මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, August 21, 2010

එදා විරුවන් අද මරුවන්




එදා ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය යනු ජවිපෙට විරුවන් පිරිසකි. බෙදුම්වාදය පරදවා රට බේරා ගත්තේ මෙම විරුවන් ය. මෙම ‘විරුවන් පිරිස කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම සඳහා එකල ජවිපෙ හඩ වේදිකාවල රැව්පිළිරුවි දුන්නේ ය.
එල්ටීටීඊය මර්දන ක‍්‍රියාවලියේදී සිවිල් ජනයාට ආරක්ෂක හමුදා අතින් සිදුවූ කිසිදු අමානුෂික ක‍්‍රියාවක් ජවිපෙ නෙත්වලට හසු වූයේවත් කන්වලට ඇසුනේවත් නැත. පොලීසිය හෝ ආරක්ෂක හමුදා මගින් සිදුවූ එවැනි පීඩන ක‍්‍රියා විවේචනය කිරීම ජවිපෙට අනුව දේශ ද්‍රෝහී ක‍්‍රියාවක් විය. කොටින්ට එරෙහි යුද්ධයේදී ආරක්ෂක හමුදා මගින් සිවිල් ජනයාට සිදුවූ පීඩනයන්ට එරෙහිව ඉතාම කුඩා වාම සහ සමාජ සංවිධාන කීපයක් ද සීමිත පුද්ගලයන් කීපදෙනෙක් ද තම හඩ අවදි කළෝ ය. සිවිල් ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මෙම සීමිත පිරිස එකල ජවිපෙහි දැඩි ප‍්‍රහාරයට ලක් විය. ජවිපෙට අනුව ඔවුන් මුදලට රට පාවා දෙන පාපතර ද්‍රෝහීන් පිරිසකි. මෙම තත්ත්වය තුළ සාමාන්‍ය දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් හා පුද්ගලයන් ට මරණීය තර්ජන එල්ලවූ අතර කීප දෙනෙකු ම ඝාතනයට ලක් විය. තවත් පිරිසක් තම ජිවිත බේරා ගැනීමට රට හැර ගියහ. ජවිපෙ හ`ඩ හා මතවාද එදා අහිංසක දෙමළ ජනයා මර්දනයටත් එම මර්දනයට එරෙහිවු දකුණෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග හා සමාජ ක‍්‍රියාකාරීන්  මර්දනයටත් රාජපක්ෂ ආණ්ඩුවට මහ`ගු අත්වැලක් විය.
එකල අහිංසක දෙමළ ජනයා පීඩනයට පත් කළ ජවිපෙ රණවිරුවන් අද වන විට ඔවුන්ව ද සොයා ගෙන ඇවිත් තිබේ. ජවිපෙ උද්ඝේාෂණවලට පහර දීමට ද එයින් නොනැවතී එහි නායකයන් අල්ලා කූඩු කිරීමට ද පොලිස් රණවිරුවන් කටයුතු කර තිබේ. බොරු නඩු අටවමින් එම පක්ෂයේ ක‍්‍රියාකාරීන් කීප දෙනෙක් ම අද වන විටත් බන්ධනාගාර ගත කොට ඇත. කලකදී රණවිරුවන් ලෙස මහත් උජාරුවෙන් සමාජගත කළ පොලිස්කාරයන් මහා දාමරික මිනීමරුවන් පිරිසක් බව ජවිපෙ දැන් කියා සිටී. ඔවුන් කෙලින් ම මේ බව ප‍්‍රකාශ කිරීමට තවම ලජ්ජා වුවත් තම කරුණු දැක්වීම් තුළින් මේ බව සනාථ වෙයි. පොලිස් රණවිරුවන් වෙනුවෙන් කලක දී වේදිකා දෙවනත් කළ විජිත හේරත්ට එම රණවිරුවන් ම පහර දී පොලිස් බලූ කූඩුවට දැම්මේ ය. එතැනින් නොනැවතී දින ගානකට  බන්ධනාගාර ගත කොට අමූලික බොරු නඩු ගොන්නක් ද පැවරුවේ ය දෙවතාවක් ම ලෙයින් හා යකඩින් මර්දනයට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් මෙම කාර්යයට උර දුන් ධනපති ආරක්ෂක හමුදාවන් සමාජය තුළ එස වූ එසවිල්ල නිසා ම ජවිපෙට එරෙහිව පොලීසිය වෙනුවෙන් පෙළපාලියාමට සමහර ජන කොටස් පෙළඹී ඇත.  දේශපාලන භේදයකින් තොරව ම සාමාන්‍ය ජනයා මර්දනයට ලක් කරන රාජ්‍ය මර්දන යන්ත‍්‍රයක් වන පොලීසිය වෙනුවෙන් පෙළඹවීම් මත හෝ මෙරටේ ජනයාගෙන් සුළු කොටසක් හෝ පෙළපාලියාමට තරම් තත්ත්වයක් නිර්මාණය කිරීම පිළිබඳව ජවිපෙ ප‍්‍රධාන වගඋත්තර කරුවෙකු වන බව අවිවාදිත ය. එදා රණවිරුවන් අද ජවිපෙ මර්දනය කරන මර්දකයන් බවට පත්වී ඇත.  මෙම යථාර්ථය දැන් සිටවත් ජවිපෙට අවබෝධ වේවායි හුදී ජනයාගේ ප‍්‍රාර්ථනය යි.  

No comments:

Post a Comment