා පළාත් සභා මංතී‍්‍ර නලීන් හේවගේ ඇතුළු 8 දෙනෙකු ගාල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන එදින ම ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2010. 08. 16 දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කර තිබේ.



ජෙනරාල් සරත් පොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා 2010. 08 .12 දින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ගාල්ල නගරයේදී පැවැත් වූ උද්ඝෝෂණයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත. සාමකාමීව පැවැත්වූ උද්ඝෝෂණයට ගාල්ල පොලීසිය මගින් එල්ල කළ ප‍්‍රහාරය රූපවාහිනී නාලිකා මගින්  සමස්ත රට වැසියන්ට ම දැක ගත හැකි විය.

සාමකාමී ලෙස පෙළපාලියේ ගමන් කළ උද්ඝෝෂකයන්ට පොලීසිය කඳුඵ ගෑස් ගසන අයුරු,එලව එලවා පහර දෙන අයුරු අපි දුටුවෙමු. 
රාජපක්ෂ පාලනයේ ප‍්‍රජතන්ත‍්‍ර විරෝධීබව, දෙබිඩිබව හා කුහකබව මැනවින් නැවත වරක් ප‍්‍රදර්ශනය කළ එම ප‍්‍රහාරය අපි දැඩි පිළිකුලෙන් හෙලා දකිමු . 
මෙම  පහර දීමෙන් පසු අත් අඩංගුවට ගත් උද්ඝෝෂකයන් කීප දෙනෙකු ගැන සොයා බැලීමට හා තමන්ට නිකරුණේ එල්ල කළ පොලිස් ප‍්‍රහාරය ගැන පැමිණිලි කිරීමට විජිත හේරත් ඇතුළු එම පක්ෂ මහජන නියෝජිතයන්  ගාල්ල පොලීසිය වෙත පැමිණ විට පොලිසිය තුළ දී ඔවුන්ට පහර දී අත් අඩංගවට ගෙන තිබේ. එහෙත් රාජපක්ෂ පොලීසිය බවට පත්ව ඇති ගාලූ පොලීසිය පවසන්නේ වෙනත් කතාවකි. පොලිස් කතාව පරිදි මෙසේ පැමිණි විජිත හේරත් මහතා ඇතුළු ජවිපෙ මහජන නියෝජිතයන් පොලිස් නිළධාරීන්ට පොලීසිය තුළ දී ම පහර දීම හේතුවෙනි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මෙය නම් අපූරු කතාවකි! මෙවැනි පොලිස් කතා අප කොතරම් අසා ඇද්ද? විරුද්ධ පක්ෂ මංත‍්‍රීවරයෙකුට පොලීසියකට ගොස් පොලිස් නිළධාරියෙකුට කිසිවිටකත් පහර දිය හැකි ද? ශ‍්‍රී ලංකාව තුළ නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය අපි හොඳින් දනිමු. අද ව්‍යවස්ථාවේ අනුහසින් ජනාධිපති රාජපක්ෂ නීතියට ඉහළින් සිටියි. ජනාධිපතිගේ  අනුහසින් හා ආශීර්වාදයෙන් ආරක්ෂක ලොක්කෝ ද පොලීසිය ද නීතියට ඉහළින් කටයුතු කරති. එවැනි තත්ත්වයක් තුළ පොලීසියක් තුළ ගෝරනාඩු දැමිය හැක්කේ ආචාර්ය මර්වින් සිල්වලා වැනි විමල් වීරවංශලා වැනි අයට පමණි. විජිත හේරත් මහතා ද ඇතුුළු පිරිසට ද ඒ ගැන මනා වැටහීමක් ඇති බව නිසැක ය. මෙම තත්ත්වය තුළ ඔවුන් වෙතින් එවැනි හැසිරීමක් සිදුවෙතැයි විශ්වාස කරන්නට පොලීසිය රටට කිය යි.
