මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Sunday, August 22, 2010

මර්වින් සිල්වා ඇගයීමේ ස`ග සමුළුව නොහොත් පනින රිලවුන්ට පිරිත් නූල් බැඳීම



‘සමෘද්ධි නිළධාරියෙකු ගස් බැඳීමේ සිද්ධිය හේතුවෙන් නියෝජ්‍ය ඇමති ධූරයෙන් ද ශ‍්‍රීලනිප කැළණීය ආසන සංවිධායක ධූරයෙන් ද ඉවත් කර ඇති හා ශී‍්‍රලනිප සාමාජිකත්වය අත්හිටුවා ඇති පා. ම. මර්වින් සිල්වා අගය කිරීම සඳහා හා ඔහුගේ සේවය  තව දුරටත් ලබා ගැනීමේ අරමුණ ඇතිව

අගෝ 20 වෙනි දා සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ  ශාලාවේ දී මහා සංඝ සම්මේලනයක් කැඳවා ඇත.
මහාචාර්ය කඹුරුගමුවේ වජිර, මහාචාර්ය උතුරාවල ධම්මරතන, මුරුත්තෙට්ටුවේ ආනන්ද, පහළගම සෝමරතන, නැදගමුවේ විජය මෛත‍්‍රී ,හොණ්ඩගම්මුල්ලේ ඥානසිරි, වටිනාපහ සෝමානන්ද ,පාතේගම `ක්‍ඳානිස්සර හා  ඕමාරේ කස්සප යන ස්වාමීන්වහන්සේලා විසින් මෙම සංඝ සම්මේලනය කැඳවා ඇත’
                                    -රාවය   2010 .10 .22

මෙසේ සංඝ සම්මේලනයක් කැඳවන්නේ කැළණිය ප‍්‍රදේශයේ සාමාන්‍ය සංඝයාවහන්සේලා විසින් නොව රට ප‍්‍රචලිත ආචාර්ය මහාචාර්ය ස`ග නායක හිමිවරුන් විසින් වීම නිසා අපි මෙම සටහන තබන්නට පෙළඹුනෙමු.
රට, ජාතිය, ආගම, කලාව, සාහිත්‍යය, විද්‍යාව හෝ වෙනත් යම් විෂය කේෂත‍්‍රයක් සඳහා විශිෂ්ඨ සේවයක් කරමින් එම කේෂ්ත‍්‍රය ඉහළට ඔසවා තැබීමට ඉමහත් දායකත්වයක් දුන් විශේෂිත පුද්ගලයන්  සමාජය විසින් ඇගයීමට ලක් කරන බව අපි දනිමු. එවැනි අවස්ථාවලදී තෑගි බෝග, සහතික පත් ,ගෞරව නාම ඔවුන් වෙත පුදනු ලබයි. ඒ හුදෙක් එම පුද්ගලයාට සමාජයේ කෘතවේදිත්වය දැක්වීමක් පමණක් ම නොව තමන් අගයන සමාජයක් ඇති බව ඔහුට විවෘතවම දැනෙන්න සලස්වන සමාජ පෙළඹවීමකි. ප‍්‍රදානය කරන්නාට මෙන්ම ප‍්‍රදනාය ලබන්නාට ද මෙය හෘර්දායාංගමය ය. ඉන් සමාජ සම්බන්ධතාවයන් වඩාත් හරවත් වෙයි
මර්වින් සිල්වා මංත‍්‍රීවරයාගේ නම සමාජ ගතවන්නේ අවම වශයෙන් ඔහු ගැවසෙන දේශපාලන කේෂ්ත‍්‍රය තුළ හෝ ප‍්‍රබුද්ධ  මහත්මා දේශපාලකයෙක් ලෙස නොව වන වැසි රජෙක් දක්වා ආපස්සට ගමන් කළ චරිතයක් ලෙස බව අපේ වැටහීම යි.
කැළණිය ආසනයේ පාරවල් කොන්ක‍්‍රීට් කිරීම හෝ එවැනි වෙනත් කටයුත්තක් කිරීම ඇගයීමට තරම් විශේෂිත දෙයක් ලෙස අපි නොදකිමු. කුමන පාලනයක් යටතේ වුව ද අවම වශයෙන් පාරවල් හැදිම විදුලිය ලබා දීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි .ඒ ටිකවත් නැතිනම් ආණ්ඩුවක් ඇති බව මහ ජනයාට නොදැනෙනවා ඇත. අනෙක් අතට ඒවා ඇගයීමට තරම් කරුණු නම් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු පළාත් සභා ප‍්‍රාදේශීය සභා මංත‍්‍රීවරු එක පොදියට ගෙන ඇගයිය යුතු ය.
 මැර දේශපාලනයට එරෙහි සමාජ කතිකාව අස්වසාලිමට හෝ ජනාධිපති විසින් මර්වින් සිල්වා ඇමති ධුරයෙන් හා කැළණිය සංවිධායක ධූරයෙන් නෙරපා ඇත. ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලා විසින් ස`ග සමුළුවක් කැඳවමින් මර්වින් සිල්වා ඇගයිමට ලක් කිරීම  යනු අනෙක් අතට ජනාධිපති ගත් ක‍්‍රියා මාර්ගය හෙළාදැකීමක් නොවන්නේ ද? මැර දේශපාලනයට පිරිත් සජ්ජායනා කිරීමක් නොවන්නේ ද?
එසේත් නැතිනම් ඇමති විමල් වීරවංශ ගේ දෙදිනක මාරාන්තික උපවාසය අවසන් කිරීමට ජනාධිපතිම එම ස්ථානයට ගොස් තැඹිලි වතුර පෙවූ ඒ මාලා නාටකයේ මේ තවත් එක් කොටසක් ද?
නොඑසේ නම් මර්වින් සිල්වා මංත‍්‍රීවරයා ඇගයීමට ලක් කරනු ලබන ප‍්‍රස්තුතය කුමක්දැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු.
අපට අනුව නම්  මර්වින් සිල්වා යනු කාලකන්නි දේශපාලනය විසින් ජ්වලිත කරන ලද, සැබෑ බුදු දහමට පරස්පරයක් වූ සිංහල බෞද්ධ මතවාදයේ අධි රංගනයකි. ඇගයීමට තුට්ටුවක තරම් දෙයක්වත් එහි නැත. සැබවින් ම නම් කළ යුත්තේ කටු ඉඹුලකට හේත්තුවී තමන් විසින්ම බැඳ ගැනිමට පොළඹවන සුළු හුදකලාවකට පත්කරන සංඝ ආඥාවක් ඔහුට එරෙහිව නිකුත් කිරිම ය. 

No comments:

Post a Comment