විජිත හේරත් මහතා ඇතුළු පිරිස පොලිස් නිළධාරියෙකුට පහර දුන්නායැයි අපි මොහොතකට සිතමු. පසු ගිය දා විමල් වීරවංශගේ කණ්ඩායම  පැවැත් වූ උද්ඝෝෂණයේ දී  ඔවුන් අතින් පහර කෑමට ලක්වන්නේ සාමාන්‍ය පොලිස් නිළධාරියෙකු නොව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. රූපවාහිනී විකාශ තුළින් අපි එය හොඳින් දුටුවෙමු. නමුත් අද වනවිටත් එම කි‍්‍රයාව සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකු පොලිස් රාජකාරියට බාධා කිරීම හෝ පොලිස් නිළධාරියෙකුට පහර දීම හෝ යන කිසිදු චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගෙන නැත. ඒත් උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට නොව එය බැලීමට ගිය පොලිස් නිළධාරීන් අඩන්තේට්ටම්වලට හා දෝෂාරෝපණයට ලක්වූ බව නම් වාර්තා විය.
පොලීසිය කියන පරිදි විජිත හේරත් ඇතුළු පිරිස පොලිස් නිළධාරීන්ට පහරදීම නිසා අත්අඩංගුවට පත්වෙත්ද්දී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තොප්පිය ගලවා දැමූ වීරවංශගේ කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකුට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වීමක් නැත. ආචාර්ය මර්වින් සිල්වා සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරද්දී මේ පොලීසිය සිටියේ වගේ වගක් නැතිව ය. පසුගිය ඡුන්ද කාලයේදී ආණ්ඩු පාක්ෂිකයන්ට පහර දුන්නායැයි කියා විපක්ෂයේ මහජන නියෝජිතයින් අත්අඩංගුවට ගනිද්දී විපක්ෂයේ මංත‍්‍රීවරුන්ට පවා පහරදුන් කිසිදු ආණ්ඩු පාක්ෂිකයෙකු අත්අඩංගුවට ගත්තේ නැත.  අහම්බයකින් එසේ ගත්ත ද පොලිස් ඇප මත වහාම නිදහස් කෙරිණි. ආණ්ඩු පාක්ෂිකයන්ට හා ඔවුන්ගේ හිතවතුන්ට එක නීතියකුත් විපක්ෂයේ අයට තවත් නීතියකුත් මේ රටේ ක‍්‍රියාත්මක වන බව නැවත නැවතත් අපට සිහිගන්වයි. නියෝජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර ඇති මර්වින් සිල්වා තවමත් නියෝජ්‍ය ඇමතිවරයෙකුට හිමි ආරක්ෂාවක් ද අමතර වාහන ද සෙසු පහසුකම් ද භුක්ති විඳින්නේ ඔහු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු  නිසා ය. නමුත් ශ‍්‍රීපති හා මංගල ඇමතිධූරවලින් ඉවත් කළ වහාම ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු සියළු වරප‍්‍රසාද එක රැයෙන් ම ඉවත් කෙරිණි. රාජපක්ෂ පාලනයේ මෙම අධම  නිරුවත් පිළිවෙත දැන් හොඳින් ම හෙළිවෙමින් පවතී.
මෙම තත්වය ගැන ගැඹුරු වැටහීමකින් තොරව විපක්ෂය ඇතුළු සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග කටයුතු නොකළ හොත් සියළු දෙනාටම වෙන් වෙන්ව හා සාමූහිකව රාජපක්ෂ පාලනයේ දංගෙඩියට ගොදුරු වීමට සිදුවනවා ඇත. දැන් එළඹ ඇත්තේ නිවේදන නි
කුත්කරමින් හා ප‍්‍රවෘත්ති සාකච්ඡ පවත්වමින් සිටිනවාට වඩා  සියලූ දෙනා මේ අත්තනෝමතික පාලනයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය තුළ පෙළ ගැසිය යුතු අවස්ථාවකි.

No comments:

Post a Comment